Header Ads

ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කළ කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ. මේ වනාහි ලංකා ඉතිහාසයේ තවත් අඳුරු හා ලජ්ජාසහගත මොහොතක ලේඛනගත සංකේතයක් බව කිවයුතුය.

දෝෂාභියෝග කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් ඊට පාදක කරගත් ක‍්‍රියාපරිපාටියත් එවැනි දෙයක් නොකළ යුත්තේ කෙසේදැයි යන්නට හොඳම උදාහරණ ලෙස සැලකිය හැකිය.

දෝෂාභියෝග නඩු විභාගයත් කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් මෙතැන් සිට ලංකාවේ ඉතිහාසය වෙයි. ඒ ඉතිහාසය කියනු ඇත්තේ කුමක්ද? රටේ අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහළම නාමධාරී කාන්තාවට එරෙහිව පදනමක් නැති චෝදනා ගොනුකොට, පාර්ලිමේන්තුවට ගෙන්වා, ඇයට සාධාරණ නඩු විභාගයක් නොදීමෙන් නොනැවතී ඇය
පෞද්ගලිකව අවමානයට හා අපහාසයට පත්කරමින්, මේ රටේ පාර්ලිමේන්තුව තමන් විසින්ම තමන් ඉතිහාසයේ නින්දාසහගතම තත්ත්වයකට පත්කරගත් බවය. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ මහ හඬින් කියතත් ඇත්ත තත්ත්වය ඒ සා කනගාටුදායකය.



විධායකයේ දුෂ්ට අරමුණ කුමක් වුවද, රටක ව්‍යවස්ථාදායකයක් පවත්වාගත යුතු අවම ප‍්‍රමිතීන් පවත්වාගැනීම සඳහාත් එමගින් අඩුගණනේ තම ආත්ම ගෞරවය ආරක්‍ෂාකරගැනීම සඳහාත් කිසියම් ප‍්‍රමිතිගත කාර්ය පටිපාටියක් සකස්කොට අනුගමනය කරන්නට පාර්ලිමේන්තුවට හැකියාවක් හා වගකීමක් තිබිණි. එහෙත් පාර්ලිමේන්තුව චේනාන්විතවම ඒ අවස්ථාව අත්හැර දමා විධායකය හමුවේ තම ස්වයංදීනභාවය නැවතත් මනාව ප‍්‍රදර්ශනය කළේය. කෙතරම් දුරකට එය එසේ විණිදැ යි කිවහොත් පාර්ලිමේන්තුවේ, තමන්ගේම ස්ථාවර නියෝග පවා අත්හිටුවාගෙන විධායකයට අවශ්‍ය වන පරිදි එක් රැයකින් අගවිනිසුරුවරිය ඉවත්කිරීමේ කාර්යභාරය මනා ලෙස සම්පූර්ණකොට දෙන්නට මේ පාර්ලිමේන්තුව උත්සාහ දැරූ බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබේ. මෙවැනි කොඳු ඇටය කඩාගත් පාර්ලිමේන්තුවක උත්තරීතරභාවය ගැන කතාකිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද?

ප‍්‍රශ්නය එතෙකින් අවසන් නොවේ. මේ වාර්තාවත් ඒ හා බැඳුණු ක‍්‍රියාදාමයත් ඉන්පසු ලංකාවේ දේශසීමාවලින් ඔබ්බට ගොස් ලෝකයේ විවිධ සාකච්ඡුා මණ්ඩපවල අවධානයට යොමුවනු ඇත්තේය. ලංකාවද සාමාජිකයකු වන පොදුරාජ්‍ය මණ්ඩලයේ බොහෝ සාමාජික රටවල පවතින්නේ එංගලන්ත ආණ්ඩුක‍්‍රමය පදනම්කරගත් පාර්ලිමේන්තු පාලන සම්ප‍්‍රදායයි. ඒ රටවල පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අපේ රටේ ආදර්ශය ලෙස දැන් පෙනෙන්නේ කුමක්ද? දැනටමත් අප ඉන්නේ 2013දී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ප‍්‍රධාන පෙළේ් රටවල් කිහිපයක් විසින් වර්ජනය කිරීමට ඉඩ ඇති අවමන්සහගත තත්ත්වයකය. එය වර්ජනය කිරීමේ ඉල්ලීම්වලට මේ පාර්ලිමේන්තු දෝෂාභියෝග වාර්තාවෙන් කවර උත්තේජනයක් සපයනු ඇද්ද? 2013 මාර්තු මස රැස්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී, මෙතෙක් ලංකාවට සහාය දුන් රුසියාව, චීනය හා කියුබාව නැති සටන් බිමකට අප යන්නට සැරසෙන්නේ මෙවැනි ලපකැළැල් සහිතවද? දැනටමත් ලෝකයේ විවිධ රටවල් හා සංවිධාන මේ දෝෂාභියෝග ක‍්‍රියාවලිය ගැන සිය කනස්සල්ල පළකොට තිබේ. මේ සියල්ලෙහිම සම්ප‍්‍රයුක්තය ලෙස ලංකාව නුදුරු අනාගතයේ ඇදවැටෙනු ඇත්තේ කවර අගාධයකටදැ යි සාමාන්‍ය සිහිබුද්ධිය ඇත්තකුට දැන්ම තේරුම්ගත හැකිය.

බලවත් විධායකයක් හමුවේ අසරණ වන හා වරදානයන්ට යටත්වන පාර්ලිමේන්තුවක් ගැන අපට සිතාගත හැකිය. රට අවමානයට පත්කරනවායැ යිද රටට එරෙහිව කුමන්ත‍්‍රණ කරනවායැ යිද අතළොස්සක් පිරිසකට එරෙහිව චෝදනා එල්ලකරන ආණ්ඩුව, රට අවමානයට හා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමට තමන් කෙතරම් දායක වී සිටිනවාදැ යි කැඩපතක් ඉදිරියට ගොස් බලාකියාගත යුතු අවස්ථාව දැන් එළැඹී තිබේ.
[Sunday, December 16, 2012] රාවය

No comments

Powered by Blogger.