Open top menu
Thursday, November 10, 2016
ඩොනල්ඩ් ට්‍රම්ප්, රාජිත සේනාරත්න සහ මහින්ද රාජපක්ෂ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපලාන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී. ( රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව ඔහුට සුභ පැතීම වෙනම දෙයකි.) රාජිත සේනාරත්න කියන්නේ දැන් ඉතින් ඇමෙරිකාව අනෙක් රටවල කටයුතු වලට ඇඟිලි නොගසනු ඇතැයි තමන් සතුටුවන බවයි. එම ප්‍රකාශයම කර ඇති ශ්‍රී ලංකාවේ අනෙක් දේහපාලනඥයා මහින්ද රාජපක්ෂය. රාජපක්ෂ කියා සිටින්නේ ජනාධිතිවරණ ව්‍යාපාරය තුළ ට්‍රම්ප් පෙනීසිටි කාරණා මුලු ලෝකයටම ආදාළ වන බවත් ඔහු යටතේ තනි තනි රටවල ස්වාධිපත්‍ය ගරුකරන නව ලෝක රටාවක් ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
දෙපැත්තක සිටියද මේ දේශපාලනඥයින් දෙදෙනාම කියන්නේ අමූලික බොරුවකි. එයින් පෙන්නුම් කරන්නේ රාජිත මෙන්ම රාජපක්ෂද එක්කෝ ට්‍රම්ප් ගැන අබමල් රේනුවක් නොදන්නා බවය. නැත්නම් දැන දැන ට්‍රම්ප්ගේ වලිගයේ එල්ලෙන්නට යන බවය.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ දේශපාලනය ඉලක්ක කළ ප්‍රධාන සතුරන් දෙදෙනෙක්ම රාජපක්ෂ සමයේ ගජ මිතුරන් වූ රටවල්ය. එනම් ඉරානය සහ චීනයයි. ඉරානය සමඟ ඔබාමා පාලනය ඇති කරගත් න්‍යෂ්ටික ආයුධ වැළැක්වීමේ සහජීවන පිළිවෙත මෙන්ම විදේශ සමාගම් ගෙන්වා ගැනීම මත පදනම් වූ චීනයේ ආර්ථික වර්ධනය ද ට්‍රම්ප්ගේ දරුණූ ප්‍රහාරයන්ට ලක්විය. එය දැන් විනාශයේ අද්දරය. බොහෝ දුරට කියුබාව සමඟ ඔබාමා පාලනය ඇති කරගත් සංහිදියාවද ට්‍රම්ප් විසින් සුණු විසුණු කර දමන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මිතුරකු ලෙස සැළකෙන මෙක්සිකෝව ද ට්‍රම්ප්ගේ ප්‍රධානතම හතුරෙකි. ඇමෙරිකාවෙහි වසන ලතින් ඇමෙරිකානුවන් ට්‍රම්ප් හැදින්වූයේ ස්ත්‍රී දූෂකයන් සහ මත් ද්‍රව්‍ය අලෙවි කරන්නන් ලෙසය.
ට්‍රම්ප් පාලනය යටතේ නව ලෝක රටාවක් ඇතිවනු ඇති නම් ඒ වනාහී තනිකරම ඇමෙරිකානු බලය මූලික කොටගත් එකක් වනු ඇත. චීනයට එල්ල වන ප්‍රහාරයේ තේරුම එයයි. ලෝකයේ රටවලට සැපයුණූ විවිධ ආධාර ට්‍රම්ප් යටතේ හැකිළෙනු ඇතැයි ද සිතිය හැකිය. ඔහු යටතේ අධාර ලැබෙනු ඇත්තේ ඍජු කොන්දේසි යටතේය.
ට්‍රම්ප්ගේ නව ලෝක රටාව ඔහුම ජනාධිපතිවරණ සමයේදී කී අන්දමට පදනම් වනු ඇත්තේ න්‍යෂ්ඨික බෝම්බ පාවිච්චි කිරීමේ තර්ජනය යටතේය. මැදපෙරදිග මුස්ලිම් ජනයා වාසය කරන රටවල්ට එරෙහි නව යුද්ධයකට ට්‍රම්ප් ලැහැස්ති වනු ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පාවිච්චි නොකරන ලද අති දරුණූ ආයුධ සමඟනි.
ට්‍රම්ප්ගේ ඇමෙරිකාවෙහි ස්ත්‍රීන්ද ඇතුළු දේශපාලන, සමාජිය සහ සංඛ්‍යාත්මක සුළුතරයන් අත් විදිනු ඇති විශම සැළකීම් ට්‍රම්ප්ගේ රාජපක්ෂ අපේක්ෂා කරන නව ලෝක රටාව ද බවට පත්වනු ඇත.
ට්‍රම්ප්ගේ නව ලොක රටාවෙහි තවත් ලක්ෂණයක් වනු ඇත්තේ ඔහුම ජනාධීපතිවරණයේදී සපථ කළ පරිදි මෑත කාලීන ලෝකයේ වැදගත් ජයග්‍රහණයක් වූ පරිසරය ආරක්ෂා කරගැනීමේ පැරිස් සම්මුතියෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමයි. එය එසේ වුව හොත් එලඹෙන මහා පරිසර විනාශය වළක්වා ගැනීමට ඇති මහඟු අවස්ථාවක් විනාශ වී යනු ඇත.
ට්‍රම්ප් වනාහී නොදන්නාකමේ සහ අහංකාරකමේ භයානක සංකලනයකි.
රාජිත සේනාරත්න සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ට්‍රම්ප්ගෙන් අපේක්ෂා කරන තවත් දෙයක් තිබේ. එනම් මානව හිමිකම් පිළබඳ ප්‍රශ්ණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය අන්තර් ජාතික වශයෙන් නිහඩව සිටිනු ඇති බවයි. එක්සත් ජනපදය සමඟ අප එකඟ වුවත් නැතත් පිළිගත යුතු එක් දෙයක් තිබේ. එනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ යෝජනා සම්මත වූයේ එකසත් ජනපදයේ මැදිහත් වීම නිසා බවය. එමෙන්ම එරට ඩිමොක්ක්‍රටික් පක්ෂයේ පාලනයක් නොතිබුණි නම් එළෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ යෝජනා කිසිවක් සම්මත වන්නට තිබූ ඉඩ අල්පය.
රාජිතගේ සහ රාජපක්ෂගේ මේ අපේක්ෂාව ට්‍රම්ප් ජනාධිපති ධුරය යටතේ ඉටු වීමට ඇති ඉඩ බොහෝය. උදාහරණයක් වශයෙන් මේ වන විට 4000කට වඩා පුද්ගලයින් ප්‍රමාණයක් නඩු නොවිමසා ඝාතනය කර ඇති, එළෙස දස ලක්ෂයක් වුව ඝාතනය කිරීමට සූදානම් බව කියන පිලිපීන ජනාධිපති රුද්‍රිගු දුතර්තේට කිසිදු විවේචනයක් එක්සත් ජනපදයෙන් එල්ල නොවන්නට ඉඩ තිබේ. දෙන්නාම එක වල්ලේ පොල් ය.
ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර් ජාතික බලපෑමක් නොවී නම් රාජපක්ෂට තවමත් බලයේ ඉන්නට ඉඩ තිබුණි.මියෑදෙමින් තිබූ ඒ බලපෑමද දැන් වැදී ඇත්තේ යකුළු පහරකි. දැන් ඉතිං බොහෝ දුරටම මෙරට යුද්ධකාලීන මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කිරීම හුදෙක් වචන වලට සිමා වීමට ඉඩ තිබේ. ශක්තිමත් දේශීය ව්‍යාපාරයක් මත මිස අන්තර් ජාතික තෙරපුම් ගැන අපේක්ෂාවන්හි එල්බ සිටීම තවදුරටත් වලංඟු නැත.
ට්‍රම්ප් බලයට පත්වීම ලෝක විනාශය නොවුනද ට්‍රම්ප් වනාහී ඒ අසළටම ලෝකය ගෙන යැහැකි තරමේ අඥාන අහංකාරකමකින් යුතු කූට ජාවාරම්කාර දේශපාලනඥයෙකි. ඔහු නූගත්, ග්‍රාම්‍ය සහ සුදු ඇමෙරිකානු මහාජාතිකවාදයේ නියෝජිතයා ය. මෙවැනි පුද්ගලයකු මේතාක් එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයට පත් වී නැත. ට්‍රම්ප් නියෝජනය කළ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානීන් ගණනාවක්ම ඔහුට ජන්දය පාවිච්චි කිරිමෙන් වැළකී සිටියේ ද ඔහු විසින් ඇති කල හැකි භයානක දේශපාලන ආර්ථික වර්ධනයන් ගැන තිබූ බිය නිසාය.
එක්සත් ජනපදය යනු දේශපාලන සහ ආර්ථික යන දෙඅංශයෙන්ම ලෝකයේ බලවත්ම රට ය. එබැවින් එරට ඇතිවූ මෙම අව-වර්ධනය මුඵ ලොවටම නරකට බලපානු ඇත. එහි ක්ෂණික විපාකයක් වනු ඇත්තේ යුරෝපය පුරා දැනටමත් හමා යමින් ඇති සංක්‍රමනික විරෝධී දක්ෂිනාංශික ජාතිකවාදී සහ මානව විරෝධී දේශපාලනය ශක්තිමත් වීමයි. ගොඨාභය රාජපක්ෂ ද ට්‍රම්ප්ගේ සටන්පාඨය වූ ‘රට යළි දිනාගමු’ යන්නය පුනරුච්චාරණය කරමින් යනව ලද ටිවිටර් පණිවිඩය ද එම දක්ෂිනාංශික ජාතිකවාදයේ පිළිඹිබුවකි.
"we will regain our nation" – President Elect of USA Donald Trump! Congratulations and best wishes -GR https://t.co/fVfcZmiWGB
— Gotabaya Rajapaksa (@GotabayaR) November 9, 2016
2017 ජනවාරි 20දා ඔහු ජනාධිපති ධූරයේ දිව්රුම් දීමෙන් පසු හොඳ හොඳ සෙල්ලම් බලා ගැනීමට අවස්ථාව එළඹෙනු ඇත‍.
ඒ කෙසේ වෙතත් තාවකාලික පසුබැම් වලට මුහුණ දීමට සිදු වුවද ලෝකයේ මානවවාදී ඉදිරිගාමී පුවණතාවයන් විසින් යළි ඉතිහාසය සිය අත්වලට ගන්නා බව ලෝක ඉතිහාසයේ අත්දැකීම වේ.

සුනන්ද දේශප්‍රිය
09/11/2016 by Sri Lanka Brief
Read more
Friday, October 21, 2016
ජනපති - දිල්රුක්ෂී කුඩු කළ දුෂණ විරෝධයේ ජිමික් දේශපාලනය

‘යහපාලන ආණ්ඩුවේ‘ පළමු මාස 21 ගෙවී ගියේ ‘ජිමික් පොලිටික්ස්‘ (මයාකාරී දේශපාලනයෙන්) මිස මහපොළොවේ යථාර්ථයන් හා හැපෙමින් නොවේ. ජනවාරි 8 ට නායකත්වය දුන් පරිස පමණක් නොව මේ ආණ්ඩුවට ඡන්දය දුන් ලක්ෂ 62 ක් බලාගෙන සිටියේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන තෙක් මිස ‘පමාවට හේතු‘ කියන්නට නොවේ. අන්ධ භක්තියෙන් පක්ෂ බදාගෙන සිටින සුළුතරයක් මිස බහුතරයක් ජනතාවට යහපාලනය කැමැත්තක් නැත. ඒ ඔවුන් ජනතාව මත තැබූ බලාපොරොත්තු ඉටු නොවීම නිසාය.
අල්ලස් දුෂණ සටනේ ‘චන්ඩි ශ්‍යාමා‘ දැන් නැවත නීතිපති දෙපාර්තමේන්තුවේ තම පුටුවට ගොස් ඇත. එය බොහෝ දෙනා බලාපොරොත්තු වූ දේ නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ විවාදාත්මක කථාවේ කේන්ද්‍රය ස්වාධීන කොමිෂන් සභා යැයි බහුතරයක් කියන්නන් වාලේ කියවමින් සිටී. නමුත් සත්‍යය එය ද? නැත.
ජනාධිපතිවරයාගේ කථාවෙන් කේන්ද්‍රීය චරිතය අල්ලස් කොමිෂන් සභාවේ දිල්රුක්ෂි බව ජනගත වන්නට දින දෙකක් ගත විය. අල්ලස් දුෂණය ගැන ඇයට තිබූ ප්‍රවීනත්වයේ බිදක් ඇයට දේශපාලන යථාර්ථයන් සම්බන්ධයෙන් තිබුණේ නැත. ජනාධිපතිවරයා සද පෙන්වන විට ඇය ඇගිල්ල දුටු ඇය තම ‘ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළාය. යහපාලනය පිළිබද රටේ බලපොරොත්තුව ජනාධිපතිවරයා වූවේ යම් ලෙසක ද, දිල්රුක්ෂි ‘අල්ලස දුෂණයට‘ එරෙහි සටනේ ප්‍රතිරූපය වූවේය.
ඇමතිවරුන්ට, අගැමැතිට, ජනාධිපතිවරයාට බැන බැන සිටි ජනතාව සිහිනයෙන් අවදිවී මේ වෙන්නේ මොකක්දැයි සොයන්නට පටන්ගත්තේ ඒ අනුවය. දුෂණයට එරෙහිව සටන පට්ටපල් බොරුවක් බව මේ වන විට ජනතාවට තේරූම් ගනිමින් සිටී. දුෂණ විරෝධයේ මුලින්ම සිටි අප මේ බව තේරුම් ගෙන තැන තැන කෑ ගසමින් සිටියෙමු. නමුත්, අගමැතිට, ජනපතිටත් වඩා මේ ආණ්ඩුව රකින්නට අවශ්‍ය යැයි කියන පිරිසක් ‘මහින්ද නැවත බලයට එන්වා‘ යැයි කියමින් සියල්ල වසා දමන්ට කටයුතු කරමින් සිටියේය.
ජනාධිපතිවරයාගේ කථාව සිදු නොකළ යුතු වැරදි උදාහරණ සහිත කෝපය පිට කර හැරීමකි. එය කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත කළ නොහැකිය. සෑම ගැටුමකම අවසන් ප්‍රතිඑලය මානව වර්ගයාගේ ප්‍රගතියට හේතුව‘ කි. ජනාධිපතිවරයා ද, දිල්රුක්ෂි ඩයස් ද ඒ බව අපට ප්‍රත්‍යක්ෂ කොට ඇත.
මහපොළොවටම සමතලා වූ දුෂණය එරෙහි සටන
දුෂණ විරෝධී පෙරමුණ උපදේශක ධූරය භාරගත් මා කළ පළමු කටයුත්ත අපගේ පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍රගතිය සොයා බැලීමය. අධිපති ජනමාධ්‍ය මගින් දෑස් නිලංකාර කොට ගෙන සිටි මා මහපොළවට පැමිණියේ මේ ප්‍රගතිය ‘බිංදුවට‘ ආසන්නයේ කැරකෙන බව අවබෝධ වූ විටය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හැර අනෙක් ආයතන බහුතරයක් සිටියේ අහසේ පා වෙමිනි. අප ඔවුන් අවධිකරන්නට බොහෝ දේ තැන තැන කීවෙමු. වත්මන් ආණ්ඩුවට එරෙහිව දුෂණ චෝදනා එල්ල කරන්නට බිය වූ බහුතරයක් දුෂණ විරෝධී පෙරමුණ මතු කළ සත්‍ය එදා දුටුවේ නැත.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රබල නඩු 12 ක් පවරා ඇත. ඔවුන් එය සිදු කොට ඇත්තේ බලවත් දුෂකරතා මධ්‍ය යේය. අල්ලස් හා කප්පම් ගැනීම් පිළිබද විමර්ශන නිලධාරීන් ගණනාවකට චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ වැදගත්ම දුෂණ වංචා ලිපි ගොනු 42 ක් ගොඩ ගැසී ඇත.
අද පවත්නා වංචා දුෂණ මර්ධනය කිරීමේ නීති වලින් ආවරණය කළ නොහැකි ක්ෂේත්‍රයන් හා සිද්ධි අවාරණය සදහා පිහිටුවූ මහා පරිමාණ දුෂණ විමර්ෂනය සදහා වන විශේෂ ජනාධිපති කොමිසන් සභාවේ කටයුතුවල ප්‍රගතියක් නොමැති තරම් ය. ඒ සදහා අවශ්‍ය වෘත්තීය හා තාක්ෂණික මග පෙන්වීම බිංදුවක් බවට පත් වෙමින් තිබේ.
අනෙක් අතට ලංකාවේ ඇති දුෂණ විමර්ශන නීති යල්පැන ගිය, යාවත්කාලීන නොවූ සුදු කරපටි අපරාධ මර්ධනයට ශක්තිමත් නොවූ දේ ය. ඒ බව දැන දැනම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව උත්සහ දරමින් සිටින්නේ ද අද පවත්නා නීතිය අනුව සැකකරුවන් උසාවි ගෙන යන්නටය. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට හිටපු දේශපාලනඥයින්, ලේකම්වරුන්, නිලධාරීන් එති. ජනමාධ්‍යයට වොයිස් කට් දෙති. සිනාසෙමින් පිටත්ව යති. ලංකාවේ අල්ලස් හා දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති සුදු කරපටි අපරාධකරුවන් බහුතරය තමන්ගේ දේශපාලන අදහස් රට දැක්වීමේ වේදිකාව බවට එතැන පත් කොට ගෙන ඇත්තේය. ඔවුන් තමන්ට එරෙහිව ඇති අපරාධ ගැන හැර ලංකාවේ සිදු වන දේශපාලනයේ අන් සෑම දේ ගැන කියන්නට වේළාව වෙන් කර ගන්නේ එතැනිනි.
මේ විකාරය අවසන් වන්නේ කොතැනින්ද?
අපි ‘චන්ඩි ශ්‍යාමා‘ යැයි කියූ දිල්රුක්ෂි ඩයස් අල්ලස් දුෂණයට එරෙහි
සටනේ සංකේතය වූවේය. නමුත්, අල්ලස් කොමිසම තුලින් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටුවී ඇති ද? කිසි සේත්ම නැත. අල්ලස් දුෂණ කොමිෂන් සභාවේ අංක එකේ සේවා ලාභියා පැමිණිලි 225 ක් යොමු කර ඇති දුෂණ විරෝධී පෙරමුණයි. අපේ පැමිණිලි 3 කට හැර අන් කිසිවකට සාර්ථක ප්‍රගතියක් ලැබී නැත. කොමිසමේ ‘ටොප් ක්ලයන්ට‘ අතෘප්තිමත් නම් තෘප්තිමත් කවුද? මගේ අදහස නම් ජනාධිපති විශේෂ කොමිසමට, අල්ලස් කොමිසමට පැමිණි අති දැවැන්ත මුල්‍ය චෝදනා ලැබූ බහුතරයක් නම් අතිශයින්ම තෘප්තිමත්ය. ඒ අන් කිසිවක් නිසා නොව විමර්ශන සිදු වෙමින් පැවති ආකාරය අනුව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ද, අනෙක් අතට චෝදනාවලින් පිරිසිදුවී නිදහස්වීමේ අවස්ථාව ද පෙනි පෙනි ඇති බැවිනි.
මහා පරිමාණ දුෂණ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම, විමර්ශන ක්‍රියාවලියේ දුබලතා ගැන තොරතුරු මේ වන විට එකින් එක එළියට පැමිණෙමින් තිබේ. දේශපාලන තොරාගැනීම් පිළිබද ෆවුසි, ප්‍රියංකර ජයරත්න, අලුත්ගමගේ උදාහරණ දැනටම සමාජගතවී ඇත. (මේ විමර්ශන පිළිබද පුද්ගලික මාගේ කිසිදු විරෝධයක් නොමැති අතර ඒවා සිදු කළ යුතු හා නඩු පැවරිය යුතු බවට තර්කයක් නැත. තර්කය ඇත්තේ ප්‍රමුඛත්වය තීරණය කිරීමේ ක්‍රමවේදය තුලය.)
විමර්ශන පිළිබද තොරතුරු තොග වශයෙන් එළියට පැමිණීම අපට විසදාගත නොහැකි වූ ප්‍රශ්ණයක් වූවේය. එවන් එක් උදාහරණයක් වූවේ ගාමිණී සෙනරත් ගේ රියදුරු දිසානායක ගේ සාක්ෂියේ සියලු කරුණු හෙළිදරව්වී ඔහු පැහැරගෙන ගොස් ත්‍රස්තවාදියෙකු කිරීමේ උත්සාහයයි. එදා උදුල් ප්‍රේමරත්න, උලපනේ සුමංගල හිමියන් මැදිහත් නොවන්නට මේ වන විට රියදුරු දිසානායක ජීවතුන් අතර නැත. දුෂණ විරෝධීන් හොරුන් රකින්නේ යැයි මතයක් සමාජගක කිරීමට ‘ජිමික් දේශපාලනය‘ උත්සහ දැරීය.
රියදුරු දිසානායක ගේ සිද්ධියේ දී පොලිස් පරීක්ෂණ සිදු කළ පොලිස් අධිකාරිවරයා ජාත්‍යන්තර මුදල් විසුද්ධිකරණය පිළිබද විදේස් පුහුණුව ලැබූ අයෙකි. ජනාධිපතිවරණ සමයේ සිදු වූ කොමිස් හා අල්ලස් ගැනීම් කිහිපයක විමර්ශන යට ගැසීමට ඔහු රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ගෙන තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මැදිහත්වී රියදුරු දිසානායක මහතා පොලිස් මුලස්ථානයට රැගෙන නොයන්නට ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හිරබත් කන්නට ද ඉඩ තිබුණි.
දිල්රුක්ෂිගේ කාලයේ ලංකාවේ ලොකුම අල්ලස කියා කෝටි 12 ක රේගු වංචාවක් එළියට ආවේය. අදත් ඒකට අල්ලස් ගත්තා කියන රේගු නිලධාරීන්ට නඩුවක් නැත. රේගුව මෙරට අති දැවැන්ත විනිමය වංචාවක් නිරාවරණය කොට නඩු පවරා තිබුණි. අල්ලස් මෙහෙයුම කෝටි 12 ක මුදල් සමග සිදු වුණේ ඉන් පසුවය. නඩු පවරන්නේ නැත්තේ ඇයි ද කියා අප තවමත් හරියටම දන්නේ නැත. දිල්රුක්ෂි නොදැන සිටියාට අල්ලස් කොමිසමේ දෙවන පෙළ නිළධාරියෙකු ගේ දැවැත්ත පැටලැවිල්ලක් තිබේ. ඔහු ලිපි ගොනුවේ කොළ ගලවා ලංගම අමතර කොටස් ගෙන්වීමේ වංචාවේ මහා දුෂිතයින්ට පැන යන්නට සිදුරක් සෑදුවේය. අනාගතයේ දවසක ‘කොමිසම නිහඩයි‘ කියා චිත්‍රපටියක් හදන්නට කථා වස්තුවක් මේ කථාවේ ඇති බව පමණක් දැනට සෑහේ.
ජනවාරි 8 බලාපොරොත්තු වූ වෙනස මෙය ද? කිසිසේත්ම නැත.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතා මහන්සියෙන් බොහෝ දේ කළ බව ද නොකියා බැරිය. ඔවුන් ලංකාවට දුෂණ විරෝධී සංස්කෘතියක් හදුන්වාදෙන්නට උත්සහ කළේය. දරුවන්ට දුෂණයට එරෙහිවන්නට ඉගැන්වීය. උදේ 8 - 4 සේවා මුරය කිසිදු ප්‍රතිලාභයක් නොලබා රාත්‍රී 10 -12 දක්වා දිගු විය. ඔවුන් අල්ලසට එරෙහි සටන තම ජීවිතය කර ගෙන තිබුණි. නමුත්, ‘ක්‍රමයක් හෝ කාර්යාවලියක්‘ නොමැති දුෂණ විමර්ශන සිදු වූයේ දේශපාලන න්‍යාය පත්‍රයට වීම අහම්බයක් විය නොහැකිය.
දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය දේශපාලන න්‍යයා පත්‍රයට කොටසක් වූවේ යැයි මම කිසි විටෙක නොකියමි. ඇයගේ විමර්ශනය සදහා කිසිවෙකුත් බලපෑම් කළේ නම් ඇය මෙයට බොහෝ කලකට පෙර තනතුර අතහැර දමන බව අදත් මාගේ විශ්වාසය යි. ඇය මිල දී ගත නොහැකිය. අයට බලපෑම් කළ නොහැකිය.
එකේ කියන අතරම, මෙරටින් හොරකම් කර ඇති ධනස්කන්ධය රුපියල් ට්‍රිලියන 8 යැයි අනුමාන කරන්නේ නම්, එයින් තෝරු මෝරු කීයක් කොටු කර ගැන්නට හැකිවී ඇති ද යන්න මැදහත් සිතින් විමසිය යුතුය.
අනෙක් අතට, දිල්රුක්ෂි කොළඹ තානාපති ප්‍රජාවේත්, ජාත්‍යන්තරයේත් දිදුළන තරුව වී සිටියාය. ඒ සදහා අවශ්‍ය සියලු සුදුසුකම් ඇයට තිබුණි. පසුගිය ජූනි මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී මම ලංකාවේ මැතිවරණ හා දුෂණය ගැන කෙටි ඉදිරිපත් කිරීමක් සිදු කළෙමි. එහි සිටි බහුතරයක් එතෙක් සිතාගෙන සිටියේ ලංකවේ දුෂණයට එරෙහි සටන ජයගෙන ඇති බවයි. නමුත්, ‘ලංකාවේ දුෂණයට එරෙහි සටන බිමට සමතලාවෙමින් ඇතැයි‘ මා කියු විට පමණක් ඔවුහු ඒ ගැන නැවත නැවත විමසන්නට වූවේය. මේ තත්වය මා අත්විද ඇත්තේ ජාත්‍යන්තරයේ දී පමණක් නොවේ.
කොළඹ වරප්‍රසාදිත රාජ්‍ය නොවන සංවිධාන ජාලය තවමත් මේ කටුක සත්‍යය පිළිනොගන්නේය. ‘විනිවිදභාවය, ප්‍රතිඑල කේන්ද්‍රීය මැදිහත්වීම්, ක්‍රමය හා කාර්යාවලිය‘ තම දේවභාෂිත වදන් ලෙස සලකන කිසිවෙකුත් ලංකාවේ අල්ලස් හෝ දුෂණ විරෝධි සටනේ ප්‍රතිගති සමාලෝචනයක යෙදෙන්නට සිතුවේ නැත. ඔවුන් සැමවිටම සිතුවේ නඩු ප්‍රමාදය සාමාන්‍ය දෙයකි. සම්පත් හා මානව සම්පත් හිගය නිසා කිසිවක් සිදු නොවේ. සෙමින් නමුත් යහපත්ව සියල්ල සිදු වෙමින් ඇති බවකි. නැත. එය එසේ නොවේ. ‘ජිමික් මාධ්‍ය දේශපාලනයෙන් ඔබ්බට‘ අල්ලස් දුෂණ විරෝධී සටන පැමිණිය යුතු මොහොත උදාවී ඇත.
ජනාධිපතිවරයාගේ කථාව නොවන්නට මල්වානේ ඉඩමේ පළමු සැකකාරයා අත්අඩංගුවට පත් වන්නේ නැත. අද වන විට ඇති වී තිබෙන සමාජ කථිකාව ඇතිවන්නේ ද නැත. නමුත්, මුල්‍ය අපරාධකරුවන් සොද සොදා එළියට දමන මැෂිමක් බවට දුෂණ විරෝධය පත් වන්නට තිබුණි.
අනෙක් අතට, දුෂණය වත්මන් යහපාලන රජයට ද අදාළය. මහ බැංකු වංචාව, ගල් අගුරු වංචාව, මුදල් අමාත්‍යාංශයට එරෙහි එකක් පිට එකක් පැමිණි විමර්ශනය නොවන වංචා විමර්ශන ආයතන වලින් රටටක සෙතක් නැත. දුෂණ විරෝධී සටන එක් පක්ෂයකට, පවුලකට, විරුද්ධවාදීන්ට එරෙහි මෙවලමක් නොවිය යුතුය.
ඒ සියල්ලටම වඩා, සොද සෝදා එළියට දමන්නට හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ බියකරු බව අප අවබෝධ කොට ගත යුතුව ඇත. දේශපාලනිකව එය යහපාලන රජයට මාරාන්තික වන දේශපාලන බලවේගය බවට පත්වෙමින් තිබේ. යහපාලන ප්‍රේමීන්ගේ කෝපය අවුලවමින්, අපේක්ෂා භංගත්වය ඇති කරමින් එය ‘පරිවර්ථනීය සංහිදියාවක් සදහා වන‘ අපේක්ෂාවන් සුන්නද්ධූලි කරමින් තිබේ.
මේ සියල්ල එසේ වුවත්, ජනාධිපතිවරයාගේ කථාව වැරදි උදාහරණ සහිතව නොකළ යුතු ප්‍රකාශයක් බව ද නොකියා බැරිය. ඒ මත පදනම්ව ජනාධිපතිවරයා ද්‍රෝහියෙකු බවට පත් වන්නේද? ශූර ඉවසිලිසහගත දේශපාලනඥයෙකු වන මෛත්‍රීපාල මහතා කොට්ටම්බ ඇටයක් තලාගන්නට කුළු ගෙඩි පහර ගසන්නෙකු නොවන බව ද එලෙසම තේරුම් ගැනීම වැදගත්ය. ජනපතිවරයාගේ ප්‍රකාශයට කුළු ගෙඩි පහර ගසා ‘ජිමික් දේශපාලනය‘ පෝෂණය කිරීමට එහා මැදිහත්වීමක් සිවිල් සමාජයෙන් අද අවශ්‍යව ඇත. යහපාලනයේ හොරු ඇල්ලීම විකාරයක් බව ජනාධිපතිවරයා විනාඩි දෙකකින් රටටම අවබෝධ කොට දී ඇත.
රාජපක්ෂ පාලනයේ ඇවන්ගාඩ් වැනි වංචාවන්ට දැන්වත් ගිණි අවි පනත යටතේ නඩු පැවරිය යුතුය. රටට අදුරේ තබා නොරොච්චෝලේ පිහිටෙන් ඉඩම්, නිවාස, තට්ටු නිවාස මිල දී ගෙන ඇති විදුලිබල මණ්ඩලයේ මාෆියාව ගැන විමර්ශන සිදු විය යුතුය. මහබැංකු බැදුම්කර හොරුන් ඇල්ලිය යුතුය. එසේ නොවන්නේ නම්, දෙවියන්ගේ නාමයෙන් මේ යහපාලනය හා දුෂණ විරෝධය මෙරට ‘ජිමික් දේශපාලන‘ ශබ්ද කෝෂයෙන් දැන්වත් මකා දැමිය යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ
Read more
Sunday, October 16, 2016
බංකර් ඇතුලේ කොටි තරුණියන්  සමූහ දූෂණයට ලක්‌වූ හැටි... ප්‍රථම වරට හෙළිවෙයි

* හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌....
* සාමාජිකයෝ බංකර් රකිනවට වඩා 
   උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න...
* අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය 
    බලන්නේ නැහැ...
* ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති


ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ෙ€දනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය...

අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා 'එයාලා නිදහස්‌' කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අකAකලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ...

මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සතිs දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හො¹කාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා...

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

'දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද...' ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

පිස්‌සුද මහත්තයො... අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා...''

අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

''අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය...

'අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං...

එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලිs කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා 'දෙමළ ජාතික සභාව' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි, නැඟිටිව්' යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි.

සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.

තරංග රත්නවීර
divaina -
Read more
Thursday, October 13, 2016
විදුහල්පති ගුරුවරියන්ට ලිංගික අතවර කොරන මෙ පිංබිමේ කතාවක්...

 මහානාම ගුරුවරිය නිසා රාජ්‍ය සේවයට ඓතිහාසික ජයග්‍රහණයක්

 රේඛා නිලුක්ෂි හේරත්
මම මහානාම විද්‍යාලයට ආවේ 2007 දී. විදුහල් පතිගේ බලපෑම් මට තිබුණා ඒ කාලයේ ඉඳන්. එහෙත් මම ඉවසාගෙන හිටියා. විදුහල්පතිවරයාගේ ගෝලයා වන ගුරුවරයෙක් 2011 මාර්තු 28 වැනිදා කාමරයට ඇවිත් මාව බලෙන් ඉම්බා. පස්සේ මේ ගුරුවරයාටයි විදුහල්පතිටයි දූෂණ වංචා ගැන පරීක්ෂණයක් ආවා. එහෙත් ඒ වංචා ගැන පරීක්ෂණ වාර්තාව දේශපාලන බලපෑම් නිසා මඟ නතර වුණා. ජූලි වෙද්දී පරීක්ෂණ වාර්තාව අවසන් කර තිබුණත් නොවැම්බර් 27 වැනිදා වෙනතුරුත් විමර්ශන වාර්තාව එළිදැක්වූවේ නැහැ. ඉහළ නිලධාරීන්ට කතාකළත් ඔවුන් කීවේ කරන්න දෙයක් නැහැ, දේශපාලන බලපෑම් මතයි මේ වාර්තාව නැවතිලා තියෙන්නේ කියලා. ඒ නිසා මම ලංකා ගුරු සංගමයත් එක්ක එක්වෙලා විරෝධතාව දැක්වූවා. ඒ වගේම මම මාධ්‍යවලට ප්‍රකාශයක් කළා මේකට විරුද්ධව. ඉන්පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පති ගැන විමර්ශනයක් කරනවා වෙනුවට මට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කළා. මාධ්‍යවලට ප්‍රකාශ දීම සම්බන්ධයෙන්. 2012 පෙබරවාරි 1වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගේ වැඩ තහනම් කළා. ඒකට විරුද්ධව මම මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. ලංකා ගුරු සංගමය නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහත්තයාව සම්බන්ධ කර දුන්නා. මැයි මාසයේදී ශිරාණි තිලකවර්ධන විනිශ්චයකාරවරිය ඇතුළු විනිශ්චය මණ්ඩලයක් විසින් නඩුව ඉදිරියට ගෙන යන අතර මාව ආපහු සේවයේ පිහිටෙව්වා.

මාව සේවයේ පිහිටෙව්වාට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාව වෙනත් පාසලකට මාරු නොකර මගේ වැඩ තහනම් කිරීමේ ලිපිය අවලංගු කරලා මහානාම විද්‍යාලයේම මාව තිබ්බා. ඒ නඩුව දිගටම අහලා තමයි මේ තීන්දුව දුන්නේ. ඒ අතරේ මහානාම විද්‍යාලයේ සේවය කළ මට අර විදුහල්පතිවරයාගෙන් ගොඩක් ප්‍රශ්න ඇතිවුණා. මට විරුද්ධව විනය පරීක්ෂණ කරලා මගේ වැටුපෙන් කොටසක් කැපුවා.
අවසානයේ මේ නඩු තීන්දුව ලැබිලා තියෙනවා. මේක මම ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. අපි හැමෝම ලබපු ජයග්‍රහණයක්.”

මේ මහානාම විද්‍යාලයේ සංගීත ගුරුවරියක වන සමන්ති මනෝහාරි පැලකැටිය මෙනෙවිය දැක්වූ අදහස්ය. මාධ්‍යවලට අදහස් දැක්වූවායැයි චෝදනා කරමින් වැඩ තහනම් කිරීමට විරුද්ධව ඇය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ අනුව ව්‍යවස්ථාවේ 12(1) වන වගන්තියේ ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද, සර්ව සාධාරණ ලෙස ලැබීමට ඇයට ඇති අයිතිය කඩවී ඇති අතර 14(1) වගන්තිය අනුව ඇයට හිමිවන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියත් කඩකොට ඇත. ඉහත අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට සහ ගුරුවරයකුට රුපියල් ලක්ෂය බැගින් ඇයට වන්දි ලබාදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

තමන්ට සිදුවුණු අසාධාරණයක් සම්බන්ධ යෙන් සටන් කොට ජයග්‍රහණය දක්වා පැමිණි සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට ගෞරවය හිමිවිය යුතුය. ඇය වීරවරියකි. අසාධාරණය ඉදිරියේ නිහඬව සිටීම වෙනුවට එයට විරුද්ධව සටන් කළ හැකි බවත් එවන් සටනකින් ඉතිහාසය වෙනස් කළ හැකි බවත් ඇය පෙන්වාදී ඇත. රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් බොහෝය. ඒවායින් බහුතරය ලිංගික වශයෙන් සිදුකරන අසාධාරණයන්ය. මේ එවන් කාන්තාවන් වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණයකි. සියලු කාන්තාවන්ගේ ආචාරය ඇයට හිමිය. යටත්වැසියෝ ඕනෑම අසාධාරණයක් ඉවසති. පුරවැසියෝ තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටන් කරති. මේ ඉහළින්ම වර්ණනා කළ යුතු පූර්වාදර්ශයකි.

දැවැන්ත ජයග්‍රහණයක්

මේ තීන්දුව එක් ගුරුවරියකට එක් විදුහල්පතිවරයෙකුගෙන් සිදුවුණු අසාධාරණයක් පිළිබඳ සිදුවීමක් නොවේ. මෙය සමස්ත රාජ්‍ය සේවය පැත්තෙන් ලද ජයග්‍රහණයකි. ව්‍යවස්ථාමය අයිතිය පැත්තෙන් ලද ජයග්‍රහණයකි. රාජ්‍ය සේවය තුළ බොහෝ නිලධාරීන් තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ අසාධාරණ යට ලක්වෙද්දී නිහඬව සිටින්නේ ඔවුන්ට ප්‍රසිද්ධියේ තමාට සිදුවුණ අසාධාරණය පිළිබඳව කතාකරන්නට නොහැකිව ඇති නිසාය. ආයතන සංග්‍රහයේ ඇති රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය ඉදිරියේ කතා කරන්නට බැරි බවට ඇති වගන්තිය ඉතිහාසයේ පාවිච්චි කළ අවස්ථා බොහෝය.

සමන්ති මනෝහාරි ගුරුවරියට සාධාරණය ඉටු කරගැනීම වෙනුවෙන් දිගටම මැදිහත් වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ අදහස් දැක්වීය.
“ආයතන සංග්‍රහයේ තියෙන ජනමාධ්‍ය පාවිච්චි කරන්න බැහැ කියන වගන්තිය පාවිච්චි කරලායි ගුරුවරියගේ වැඩ තහනම් කළේ. එයට විරුද්ධව ලබා දුන් තීන්දුවේ වැදගත් කාරණයක් තියෙනවා. ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කිරීම ගුරුවරියගේ 12(1) වගන්තිය යටතේ තියෙන මූලික අයිතිවාසිකම කඩකිරීමක්. ඒක අදහස් ප්‍රකාශ කිරීමට තියෙන බාධාවක් ලෙස කියලා තියෙනවා. ඒක රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 11ක සේවකයන් ලැබූ ජයග්‍රහණයක්. ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරලා තොරතුරු විවෘත කරනවා කියලා කියනවා. රාජ්‍ය සේවකයන්ට ආයතන සංග්‍රහයේ තියෙන මේ බාධකය ඉවත් කරන්නේ නැහැ. ආයතන සංග්‍රහයෙන් රාජ්‍ය සේවකයන්ට මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන්න බැහැ. අපි දන්නවා සමහර ආයතන ප්‍රධානීන් තමන්ගේ සේවකයන්ට නිතර නිතර මේ වගන්තිය සිහිපත් කරලා බියගන්වනවා. එසේ තිබියදී අපි මේක සමස්ත රාජ්‍ය සේවයේ ජයග්‍රහණයක් විදියට දකිනවා.”
මෙම තීන්දුව පිළිබඳව නීතීඥ ජගත් ලියනආරච්චි දැක්වූ අදහස් මෙසේය.

“රජයේ සේවකයන්ට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට සහ තමන්ට සිදුවුණු අසාධාරණයන් සම්බන්ධව කතාකරන්නට තියෙන බාධාවක් තමයි ආයතන සංග්‍රහයේ තියෙන යම් යම් ප්‍රතිපාදන. බොහෝ වෙලාවට තමන්ට වුණු ලිංගික හෝ වෙනත් අසාධාරණයක් ගැන පිටට දැනුම් දුන්නාම ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පාවිච්චි කරලා ඒ අයට විනය පරීක්ෂණ කරලා බය කරන තත්ත්වයක් අපේ රටේ ගොඩනැඟිලා තිබුණා. 2016 තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුණායින් පස්සේ ආයතන සංග්‍රහයේ මේ ප්‍රතිපාදනය නිර්බල වෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ තියෙනවා ඒක අනෙකුත් නීති අබිබවා යනවා කියලා. ඒ කියන්නේ තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදුන්නා කියා කිසිදු පුද්ගලයෙකුට විනය පියවර හෝ වෙනත් දඬුවම් ලබාදිය නොහැකියි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රකාශිතව සඳහන් වෙන ආකාරයට ආයතන සංග්‍රහයේ මේ වගන්ති නිර්බල වෙලා තියෙන්නේ. එහෙත් මහානාම විද්‍යාලයේ ගුරුවරියට මේ අසාධාරණය සිද්ධ වෙලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වෙන්න කලින්. ඒ අනුව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් කියලා මේ සම්බන්ධව තීන්දුව දීලා තියෙනවා.

ආයතන සංග්‍රහයේ මේ නීති ප්‍රතිපාදනය නූතන ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවට පටහැනි ගෝත්‍රික ප්‍රතිපාදනයක් විදියටයි මම දකින්නේ. මේක නිලධාරීන් පාවිච්චි කළේ තමන් යටතේ ඉන්න නිලධාරීන් මර්දනය කිරීමට මිසක් ආණ්ඩුවේ යහපත වෙනුවෙන් නෙවෙයි. මේ තත්ත්වය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මම දකින්නේ රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමක් විදියට. ඒ වගේම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමක් විදියට. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදීම මේ ජයග්‍රහණය ලැබීම ගැන සතුටුවිය හැකියි. ඒ වගේම මේ නඩුව ජයග්‍රහණය කරා ගෙන ආවේ ලංකා ගුරු සංගමය. ඒ අය මේ නඩුව සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් කරන සටනක් විදියට දැකලා ගෙනගියා. මේක නඩුවකට විතරක් සීමා නොකර එළියේත් සටනක් විදියට ගෙන ගියා. රජයකට විරුද්ධව නඩු කීම ගුරුවරියකට ලේසි කටයුත්තක් නෙවෙයි. පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ගුරුවරියටත් ස්තූති කළ යුතුයි.”

පෙර ජයග්‍රහණ

ඇගේ සටන හේතුවෙන් දේශපාලන බලපෑම් නිසා නතර වී තිබුණු මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර විදුහල්පති ඩබ්ලිව්.එච්.පී. කුමාරසිරි 2012 මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් පිළිබඳව ලැබුණු තීන්දුවක් අනුවයි.

එපමණක් නොව ඇයට බලහත්කාරකම් කළ බව කියන ගුරුවරයාට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩුවකින් එම ගුරුවරයා නිදොස් කොට නිදහස් කරමින් කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් හා අලුත්කඬේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදී තිබුණු තීන්දුව 2016 මාර්තු 18 දින ප්‍රතිශෝධනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා එම ගුරුවරයා වැරදිකරු කළේය. මහේස්ත්‍රාත් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඇය අභියාචනය කොට එම තීන්දුව සම්බන්ධයෙන්ද සාධාරණය ඉටු කරවා ගත්තාය.

එපමණක් නොව මහානාම විද්‍යාලයේ සිව් වසරක් පුරා සිදුවුණු වංචා පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශය සිය නිරීක්ෂණ ලබාදී තිබුණි. හොර පාරෙන් සිසුන් පාසලට ඇතුළු කරගැනීමේ සිද්ධි, සෘජුව මුදල් ගැනීමට අමතරව ටිකට් පොත් විකිණීමට බාරදීම හා විවිධ සංගම් පිහිටුවාගෙන අරමුදල් පාසලට සම්බන්ධ නැති ගිණුම්වලට බැර කිරීම වැනි චෝදනා රැසක් පිළිබඳව විදුහල්පතිවරයාට විරුද්ධව එම විමර්ශන කමිටුව නිගමන ලබාදී තිබුණු අතර ඒවා සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව නිර්දේශ කොට තිබුණි.

පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතය, අධ්‍යාපන අධ්‍යක්ෂ වරයකුගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛනවල යෙදීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, පාසලේ ගුරුවරියන්ට වරින්වර ලිංගික බලපෑම් කිරීම, වැරදි තොරතුරු ලබාදී අධ්‍යාපන අමාත්‍යාංශය නොමග යැවීම, මූල්‍ය වංචා ආදි බරපතළ විසමාචාර රැසක් ගැන විදුහල්පතිවරයාට චෝදනා එල්ල විය.

මෙම විද්‍යාලයේ විදුහල්පති සහ තවත් ගුරුවරුන් දෙදෙනෙකු පාසලේම උපගුරුවරියන් කිහිප දෙනෙකුට සහ සිසුන්ගේ මව්වරුන් කිහිප දෙනෙකුට ලිංගික බලපෑම් සිදුකර ඇති බවත් ඒ ගැන පොලීසියේ පැමිණිලි කළ විට ඒවා ඉවත් කර ගන්නා ලෙසට පාසලේ අභ්‍යන්තර මෙන්ම බාහිර පුද්ගලයන් ලවාද දැඩි බලපෑම් එල්ල කර ඇති බවත් පීඩනය ඉවසා ගත නොහැකිව ඇතැම් ගුරුවරියන් විදුහල හැර ගොස් ඇති බවත් එම විමර්ශනයෙන් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. විදුහල්පතිවරයා විසින් බොරු තොරතුරු යවා අධ්‍යාපන අමාත්‍යාංශය නොමග යැවූ බව ද සනාථ විය.

අධ්‍යාපන අමාත්‍යාංශ යේ විමර්ශනයට පාසලේ ගුරුවරුන් ඉදිරිපත් කිරීමට අසීමිත ලෙස කාලය ගත කරමින් විමර්ශන කටයුතු ප්‍රමාද කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවත්, ප්‍රකාශ ලබාදීමට එන ගුරුවරුන් විමර්ශන නිලධාරීන් වෙත ඒමට පෙර විදුහල්පති නිල කාමරයට ගෙන්වා උපදෙස් දී එවා ඇති බවත්, ප්‍රකාශ ලබාදුන් ගුරුවරුන් නැවත විදුහල්පති නිල කාමරයට ගෙන්වා ඇති බවත්, ගුරුවරුන් දැඩි බියකින් හා චකිතයකින් සාක්ෂි ලබා දී ඇති බවත් එම විමර්ශන කමිටුවට නීරීක්ෂණය වී තිබුණි.

විමර්ශන කමිටුවේ නිර්දේශ අනුව තවමත් එම ගුරුවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුව හෝ පොලීසිය විසින් පරීක්ෂණ කොට දඬුවම් ලබාදී නැත. එපමණක් නොව ප්‍රධාන පෙළේ පාසල් රැසක සිදුව තිබෙන මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැත. ඉතින් යුක්තිය වෙනුවෙන් යායුතු ගමන තවම අවසන් නැත. මහානාමයේත් ඉන් පිටතත් මෙවන් අසාධාරණයන්ට විරුද්ධව යුක්තිය ඉටුකරවා ගැනීමට යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් පෙරට පැමිණිය යුතුය.
Read more
Sunday, September 25, 2016
සිංහලේ කොල්ලා පන්සලේ කිච වීමේ කතා වස්තුව

විමලේ ඒ කාලයේ එල කොල්ලෙකි. අප එල කියා කියන්නේ අපේ අදහස් මතවාදවලට කිට්ටු වෙන තරමටය. හැමෝම එල කියන්නේ තමන්ට සාපේක්ෂවය. එහෙමත් නැත්නම් තම කඳවුරට සාපේක්ෂවය. හැමෝගෙම එල එහෙම නිසා අපේ එල ද එහෙමය. කොහොමින් කොහොමින් හරි විමලේ ඒ කාලයේ එල කොල්ලෙකි.
ඔහු ඒ කාලයේ එලට ලියුවේය. කොච්චර එලට ලිව්වාද කියනවා නම් අපි විමලේට වහ වැටුණෙමු. විමලේ ලිව්වේත් එසේ මෙසේ පත්තරයකට නොව එල පත්තරයකටය. ඒ පත්තරය දේශපාලනිකව කිට්ටුවන්ත වූයේ එල පක්ෂයකටය. කොටින්ම කියනවානම් එය එල අතීතයකි.

මේ අතීතකාමය හෙන භයානකය. මොකක්හරි ලියන්න යනකොට අතීතකාමය මැක්කා සේ එල්ලෙයි. එතකොට ලියන්න හදන දේ ගඟේ යයි. ඉතින් යළි විමලේට එමු. විමලේ ඒ කාලයේ පට්ට සමාජවාදියාය. අචපල (*කොන්දේසි සහිතයි) කොමියුනිස්ට්වාදියාය.  පිස්සු බම්ප් වෙන භෞතිකවාදියාය. විමලේ ඒ කාලයේ පන්සලේ පස් පෑගුවේ නැත. ආගම ජනතාවගේ අබින්ය කියා විමලේ පත්තරේ අකුරේ ලිව්වේය. එය ප්‍රබෝධ රහිත තත්ත්වයන්ගේ ප්‍රබෝධය බව මාක්ස් කීවැයි විමලේ ලියද්දී අපි පට්ට පන්ච් එකේ ඒවා කියෙව්වෙමු.

එහෙත් කාලය කියන්නේ අමුතු මෙව්වා එකකි. අමරසිරි පීරිස් මහත්තයා කියන්නැහේ කාලය හෙන නපුරුය. ශාලිත අබේවික්‍රම මහත්තයා කියන්නැහේ කාලය වෙනසක අරුම මවන්නේය. එහෙව් කාලය එල දේවල් බොහොමයක් වෙනස් කළේය. පන්සලේ පැත්ත පළාතේ ගිය නැති විමලේ එකමත් එක කාලයක සිට පන්සලේ ගැවසෙන්න පටන් ගත්තේය. ඇයි ඒ කියා ඇසූ විට විමලේ කීවේ උපක්‍රමික අර්ථයෙන් පන්සල් යන බවය. එහෙම කියූ විමලේ උපක්‍රමික අර්ථයෙන් අටපිරිකර පූජා කරන විට අපි අමාරුවෙන් හිත හදාගත්තෙමු.

එහෙත් කාලය සෑහෙන්න නපුරු විය. විමලේ පා ගමන් යන්නට පටන් ගත්තේය. අපිත් විමලේ පස්සෙන් ගියෙමු. විමලේ රතු කොඩිය වෙනුවට ජාතික කොඩිය වනන්නට පටන් ගත්තේය. අපිත් විමලේ අනුගමනය කරමින් ජාතික කොඩිය වනන්නට පටන් ගත්තෙමු. විමලේ දේශහිතෛෂී එක හැදුවේය. අපි විසිල් ගැසුවෙමු. කටවුට්වලින් දෑකැති මිටි විසි වී  ගියේය. ඒ වෙනුවට මුරගල් සඳකඩපහන් ගල්කණු පැමිණියේය. මේ සියල්ලම සිදු වුණේ උපක්‍රමික අර්ථයකිනි. මාර වැඬේ කියන්නේ ඒ අර්ථය ටික ටික අපට අමතක විය. ෂුවර් එකටම විමලේට ද එසේ වන්නට ඇත.

ජීවිතේ විප්ලවීය භාවිතාව ආරම්භ වූ දා ඉඳන් පන්සල් නොගිය විමලේට සාදුලා පිරිත් නූල් බැන්දෝය. අප පන්සල් ගියේ උපක්‍රමික අර්ථයෙන් වුවත් සාදුලා උච්ජිථං පච්ජිතං තුය්යන් ඛිප්පමෙව සමිජ්ජතු කිව්වේ උපක්‍රමික අර්ථයෙන් නොව සිරාවටම බව අපට කල්පනා වූයේ නැත. අප අටපිරිකර පූජා කළේ උපක්‍රමික අර්ථයෙන් වුවත් සාදුලා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වණ්ණෝ සුඛං බලං කීවේ සිරාවටම බව අපට කොහොමටවත් මීටර් වූයේ නැත. අන්තිමේ දී අපේ උපක්‍රමික අර්ථය ඇතුළේ අපි ආවාස ගෙවල් හදාගත්තෙමු. ඒ වන විට විමලේ ද අලු‍ත් වී සිටියේය.

විමලේ මහා සිංහලේ චේ ගුවේරා බවට පත්විය. ඔහුගේ නාදය රුහුණු පිහිටි මායා රට ගිගුම් දුන්නේය. විමලේ මානෙල් මල් ගෙනෙන්න යැයි කී විට අප හෙළයේ මහා රජුන් තැනූ වැව්වල දිගිලියේ මඩ කාගෙන ගොස් මානෙල් මල් කඩා ගෙනැත් රණවිරුවන්ට පූජා කළෙමු. මේ වන විට වැඬේ වකූර් වී තිබිණි. උපක්‍රමික අර්ථ අරවා මේවා අපට අදාළ වූයේ නැත. අපි එක හිතින්ම දැයේ දරුවන් වීමු. ඔය මැයි රැලිය දාටහෙම දෑකැත්තක් මිටියක් දැක්කොත් මිස අවුරුද්ද පුරාම අපි දැක්කේ මුරගල් පමණි.

විමලේ පන්සලේ පදිංචි විය. සාදුලා විමලේගේ බුදු ෆිට් එක විය. කොයි අර්ථයෙන් කීවත් ඒක හරිය. විමලේ පරණ පක්ෂයට ආයුබෝවන් කියා අලු‍ත් පක්ෂයක් හදාගත්තේය. එම පොලා පැනිල්ලත් එක්ක වෙනදාට වඩා නිදහසේ විමලේ තමන්ගේ ගමන ගියේය. අපි පරණ තැන්වලම නැවතී විමලේ දෙස බලා සිටියෙමු. හැබැයි අපිටත් හෙන ඩැමේජ් ගොඩක් සිදු වී තිබුණේය. විමලේ සාදුලා සමඟ ගොඩාක් ෆිට් විය. කොච්චර ෆිට් වුණාද කිව්වොත් විමලේ ජාතික සමඟිය සමානාත්මතාව පන්ති සටන සේරම අතහැර සිංහලේ කොල්ලා වී සිටියේය.

මහින්ද මහත්තයාට හද පත්ලෙන් කඬේ ගිය සහ යන විමලේගේ හද පත්ල හැබැයි මහින්ද මහත්තයා හිතනවාටත් වඩා ගැඹුරුය. මහින්ද මහත්තයා රිටයර් වෙන කාලෙක ගත        යුතු ටර්න් එක ගන්නට විමලේගේ හද ගැඹුරේ ප්‍රාර්ථනාවක් ඇති බව කාලයක් විමලේ දිහා බලන් උන්නු උදවියට රහසක් නොවේ. විමලේගේ ඇක්සන්ට් එක හොඳට ස්ටඩි කරන විට ඒවා සොයාගත හැකිය. මෙහෙව් පැතුම් මල්ලක් කරේ තබාගෙන යන විමලේ - සාදුලාගේ වීර පුතා විමලේ - ඊයේ පෙරේදා පන්සල් ගියේය. ඒ නුවර මල්වතු පන්සලටය.

පන්සල් පල්ලි කෝවිල් දේවාල ඔය මොකක් එක්කවත් පයිරු පාසානමක් අපට නැතත් මල්වතු පන්සල් ගිහින් විමලේ කාපු පරිප්පුව ගැන හීනි ආතල් එකක් අපට තිබේ. විමලේ දත මැදගෙන මල්වතු ගියේ යෝජිත ව්‍යවස්ථාව ගැන කේලම් කියා මල්වත්ත අවුස්සා ලකුණු දමාගෙන වීරයා වන්නටය. එහෙත් අවසානයේ සිද්ධ වූයේ මල්වත්ත අබියස කිච වෙන්නටය. “මහනායක හාමුදුරුවනේ, බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්නට යනවා” කී විට “නැහැනේ එහෙම වෙන්නෙ නැහැයි කියල පොරොන්දු වෙලා තියෙනවනේ” යනුවෙන් ද ;

“බෙදුම්වාදයට තල්ලු‍ව දෙන වගන්ති එන්න පුළු‍වන්” කී විට “ඒක ඔබතුමන්ලාගේ සැකයක් විතරනේ” යනුවෙන් ද පිළිතුරු ලැබිණි.

සාදුලා කියන ඒවා ගැන අපට නම් තඹ සතේක විශ්වාසයක් නැත. ඒවා දෙවැනි වන්නේ දේශපාලකයන්ගේ කතාවලට පමණි. එහෙයින් ඒගොල්ලන්ට සහතික දෙන්නට අප ඉක්මන් වන්නේ නැත සහ උවමනාවකුත් නැත. හැබැයි, මල්වත්තේ සිට රට ගිනි තියන්නට වෑයම් කළ විමලේට වැදුණේ කිස් කන පහරකි. ඒ සාදුලා හෙට මොනවා කරාවිදැයි අප දන්නේ නැතත් විමලේට දුන්නු ෂොට් එක ඓතිහාසිකය. රතු කොඩි දෑකැති මිටි පසෙකලා පන්සලයි සිංහ කොඩියයි ලොකු කරගත් විමලේට පන්සලකින්ම ලැබුණු මේ පරිප්පු සංග්‍රහය සෑහෙන වටිනා දෛවෝපගත එකකි. ජාතිවාදය අවුස්සන්නට ගිය විමලේ ඇඩ්‍රස් අහිමිව කොළඹට සම්ප්‍රාප්ත විය.

අපට වෙච්ච දේවල්වලට විමලේ වගකිවයුතුවාක් මෙන්ම විමලේට වෙච්ච දේවල්වලට අප ද වගකිව යුතුය. විමලේලා උපක්‍රමික අර්ථයෙන් කියා අමන මරි මෝඩ දුෂ්ට කාලකණ්ණි ආස්ථානයන් වෙත පසුබසින විට “ඕයි ඕක වැරදියි” කියාගන්නට අපට බැරි විය. එසේ බැරි වූවා පමණක් නොව ඒ ආස්ථානයන් පස්සේ වැටී නිවැරැදි කරනු බැරි වැරැදි ගොඩකට කර ගැසුවෙමු. අන්න ඒ  නිසා, මෙන්න මේ මොහොත යනු, විමලේ අපටත් අප විමලේටත් සොරි කියා ගත යුතු අසිරිමත් අවස්ථාවකි. සොරි කොම්රේඩ් !

- විමල් කැටිපෙආච්චි
Read more
Saturday, September 24, 2016
විජේතුංගයි චන්ද්‍රිකයි රනිල්ට කළ දේම මෛත්‍රිත් කරයිද -  උපුල් ජෝශප් ප්‍රනාන්දු

රාජිත සේනාරත්න මෛත්‍රි - රනිල් දීගයට කපුකම් කළ අයගෙන් නොම්මර එකේ කපුවෙකි. ඔහු මේ සතියේ බේරුවලදී කියා තිබුණේ තමා මෛත්‍රි සහ රනිල් අතර මේ දිනවල පාලමක් හදන බවත්, ඒ පාලම කොන්ක්‍රීට් දමා ශක්තිමත් කරන බවත්ය. මේ අතර අර්ජුන රණතුංග කියා තිබුණේ මෛත්‍රි සහ රනිල් කොටවන කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවය.

'මේ කතාවල තේරුම කුමක්ද....?'
'මෛත්‍රි - රනිල් දීගය හබක්ද...?'
රනිල් ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ අගමැතිකම් කළ නායකයෙකි. පළමු වරට ඔහු අගමැති වූයේ ඩී.බී. විජේතුංග ජනාධිපති වූ විටදීය. ප්‍රේමදාස ඝාතනය වූ වේලාවේ ඩී.බී. ව ජනාධිපති ධුරයට පත් කරන්න රනිල් ලොකු වැඩ කොටසක් කළේය. එසේම වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දුන් ඩී.බී. පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් කරන්නත් රනිල් බැහැල ගේම ගැහුවේය. ඒත් වැඩි දවසක් ගියේ නැත. එජාපය තුළ රනිල්ගේ දේශපාලන හතුරෙක් වූ ගාමිණී දිසානායක ජනාධිපති මන්දිරයට රිංගන්න පටන් ගත්තේය. ගාමිණී ඇතුළු එජාපය කඩාගෙන ගිය ප්‍ර.එ.ජා.පෙ. කණ්ඩායම යළි එජාපයට එකතු කර ගන්න ඩී.බී. ට වුවමනා විය. ගාමිණීව යළි එජාපයට එකතු කර ගන්නවාට රනිල් දැඩි සේ විරුද්ධ විය. ඔහු එවකට පක්‍ෂ ලේකම් සිරිසේන කුරේ සමඟ එක්වී ගාමිණී එජාපයට එක් වීමේ උත්සාහය කඩාකප්පල් කළේය. ගාමිණී එජාප සාමාජික කාඩ්පතක් ගෙන එජාපයට එක් විය යුතු යැයි කොන්දේසි දැම්මේය. එසේම ගාමිණී එජාපයට ඒමට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ඉල්ලුවේය. රනිල් සහ කුරේ ගාමිණීට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් දෙන්න ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කළ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් හමු වී ඔවුන්ට ඉල්ලා අස් නොවෙන ලෙසට බලපෑම් කළහ. ඒත් ගාමිණී කෙසේ හෝ එජාපය තුළට ඇවිත් පාර්ලිමේන්තුවට ඇතුළු වී ඇමැතිකමක්ද ගෙන විජේතුංගගේ දේශපාලන ගමන තීරණය කරන්නා බවට පත් විය. 1994 මහ මැතිවරණයේදී ගාමිණී අගමැති වෙන්න හීන මැවූ අතර මහ මැතිවරණ පරාජයට පසු විපක්‍ෂ නායක ධුරයට පත් වූයේ විජේතුංගගේ ආශීර්වාදය ඇතිව රනිල්ව විපක්‍ෂ නායක ඡන්දයෙන් පරාජය කරමින්ය. මේ විජේතුංග - ගාමිණී දීගය නිසා විජේතුංග - රනිල් දීගය හබක් වී රනිල්ට අගමැති ධුරයත් නැති විය.

යළි 2001 රනිල් අගමැති වන්නේ චන්ද්‍රිකා ජනාධිපති ධුරය දරද්දීය. ඒ වේලාවේ රනිල් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරාජය කර අගමැති ධුරයට පත් වුවත් මුල් කාලයේ චන්ද්‍රිකා රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දුන්නාය. රනිල්ගේ ආණ්ඩුව විනාශ කරන්න චන්ද්‍රිකාගේ ඔළුවට විස බීජ දමන්නේ මංගලය. මංගල ඒ සඳහා ජනාධිපති මන්දිරයට රිංගවන්නේ ජවිපෙය. ජවිපෙ රට පුරා රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන්න පොරොන්දු වන අතර විරෝධතා උණුසුම් වෙද්දී චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවන්න ඕනෑ කියන තැනට චන්ද්‍රිකාව එකඟ කර ගනු ලැබීය. රනිල්ගේ ආණ්ඩුව විනාශ කළ යුතුය යන විසබීජය චන්ද්‍රිකාගේ ඔළුවට දමන්න මංගල, අනුර සහ චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත කදිරගාමර්ද එක් කර ගනු ලැබීය. මේ වෙන කොටත් චන්ද්‍රිකා තමා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බවට රනිල්ට පමණක් නොව ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවටත් සහතිකයක් දී තිබිණි. කතානායක ජෝෂප් මයිකල් පෙරේරාට ලිඛිත සහතිකයක් දී තිබිණි. චන්ද්‍රිකා එලෙස සහතික දුන්නේ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නැති බවට රනිල්ව එකඟ කර ගෙනය. එසේම ශ්‍රී ලනිපයෙන් මන්ත්‍රිවරු කඩන්නේ නැති බවටත් රනිල්ව එකඟ කරගෙනය.
ඉන්දියාව සහ ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් හරහා ආ මෙම එකඟතාව නිසා රනිල් හිතුවේ චන්ද්‍රිකා තම ආණ්ඩුවට අත නොතියයි කියාය. 2002 පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රී ලනිපය අන්ත පරාජයක් ලබා තිබූ අතර පවත්වන්න නියමිතව තිබුණේ පළාත් සභා ඡන්දයය. පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් ශ්‍රී ලනිපය යළිත් අන්ත පරාජයක් ලබන බව චන්ද්‍රිකා දැන සිටියාය. එය දැන පළාත් සභා ඡන්දය කල් දමන්න චන්ද්‍රිකා රනිල්ව එකඟ කර ගෙන තිබිණි. පළාත් සභා අහෝසි කරන්න පක්‍ෂ දෙකම එකට එක් වී ක්‍රියා කරමු කියා චන්ද්‍රිකා රනිල්ට ලණුවක්ද දී තිබිණි.

2004 පෙබරවාරි 04 නිදහස් දිනයේ චන්ද්‍රිකා නිදහස් උළෙලට ආවේ බොහොම ප්‍රීිතියෙන්ය. නිදහස් දින උළෙලට ආ රනිල් සමඟ ඇය විහිළු තහළු කරමින් සිනාසුණාය. මේ වෙන කොටත් චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවන බවට මංගල සහ ජවිපෙට පොරොන්දු වී තිබිණි. ඒත් මංගලට සහ ජවිපෙට සැකයක්ද තිබිණි. නිදහස් දින උළෙල අවසන් වූ විගස අනුර ප්‍රකාශයක් කරමින් කීවේ මගේ අක්කා බෙල්ල කපන්නේ හිනා වෙවී කියාය. මගේ අක්කා වැඩියෙන් හිනා වීම භයානක යැයි කියාය.

එවකට රනිල්ගේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගත් එස්.බී., ජී.එල්. වැනි අය රනිල්ට අනතුරක් ඇති බව පෙන්වා දුන්හ. ඒත් රනිල් ඔවුන්ගේ කතා මායිම් කළේ නැත. එදින රනිල් බෙන්තොට නිවාඩු නිකේතනයට ගියේ සති අන්තය විවේකීව ගත කරන්නටය. ඒත් රනිල්ට දිගින් දිගටම දුරකතන ඇමැතුම් ලැබිණි. එස්.බී. ඒ වේලාවේ චන්ද්‍රිකාට එරෙහිව දෝෂාභියෝගයක් සකස් කරමින් තිබිණි. එයට අස්සන්ද එකතු කරමින් තිබිණි. එස්.බී. මෙය රනිල්ට කියන්න බය විය. එස්.බී. එය රනිල්ට දැනුම් දෙන වැඩේ භාර දුන්නේ වී.ජ.මු. ලොකු බණ්ඩාරටය. වී.ජ.මු. - රනිල්ට කතා කළේය. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රයට අස්සන් කරන්න සූදානමින් සිටින බවත්, රජයේ මුද්‍රණාලයේ දැඩි ආරක්‍ෂාවක් තබා ගැසට් පත්‍රය මුද්‍රණයට සූදානම් වෙන බවත් ඔහු කීවේය. ඒත් රනිල් හිතුවේ චන්ද්‍රිකා ඉන්දියාවට, ඇමෙරිකාවට දුන්න වචනය කඩ කරන්නේ නැහැ කියාය. ටික වේලාවකින් කතානායක ජෝශප් මයිකල් කතා කර කීවේ චන්ද්‍රිකාට එරෙහිව දෝෂාභියෝගයක් එස්.බී. ලා අස්සන් කරන බවත්, චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවදානමක් තියෙන නිසා තමා එය භාර ගත යුතු යැයි තමාට හිතෙන බවත්ය. රනිල් එස්.බී. ලාට ඉවසීම නැති බව කියමින් චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බව තමාට සහතික යැයි කීවේය. එස්.බී. දෝෂාභියෝගය අකුළා ගත්තේය. එදිනම මධ්‍යම රාත්‍රියේ රනිල්ගේ ‍ෙදාරට තට්ටු කළ ආරක්‍ෂක නිලධාරියා චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා ඇතැයි කීවේය. රනිල්ට දෙවැනි වරටත් අගමැති ධුරය අහිමි විය.

රනිල් තෙවැනි වරට අගමැති වුණේ මෛත්‍රිව ජනාධිපති කරලාය. රනිල් තමාව ජනාධිපති කරන්න කැප වූ හැටි 2015 සැප්තැම්බර් 6 එජාප සම්මේලනයේදී මෛත්‍රි රහසක් හෙළි කරමින් කීවේ මෙසේය.
"දෙවැනි සිද්ධිය ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක දිනය වූ ජනවාරි 5දා. එදා මම මාතර, ගාල්ල, කළුතර, මොරටුව රැස්වීම් ඉවරකරලා ආවේ මරදාන රැස්වීමට. ඒත් ආරක්‍ෂක අංශ මාව ගෙනගියේ මගේ නිල නිවෙසට. මරදාන රැස්වීමට යන එකට ආරක්ෂක නිලධාරීන් තදින්ම විරුද්ධ වුණා. මගේ රියැදුරුත් යැව්වා. මම විතරයි නිවෙසේ හිටියේ. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කතාකර විමසුවා මරදානේ රැස්වීමට එන්නේ නැද්ද කියලා. මම කිව්වා එන්න විදියක් නෑ රියැදුරත් නෑ කියලා. කවුරුත් ඕන නැහැ ඔබතුමා ඔහොම ඉන්න මම එන්නම් කියලා එතුමා කීවා. ටික වෙලාවකින් එතුමා පැමිණ මාව මරදානේ රැස්වීමට කැඳවාගෙන ගොස් වේදිකාවේ ආරක්ෂක කුටියක මාව රැඳවූවා.

ඉන්පසු වික්‍රමසිංහ මැතිතුමා ජනතාවට දෑත් ඔසවා ආචාර කරමින් රැස්වීම් භූමිය වටේම ගියා. ආපසු වේදිකාවට ආපු එතුමාව මම එදා දැක්කේ අවුරුදු 20 - 25ක කොලු ගැටයෙක් විදියටයි. එතුමා මාව වේදිකාවේ තියල ජනතාව අතරට ගිහින් පෙන්නුවේ ඔබට අපේ රැස්වීමේ කිසි අනතුරක් නැහැ වගකීම මම භාර ගන්නවා කියන කාරණාවයි. අවුරුදු 20 - 25ක කොල්ලෙක් වගේ ඒ තරම් තරුණ විදියට එතුමා ඒ වෙලාවේ හැසිරුණේ."

දැන් මෛත්‍රි ජනාධිපති වී මේ නොවැම්බරයට වසර දෙකකි. රනිල් අගමැති වී ද වසර දෙකකි. දැන් මෛත්‍රිගේ පැජට් පාරේ ජනාධිපති මන්දිරයට ශ්‍රී ලනිප ප්‍රබලයන් රිංගන්නේ එදා විජේතුංගගේ කාලයේ ජනාධිපති මන්දිරයට ගාමිණීලා රිංගුවා වගේය. 2002 - 2003 චන්ද්‍රිකාගේ ජනාධිපති මන්දිරයට මංගලලා, ජවිපෙ රිංගුවා වගේය. තනි යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදමු කියා රනිල්ගේ අරලියගහ මන්දිරයටත් කට්ටිය රිංගයි. මහින්දගෙන් මන්ත්‍රිවරුන් ගෙන මෛත්‍රිව ඉවර කර ජනාධිපතිකම ගමු යැයි කියන අයත් අරලියගහ මන්දිරයේ අහුමුලුවල හැංගිමුත්තන් කෙළිති.
"රාජිත පාලම් හදන්න යන්නේ ඒකද...?"

"විජේතුංග, චන්ද්‍රිකා රනිල්ට ගහපු ගේම මෛත්‍රිත් ගහයිද...?"
ශ්‍රී ල.නි.ප. සම්මේලනයේ තේමා පාඨය ශ්‍රී ල.නි.ප.ය හොඳ අතටය.
"ඒ කියන්නේ රනිල්ගේ ග්‍රහයා නරක අතටද?"
ඒක දන්නේ මෛත්‍රි විතරමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Saturday, September 3, 2016
අතීසාරයට අමුඩය ගසා හුජ්ජෙන් පුක හෙදීම

මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් දෙපිල බෙදී මරාගන්නා කණ්ඩායම් දෙකක් දක්නට ලැබෙනවා. එක කණ්ඩායමක් අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව හඩ නගන අන්තරේ ප්‍රමුඛ ඊනියා වාමවාදී කණ්ඩායමයි. අනිත් කණ්ඩායම බස් ගැමුණුලා ප්‍රමුඛ තක්කඩි වාම සිව්ල් සංවිධාන එකමුතුවයි.
මේ දෙපිරිසම මතවාදීව ගත්කල සමානයන්ය. නමුත් අධ්‍යාපනය සම්බන්ධ මෙම ගැටලුවේදී මොවුන් දෙපිල බෙදී මරාගනු ලබයි. මේ දෙපාර්ශවයටම අධ්‍යාපනය සම්බන්ධ සත්‍ය ගැටලුව මගහැරී ඇති අතර ඔවුන් අනවරතව අරගල කරන්නේ තත්‍යසමාන ( virtual ) ගැටලුවක් නිරාකරනය කරනු පිණිසය.
පෟද්ගලික වෛද්‍ය විදාලයට එරෙහිව කඩුපොලු අමෝරා දිවිහිමියෙන් සටන් කරන පිරිස සහ මාලබේ වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදය වෙනුවෙන් කඩේ යන දෙපිරිස අතර ඇති එකම සමානකම වන්නේ මේ දෙපිරිසමම වෛද්‍ය වෘත්තිකයන් වෙනුවෙන් කඩේයාමය. දෙමාපිය සංසදය වෙනුවෙන් පෙනීසිටින ගැමුනු විජේරත්න සහ ගාමිනි වියන්ගොඩ යනු පසමිතුරැ බලවේග දෙකකි. ජනවාරි 8ට පෙර මේ දෙදෙනා ජම්මාන්තර වෛරකාරයන්ය. නමුත් සයිටම් වෙනුවෙන් එකට කඩේයාම ලැජ්ජාවට නොව ආඩම්බරයට කරැණකි.
ඇත්තටම පසුගිය දවසක කුසල් පෙරේරා පවසා තිබුනේද මාලබේ වෛද්‍ය විද්‍යාලයට විරැද්ද වන අය කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට විරැද්ධ නොවන්නේ මන්ද යන්නය. රෑපවාහිනි වැඩසහන් වලට පැමිනෙ අය අනිමාර්තයෙන් මාලබේට කඩේ යන්නේ ලංකාවේ වෛද්‍යවරැන් ගමේ ගොඩේ බයියන් වන බවත් ඔවුන්ට වෛද්‍ය වෘත්තිය ඊට වඩා වැඩි දෙයක් වන බවත් වැනි දෑ පවසමිනි. ඒ අනුව මාලබේ වෙනුවෙන් පෙනි සිටින දෙමාපිය හා විද්වත් සංසදය මෙන්ම අන්තය ප්‍රමුඛ අනිත් කදවුරද ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සැබෑ ගැටලුව මගහැර යන්නේ අහම්බයෙන් ද?
පෞද්ගලික වෛද්‍ය වෘත්තියට විරැද්ධ වන අය පෞද්ගලික රෝහල් වලට විරැද්ධ වන්නේ නැත. වෛද්‍යවරැන් පුද්ගලිකව හම්බකරනවාට විරැද්ද නැත. සයිටම් වෙනුවෙන් කඩේ යන තක්කඩ් රතනප්‍රියලා වියන්ගොඩලා තවමත් ප්‍රගතිශීලීන්ය. ගූ ගොඩක් අයිසින්කර අනුභව කරන මේ හාන්සිපුටු ප්‍රගතිශීලීන් සයිටම් හැර වෙනත් අවස්ථාවන් වල එකම කදවුරකය. ඇත්තටම සයිටම් එකට විරැද්ධ වන හා පක්ෂ වන කිසිවකුත් ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සැබෑ තක්කඩ්කම් හා ජාවාරම් ගැන කතා කරන්නේ නැත. මෛත්‍රීපාල රාජිත පමණක් නොව පෙරසිටි සෞඛ්‍ය ඇමතිලාද කම්බ තක්කඩියන්ය. සෞඛ්‍ය ඇමතිලාට දොලපිදේනි දෙන්නේ බෙහෙත් ජාවාරම්කරැවන්ය. මාලබේ එපා යැයි කියා කෑගසන අය කතා නොකරන්නේ බෙහෙත් සමාගම් වලින් අලුත් කාර් ගන්නට මෙඩ්කල් රෙප්ලාගෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් ක්‍රමයට රෝගීන්ට බෙහෙත් ලබා දෙන විශේෂඥ වෛද්‍යවරැන් බිහි වුයේ මාලබෙන් නොව නිදහස් අධ්‍යාපනයෙන් බවය. මාලබේ නිසා සිදුවන්නට නියමිත වන්නේ දැනට ජාතික මටිටමින් සිදුවන බෙහෙත් ජාවාරම ජාත්‍යන්තරකරණවීම පමනි.
දැනට ආණ්ඩුවේ රෝහල් කියන්නේ හිරගෙවල්ය. රෝගීන්ට දොස්තරලා කතා කරන්නේ හිරකරැවන්ට ජේලර්ලා කතා කරන ආකාරයටය. රෝගියෙකු තම රෝගයට ලබාදෙන ඖෂධ ගැන කතා කරන විට වෛද්‍යවරයා ආසා කරන්නේ රතුපාට පෙත්ත කොලපාට පෙත්ත කියා කියනවාටය. බෙහෙත් වල නම කියනවාට දොස්තරලා අකමැතිය. ඔවුනට අනුව දොස්තර රස්සාව යනු දෙවියන්ගේ කැමැත්ත මත පෙරකල පිං බලයෙන් ලද රැකියාවකි. ඉතිං එවන් රැකිවයක ඇති දෑ ගැන නූගත් මිනිසුන් කතා කරන්නේ කෙසේද? මේ ආකාරයට හැසිරෙන අය බිහිවන්නේ නිදහස් අධ්‍යාපනය නිසා මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් නොවේ. මාලබේ වෛද්‍ය සිසුන්ට අනුව වෛද්‍ය වෘත්තිය යනු වෙළෙදාමකි. ලාභ තර්කණය මුල්කරගත් ධනවාදී භාවිතාවකි.ඒ නිසාම ඔවුන් උත්සහ කරන්නේ වැඩියෙන් මුදල් ඉපයීමටය.ඒ අනුව ඔවුන් තෝරාගැනීමට නියමිත රජයේ රෝහල් නොව වැඩිපුරම වැටුප් ගෙවන පෞද්ගලික රෝහල්ය. ප්‍රමිතිය අතින්ගත්කල මේ විශ්ව විද්‍යාල මෙන්ම ආණ්ඩුවේ විශ්ව විද්‍යාල පවා සිටින්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ඉතා පහලම තැනකය.
ධනවාද තුල සමාජවාදී විසදුම් සොයන වාමාංශිකයන් මෙන්ම බොරැ සිව්ල් සංවිධාන තක්කඩියන් කියන කතා නිසා වල්මත් වී සිටින සමාජයේ බහුතරයකට රෝගීන්ගේ ජීවිතය ගැන නොව තමන් දරන මතවාදය දිනවීම එකම ගැටලුවයි. පළාත් සභා වලට පොලිස් බලතල ලබා දෙනවාට විරැද්ධව හඩ නගන අය ජාතික පොලීසියට විරැද්ධ හඩ නගන්නේ නැත. ඒ කියන්නේ මේ අයට ඔලුපලා ගන්නට අවශ්‍ය ජාතික පොලීසියේ බැටන් පොල්ලයි.මේ ආකාරයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරැද්ධ වන අය ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ රෝහලකම වෛද්‍ය නොසැලකිල්ල නිසාම මැරෙන්නට අවස්ථාව ලබාදෙන ලෙසද?

තුෂාර දස්කොන් -
Read more
Sunday, August 14, 2016
පුවතින් නොකී පුවත්... අනුර කුමාරගේ කිඹුල් කඳුළු

පසුගිය සතියේ ජනතා විමුක්‌ති පෙරමුණ විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම පක්‌ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා "ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමට රාජපක්‌ෂ කල්ලිය රනිල් සමඟ ඩීල් එකක්‌ දමා ඇති බව" ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශය අනුව නම් පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩවේද යන කාරණය පිළිබඳව දිසානායක මහතා බලවත් කනගාටුවකින් පසුවන බවකි. දිසානායක මහතාගේ ප්‍රකාශය මතුපිටින් බැලූ කල එසේ පෙනී යා හැකි වුවත් ඒ මහතාගේ ජනතා විමුක්‌ති පෙරමුණ අතීත ක්‍රියාකලාපය අනුව එසේ සිදුවීමට ඉඩ ඇත්ද යන්න විමසා බැලිය යුතුය.

මෙරට ක්‍රියාත්මක දේශපාලන පක්‌ෂ අතරින් හැකි ඉක්‌මනින් බලය අල්ලා ගැනීමේ ෙච්තනාවෙන් ක්‍රියාත්මක දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ හඳුන්වාදිය හැක. එම කාරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන උපාය වී තිබෙන්නේ පළමුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ වඩා පැරණි සහ අලුත් වාමාංශික පක්‌ෂ පළමුව විනාශ කර එම දේශපාලන පක්‌ෂ හිමිකර ගෙන තිබෙන ස්‌ථානය හිමිකරගෙන, දෙවනුව අවසාන සටන එක්‌සත් ජාතික පක්‌ෂයත් සමඟ කිරීමය. එම පක්‌ෂ ආරම්භයේ සිටම එම උපායට අනුව කටයුතු කර ඇති අතර වත්මන් නායක දිසානායක මහතාගේ නායකත්වය යටතේ එම මාර්ගයේම ගමන් ගන්නා අයුරු දැකගත හැක.

ජනතා විමුක්‌ති පෙරමුණ 1977 න් පසු යුගයේදී "ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ගමනක අවසානය" මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක්‌ සංවිධානය කර ඇත. ජ. වි. පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට එරෙහිව එම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර ඇත්තේ එම පක්‌ෂය විපක්‌ෂයේ සිටියදීය. එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවක්‌ බලයේ සිටියදී විපක්‌ෂයේ සිටිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට පහර දී ඇත්තේද ඉහත සඳහන් කළ උපායට අනුව පළමුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විනාශ කර දෙවනුව එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ අවසන් සටන කිsරීම සඳහාය.

1980 දී පැවති වැඩ වර්ජනයේදී එම පක්‌ෂය කටයුතු කර ඇත්තේ එම අදහස පෙරදැරිව බව පෙනී යයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවට එරෙහිව පැවති එම වැඩ වර්ජනයට නායකත්වය දී ඇත්තේ පැරණි වමේ පක්‌ෂ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයයි. එම පක්‌ෂ පිළිබඳව විශ්වාසය තැබිය නොහැකිය යන චෝදනාව ඉදිරිපත් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ එම වැඩ වර්ජනය මඟහැර ඇත. එහි අනියම් වාසිය පැවති ආණ්‌ඩුවට හිමි වී ඇත. එම වැඩ වර්ජනයේදී ජනතා විමුක්‌ති පෙරමුණ එලෙස කටයුතු කර ඇත්තේද පළමුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සහ වමේ පක්‌ෂ විනාශ කළ යුතුය යන න්‍යාය අනුව යමින් බව පැහැදිලිය.

එම කාල සීමාවේදී බලයේ සිටිය එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවද එම න්‍යාය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කර ඇති බව පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සහ වමේ පක්‌ෂවලට රැස්‌වීම් පැවැත්වීමට ලබා නොදුන් කොළඹ මහ නගර සභාවේ පිටිය පවා ජනතා විමුක්‌ති පෙරමුණේ රැලිවලට ලබා දෙමිනි.

1994 න් පසු යුගයේදීද ජනතා විමුක්‌ති පෙරමුණ සිය සුපුරුදු උපාය අනුවම කටයුතු කර ඇති බවට ඇති හොඳම උදාහරණය වන්නේ 2005 ජනාධිපතිවරණයය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව එම මැතිවරණය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තරග කිsරීමට නොහැකි වූ බැවින් ඇයගේ අනුප්‍රාප්තිකයා කවුද යන්න පිළිබඳව විවිධ යෝජනා ඉදිරිපත් වී තිබුණි. 2005 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්‌ෂකයා මහින්ද රාජපක්‌ෂ මහතා විය යුතු බව බහුතර ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගේ අදහස වුවත් එම අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත ලිපියක්‌ යොමු කරමින් පළමුව ලක්‌ෂ්මන් කදිරගාමර් මහතාගේ නමත්, දෙවනුව අනුර බණ්‌ඩාරනායක මහතාගේ නමත්, තුන්වනුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමත් යෝජනා කර තිබුණි. එම අවස්‌ථාවේදී ජනතා විමුක්‌ති පෙරමුණ මහින්ද රාජපක්‌ෂ මහතාගේ නම වෙනුවට වෙනත් නම් යෝජනා කරන ලද්දේද සිය සුපුරුදු උපාය අනුවම යමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදීද ජනතා විමුක්‌ති පෙරමුණ මහින්ද රාජපක්‌ෂ මහතාට විපක්‍ෂව පොදු අපේක්‌ෂකයකු වෙනුවෙන් කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ විනාශය අපේක්‌ෂාවෙන් බව කෙළින්ම පැහැදිලි වන්නේ එම මැතිවරණයෙන් පසුව පැවැත් වූ මහමැතිවරණයෙන් පසුව එම පක්‌ෂය විපක්‌ෂ නායක ධුරය අපේක්‌ෂා කළ බැවිණි. 2015 දී පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‌ෂ මහ පරාජයට පත් වුවහොත් එක්‌සත් ජාතික පක්‌ෂයේ ආණ්‌ඩුවක්‌ බලයට පත්වන බවත් ඒ සමඟම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට විපක්‌ෂ නායක කම හිමිවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත. එම පසු බිම තුළ ජනතා විමුක්‌ති පෙරමුණ විපක්‌ෂ නායකකම අපේක්‌ෂා කළ හැක්‌කේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අන්ත පරාජයකට පත්වන්නේ නම් පමණි. ජනතා විමුක්‌ති පෙරමුණ එබඳු අපේක්‌ෂාවකින් පසු වූයේ මෛත්‍රිපාල සිsරිසේන මහතා පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට එබඳු ඉරණමක්‌ අත්වන බවට ඔවුන් තුළ වූ තක්‌සේරුව නිසා බව පැහැදිලිය.

ජනතා විමුක්‌ති පෙරමුණ අද දවසේද කටයුතු කරන්නේ සිය සුපුරුදු උපායට අනුව බව පැහැදිලිය. එම පක්‌ෂය ආණ්‌ඩු පක්‌ෂයේ සිටින එ.ජා. පක්‌ෂයේ ආණ්‌ඩුවට වඩා විපක්‌ෂයේ සිටිය මහින්ද රාජපක්‌ෂ මහතා විවේචනය කරන්නේ එම නිසාය. 2005 ජනාධිපතිවරණයට පෙර මෙන් අදත් ජනතා විමුක්‌ති පෙරමුණ මහින්ද රාජපක්‌ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දේශපාලන නායකත්වයෙන් ඉවත් වෙනවා දකින්නට කැමැත්තෙන් පසුවන බව පෙනේ. ඒ ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළොත් තම අරමුණ ඉටු නොවන බව ජනතා විමුක්‌ති පෙරමුණ දන්නා නිසාය. නමුත් එය ප්‍රසිද්ධියේ පැවසිය නොහැක. ඒ බව පැවසිය නොහැකි ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමට රාජපක්‌ෂ කල්ලිය රනිල් සමඟ ඩීල් එකක්‌ දමා ඇති බවය. ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා එසේ ප්‍රකාශ කරන්නේ රනිල් සමඟ ඩීල් එකක්‌ දමා තිබෙන බව ප්‍රකාශ කර හෝ මහින්ද රාජපක්‌ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විනාශ කිරීම සඳහාය. එසේ නොමැතිව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ වනවාට ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා අවංකවම කනගාටුවන බව සිතන්නට ඔහුගෙත් ජනතා විමුක්‌ති පෙරමුණේ ඉතිහාසය අපට ඉඩ දෙන්නේ නැත.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
Read more
Thursday, July 28, 2016
පාද යාත්‍රාවට මෛත්‍රි දමපු වෙට්ටුව - උපුල් ජෝශප් ප්‍රනාන්දු

මෛත්‍රි සහ රනිල් අපූරු වෙට්ටු දෙකක් දැම්මේය. පළමු වෙට්ටුව එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. හවුල් ආණ්ඩුව දික් කිරීමට සාකච්ඡා කරන බවට කළ ප්‍රකාශයය. එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. හවුල් ආණ්ඩුවේ කාලය දික් කරන බවට කළ ප්‍රකාශයට මහින්ද කොයි තරම් බය වෙලාද කියනවා නම් ඒ ගැන තවම තීරණයක් ගෙන නැතැයි මෛත්‍රි තමන් හමුවීමේදී ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්‍ෂය පවසා තිබිණි.


මහින්දලා මේ පාද යාත්‍රා යන්නේ ආණ්ඩුව වට්ටවන්න නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 113ක් හදාගත යුතුය. ශ්‍රී ල.නි.ප.යට ඉන්නේ 95ය. එයින් කොටසක් ඉන්නේ එ.ජා.ප. ශ්‍රී ල.නි.ප. හවුල් ආණ්ඩුවේය. ඔවුන් හවුල් ආණ්ඩුවෙන් එළියට ගන්න බැරි නම් දවස් 365ම පාද යාත්‍රා ගියත් ආණ්ඩුව වට්ටවන්න බැරිය. ඔවුන් හවුල් ආණ්ඩුවෙන් එළියට ගත්තත් තව මන්ත්‍රිවරු 18ක් ආණ්ඩුවක් හදන්න ඕන වේ. ඒකට සුළු ජාතික මන්ත්‍රිවරු බා ගන්න ඕනෙය. හැබැයි අද මහින්ද එක්ක ජාතිවාදී විමල්ලා, දිනේෂ්ලා ඉන්නකම් සුළු ජාතික පක්‍ෂ බා ගන්නවා බොරුය. ඒත් මහින්දලා හිතන්නේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි 95 එකට එකතු කර ගත්තොත් සුළු ජාතික මන්ත්‍රිවරු බා ගන්න පුළුවන් කියාය.


එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. හවුල් ආණ්ඩුවේ කාලය දික් කරනවා කියා ශ්‍රී ල.නි.ප. ලේකම් කළ ප්‍රකාශයෙන්ම මහින්දලාගේ ඒ හීනය බිඳ වැටී තිබේ. මහින්දලා පාද යාත්‍රාව පටන් ගත්තේ පාද යාත්‍රාව මැදදී හවුල් ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් එකා දෙන්නා පාද යාත්‍රාවට එකතු කර ගන්නටය. දැන් වැඩේ වැරැදී තිබේ. හවුල් ආණ්ඩුව දිගට යනවා කියන්නේ තව අවුරුදු ගාණක් ඒකාබද්ධ විපක්‍ෂයට වොයිස් කට් දිදී ඉන්න සිදු වීමය.


ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න චරිත දිහා බැලුවම විපක්‍ෂයේ ඉන්න ඉවසීමක් තියෙන අය එතැන නැත. මේ ලෙඩේ වසර 17ක් ආණ්ඩු කරලා විපක්‍ෂයට ගිය එ.ජා.ප.යටත් හැදුණි. එකල එ.ජා.ප.යේ සිටි විජයපාල මෙන්ඩිස්, නන්ද මැතිව් වැනි නායකයන්ට විපක්‍ෂයේ ඉන්න බැරි ලෙඩක් තිබිණි. ඒ අවුරුදු ගාණක් ඇමැතිකම් කරලා පුරුද්දය. මේ හැමෝටම ඉක්මනින් ආණ්ඩුවක් ඕනෑ විය. රනිල් ඉක්මන් ආණ්ඩුවක් හදන්න උනන්දු නොවූ නිසා ඔවුන් සිරිසේන කුරේ පසුපස ගියේ කුරේ ආණ්ඩුව පෙරළයි කියා හිතාගෙනය. චන්ද්‍රිකා කුරේව නිවාස අඩස්සියේ තබපු විට මේ හැමෝම වැටුණි. අවසානයේ හැමෝම ගිහින් චන්ද්‍රිකා ළඟ දණින් වැටිලා ඇමැතිකම් ගත්හ.


මේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නෙත් ඒ වගේ කට්ටියක්ය. ඔක්කෝටම කලින් ඇමැති මණ්ඩලය හදා ගත්තේ ඇමැතිකම් නැතිව ඉන්න බැරි නිසාය. අන්තිමේදී නැති ඇමැතිකම්වලටත් ගහගෙන ඇමැති මණ්ඩලය විසුරුවා ගත්තේය. ඉතින් හවුල් ආණ්ඩුව තව කල් යනවා නම් ඔවුන්ට තව කලක් අදින්න බැරිය. හවුල් ආණ්ඩුවේ කාලය දික් කරන කතාවෙන්ම පාද යාත්‍රා යන ඒකාබද්ධ විපක්‍ෂයේ කකුල් වෙව්ලන්න පටන් ගෙන තිබේ. මෛත්‍රි සහ රනිල් හවුල් ආණ්ඩුවේ කාලය දික් කරනවා කියා පාද යාත්‍රාවට වෙට්ටුවක් දමා ඇතැයි කීවේ ඒ නිසාය.


පාද යාත්‍රාවට දෙවැනි වෙට්ටුව දැම්මේ මෛත්‍රිය. ඒ පාද යාත්‍රාවට කලින් රාජපක්‍ෂලා නැතිව ඒකාබද්ධ විපක්‍ෂය හමු වීමෙනි. එහිදී මෛත්‍රි නොකියා කීවේ ආණ්ඩුවක් හදන්න ඕනෑ නම් නුවර ඉඳලා කොළඹට පාද යාත්‍රා හදන්න ඕනෑ නැහැ මගේ ළඟට වරෙල්ලා කියාය. ඒ වගේම ඇමැතිකම් ඕනෙ නම් පාද යාත්‍රා යන්න ඕනෑ නැහැ මම දෙන්නම් කියාය.


ඒකාබද්ධ විපක්‍ෂයට තියෙන ඇමැති ගාය මෛත්‍රි හොඳින් දනී. මොවුන්ගෙන් සමහරක් එ.ජා.ප.යෙන් ඇමැතිකම් දෙනවා නම් එ.ජා.ප. ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න සාකච්ඡා කරන බවත් මෛත්‍රි දනී. ඔහු රාජපක්‍ෂලා නැතිව ඒකාබද්ධ විපක්‍ෂයට එන්න කී විට ඒකාබද්ධ විපක්‍ෂය ඔහු හමුවට ගියේ කං කං බූරු චිං චිං නෝරු සෙල්ලමට ළමයි දුවන්නා වගේය. රාජපක්‍ෂලාට එම රැස්වීම දැනුම් දී නැති බව රැස්වීමට කලින් ඔවුන් දැන නොසිටියා විය නොහැකිය. මන්ද ඔවුන් එම රැස්වීමට යන්න පෙර එකිනෙකා කථිකා කරගෙන යන්න ඇත. රාජපක්‍ෂලාට රැස්වීමට ආරාධනා කර නැති බව දැන ගත්තේ රැස්වීමට ගිය විටදී නම් ඔවුන්ට රැස්වීමෙන් නැඟිට එන්න පුළුවන්කම තිබිණි. එහෙත් ඔවුන්ට ඇමැතිකම් ගන්න පමණක් නොව තම පෙර වැරැදි නොහොත් ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා වහගන්නත් මෛත්‍රිව ඕනෑය. රාජපක්‍ෂලා ඔවුන්ට එරෙහි චෝදනා වහ ගන්න තමන්ව පාවිච්චි කරන බව ඒකාබද්ධ විපක්‍ෂය දනී. ඉතින් තමන්ට එරෙහි දූෂණ චෝදනා වහගන්න රාජපක්‍ෂලා පාවිච්චි කිරීම වැරැදි නැතැයි ඔවුන්ද හිතනවා විය යුතුය. මෛත්‍රි සහ ඒකාබද්ධ විපක්‍ෂයේ රැස්වීමෙන් පේන්නේ ඒකාබද්ධ විපක්‍ෂය ඕනෑ මොහොතක රාජපක්‍ෂලා අතහැර මෛත්‍රි එක්ක ආණ්ඩු පිහිටුවන්න හෝ ඇමැතිකම් ගන්න සූදානම් බවය. මෛත්‍රි ඒ රැස්වීමෙන් පෙන්නුවේ ඒකට රාජපක්‍ෂලා එක්ක පාද යාත්‍රා ගිහින් නහින්න ඕනෑ නැහැ කියන එකය. මෛත්‍රි ඒකාබද්ධ විපක්‍ෂය තමන් ළඟට ගෙන්වා ගත්තේ හවුල් ආණ්ඩුවේ කාලය දික් කරනවා කියන තර්ජනය දමලාය.


කොහොමත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියෙන් පසු ඒකාබද්ධ විපක්‍ෂ චූන් වෙලා හිටියේ මෛත්‍රි - රනිල් දීගය ඉවර වෙයි කියාය. අර්ජුන්ව ඉවත් කිරීම ගැන රනිල් මෛත්‍රි සමඟ අමනාපයෙන් පසු වන බවත්, දැන් රනිල් මෛත්‍රිට වැඩක් දෙන්න තමන් සමඟ එකතු වෙයි කියලා රාජපක්‍ෂලා සිතූහ. පාද යාත්‍රාව සංවිධානය වුණේ ඒ හීන මැදය. හැබැයි පක්‍ෂ දෙකේ ලේකම්වරුන් හවුල් ආණ්ඩුවේ කාලය දික් කර ගන්නා බව කී විට ඒ හීනය කඩා වැටුණි.
1999 සිට අවුරුදු 20ක් එ.ජා.ප.යත් මේ වගේ හීන දැක්කේය. එ.ජා.ප.යත් උද්ඝෝෂණ කළේය. ජන බල මෙහෙයුම් කළේය. ජන බල මෙහෙයුමකට ලොකු සෙනඟක් ආ විට එදින සවස එ.ජා.ප.ය ආණ්ඩු හදන්න හීන මැවූහ. මහින්දලාගේ හයිඩ් පාර්ක් රැස්වීමට පසු එ.ජා.ප. ඇමැතිවරයෙක් ඒ ගැන මරු කතාවක් කීවේය.
"ඉස්සර අපිත් උද්ඝෝෂණ තියනවා. ජන බල මෙහෙයුම් කරනවා. එදාට සෙනඟ දැකලා අපි ආණ්ඩුව හදලත් ඉවරයි. හැබැයි දවසයි. දෙකයි. පස්සේ බලන කොට තවම විපක්‍ෂයේ..."
මේ ඔහු හිනා වෙමින් කී කතාවය.


මහින්දලාත් හයිඩ් පාක් රැස්වීම කරලා ආණ්ඩුව අද හෙට හදන්න වගේ කතා කළේය. දැන් හයිඩ් පාක් කෑලිත් නැත. පාද යාත්‍රාව පෙන්නලා අපි ආණ්ඩුව හදනවා කියලා සතියක් දෙකක් මහින්දවාදීන් කෑ ගහනවා නම් ෂුවර්ය. ඉන් පස්සේ පාද යාත්‍රාවක් කළාද කියලවත් ජනතාවට මතක නැත.


සාමාන්‍යයෙන් මේ ජන බල මෙහෙයුම් පාද යාත්‍රා කරන අයට ආණ්ඩු හදන්න ලැබෙන්නේ නැත. ඇමැතිකම් කරන්න ලැබෙන්නෙත් නැත. 2001 ජන බල මෙහෙයුම කළේ ගාමිණී අතුකෝරලය. ආණ්ඩුව හදලා දවස් දෙක තුනකින් ඔහු මියගියේය. 2005 ජන බල මෙහෙයුම 2005 සිට 2015 තෙක් එ.ජා.ප. උද්ඝෝෂණ සංවිධානය කළේ තිස්ස අත්තනායකය. එ.ජා.ප.ය දිනන කොට ඔහු විපක්‍ෂයේය. 1992 පාද යාත්‍රා කළේ අනුර, මහින්ද සහ රාජපක්‍ෂය. අනුර සහ රාජිත එ.ජා.ප.යට ගොස් විපක්‍ෂයට ගියේය. මහින්දට යන්තම් ඇමැතිකමක් ලැබිණි. 2003 'ඉවසුවා ඇති' ශ්‍රී ල.නි.ප. උද්ඝෝෂණය කළේ මංගලය. ඔහු 2004 හදපු ආණ්ඩුවේ අවුරුදු 3ක්වත් ඉන්න ලැබුණේ නැත. මේ පාද යාත්‍රාවේ සංවිධායකයන් වන රාජපක්‍ෂලාටත් ඒකම වෙයිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Wednesday, July 20, 2016
බිස්වාල් හදිසියේ ආවේ ඇයි? චීනය හොරෙන් ආවේ ඇයි?

ඇමෙරිකාවේ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හදිසියේම ලංකාවට ආවේ නිකම්ම නොවේ. දැනට මාස කිහිපයක් තිස්සේ ලංකාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇයගේ මේසය මතට ලැබුණු වාර්තා එතරම් හොඳ නැති නිසාය. විශේෂයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ ප්‍රශ්නය ගැන මෛත්‍රි සහ රනිල් අතර වූ සීතල යුද්ධය පිළිබඳ වාර්තා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු අංශයේ ප්‍රධාන තැනක් ගත් ෆයිල් කවරයක් වන්නට ඇත. එයට හේතුව ඔබාමා ආණ්ඩුව ලංකාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තු තබා තිබීමය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වරක් කීවේ මහජන ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම පිළිබඳ ලංකාව ලොවට ආදර්ශයක් දී ඇති බවය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ පසු පැවැති පළමු එ. ජා. මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ඇමෙරිකාව ලංකාව සමඟ එක්ව යෝජනාවක් ඉදිරිපත් කළේ නව ආණ්ඩුව ගැන ඇමෙරිකාව බලාපොරොත්තු තබා ඇති බව ලොවට පෙන්වන්නටය.

ඒ බලාපොරොත්තු සුන් කර ගන්න ඇමෙරිකාව සූදානම් වේ යැයි සිතිය නොහැකිය. ජාත්‍යන්තර යුද අධිකරණයකින්, යුද අපරාධ සඳහා නියෝග දුන් මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන්ට දඬුවම් දිය යුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බල කරද්දී ඇමෙරිකාව ජාත්‍යන්තර යුද අධිකරණ උගුලෙන් ගැලවෙන්න මෛත්‍රි - රනිල් ආණ්ඩුවට මාර්ග සිතියමක් දුන්නේය. ලංකාවේ අගවිනිසුරුවරයා දමිළ ජාතිකයෙක් වුණේත් විපක්ෂ නායක සම්බන්දන් වුණේත් මහ බැංකු අධිපති දමිළ ජාතිකයෙක් වුණේත් ඒ මාර්ග සිතියමට අනුවය. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලංකාවෙන් මස් රාත්තලම ඉල්ලන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට ඇමෙරිකාව කීවේ ලංකාවේ අනාගතය සුබදායක නිසා යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළ යුතු බවය. මෙහිදී ඇමෙරිකාවට සිද්ධ වූයේ 1987 ඉන්දියාවට වුණු දෙයය. ජේ. ආර්. ගේ ආණ්ඩුවට එරෙහිව එල්. ටී. ටී. ඊ.ය ඇතුළු දමිළ සටන්කාමීන් උසි ගැන්වූ ඉන්දියාව ජේ. ආර්. ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ වූ විට එල්. ටී. ටී. ඊ.ය ඇතුළු දමිළ සටන්කාමීන් ලංකාවට හීලෑ කර දීමේ කාර්ය භාර ගත්තේය. මහින්දගේ ආණ්ඩු කාලයේ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන උසි ගැන්වූ ඇමෙරිකාව දැන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව යටතේ ඔවුන්ගේ හඬ බාල කිරීමේ කාර්ය භාර ගෙන තිබේ. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රශ්නයට ඇමෙරිකාව මැදිහත් වූයේ දමිළ ජාතිකයෙක් මහ බැංකු අධිපති ධුරයට පත් වීම සහතික කිරීමටත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව ගැටුමකට යෑම වැළැක්වීමටත් විය හැකිය. බිස්වාල් පැමිණියේ ආණ්ඩුව ශක්තිමත් කිරීමටය. ලංකාවේ ස්ථිරසාර සාමයක් ඇති කරන්න නම් ලංකාව ආර්ථික වශයෙන් ගොඩ ආ යුතු බව ඇය කීවේ ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්තිය පැහැදිලි ලෙස වෙනස් කරමිනි. යුද්ධයට පසු ලංකාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ අංක එක වූයේ මානව හිමිකම් වැනි දේශපාලන න්‍යායපත්‍රයක්ය. දැන් එය ආර්ථික න්‍යායපත්‍රයක් ලෙස වෙනස් වී ඇත. මෙය ලංකාවේ ජයග්‍රහණයකි.


නිශා බිස්වාල් මේ පණිවුඩය දෙන්න හදිසියේ ලංකාවට එද්දී චීන විදේශ ඇමැති කාටත් හොර රහසේ ලංකාවට පැමිණ තිබිණි. කාටත් හොර රහසේ කියන්නේ විදේශ ඇමැතිටත් චීන විදේශ ඇමැති සංචාරය රහසක් විය. චීනය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී රනිල් විදේශ අමාත්‍යාංශ අතේ දුරින් තියාගත්තේ තවමත් මහින්දවාදීන් විදේශ අමාත්‍යාංශය අරක් ගෙන සිටින නිසාය. රනිල් සිය චීන සංචාරය සැලසුම් කළේ විදේශ අමාත්‍යාංශය ගාවා නොගෙන අරලියගහ මන්දිරය තුළය. හම්බන්තොට වරාය, කොළඹ වරාය ව්‍යාපෘතිය, මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීම චීනයට පවරා දෙන ගිවිසුම් සකස් වූයේ විදේශ අමාත්‍යාංශයටත් රහසිනි. චීන - විදේශ ඇමැති ලංකාවට ආවේ රනිල්ගේ ඒ චීන ලංකා රහස් මාර්ගය හරහාය. පෝට් සිටි ව්‍යාපෘතිය නතර කිරීම ගැන කෝප වී චීනය මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ මුල් කාලයේ ආණ්ඩුවට ඇන ගන්න ඉඩදී බලා සිටියත් චීන විදේශ ඇමැති සංචාරයෙන් පේන්නේ ලංකාවට යළි මිත්‍රත්වයේ හස්තය දිගු කරන්න චීනයට වුවමනා වී ඇති බවය. බිස්වාල් ලංකාව පිළිබඳ සිය නව ආර්ථික න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට පෙර ලංකාවට රහසින් දුවගෙන ආ චීන විදේශ ඇමැති කීවේ චීනය දැනටමත් ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කාරයෙක් බවය.


බිස්වාල්ගේ සංචාරය ඉන්දියාව දැන සිටියත් චීන විදේශ ඇමැති සංචාරය ඉන්දියාවට රහසක් විය. ඉන්දියාව එයට කලබල විය. ඉන්දියාව එලෙස කලබල වූයේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ක්‍රිෂ් සමාගම ලංකාවේ ඉඩම් ගනුදෙනුවක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ලංකා ආණ්ඩුවට අවශ්‍ය තොරතුරු ලබාදී තිබියදීය. ක්‍රිෂ් සමාගමෙන් ලංකා ආණ්ඩුව තොරතුරු ලබා ගත්තේ බොහෝ අමාරුවෙනි. එම වංචාව ගැන තොරතුරු හෙළිකර ගැනීම මෛත්‍රි - රනිල් ආණ්ඩුව ලබපු ලොකු ජයග්‍රහණයකි. එම නිසා චීනය වගේම ඉන්දියාවත් බැලන්ස් කර ගැනීම ලංකා ආණ්ඩුව අතුරේ යන ගමනකි.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Read more
Friday, July 15, 2016
වෙනස්‌ විය යුත්තේ ව්‍යවස්‌ථාවද දේශපාලන ක්‍රමයද

අද දවසේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සියලු වැරදි වලට චූදිත වී ඇත. විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ මෙන් ම ආණ්‌ඩු පක්‍ෂය ද මෙය වෙනස්‌ කළ යුතු බව කියා සිටියි. මෙය සම්පූර්ණයෙන් ම සාවද්‍ය මතයකි. මන්ද රටකට හිතකර හෝ අහිතකර වන්නේ "දේශපාලන ක්‍රමය" මිස "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව" නොවේ. උදාහරණයක්‌ සේ දක්‌වතොත් ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ එය වෙනස්‌ නොකර ගෙන එනු ලබන සියලුම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා එකම ප්‍රතිඵලයක්‌ ජනතාවට ලබා දෙන්නේය. එම නිසා 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එරෙහිව කරනු ලබන විවේචන සියල්ල හරසුන් ය.

රටක තිබෙන උත්තරීතර නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වේ. එනයින් ම එහි ඇති වටිනාකම අවබෝධ වේ. එවැනි නීතියක්‌ ආවට ගියාට වෙනස්‌ කළ යුතු නැත. ආණ්‌ඩුක්‍රමය වෙනස්‌ කළ යුතු නම් දැනට තිබෙන තත්ත්වයට වඩා හොඳ පාලන ක්‍රමයකට එය පරිවර්තනය විය යුතු ය. ඒ සඳහා එම රටේ ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික, ආකල්ප ආදිය ද වෙනස්‌ විය යුතු ය. තවත් විදියකට කියනවා නම් රටක ආර්ථික සමාජයීය විප්ලවයක්‌ අත්වැල් බැඳ ගත යුතු ය.

මීළඟට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන චූදිත වී ඇති 78 ව්‍යවස්‌ථාව ගැන ඇති විවේචන සලකා බලමු.

ෆ "ජනාධිපතිවරයාට විරුද්ධව පෞද්ගලිකව හෝ නිල තත්ත්වයේ ලා කරන ලද, නොකරන ලද කිසිවක්‌ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක නඩු පැවරීම කළ නො හැක".

මෙය 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 35 (1) ව්‍යවස්‌ථාවේ සඳහන් වේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එය මෙම ව්‍යවස්‌ථාවේ ඇති ඒකාධිපති ස්‌වරූපය පෙන්වන බවත් එම නිසා මෙය වෙනස්‌ කළ යුතු බවත් විවේචකයෝ පෙන්වා දෙති.

ඒ අනුව මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බව ජනතාව විශ්වාස කරති.

නමුත් 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ (මීළඟට ගෙනඑනු ලබන පාර්ලිමේන්තුවට වගකියන) 23 (1) මෙසේය.

"ශ්‍රී ලංකාවේ ජනරජයේ ජනාධිපති ධුරය දරන කවර හෝ තැනැත්තෙකුට විරුද්ධව පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්ත්වයේ ලා නීති මාර්ගයකින් කිසිම ආකාරයකින් ක්‍රියා කළ නොහැක්‌කේ ය."

ඒ අනුව මෙම ව්‍යවස්‌ථා දෙකෙහි වෙනසක්‌ ඇත් ද?

72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 23 (1), 78 ව්‍යවස්‌ථාවේ 35 (1) මාරු වී ඇත. අපේ විවේචකයනට 23(1) නිවැරදි ය. (1) වැරදි ය.

"78 ව්‍යවස්‌ථාව මගින් අධිකරණය මගින් වරදකරු වී ඇති ඕනෑම පුද්ගලයකුට ජනාධිපතිවරයාට සමාව ලබා දිය හැක".

මෙය 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 (1) ව්‍යවස්‌ථාවේ සඳහන් ය. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී බවත් ජනාධිපති ඒකාධිපතියකු කර ඇති බවත් විවේචකයෝ පවසති. එම නිසා 78 ව්‍යවස්‌ථාව අහෝසි කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව මෙය පළමු වරට 78 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දී ඇති බවට ජනතාව විශ්වාස කරති.

නමුත් 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 22 (2) මෙසේ ය.

"ශ්‍රී ලංකාවේ ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද වරදකරුවකුට, සම්පූර්ණ සමාවක්‌ හෝ නිත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්‌ හෝ දීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

ඒ අනුව මෙම ව්‍යවස්‌ථා දෙකෙහි වෙනසක්‌ ඇත් ද?

72 ව්‍යවස්‌ථාවේ 22 (2), 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 (1) මාරු වී ඇත. අපේ විවේචකයනට 22 (2) නිවැරදි ය, 34 (1) වැරදි ය.

ෆ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපති රජයේ, විධායකයේ, ආණ්‌ඩුවේ ප්‍රධානියා ය. එමෙන් ම ඔහු සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකවරයා ද වන්නේ ය.

මෙය 78 ව්‍යවස්‌ථාවේ 30 (1) හි සඳහන් වේ. මෙය ඒකාධිපති ස්‌වරූපයක්‌ දරන බව විවේචකයෝ පවසති. ඒ අනුව මෙය පළමු වරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බව ජනතාව විශ්වාස කරති.

නමුත් 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 (අ) මෙසේ ය.

"ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ද, රජයේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකවරයා ද වන්නේය".

ඒ අනුව 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 (අ) 78 ව්‍යවස්‌ථාවේ 30 (1) ට මාරු වී ඇත.

අපේ විවේචකයනට 20 (අ) නිවැරදි ය, 30 (1) වැරදි ය.

ෆ "අතිවිශාල ඇමැති මණ්‌ඩලයට වගකිව යුත්තේ 78 ව්‍යවස්‌ථාව යි. ජනාධිපතිවරයාට හිතු මනාපයට අමාත්‍යවරුන් ඕනෑම සංඛ්‍යාවක්‌ පත් කළ හැක. ඊට අදාළ නීතිය 78 ව්‍යවස්‌ථාවේ 44 (1) (අ) හි සඳහන් වේ.

මෙය 78 ව්‍යවස්‌ථාවේ ඇති ඒකාධිපති ස්‌වරූපය පෙන්නුම් කරන බව විවේචකයන් පෙන්වා දේ. ඒ අනුව මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී ඇති බවට ඔවුහු ජනතාව අතර වැරදි මතයක්‌ ගොඩනඟන්නට කැස කවති.

නමුත් 72 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 94 (1) මෙසේය.

ෆ "ජනාධිපතිවරයා විසින් කලින් කල,

(අ) අමාත්‍ය මණ්‌ඩලයේ සිටිය යුතු අමාත්‍ය සංඛ්‍යාව ද, අමාත්‍යාංශ ද එම අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යයන් පැවරීම ද තීරණය කළ යුතු ය.

72 ව්‍යවස්‌ථාවේ 94 (1) 78 ව්‍යවස්‌ථාවේ 44(1) (අ) ට මාරු වී ඇත. අපේ විවේචකයන්ට 94 (1) නිවැරදිය. 44 (1) (අ) වැරදි ය.

ෆ "78 ව්‍යවස්‌ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්නේ නැත". මෙය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියනා විවේචකයන් ගේ ප්‍රධාන තර්කයකි.

මෙය පට්‌ටපල් බොරුවකි. ජනතාව නොමඟ යෑවීමට කරන්නා වූ මහා බේගල් ඇද බෑමකි.

78 ව්‍යවස්‌ථාවේ 42 ව්‍යවස්‌ථාව මෙසේ ය.

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ ද, මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපවත්නා නීතිය ඇතුළු වෙනත් යම් ලිත නීතියක්‌ යටතේ ද ස්‌වකීය බලතල කාර්යය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

මෙකී කාරණා ජනාධිපතිවරයා ඉෂ්ට කරන්නේ නැත්නම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම යටතේ ජනාධිපතිවරයා අධිකරණයට ගෙන ගොස්‌ ජනාධිපති ධුරයෙන් ද ඔහුව ඉවත් කිරීමට අද පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකුට මෙම 78 ව්‍යවස්‌ථාව යටතේ නිත්‍යානුකූලව ක්‍රියා කළ හැක.

මීළඟට තවත් ආකාරයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියනු ලැබේ. එනම්,

78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 43 (1) මෙසේ ය.

"ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධාන භාර අමාත්‍ය මණ්‌ඩලයක්‌ වන්නේ ය. අමාත්‍ය මණ්‌ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට ද බැඳී සිටින්නේ ය".

එහි 43 (2) මෙසේ ය.

"ජනාධිපතිවරයා අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ ද අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය"

ඒ අනුව ජනාධිපතිවරයා සම්බන්ධව සාමූහික වගකීම යටතේ වත්මන් ආණ්‌ඩුවේ ඕනෑම ඇමැතිවරයකු ගෙන් ප්‍රශ්න කළ හැකි ය.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියන්නේ නම්, 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 42 ව්‍යවස්‌ථාව 43 (1), 43(2) ව්‍යවස්‌ථා ෙච්තනාන්විත උල්ලංඝනය කිරීම යටතේ ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාකොට ඔහුව ධුරයෙන් ඉවත් කළ හැක. එය කරනා ආකාරය මීළඟට සඳහන් කරමි.

ෆ ජනාධිපතිවරයා අධිකරණයට ඉහළින් සිටී ද?

78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ආ හැකි ය. එපමණක්‌ ද නොව අධිකරණය තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ධුරයෙන් ද පහකළ හැකි ය.

ඊට සම්බන්ධ 78 ව්‍යවස්‌ථාවේ 38 (2) හි සරල අදහස මෙසේ ය.

ෆ ජනාධිපතිවරයාට මානසික හෝ ශාරීරික අබලතාව හේතුවෙන් ධුරයේ කාර්ය කළ නොහැකි වීම.

ෆ ෙච්තනාන්විතව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම.

ෆ රාජ්‍යෙද්‍රdaහී වීමේ වරද.

ෆ අල්ලස සම්බන්ධ වරද

ෆ ස්‌වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාර දූෂණය සම්බන්ධ වරද.

ෆ යම් නීතියක්‌ යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්‌ වන වරදක්‌.

ඉහත චෝදනාවලින් එකක්‌ හෝ කිහිපයක්‌ ජනාධිපතිවරයා කර ඇත්නම් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකුට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය ඇරඹිය හැකි ය.

මේ අනුව නැවත ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලයට යටත් වන බවත්, අධිකරණයට යටත් වන බවත් ඉතාපැහැදිළි ය.

ෆ 78 ව්‍යවස්‌ථාව යටතේ ඉහළ අධිකරණ විනිසුරන් ජනාධිපතිවරයා විසින් පත් කරනා බැවින් එය අධිකරණයේ ස්‌වාධීනත්වයට හානි කර බැව් විවේචකයෝ පන්වා දෙති.

එකී නීතිය 78 ව්‍යවස්‌ථාවේ 107 (1) හි සඳහන් වේ.

මෙය පළමුවරට 78 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දී ඇති බවට විවේචකයන් සඳහන් කරමින් සමස්‌ත රට වැසියා ම නො මඟ යෑවීමට ගන්නා උත්සාහය සැබැවින් ම යුක්‌ති යුක්‌ත දැයි සලකා බැලීම වටී.

1972 ව්‍යවස්‌ථාවේ 122 (1) මෙසේය.

"අභියාචනා මහාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෝ ද, ඉහත කී අධිකරණ සතු බලතලවලට අනුරූප වූ හෝ සමාන වූ හෝ බලතල දරන්නා වූ ද, ඒ අධිකරණ මගින් සිදු කරනු ලබන්නා වූ කාර්යයන්ට අනුරූප වූ කාර්යයන් සිදුකරන්නා වූ ද යම්කිසි අධිකරණයක්‌ ජාතික රාජ්‍ය සභාව විසින් පිහිටුවනු ලැබුව හොත් ඒ අධිකරණයේ විනිශ්චයකාරයෝ ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන්නා හ".

එනම් 72 හි 122(1), 78 හි 107 (1) ට මාරු වී ඇත.

අපේ විවේචකයනට 122 (1) නිවැරදි ය. 107 (1) වැරදි ය.

ෆ තවද අපේ ජනතාව නොදන්නා තවත් කරුණක්‌ තිබේ. එනම් 72 ව්‍යවස්‌ථාවේ 4 වැනි ව්‍යවස්‌ථාව මෙසේ ය.

"ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ තෝරාපත් කර ගනු ලබන ජනතා නියෝජිතයන්ගෙන් සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන අනුව ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයා විසිනි".

ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ජාතික රාජ්‍ය සභාව මගිනි.

නමුත් 1978 ව්‍යවස්‌ථාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරවීම වඩාත් ප්‍රගතිශීලී බවෙක්‌ පෙන්නුම් කරයි.

78 ව්‍යවස්‌ථාවේ 4 (අ) මෙසේ ය.

"ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු විසින් ද ජනමත විචාරණයක දී ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය".

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් බැහැරව සෘජු ජනතා කැමැත්ත විමසා එය ක්‍රියාවට නැඟීමට හැකි නීතිය හඳුන්වා දී ඇත්තේ වෙනස්‌ කළ යුතු යෑයි කියනා 1978 ව්‍යවස්‌ථාවෙන් ම පමණක්‌ බව මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

එනම් 78 ව්‍යවස්‌ථාවේ 85 (2) ව්‍යවස්‌ථාව යටතේ ජනතාවට ජනමත විචාරණයක අයිතිය හිමිකර දී ඇත.

ෆ තවද ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා ඉතිහාසයේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ අධිකරණමය සහනයක්‌ ලබාගත හැකි ප්‍රතිපාදන ලබා දී ඇත්තේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ම පමණි.

72 ව්‍යවස්‌ථාවේ එකී ප්‍රතිපාදන දක්‌වා ඇතත් මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ පිළිසරණ පැතිය හැකි පිළිවෙතක්‌ දක්‌වා නොමැත්තේය.

ඒ අනුව 72 ට වඩා 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන වඩාත් සංවර්ධනාත්මක බව මේ විවේචකයන් නොදකින්නේ කවර හේතු කාරණා නිසා දැයි විමසිය යුත්තේ ය.

ෆ 78 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 හි දළ අදහස මෙසේ ය.

යම් මූලික අයිතිවාසිකමක්‌ නැතහොත් භාෂා අයිතිවාසිකම් යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක්‌ මගින් කඩකිරීම හෝ කඩකිරීමට අත්‍යාසන්නව පැවැතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක්‌ විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බව ය.

මින් මේ වන විට දහස්‌ ගණනින් ප්‍රතිලාභ ද ලබා දී ඇත.

නීතිඥ සිසිර වීරසූරිය
Read more
Thursday, July 14, 2016
රාජපක්ෂ ඡායාවට හසුවූ ඡායා කැබිනට්ටුව

1989 සිට 1994 දක්වා විපක්ෂයේ සිටි කාලයේ මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා කළේ, ජන ඝෝෂා කළේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වූ කුසල් පෙරේරා සමඟය. මහින්දට පාද යාත්‍රා කරන්න, ජනඝෝෂා කරන්න උපදෙස් දුන්නේ කුසල්ය. කොටින්ම කියතොත් මහින්ද වීදි සටන්කාරයෙක් කළේ ඔහුය. 1994 පොදු පෙරමුණ දිනල මහින්ද කම්කරු අමාත්‍යාංශයේ දිවුරුම් දෙන්න යන දවසේ කුසල්ටත් ගෙදර ඇවිත් කිරිබත් කන්න මහින්ද ආරාධනා කර තිබිණි. කුසල් මහින්දගේ ගෙදරට යද්දී වෙනදා නොදකින පිරිසක් කෑම මේසයේ වාඩි වී සිටියහ. ඔවුන් බොහොමයක් මහින්දගේ ඥාතීන්ය. මුලසුනේ සිටියේ බැසිල් රාජපක්ෂය. කුසල් එන විට බැසිල් ඇතුළු පිරිස කුසල්ට කෑම මේසයට ආරාධනා කළේ මහින්ද ලැහැස්ති වෙනවා කියමින්ය.


"කුසල් මහින්ද අයියව මෙතැන්ට ගේන්න ඔයගොල්ලෝ ලොකු වැඩක් කළා. ඒත් දැන් මහින්ද අයියා ආණ්ඩුවක ඇමැතිවරයෙක්. ඉස්සර වගේ දැන් වැඩ කරන්න බැහැ. මහින්ද අයියා වෙනම කාර්යාලයක් හදාගන්න ඕනෙ. මිනිස්සු හම්බ වෙන්න ඇපොයින්මන්ට් දෙන්න ඕනෙ. ඔයගොල්ලොත් එයාට කියන්න...."
බැසිල් කියාගෙන ගියේය. බැසිල්ගේ කතාව හිතට ඇල්ලුවේ නැතිව කුසල් මහින්දගේ කාමරයට ගියේය. "ආ කුසල් අපි යමු නේ"දැයි කියමින් මහින්ද දිවුරුම් දීමේ උත්සවයට කුසල්ටත් ආරාධනා කළේය. මහින්ද කුසල් එක්ක එළියට එද්දී බැසිල් මහින්දගේ කාර්ය මණ්ඩලය හදන හැටි සාකච්ඡා කරමින් සිටියේය. මහින්ද මුකුත් කීවේ නැත. කුසල් මහින්දට සුබපතා යන්න ගියේ වෙන වැඩක් තියෙනවා කියමින්ය.


මේ පරණ කතාව මතක් වුණේ මහින්දවාදීන් හදපු ඡායා කැබිනට්ටුව ගැන ජවුසන් එක කියවද්දීය. මේ ඡායා කැබිනට්ටුව හදන්න මුල් වූ ඩලස් අලහප්පෙරුම මහින්දගේ ආණ්ඩු කාලයේ යෞවන කටයුතු ඇමැතිය. හැබැයි නාමල්ගේ තාරුණ්‍යයට හෙටක් ඩලස්ට යෞවන කටයුතු ඇමැතිකම කරන්න දුන්නේ නැත. ඩලස් නමට යෞවන කටයුතු වුණත් යෞවන ඇමැතිගේ රාජකාරිය කළේ නාමල්ය. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිත් වැඩ කළේ ඩලස්ට ඕනෑ විදියට නොව, නාමල්ට ඕනෑ විදියටය. ඡායා කැබිනට්ටුවේ මුදල් ඇමැති ධුරය දීලා තියෙන්නේ බන්ධුල ගුණවර්ධනටය. මහින්ද මුදල් ඇමැති කාලයේ මුදල් අමාත්‍යාංශය දිවෙව්වේ පී.බී. ජයසුන්දරට සහ බැසිල්ට ඕනෑ විදියටය. විමල්, චම්පික පමණක් නොව බන්ධුලද පී.බී.ව එළිපිට විවේචනය කළේ ආර්ථිකයයි ආණ්ඩුවයි දෙකම විනාශ කරනවා කියමින්ය. පී.බී. බන්ධුලලාව සත පහකට මායිම් කළේ නැත. ඔහු 'ඉයර්ස් සර්' කිව්වේ බැසිල්ටය. බන්ධුලලා ඒ කාලයේ පී.බී. බෙදන කෑම මේසයේ කටු ලෙවකාපු අයය. එහෙව් බන්ධුල රාජපක්ෂලා තමාට මුදල් ඇමැති ධුරය දෙයි කියල හිතනව නම් ලොකුම විහිළුව ඒකය. විමල් නිවාස ඇමැති වුණාට නිවාස හදන නාගරික සංවර්ධන අධිකාරිය දිවෙව්වේ ගෝඨාභයය. ඔහු මන්ත්‍රි කෙනෙක් හෝ ඇමැති කෙනෙක් නොවේ. ඒත් ඔහු වැඩ කළේ ඇමැති වගේය. විමල් හිටියේ ඔහුගේ නියෝජ්‍ය ඇමැති වගේය. චම්පික විදුලි බල ඇමැතිකම කරනවා රාජපක්ෂලා ඉවසුවේ නැත.

බැසිල් තමාගේ ගෝලයෙක්ව ඇමැති ලේකම් කළේය. චම්පික ලේකම් එක්ක හැප්පෙනවිට බැසිල් තමාට හසුරුවන්න පුළුවන් පවිත්‍රාට ඇමැතිකම දුන්නේය. වෙනකක් තබා රාජපක්ෂලා මෛත්‍රිපාලට වැඩ කරන්න දුන්නේත් නැත. මෛත්‍රිගේ අමාත්‍යාංශ ලේකම්ව අල්ලාගෙන මෛත්‍රිගේ තටු කැපූහ. උදය ගම්මන්පිලට ලැබිලා තියෙන්නේ නීතිය සහ සාමය ඇමැති ධුරයය. මහින්ද මේ පාර දින්නොත් ගෝඨාභයව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගේන එක ෂුවර්ය. ගෙනැල්ලා ආරක්ෂක අමාත්‍යාංශය භාර දුන්නම ගම්මන්පිලටත් කුසල් පෙරේරාව මතක් වනු ඇත. රාජපක්ෂලා හමුදාව සහ පොලිසිය භාරදෙන්නේ රාජපක්ෂලාට විතරය. ගෝඨාභය විතරක් නොව යෝෂිතත් පාර්ලිමේන්තු නොආවොත් පුදුමය. යෝෂිත ආවොත් යෝෂිතට ක්‍රීඩා ඇමැතිකම ෂුවර්ය. හේතුව මහින්දගේ ආණ්ඩු කාලෙත් ක්‍රීඩා ඇමැතිකම කළේ රාජපක්ෂ පුතුන්ය. ආර්ථිකය හදන්න භාරදී ඇත්තේ දිනේෂ්ටය. මහින්දගේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස බැසිල් ප්‍රධාන පෙළේ අමාත්‍යාංශවල විෂයන් තමාගේ යටතට පවරාගෙන සිටියේය. යළි මහින්ද ආවත් ආර්ථිකය දුවවන්නේ බැසිල්ය. දිනේෂ් මේ ටික නොදන්නවාද නැති නම් දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද දන්නේ නැත.


කෙසේ හෝ ඩලස් මුල්වෙලා හදපු ඡායා කැබිනට්ටුවට ඉස්සෙල්ලාම ගැහුවේ රාජපක්ෂලාට ඥාති වෙන්න ඉන්න ලොහාන් රත්වත්තේය. රාජපක්ෂ පවුල් සමාගමේ සාමාජිකයෙක් වෙන්න බලා ඉන්න ඔහුට තමාට දුන්න ඇමැති ධුරය මදි වී ඇතිවාට සැක නැත. අනෙක ලොහාන් ඡායා කැබිනට්ටුවට ගහල ඉටු කළේ රාජපක්ෂ පවුලේ වුවමනාවය. ඩලස් කොහොමද කැබිනට්ටු හදන්නේ යැයි බැසිල්ට කේන්ති යන්න ඇත. ගම්මන්පිලට කොහොමද පොලිසිය භාරදෙන්නේ යැයි ගෝඨාභයට යකා වැහෙන්න ඇත. මහින්ද ඡායා කැබිනට්ටුවෙන් ඉල්ලා අස් වූයේ පවුලේ බලපෑමට විය යුතුය. ඩලස්, බැසිල්ලා, ගෝඨලා, යෝෂිතලා නැතිව කැබිනට්ටුව හැදුවේ මහින්දව රාජපක්ෂ පවුලෙන් ගලවා ගන්න විය යුතුය. ඒත් ඡායා කැබිනට්ටුවෙන් ඉවත් වීමෙන් මහින්ද පෙන්නුවේ තමාගේ චරිත දෙකය. විපක්ෂයේ සිටියදී මහින්ද රඟපාන්නේ මන්ත්‍රිවරු එක්කය. හැබැයි බලයට ආ විට මහින්ද රඟපාන්නේ පවුල එක්කය. අද මහින්ද පස්සේ යන මහින්දවාදීන් බොහොමයක් මහින්ද ජනාධිපති කාලයේ පාර්ලිමේන්තු ලොබියේදී තානාපති කාර්යාලවල කොක්ටේල් පාටිවලදී රාජපක්ෂ පවුලේ පතුරු ඇරිය අයය. ඔවුන් හැමෝගේම චෝදනාව වූයේ එක්කෝ බැසිල් නැති නම් ගෝඨා එහෙමත් නැතිනම් නාමල් තමන්ට ඇමැතිකම කරගෙන යන්න දෙන්නේ නැති එකය. ඔවුන් හැමෝම හිතින් හිතුවේ මහින්ද 2015 ජනාධිපතිවරණය පරාජය විය යුතුයි කියාය. මහින්ද පරාජය වූවාට පසු ඔවුන් දැන් හිතන්නේ මහින්ද දැන් හැදිලා පවුල නැතිව තමන් එක්ක ආණ්ඩු කරයි කියාය. තමන් එකතුවෙලා මහින්දව දිනෙව්වොත් මහින්ද පවුල අතඅරියි කියාය. මහින්ද 2005 ජනාධිපති කළේ පවුල නොව මංගල, ශ්‍රීපති, ජ.වි.පෙ. සහ එල්.ටී.ටී.ඊ.යය. මොවුන් නැතිනම් මහින්ද ජනාධිපති නොවේ. මොවුන් රනිල්ව පරද්දන්න කාමරයේ සාකච්ඡා තියනකොට ගෝඨාභය ඉස්තෝප්පුවේ ඇවිද ඇවිද හිටපු හැටි කීවේ මංගලය. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී බැසිල් සහ ගෝඨාභය ඇමෙරිකාවට යන්න ටිකට් බුක් කරගෙන සිටි බව කීවේ ශ්‍රීපතිය. මහින්දව දිනෙව්වේ මොවුන් බව බැසිල් සහ ගෝඨාභය දැන සිටියහ. මොවුන් මහින්දව පාලනය කරන්න එයි කියල බයේ මොවුන්ට ගහල පන්නන්න මහින්දට ඉලපත දුන්නේ බැසිල් සහ ගෝඨාභයය. රාජපක්ෂ පවුල පළමුවෙන්ම කළේ මහින්දව බලයට ගෙන ආ පවුලට අයත් නොවන පිරිසට ගහල පැන්නීමය.
'මහින්ද යළි බලයට ආවොත් අද මහින්දව බලයට ගේන්න හදන මහින්දවාදීන්ටත් ඒ ටිකම වෙයිද?' ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මේ ඡායා කැබිනට් සිද්ධියෙන් කියන්නේ ඒකාබද්ධ විපක්ෂය අවුල් ජාලාවක් බවය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියේදී රටේ පරිපාලනය අවුල් කී මහින්දට ඔහුගේ ගෝලයන්ව පාලනය කර ගන්න බැරි වී ඇත. මෛත්‍රි-රනිල් ආණ්ඩුව එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට අදිනවා කී මහින්ද ඡායා කැබිනට්ටුව පත් කර ගන්න බැරිව දෙපැත්තට අදියි. ඡායා කැබිනට්ටුව පත් කර ගන්න බැරිව බලයට ආ විට කැබිනට් මණ්ඩලය පත් කරගන්නේ කෙසේදැයි හිතාගත හැකිය.


කොහොම වුණත් ඡායා කැබිනට්ටුවෙන් සිද්ධ වූයේ 2015 ජනවාරි මස 08ට පසු අතුරුදන් වූ රාජපක්ෂ ඡායාව යළි කරළියට ඒමය. බලයට එන තෙක් මහින්දවාදීන්ට දේශපාලන කරළියේ තරු විය හැකි වුවත් බලයට ආ විට රාජපක්ෂ ඡායාවට මේ තරු වැසී යෑමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය රාජපක්ෂ ග්‍රහණයට හසු වන්නේ එවිටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Wednesday, July 13, 2016
ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්‌ෂු ඝාතනය

 එක්‌දහස්‌ නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දිනය ලංකාවට අඳුරු දිනයක්‌ විය. ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක්‌ අත්සන් කලේ එදිනය. ගිවිසුමේ වගන්ති ප්‍රකාරව ලංකාවේ හමුදා බැරැක්‌කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය. සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුමේදී පහසුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කල හැකිව තිබියදී ඉන්දිය රජය මැදිහත් වීමෙන් ගුවනින් ආහාර හෙලීමත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිරකොට ගිවිසුම අත්සන් කිරීමත් සිදු විය. මේ ගිවිසුම ඉතා බරපතළ ලෙසට ලක්‌ රජයේ ස්‌වභාවය දුවල කල ලියවිල්ලකි. ලංකාව බහුවාර්ගිකව බහුභාෂාමය." බහු ආගමික රාජ්‍යයක්‌ ලෙසට එහිදී පිළිගෙන තිබුණි. බලය බෙදාහැරීම සඳහා එහි සඳහන් කළ ප්‍රතිපාදන මගින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුව තිබුණි. ඒ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම සුදුසු යයිද තීරණය විය. පැය හතලිස්‌ අටක්‌ යන්නට ප්‍රථමයෙන් ලංකාවේ හමුදා බැරැක්‌ක වලට සීමා කරන ලදී. එ නමුත් දෙමල කොටි ත්‍රස්‌තයන්ගේ කණ්‌ඩායම් වලට එවැනි තහංචියක්‌ නොවැටුණි. එහි ප්‍රතිඵලය වූයේ නැගෙනහිර පළාත් තුළ ඔක්‌තෝබර් මාසය තුල අතිමහත් භීෂණයක්‌ මතු වීමයි. ඉන්දියන් සාමසාධක හමුදාවේ මදුරාසි සේනාංක ත්‍රිකුණාමලේ සහ
අම්පාර යන දිස්‌ත්‍රික්‌කවල ස්‌ථානගත වීම නිසා තත්ත්වය බරපතළ විය. ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය මෙන්ම සිවිල් පරිපාලනයද අක්‍රීය කිරීම නිසා කැලෑ නීතිය යටතේ කොටි සංවිධානය ක්‍රියාත්මක විය. කරන දෙයක්‌ කරන්නට ඉඩදී ඉන්දියන් හමුදාව බලා සිටින්නට විය. මේ නිසා ගෙවල් ගිනි තැබීම, මංකොල්ල කෑම් විශාල වශයෙන් ව්‍යාප්ත විය. 1987 ඔක්‌තෝබර් මස 03 දිනට උදාවිය. එදින ත්‍රිකුණාමල පහේ කණුව සහ හතරේ කණුව අතර සිංහලයන් උපවාසයක්‌ ආරඹන ලද්දේ තමන්ට එල්ල වූ පීඩා ඉවසා දරා ගත නොහැකි බව ප්‍රකාශ කරන්නටයි.

මේ අනාථ තත්ත්වය එකළ දිවයින ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරන්නේ මෙසේය. 'අපට කරදර ඇති වෙන්නට පටන් ගත්තේ 1984 වර්ෂයේ සිටයි. අපිට ජනපදයේ ඉන්ඩ බැරිව ගිය අවස්‌ථා තිබෙනවා. එහෙම අවස්‌ථාවක කඳවුරක සිටි අපට තුවක්‌කු 45 ක්‌ දුන්නා. රුපියල් 500 කුයි පොල් අතුයි දීලා රිසිවේෂන් ඉඩම්වල පදංචි වෙන්න කීවා. අපි පොල්අතු වලින් ගෙවල් තනා ගෙන ජීවත් වුණා. මෙහෙම ගෙවල් හදා ගෙන ගොවිතැන් කරගෙන ඉන්න විට අපේ තුවක්‌කු ආපහු රජයට ගත්තා. ඒ ටික දවසකින් ත්‍රස්‌තවාදීන් ආවා. ඒ ආවේ ඉන්දියන් හමුදාවත් එක්‌කයි. ඒ ඇවිත් කීවා එහෙන් පිට වෙන්න. නැතිනම් මරා දමනවා කියලා. අපිට යන්න තැනක්‌ නැති නිසා ජයපුර ග්‍රාම ආරක්‌ෂක මහත්වරුන් සමග හමුදා කඳවුරකට ගියා. චීන වරායෙන් හතරෙ කණුවෙන්
අපිව පැන්නුවේ, එහෙන් නොගියොත් මරල හම ගලෝල යුනිෆෝම් මහනවා කියලයි.' අභයපුර විදුහලේ ගුරුවරියක්‌ වන එම්.ඒ.කරුණාවතී මහත්මිය කියූ කතාව පත්‍රය වාර්තා කරන්නේ මෙසේය. 'පසුගිය කාලයේ හදිසි තත්ත්වය නිසා සැරෙන් සැරේ අපේ පාසල වසා තැබුවා. ඒ අතරතුර ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර අපට එල්ල වුණා. අපි අවුරුදු පහක්‌ තිස්‌සේම ඔය පරිසරයෙහි ජීවත් වුණේ. ඒත් මෙහෙම දාලා එන්ඩ වුණ පළවෙනි අවස්‌ථාව මෙයයි. සාම ගිවිසුමෙන් පස්‌සෙ තත්ත්වය දරුණු වුණා. සැත්තැම්බර් 30 දා සිට මේ අයගේ ප්‍රහාර වැඩි වුණා. අපට පාරේ බැහැල යන්න බැරි වුණා. ඔක්‌තෝබර් 5දා ත්‍රිකුණාමලේ සෑම ගමකටම එකවර පහර දුන්නා. ඉතින් හැමෝම කඳවුරු වලට රොක්‌ වුණා. පසුදා පාන්දර ඉඳල මිනිස්‌සුන්ට ගහන්ඩ පටන් ගත්තා. හවස හය වන විට ත්‍රිකුණාමලයම හිස්‌ වුණා. අපි කන්තලේ කඳවුරේ දවස්‌ පහක්‌ හිටියා.එතැනින් දඹුල්ල කඳවුරට ආවා. එතනත් ඉඩ නෑ. ඊට පස්‌සේ ගලේවෙලට ගියා."

හතරෙ කණුවේ ඇරඹි උපවාසය රජයට පීඩනයක්‌ එල්ල කිරීමට සමත් විය. චීනවරාය පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි ජයන්ත ප්‍රනාන්දු මහතා මේ තත්ත්වය ගැන චීන වරයෙ නායක ස්‌වාමීන් වහන්සේට පැහැදිලි කර දෙන ලදී. පොලිසියේ හඬට කන්දුන් රඹුqකන සද්ධාලංකාර නායක හිමියන් පොලිස්‌ ස්‌ථානාධිපති සමග වහා හතරෙ කණුවට වැඩම කරන ලදී. උපවාසය නැවැත්වීමට උපදෙස්‌ දුන් නායක හිමියන් ආපසු වැඩම කිරීමට පය ඉක්‌මන් කළ විගසම මෙම ස්‌ථානයට පැමිණි ඉන්දීය හමුදාව දිගින් දිගටම වෙඩි තබන්නට වූ අතර ස්‌වාමීන් වහන්සේටද වෙඩි වැදුණි. මේ තත්ත්වය ඇසින් දුටු ත්‍රිකුණාමලේ හතරෙ කණුවේ සිටි එම්. මැගිනෝනා එය විස්‌තර කලේ මෙසේය.

'ත්‍රස්‌තවාදීන්ගේ අකටයුතුකම්වලට විරුද්ධව හතරේ කණුවේ සහ පහේ කණුවේ උපාසකම්මලා එකතුවෙලා උපවාසයක්‌ ආරම්භ කළා. 4 කණුවේ හන්දියේ. අපිට හොඳින් ආරක්‌ෂාව ලබා ගන්නයි ග්‍රාමාරක්‌ෂකයන්ට තුවක්‌තු ලබා ගන්නයි අපි එහෙම උපවාස කලේ. පස්‌සේ ගුවන් හමුදාවේ විස්‌සක්‌ පමණ දෙනා ආරක්‌ෂාව ලබා දුන්නා. ඒ අතරතුරේදී ඉන්දියන් හමුදාව ඇවිත් ඒ අය දණ ගස්‌වලා ගුවන් හමුදාවේ අයට වද දුන්නා. වද දීලා ඒ අය ඉන්දියානු හමුදා විසින් අරගෙන ගියා. ඊට පස්‌සේ ඒ අය ඉල්ලලා අපි උපවාසයක්‌ කළා. හැන්දෑවේ හයට විතර චීන වරායේ හාමුදුරුවන් ආවා. ඇවිත් බණ කතාවක්‌ එහෙම කරලා උපවාසය නවත්වා විසිර යන ලෙසට උන් වහන්සේ අපෙන් ඉල්ලීමක්‌ කළා. එහෙම කියලා හාමුදුරුවන්ට බඹ දෙකක්‌ යන්ඩ ලැබුණේ නැහැ. ඉන්දියන් හමුදා ට්‍රක්‌ හතරක්‌ ආවා. අපි වාඩි වලා සිටියා. යකඩ තොප්පි දාපු කීප දෙනෙක්‌ දණ ගසා ගෙන අපිට තුවක්‌කු එල්ල කර ගෙන සිටියා. තවත් කීප දෙනෙක්‌ සිංහලෙන් කතා කලා. පිටිපස්‌සේ සිටි පිරිමි ළමයින්ට ඉදිරියට එන්න කීවා. අපි පුදුම වුණා මේ මොකද සිංහලෙන් කතා කලේ කියලා. අප මොනවවත් පැමිණිල්ලක්‌ කරන්න ගියාම දෙමළත් සිංහලත් බැරි ඉන්දියන් හමුදාවේ අය මේ වෙලාවේ සිංහලෙන් කතා කරන්නේ කොහොමද කියලා අපි පුදුම වුණා. කොහොම වුණත් ඒ අයගේ නියෝගයට කීකුරු වූ අපේ පිරිමි ළමයි ඉදිරියට ආවා. ඒ ආවායින් පස්‌සේ තොප්පි දමාගෙන සිටි එක්‌ අයෙක්‌ මැෂින් තුවක්‌කුවක්‌ පට පට ගාලා වටේට එල්ල කලා. අපි බිම දිගා වුණා. හාමුදුරුවන්ට වෙඩි වැදුණා. හාමුදුරුවන් ළඟට ආ තරුණයෙකුටත් වෙඩි වැදුණා. හාමුදුරුවෝ එතැනම වැටුණා.ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය චීනවරායේ පොලිසියේ ලොකු මහත්තයා ඉන්දියන් හමුදාව අල්ල ගත්තා. එහෙම අරගෙන පොලිසියේ ලොකු මහත්තයාගේ පටි බොත්තම් කඩලා දැම්මා. පස්‌සේ අත් දෙක පිටි පස්‌සට කරලා කෝට්‌ එක පැන්නුවා. එහෙම කෝට්‌ එක පන්නලා දන ගැස්‌සුවා. එහෙම කරලා අත්දෙක පස්‌සට කරලා දම්වැලක්‌ දැම්මා. එහෙම දාලා පොලිසියේ ලොකු මහත්තයවයි හාමුදුරුවොයි ඇද ගෙන ගියා. පිරිමි ළමයි අසූවක්‌ විතර ට්‍රක්‌ වලට නග්ගා ගත්තා. ඒ ළමයින්ට අද වෙනකන් මොකද වුණේ කියලා දැන ගන්නට ලැබුණේ නැහැ.'

තමන් වහන්සේගේ නායක හමුදරුවන් ඝාතනය කළ ආකාරය වර්තමාන චීනවරාය විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්‌ස නායක ස්‌වාමීන් වහන්සේ විස්‌තර කරන්නේ මෙසේය. "ඉන්දියන් රජයත් ලංකා රජයත් ගිවිසුම් ගහලා සාම සාධක හමුදාවට නැගෙනහිර බාර කලා. පසුව දිගට හරහට සිංහල ගම්මාන විනාශ කරන්නට කොටි සංවිධානයට ඉඩකඩ ලැබුණා. මේ අසාධාරණයට විරුද්ධව තමයි උපවාසය ආරම්භ කලේ ඒ කාලේ දිසාපතිවරුන්ගේ බලයත් තිබුණේ ඉන්දියන් හමුදාව අතේ. මේ නිසා වෙඩි වැදී අපවත් වූ හාමුදුරුවන්ගේ මිනියවත් ගන්න ඉඩ දුන්නේ නැහැ. මිනිය ඇදගෙන ඇවිත් ට්‍රක්‌ එකේ දාලා පෑගුවා. පස්‌සෙ මෝචරියට ගිහින් දමා තිබුණා. හාමුදුරුවන්ගේ ආදාහන උත්සවය ගන්න දුන්නේ නැහැ. ඒ නිසා පන්සල් වත්තේම දර සෑයක්‌ හදලා දර කෑලි අඩුක්‌ කරලා රෙදි සිවුරු පොරවලා තමයි ගින්දර තිබ්බෙ. හාමුදුරුවන්ගේ පාංශකූලෙට පළාතේ භික්‌ෂූන් වහන්සේලා ගෙන්න ගන්න දුන්නෙ නැහැ. කන්තලේ වෙළුන්න රජ මහා විහාරාධිපති පූජ්‍ය කිතුල්ගොල්ලේ ජිනානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ කැලෑ පාරකින් පන්සලට වැඩම කලා. ඉන් පස්‌සේ තමයි අවසන් කටයුතු කළේ."

අපකීර්තිමත් ඉන්දු - ලංකා ගිවිසුම නිසා ලංකාව ඉන්දියාවේ දේශපාලන හස්‌තයට නොනිල වශයෙන් යටත් වුණි. තිලීපන්ගේ මාරාන්තික උපවාසය විසින් මේ ගිවිසුම ඇති කරන්නට අවශ්‍ය පරිසරය නිර්මානය කරන ලදී. එයට අමතරව පේදුරුතුඩුවට ඔබ්බෙන් මුහුදේදී උත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ගේ සිය දිවිනාසාගැනීමත් ප්‍රබල බලපෑමක්‌ ඇති කරන ලදී. උතුර සහ නැගෙනහිර පළාත්වල කලබල ඇති කිරීම සැබවීන්ම ඉන්දීය රෝ ඔත්තුකරුවන්ගේ ක්‍රියාදාමයක්‌ විය. එවැනි කලබල කාරී අවස්‌ථාවක්‌ උදාකර ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිර කිරීම අවසාන අරමුණ විය. එය සාථක විය. ඉන්දියාවේ මෙහෙයවීම මත 13 වන් ආණ්‌ඩුක්‍රම සංශෝධනය මගින් ඒකීය රාජ්‍ය දුර්වල කොට බලය බෙදා හැරීමේ මුවාවෙන් දෙමල ප්‍රදේශ වෙන් කොට දක්‌වන ලදී. එපමණක්‌ නොව දෙමල භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක්‌ ඇති කොට සිංහලයාගේ බලය අඩපණ කරන ලදී. 1987 වෂයේ දී නැඟෙනහිර හා උතුරේ කරන ලද සිංහල සංහාරයෙන් සනාථ වූයේ ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අරමුණු බව පැහැදිලිය. වයඹ පළාතේ නයිනමඩමේ සිට නැගෙනහිර පළාතේ කුමන දක්‌වා මුහුදු තීරය බද ඉඩම් ඊලාම් රාජ්‍ය ලෙසට සළකුණු කොට එකළ බෙදා හරින ලද පත්‍රිකා සුලභ විය. මේ මගින් බලාපොරොත්තු වූයේ සිංහල ජනතාවගේ මානසික බලය බිඳ දැමීමයි. ඉන්දියන් සාම සාධක හමුදා මගින් වාර්ගික පවිත්‍රකරණය ආරම්භ කරන ලදී.

1987 වර්ෂයෙන් පසු වර්තමානය දක්‌වා වසර විසිනවයක්‌ ගතව ඇත. මේ කාලවකවානුව තුළ ලක්‌ රජය කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම අතුගා දමා ලංකාව පුරා සාමය ඇති කරන්නට කටයුතු යෙදූහ. නමුත් අවසාන වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති කළ පළාත් සභා අහෝසි කරලීමටත් වාර්ගික පවිත්‍රකරණය මත පළවා හරින ලද සිංහලයන් නැවත පදිංචි කරලීමටත් විධිමත් වැඩපිළිවෙලක්‌ නොයෙදූහ. අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලය නම් ඉතිහාසයේ සිදු වීම් නැවත පසු පසින් පැමිණිමයි. වසර විසිනවයකට පසු නැවතත් භීෂණ සමයේ ග්‍රහචාරය එළඹෙමින් ඇත. කුජට සතුරු රාශිය වූ සෙනසුරු වෘශ්චිකයේ තැන්පත්ව ඇත. නව ව්‍යවස්‌ථාවක්‌ ඇති කරලීමට රජය බලහත්කාරයෙන්ම කටයුතු යොදමින් තිබේ. ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කරන ව්‍යවස්‌ථා වෙනස ඉටුකොට බෙදුම්වාදය නැවතත් ශක්‌තිමත් කළහොත් යටකී ඊලාම් සිතියමේ තිබෙන සිංහල ගම්බිම් සියල්ලෙන් සිංහලයන් පළවා හැරීමට කටයුතු කිරීම සිදුවනු ඇත. විග්නේශ්වරන් මහඇමතිවරයා පාරම්බාන්නේ මේ සඳහාය. සම්බන්ධන්ගේ උද්දච්ඡ ප්‍රකාශ මගින් ගම්‍ය වන්නේ එයයි. උතුරේ රජයේ ඉඩම් දෙමළ ජනතාව සඳහා පමණක්‌ බෙදා දෙන්නේ මේ සඳහාය. මේ අනතුර නොදකින්නන් බහුතරයක්‌ සිටින රටක්‌ නිර්මාණය කිරීම වත්මන් යහපාලනයේ අරමුණ බව පෙනේ.

වර්තමානය කෝට්‌ටේ මහනායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් 1987 වර්ෂයේ ඔක්‌තෝබර් මස 28 දින 'දිවයින' පත්‍රයට සැපයූ උපන් බිමේ අනාථයෝ නම් ලිපියකින් උපුටා ගත් කොටසක්‌ දක්‌වමින් මේ ලිපිය අවසන් කරමි. "උතුර හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල බෞද්ධ පිරිස සංඛ්‍යා වශයෙන් අනෙක්‌ අයට වඩා අඩු විය හැකිය. එහි ඇති වරද කුමක්‌ද. නමුත් ඔවුන්ට මේ රටේ කොතැනකත් කොහේ වුවත් ජීවත්වීමට ඇති අයිතිය එක සමානය. සුළු හෝ කොටසකට එම අයිතිය අහිමි වන්නේ නම්. එය සුරක්‌ෂිත කරදීම රටක පරම යුතුකම වන්නේය. මේ පුංචි දිවයිනේ ඓතිහාසික වශයෙන් බහුතරය වූ සිංහලයන්ට ඇති අයිතිය තහවුරු කිරීමෙන් පසුව නේද අනෙක්‌ සියල්ලම කල යුත්තේ. නමුත් මේ විසිවන සියවසේ නව වන දශකයේ අරුමු පුදුම සිද්ධිය වන්නේ ඒ සිංහල යයි කියා ගන්නා පිරිසට රටේ එක්‌ පැත්තක ජීවත් වීමට ඇති අයිතිය අහිමි වීමයි. අහිමි කිරීමයි. අද මේ වන විට තත්ත්වය කුමක්‌ද උතුරේ සිටි සිංහලයන් කලකට පෙර අනාථයන් ලෙස දකුණ බලා පැමිණියද තවත් සිය ගණන් දහස්‌ ගණන් පිරිස ත්‍රස්‌තවාදී ප්‍රහාරයන්ට ලක්‌වී නැවත ආපසු නොඑන ගමන් වූ පරලොවක්‌ බලා ගියහ. එක්‌ අතෙකින් බලන විට ඒ දෙවනුව කී පිරිස වාසනාවන්තයෝ වෙති. ඊළඟට නැගෙනහිර සිංහලයන්ද ටිකින් ටික දකුණ බලා එමින් සිටියහ. ඒ අතර සාම යයි කියාගන්නා ගිවිසුමක්‌ අත්සන් කළහ. භීම සමය ආරම්භ විය. ගිවිසුමෙන් පසු නැගෙනහිර පළාතේ ඉතිරි වී සිටි සිංහලයන්ගේ වැඩිම පිරිසක්‌ ත්‍රස්‌තවාදීන්ගේ දරුණු ප්‍රහාරයට ලක්‌වී වාසනාවන්තයයි කිව හැකි ඒ මරණය උරුම කර ගත්හ.

බහු ජාතික, බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්‌කෘතීන් යයි කියමින් බහුබූත නීතිරීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක්‌ අතෙකින් බරපතළ දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක්‌ වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක්‌ හමුවට වුවත් යැමට සිදු විය හැකිය. කමක්‌ නැත. කලක්‌ එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක්‌ යයි කියමි."

මතුගම සෙනෙවිරුවන්
සංස්කරණය එරික් ගාමිණි ජිනප්‍රිය
Read more
Tuesday, July 12, 2016
මැතිනිය - දොරේඅප්පා මෛත්‍රි සහ කුමාරස්වාමි

ඇල්ෆර්ඩ් ‍දොරේඅප්පා  ශ්‍රී ල.නි.ප.ය උතුරේ හදපු නායකයාය. 1976දී එවකට අගමැතිනි බණ්ඩාරනායක මැතිනියට උතුරේ සංචාරය කරන ලෙස ‍දොරේඅප්පා  ආරාධනා කළ විට මැතිනිය එය සතුටින් පිළිගත්තාය. ඇය උතුරට එනවිට ‍ දොරේඅප්පා තොරණ ගසා ඇයව පිළිගත්තේය. යාපනයේ අලවලින්, ලූනුවලින්, මිරිස්වලින් හදපු මාල ඇයගේ ගෙලට වැටුණි. ඇය ප්‍රධාන රැස්වීම් වේදිකාවට යන්න වාහනයෙන් බහිද්දී එම පාර දෙපස සිටි කාන්තාවන් සිය දිගු කොණ්ඩය පාරට අතුරා ඇයට ඔවුන්ගේ කොණ්ඩය මතින් පිය නඟන ලෙස ඉල්ලා සිටියේය. මැතිනිය එයට කැමැති නොවීය. එහෙත් ‍ දොරේඅප්පා ඇයගේ කනට කර කීවේ ඔවුන්ගේ ගෞරවනීය ආචාරය පිළිගන්නා ලෙසය. උතුරේ කාන්තාවන් මැතිනියට එතරම් ආදරය කළේ ශ්‍රී ල.නි.ප.යේ දේශීය ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එසේම සාමාන්‍යයෙන් උතුරේ දමිළ ජනතාව වාමවාදීය. ඒ නිසාම ඔවුහු මැතිනියගේ වාමවාදී ශ්‍රී ල.නි.පයට කැමැත්තක් දැක්වූහ. එකල ප්‍රභාකරන් ඊළාම් යුද්ධයට කොල්ලො කුරුට්ටන් එකතු කරමින් සිටියේය. ඔහු මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව උතුරේ අනෙකුත් දමිළ පක්‍ෂ එකතු කරමින් උතුරේ ජනයා උසි ගැන්වූයේය. ඒත් ‍දොරේඅප්පා  බණ්ඩාරනායක මැතිනියට දුන්න ඉහළ පිළිගැනීම ප්‍රභාකරන්ගේ වෛරයට හේතු විය. ඔහු උතුරේ ශ්‍රී ල.නි.ප.

බල කඳවුරක් හදන බව ප්‍රභාට ඉවෙන් දැනිණි. ප්‍රභාකරන් ‍දොරේඅප්පා  ඝාතනය කරන්න තීරණය කළේ ශ්‍රී ල.නි.පයට උතුරේ යළි හිස ඔසවන්න නොදෙන්නය. උතුරේ ශ්‍රී ල.නි.ප.යේ ගමනක අවසානය ‍දොරේඅප්පා  විය. එහෙත් 1982 ජනාධිපතිවරණයේදීත් උතුරේ ජනයා ශ්‍රී ල.නි.ප. අපේක්‍ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්දය පාවිච්චි කළහ. ඒ යළි මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවාගෙන දේශීය ගොවියා රජකර වන්නටය. 1983 යුද්ධයට පසු මැතිනිය සහ ශ්‍රී ල.නි.ප.ය දැඩි යුදවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ හෙයින් උතුරේ ජනයා සහ ශ්‍රී ල.නි.ප.ය අෑත් විය. මේ තත්ත්වය වෙනස් කළේ චන්ද්‍රිකාය. ඇය 1994 සාමය ගෙන එන්න පොරොන්දු වූ නිසා උතුරේ ජනයා ඇයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහ. එකල උතුරේ චන්ද්‍රිකා රැල්ලක් තිබිණි. ඒත් ඇයද යුද්ධයට තල්ලු කරන්න ප්‍රභාකරන් සමත් වීම නිසා උතුරේ ජනයාට ඇය එපා විය. චන්ද්‍රිකාට පසු ශ්‍රී ල.නි.ප.යෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද සහ ඔහුගේ දේශප්‍රේමී හවුල නිසා උතුරේ ජනතාවට ශ්‍රී ල.නි.ප. තිත්ත විය. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ජනයා මහින්දව පරාජය කොට මෛත්‍රිව දිනෙව්වේ එහෙයිනි.


මෛත්‍රි ආවේ එ.ජා.ප. ප්‍රමුඛ යහපාලන සන්ධානයකිනි. එම සන්ධානය මෛත්‍රිගේ නායකත්වයෙන් උතුරට සාමය ගෙන එන්න පොරොන්දු විය. චන්ද්‍රිකාගේ සහ මහින්දගේ යුද්ධයෙන් හෙම්බත් වී සිටි දමිළ ජනයා යුදවාදී නොවූ එ.ජා.ප.ය ප්‍රමුඛ යහපාලන සන්ධානයට කැමැති විය. එම සන්ධානයෙන් ජනාධිපති වී ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත් මෛත්‍රිගේ පළමු ඉලක්කය වූයේ 1977ට පෙර උතුරේ ජනයා සහ ශ්‍රී ල.නි.ප.ය අතර තිබූ සුහදත්වය යළි ඇති කිරීමය. ඔහු ‍දොරේඅප්පා  ක්‍රීඩාංගණය යළි විවෘත කරමින් උතුරට දෑත් දිගු කළේ ශ්‍රී ල.නි.ප. නායකයා ලෙසය. ඒ ‍දොරේඅප්පා ගෙන් අවසන් වූ ගමන යළි පටන් ගන්නටය. ඒ වගේම ඔහු මහ බැංකු අධිපති ධුරයට රනිල්ගේද එකඟත්වයෙන් කුමාරස්වාමි පත් කළේ ශ්‍රී ල.නි.ප.ය වෙනස් වී ඇති බව දමිළ ජනයාට පෙන්වන්නටය. මේ වෙනස චන්ද්‍රිකාද 1994දී පෙන්වීය. ඒ ලක්‍ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැති ධුරයට පත් කිරීමෙනි. එකල දමිළ ජාතිකයෙක් විදේශ ඇමැති ධුරයට පත් කිරීම විශාල විප්ලවයක් විය. චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.ය සහ උතුරේ දමිළ ජනතාව අතර 1976 කැඩුණු පාලම හදන්න ගියේ කදිරගාමර් හරහාය.


කුමාරස්වාමිද කදිරගාමර් වැනි උගතෙකි. කුමාරස්වාමි පරපුර රටට කර ඇති සේවය අති විශාලය. ඔහුගේ සීයා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය දැරුවේය. ඔහු එකල ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ලොකු දූත මෙහෙවරක් කළේය. ඔහුගේ පියා එකල ප්‍රකටව හිටියේ ලොව වටා රවුම් ගහන රාජු කියාය. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශවල ලේකම් ධුරය දරපු ඔහු ලංකාවට ආධාර ගන්න, ලංකාවට ලොව දිනා දෙන්න ලොව වටා ගියේය. ඒ කාලයේ බලවත් ඇමැතිවරු නොව මෙවැනි ප්‍රවීණ ලේකම්වරුය.


සුද්දාගෙන් පසු ලංකාව දියුණු වූයේ සුද්දා හදපු මේ නිලධාරි තන්ත්‍රය නිසාය. ඒත් බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ල.නි.ප.ය රට පාලනය කළ මෙම නිලධාරි තන්ත්‍රයේ දමිළ ආධිපත්‍යට බියවී දමිළ නිලධාරීන්ට රාජ්‍ය භාෂාව වූ සිංහලයෙන් වැඩ කිරීම අනිවාර්ය කරනු ලැබීය. සිංහල නොදත් කීර්තිමත් නිලධාරීහු රාජ්‍ය සේවයෙන් ඉවත් වූහ. ලී ක්වාන් යූ සිංගප්පූරුව හදන්න මොළ හොයමින් සිටියේ මේ කාලයේය. ලංකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත් වූ දමිළ මොළ ගෙන්වා ගෙන ලී ක්වාන් යූ වැඩ ගත්තේය. ඔහු සිංගප්පූරුව හැදුවේ එලෙසය.
"ලංකාවේ සුළුතරය වූ දමිළ ජනතාව බහුතරය වූ සිංහලයන්ට වඩා උගත්. දක්‍ෂයි. කම්මැළි නැහැ. සිංහල ජනතාව ඔවුන්ගේ උගත්කමට, දක්‍ෂකමට ඊර්ෂ්‍යා කළා. දමිළයන් සිටිනා උසස් තනතුරු ඔවුන්ට අවශ්‍ය වුණා. ලංකාවට වැරැදුණේ එතැනයි..."
මේ ලී ක්වාන් යූ සිය පොතෙහි සඳහන් කර ඇති කතාවකි. මෛත්‍රි සහ රනිල් කුමාරස්වාමිව මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමෙන් හදන්නේ ඒ වැරැදුණු තැන හදාගන්නට විය යුතුය. ලී ක්වාන් යූ ලංකාවට වැරැදුණු තැන ලිව්වේ තුන්වැනි ලෝකයෙන් පළමු ලෝකයට සිංගප්පූරුව ගෙන ගිය ගමන නම් වූ පොතෙනි. මෛත්‍රි සහ රනිල් හදන්නේත් කුමාරස්වාමිලා හරහා ලංකාව තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට ගෙන යන්න විය යුතුය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Read more

Recent Posts

Popular Posts

Popular Posts