Open top menu
Tuesday, April 23, 2013


ඉරිදාට පළවෙන සිංහල පත්තර අතර ජාතික පත්තර ලෙස හදුන්වාගන්නා පත්තර හතරක් ඇත. ඒ ‘ඉරිදා ලංකාදීප’, ‘ඉරිදා දිවයින’, ‘රිවිර’ සහ ‘සිළුමිණ’ යි. මේ පත්තරවල දේශපාලන විග්‍රහය කියා පළවෙන්නේ එක එක පක්ෂවල ඕපාදූපය. ඒවා ලියන ලියුම්කරුවන් ලියන්නේ හරියට සිදුවීම් දෙස බලා ගෙන හිටියා වගේය. එහෙත් හැම පත්තරයකම පළ වෙන්නේ එකම කතා වීම හරිම පුදුමයකි. විශේෂයෙන්ම ඒ හැම පත්තරයකම හැම සතියකම වාගේ ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් යැයි කියන කුමාරසිරි හෙට්ටිගේ නැමැත්තා ඉදිරිපිට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෝන්ඩි වන හැටි දැක්වෙන කතා පළවෙන්නේ කෙසේ දැයි පත්තරවල කර්තෲවරුන් වත් දන්නවාදැයි අපි නොදනිමු.
උදාහරණයක් වශයෙන් අද (2011සැප්තැම්බර් 25 ඉරිදා )පළවූ සති අන්ත සිංහල ජාතික පුවත්පත් දෙකක් වන සිළුමිණ සහ දිවයින පුවත්පත් වල දේශපාලන ලිපි සලකා බලමු.
සිළුමිණ ප්‍රකාශයට පත්කරන්නේ ආණ්ඩුවට පවරා ගත් සීමසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගා විසිනි. එම සමාගමේ සභාපති ධුරයට ආණ්ඩුවෙන් පත් කොට ඇත්තේ බන්දුල පද්මකුමාර මහතාය. ඔහු ස්වර්ණවාහිනී ආයටනයේ ‘මුල්පිටුව’ නැමැති පත්තර කියවන වැඩසටහන
මෙහෙයවමින් ජනමතය සකස්කිරීමට දායක වන්නෙකි.
‘දිවයින’ ප්‍රකාශයට පත් කරන්නේ සීමාසහිත උපාලි පුවත්පත් සමාගමයි. එහි සභාපති වරයා නිමල් ආර්. වෙල්ගම මහතාය. ඔහු ආණ්ඩුවට කොටස් වැඩිප්‍රමාණයක් අයිති ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා වශයෙන් ආණ්ඩුව විසින් පත් කොට ඇත.
ස්වර්ණවාහිනියේ මුල් පිටුවට අනුග්‍රහය දක්වන්නේ ආණ්ඩුවට අයත් මෙම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි.
‘සිළුමිණ’ පත්තරයේ ‘පොලිකටිල් දෝංකාරය’ ලියන්නේ චන්දන බණ්ඩාර යන නමිනි. ‘දිවයින’ පත්තරයේ ‘දේශපාලන’ කොලම ලියන්නේ ‘නාගසේන’ යන නමිනි.
මෙම සටහන් දෙකේම එකම විස්තරය ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව පළවී ඇති ආකාරය මෙම පත්තරවල කර්තෲ වරුන් වන ඉස්සර එකම කර්තෘ මණ්ඩලයේ සේවය කළ ‘කසුරි’ හෙවත් කරුණාදාස සූරියාඅරච්චිට සහ ‘සුගාර’ හෙවත් ගාමිණී සුමනසේකර ට නොපෙනෙන්නේ ඔවුන් පුද්ගලිකව ෆෙඩරල් වාදයට අකැමැති වුවත් තමන් කර්තෘ කම දරන පත්තර ෆෙඩරල් ක්‍රමයට එක් එක් ලේඛකයාට භාර දී තමන්ගේ වැඩක් බලා ගෙන සිටීමට හිත හද ගෙන තිබෙන නිසා විය යුතුය.
සංසන්දනයක් සදහා තෝරාගත් කොටස් දෙකක් අපි උපුටා පළ කරමු. මෙය අනෙක් ජාතික පත්තර සමග සංසන්දනය කිරීම පාථකයන්ට අභ්‍යාසයක් වනු ඇත.
—————————
‘සිළුමිණ’ පත්තරයේ ‘පොලිකටිල් දෝංකාරය’
පාර්ලිමේන්තුව ගිය සතියේදී රැස්විණි. රටට වැදගත් විවාද කීපයක් පැවැති නිසා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද සැලකිය යුතු ප්‍රමාණයක් ගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. විපක්ෂය ඇතුළත ගැටුම්කාරී තත්ත්වයක් පවතින නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවන සෑම මොහොතකම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විමසා සිටින්නේ මොකද්ද එජාපයට වෙන්න යන්නේ කියාය.
මේ අතර පාර්ලිමේන්තුවේ ලොබියේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කතාබහක යෙදී සිටියහ. නාමල් රාජපක්ෂ, පි‍්‍රයංකර ජයරත්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා අබේවර්ධන, ශාන්ත බණ්ඩාර, තේනුක විදානගමගේ, මාලිනි ෆොන්සේකා සහ හේමාල් ගුණසේකර යන මැති ඇමැතිවරු ඒ අතර වූහ. ඔවුන්ගේ කතාවේ මාතෘකාව වූයේ සමාජ විසමතාව ගැනය. ඒ සමඟම එහි පැමිණියේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ය.
“සමහර මිනිස්සු වියදම් කරන හැටි දැක්කාම පුදුම හිතෙනවා. කොළඹ හෝටලයකින් පස් දෙනෙක් කෑම කාලා රුපියල් විසි තිස් දාස් බිල් ගෙවන වෙලාවල් තියෙනවා. සමහර මිනිස්සු ඒ මුදලින් මාසයක් පවුලක් නඩත්තු කරනවා. හැබැයි ඒ මිනිස්සු අත්‍යවශ්‍ය දේවලටත් වියදම් කරනවා” මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.
ඕවා හැමදාම දකින්න තියෙන දේවල්. මිනිස්සු සල්ලි උපයනවා, ඒ වගේම අනවශ්‍ය දේවලට වියදම් කරනවා. ඒක විලාසිතාවක් වෙලා.” මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ කීවේය.
සමහර ඉහළ ව්‍යාපාරිකයෝ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික හූරාගෙන කනවා. ඒ විතරක්යැ ඒ අය කරන විකාර වැඩ. මං දැන් ඒකට හොඳ අධ්‍යාපනයක් තියෙන ව්‍යාපාරිකයෝ ටිකක් බිහි කරන්න කටයුතු කරනවා” මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියද්දී ඇමැති ජගත් පුෂ්පකුමාර විමසා සිටියේ ඒ කොහොමද කියාය.
“හොඳට ඉගෙන ගන්න පුළුවන් දුප්පත් පවුල්වල කොල්ලො ටිකකට මං දැන් ව්‍යාපාර කළමනාකරණය ගැන උගන්වනවා. ඊට පස්සේ ඒ අය හම්බන්තොට ව්‍යාපාර පැත්තට යොමු කරනවා.” මන්ත්‍රී නාමල් රාජපක්ෂ කීවේය.
මේ අතර ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද සමඟ එතැනට පැමිණියේ එජාප මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන ය.
“ආ! ඩොක්ටර්ට සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය ලැබෙන්න වගේ යන්නෙ” කුමාරසිරි හෙට්ටිගේ කියද්දී හැම දෙනාම කොක්හඬලා සිනාසුණා.
“නිකං හිටපං මචං කතා හදන්නෙ නැතිව.” දොස්තර ජයලත් කීවේය.
“ඇත්තටම ඩොක්ටර් විපක්ෂයේ කොයිතරම් කාලයක් ඉන්න වෙයිද කියල හිතනකොට දුක හිතෙන්නෙ නැද්ද?” මන්ත්‍රී නාමල් රාජපක්ෂ විමසුවේය.
“මං ඇමැතිකමක් කළ කෙනෙක්. මේ රටේ නායකයෙක් වෙන්න පුළුවන් සිංහල බෞද්ධයකුට. මං කතෝලිකයෙක්. මට යන්න පුළුවන් උපරීම තැන අමාත්‍යවරයෙක් වීම. ඒක මං කරලා තියෙන්නෙ. මට තනතුරු නෑ කියලා දුකක් නෑ. මං ඡන්ද ගන්න සල්ලි වියදම් කරලත් නෑ. මට ආදරය කරන මිනිස්සු ටිකක් ඉන්නවනේ.” දොස්තර ජයලත් කියාගෙන ගියේය.
“ඇත්තටම ඩොක්ටර් දැන් පක්ෂයේ කැරලිකාර කණ්ඩායමට මොකද වෙන්නෙ? නෙරංජන් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අසද්දී දොස්තර ජයලත් කීවේ “ඒ අයට දේශපාලනය තේරෙන්නෙ නෑ. මං තරම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට සමීප හිතවතෙක් එදා හිටියේ නෑ. පේ‍්‍රමදාස මහත්තය වට කරලා එතුමාට නැගිටින්න බැරි තරමට පීඩනයක් එදා පක්ෂයේ ලොක්කො දුන්න හැටි මට මතකයි. ඒත් එතුමා සැලුනෙ නෑ. නිවාස වසර ලංකාවට ගෙනාපු වෙලාවෙ නිවාස සංවර්ධනය වෙනුවෙන් වෙන් වූ බජට් එකත් එදා කැපුවා. ඒත් ජේ. ආර්. ට විරුද්ධව නැගී සිටියේ නෑ. ඒ ඉවසීම පුදුම ඉවසීමක්. අපේ අය මේව තේරුම් ගන්නෙ නෑ. නායකයට විරුද්ධව නැගිටින්න හොඳ නෑ.” මන්ත්‍රී ජයලත් ජයවර්ධන කීවේය.
“ඉතින් ඩොක්ටර් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ හැටියට ඒ අයට උපදෙස් දෙන්න එපායැ.” හෙට්ටිගේ කියද්දී මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කීවේ උපදෙස් දීලා බැලුවා, ඒත් ඒ අය ඇහුවේ නෑ. අන්තිමට සිද්ධ වුණේ ඒ අයගේ අනාගතය අඳුරු කර ගත්ත එක විතරයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු ගමන දිහා බලන්න. එක්තරා දවසක එතුමා රට ගියේ කම්කරු ඇමැතිවරයා විදියට. අන්තිමට එතුමා ආපසු ලංකාවට එනකොට ඒ ඇමැතිකම නැති කරලා ධීවර ඇමැති විදියට පත් කරලා. හැබැයි මහින්ද මහත්තයා ජනාධිපති චන්ද්‍රිකා පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න කැරැලි ගැහුවේ නැහැ.” එජාප මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කීවේ මේවා අපේ පක්ෂයේ කැරැලි ගහන අය උගත යුතු පාඩම් කියාය.

http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=ab1109256

http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=ab1109256

දිවයින පත්තරයේ ‘දේශපාලන’ කොලම

විපක්‍ෂය තුළ ද ජනතා විමුක්‌ති පෙරමුණ තුළද ඇති වී තිබෙන ගැටුම්කාරී අර්බුද ගැන පාර්ලිමේන්තුවේ හැමතැනම කතාබහ පැතිර තිබිණි. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ කුතුහලය වී තිබුණේ ජවිපයට දැන් සිදුවී ඇත්තේ කුමක්‌ද කියා දැනගැනීමටය. මේ නිසා ජවිපයේ කලින් සිටි මන්ත්‍රීවරු මැති ඇමැතිවරු දුටු විගස සෙසු අය ඇසුවේ මොකක්‌ද දැන් අලුත්ම තත්ත්වය කියාය……….. විමල් වීරවංශ ට මේ පිළිබඳ බේරුමක්‌ ම නැති විය.
මේ අතර එජාපයේ මන්ත්‍රීවරු දුටු විගස ද, දැන් මොකද ඇතුළේ තත්ත්වය කියා අසන්නට රජයෙ මැති ඇමැතිවරු පුරුදුව සිටියහ. සමහරු මෙය ඇසුවේ ඊළඟට මොනවාද වෙන්නේ කියාය.
මේ අතරවාරයේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තවත් පිරිසක්‌ සමග රටේ පවතින සමාජ විෂමතාව ගැන කතා කරමින් සිටියේය. ප්‍රියංකර ජයරත්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා, ශාන්ත බණ්‌ඩාර, චාමික බුද්ධදාස, තේනුක විදානගමගේ, මාලනි ෙµඩ්න්සේකා, හේමාල් ගුණසේකර යන මැති ඇමැතිවරු ද පිරිසක්‌ ඒ කතාබහ සමග එක්‌ව සිටියහ. මේ කතාබහට කුමාරසිරි හෙට්‌ටිගේ ද සම්මාදම් වී සිස්ටියේය.
සමහරු වියදම් කරන හැටි ගැන පුදුම හිතෙනවා. සමහරු පස්‌දෙනෙක්‌ හෝටලේකට ගිහින් වේලක්‌ කාල රුපියල්අ 25,000 ක්‌ 30,000 ක්‌ බිල ගෙවනවා. ඒ අතරේ තවත් සමහර මිනිස්‌සු රු. 25,000 කින් පවුලක්‌ මාසයක්‌ නඩත්තු කරනවා….. හරි පුදුමයි මේ තියෙන විෂමතාව.
ඕක හැමදාම වුණානේ. අපේ සමහර නැති මිනිස්‌සුන්ට එකපාර සල්ලි පහළ වුණාම ඔය වගේ නරක විදියට අනවශ්‍ය වියදම් කරන එක අද විලාසිතාවක්‌ වෙලා… නෙරංජන් වික්‍රමසිංහ කීවේය.
සමහර ව්‍යාපාරිකයෝ අහිංසක මිනිස්‌සුන්ගෙන් සල්ලි හූරගෙන කාලා ඕවාට තමයි වියදම් කරන්නේ. මම ලෑස්‌තියි අලුත් ව්‍යාපාරික ප්‍රජාවක්‌ හම්බන්තොටින් බිහි කරන්න වැදගත් තාලෙට හම්බ කරන………
ඒක කොහොමද කරන්නේ …. ජගත් ඇසීය.
හොඳට ඉගෙන ගන්න පුළුවන් දුප්පත් පවුල්වල කොල්ලෝ ටිකක්‌ මම හඳුනා ගත්තා. මම ඒ අයට ව්‍යාපාර කළමනාකරණය ගැන උගන්වනවා. උගන්නවලා ඒ අයව ව්‍යාපාරික ප්‍රජාව අතරට ඇතුල් කරවලා හොඳ ව්‍යාපෘතිවලට යොමු කරනවා නාමල් කීවේය.
මේ අතර දොස්‌තර ජයලත් ජයවර්ධන සමඟ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා එතැනට ආවේය.
ඩොක්‌ටට සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශය ලැබෙන්න වගේ යන්නේ……… කුමාරසිරි හෙට්‌ටිගේ කීවේය. සැවොම සිනාසී ජයලත් දෙස බැලූහ.
නිකන් හිටපල්ලා බං කතා හදල අපට මඩ ගහන්නේ නැතුව…… ජයලත් එසේ කියා හෙට්‌ටිගේ ගේ කරට අත දමා ගත්තේය.
ඇත්තටම ඩොක්‌ටර්….. විපක්‍ෂයේ තව කොච්චර කාලයක්‌ ඉන්න වෙයිද…. ඒක ගැන හිතනකොට දුක හිතෙන්නේ නැද්ද…….. නාමල් ඇසීය….
මම ඇමැතිකමක්‌ කරපු කෙනෙක්‌. මේ රටේ නායකයෙක්‌ වෙන්න පුළුවන් සිංහල බෞද්ධයකුට විතරයි. මම කතෝලිකයෙක්‌. මට යන්න පුළුවන් උපරිම තැන ඇමැතිකම. මම එතැනට ගිහිල්ලා ඉවරයි. ඉතින් මට තනතුරු ගැන මට තව දුකක්‌ හිතෙන්න දෙයක්‌ නැහැ ජයලත් උත්තර දුන්නේය.
එතකොට ඩොක්‌ටර් දැන් ඔය ඔයාලයි පක්‍ෂයේ කැරලිකාර කණ්‌ඩායමට මොකද වෙන්නේ…. නාමල් ඇසීය.
ඒ අයට දේශපාලනය තේරෙන්නේ නැහැ. මම තරම් රණසිංහ ප්‍රේමදාස මහත්තයට හිතවත් කෙනෙක්‌ එදා හිටියේ නැහැනේ……… ප්‍රේමදාස මහත්තයාට එදා පක්‍ෂයේ නායකයෝ වට කරල ගහපු හැටි මට හොඳට මතකයි. ඒත් එතුමා සැලුනද….. ජාත්‍යන්තර නිවාස වර්ෂය ලංකාවට ගෙනාපු වෙලාවේ නිවාස සංවර්ධනය වෙනුවෙන් වෙන්වෙලා තිබුණ බජට්‌ එකක්‌ එදා කපල දැම්මා ඒ හිටපු නායකයා. නමුත් ප්‍රේමදාස මහත්තයා නායකයාට එරෙහිව නැඟිට්‌ටද නෑ…. ඒ ඉවසීම මහ පුදුම ඉවසීමක්‌. අපේ අය මේවා ඉගෙන ගන්න ඕන…. නායකයාට විරුද්ධව ඔය වගේ පෙරළි කරන්න යන්න හොඳ නැහැ.
ඔබතුමාල ජ්‍යෙෂ්ඨයෝ හැටියට ඔය කලබලකාරයන්ට උපදෙස්‌ දෙන්න එපායෑ….. හෙට්‌ටිගේ කීවේය.
උපදෙස්‌ දුන්නට අහන්න එපායෑ. සිද්ධ වුණේ එයාලයි අනාගතය අඳුරු කරගත්ත එක විතරයි. බලන්න ඔයගොල්ලන්ගේ නායකයා ආපු ගමන දිහා. එතුමා වරක්‌ රට ගියා කම්කරු අමාත්‍යවරයා හැටියට. එතුමා එනකොට ඒ ඇමැතිකම අයින් කරලා දීල තියෙනවා ධීවර ඇමැතිකම. ඒත් එදා එයා නායකත්වයට විරුද්ධව කැරලි ගැහුවද……. නැහැ…….. නායකත්වය කියන්නේ අන්න ඒකට………. බොරුවට දඟලල පෙරළිකරන එකට නොවෙයි….
http://www.divaina.com/2011/09/25/politics02.html

බස්තියන් විසිනි  25 September 2011.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

3 comments :

  1. හික්ස් කතාව නම් ඇත්ත්ත. ඔය කොටස විතරක් නෙමෙ පත්තර වල පලවෙන සෙරම ලිපිටික එකවගෙ. එකක් ඩෙකක් තමයි වෙනස් වෙන්නෙ.

    ReplyDelete
  2. ඉතිං එකම සිද්ධිය නම් වාර්තා කරන්නේ, සමාන වෙන එක පුදුමයක් නෙමෙයිනෙ.

    ReplyDelete
  3. ඉතා හොඳ සන්සන්ධනාත්මක විවරණයක්...

    ReplyDelete

Popular Posts

Popular Posts