Open top menu
Wednesday, April 17, 2013

හොරණ දැරියක හා පොල්ගෙඩි අටක කතාව සිද්ධිමය වශයෙන් දැන් අවසන්වී තිබේ. එහෙත් ඒ කතාවෙන් මතුකැරෙන ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන තිත්ත ඇත්ත ගැන කතාව අවසන් නොකළ යුතු මාතෘකාවකි.
අපේ පුරාජේරුවලට අනුව ලංකාවේ ඇත්තේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයකි. එහෙත් කනගාටුදායක යථාර්ථය නම් එවැන්නක් භෞතිකව නොපැවතීමයි.
පවතින්නේ නිදහස් අධ්‍යාපනයක් නම්, ශ‍්‍රී ලංකාවේ නවදහසක් පමණ වන රජයේ පාසල්වල සියලූ පිරිවැය සඳහා මුදල් සැපයිය යුත්තේ රජය විසිනි. සරුව පිත්තල බලකාමී නාඩගම් සඳහා රුපියල් බිලියන ගණනින් නාස්ති කරන මේ රජය අධ්‍යාපනය හා පාසල් පද්ධතිය සඳහා එසේ මුදල් වැයකරන්නේ නැත. පාසල්වල ගුරු වැටුප් හා තවත් සීමිත භෞතික සම්පත් ප‍්‍රමාණයක් සපුරාගැනීම සඳහා පමණක් රජයෙන් මුදල් සැපයෙයි. පහසුකම් හා සේවා ගාස්තු ලෙස සිසුන්ගෙන් කිසියම් මුදලක් අය කළ හැකිය. රජයෙන් ලැබෙන මුදලත්, පහසුකම් හා සේවාගාස්තු ලෙස දරුවන්ගෙන් අයකරගන්නා මුදලත් කිසිසේත් පාසලක මුළු අවශ්‍යතා
සඳහා ප‍්‍රමාණවත් නොවේ. උදාහරණයක් ලෙස ගතහොත්, සිසුන් දහසක් ඉගෙන ගන්නා පාසලකට ගොඩනැගිලිවල තීන්ත ආලේප කිරීම සඳහා රජය මේ වසරේ ලබාදුන්නේ රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණකි. එවැනි මුදලකින් සාමාන්‍ය නිවසකවත් නිසි ලෙස තීන්ත ආලේප කරගත නොහැකි තත්ත්වයක් තිබියදී පාසලක එක් බහු මහල් ගොඩනැගිල්ලකවත් තීන්ත ආලේප කිරීම කළහැකිද? ඉතින්, අනෙක් ගොඩනැගිලිවල තීන්ත ආලේප කරගැනීමට මුදල් සොයාගත යුත්තේ විදුහල්පතිත් දෙමාපියනුත් විසිනි. මුදල් සොයාගැනීමට යොදාගන්නා මාධ්‍යයද සිසුන්මය.

අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම, අබලන් ගොඩනැගිලි පිළිසකරකිරීම, වෙනත් අවශ්‍ය ඉදිකිරීම් හා ප‍්‍රතිංස්කරණ කිරීම, ජල-----------/-විදුලි/සනීපාරක්‍ෂක පහසුකම් සපයාගැනීම, රජයේ ගුරුවරුන් නොමැති ක්‍ෂෙත‍්‍ර ආවරණය කරන්නට අතිරේක ගුරුවරුන් සොයාගැනීම, ඔවුන්ට දීමනා ගෙවීම, ක‍්‍රීඩා පුහුණුකරුවන් හා අනධ්‍යයන සේවකයන් බඳවාගැනීම හා නඩත්තුව, ආරක්‍ෂක සේවා පවත්වාගෙන යෑම, වාහන සපයාගැනීම හා ඒවායේ නඩත්තුව වැනි කුදුමහත් කාර්ය රාශියක් සඳහා රජයෙන් මුදල් වෙන්කැරෙන්නේ නැත. ඒ සියලූ බර පැටවෙන්නේ දෙමාපියන් වෙත මිස අන්කිසිවෙකු මත නොවේ. විදුහලකට ගොඩනැගිල්ලක් ඉදිකරවාගැනීමට හෝ වෙනත් ඉදිකිරීමක් හෝ ප‍්‍රතිසංස්කරණයක් කරවාගැනීමට මුදල් ඉල්ලා විදුහල්පතිත් දෙමාපියනුත් දේශපාලනඥයන් පසුපස යා යුතුය. ඔවුන්ගෙන් මුදල් ගත් පසු දේශපාලකයා එවන ලැයිස්තුවලට අනුව සිසුන් පාසලට බඳවාගැනීමට විදුහල්පති බැඳීසිටිය යුතුය. බොහෝවිට එවැනි ළමයින් ලැයිස්තුවට එන්නේ දේශපාලකයාගේ සමාජසේවා පදනමට රුපියල් ලක්‍ෂ ගණනක් බැඳීමෙන් හෝ අත යට මුදලක් පිදීමෙන්ද පසුවය. පෙර පැවැති පාසල් සංවර්ධන සමිති ව්‍යුහය අවසන් කරමින් පාසල් ගොඩනැගීමේ කමිටු පත්කරන්නට යෝජනා කරමින් ආණ්ඩුව
දැන් කරමින් සිටින්නේ පාසලේ මුළු බරම දෙමාපියන් වෙත පැටවීමේ වැඩපිළිවෙලක මුල් පියවර තැබීමය.

මේ ක‍්‍රමය තුළ විදුහල්පතිට මුදල් හා පරිත්‍යාග එකතුකිරීමේ විශාල ඉඩකඩක්ද නිර්මාණය වෙයි. එවැන්නක් නැතිව පාසලක් පවත්වාගැනීම කිසිසේත් කළ නොහැකි නිසාය. එහෙත් එවැනි පරිසරයක බොහෝ අවංක පුද්ගලයකු වුවත් දූෂණයට යොමුකැරෙන්නට තිබෙන පෙළඹවීම වැඩිය. මේ තත්ත්වය මත, නිදහස් අධ්‍යාපනයයැ යි හඳුන්වන අධ්‍යාපන ක‍්‍රමයක් දෙමාපියන් සිය මුදලින් නඩත්තුකරමින් එහි කීර්තිය දේශපාලකයන්ට ගන්නට ඉඩහරිමින් තිබේ.

අප කරන්නේ මේ තිත්ත ඇත්ත ගැන කතාකර එය ජයගන්නටවත්, නිදහස් අධ්‍යාපනය එහි වචනයේ පරිසමාප්ත අර්ථයට සමීප කරවන්නටවත් මං සෙවීම නොව, පොල්ගෙඩි අටක කතාව ප‍්‍රභූන්ගේ කරුණාවන්තභාවය ප‍්‍රකට කරවන සිදුවීමක් දක්වා ඌනනය කොට අතපිසදා ගැනීමය.

රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts