Open top menu
Saturday, April 27, 2013

මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි. මා මීට පෙර අවස්ථාවකදී ‘නිදහසේ ලේ තැවරුණු 65 වසර’ යන තේමාව යටතේ ලියන ලද ලිපිය කියවූ මාගේ මිත‍්‍රයකු මට කීවේ ඞී.එස්. සේනානායක හා ඔලිවර් ගුණතිලක සෝල්බරි කොමිසම ග‍්‍රහණයට ගත් බව දැනගත් පළමු අවස්ථාව එය බවය. ඔහුගේ වඩාත්ම උනන්දුවට හේතුවී තිබුණේ කොමසාරිස්වරුන් සඳහා ඉංග‍්‍රීසියෙන් කතා කළ ගොවීන් ගැන එහිවූ සඳහන ගැනය. එම රංගනය සිදුවී තිබුණේ මාවනැල්ලේය. මඩ තවරාගෙන කුඹුරු කොටන ගොවීන් ලෙස රඟපා තිබුණේ ඒ සඳහා තෝරාගත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකුය. මෙම සිද්ධිය ගැන ලියා තිබෙන කිහිපදෙනාම එය ලියා තිබෙන්නේ ජාතියේ පියා ලෙස සැලකෙන ඩී.එස්. සේනානායක විසින් කරවන ලද ගරු කටයුතු වීර ක‍්‍රියාවක් ලෙසය. ලැබෙන ප‍්‍රතිඵලය යහපත් නම් අනුන් රැවටීම වරදක් නොවේයැයි එම ලේඛකයන් කල්පනා කළා විය හැකිය.

ඩී.එස්.ගේ රැවටිල්ල



නිදහසින් පසු සෝල්බරි සාමිවරයාට ආණ්ඩුකාර ධුරය ලැබීම ගැන සඳහන් කෙරෙන මාගේ ලිපිවල හා පොත්පත්වල මා එය හඳුන්වා තිබෙන්නේ ඩී.එස්.සේනානායක විසින් තමන්ට කරන ලද උපකාර වෙනුවෙන් සෝල්බරි සාමිවරයාට කෘතගුණ සැලකීමක් වශයෙන් කරන ලද දෙයක් ලෙසය. සෝල්බරි කොමිසම මෙහි ගත කරන ලද ජීවිතය සැපවත් කිරීම වෙනුවෙන් ඞී.ඇස්. සේනානායකගේ උපදෙස් මත ඔලිවර් ගුණතිලක කර තිබෙන දේවල් ගැන මා අසා හෝ කියවා තිබුණද සෝල්බරි සාමිවරයාට ආණ්ඩුකාර ධුරය දෙන ලද්දේ කරන ලද උපහාරවලට දක්වන ලද ප‍්‍රතිඋපකාරයක් වශයෙන් බව සනාථ කිරීමට මා ළඟ පැහැදිලි සාක්ෂි නොතිබුණි. එහෙත් පසුගිය ඉරිදා සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට ජෝන් කොතලාවල තමන්ට කරන ලද හෙළිදරව් කිරීම් අළලා නෙවිල් ජයවීර ලියන ලිපියේ හතරවන කොටසේ එම ගනුදෙනුව සිදුවූ ආකාරය පැහැදිලි විස්තරයක් ඇතුළත් විය.

එම ගනුදෙනුව සිදුවී තිබෙන්නේ කොතලාවලගේ කඳවල නිවසේය. ජෝන් කොතලාවලට එම ගනුදෙනුව කරන්නට උපදෙස් දී තිබෙන්නේ ඩී.එස්. සේනානායකය. ඒ සඳහා ජෝන් කොතලාවල සෝල්බරි සාමිවරයාට හා තමන්ට පමණක් සීමාවූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පවත්වා ඇති අතර අයිවර් ජෙනින්ස්ගේ කෙටුම්පත පිළිගනිමින් ලංකාවට ඩොමීනියන් තත්ත්වයක් දියයුතු බවට වාර්තාවෙන් නිර්දේශ කරන්නේ නම් ඒ වෙනුවෙන් ඩී.එස්. සේනානායක සෝල්බරි සාමිට නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුකාර ධුරය පිරිනැමීමට සහතික වන බව එහිදී ජෝන් කොතලාවල සෝල්බරි සාමිට දැනුම් දී තිබේ. සෝල්බරි සාමි අතට අතදෙමින් ඊට එකඟත්වය පළකර තිබේ. දේවල් සිදුවී තිබෙන ආකාරය කොතරම් ළාමක හා හාස්‍යජනකද?

ඩී.එස්. සේනානායක ජෝන් කොතලාවලගේ මාමාය. ඔහු එහි ඩී.එස්. සේනානායක විස්තර කර ඇත්තේ තමන් දන්නා කපටිම නායකයා ඩී.එස්. සේනානායක ලෙසය. අන් තැනක ඔහු කපටි නරියා යන යෙදුම ජේ.ආර්. ජයවර්ධන සම්බන්ධයෙන් බහුල වශයෙන් යෙදෙනවා දැක ඇතත්, ඩී.එස්. සේනානායක සම්බන්ධයෙන් එම විශේෂණය පාවිච්චි කරනවා දක්නට ලැබුණු පළමු අවස්ථාව එය විය. ජෝන් කොතලාවලගේ මතය අනුව ඔහු ඇතුළු අපේ නායකයෝ කිසිම වැඩකට නැති බොරුකාරයෝය.

62 කුමන්ත‍්‍රණය

ජෝන් කොතලාවලට අනුව 1962 හමුදා කුමන්ත‍්‍රණය පිටුපස සිටි නායකයන් තිදෙනා වූයේ ඔහු ඇතුළු ඩඩ්ලි සේනානායක හා ඔලිවර් ගුණතිලකය. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් ද ඇතුළත් විශේෂ පාලක බලමණ්ඩලයට බලය පවරාදීම එම හමුදා කුමන්ත‍්‍රණයේ ඉලක්කය වූයේය. ඒ පිළිබඳ විස්තරයක් මහාචාර්ය කේ.එම්. ද සිල්වාගේ ජේආර් චරිතාපදානයටද ඇතුළත්ය. අත්අඩංගුවට ගන්නා කිසිම පුද්ගලයකුට හිරිහැර කරදර කිරීමේ අරමුණක් කුමන්ත‍්‍රණකරුවන්ට නොතිබුණි. අත්අඩංගුවට ගන්නා අයට කෑම්බීම් ලබාදීමට සැලසුම් කර තිබුණේද ගෝල්ෆේස් හෝටලයෙනි. එය ජින් ටොනික් බොන මහත්වරුන්ගේ කුමන්ත‍්‍රණයක් යන්න ජෝන් කොතලාවල ඊට ලබාදී තිබෙන අර්ථකථනය වී තිබේ.

ලංකාවේ ලිබරල් පක්ෂයේ නිර්මාතෘවරයා හා න්‍යායවාදියා වූ ආචාර්ය චානක අමරතුංගගේ ලංකාවේ පරමාදර්ශී ලිබරල් වීරයා වූයේ ඩඩ්ලිය. ලිබරල්වාදී නායකයෙක් හමුදා කුමන්ත‍්‍රණයකට සම්බන්ධවන්නේ කෙසේදැයි මා ඔහුගෙන් විමසූ අවස්ථාවකදී ඔහු මාගේ ප‍්‍රශ්නයෙන් වික්ෂිප්තභාවයට පත් වුවද 62 කුමන්ත‍්‍රණයට ඩඞ්ලිගේ සම්බන්ධයක් ඇති බව ඔහු පිළිනොගත්තේය. ඒ වනවිට කේ.එම්. ද සිල්වාගේ ජේ.ආර්. ජයවර්ධන පිළිබඳ චරිතාපදානයද පළවී නොතිබුණි.

අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ පාලන කාලයේදී පුවත්පත් විසින් වාර්තා කර තිබූ විවිධ කතා රාජ්‍ය ලේඛනාගාරයෙන් සොයාගෙන එහි ඉඳිමින් ඒවා කියමින් සිටින අවස්ථාවකදී ඔහු සිංහල රාජ්‍ය භාෂා නීතිය නීතිගත කිරීමෙන් ටික කලකට පසු සිංහල පමණක් පිළිවෙත ඇති කරන්නට යන ප‍්‍රතිඵල අළලා ඔහු විසින් කරන ලද කතාවක් පිළිබඳව කියවන්නට ලැබුණු වාර්තාවක් මා විස්මයට පත්කිරීමට හේතුවිය. සිංහල රාජ්‍ය භාෂා නීතිය නිසා වෙනදා ඉංග‍්‍රීසියෙන් වැඩ කළ රජයේ සියලූ ආයතනවලට දැන් සිංහල භාෂාවෙන් වැඩ කරන්නට සිදුවී තිබෙන බවත් තව කලක් යනවිට ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු කරන සුදු මහත්වරුන්ටද සිංහල ඉගෙන ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු එහි කියා තිබුණි. එම කතාව අසාගෙන සිටි අය භාෂා පේ‍්‍රමයෙන් උද්දාමවී ඔල්වරසන් දෙන්නට ඇතැයි මට සිතුණි.

බණ්ඩාරනායකගේ රැවටිල්ල

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් ස්වභාෂා ප‍්‍රතිපත්තියක් තිබියදී සිංහල පමණක් ප‍්‍රතිපත්තියට මාරුවූයේ බලය ලබාගැනීමේ අරමුණ සපුරා ගැනීම සඳහා පාවිච්චි කළ හැකි බලවත්ම තුරුම්පුවක් එය ලෙස සලකා විය යුතුය. බණ්ඩාරනායක සිංහල ජනයා සතුටු කිරීම පිණිස තමන්ගේ පක්ෂ බලයට පත්වූ පසු පැය 24ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවටද පොරොන්දු විය. බලයට පත් වහාම එම පොරොන්දුව ඉටු නොකරන විට බණ්ඩාරනායක ආණ්ඩුවේ ආධාරකරුවන් රාජ්‍ය භාෂාව අරබයා දෙන ලද පොරොන්දුව වහාම ඉටුකරන ලෙස ඉල්ලා කෑකෝ ගසන්නට වූහ.

සිංහල භාෂාවෙන් වැඩ කිරීමට භාෂා දැනුමක් නැති අයට සිංහල භාෂාවට මාරුවීමට අවශ්‍ය සාධාරණ කාලයක් නොදී වහාම සිංහල පමණක් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ නොහැකි බව බණ්ඩාරනායක දැන සිටියේය. එහෙත් එවැනි අයට 1960 අවසානය දක්වා කල්දීමක් කරනවා දකින්නට සිංහල භාෂාපේ‍්‍රමීහු කැමති නොවූහ. බණ්ඩාරනායකට ඒ තත්ත්වය මහජනයාට තබා සිය පාර්ලිමේන්තු කණ්ඩායමටවත් පැහැදිලි කරදීමට අවශ්‍ය ධෛර්යය නොතිබුණි. ඒ නිසා සිංහල රාජ්‍ය භාෂා පනත අවසානයේ නීතිගත කෙරුණේ සිංහල භාෂාවෙන් වැඩකිරීමට අවශ්‍ය භාෂා දැනුම නැති අයට සිංහල භාෂාවට මාරුවීමට අවශ්‍ය සාධාරණ කාලයක්වත් ලබා නොදෙන ආකාරයටය. එම තත්ත්වය දෙමළ ජනයා ප‍්‍රකෝප කළේය. අවසානයේ දෙමළ ජනයා සතුටු කිරීම පිණිස චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇති කරගන්නා ලද අතර එම ක‍්‍රියාව සිංහල භාෂා පේ‍්‍රමීන්ගේ විරෝධයට හේතුවී නැවත සිංහල ජනයා සතුටු කිරීම පිණිස ඇති කරගත් ගිවිසුම ඉරා දමන තැනකට යන්නට අගමැති බණ්ඩාරනායකට සිදුවිය. 1958 ජාතිවාදී කෝලාහලය බණ්ඩාරනායකගේ එම අවස්ථාවාදී ප‍්‍රතිපත්තියේ ඵලයක් ලෙස සැලකිය හැකිය. දෙමළ ජාතික පුවත්පත් කතුවරයෙකු වූ එස්. සබාරත්නම් විසින් ඒ. අමිර්තලිංගම්ගේ ජීවිත කතාව ථෙ Mඋර්ඩෙර් ඔෆ් ඇ Mඔඩෙරටෙ යන මාතෘකාව යටතේ පළකර තිබේ. බණ්ඩාරනායක චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට පෙර ඒ සඳහා හොරගොල්ල වලව්වේ සිදුවූ පළමු හමුවීමේදී දෙදෙනා අතර ඇතිවූ අපූරු අදහස් හුවමාරුවක් ගැන එහි සඳහන් වේ. මෙම හමුව සඳහා අතරමැදියන් ලෙස ක‍්‍රියාකර ඇත්තේ බදුයුදීන් මොහොමඞ් හා ප‍්‍රමුඛ නීතිඥයකු වූ එස්. නවරත්න රාජාය. චෙල්වනායගම් පැමිණි කාරය වෙත ගොස් අගමැතිවරයා ඔහු පිළිගන්නා අවස්ථාවේදී බණ්ඩාරනායක අමතා චෙල්වනායගම් මෙසේ කියා තිබේ.

‘‘බණ්ඩා මම ඔබ හමුවීමට එකඟ වූයේ හුඟාක් හිතාබැලීමෙන් පසුවයි. මෙම ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට අපි ක‍්‍රියාකළ යුතුයි. එසේ කිරීමට නොහැකි වුවහොත් අපි මරණයට පත්වීමෙන් පසුව මේ ප‍්‍රශ්න රටේ විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකියි.’’ ‘‘චෙල්වා මට ඔබේ කෝණය තේරෙනවා. මේ ප‍්‍රශ්නය විසඳීම සඳහා මා උත්සාහ කරන්නම්’’ යනුවෙන් බණ්ඩාරනායක පිළිතුරු දී තිබේ.

බණ්ඩාරනායක තමන්ගේ අවස්ථාවාදී ස්වභාවය පෙන්නුම් කරන වැදගත්ම ප‍්‍රකාශය කර තිබෙන්නේ සාකච්ඡුාව ආරම්භ කරමින් කරන කතාවේදීය.

සිංහල රාජ්‍ය භාෂා පනත ගැන කලබල නොවන ලෙස පෙඩරල් නායකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඔහු කියා ඇත්තේ එය ක‍්‍රියාත්මකවීමට අවුරුදු විශාල ගණනක් යා හැකි බවය. ඊට හේතු වශයෙන් ඔහු කියා ඇත්තේ තමාට සිංහල භාෂාවෙන් කතා කළ හැකිමුත් සිංහල භාෂාවෙන් කියවන්න හෝ ලියන්න නොදන්නා නිසා ඒ දැනුම තමා ලබාගන්නා තෙක් සිංහල භාෂා නීතිය ක‍්‍රියාත්මක නොකරන බවය. තමා හෙමින් ඉගෙන ගන්නා පුද්ගලයෙකු බවද ඔහු හාස්‍ය දනවන ආකාරයට කියා තිබේ. අපේ දේශපාලන නායකයකුට අවස්ථාවාදී වීමට අවශ්‍ය වූ විට යා හැකි දුර ප‍්‍රමාණය කොතරම්ද යන්න ඉන් හොඳින් පෙන්නුම් කරයි.

බණ්ඩාරනායක 1951දී එජාප අතහැර යන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තමා එම පක්ෂයේ දෙවැනියා වුවත් ඩී.එස්. සේනානායක නැති කාලයක ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වීමේ අයිතිය තමන්ට නොලැබෙන බව තේරුම් ගත් විටය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තිබුණද ඊට ගැළපෙන නායක පිරිසක්, පක්ෂ ක‍්‍රමයක් හෝ සමාජ ක‍්‍රමයක් නොතිබුණු බව ඉන් පෙනීයයි.

ඡුන්ද දේශපාලනය කරළියට එන්නට පෙර බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගෙන් පසු ස්වදේශිකයන් අතර ප‍්‍රමුඛ තත්ත්වය හිමි කරගෙන සිටියේ බණ්ඩාරනායකලාය. ඡන්ද දේශපාලන කරළියට ඒමෙන් පසු අලූතෙන් ධනවත් වූ පවුල් කණ්ඩායමකට අයත් සේනානායකලා රටේ ප‍්‍රමුඛ තත්ත්වය හිමිකර ගත්තේය. නැතිව තිබූ ප‍්‍රමුඛ තත්ත්වය නැවත ලබාගැනීමට බණ්ඩාරනායකට අවශ්‍ය වූ අතර ඒ සඳහා තෝරාගත් ඉක්මන් මාර්ගය ඔහුගේ ජීවිතය විනාශ කිරීමෙන් නොනැවතී රටද විනාශ කළේය.

ජෝන් ඩොයිලිගේ රැවටිල්ල

මෙම තත්ත්වය විග‍්‍රහ කිරීම සඳහා යොදාගත හැකි විවිධ කෝණ අතර මා කැමති එක් ඓතිහාසික කෝණයක් මෙසේය. අප නිදහස ලබාගත්තේ එක ලේ බිඳුවකුදු නොසොල්වාය. බි‍්‍රතාන්‍යයන් 1815දී උඩරට රාජ්‍ය අල්ලා ගත්තේද එකුදු ලේ බිඳුවකුදු නොසොල්වාය. ඒ දෙකේදීම බොරුව හා රැවටීම වැදගත් සාධකයක් ලෙස ක‍්‍රියා කළේය. 1815දී බි‍්‍රතාන්‍යයන් අප රැවැට්ටුවේය. 1947දී අපේ ජාතික නායකයන් විසින් බි‍්‍රතාන්‍යයන් රවටන ලදි.

1803දී හමුදාව යවා උඩරට රාජ්‍යය අල්ලා ගැනීමට බි‍්‍රතාන්‍යයෝ වියරු උත්සාහයක යෙදුණෝය. එහිදී දිවි ගලවාගෙන ආපසු එන්නට තරම් වාසනාවන්ත වූයේ යවන ලද බි‍්‍රතාන්‍ය හමුදාවේ තුන්දෙනෙකු පමණය.

1803දී විශාල හමුදාවක් යවා අල්ලා ගැනීමට නොහැකි වූ උඩරට රාජ්‍යය 1815දී සටකපට වැඩපිළිවෙළක් මගින් එකුදු වෙඩිල්ලක්වත් පත්තු නොකොට අල්ලා ගැනීමට බි‍්‍රතාන්‍යයෝ සමත් වූහ. ඒ සටකපට වැඩපිළිවෙළේ මහා මොළකාරයා ලෙස ක‍්‍රියා කළේ ජෝන් ඩොයිලිය. ඔහු සරල දිවි පෙවෙතක් ගත කළ වස්තුව ඉපැයීමට උනන්දුවක් නොදැක්වූ, මත්පැනින් වැළකී සිටි, සිංහල භාෂාව පිළිබඳව ප‍්‍රවීණ දැනුමක් ඇති කරගෙන සිටි, කරතොට ධම්මාරාම, මොරතොට ධම්මකිත්ති වැනි පඬිහිමිවරුන් අසුරු කළ, ගජමන් නෝනා සමග තරගෙට කවි ලියූ, කේම්බි‍්‍රජ් උපාධිධාරී සිවිල් සේවකයෙකි. සටකපට වැඩපිළිවෙළක් මගින් උඩරට රාජ්‍ය අල්ලා ගැනීම සඳහා වන මාර්ග සැලැස්මක් සකස් කළ හා තිරය පිටුපස ඉඳිමින් ඒ මාර්ග සැලැස්ම ක‍්‍රියාවට නගන ලද පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ජෝන් ඩොයිලිය. රදලයන් හා රජු අතර තිබෙන භේද උග‍්‍ර කළ පුද්ගලයා ඔහුය. ඩොයිලි මත්පැන් බොන කෙනෙකු නොවුවද රජු මත්පැන්වලට ඇබ්බැහි කොට බේබද්දකු කළේය. රජු බැහැදකින්නට යන විවිධ පුද්ගලයන් මගින් ඩොයිලි හොඳම මත්පැන් වර්ග රජු වෙත යැවීය. රජු අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන් යවන ලද මත්පැන් රජු පරිහරණය කර තිබුණේද යන්න දැනගැනීම සඳහා ඩොයිලි මාලිගාවට ගියේය. තමන් සැලසුම් කරන ලද ආකාරයටම දේවල් සිදුවී තිබෙන බව ඔහු සැකහැර එහිදී දැනගත්තේය.

ඔහු ක‍්‍රියාවට නගන ලද රංගනයේ රඟපෑ නළු නිළියන් විශාල පිරිසක් සිටියදී ඩොයිලිගේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා ඩොයිලි සමග ළඟින්ම වැඩ කළ ස්වදේශිකයෝ තිදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ මී මුණුපුරන්ගේ මුණුපුරෝ එළැඹෙන නිදහස් යුගයේදී ලංකාවේ පිළිගත් ප‍්‍රධාන පෙළේ ජාතික නායකයන් බවට පත්වූහ. ඩොයිලි සමග සමීපව ක‍්‍රියා කළ තුන්දෙනා අතර භාෂා පරිවර්තකයෝ දෙදෙනෙක් සිටියෝය. එක් අයෙක් දෙමළ භාෂා පරිවර්තකයා වූ අතර අනෙකා සිංහල භාෂා පරිවර්තකයාය. තුන්වැන්නා ඩොයිලිගේ ප‍්‍රියතම චර පුරුෂයාය. රාමනාදන් හා අරුණාචලම් යන සහෝදරයන් දෙදෙනා දෙමළ පරිවර්තකයාගේ මී මුණුබුරන් වනවිට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල භාෂා පරිවර්තකයාගේ මී මුණුපුරාය. ජේ.ආර්. ජයවර්ධන ඩොයිලිගේ ප‍්‍රියතම චරපුරුෂයාගේ මී මුණුබුරාය. මෙම පවුල් කණ්ඩායම් තුන ලොකු ඉඩම් හිමියන් බවට පත්වීම ආරම්භ වන්නේද 1815දී කැරැල්ල මර්දනය කිරීම වෙනුවෙන් ඔවුන් දෙන ලද සහාය සලකා ඉංග‍්‍රීසි ආණ්ඩුව ප‍්‍රදානය කළ ඉඩම් නිසාය.

අනුවර්තනයේ නියමුවෝ

මෙම ප‍්‍රශ්නය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් වන තවත් මානයක් මාෂල් ආර්. සිංගර් විසින් ලංකාවේ දේශපාලනඥයන්ගේ සමාජ පසුබිම අළලා 1964දී පළ කර ඇති ථෙ Eමෙර්ගින්ග් Eලිටෙ නමැති අධ්‍යයනයට ඇතුළත්ය. එහි එක් තැනක බි‍්‍රතාන්‍ය යුගයේ ප‍්‍රමුඛ තත්ත්වයක් හිමි කරගෙන සිටි පහතරට පවුල් 29ක් පදනම් කොටගෙන ඔහු ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණය ඉතා වැදගත්ය. එම 29 දෙනාටම එක බටහිර නමක් හෝ තිබුණේය. 16 දෙනකුට පෘතුගීසි නමුත්, තවත් 13 දෙනෙකු ‘දොන්’ හෝ ‘දොම්’ යන පුද්ගලික නාම භාවිත කළහ. 10 දෙනකුට ලන්දේසි නම් තිබුණු අතර 18 දෙනකුට ජෙකබ්, ඒබ‍්‍රහම්, පීටර් වැනි බයිබල් නාම තිබුණේය. මේ සියලූදෙනාම හෝ ඉන් වැඩි පිරිසක් පෘතුගීසි කාලයේදී බුද්ධාගම අතහැර කතෝලිකාගම වැළඳ ගත් පෘතුගීසි භාෂාව හා පෘතුගීසි ජීවන ක‍්‍රමයක් පවත්වාගෙන ගිය අය වූහ. ලන්දේසි යුගයේදී ඔවුන්ගේ අනුප‍්‍රාප්තිකයන් කැල්වින් ආගම වැළඳගෙන ලන්දේසි භාෂාව හා ලන්දේසි ජීවන ක‍්‍රමයට මාරුවී තිබේ. බි‍්‍රතාන්‍ය යුගයේදී ඇන්ග්ලිකන් ආගමට මාරුවෙමින් ඉංග‍්‍රීසි භාෂාව හා ඉංග‍්‍රීසි ඇඳුම් පැළඳුම් අඳින අය බවට පත්වී නිදහස් යුගයේදී බුද්ධාගම වැළඳගෙන සිංහල භාෂාව කතා කරන හා රෙදි බැනියම් අඳින අය බවට පත්වී තිබේ. ඩාවින්ගේ අනුවර්තන න්‍යායයට අනුව නම් පහතරට මෙම සුවිශේෂ සමාජ ස්ථරය සැලකිය යුත්තේ වෙනස්වන තත්ත්වයන්ට ගැළපෙන ලෙස අනුවර්තනය වීමේ හැකියාවක් තිබූ ඉතාමත් දක්ෂ සමාජ කණ්ඩායමක් වශයෙනි. එහෙත් ආගම භාෂාව සංස්කෘතිය වැනි විශේෂ ක්ෂේත‍්‍රවලදී එවැනි අයට නායක කාර්යභාරයක් ලබාදීම භයානකය. මක්නිසාදයත් ඔවුන් ආගම, භාෂාව හා සංස්කෘතිය වැනි දේවල් ඉහළ නැගීම සඳහා පමණක් පාවිච්චි කර තිබෙන ඉතාමත් අවස්ථාවාදී ඉතිහාසයකට උරුමකම් කියන පිරිසක් වීම නිසාය. එහෙත් රටේ අවාසනාවට එවැනි සංවේදී විෂයයක් භාරකරුවන් හෝ මෙහෙයවන්නන් බවට පත්වූයේද ඉතාමත් අවස්ථාවාදී ඉතිහාසයකට උරුමකම් කියන එවැනි අයමය. ඔවුන් සුපුරුදු ලෙස එම විෂයයන් ඔවුන්ගේ ඉහළ නැගීමේ අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් පාවිච්චි කරමින් මුළු රටම පහසුවෙන් ගොඩගත නොහැකි මහා අවුල් ජාලයකට තල්ලූ කළේය.

හේන්පිටගෙදර ඥානසීහ හිමිගේ පසුතැවිල්ල

හේන්පිටගෙදර ඥානසීහ හිමියන් ලියන ලද එක් පොතක බණ්ඩාරනායකට එල්ලකරන විශේෂ දෝෂාරෝපණයක් තිබෙන්නේය. එම පුංචි පොත් පිංච උන්වහන්සේ හිරගෙදර සිටියදී ලියන ලද්දකි. හේන්පිටගෙදර ඥානසීහ හිමියන් හා එන්.කියු. දියෙස් (නීතිඥ ගෝමින් දයාශ‍්‍රීගේ පියා) බණ්ඩාරනායකට බලයට ඒම සඳහා බෞද්ධ වටාපිටාවක් ඇති කර දුන් ප‍්‍රධාන පුද්ගලයන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෞද්ධයන්ගේ තත්ත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා බෞද්ධ කොමිෂන් සභාවක් ඇති කිරීමේ අදහස එන්.කියු. දියෙස්ගේ අදහසක් වන විට එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නගන ලද්දේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. එම පෙරහැරට නාමධාරීන් එකතු වූයේ ඔවුන් දෙදෙනා විසින් මූලික පදනම දැමීමෙන් පසුවය. බෞද්ධ ව්‍යාපාරයට නායකත්වය දීමට සුදුසු පුද්ගලයා වශයෙන් මෙම දෙදෙනා විසින්ම පළමුවෙන්ම තෝරාගැනීමට බලාපොරොත්තු වූයේ බණ්ඩාරනායක නොව ඩඞ්ලිය. ඩඞ්ලි ඒ කාලයේ අගමැතිකම ජෝන් කොතලාවලට භාරදී විශ‍්‍රාම සුවයෙන් කල්ගෙවන තත්ත්වයක සිටියේය. ඔවුන්ට ඩඞ්ලි වෙනුවට බණ්ඩාරනායක තෝරාගැනීමට සිදුවූයේ එම ව්‍යාපාරයේ නායකත්වය ගැනීම ඩඞ්ලි ප‍්‍රතික්ෂේප කිරීම නිසාය. ඥානසීහ හිමියන් එම පොත් පිංචෙන් එම කතාව විස්තර කරන අතර අඩුම වශයෙන් අගමැති බණ්ඩාරනායක බෞද්ධ භික්ෂූන්වහන්සේලාට හරිහැටි ඉංග‍්‍රීසි උගන්වන ක‍්‍රමයක්වත් ඇති නොකළ බවට චෝදනා කරයි.

එම පුංචි ප‍්‍රකාශනයෙන් දෙන පණිවුඩය විශාලය. අවුරුදු 500කට වැඩි කාලයක් පැවති යටත්විජිත යුගය දේශීය භාෂාවන්ට හා ආගම්වලට තිබුණු තැන යටපත් කර තිබුණේය. නිදහස ලැබීමෙන් පසු එම හීන දීන තත්ත්වය නැති කළ යුතුව තිබුණේය. එහෙත් එසේ කළයුතුව තිබුණේ සිංහලයන්ට පමණක් විමුක්තිය ලැබෙන ආකාරයකට නොව මෙහි ස්වදේශිකයන් ලෙස ජීවත් වූ අන් සුළු ජාතිකයන්ටද විමුක්තිය ලැබෙන ආකාරයටය. එසේම එය කළයුතුව තිබුණේ එවේලේ ලැබෙන වාසි පමණක් සලකා රටේ අනාගතය විනාශ නොකෙරෙන ආකාරයටය. ඉන්දියාවට ද රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියක් සේ ම ජාතික භාෂා ප‍්‍රතිපත්තියක් තිබුණේය. නිදහසින් පසු ඉන්දියානු නායකයන් ස්වදේශීය භාෂාවන්ට අහිමි කර තිබූ තත්ත්වය ඒවාට නැවත ලබාදෙන අතර ඉංග‍්‍රීසි භාෂාව උසස් අධ්‍යාපනයේ ප‍්‍රධාන භාෂාව ලෙස තබා ගත්තේය. අපේ නායකයන් ඒ වෙනුවට කළේ ඉංග‍්‍රීසි භාෂාව තම දරුවන්ට සීමා කොට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට ඉංග‍්‍රීසි අහිමි කිරීමය. දැන් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙනුයේ අනාගත පරපුරටය. ජාතියක් වර්ගය ආගම හා භාෂාව මත කුලප්පු කිරීම පහසුය. එහෙත් එවැනි කුලප්පු කිරීම්වලින් ජාතියකට සිදුවිය හැකි විනාශය දැවැන්තය. දැන් හේන්පිටගෙදර ඥානසීහ හිමියන් කරන විවේචනය වෙත ආ හැකිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉංග‍්‍රීසි භාෂාව උගන්වන හොඳ ක‍්‍රමයක් ඇති කළේ නම් ඔවුන්ගෙන් විශාල පිරිසක් විදේශ රටවලට ගොස් ධර්ම දේශනා කරන ධර්ම දේශකයන් පිරිසක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ඒ සමග බුද්ධාගම ශ‍්‍රී ලංකාවේ සිංහලයන්ට පමණක් සීමා කරන ලද දහමක් නොවන බවද උන්වහන්සේලා තේරුම් ගන්නට ඉඩ තිබුණා සේ ම බෞද්ධ ශාසනය නවීන අදහස්වලින් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්මවලින් පෝෂණය වන්නටද ඉඩ තිබුණි. ඒ තත්ත්වය රටේ ප‍්‍රගතියටද හේතුවන්නට ඉඩ තිබුණි. භාෂාව, ආගම වැනි සංවේදී ප‍්‍රශ්නවලදී විටෙක ජනතාව නායකයන් රැුවටුවේය. තවත් විටෙක නායකයෝ ජනතාව රැවැටුවෝය. ඒ රැවටිල්ලේ අවසාන ප‍්‍රතිඵලය වූයේ මුළු රටම පහසුවෙන් ගොඩගත නොහැකි මහා අගාධයකට තල්ලූවීමය. එය එසේ තිබියදීත් තාමත් අපට බොරුව හා රැවටිල්ල අත්හරිමින් ඒ සිදුවූ වැරදි නිවැරදි කරගැනීමට හැකිවී නැත.

අමද්‍යප ව්‍යාපාරයේ රැවටිල්ල

එක යුගයකදී ලංකාවේ සමාජය කෙරෙහි දැවැන්තම බලපෑමක් ඇති කළ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි අමද්‍යප ව්‍යාපාරය තුළද මේ බොරුව හා රැවටිල්ල රජ කළේය. අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පෙනීසිටි නායකයන්ගෙන් අතිවිශාල බහුතරයක් (අනගාරික ධර්මපාල හා ඩී.බී. ජයතිලක හැර) අරක්කු මේ රටේ ප‍්‍රචලිත කළ අරක්කුවලින් ධනය උපයාගත්, අරක්කු ව්‍යාපාරිකයන්ගේ තරුණ දරුවෝ වූහ. එහෙත් ඒ කිසිවෙකු ජනතාව අමතා කතා කරන විට තමන්ගේ අතීතය ගැන ජනතාවට අවංක වූයේ නැත. අරක්කු ව්‍යාපාරවලට සම්බන්ධ තමන්ගේ මෑත ඉතිහාසය ගැන පසුතැවිලි වූ බවක්ද පෙනෙන්නට නැත. ඇත්තටම එහිදී සිදුවූයේ උසස් අධ්‍යාපනයක් ලබාගෙන සිටි අරක්කු ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මහජන පිළිගැනීමක් ලබාදීම සඳහා අරක්කු සල්ලිවලින්ම වේදිකාවක් තනාදීමය. අමද්‍යප ව්‍යාපාරය හරහා ජාතික නායකයන් බවට පත්වූ බොහෝ දෙනෙක් අරක්කු ව්‍යාපාරිකයන්ගේ දරුවෝ හෝ බෑණාවරු වූහ. එය අපේ මෑත ඉතිහාසයේ බොරුව හා රැවටිල්ල රජ කළ තවත් වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

සමාජ විද්‍යාඥයකු හා කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ මානව සම්පත් සංවර්ධන අංශයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ අයි. රණසිංහ පෙරේරා විසින් සමාජ සජීවීකරණය ගැන ලියන ලද පොතක රොබට් නොක්ස් උපුටා දක්වමින් ඔහු කියන්නේ බොරුව හා රැවටීම සිංහලයන්ගේ චර්යා ලක්ෂණයක් බවය. රොබට් නොක්ස් කියා තිබෙන ආකාරයට සිංහලයන්ට බොරුකීම එතරම් ගණන් ගතයුතු හෝ හෘදය සාක්ෂියට පිටුපා යන දෙයක් නොවේ. ඒ නිසා බොරුකීම ලැජ්ජාවට හෝ අපකීර්තියට කරුණක්ද නොවේ. යමෙකු බොරු කියන ලදැයි හෙළිවුවද ඒ ගැන පුදුම වියයුතු නැත. මක්නිසාදයත් බොරුකීම එතරම්ම සාමාන්‍ය දෙයක් වන නිසාය. රණසිංහ කියන්නේ ඒ කාලයේ පැවති බොරුව හා රැවටීම අදත් එසේම පවතින බවය. එය සංස්ථාපිත තත්ත්වයක් බවට පත්ව තිබෙන බවය. එය දක්ෂකමක් ලෙස විනා දුර්ගුණයක් ලෙස නොසලකන බවය. බොරුව හා රැවටීම දේශපාලනයට පමණක් සීමාවී නැති බවත් සංවර්ධන ව්‍යාපාරවල සේ ම ජන ජීවිතයේ හැම තැනකමත් දක්නට තිබෙන ලක්ෂණයක් වන බවය. මා හිතන්නේ එය සිංහලයන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ හැම ජනවර්ගයක් තුළම දැක්විය හැකි ලක්ෂණයක් වන බවය.

දේශපාලනඥයෝ මහජනයා රවටති. පූජකයෝද සිය බැතිමතුන් රවටති. වෘත්තීයවේදීහු සිය සේවාදායකයන් රවටති. කලාකරුවෝ හා ලේඛකයෝ සිය රසිකයන් රවටති. ජනමාධ්‍යවේදීහු සිය පාඨකයන් රවටති. වෙළෙන්දෝ සිය ගැනුම්කරුවන් රටවති. මහජනයාද තමන්ට රැවටිය හැකි අය රවටති. විදේශ සංචාරකයන් රැවටීම වරදක් නොවේය කියන ආකල්පය සංචාරක කර්මාන්තයට සම්බන්ධ උස් පහත් හැමතැනම පාහේ දැකිය හැකි ලක්ෂණයකි.

අප මේ තත්ත්වයෙන් අත්මිදෙන්නට යන්නේ කවදාද?‍.

වික්ටර් අයිවන් -

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. මම හ ිතන්නෙ නැහැ ලෝකෙ කොහෙවත් වික්ටර් අයිවන් හිතන සුන්දර දේශපාලනය ඇති කියලලා...
    නමුත් ඩී ඇස් ලා බලය අරගෙන මිනිස්සුන්ට වැදගත් දෙයක් කලා..ඒ අනුව අපිට හිතන්න පුලුවන් ඔය කියන මගුල් පජාතන්ත්‍රවාදයේ සමහර ගති තිබුනෙ නැතත්..ඩී ඇස් කියන්නෙ සිරා පොරක් කියලලා....

    ReplyDelete
  2. හයියෝ මේ ආතක් පාතක් නැති, අබ්බගාත, පාහර, දෙපිටකාට්ටු, දේශපාලන අනාථයෙක් වෙච්ච වික්ටර් අයිවනයා කියන්නේ මොන සොකඩයෙක්ද? මූ කියන එව්වා ඔයා වගේ බබා හුකුංලට නම් හොඳයි. මේ රටේ වසර 50 ක දේශපාලන ඉතිහාසය දන්නා අපටනම් මේවා පුකෙන් හිනායන විහිලු.

    ReplyDelete

Popular Posts

Popular Posts