Header Ads

(අ)සංස්කෘතික ඇමෙරිකාව සහ සංස්කෘතික ලංකාව



අප මත සමාජය විසින් කුඩා කළ පටන් ගොඩ නංවා ඇති මතවාදය වන්නේ සිංහල බෞද්ධයන් වන අපට වසර 2500 ක අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බවත්  ලෝකයේ වෙනත් කිසිම ජාතියකට වඩා අපි සංස්කෘතික මිනිසුන් වන බවත් මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ වන බවත්ය. ආදාරය, කරුණාව, මාපිය දුදරු, ස්වාමි-භාර්ය්‍ය සම්බන්ධතාවයන් අප විසින් දිවි පරදුවට තබා ආරක්ෂා කරන බවත්ය. අපේ අභිමානවත් ඓතිහාසික උරුමය විනාශ කර දැම්මේ විදේශිකයන් අප රට ආක‍්‍රමණය කිරීමෙන් පසුව බවත්ය. මේ නිසා වසර 1505 දී ප‍්‍රෘතුග‍්‍රීසීන් අපට රට ආක‍්‍රමණය කර වසර 1948 දී බි‍්‍රතාන්‍යයන් අප රට හැර යන කාලය දක්වා වූ කාලය තුළ එතෙක් අප රටේ වූ අභිමානවත් උරුමය මේ අය විනාශ කළ බවයි. මේ නිසා තවමත් බටහිර යුදෙව් ක‍්‍රිස්ත‍්‍රියානි ( යුදෙව්වන් ක‍්‍රිස්ති‍්‍රයානි වන්නේ කොහොමද යන්න අප නම් දන්නේ නැත) අසංස්කෘතික මිලේඡුචයන් විසින් අප රට විනාශ කිරීමට මාන බලාගෙන සිටින බවයි. මේ මතවාදය ගොඩ නගන්නේ නලින් ද සිල්වා, චමිපික රණවක, විමල් වීරවංශ ප‍්‍රමුඛ දේශහිතයිශීන් විසිනි. මේ නිසා අපට අනුව ඇමෙරිකාව ඇතුලු මුලු බටහිරම කිසිදු සංස්කෘතියක් නැති මිලේඡ්චයන් සිටින ස්ථානයකි. ඒ රටවල් මේ වන විටත් දැඞ් අර්බුදයට ලක්ව ඇති නිසා බෞද්ධ උරුමය සොයන්ට පටන් ගෙන ඇත. අප වැනි ශ්‍රේෂ්ඨ රටවල් සමග මේ අය පසු වන්නේ දැඩි ඊෂ්‍යවෙනි. වෛරයෙනි. ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇත්තේ නිදහස් ලිංගික සම්බන්ධතාවයන්ය.
ඔවුනට විවාහයෙන් පිට  ඕනෑතරම් ලිංගික  සම්බන්ධතා පවත්වන්ට පුලුවන. ගෑනු පිරිමි මාරුකර ගන්නට පුලුවන. තමන්ට කැමති නම් අම්මා එක්ක පවා නිදිවදින්නට පුලුවන. තාත්තාට දුව සමග ලිංගික සම්බන්ධතා පවත්වන්ට පුලුවන. සහෝදරයන් කියා වෙනසක් නැත. ඒ අනුව මේ රට වලට කිසිම සදාචාරයක් සංස්කෘතියක් නැත. අප ඒ අතින් කෙතරම් නම් අභිමානවත් ජාතියයක් ද? අප රටේ මෙවැනි දේ අසන්නට දැකින්ට ලැබෙනවා ද? මේ ඇමෙරිකාවෙන් ඇසෙන තවත් එවැනි අසභ්‍ය කතාවකි.

මේ දවස් වල ලෝක දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුව වන අය අතර වඩාත් ජනප‍්‍රීය නම පෝලාය. ඇය නමින් පෝලා බ්‍රෝර්ඞ්වෙල් ය. ඇය මේ තරම් ජනප‍්‍රිය වූයේ ඇයි ද කියා ඔබ දන්නවා ද? ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානයේ හිටපු ප‍්‍රධානී ඬේවිඞ් පෙටිරේස් හට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදු වූයේ මේ පොලා නිසාය.

 සී.අයි.ඒ සංවිධානයේ හිටපු ප‍්‍රධානී ෙඩිවිඞ් පෙට්රේස් සම්බන්ධයෙන් රහස්‍ය වූ තොරතුරක් ඇමෙරිකානු එෆ්.බී.අයි ආයතනයට ලැබෙන්නේ ඊ මේල් පණිවිඩයක් මගිනි. එය ඔවුන් වෙත යොමු කරන්නේ තවත් කාන්තාවක් විසිනි. මේ තොරතුරු මත ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානයේ ප‍්‍රධානී ඬේවිඞ් පෙට්රේස් ගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට රහසින් ඇතුලු වන ඒෆ්.බී.අයි නිළධාරීන් ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැුස් කරන්නට පටන් ගනී. මේ ක‍්‍රියාදාමය කරගෙන යන අතර මේ ආයතනයට ඬේවිඞ් පෙට්රේස් හා පෝලා බ්‍රෝර්ඞ්වෙල් අතර අනියම් ආදර සම්බන්ධයක් පවතින බව සොයා ගන්නට හැකි වෙනවා. ඔවුන් ඒ සම්බන්ධය කෙතරම් සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යනවාද යත් ඔවුන් ඊ මේල් පණිවිඩියක් පවා හුවමාරු කර නොගන්නට පරිස්සම් වෙනවා. ෙඩිවිඩි කරන්නේ තමන්ගේ ඊමේල් ලිපිනයේ පෝලාට කියන්නට ඇති කාරණාව සටහන් කර, පසුව තම ඊ මේල් ලිපිනයේ පාස්වර්ඞ් එක පෝලාට දීමයි. මේ සියලු තොරතුරු එෆ්.බී.අයි ආයතනය විසින් සොයා ගන්නවා. පෝලාට ඬේවිඞ් හමුවන්නේ ඔහුගේ ජීවිත කතාව ලියන්නට පෝලා විසින් බාර ගැනීමත් සමගයි. පසුව ෙඩිවිඩි විසින් සී.අයි.ඒ ආයතනයේ රහස්‍ය ලියවිලි කිහිපයක් පෝලා අත පත්කර ඇති බවත් මේ නිළධාරීන් විසින් සොයා ගන්නවා. සියලු තොරතුරු ඇමෙරිකානු ජාතික ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රධානියාට එෆ්.බී.අයි ආයතනය විසින් ලබා දුන් පසුව ඔහු ඬේව්ඞ් ට ඉල්ලා අස්වන්න යැයි කියනවා. කළ හැකි අන් යමක් තමන්ට තවත් ඉතිරිව නැති බව  අවබෝධ කර ගන්නා ඬේවිඞ් සිය ඉල්ලා අස්වීම බාර දී ගෙදර යනවා.

ෙඩිවිඩි මෙන්ම පෝලාත් විවාහයකයි. මේ ප‍්‍රශ්ණය නිසා ෙඩිවිඩි ගේ බිරිද මෙන්ම පෝලාගේ සැමියාත් දැඩි අපහසුතාවයට පත් වෙනවා. මේ සිද්ධියත් සමග මුලු ඇමෙරිකානු සිවිල් සමාජයම අර්බුදයකට ගමන් කරනවා. මේ ආකාරයේ අනියම් සම්බන්ධතා ඇති නැති සියලු නිළධාරින් මෙයින් තැති ගැන්මට ලක් වෙනවා. සී.අයි.ඒ ප‍්‍රධානියාගේ පෞද්ගලික ඊ මේල් ලිපිනයට පවා මේ ආකාරයෙන් එෆ්.බී.අයි නිළධාරින්ට ඇතුලු වන්නට පුලුවන් නම් තමන් ගේ ජීවිත දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ඒ සියල්ලන්ම වටහා ගන්නවා.

මේ සිදු වීම පිළිබදව වඩාත් වැඩි විස්තර අන්තර්ජාලයෙන්  ඕනෑතරම් ලබා ගන්නට පුලුවන්. අප මේ සිදුවීම අලලා කියන්නට යන්නේ තරමක් වෙනස් කතාවකි. මේ කතාව අපට දෙයාකාරයෙන් සලකන්නට පුලුවන්. පළමුව අපට ඬේව්ඞ් මහත්මා ගති ඇති මිනිසෙකු වන නිසා ඔහු සිය වරද පිළිගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නට කැමති වූ නිසා ඔහු හොද මහත්මයෙකු යැයි කියන්නට පුලුවන්. බොහෝ අය මේ සම්බන්ධයෙන් සිතන්නේ මේ ආකාරයෙනි. නමුත් සත්‍ය වශයෙන්ම ඬේවිඩි මහත්මයෙකු නිසා ඉල්ලා අස්වනවා නොව එරට ජාතික ආරක්ෂක ප‍්‍රධානියා ඇත්තටම ඔහුට ඉල්ලා අස්වන්න යැයි නියෝග කරයි. එසේ කරන්නේ මෙය තව දුරටත් ඉදිරියට ගෙනයාම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවිනි.


දැන් අපි අභිමානවත් සිංහල බෞද්ධයන් ලෙස අපේ ජාතික අබිමානය ගැන විමසා බලමු. අපේ සංස්කෘතික සහ සදාචාර උරුමය බටහිර සහ ඇමෙරිකානුවන්ට ලංවිය හැකි මට්ටමක නැත. එය පවතින්නේ ඔවුන්ගේ සංස්කෘතියට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

මීට කලින් වතාවක ඇමෙරිකානු හිටපු ජනතාධිපති බිල් ක්ලින්ටන් වැඬේ වැරදුනේ  මොනිකා ලෙවින්ස්කි නම් ගැහැණියක් නිසාය. අපි දැන් අපේ රටේ තත්ත්වය සලකා බලමු. අපි හොදින්ම දන්නවා අපේ රටේ මහරජාගේ  සිට ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් දක්වා බොහෝ උදවිය හැසිරෙන්නේ කොහොමද කියා. මෑතකදී රුසියානු තරුණියක් දුෂණය කර ඇගේ පෙම්වතා ඝතනය කලා යැයි සැක කරන පුද්ගලයා මහජන නියෝජිතයෙකි. තමන් කාන්තාවන් 400ක් දුෂණය කලා යැයි සාද පවත්වන විට ඒ සාද වලට කැබිනට් ඇමතිවරු යන ලෝකයේ උතුම්ම රට ලංකාවයි. බස් වල දීනපතා කාන්තාවන්ට හිරිහැර කරන සංස්කෘතික මිනිසුන් සිටින රට ලංකාවයි. තාත්තා විසින් දුව දුෂණය කරන සිදුවීම් වාර්තාවන අභිමානවත් රට ලංකාවයි. මහපාරේ මිනිසුන් දෙනෝදාහක් බලා සිටින විට මිනිසෙකු කපා කොටා මරා දමන අයුරු වීඩියෝ කර ගොස්ප් ලංකා එකකට විකුණන ආදරණීය මිනිසුන් සිටින රට ලංකාවයි. මට ඉතිං ගෑණු සම්බන්ධකම් තියෙන බවත් මම අරක්කු බොන බවත් හැමෝම දන්නවනේ යැයි ප‍්‍රසිද්ධියේ කියන ඇමතිවරු සිටින රට ලංකාවයි. මේ ආකාරයෙන් අපේ රටේ අභිමානය ගැන තවත් බොහෝ කාරණා කියන්නට පුලුවන.

ගැටලුව වන්නේ අපට වඩා අසංස්කෘතික සදාචාරයක් නැති ඇමරිකාවේ රහස් ඔත්තු සේවයේ ප‍්‍රධානියාට එක් අනියම් සම්බන්ධයක් නිසා ඉල්ලා අස්වන්නට සිදු වන විට අපේ රටේ ගෑණු 400ක් දුෂණය කළත් මහජන නියෝජිතයෙක් ලෙස දිගටම ඉන්නට පුලුවන් වීමයි. (අ)සංස්කෘතික ඇමෙරිකාව සහ සංස්කෘතික ලංකාව අතර වෙනස මෙයයි

විමුක්ති දේශප‍්‍රිය

No comments

Powered by Blogger.