Header Ads

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය-වික්ටර් අයිවන්


විවේචනාත්මක විශ්ලේෂණයක්


සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග‍්‍රහයකට හසුකොට නැති විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය.
උසස් අධිකරණවල විනිශ්චයකාරවරුන්ට ඔවුන්ට ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ තර්ජනයකින් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ලබාදීම ශිෂ්ට සම්පන්න ලෝකයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. බරපතළ වැරදි කරන උසස් අධිකරණයේ විනිශ්චය කාරවරයකු තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. සමහර රටවල් එවැනි ආරක්ෂාවක් විගණකාධිපති, මැතිවරණ කොමසාරිස් වැනි තනතුරුවලටද ලබාදී තිබේ. විධායක ජනාධිපතිවරුන් අයත් වන්නේද මේ ගණයටය. විධායක ජනාධිපතිවරයකු බරපතළ වැරදි කරන්නේ නම් ඔහුගේ නිල කාලය සම්පූර්ණවීමට පෙර තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය.


ඇමරිකාව, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ ජර්මනිය

බොහොමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දෝෂාභියෝගයකින් පමණක් තනතුරෙන් ඉවත් කළ යුතු තනතුරු දරන්නන් සඳහා යොදා ගැනෙන්නේ එක සමාන දෝෂාභියෝග ක‍්‍රමයකි. නිදර්ශනයක් වශයෙන් ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඇමරිකන් ජනාධිපති හෝ උසස් අධිකරණයේ විනිශ්චය කාරවරුන් තනතුරෙන් පහකිරීමක් කරන්නේ නම් එය කළයුත්තේ දෝෂාභියෝග මගිනි. එහිදී ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග පිළිවෙත ඒ සියලූදෙනාම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ එකම ආකාරයටය. එහි ජනාධිපති සම්බන්ධයෙන් එක පිළිවෙතකුත් විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් තවත් පිළිවෙතකුත් ක‍්‍රියාත්මක වන්නේ නැත.

ඇමරිකාවේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමය අනුව දෝෂාභියෝගයකදී චෝදනා පත‍්‍රය සකස් වියයුත්තේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය මගිනි. ඊට නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුය. චෝදනා විභාග කරනු ලබන්නේ සෙනට් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාව මගිනි. එම කාරක සභාවේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියාකරන්නේ අගවිනිසුරුවරයාය. කාරක සභාව මගින් කරන පරීක්ෂණයෙන් චෝදනා සනාථ වුවහොත් එය සෙනෙට් මණ්ඩලයේ ඡන්ද විමසීමට ලක් කෙරේ. එම රැස්වීමට සහභාගි වන මන්ත‍්‍රීවරුන් තුනෙන් දෙකක ඡන්දයෙන් එය අනුමත වුවහොත් චෝදනාලාභී ජනාධිපතිගේ හෝ උසස් අධිකරණයේ විනිසුරුවරයාගේ තනතුර අහිමි වේ.

ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමවේදයද ඊට අදාළ සියලූදෙනා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ එකම ආකාරයකටය. එහි ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විගණකාධිපති හා මැතිවරණ කොමසාරිස් යන තනතුරු දරන්නන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කළහැක්කේ දෝෂාභියෝගයකින් පමණය. දෝෂාභියෝගයක් අනුමතවීම ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකේ පැමිණ ඡන්දය දෙන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දයකින් හෝ මණ්ඩල දෙකේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් අඩකට වැඩි ඡන්දයකින් හෝ විය යුතුය.

දකුණු අප‍්‍රිකාවේද ජනාධිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඔවුන් දරන තනතුරුවලින් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. එහිද ඒ දෙපිරිසටම දෝෂාභියෝගයක් සඳහා යොදා තිබෙන විධිවිධාන සමානය. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් ජාතික රාජ්‍ය සභාවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතුය.

ජර්මන් ආණ්ඩුක‍්‍රමයේ තිබෙන විධිවිධානද ඒ දෙපිරිසටම එක සමානය. එහිද ජනාධිපති හෝ උසස් අධිකරණයේ විනිශ්චය කාරවරුන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. ඒ සඳහා ඉදිරිපත් කැරෙන දෝෂාභියෝගයක් නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ හෝ සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය

එහෙත් ශ‍්‍රී ලංකාවේ දෝෂාභියෝගයකින් පහකළ යුතු ගණයට වැටෙන තනතුරු සඳහා ඇතිකර තිබෙන විධිවිධාන සියලූදෙනා සඳහා එක සමාන නැත. ජනාධිපති සඳහා තිබෙන්නේ එක ක‍්‍රමයකි. උසස් අධිකරණයේ විනිසුරුවරුන් සඳහා තිබෙන්නේ තවත් ක‍්‍රමයකි. ජනාධිපති සඳහා විධිවිධාන ඇතිකර තිබෙන්නේ ඉතාමත් බරපතළ වැරදි කරන ජනාධිපතිවරයෙකු පවා දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් පහකිරීමක් කළ නොහැකි ආකාරයටය. අනෙක් අතට උසස් අධිකරණවල විනිසුරුවරුන් සඳහා විධිවිධාන ඇති කර තිබෙන්නේ ජනාධිපති හෝ ආණ්ඩු පක්ෂය කැමති නැති විනිසුරුවරුන් දෝෂාභියෝගයක් මගින් පහසුවෙන්ම පහ කළ හැකි ආකාරයටය.

ජනාධිපතිවරයකු දෝෂාභි යෝගයක් මගින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇති කර තිබෙන විධිවිධාන මෙසේය.

ජනාධිපතිවරයා ශාරීරික හෝ මානසික දුබලතාවක් නිසා ඔහුගේ ධුරයේ කාර්යභාරය ඉටු කළ නොහැකි තත්ත්වයක සිටින බවට හෝ චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට, රාජද්‍රෝහී වැරදිකර ඇති බවට, අල්ලසට, දූෂණයට අදාළ වැරදි කර ඇති බවට හෝ ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කර ඇති බවට චෝදනා කරන යෝජනාවක් මන්ත‍්‍රීවරයකුට කතානායක වෙත භාරදිය හැකිය. එම යෝජනාව ඊට ඇතුළත් චෝදනා සනාථ කැරෙන සාක්ෂි සහිත එකක් විය යුතු අතර ඒ මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයක් හා තීන්දුවක් ඉල්ලා සිටිය යුතුය. එම යෝජනාවට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් තුනෙන් දෙකක් අත්සන් තබා ඇත් නම් කතානායක එම යෝජනාව අනිවාර්යයෙන් බාරගත යුතුය. මන්ත‍්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් තබා නැති අවස්ථාවකදී හා ඊට මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් අත්සන් තබා ඇති නම් එම යෝජනාව භාර ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීමේ අභිමත බලය කතානායකට හිමිවන්නේය.

ඉන්පසු එම යෝජනාව විවාදයට ගත යුතුය. යෝජනාව පැමිණ නොසිටින මන්ත‍්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වුවහොත් යෝජනාවේ එන චෝදනා පරීක්ෂා කර බලා තීන්දුවක් දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. චෝදනාලාභී ජනාධිපතිටද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ හැකිය.

එහිදී චෝදනා සනාථ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත වී තිබියදීත් එය නිෂ්ප‍්‍රභ වන්නේය. එහිදී පාර්ලිමේන්තුවට කළහැකි දෙයක් නැත. චෝදනා සනාථ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් තුනෙන් දෙකක ඡන්දයකින් අනුමැතිය දී යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා තිබියදීත් ඉන්පසු නැවත එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත විය යුතුය. එය තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත නොවුවහොත් එහිදීත් චෝදනා අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණයට කළහැකි දෙයක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය දෝෂාභියෝගය සනාථ කර තිබියදීත් දෝෂාභියෝගය නිෂ්ප‍්‍රභ වන්නේය.

ක‍්‍රමය සකස් කර තිබෙන්නේම ජනාධිපතිවරයාගේ වාසියට හේතුවන ආකාරයට හා තමන්ගේ ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධි කරණය හෝ පාර්ලිමේන්තුව සමග පස්සා දොරෙන් ගනුදෙනු කිරීමට ඉඩ ලබාදෙන ආකාරයටය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති චෝදනාවලට වරදකරු කරන අවස්ථාවකදී පවා නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීම අවශ්‍ය කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සමග පස්සා දොරෙන් ගනුදෙනු කිරීමට දරන උත්සාහයක් අසාර්ථක වන අවස්ථාවකදී පවා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමග අවසාන වශයෙන්ද පස්සා දොරෙන් කැරෙන ගනුදෙනුවකට ජනාධිපතිවරයාට ඉඩ ලබාදෙන ආකාරයටය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබී ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදීද වැරදිකරුවකු වන ජනාධිපතිවරයකු ඉන්පසුව මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ අදහස් වෙනස් කොට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු එම තීන්දුවට තුනෙන් දෙකක අනුමැතිය ලබාගත නොහැකි තත්ත්වයක් ඇති කළහොත් ඉන්පසු විය හැක්කේ කුමක්ද? අනෙක් අතට මන්ත‍්‍රීවරුන් තුනෙන් දෙකක් චෝදනා අනුමත කළ අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා නිදහස් කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද?

ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් කැරෙන දෝෂාභියෝගයක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පනවා තිබෙන විධිවිධාන මුළු ආණ්ඩු ක‍්‍රමයම හාස්‍යජනක විහිළුවක් බවට පත්කර ඇතැයි කිව හැකිය. ජනාධිපතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත්වන්නේ ඇයි?

ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එන විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් තුනෙන් දෙකක් චෝදනා අනුමත කළද ශ්‍රේෂ්ඨාධිකරණය එම චෝදනා අනුමත නොකරන්නේ නම් එම දුෂ්කර රාජකීය පොරයෙන් අවසාන වශයෙන් ජයගන්නේ ජනාධිපතිය. අනෙක් අතට යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණ පරීක්ෂණයකට යවන්නට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන තිබියදී වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති චෝදනාවලට වරදකරු කර තිබෙන අවස්ථාවකදී වුවත් ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් අනුමත නොවන්නේ නම් එහිදීත් එම රාජකීය පොරයේ අවසාන ජයග‍්‍රහණය ලැබෙන්නේ ජනාධිපතිටය. මෙම විධිවිධාන ඇතිකර තිබෙන්නේ කොතරම් බරපතළ වැරදි කරන ලද ජනාධිපතිවරයෙකුට වුව තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ පක්ෂපාතීත්වය ලබාගත හැකි නම් එම අර්බුදය ජයගැනීමේ හැකියාව ලබාදෙන ආකාරයටය. ඒ මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ හෝ ජනතාවගේ යහපත නොසලකා ජනාධිපතිගේ ආරක්ෂාව සඳහාම සකස් කරන ලද කූට ලියවිල්ලක් බවට පත්කර තිබෙන්නේය.

එය ජනාධිපතිවරයකුට තමන්ට පක්ෂපාතීව ක‍්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණයක් අවශ්‍ය වන එක් තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. පක්ෂවාදී ශ්‍රේෂ්ඨාධිකරණයක් අවශ්‍ය කරන ඊළඟ අවස්ථාව වනුයේ ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකදීය. මේ රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය හා එය විසින් ඇති කර තිබෙන දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ බලයේ සිටින හැම ජනාධිපතිවරයෙකුම පාහේ දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපති වරණයකදී (18 වැනි සංශෝධනය අනුව නම් තුන්වැනි හෝ හතරවැනි ධුර කාලයක් සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණවලටද මෙම රීතිය වලංගුය.) රාජ්‍ය බලය සේ ම රාජ්‍ය සම්පත්ද මැතිවරණ නීතිවලට පටහැනිව සිය මැතිවරණ කටයුතු සඳහා යොදා ගනු ලබයි. ජනාධිපතිවරණ පෙත්සමකදී තේරී පත්වූ ජනාධිපතිවරයකුගේ තනතුර අහිමි කිරීමට ඒ වරද ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්ය. මේ නිසා මේ ක‍්‍රමය තුළ බලයට පත්වන හැම ජනාධිපතිවරයෙකුටම තමන්ට පක්ෂපාතව ක‍්‍රියාකරන ශ්‍රේෂ්ඨාධිකරණයක් අවශ්‍ය වන්නේය. මෙම දූෂිත ක‍්‍රමය තුළ බලයට පත්වන හැම ජනාධිපතිවරයකුටම තමන්ට පක්ෂපාත අගවිනිසුරුවරයකු අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසාය.

විනිශ්චයකාරවරුන් සඳහා විධිවිධාන

දැන් අපට අගවිනිසුරුවරයකු හෝ උසස් අධිකරණයේ විනිසුරුවකු දෝෂාභියෝගයක් මගින් පහකිරීම සඳහා තිබෙන විධිවිධාන හා ඒවා ජනාධිපතිට එරෙහිව ඉදිරිපත් කැරෙන දෝෂාභියෝගයක් සඳහා පනවා තිබෙන විධිවිධානවලින් වෙනස්වන්නේ කෙසේදැයි සොයා බැලිය හැකිය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය අනුව උසස් අධිකරණවල (ශ්‍රේෂ්ඨාධි කරණයේ හෝ අභියාචනාධිකරණයේ) ඔප්පු වී ඇති විෂමතාව හෝ අබලතාව පදනම් කොටගෙන නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තු යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාලාභී අගවිනිසුරුවරයා හෝ උසස් අධිකරණයේ විනිසුරුවරයා තනතුරෙන් ඉවත් කළ හැකිය.

මීට පෙර සලකා බලන ලද ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් බොහෝ රටවල දෝෂාභියෝගයකින් පමණක් ඉවත් කළ යුතු ගණයට වැටෙන තනතුරු දරන්නන් සඳහා ඇති කර තිබෙන දෝෂාභියෝග විධිවිධාන එක සමානය. එය ජනාධිපතිටත් අන් සියලූ දෙනාටත් එක සමානය. එහෙත් ශ‍්‍රී ලංකාවේ එය එක සමාන නැත. විධිවිධාන ඇති කර තිබෙන්නේ ජනාධිපතිට එක විදියකටත්, උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තවත් විදියකටත් යන ආකාරයටය.

ජනාධිපතිවරයා සඳහා විධිවිධාන ඇති කර තිබෙන්නේ පහකිරීමක් කළ නොහැකි ආකාරයටය. විනිශ්චයකාරවරුන් සඳහා විධිවිධාන ඇතිකර තිබෙන්නේ ජනාධිපති හෝ ඔහුගේ ආණ්ඩුව කැමති නැති විනිසුරුවරු සිටිත් නම් ඔවුන් අපහසුවකින් තොරව පහකළ හැකි ආකාරයටය. මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය නිර්මාණය කර තිබෙන්නේ සාධාරණ බලතුලනයකට හේතුවන ස්වාධීන අධිකරණ ක‍්‍රමයකට ඉඩ ලැබෙන ආකාරයට නොව විධායකයට පක්ෂපාත හා යටහපත්පහත් අධිකරණ ක‍්‍රමයක් ඇති කැරෙන ආකාරයටය.

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ වුවත් විනිසුරුවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළහැක්කේ දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා ඔප්පු වී ඇති නම් පමණය. එය 107 (2) වගන්තියේ පැහැදිලිව සඳහන් වේ. අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව මුලදී දෝෂාභියෝගයක් ඉදිරිපත් නොකොට ඔහු ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති විවේචනයට ලක්කරමින් ප‍්‍රසිද්ධ කතාවක් කිරීම මගින් බරපතළ වරදක් කර ඇත්තේද යන්න සොයා බැලීම සඳහා පළමුවෙන් තේරීම් කාරක සභාවක් පත් කරන ලද්දේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව දෝෂාභියෝගයකදී ඉදිරිපත් කැරෙන චෝදනා ඔප්පු වී තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ නිසාය.

අගවිනිසුරුවරයා එවැනි කතාවක් කිරීම මගින් තනතුරෙන් පහකිරීමට තරම් වන බරපතළ වරදක් කර ඇති බව පළමු තේරීම් කාරක සභාව තීරණය කිරීමෙන් පසු තවත් කාරක සභාවක් පත්කරන ලද්දේ තනතුරෙන් පහකිරීමට හේතුවන තරමේ වරදක් ඒ මගින් කර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහාය.

උසස් අධිකරණයේ විනිසුරුවරුන්ට බරපතළ චෝදනා එල්ල වන අවස්ථාවලදී ඒවා පරීක්ෂාවට ලක් කැරෙන විශේෂ ආයතන ක‍්‍රම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ක‍්‍රියාත්මක වේ. ඉන්දියාවේද ඒ සඳහා විශේෂ ආයතන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. ප‍්‍රංශයේ නම් චෝදනා පරීක්ෂා කරන්නේ ව්‍යවස්ථා සභාව විසිනි. ඇමරිකාවේ නම් එසේ කරන්නේ අගවිනිසුරුගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන සෙනට් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කාරක සභාව මගිනි. අපේ රටේද පාර්ලිමේන්තුවට චෝදනා ඉදිරිපත් කරන්නට පෙර එම චෝදනා විභාග කිරීම සඳහා වෙනම ආයතන ක‍්‍රමයක් ඇතිකර ගැනීම අවශ්‍ය වී තිබුණද පාර්ලිමේන්තුව ඒ වගකීම දිගින් දිගට සම්පූර්ණ කිරීමට අසමත් විය. එවැනි ක‍්‍රමයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව අගවිනිසුරු නෙවිල් සමරකෝන්ගේ චෝදනා පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද දෙවැනි පාර්ලිමේන්තු කාරක සභාව විසින්ද යෝජනා කර තිබුණි. ඉන්පසු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදීද එම ප‍්‍රශ්නය නැවත සංවාදයට ලක්විය. එහෙත් සුදුසු ආයතන ක‍්‍රමයක් පාර්ලිමේන්තුව විසින් ඇති කරගැනීමක් සිදු නොවීය.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වී තිබෙන මේ අවස්ථාවේදී වුවත් පාර්ලිමේන්තුව එම කාරණය බැ?රුම් ලෙස සලකා බැලිය යුතුව තිබුණි. සාධාරණ විභාගයකින් තොරව අගවිනිසුරුවරයකු තබා කවර පුද්ගලයකුගේ තනතුර හෝ රැකියාව අහිමි කරන ක‍්‍රමයක් සාධාරණ හෝ නීතියට අනුකූල හෝ විය නොහැකිය.

සාධාරණ නඩු විභාගයක් ලබාදීමේ වැදගත්කම

1990 ගණන්වලදී මට එරෙහිව පාර්ලිමේන්තු වරප‍්‍රසාද චෝදනා පහක් මතුවූ අවස්ථාවේදී මාගේ මූලික විරෝධයට පදනම් කරගනු ලැබූ තර්කයද එය විය. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතියක් තිබුණද එම නීතිය කඩකරන අයට එරෙහිව නඩු අසා දඬුවම් කිරීම සඳහා අවශ්‍ය නීතියෙන් නියම කළ කාර්යපටිපාටියක් සහිත අධිකරණ ක‍්‍රමයක් නොතිබුණි. එසේ නොතිබියදීත් පාර්ලිමේන්තුව ඊට පෙර බොහෝ ජනමාධ්‍යවේදීන්ට දඬුවම් පමුණුවා තිබුණි. මාගේ තර්කය වූයේ මට එරෙහිව දඬුවම් කිරීමේ අධිකරණ බලයක් පාර්ලිමේන්තුවට ඇතිනම් ඒ අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට නීතියෙන් නියම කළ කාර්යපටිපාටියක් සහිත අධිකරණ ක‍්‍රමයක් පාර්ලිමේන්තුවට තිබිය යුතු බවය. සාධාරණ නඩු විභාගයක් ලබාදිය හැක්කේ එවිට පමණක් බවය. නීතියෙන් නියම කළ සාධාරණ නඩු විභාගයකින් තොරව මට දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට තිබිය නොහැකි බවය.

මොන මොන හේතු නිසා හෝ මාගේ එම මූලික විරෝධය බැ?රුම් ලෙස සැලකිල්ලට ගෙන මාගේ චෝදනා විභාගය අත්හැරීමට පාර්ලිමේන්තුවට සිදුවිය. අවසානයේ පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය සංශෝධනය කරන ලදි. ඉන්පසු පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නඩු අසා දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නැත. එවැනි නඩු පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතුය.

මෙම ධර්මතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ටද අදාළ විය යුතුය. පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව නඩු අසා දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව නඩු අසා දඬුවම් කිරීමේ බලයක්ද පාර්ලිමේන්තුවට තිබිය නොහැකිය. රටේ නීති සම්පාදනය කරන ආයතනය වශයෙන් පාර්ලිමේන්තුව වෙනත් ඕනෑම ආයතනයකට වඩා නීතිගරුක විය යුතුය. ඒ බව පෙනෙන්නටද තිබිය යුතුය. ජනමාධ්‍යවේදියෙකුගේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යැවිය හැකි වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යැවිය නොහැකිය. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළහැකි හොඳම ප‍්‍රතිපත්තිය වන්නේ ඉන්දියාව හෝ වෙනත් රටවල මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් වන අවස්ථාවලදී ඒවා විභාග කිරීම සඳහා විශ‍්‍රාම ගිය අගවිනිසුරුවරුන් හෝ ඒ තත්ත්වයේ ලා සැලකිය හැකි වෙනත් අය ඇතුළත් වන ලෙස විශේෂ පරීක්ෂණ කමිටුවක් ඇති කොට චෝදනා විභාග කිරීමේ බලය එම කමිටුව වෙත ලබාදීමය. කමිටුව චෝදනා විභාග කොට චෝදනාවලට අගවිනිසුරු වරදකරු ලෙස තීන්දු කරයි නම් එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට යෝජනා සම්මතයක් මගින් ඇය තනතුරෙන් ඉවත් කළ හැකිය.

ස්වාභාවික යුක්තියට පටහැනි හෝ නීතියට අනුකූල නොවන ක‍්‍රියාමාර්ගයක් මගින් පාර්ලිමේන්තුව ඇය තනතුරෙන් පහකළහොත් එය ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ලෝක පාර්ලිමේන්තු ප‍්‍රජාව අතර තිබෙන පිළිගැනීම අහිමි කරන බලවත් හේතුවක් ලෙස ක‍්‍රියා කළ හැකිය.

No comments

Powered by Blogger.