Open top menu
Friday, February 1, 2013


සංජීව බණ්ඩාර ….., ඔබ පළඳින්නේ දුප්පතාගේ රබර් සෙරෙප්පු දෙකය .. ඔබ උදේට කෑවේ රොටී කැල්ලක් පමණි .. නමුත් ඔබ වැදූ අම්මා පෙවූ රන් කිරේ ජවයෙන් දහස් ගණනකට නායකත්වය දෙමින් යුක්තිය උදෙසා හඬ නගන මාවත් තෝරා ගත්තාය …. නමුත් ඔබ විලංගු ලා හිරගෙට රැගෙන යයි 

සාත්‍රේ නම් ප්‍රංශ දාර්ශනිකයා තමන්ගේ සාරවත්ම කෘතිය වන ‛සත්තාව සහ ආකිංචන්‍යය’ තුළ වේටර්වරයකුගේ ආත්ම මූලිකත්වය ගැන සාකච්ඡා කරනව. තම සාංදෘෂ්ටික සාකච්ඡාව ආරම්භ කරමින් ජීන් පෝල් සාත්‍රේ මෙවැනි කාරණයක් අපට සම්මුඛ කරනව. අවන්හලකදී ප්‍රනීත ආහාර වේලක් රස විඳීමට යන ඔබට අවන්හල තුළදී වේටර්වරයෙක් හැසිරෙන ආකාරය දැකගන්න පුලුවන්. බොහෝවිට මේ වේටර්වරයා ඉතාම කාර්යක්ෂමව තම ගනුදෙනුකරුවන්ට සංග්‍රහ කරමින් සිටිනව, ඔබට දැකගන්න පුලුවන්. දෘශ්‍යමානයට අනුව වේටර්වරයා තම භූමිකාවට හොඳින් අනන්‍ය වී රඟපානු ඔබට පෙනෙන්නට පුලුවන්. නමුත් දාර්ශනිකයෙක් ලෙස සාත්‍රේ විසින් මේ අවන්හලට ගොඩවන මිනිසාගේ ‛සාමාන්‍ය දැනුම’ විච්ඡේදනය වන සුලු විවේචනයක් කරනව. සාත්‍රේට අනුව වේටර්වරයාගේ මේ අතිශයෝක්ති රංගනය හරහාම තමයි නිදහස් මනුෂ්‍යයෙකු වෙන්නෙ. වේටර්වරයා තම අධිරංගනය හරහා තමන් වෙතට සමාජය විසින් පටවා ඇති සංකේත භූමිකාව (එනම් වේටර්) අතිහිටුවනව. සරලව කිව්වොත් කාර්යක්ෂමතාවය නම් පිටපොත්ත පෙන්වා වේටර් විසින් තමන්ටම හඟවන්නෙ මෙවැනි අදහසක්. ‛අනිත් අය ඔබ වේටර් කෙනෙක් කියල හිතුවට ඔබ තුළ ඔබ වේටර් කෙනෙක් නෙවි, ඊට වඩා කෙනෙක්. ඔබත් මනුෂ්‍යයෙක්.’ වෙනත් විදිහකට කිව්වොත් ඉහත කාරණය අපට මෙහෙම කියන්නත් පුලුවන්. අවන්හලට එන මිනිස්සු වේටර්වරයාව
වස්තුවක් ලෙස දකිනව. නමුත් ඔහුට අනුව ඔහුව පේන්නෙ වස්තුවක් හැටියට විතරක් නෙවි ආත්මයක් ද හැටියට.
                මේ නිසා වේටර්වරයෙක් තම අවන්හලට එන ගනුදෙනුකරුවන්ගෙන් පෙරළා මානුෂික සබඳතා බලාපොරොත්තු වෙන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් බොහෝ වේටර්වරු තම සේවාදායකයන්ගෙන් මෙහෙම අහන්නෙ නිකමට. ‛සුභ උදෑසනක්! කොහොමද අද හරි වැස්ස නේද? අද හරි උණුසුම් දවසක් නේද මැඩම්? අද මැඩම්ගෙ බබාලා පාසැල් ගියේ නැද්ද?….’ සේවාදායකයන් මේ ප්‍රශ්න බැරෑරුම්ව නොගෙන හූ මිටි තැබීම විතරයි කළ යුත්තෙ. නමුත් අහම්බයකින් ආගන්තුක සේවාදායකයෙක් වේටර්වරයාගේ ප්‍රශ්න බැරෑරුම්ව සලකා වේටර්වරයාට උත්තර දුන්නොත් සිදුවන්නට නියමිත එකම දේ ඉන් ඔහු මවිතයට පත්වෙන එක විතරයි.
                සාත්‍රේ නම් දාර්ශනිකයාගේ වේටර්වරයා පිළිබඳ අදහස ගැන ලැකානියානු මනෝවිශ්ලේෂකයකුගෙන් ඇසුවොත් එවැන්නකු කෙලෙස පිළිතුරු දෙනු ඇත්ද?
                ඔහු දාර්ශනිකයාට වෙනස්වූ ප්‍රතිවිරුද්ධ මතයක් ඔබට සම්මුඛ කරනු ඇත. ඔහුට අනුව වේටර්වරයා තම භූමිකාවට සැබැවින්ම තදාත්මික වනවා යනු භූමිකාව (ර්‍ඔලේ සහ එය රඟ දැක්වීම (ඵ්ලයින්ග්) අතර පරතරයක් (ගප්) තබා ගැනීමයි. එනම් වේටර්වරයෙකු ලෙස තමන්ට අනුගමනය කරන්නට සිදුවන නීතිරීති, චාරිත්‍ර වාරිත්‍ර සහ ‛සැබෑ-මම’ (මෙය ඔහුම කරන අනුමානයකි- එනම් මම කියන්නේ මේ වේටර්ලාට නියමිත දවසේ වැඩ ටික නෙවි. ඉන් පිටත ‛මම’ කියල කෙනෙක් ඉන්නව) අතර වෙනසක් තියෙනව. දවසේ ජීවිතේ මේ කරන විහිලු තහලු, විකාර වැඩ, යාන්ත්‍රික චලනයන්, මුදල් ගනුදෙනුවලට පිටතින් ඉතාම උණුසුම් ලෙස ජීවත් වන ජීවමාන මිනිසෙක් ඉන්නව. අන්න එයා තමයි ‛මම’. නියම ‛මම’. සාත්‍රේට හමුවන අව්‍යාජ වේටර්වරයා යනු සේවාදායකයන් වෙනුවෙන් කාර්යක්ෂමව රඟදක්වන, මානුෂික උණුසුම මත පදනම්ව අප වෙතට මිත්‍රශීලීව අත දිගු කරන්නාය. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව මේ වේටර්වරයා සේවාදායකයන්ගේ ෆැන්ටසියක් මිස සැබෑ වේටර්වරයා නොවේ. එනම් මේ වේටර්වරයා නරුමයෙකි (cය්නිcඅල්). ‛අව්‍යාජ ඔහු’ සහ ‛වේටර්වරයාගේ භූමිකාව’ අතර පරතරයක් හැමවිටම නඩත්තු කරන්නට ඔහු දක්ෂය.
                අප සැබෑ වේටර්වරයා ලෙස හඳුනාගත යුත්තේ අව්‍යාජ රඟදැක්වීමක් කරමින් තමා එම අව්‍යාජ රඟ දක්වන්නා නොවේ යැයි සිතන වේටර්වරයාවය. අපි මොහොතකට මෙහෙම හිතමු. කිසියම් නාට්‍යයක ‛වේටර්වරයකුගේ’ චරිතයක් ඇත. මෙම චරිතය රඟ දක්වන නලුවා කරන්නේ කුමක්ද? ඔහු සැබෑ වේටර්වරයාට වෙනස්ව ‛වේටර්වරයාගේ’ භූමිකාව වඩාත්ම තාත්විකව රඟ දක්වන්නට උත්සාහ දරනු ඇත. ඒ අනුව සැබෑ ජීවිතයේ ‛චරිතයක්-රඟපෑම’ සහ ‛නාට්‍යයක-චරිතයක්’ රඟපෑම අතර ඇත්තේ රැඩිකල් වෙනසකි. යම් චරිතයක් අනුකරණය කිරීම සහ එම චරිතයම වටහා ගැනීම වැඩ දෙකකි. මේ අර්ථයෙන් ගත්තම වෘත්තියක් හැටියට නලුවෙක්/නිළියෙක් කියන්නෙ බූරුවෙක්. සැබෑ වේටර්වරයා බුද්ධිමත් මනුෂ්‍යයෙක්. මොකද ඔහු බාහිර සමාජ ලෝකයේ ‛විශ්වාසයන්’ සැබැවින්ම ඇතැයි සිතා ඒවා අනුකරණය කරන්නට නොයන්නෙක් නිසා. නාට්‍ය රංගනය පිළිබඳ මෙම අවබෝධය ධර්මසිරි බණ්ඩාරනායකට නැහැ කියන එක ඔප්පු වෙනව ඔහු ‛ධවල-භීෂණ’ ගැන කියන කතාවෙන්. ධර්මසිරිට අනුව ඔහුගේ නලු-නිළියන් යථාර්ථයේ සැබවින්ම සිටින චරිත  තාත්වික ලෙස අනුකරණය කරන්නට උත්සාහ කරනව. ‛ඒකාධිපති’ කියන්නෙ මේ තත්ත්වයේ උච්ඡතම අවස්ථාව. කවුරුහරි හිතනව නම් ‛සැබෑ වේටර්වරයා’ සහ එම භූමිකාව රඟදක්වන නලුවා අතර වෙනසක් නැහැ කියල, එහෙනම් එවැනි තත්ත්වයක් සයිකෝසිකයි. සමාජ යථාර්ථය ගැන විවිධ කුමන්ත්‍රණ න්‍යායන් ගොඩනගන්නෙ මෙවැනි අය. මේ නිසා සාත්‍රේගේ ‛ධවල භීෂණ’ නාට්‍යය සහ ධර්මසිරිගේ ‛ධවල භීෂණ’ අතර යම් වෙනසක් තියෙනව. සැබෑ ජීවිතයේදීත් අප කරන්නෙ රඟපාන එකයි කියල කවුරුහරි හිතුවොත් ඒ කෙනාට ඕනෑම අපරාධයක් කරන්න පුලුවන්.
                පසුගිය දින කිහිපය (2012 වසරේ සැප්තැම්බර් මාසයේ අගභාගය) තුළ අපි දැක්ක දෙයක් තමයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මේ යුගයේ කැඳවුම්කරු වන සංජීව බණ්ඩාරගේ අතට මාංචු දාලා, පයට රබර් සෙරෙප්පු දාගෙන සිරගෙදර දක්වා කැඳවාගෙන යන ආකාරය. බොහෝදෙනා මෙම ඡායාරූපයේ ද්විත්ව අර්ථය වටහාගෙන නැහැ. කැඳවුම්කරු කියන්නෙ වේටර්වරයා වගේ සමාජ භූමිකාවක්. ඒකට පැවැත්මවල් දෙකක් තියෙනව.
(1)    සැබෑ කැඳවුම්කරු (2) එය රඟ දක්වන නලුවා. නිශ්මි, රංජිතම්, දයා පතිරණ, ත්‍රීමාවිතාරණ වගේ ශිෂ්‍ය නායකයන් ගත්තම ඒ අය සැබෑ අවන්හල්වල සේවය කරපු සැබෑ වේටර්වරු. ඒ අය තම භූමිකාව සහ තමන් අතර පරතරයක් තබාගත් අය. නමුත් සංජීව බණ්ඩාර කියන්නෙ ශිෂ්‍ය අරගලය ගැන ලියැවුණු නාට්‍යයක රඟපාන නලුවෙක්. (අවශ්‍ය නම් සංජීවට එදා උසාවියේදී ඇප ගන්නට උත්සහා කරන්නට උදුල්ට පුලුවන්කම තිබුණා) සමාජය සැබවින්ම වෙනස් කරන දේශපාලනයක් අපට කරන්න අවශ්‍ය නම් මේ භූමිකා වෙනස්වීම සදාචාරාත්මක නොවන තලයක තියල පරික්ෂා කරන්න ඕනෙ. අන්තර්ජාලයේ පළවූ සංජීවගේ පින්තූරයට යටින් පළ වන විවිධ අනුරාගික කොමෙන්ට්වලින් වැටහෙන දෙයක් තමයි ඒ අය දේශපාලනයට වඩා නාට්‍ය නරඹන්න කැමතියි කියන එක. හිඟන්නෙක් තමන් රජෙක් කියල හිතනව නම් ඒක උමතුවක් නෙවි. ඒත් රජෙක් තමන් රජෙක් කියල හිතනව නම් ඒක උමතුවක්. සංජීව බණ්ඩාර ඉතිහාසය තමන්ට රඟපාන්න දීල තියෙන ‛භූමිකාව’ ඉතාම යථාර්ථවාදී ලෙසින් රඟදක්වමින් ඉන්නව. නමුත් අප වටහා ගත යුත්තේ වේටර්වරුන් සහ නලුවන් අතර වෙනසයි. මෙම වෙනස වටහා නොගන්නා උදවියගේ ඔලුවට පොල් පරාල ඇණ අපවත් ගැසිය යුතුය.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts