Header Ads

අනාගත අඳුර


දෝෂාභියෝග ක‍්‍රියාවලිය විසින් රට නොනවත්වාම ගෙනයමින්තිබෙන්නේ අඳුරෙන් අඳුරටය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර තිබිය යුතු එකිනෙකාට ගෞරවයෙන් සැලකීමේ සම්ප‍්‍රදාය දැන් ආණ්ඩුව විසින්ම වළපල්ලට විසිකොට තිබේ.

අධිකරණය සිය වුවමනාවන් වෙනුවෙන් හැසිරවීමේ විධායකයේ වුවමනාව ඉටුකරගන්නට ආණ්ඩුව එක් අවස්ථාවක උත්සාහ දැරුවේ මහපාරේදීය. ඒ මාළුපාන් ගෙඩියට, කිරි පැකට් එකට හා රුපියල් පන්සීයට කැඳවාගත හැකි මහ පිරිසක් අධිකරණයට එරෙහිව කැඳවීමෙනි. දැන් ආණ්ඩුවේ මාධ්‍යවලට එය බාරදී තිබෙන බව පෙනෙයි. ආණ්ඩුවේ මාධ්‍යවලින් ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන් හා මාධ්‍යකරුවන් යොදාගෙන අධිකරණයට එරෙහිව කැරෙන මඩගැසීම දකින අසන ශිෂ්ට මිනිසකුට මේ නම් කවර ලංකාවක්දැයි සිතෙන තරමට තත්ත්වය පිළිකුල්ය.



දැන් ප‍්‍රධාන පාලන ආයතන තුන තිබෙන්නේ එකිනෙකා සමග කිසිදු සහයෝගයකින් වැඩ කළ නොහැකි අන්දමේ විරසක තත්ත්වයකය. අගවිනිසුරුවරිය ධුරයේ තබාගෙන තවත් ඉදිරියට යන්නට විධායකයට හැකියාවක් නැත. විධායකයේ අනිවාර්ය වුවමනාව වන්නේ ඉල්ලා අස්නොවුණහොත් ඇය ධුරයෙන් ඉවත්කිරීමය.

එහෙත්, යම් හෙයකින් දෝෂාභියෝග ක‍්‍රියාවලියේ නීත්‍යනුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය හෝ විසින් ප‍්‍රශ්න කරනු ලැබුවහොත් ආණ්ඩුව මුහුණදෙනු ඇත්තේ සිය බලය පිළිබඳ බලවත් ගැටලූවකටය. තමා ඉවත්කිරීමේ ආණ්ඩුවේ ක‍්‍රියාවලිය අධිකරණය විසින් නීත්‍යනුකූල නොවන බවට තීරණය කළහොත් විධායකය හා ව්‍යවස්ථාදායකය පැත්තෙන් එන කවර හෝ බලපෑමකට යටත් නොවී දිගටම ධුරයේ රැඳීසිටීමේ නීත්‍යනුකූල අයිතියක් හා බලයක් අගවිනිසුරුවරියට හිමිවෙයි. ඇය එසේ කළ යුතුද වෙයි. එවැනි අවස්ථාවකදී ඇය කෙරෙහි බලහත්කාරී ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය මගපාදනු ඇත්තේ මහා ජන කැළඹීමකටය. එවැනි තත්ත්වයක් රටේ සියලූ පාලන ආයතනවල පාලනය බිඳදමා රට අරාජක තත්ත්වයකට ඇදදමනු ඇතිවා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ප‍්‍රතිරූපය තවත් ඛාදනයකට ලක්කොට ලංකාව ජාත්‍යන්තර සමාජයේදී ගර්හිත රටක තත්ත්වයට පත්කරනුද ඇත්තේය. විශේෂයෙන් එළැඹෙන මාර්තු මාසයේ ජිනීවා නුවරදී ලංකාව මුණගැසීමට නියමිත ජාත්‍යන්තර සමාජය ලංකාවට එරෙහිව දක්වන ප‍්‍රතිරෝධයේ බලවත් අංගයක් බවට මේ සිදුවීම පත්වනු ඇත්තේය.

දෝෂාභියෝගය අනීතිකයැ’යි අධිකරණය තීරණය කළ විටෙකදී එය නොසලකා අගවිනිසුරුවරිය ආණ්ඩුව විසින් ඉවත්කරනු ලැබුවහොත්, තමන් දුන් තීරණයකට එරෙහිවන ආණ්ඩුවේ ඉදිරි ක‍්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ගන්නා පියවර ගැනද තවම පැහැදිලි නැත. කෙසේ වුවත් මේ තීන්දු තීරණ හරහා රටේ ප‍්‍රධාන පාලන ආයතන තුන අතර තදබල ඝර්ෂණයක් ඇතිවිය හැකි බව නම් දැන්ම තියා කිව හැකිය.

ප‍්‍රමාණවත් අවදියකින් යුතුව මෙම තත්ත්වය තේරුම්ගන්නටවත් ඒ අඳුරු තත්ත්වය ඇති නොවන ලෙස සිහිබුද්ධියෙන් යුතුව ගැටලූ විසඳාගන්නටවත් රටේ නායකයන්ට ඉස්පාසුවක් හෝ වුවමනාවක් හෝ තිබෙන බවක් නොපෙනෙයි.

ඔවුන් වෙත ඇත්තේ බලය පිළිබඳ අන්ධ උන්මාදය මිස අන් කිසිවක් නොවේ. එහෙත් ඔවුන්ගේ ඒ දූරදර්ශී උන්මාදය විසින් අඳුරට යවනු ඇත්තේ ඔවුන් පමණක් නොවේ.රටම ය.

[Sunday, December 30, 2012]   රාවය

No comments

Powered by Blogger.