Open top menu
Sunday, April 21, 2013

මුළුමහත් ශ‍්‍රී ලංකාවත් එහි වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සියලුම ජනතාවත් මේ වනවිට ඉතාම බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයක අනිටු ප‍්‍රතිවිපාකයන්ට මුහුණදී සිටින බව නොරහසකි.

මහජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යාම නිසා ජීවන බර දරා ගත නොහැකි තරම් වැඩිවෙමින් තිබේ. ලක්ෂ 60කට වැඩි රජයේ හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට උද්දමනයට සාපේක්ෂ ලෙස වැටුප් වැඩි නොවී ඇති අතර ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ නියුතු වූවන්ගේ අලෙවි ආදායම් පහළ වැටීමද විදුලිය, ජලය, ප‍්‍රවාහන ආදී පහසුකම්වල ගාස්තු ඉහළ යාමද නිසා රටේ අතිමහත් පොදු ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටිති. එසේම ආර්ථිකය බහුජාතික සමාගම්වලට ගිල ගැනීමට ඉඩ සලසා දීමද දේශීය නිෂ්පාදන හා ව්‍යාපාර කඩා වැටීමට හේතුවක් වී තිබේ.

සමාජය මහත් අසනකාරී තත්වයක් කරා ගමන්කරමින් ඇති
බවට දිනෙන් දින ඉහළ යමින් ඇති අපරාධ සංඛ්‍යාව සාක්ෂි දරයි. තම දරුවන් හදාවඩා ගත නොහැකි බව කියමින් මව්වරුන් දරුවන් සමග ගඟට පනින්නේත් ණය ගෙවා ගත නොහැකිව පවුල් පිටින් වස පානය කර දිවිනසා ගන්නේත් මේ තත්වය තුළය. පොදුවේ සමාජය සාරධර්ම හා පැවතිය යුතු හර පද්ධතින්හි බරපතළ කඩාවැටීමක ඇති බව ජනමාධ්‍ය තුළින් පමණක් නොව සමාජ සංවේදී  ඕනෑම අයකුගේ දෛනික ජීවිත අත්දැකීම් තුළම ස්ඵුට වෙමින් තිබේ.

දේශපාලන ක්ෂේත‍්‍රය ගතහොත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන කුළුණක් මෙන්ම ජනතාවගේ යුක්තිය පිළිබඳ අවසන් බලාපොරොත්තුව වන අධිකරණය විධායකයට හා ව්‍යවස්ථාදායකයට යට කර ගැනීමේ බරපතළ අවදානමකය. ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ යෝජනා සම්මතයක් හමුවේ පරිවාස කාලයකට යටත්වී සිටින රාජපක්ෂ ආණ්ඩුව මේ කටයුතු කරන්නේ සිහිබුද්ධියෙන්දැයි කෙනෙකුට ප‍්‍රශ්නයක් ඇතිවිය හැකිය. මන්ද නිසැක ලෙසම ආණ්ඩුවේ ආසන්න මුග්ධ හැසිරීම අතීත හැසිරීම්වල තවත් දිගුවක් ලෙස  ඕනෑම කෙනෙකුට පෙනී යන නිසාය. එය පසුගිය ඉතිහාසය දඩමීමා කර ගනිමින් අපේ රටට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන අධිරාජ්‍යවාදී විදේශ බලවේගවලට අතවැනීමක් මිස වෙනකක් නොවේ.

මේ සියලු අවදානම්කාරී තත්වයන් තුළවත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට මුළුමහත් රටත් ජනතාවත් අනාගත පරපුරත් අනතුරේ හෙළන ව්‍යසනයක් සම්බන්ධයෙන් ආණ්ඩුව සිටින්නේ බරපතළ නිද්‍රාවකය. සෘතු භේදයක් ඇති රටවල වලසුන් ශිත කාලය පසුවන තෙක් ‘සිසිර නිද්‍රාවේ’ පසුවන බව කියවේ. මේ කාලය තුළ ආහාර නොගන්නා ඔවුන් අවට සිදුවන කිසිදු දෙයක් දන්නේ නැත. දැන් ආණ්ඩුවද රට තුළ යළිත් මතු වන ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇවිළවීමේ ප‍්‍රවණතාව පිළිබඳව සිටින්නේ ‘සිසිර නිද්‍රාවක’ දැයි සැක උපදී. මන්ද දිනෙන් දින විවිධ සිදුවීම් ඔස්සේ දිග හැරෙමින් ඇති මෙම ප‍්‍රවණතාව පිළිබඳව අදහසක් ඇති බවක් හෝ එය මැඩලීමේ උත්සාහයක් ආණ්ඩුවේ පාර්ශවයෙන් නොපෙනෙන නිසාය.

ඇතැම් විට ආණ්ඩුවට සම්බන්ධ විවිධ කොටස් මෙම ජාතිවාදී ආගම්වාදී ගිනි ඇවිළවීමේ සිදුවීම් පිටුපස සිටින නිසා ආණ්ඩුව නිහඬව සිටිනවා විය හැකිය. එසේම ආණ්ඩුව විසින් නිර්මාණය කළ නැතහොත් ආණ්ඩුව විසින් වගකිව යුතු අනෙකුත් ප‍්‍රශ්න බොහොමයක් මේ ප‍්‍රවණතා හේතුවෙන් යටපත් වී ඇතැයි ආණ්ඩුව කල්පනා කරනවා විය හැකිය. නොඑසේනම් ඒ දෙකම විය හැකිය. කෙසේ වුවද තාවකාලික සැනසීම පතා ආණ්ඩුව සොයන මේ ‘මාරාන්තික විසඳුම්’ ආණ්ඩුව ව්‍යාජ සිසිර නිද්‍රාවෙන් අවදිවන විට සමාජය මහත් ව්‍යසනයක් කරා ඇද දමනු ඇත. 30 වසරක බෙදුම්වාදී යුද්ධයක කටුක අත්දැකීම් තුළවත් මෙම මාරාන්තික අනතුර තේරුම් නොගැනීමට තරම් ආණ්ඩුව මුග්ධ වී ඇත්තේ මන්ද යන්න අපැහැදිලිය.

රටේ දශක ගණනාවක් තිස්සේ සිංහල-දෙමළ ජාතිවාදය ඇවිස්සීමත් ජාතිවාදී ගැටුම් හා කෝලාහල විටින් විට නිර්මාණය කිරීමත් නිසා අවසානයේ ජාතිවාදී හා බෙදුම්වාදී යුද්ධයකට පාර කැපුණ ආකාරය කිසිවෙකුටත් අමතක විය යුතු නැත. වසර 30කට වැඩි කලක් පැවති එම බෙදුම්වාදී යුද්ධයෙන් පීඩාවට පත්වූයේ තම බලය වෙනුවෙන් ජාතිවාදය වැපිරූ අය නොව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පොදු ජනතාවය. එම බෙදුම්වාදී යුද්ධයෙන් මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර විනාශ වූ දේපළ ප‍්‍රමාණය අතිවිශාලය. එම බෙදුම්වාදී යුද්ධය ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත්වීමට ඉන්දියාවත් අධිරාජ්‍යවාදී විදේශ බලවේග හා රාජ්‍යයනුත් යොදාගත් ආකාරයද කිසිවෙකුට රහසක් නොවේ. 1980 දශකයේ මැද මෙරටට ඉන්දියානු හමුදා ආක‍්‍රමණයක් සිදුවීමට පවා එය හේතු වූ අතර වර්තමානයේදී අධිරාජ්‍යවාදී බලවේග ලංකාවට මැදිහත් වීම සඳහා නිමිත්තක් ගනිමින් තිබෙන්නේද එම බෙදුම්වාදී යුද්ධයේ සිදුවීම්ය.

මෙවැනි ව්‍යසනයක මුළු බර සමස්ත සමාජයටම දරන්නට සිදුවන බැවින් කුමන හෝ ආගමික අන්තවාදයකට ඉඩ නොතැබීමට සියලූම ආගම් අදහන ජනතාව වග බලාගත යුතු අතරම ඒ පිළිබඳව නිහ`ඩව සිටිමින් නයිට් රේස් බලමින්, කැසිනෝ සූදු කෙළිමින් සිටින ආණ්ඩුවේ තක්කඩි හැසිරීමද පරාජය කළ යුතුව ඇත. ජනතාව අතර සම`ගිය බිඳින, ගැටුම් හා කෝලාහල නිර්මාණය වීමට ඉඩ සලසන ආගමික හෝ වෙනත්  ඕනෑම ප‍්‍රතිවිරෝධයකින් වාසි ලබාගන්නේ අධිරාජ්‍යවාදී විදෙස් බලවේග මිස, ප‍්‍රතිගාමී බලවේග මිස, ජනතාව පෙළන පාලක කණ්ඩායම් මිස අන් කවරෙක්වත් නොවේ.

රට ඉදිරියේ ඇති සැබෑ ප‍්‍රශ්න හඳුනාගෙන ඒවා පරාජය කිරීමේ මාර්ග සොයනු වෙනුවට ‘ෂෝට් කට්’ විසඳුම් පතා විවිධ ආගම් අතර හෝ ජන කණ්ඩායම් අතර භේද නිර්මාණය වන ලෙස, ගැටුම් නිර්මාණය කිරීමේ වාසිය ජනතාවට නොව ප‍්‍රතිගාමිත්වයටය. මෙම පටු උත්සාහයන්ගෙන් සිදුවන්නේ, සැබෑ ප‍්‍රශ්න අමතක කරවීම හා ඒවායේ සැබෑ වගඋත්තරකරුවන් ආරක්‍ෂා කිරීමත් එම ගැටලූවලට සැබෑ විසඳුම් ලබාගැනීම පමාවන මඩ ගොහොරුවලට ඇදවැටීමත් පමණි

lankatruth
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts