Header Ads

ජන බලය වරදට බලපත‍්‍රයක් නොවේ



ආණ්ඩුව, විශේෂයෙන් එහි බලවත්ම අංගය වන විධායකය ගමන්කරමින් සිටින්නේ අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට බව දැන් නැවතත් පැහැදිලිවෙමින් පවතියි. එය මේ දැන් ඇරඹූ ගමනක් නොවේ. දැන් ගතවෙමින් තිබෙන්නේ, ඉන් එපිටින් ලද පූර්වාදර්ශයන් අනුයමින්, 2005 වසරේ සිටම අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට යන ගමනෙහි වර්තමාන මොහොතයි.

එකිනෙකා කෙරෙහි සුපරීක්ෂාකාරීව බලාසිටිනා, අවශ්‍ය වුවහොත් අනෙකාගේ නොමනා ක‍්‍රියාවන් පාලනය කරනා ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනක් වෙන් වෙන්ව තිබීම කිසියම් රටකට අවශ්‍ය වන්නේ, පාලකයන් බලය අනිසි ලෙස පාවිච්චිකිරීම වැළැක්වීමටත්, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමටත්ය. එහෙත් ලංකාවේ ඒ තත්ත්වය නැත. ලංකාවේ ඇත්තේ බලසම්පන්න විධායකයක අත්තනෝමතික විධානයන්ට ස්වයංදීනභාවයෙන් යුතුව අවනත වන ව්‍යවස්ථාදායකයකි. මෑතක් වනතුරුම අධිකරණය තිබුණේද ඒ තත්ත්වයේය.


බලසම්පන්න විධායකයක ප‍්‍රධානියා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කැමැති වන්නේ, ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් පුරවැසියාත් තමන්ට යටත්ව සිටින ලංකාවකට විය හැකිය. තම කාර්යයනට කිසිම කෙනකුගෙන් විරෝධයක්, විවේචනයක් එල්ල නොවන ලංකාවකට විය හැකිය. තම තර්කය තහවුරු කිරීම සඳහා ඔහු යොදාගන්නා බව පෙනෙන්නේ තමා වටා ඇති ජන බලයයි.

මේ මොහොතේ බහුතර ජන බලය ඔහු වෙත තිබෙන බව ඇත්තකි. එහෙත් මතක තබාගත යුතු කාරණා දෙකක් තිබේ. ජන බලය වෙනස්වනසුලූ බව එකකි. වැදගත් අනෙක නම්, ජන බලයෙන් ඕනෑම වරදක් කිරීමට බලපත‍්‍රයක් නොලැබෙන බවය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම නොතකා, යහපාලනයේ, නීතියේ ආධිපත්‍යයේ මිනුම් දඬු බැහැර කර පවත්වාගෙන යන පාලනයක් හුදෙක් ජන බලයේ ආශ්චර්යයෙන් සාධාරණය වන්නේ නැත. ඈත අතීතයේ එය එසේ වුවත් මේ ශිෂ්ට ලෝකයේ එය එසේ නොවේ. අප ඉන්නේ රජකෙනකු ඔහුගේ පවුල සමග ගෙනයන දුර්දාන්ත පාලනයක් දිගින් දිගටම ඉවසා සිටීමට කැමැති යුගයෙක නොවේ. මහජන පරමාධිපත්‍යයක් ගැන කතාකරන යුගයෙකය. සමහරවිට බහුතරයේ අත්තනෝමතිකත්වය හා ක‍්‍රමය ආපසු හරවන්නේ ඒ යුගයේ ශක්තිමත් සුළුතරයක් විසින් විය හැකිය.

දැන් එළැඹ තිබෙන්නේ එවැනි ඓතිහාසික අවස්ථාවක් වන්නටද පුළුවන. තම වුවමනාවන් සපුරන්නේ නැති අධිකරණය බිමට සමතලා කිරීම සඳහා විධායකය යොදාගත් සියලූ ආයුධ දුර්වර්ණ වෙමින්, දුර්වල වෙමින් තිබේ. තමන්ගේ ගෞරවය යළි දිනාගැනීම සඳහා අධිකරණය නොසැලෙන අධිෂ්ඨානයකින් යුක්තව සටන්වැදී සිටින බව පෙනෙයි. හැමෝම කරන්නට උත්සාහ දරන්නා සේ වැඳනොවැටී, අවනත නොවී, එක් ආයතනයක් හෝ තමන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන්කරනු දක්නට ලැබීම මේ යුගයේ ආහ්ලාදජනක දෙයකි.
[Sunday, December 23, 2012] රාවය

No comments

Powered by Blogger.