Open top menu
Wednesday, April 3, 2013


පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ යෝජනාව සම්මතවීමත් සමගම දැන් ඇරැඹී ඇත්තේ එය ඉදිරිපත්කිරීමට මැදිහත්වූ අමෙරිකාවට, යුරෝපා හවුලට, ඉන්දියාවට ගැරහීම මෙන්ම යෝජනාව ලංකාවට එරෙහි ලෝක පරිමාණයේ කුමන්ත‍්‍රණයක පියවරක් ලෙස අර්ථදැක්වීමට ගන්නා උත්සාහයයි. මේ අර්ථදැක්වීම් එක්තරා ආකාරයක හාස්‍යයක්ද ජනිත කරයි.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතය රාජ්‍ය නායකයා විසින් අර්ථ දක්වනු ලැබ තිබුණේ, රටවල් විසිපහක් ලංකාවට එරෙහි වීමක් හා ඉතිරි විසිදෙකම ලංකාවට පක්‍ෂවීමක් හැටියටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 192ක් තිබෙන බැවින් රටවල් 25ක විරෝධය එතරම් සැලකිය යුතු නොවන බවද එම අර්ථදැක්වීමේම කොටසකි. රටේ ඉහළම ස්ථරයෙන් එන මේ අර්ථදැක්වීම් එහෙයි කියා ඉතසිතින් පිළිගන්නා
පිරිස වුවත් ඒවායේ ඇති හිස් බව ගැන දෙවරක් සිතනවා ඇත.

අමෙරිකාවට ගැරහීමද, අමෙරිකාවේ නව යටත්විජිතවාදය හා ලෝක පොලිස්කාරයා ලෙස එහි දෙබිඩි පිළිවෙත ගැන අවලාද නැගීමද ලංකාවේ හැම තැනකින්ම, හැම පැත්තකින්ම අසන්නට දකින්නට ලැබෙයි. ලෝක පරිමාණයෙන් මානව හිමිකම් කඩකරන අමෙරිකාව ලංකාවේ මානව හිමිකම් ගැන කතාකිරීම හාස්‍යජනකය යන්න ඒ අදහස්වල සාරය වෙයි. ඇත්ත. අමෙරිකාව එසේය. ඒ චෝදනා සියල්ලම පාහේ අමෙරිකාවට එරෙහිව එල්ලකළ හැකිය. අමෙරිකාව ඒ සියලූ චෝදනාවන්ට වගඋත්තරකරු බවටද සැකයක් නැත. එහෙත්, ප‍්‍රශ්නය එය නොවේ. අමෙරිකාව එසේ කළ පමණින් ලංකාවට ද එසේ කරන්නට අයිතියක් තිබේද යන්නයි. අමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කළ පමණින් ලංකාවට එසේ කරන්නට අයිතියක් ඇති නොවෙයි. වැරදි ලකුණු දෙකක් හරි එක ලකුණක් බවට පත්වන්නේ නැත.

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ මේ සා අවමානයට පත්ව ඇත්තේ අමෙරිකාව කළ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵල නිසා නොවේ. ලෝකයම පිළිගත් මානව අයිතිවාසිකම්, ජාත්‍යන්තර නීතිය හා මානුෂීය නීති උල්ලංඝනය කිරීමට ලංකාව දක්වා ඇති නැඹුරුව නිසාවෙනි. ඒ තේරුම් ගැනීම සඳහා අමෙරිකාවේ මිනුම් දඬු මඳකට අතහැර, අමෙරිකාවට සාපේක්‍ෂව බැලීම පසෙකලා ලෝකයේ සම්මතයැ’යි පිළිගත් මූලික මිනුම් දඬුවලට පසුබසිමු.

ප‍්‍රශ්න ආකාරයෙන් ඇසුවොත් ඒ මෙසේය. ලංකාව කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ගරුකරනවාද? සමාජ සාධාරණත්වයට කෙතරම් ඉඩක් දෙනවාද? නීතියේ පාලනය කෙතරම් දුරට රට තුළ ක‍්‍රියාත්මක කරනවාද? අදහස් පළකිරීම, කැමති තැනක වාසය කිරීම, කැමති ආගමක් ඇදහීම, කැමැති භාෂාවක් කතාකිරීම ඇතුළු පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් කෙතෙක් දුරට ආරක්‍ෂා කරනවාද? රට තුළ චිරාත් කාලයක් වසන සුළුතර වාර්ගිකයන්ගේ අයිතිවාසිකම් ලබාදීමට කෙබඳු පියවර ගෙන ඇද්ද? යුද්ධයෙන් විනාශ වූ මිනිස් ජීවිත හා දේපළ ගැන විශ්වසනීය තොරතුරු තිබේද? යුද්ධයෙන් අවතැන්වූවන් නැවත ඔවුන්ගේ ගෞරවයට හා අභිමානයට ගැලපෙන සේ නැවතත් ස්ථානගතකොට ඇද්ද? දෙමළ ජනතාව සෑහීමට පත්වන තරමේ ස්වයංපාලන බලයක් ඔවුන් වෙත ලබාදී තිබේද? ව්‍යවස්ථාදායකය, අධිකරණය සිය අණසකට ගත් විධායකයක් පවතින්නේද? වාර්ගික ආතතීන් දිනෙන් දින වර්ධනය වෙද්දීත් ආණ්ඩුව ඇස කන පියාගෙන සිටින්නේද? ජනාධිපතිතුමා විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරඇත්තේද?

මේ ප‍්‍රශ්න අමෙරිකාවේ හෝ වෙනත් බටහිර රටක කුමන්ත‍්‍රණයක් නොවේ. අපට එදිනෙදා හමුවන මනුෂ්‍ය ශිෂ්ටභාවය පිළිබඳ මූලික මූලධර්මවලින් පැනනගින ඒවාය. ඒ සඳහා ලැබෙන පිළිතුරු සතුටුදායක නම්, අප අමෙරිකාවට එකහෙළාම එරෙහි විය යුත්තේ මෙතරම් හොඳ ලංකාවකට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ දියත්කිරීම ගැනය. එහෙත් මේ ප‍්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කනගාටුදායක නම්, ප‍්‍රශ්නය ඇත්තේ අමෙරිකාවේ වත් යුරෝපා හවුලේ වත් නොවේ. අප රකින්නට නොසිටි චීනයේ හෝ රුසියාවේද නොවේ. අප තුළමය. අප වෙතමය.

අමෙරිකාව පසෙකින් තබා අප සෙවිය යුත්තේ ඒ ගැනය. මහන්සි විය යුත්තේ ඒ තත්ත්වය වෙනස්කර ගැනීමටය.

රාවය 
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts