Header Ads

‛ඉනියවන්‛ -‛ඉතින් ඊට පස්සෙ මොකද වුණේ‛


70 දශකයේ අතිශය ජනප්‍රිය වූ සරත්මධූ ගේ ‛ඉතින් ඊට පස්සෙ’ දේදුනු-කැලුම් පෙම් සුවඳ විජිතය පිළිබඳ චිත්‍ර කථාවයි. මෙම චිත්‍රකථාවේ දේදුනු සහ කැලුරෑම් යන පෙම්වතුන් යුවළ එක්වීම සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී විවිධාකාර දුෂ්ට බලවේගවල බාධාකිරීම් නිසා ඔවුන් යළි යළිත් වෙන්වේ.

ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතිය අනුව ලංකාවට උරුමවූ සර්වජන ඡන්ද බලයේ පිහිටෙන් සිංහල මහ ජාතියේ පාලනය යටතේ පවතින ශ්‍රී ලංකාව තුළ දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳ අරගලයද ඉතින් ඊට පස්සෙ කතාවේ දේදුනු-කැලුරෑම්ගේ ප්‍රේමය මෙන්ම පරිසමාප්තියට පත්වීමෙන් තොරව දිගින් දිගටම ඇදී යයි.

යුද්ධයේ අවසානය දෙමළ ජාතිකවාදී දේශපාලන සටනේද
අවසානය බව යළි යළිත් දකුණේ සිටින සිංහලයාට ඒත්තු ගැන්වීම සඳහා ‛ඉස්සර මම කොටියෙක්, දැන් මම පුනරුත්ථාපනය වුණා’ යනාදී සටන් පාඨ අඩංගු සිංහල චිත්‍රපට දිගින් දිගටම නිෂ්පාදනය වේ. ඒ අනුව මානුෂික මෙහෙයුම මගින් ප්‍රභාකරන්ගෙන් මුදවා ගනු ලැබූ උතුරේ මිනිසා දැන් හමුදා ආරක්ෂාව මධ්‍යයේ කාපට් පාරවල් ඔස්සේ නිදහසේ සැරිසරමින් සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටී.

මෙවන් ෆැන්ටසියක ගිලී සිටින සිංහල මිනිසාට දෙමළ ජාතිකවාදී අරගලයේ විරුවන් සිහිකරන මහාවීර දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් වීදි බැසීම යනු බලවත් ක්ෂතිමය අත්දැකීමකි. එම සාමකාමී විරෝධය මිලිටරි බලය යොදා විනාශ කරන්නේ එම ක්ෂතියෙන් ගැලවෙන්නටය.

මෙයට විකල්පව සිංහල මිලිටරිබලයෙන් මෙන්ම ධනවාදයෙන් පාලනය වන උතුරේ මිනිස් ජීවිත දෙස බැලීමට අපට යෝජනා කරමින් යුද්ධයෙන් පසු දිවි ගලවාගෙන ඉතිරි වූ දෙමළ තරුණයාට ‛ඉතින් ඊට පස්සේ ඔහුට මොකද වුණේ‛ යන අර්ථය සහිත චිත්‍රපටයක් ප්‍රවීන සිනමාකරු අශෝක හඳගම විසින් නිර්මාණය කරන්නේ මෙම පසුබිම යටතේය. කුහක සදාචාරවාදී මිනුම් දඬු යොදා ගෙන විධායකය විසින් තම සිනමා ජීවිතය මරා දැමීමට යනවිට, විධායකය සමග රන් රස සේ එක්ව සිටි අධිකරනයෙන්ද කිසිදු පිළිසරණක් නොලැබ හුදකලාවූ අශෝක හඳගම නම් සිනමාකරුවාට ‛ඉතින් ඊට පස්සෙ මොකද වුණේ‛ යන ප්‍රශ්නයටද මෙම චිත්‍රපටයෙන් පිළිතුරු ලැබෙනු ඇත.

‛ඉනියවන්‛ යන්නෙහි සුන්දර මිනිසා යන තේරුමද ඇති බව හඳගම අපට කියයි. යුද්ධයෙන් පසු දකුණට චීන ණය කන්දක් සමග නයිට් රේස්, කාපට් පාරවල්, පියාඹන පිරිසි සහ අහසින් පහත්වන එළි ලැබී ඇති අතර උතුරට ඊට වඩා හොද දේවල් ලැබී ඇත්ද යන්න ඉනියවන් තුළින් නැරඹිය හැකි වනු ඇත.

දීප්ති කුමාර ගුණරත්න

No comments

Powered by Blogger.