Open top menu
Friday, November 16, 2012


නිදහසින් පසු මේ රටේ ප්‍රකාශයට පත්වූ හැම අයවැයක්‌ විසින්ම අප කා දමන ලද බව නොබියව කියමු. ඒ බව දැන දැනත් ලඡ්ජාවක්‌ නැති අපගේ ජනයා හැම අවුරුද්දකම අය වැය එනතුරු බලා සිටින්නේ සිහින සාප්පුවක්‌ අරින තුරු බලා සිටින කුඩා දරුවන් මෙනි. සාප්පුව අරින විට බලාපොරොත්තු වූ දේවල් එකක්‌වත් නැත. එක්‌කෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පැනවෙන බදු වැඩිකර ඇත. එහෙමත් නැත්නම් ඉන්ධන මත පැනවෙන බදු වැඩිකර ලයිට්‌ බිල්, බස්‌ ගාස්‌තු නඟින තැනට වැඩ සිද්ධ වී ඇත. එහෙමත් නැත්නම් නිෂ්පාදන අමුද්‍රව්‍ය මත පැනවෙන බදු වැඩිකර ඇත. එවිට ද භාණ්‌ඩ මිල ඉහළ යයි. අන්තිමේදී අය වැය ලේඛනය කියවීම නිමාවට පත් කරමින් මුදල් ඇමැතිතුමා/රාජ්‍ය නායකයා කියන්නේ රටේ සංවර්ධන වේගය ඉහළ ගොස්‌ ඇති බවය. දළ ජාතික නිෂ්පාදන වේගය වර්ධනය වී ඇති බවය. රුපියල තවදුරටත් ශක්‌තිමත් වී ඇති බවය. යටිතල පහසුකම් ඉහළ ගොස්‌ ඇති බවය. මෙසේ සියලු දේ සංවර්ධනය වී උසස්‌ තත්ත්වයකට පත්වී නම් බඩු මිල ඉහළ ගොස්‌ ඇත්තේ කවර ලබු ගෙඩියක්‌ නිසාදැයි ජනතාව කල්පනා කරන්නට පටන් ගනී.
ඒ අතර සිහින සාප්පුවේ මුදලාලි එහි දොරවල් වසන්නට පටන් ගනී. ඊළඟ අයවැයේදී වත් අපගේ සිහින ඉටුවන බවට ප්‍රාර්ථනය කරමින් අපේක්‌ෂා භංගත්වයෙන් යුතුව අපි විසිර යන්නෙමු.
ශ්‍රී ලංකාව තවදුරටත් තුන්වැනි ලෝකයේ රටක්‌ නොවේ. එය මධ්‍යම පාන්තික රටකි. මධ්‍යම පාන්තික රටක්‌ බවට පත්වීත් අපට මෙපමණ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවන්නේ නම් මේ රට ඉහළ මධ්‍යම පාන්තික රටක්‌ වූ පසු හිඟා නොකා හිඟා කන්නටත්, ධනපති පන්තියේඅ රටක්‌ වූ පසු කන්නට නැතුව මැරෙන්නටත්, අපට සිදුවන බව ස්‌ථිරය. ඇත්තටම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතී. කොට්‌ටාවෙන් අධිවේගී මාර්ගයට පිවිස විනාඩි 50 කට පසු ගාල්ලෙන් බැසීමට දැන් අපට පිළිවන. කොළඹ සිට කතරගමට, කොළඹ සිට ගාල්ලට, කොළඹ සිට නුවරට, කොළඹ සිට මාතරට, රත්නපුරයට යන කාපට්‌ කළ පාරවල් කොතරම් සැප පහසුද යත්, එම පාරවල්වලට ප්‍රේම කරන්නට තරම් අපට හිතෙයි. එහෙත් ඒ පාරේ යන අතර කඩයක්‌ ළඟ නතර කර බනිස්‌ ගෙඩියක්‌ කා ප්ලේන්ටියක්‌ බීවොත් රුපියල් 50 ක්‌ ඉවරය. බත් වේලක්‌ කෑවොත් රුපියල් 200 ක්‌ ඉවරය. බීම බෝතලයක්‌ බීවොත් රුපියල් 35 ක්‌ ඉවරය. ගමන ගොස්‌ ගෙදර එනවිට අප ඉවරය.·
මෙයට හේතුව කුමක්‌ද? යුද ණයද? සංවර්ධන ණයද? එහෙමත් නැත්නම් අපේ කරුමක්‌කාරකමද? ස්‌ථිර වශයෙන්ම අපේ කරුමක්‌කාරකම විය යුතුය. යුද්ධය හමාරය. සංවර්ධනයත් ඉහළය. එහෙත් ජනයා දවස ගෙවා ගන්නේ කෙසේද යන ගැටලුව ලිහා ගන්නට දස අතේ කල්පනා කරති.
අද රටේ ජීවන වියදම කොතරම් ඉහළ තත්ත්වයකට පත්ව ඇද්ද යත්, රුපියල් විසිදහසක පමණ අවම වැටුපක්‌ ලබන දරු පවුලක්‌ ජීවත් වන්නේ කෙසේද යන්න හිතා ගැනීමටත් බැරි තරම්ය. මේ පවුල මව, පියා සහ පාසල් යන දූ දරුවන් තිදෙනකු සිටින්නේ යෑයි සිතමු. එවිට පියා සහ දරුවන්ගේ ගමන් ගාස්‌තු සහ පාසල් වියදම් කර තුන්වේල කා ඇඳුම් පැළඳුම් ඇඳීමද නිසි ලෙස කළොත් ඔවුන්ට ලයිට්‌ බිල ගෙවීමට නොහැක. ලයිට්‌ බිල ගෙව්වොත් මාස භාගයක්‌ බස්‌ එකේ යැමටත් ඉතිරි භාගය පයින් යැමටත් සිදුවේ. සම්පූර්ණ මාසයම බස්‌ එකේ ගියොත් තුන්වේල වෙනුවට වේල් දෙකක්‌ කෑමට සිදුවේ. මේ චක්‍රයේ සමහර අවස්‌ථාවල සමහර දේ සඳහා වැඩිපුර වියදම් කළොත් පවුලේ සියලු දෙනාටම නිරුවතින් සිටීමට සිදුවේ.
ඉහත සඳහන් අදහස එක්‌තරා ආකාරයක තර්කයකි. කොතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් නිරුවතින් සිටින හෝ, කලුවරේ සිටින හෝ බඩගින්නේ මැරෙන පවුල් ලංකාවේ නැත. එහෙත් පාලනයක්‌ නැතිව ජීවන වියදම මේ ආකාරයෙන් ඉහළ යන්නට පටන් ගත්තොත් මේ තර්කයේ කරුණු එකින් එක සැබෑ වීමට පටන් ගැනීමට ඉඩ තිබේ.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...

    චේදයන් විසල් වැඩියි. චේදයන් අතර ඉඩක් තබන්න, කියවීමට ලේසියි, පියකරුයි. ජය.....

    ReplyDelete
  2. ස්තුතියි සහොදරයා...

    ReplyDelete

Popular Posts

Popular Posts