Open top menu
Wednesday, May 8, 2013


කොළඹ නගරයේ අළුත්ම නාට්‍යයක් රඟ දක්වන බව ඊ මේල් සහ ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රචාරය කර තිබූ නිසා ඒ ගැන මා තුළද සෑහෙන උනන්දුවක් ඇති විය. ඇත්ත වශයෙන්ම මම නම් ඒ හැටි නාට්‍ය ලෝලියෙකු නොවෙමි. 1985 පමණ කාලයේ ජයන්ත චන්ද්‍රසිරි නම් තරුණ පුවත්පත් කලාවේදියා ‘අත්’ නමින් විප්ලවකාරී නාට්‍යයක් නිෂ්පාදනය කළ අතර ඒ නාට්‍යයේ රඟපෑවේ මට මතක හැටියට ජැක්සන් ඇන්තනි, කමල් අද්දරාඅරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි ඒ කාලයේ තරුණ නළුවන්ය. අවුරුදු විසි පහකට පමණ පසු ජයන්ත සහ එහි රඟපෑ අනෙක් ප්‍රධාන නළුවන් ජීවිත වේදිකාවේ රඟපාන ආකාරය දැකීම නිසා මට නාට්‍ය බැලීම සම්පූර්ණයෙන්ම එපා විය. නමුත් මේ අළුත් නාට්‍යය එක්තරා විදියක පර්යේෂණාත්මක දේශපාලන නාට්‍යයක් බව කියවුණු හෙයින් නාට්‍යය බැලීමට යාමට මම හිත හදා ගත්තෙමි.

ඒ වුණත් නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ කවුද
රඟපාන්නේ කුමන නළු නිළියන්ද ආදිය ගැන කිසිම විස්තරයක් ඊ මේල් වල හෝ ෆේස්බුක් එකේ සටහන්ව නොතිබුණි. ඒ ගැන දැන ගත්තොත් නාට්‍යය බැලීම සඳහා වන උනන්දුව වඩි වන බව කල්පනා කළ මම නාට්‍යය ගැන මට විස්තර කියා එවූ මිතුරියගෙන් ඒ ගැන විමසුවෙමි.

“මේ නාට්‍යයේ අධ්‍යක්ෂ කෙනෙක් නැහැ!” ඇය කිවේ මා මවිතයට පත් කරමිනි.

“මොනව අධ්‍යක්ෂ කෙනෙක් නැහැ?” මම ඇසුවෙමි.

“ඔව්, ඔයා තවම ඉන්නෙ පරණ අච්චුවේ. මේක ඇවිල්ලා පෝස්ට්-මොඩර්න් ලෝකයක්. මේ නාට්‍යයේ සාම්ප්‍රදායික අර්ථයෙන් අධ්‍යක්ෂවරයෙක් නැහැ. ඒ වගේම නළු නිළියොත් නැහැ.” ඇය කියන්නේ ආඩම්බරයෙනි.

මෙහෙමත් පුදුමයක්. මේක වෙන්න පුළුවන් කතාවක්ද? නාට්‍යයක් කරන එක කොයිතරම් වෙහෙසකර කටයුත්තක්ද? මෙහෙම සේරම කටයුතු හරියට ස්වයංජාත ඇල්වී වගේ නැගලා යන නාට්‍ය හදන්න පුළුවන් නම් මමත් හෙටම කලාකාරයෙක් වෙනවා යයි මට සිටිණි. කොහොම වුණත් මේ කතාවෙන් මගේ කුතුහලය ඇවිළුන අතර වැඩි දුරටත් විස්තර හොයන්නට මට සිත්විය. අපේ හිතවත් මිතුරිය කියන විදියට මේ නාට්‍යය වනාහි එක්තරා ආකාරයක ප්‍රතිචාරයකි.

“ඔයාට මතකයිනේ පහුගිය දවස්වල ‘ආලවක දමනය’ කියල බෞද්ධ නාට්‍යයක් රටපුරාම පෙන්වගෙන ගියා. ඉතින් ඒ නාට්‍යය ජනප්‍රිය වුනාට ඒක හරිම ප්‍රචණ්ඩයි; හිංසාකාරියි. ඒක බලල පොඩි ළමයි ගොඩක් බය වෙලා. ඇත්තටම ඔය ක්ෂාන්තිවාදී ජාතකය, සිරිසඟබෝ කතාව වගේ කොයිතරමක්වත් ප්‍රචණ්ඩ නැති කතා වස්තු තියෙද්දි මේ ගොල්ල මේ වයලන්ස් තියෙන කතාම නේ තෝරගත්තෙ. ඒ හින්ද අපි කට්ටියක් එකතු වෙලා කල්පනා කළා ‘ආලවක දමනය’ නාට්‍යයට විරුද්ධව අළුත් නාට්‍යයක් හදන්න.” ඇය විස්තර කළාය.

“ඇයි ආලවක දමනයට විරුද්ධව ‘ඉටිපහන්’ කියල වීදි නාට්‍යයක් කට්ටියක් ගිහින් අළුත් අවුරුද්ද දවසෙ ආලවක දමනය නාට්‍ය කණ්ඩායමටම පෙන්නුව නේද?” මම ඇසුවෙමි.

පුදුමයකට මෙන් ඒ නාට්‍යයත් අධ්‍යක්ෂකවරයෙකු හෝ අර්ථපතියෙකු නැති නාට්‍යයකි. එදා නාට්‍යකරුවන්ගෙන් නාට්‍යයේ අර්ථපතියන් කවුදැයි දැනගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දරා අති බව ආරංචි විය.

“ඔව්, ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට ඒ නාට්‍යයට ප්‍රේක්ෂකයො බාධා කළ නිසා පොලිසිය නාට්‍යය තහනම් කළා නේ. එහෙම වුණාම මේකට සම්බන්ධ වෙන්න ඉන්න අය අධෛර්යය වෙනවා. ඒ නිසා තමයි අපි කල්පනා කළේ හොඳට ප්‍රචාරය කරලා මේ අළුත් නාට්‍යය කරන්න.” ඇය කීවාය.

අදාල දවසේ නාට්‍යය නරඹන්නට එන බවට පොරොන්දු වී මම ඇගෙන් සමුගතිමි.

“හැබැයි එක දෙයක් තියෙනව. මේක හැමදෙනාගෙම වැඩක් වෙන්න ඕන නිසා අපි කිසිම දේශපාලඥයෙකුට මේකෙ රඟපාන්න දෙන්නෙ නැහැ. හැබැයි ඒ අයට පුළුවන් මේකෙ ප්‍රේක්ෂකයො හැටියට ඇවිත් නළු නිළියන්ට අප්පුඩි ගහන්න.” මා යන විට ඇය කීවේ මාත් දේශපාලනඥයෙකු ලෙස ඇය සලකන නිසාදැයි මම කල්පනා කළෙමි.

ඉරිදා උදෑසන මම නාට්‍යය නැරඹීමට ජෝන් ද සිල්වා රඟහල වෙත ගියෙමි. ප්‍රේක්ෂකයෝ නාට්‍යය නරඹන්නට ඇදී එමින් උන්හ. එහෙත් පිරිස ජෝන් ද සිල්වා රඟහල ඇතුළට නොගොස් මහපාරේම රැඳී සිටීම නිසා මට නැවතත් කුතුහලයක් ඇති විය. පොලිසියෙන්ද සෑහෙන පිරිසක් ඇවිත් සිටිය අතර ‘ඉටිපහන්’ වීදි නාට්‍යය පෙන්වීමට බාධාකළ ඉහළ පොලිස් නිලධාරියාද එහි සිටින බව දුටු මට කාරණය වැටහිණි. පාරේ එහා පත්තේ සිටි මගේ මිතුරිය මා දැක “හායි” ගෑවෙන් මම ඒ පැත්තට ගියෙමි.

“නාට්‍යය පෙන්නන වැඩේ අදත් බකල් නේද? මොකද පොලිසිය ඇවිල්ල ජෝන් ද සිල්ව එකේ නාට්‍යය පෙන්නන එක තහනම් කළාද? මම නම් මේක කලින්ම දැන ගත්තා. ඔයාල කිව්වට මේ වගේ කාලෙක ‘ඉම්ප්‍රින්ට්’ එක නැතුව පෝස්ටරයක්වත් ගහන්න දෙන්නෙ නැති මේ රටේ ඔහොම අධ්‍යක්ෂක කෙනෙක් නැතුව නාට්‍ය කරන්න දෙන්නෙ නෑ.” මම කීවෙමි.

ඇය මා දෙස නෝන්ඩියට මෙන් බලා මෙසේ කීවාය.

“නෑ අනේ. නාට්‍යය තහනම් කරල නැහැ. ඔය පොලිස් අංකල්ලා ඇවිත් ඉන්නෙ අපේ ආරක්ෂාවට. අපි නාට්‍යය පෙන්නන්නේ පාරෙ. ඔය ජෝන් ද සිල්වා එකේ තියෙන ප්‍රොසීනියම් වේදිකාව මේ වගේ නාට්‍යයකට ගැලපෙන්නෙ නැහැ. මේක පාරෙ තිබ්බහම මේ ඇවිත් ඉන්න අපි සේරම දෙනා එක පාරටම මේකෙ ප්‍රේක්ෂකයො වෙනව වගේම මේකේ නළු නිළියොත් වෙනව.”

ඇය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගැනත් තදාත්මක විඝටනය ගැනත් මොන මොනවාදෝ කියවන්නට පටන් ගත්තේය.

නාට්‍යය ආරම්භ විය. කිව්වත් වාගේ අධ්‍යක්ෂවරයෙකු පේන්නට නැත. නළු නිළියෝ හොඳින් රඟපාති. පොලිසිය නාට්‍යයට ආරක්ෂාව දෙයි. පොලිසිය මේ වැනි නාට්‍යයකට ආරක්ෂාව ලබා දෙන ආකාරය දුටු විට මට පැහැදිලි වූයේ පොලිසිය ‘ආලවක දමනය’ නාට්‍ය කණ්ඩායමට පක්ෂපාතී බවට නොයෙක් පුද්ගලයන් විසින් ගෙන යන ප්‍රචාරයේ කිසිදු පදනමක් නැති බවයි. එකත් එකටම ඉටි පහන් නාට්‍යය වනාහි ලංකාවේ පොලිසිය අපකීර්තියට පත් කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන්ගේ වැඩක් විය යුතුය. ඒකට මේ නාට්‍යය! මෙමගින් ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ යන බව පහැදිලිය.

නාට්‍යය පදනම් වී තිබුණේ ජාතක කතා පොතේ එන වට්ටක ජාතකයය. වටුවන් රෑනක් සමගි සම්පන්නව ක්‍රියාකිරීමෙන් වටු වැද්දගේ දැල ඔසවාගෙන බේරී පළා යන හැටිත්, පසුව වටු වැද්දාගේ උපායට් හසු වූ වටුවන් බේද භින්න වූ පසු වටු වැද්දා වටුවන් දැලට හසු කර ගත් හැටිත් නාට්‍යයෙන් කියවිණි. අන්තිමේදී නාට්‍යයේ පූරකගේ චරිතය වැනි චරිතයක් රඟ දැක්වීමට පෙරට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ඇඳ පැළැඳ ගත් පුද්ගලයෙක් කිව්වේ අපි සියළු දෙනා වටුවන් මෙන් සමගි වුවහොත් අප ගිල ගැනීමට මාන බලමින් සිටින අධිරාජ්‍යවාදී වටු වැද්දාගෙන් බේරෙන්නට පුළුවන් බවත්, අප ජාති ආගම් වශයෙන් අසමගි වුවහොත් අප අධිරාජ්‍යවාදී වටු වැද්දාට ගොදුරු වන බවයි.

“කවුද ඒ හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපානෙ? මුහුණ නම් මට හොඳට පුරුදුයි. හරි අපූරුවට රඟපානවනේ.” මම කීවෙමි.

“අනේ ඔයාට තේරෙන්නෙ නැද්ද? ඒ නළුවෙක් නෙවෙයි, ඇත්ත හාමුදුරු නමක්.” මගේ මිතුරිය කීවේ මගේ නොදැනුවත්භාවයට ඔච්චම් කරමිනි.

“මොනව? ඇත්ත හාමුදුරු නමක්? එතකොට මේ හාමුදුරුවො ආණ්ඩු පක්ෂෙට අයිති පලාත් සභා මන්ත්‍රී කෙනෙක් නේද? මෙයා පලාත් සභාවට පත්වුනේ යුද ජයග්‍රහණය වෙනුවෙන් ලැබිච්ච ඡන්ද වලින් නේ? මේ හාමුදුරුවො කොහොමද මේ වගේ නාට්‍යයක රඟපාන්නෙ? අනෙක ඔයා කිව්ව නේද දේශපාලනය කරන අය මේකෙ රඟපාන්න ගන්නෙ නැහැ කියලා? එතකොට හාමුදුරුවො ඡන්දෙ ඉල්ලුවෙ දේශපාලනය කරල නෙවෙයිද?” මම ප්‍රශ්න වැලක් අසා ගෙන ගියෙමි.

ඒ අවස්ථාවේදී සෙනග අතරින් ඉදිරියට පමිණ රඟපෑමට ඉදිරිපත් වූයේ ඉමිටියාස් නම් මුස්ලිම් මහත්මයෙකි. “මේ ඉමිටියාස් මහත්මයා නම් හරිම සන්සුන් විදියට කතා කරනවා. ඒත් මේ ඉස්සර හිටපු ඇමැති කෙනෙක් නේද? එතකොට මෙයා විරුද්ධ පක්ෂෙ කෙනෙක් නේ?” මම නැවතත් ඇසුවෙමි.

“එහෙම තමයි අනේ. මේවා සැලසුම් කරල කරන රඟපෑම් නෙවෙයි නේ. මම කිව්වනේ මේකෙ අධ්‍යක්ශ කෙනෙක් නෑ කියල.” මගේ මිතුරිය කිව්වේ නෝක්කාඩු ස්වරයෙනි.

මේ අතරේ බී. බී. සී. යන අකුරු සටහන් කල මයික්‍රෆෝනයක් රැගත් සුද්දෙක් පැමිණ එය රැවුළ වවා ගත් මහත්තයෙකු වෙත දිගු කළ අතර ඒකත් නාට්‍යයේම කොටසක් වෙන්නට ඇතැයි මට සිතිණි.

“මේ අර තානාපති නේද?” මම ඇසුවෙමි.

“තානාපතිතුමා නාට්‍යයෙ රඟපෑවම මේ නාට්‍යයට හොඳ එළියක් වැටුණ නේද? එයා මේ දවස්වල හරිම ජනප්‍රියයි. අනෙක ජොබ් එකකුත් නැති නිසා ඕන වෙලාවක අල්ලගන්න පුළුවන්.” මගේ මිතුරිය කීවාය. මේ නාට්‍යය හරිම අභව්‍ය සිදුවීම් වලින් ගහණ නාට්‍යයකි.

“ඒ වුණාට මිනිහ මේ ගිය සුමානෙ ‘ඉටිපහන්’ නාට්‍යය තහනම් කරපු එකට විරුද්ධව ලිපියක් ලියල කියල තිබුණනෙ එයා නම් මේ වගේ නාට්‍යවල රඟපාන්නෙ නැත, එයා රඟපාන්නෙ වාමාංශික අධ්‍යක්ෂවරුන්ගෙ නාට්‍යවල විතරය කියල. එතකොට මේ සුමානේ මෙයා කොහොමද මේ නාට්‍යයෙ රඟපාන්නෙ?” මම නැවතත් ඇසුවෙමි.

“ඇත්තම කියනවනම් ඇම්බැසඩර් නාට්‍යවල රඟපාන්න බෑ කියල තියෙන්නෙ මීට අවුරුඩු විස්සකට විතර කලින් කනත්ත ගාව නාට්‍යයක රඟපාද්දි අසමජ්ජාති කොල්ලො කට්ටියක් ඒ මනුස්සයගෙ කලිසම ගලව ගත්ත හින්ද ඇති වෙච්ච බය නිසයි. අපි මේ නාට්‍යය බලන්න එන්න කිව්වම බෑම කිව්ව. අන්තිමේදී අපි කලිසම ගලවන්න කාටවත් ඉඩ තියන්නෙ නෑ කියල සහතික වුණාම තමයි එන්න කැමැති වුණේ.” මිතුරිය කිව්වාය.

තානාපතිතුමා සමග පසුගිය කාලයේ ආණ්ඩුවෙන් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය ගණනාවක රඟපා දැන් ඉවතට විසි වී සිටින ‘ඇබ්සන්ට් මයින්ඩඩ් ප්‍රොෆෙසර්’ද සිටින බව දුටු මට කරකැවිල්ලක්ද හැදුණේය. කැමරාවක් සහ මයික්‍රෆෝනයක් දුටු විට කලබල වෙන මේ හාදයාත් කතාකරන ගියොත් නාට්‍යය තව දිග් ගැස්සෙනට පුළුවන.

නාට්‍යය අවසන් වන්නට තව ඇත්තේ ටික වේලාවකි. මේ අතරේ එතැන ගහකට මුවාවී මෙන් සිටි පුද්ගලයා දුටු මට හීන් දාඩිය දැම්මේය. ඒ අන් කිසිවෙකු නොව නීතිවේදියකු, බුද්ධිමතෙකු, රූපවාහිනී නළුවෙකු, චින්තන ටැංකිකරුවෙකු මෙන්ම ප්‍රකට නාට්‍යකරුවෙකු ද වන අපේ පරණි මිතුරෙකු වන සිරිලාල්ය. ඔහුගේ අසලම සිටියේ ‘ගමේ කැෆේ’ හෙවත් ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින කයිවාරුකාරයෙකි. මීට අවුරුද්දකට හමාරකට පෙර වඳුරන්ගෙන් බණ ඇසීම සහ ජේතවනාරාමයට ගල් ගැසීම යන ජනප්‍රවාදය පාදක කොට ගෙන “කරු ආවොත් පායයි හිරු” යන ආන්දෝලනාත්මක නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සිරිලාල් බව කලින් ප්‍රචාරය වී තිබුණත්, අන්තිමේදී නාට්‍යය ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන වඳුරන්ගෙන් බණ ඇසූ පාත්‍ර වර්ගයා විසින් සැබැවින්ම ජේතවනාරාමයට ගල් ගසා අලාභ හානි කොට මහා විනාශයකින් අවසන් වූ පසු ඔහු ප්‍රකාශ කළේ එය කාගේවත් අධ්‍යක්ෂණයක් නොවන බවත්, එය නළු නිළියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කාගේවත් පාලනයෙන් තොරව කළ රඟපෑමක් බවයි. ඒ සිද්ධියේ සහ මේ සිද්ධියේ සමානත්වය සහ රඟපෑමට අහම්බෙන් වගේ සම්බන්ධ වූ නළු නිළියන් සිරිලාල්ට ඇති සම්බන්ධය සිහිපත් කළ මට මේ අධ්‍යක්ෂකයෙකු නැති නාට්‍යය සැඟවී සිට අධ්‍යක්ෂණය කරන ලද්දේ අප හිතවත් නීතිවේදී කලාකරුවාදැයි සාධාරණ සැකයක් ඇති විය.

මගේ මිතුරිය නම් එම තර්කය පිළිගැනීමට සූදානම් නැත.

“යන්න අනේ යන්න. ඔයා නම් හරිම නරකයි” ඇය කීවාය.

ඇගේ විශ්වාසය නම් සිරිලාල්ද මේ නාට්‍යය බැලීමට පැමිණි ජනකාය අතරින් තවත් එක් අයෙකු පමණක් බවයි. ඒ සඳහා ඇය ඉදිරිපත් කරන තර්කයක් තිබේ. ඒ තර්කය බිඳීමටද මට නොහැකිය.

“මේ නාට්‍යයට සැඟවුණු අධ්‍යක්ෂ කෙනෙක් හිටිය නම්, ඊළඟට ඒ අධ්‍යක්ෂක සිරිලාල් නම් කවදාවත් කුසල් අයිය මේක හොඳයි කියල කියන්නෙ නැහැනේ. ඔයා කියන්නෙ කුසල් අයියත් මෙතනදි රැවටුණා කියලද?” ඇය අසයි. ඒ වුණත් මගේ නම් හිත කියන්නේම මේ අධ්‍යක්ශවරයෙකු නැති නාට්‍යයත් සිරිලාල්ගේම වැඩක් බවය.

[ප්‍රබන්ධ කතාවකි, නම් ගම් සියල්ල මනක්කල්පිතයි.]

3mana -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts