Open top menu
Sunday, April 28, 2013

පසුගිය සතියක පමණ කාලය තුළ ලංකාවට එරෙහි අනතුරු සංඥා දෙකක් අමෙරිකාවෙන් නිකුත්විය.

පළමුවැන්න අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, අමෙරිකාවේ ඉදිරි අයවැයෙන් ලංකාවට ලබාදෙන ආධාර ප‍්‍රමාණයෙන් සියයට විස්සක් කපාහැරිය යුතුයැ’යි කොන්ග‍්‍රසයට යෝජනා කිරීමයි. දෙවැන්න ලංකාවේ විදේශ ජනමාධ්‍යවේදීන්ගේ රැස්වීමක් අමතමින් ලංකාවේ අමෙරිකානු තානාපතිනිය කළ ප‍්‍රකාශයයි.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ යෝජනාවට පසුබිම්වූ කරුණක් ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයකු සඳහන්කර තිබුණේ උතුරේ අවතැන්වූවන්ගේ සුබසිද්ධිය හා නැවත පදිංචිකිරීම් පිළිබඳව අමෙරිකාව ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ කළ ව්‍යාපෘතීන්වලට දැඩි හමුදා මැදිහත්වීම් තිබීමයි. එනිසා එවැනි දේවලට මුදල් වෙන්කිරීම නිරර්ථකයැ’යි අමෙරිකානු ප‍්‍රකාශකයා කියයි. රාජ්‍ය
ලේකම්වරයා කපාහරින්නට යෝජනා කරන්නේ ඩොලර් මිලියන දෙකකට සමාන මුදලකි.

ලංකාවේ බලධාරීන් මෙම අවස්ථාව පැහැදිලි කළේ, ලංකාවට අමෙරිකානු ප‍්‍රදාන අවශ්‍ය නොවන ආකාරයටය. අමෙරිකාව ලංකාවට ලබාදෙන ප‍්‍රදානයන් ඉතා සුළු බවත් එනිසා ඉන් සියයට විස්සක් කැපීම නොතේරෙන තරම් සුළු බවත් ආණ්ඩුවේ මතය විය. එහෙත් සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කරන්නකුට අමෙරිකාව කපාහැරි මුදලේ රුපියල් අගය (අමෙරිකානු ඩොලරයක් රුපියල් 120ක් ලෙස සැලකුවත්) රුපියල් ලක්‍ෂ 7200ක් බව පැහැදිලි වනු ඇත. ලංකාව සුළු දෙයක්ය කියන්නේ ලක්‍ෂ 7200කටය. එසේම ලංකාව දැන් ආර්ථික වශයෙන් දියුණු රටක් නිසා ලංකාවට එවැනි ආධාර අවශ්‍ය නොවන බවද බලධාරීහු පුන පුනා කීවෝය. එහෙත්, අමෙරිකාව එම මුදල කපාහැරියේ නැතිනම් තවමත් අපි එම ප‍්‍රදානයන් ලබනා ‘සංවර්ධිත රට’කි.

ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පැවසුවේ, තම රටේ සංවේදී ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු දෙන්නට ලංකාණ්ඩුව අසමත්වුවහොත් රට තුළ නැවතත් ගැටුම් ඇතිවනු ඇති බවය. ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය වන්නේ ලංකාවේ හැසිරීම මත බව කී ඇය, ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ගන්නා ක‍්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගැනීමක් අවශ්‍ය නොවන බවද ව්‍යංගයෙන් කියා තිබේ. තානාපතිනියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය පැහැදිලි නැතත් ඇයගේ අදහස්වල ඇති අනතුරු ඇඟවීම නොසලකා හැරිය හැකි නොවේ. එකක් රටේ අභ්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙනි. රටේ පවතින වාර්ගික ආතතියෙන් යුත් ප‍්‍රශ්නවලට ලංකාව පිළිතුරු සොයා නොගතහොත් නැවත වාරයක් රට ගැටුමකට යනු ඇති බවට වූ අනාවැකි රට තුළම විද්වතුන් විසින් පළකැරෙන්නේ අමෙරිකානු තානාපතිනියගේ ප‍්‍රකාශයට බොහෝ පෙර සිටය. ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රතිචාර සම්බන්ධයෙන් ඇය දක්වන අදහසට අනුව අනාගතයේ ලංකාවට එරෙහි පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විෂය පථයෙන් පිටතට යැවේ නම් එය බරපතළ අනතුරු සංඥාවක් බව කිවමනා නොවේ. කවර තරමේ අඩුලූහුඬුකම් තිබුණද එක්සත් ජාතීන්ගේ සංවිධිත ව්‍යුහය තුළ ගන්නා ක‍්‍රියාමාර්ගවලට විනිවිදභාවයක් හා පැහැදිලි බවක් වත් තිබේ. එහෙත් ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාවේ ප‍්‍රතිචාර දැක්වීමේ අක්‍ෂ්‍යය එවැනි පැහැදිලි ලක්‍ෂණ නැති තැනකට මාරුවේ නම් සිදුවිය හැකි හානිය ගණන් පූර්වනිගමනය කරන්නටවත් නොහැකිවනු ඇත. ලංකාවේ බොරතෙල් පිරිපහදු කිරීම සම්බන්ධයෙන් දැන් බලවත් ප‍්‍රශ්නයක් උද්ගතවී ඇති බව ප‍්‍රකට දෙයකි. ලංකාව දිගින් දිගටම බොරතෙල් ලබාගත්තේ ඉරානයෙන් වන අතර, අපේ පිරිපහදුව සකසා තිබුණේද මුළුමනින්ම ඉරාන බොරතෙල් පිරිපහදුවට උචිත වන පරිදිය. එහෙත් දැන් අපට ඉරාන බොරතෙල් ලැබෙන්නේ නැත. හේතුව අමෙරිකාව අප කෙරෙහි නියම කළ සම්බාධකයක් නිසා නොවේ. ඉරානයට එරෙහිව පැනවූ සම්බාධකයක් නිසාය. අමෙරිකාව පෞද්ගලිකව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධකයක් නිසා, එම චිත‍්‍රයට සම්බන්ධතාවක් නැතිව පසෙක සිටි ලංකාව මෙතරම් අර්බුදයකට යන්නේ නම් ලංකාවට එරෙහි ඍජු බලපෑමක් දරාගැනීම පහසුවනු ඇද්ද?

මේ ප‍්‍රකාශ හා කි‍්‍රයා අමෙරිකානු නව යටත්විජිතවාදයේ පෙරමුණු බව කෙවිටෙන් තලා ප‍්‍රතික්‍ෂෙප කිරීමට කිසිවකුට හැකිය. නැතිනම් ඒවායේ යටි අරුත් විමසා අනාගතයේ ඇතිවන තත්ත්වයන්ට මුහුණදෙන ආකාරය සකසාගත හැකිය. එවැනි පියවරක් සඳහා අවශ්‍ය දූරදර්ශීභාවය ආණ්ඩුවට තිබේද?

රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts