Open top menu
Saturday, May 11, 2013


කිෂාලී පින්තු ජයවර්ධන -
සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් නොවේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති උඩගු නායකත්වය, අවසානයේ දී භයානක මාරක ඇවිළීමක් බවට පරිවර්තනය වන්නේය.

මෙය, ආණ්ඩුවක නායකත්වය තුළ, විපක්ෂය තුළ, අධිකරණය තුළ මෙන්ම පහළ මට්ටමේ ගම්සභා නායකත්වයක සේම, යම් ආයතන ප‍්‍රධානියෙකු තුළ ද ඇති විය හැකි තත්වයකි. කලක් යහතින් තිබූ සහ සාර්ථකත්වයකින් කටයුතු කළ ආයතනයක් මේ තත්වය තුළ පුපුරා යාමට පුළුවන. නැත්නම්, වැඩි හාහෝවක් නැතිව දියවී යන්නට පුළුවන.

මැයි දිනයක විකට රූපයක්

සමාජයේ දිළිඳුම ජන කොටස් වෙත එල්ල කෙරුණු විනාශකාරී රොකට් විදුලි බිලක නින්දාව මධ්‍යයේ පැවැත්වුණු මෙවර මැයි දින උත්සවයේ දෙනෝදාහක් මැද්දේ වාමාංශික පක්ෂ නායකයන් නිදිකිරනු අතටම හසුවීම, තනිකරම හාස්‍යාකාර දසුනකි. එය, අද වන විට ඔවුන් සහ ඔවුන්ගේ පක්ෂ, විකාරරූපී පුරාවස්තු ඝනයට වැටී ඇති තරම මනාව නිරූපණය කරයි.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැුස්වීම්, කලකට පෙර මේ රට ආලෝළනය කළ ප්‍රෞඪ පෙළපාලිවල වර්තමාන විකටරූවලට වැඩි දෙයක් නොවේ. එක සමාන බලාධිකාරී සහ අකර්මණ්‍ය නායකත්වයන් සහිත මේ පක්ෂ දෙක අද වන විට සොක්කන්ගේ ගානට වැටී ඇත. මැයි දිනය හුදු විකට රූපයක් බවට පත්ව ඇති මෙවන් දවසක ජනතාවගේ අන්ත අසරණ භාවයට විරාමයක් ආණ්ඩුවෙන්වත්, විරුද්ධ පක්ෂයෙන්වත් අපේක්ෂා කළ නොහේ. ඒ දෙපාර්ශ්වයම, ජනතාව ගැන නොතකන, තමන්ගේ උවමනා එපාකම්වලට මුල් තැන දෙන ගානට වැටී තිබේ.

ආණ්ඩුවක අසාර්ථකත්වය තුළින් ජනිත කෙරෙන ජනතා අසහනයක්, කාලීන මැතිවරණ ක‍්‍රියාදාමයන් තුළින් දේශපාලන නායකත්වයේ වෙනස්කම්වලට තුඩුදුන් සොඳුරු අතීතයක්, ආපසු හැරී බලන විට අපට පෙනේ. එම හැඟීම, අද වන විට, හුදෙක් ඈත අතීතයක නෂ්ඨාවශේෂයක් පමණක් බවට පත්ව ඇත.
උග‍්‍ර ස්වාර්ථය හරහා ස්වයං-විනාශය

උඩඟුකම සහ අනාරක්ෂාව විසින් ජනිත කෙරෙන මේ ද්විත්ව බලවේගවල වින්දිතයන් වී ඇත්තේ දේශපාලන පක්ෂ පමණක් නොවේ. තවත් විවිධ තලවල, පද්ධතිමය සහ ආයතනිකමය වශයෙන්, මේ තත්වය නිරන්තරයෙන් දක්නට ලැබේ. හිටපු හමුදාපති හෝ අගවිනිසුරුවරිය පස්සේ වෛරයෙන් පැන්නූ ආණ්ඩුව වෙත එක ඇඟිල්ලක් අප දිගු කරන්නේ නම්, ඇඟිලි දෙකක් අප වෙතටම දිගු කරගත යුතුව තිබේ. වර්තමාන ආණ්ඩුකරණය තුළ පැහැදිළිව පෙනෙන්ට ඇති ඒකාධිපති පාලන මාදිලිය අපේ සමාජය සහ අපේ විධික‍්‍රම තුළ මෙන්ම, අප තුළ ද වන දෝෂයක නිරූපණයකි.

මේ මූලකාරණය ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට වඩාත් අදාළයි. එය දිය වී ගොස් නැත, ඒ වෙනුවට, පුදුමාකාර ප‍්‍රචණ්ඩත්වයකින් පුපුරා ගොස් ඇත. අතලොස්සකගේ තණ්හාවත්, බහුතරයකගේ අකර්මණ්‍යතාවත් විසින් මේ රටේ දේශපාලන පක්ෂ ක‍්‍රියාවලිය ස්වයං=විනාශයකට ලක්කොට ඇති ආකාරයටම, අපේ අධිකරණ පද්ධතිය ද, වින්නැහියට ලක්ව තිබේ. 1999=2009 කාලය තුළ මේ රටේ අධිකරණ පද්ධතියේ අතුනුබහන් ඇස් පනාපිට එළියට අදිනු දුටු නීතිඥ ප‍්‍රජාව, (සේවයේ නියුතු සහ විශ‍්‍රාමික* විනිසුරු ප‍්‍රජාව මෙන්ම, එදා නීති ක්ෂේත‍්‍රයේ බුද්ධිමතුන් ද, මාධ්‍ය ක්ෂේත‍්‍රය ඇතුළු පොදුවේ මහජනතාව ද ඊට එරෙහිව නිභයව නැගී සිටියේ නම්, සීමාන්තික පරිහානිය පාලනය කරගත හැකිව තිබුණු බව මේ කොලමේ බොහෝ විට පෙන්වා දී තිබේ. එහෙත් ඒ මුළු කාලය පුරාම අපට දකින්ට ලැබුණේ, කන් බිහිරි කරවන තරමේ නිශ්ශබ්දතාවකි. ස්වාධීනත්වය සහ සුපිළිපන් බව අහිමි කරගත්, අද දක්නට ඇති අංගවිකල අධිකරණ පද්ධතිය, එහි ප‍්‍රතිඵලයයි.

ඉන් පසු උදා වූ වසර ගණනාව, දෙගිඩියාවේ පොරොත්තු සමයකි. කැපී පෙනෙන අවිශිෂ්ඨතාවක් අධිකරණ ක්ෂේත‍්‍රයේ රජයද්දී, අපේ ආදිතම වාම නායකයන් මැයි දිනයේ නිදාවැටුණු පරිද්දෙන් සිවිල් සමාජය මර නින්දේ පසු වෙද්දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලදි. අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට ගෙන්වා අපහාසයට සහ පරිභවයට ලක්කොට තනතුරෙන් පලවා හැරෙන අවසාන මාරාන්තික ප‍්‍රහාරය ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කිරීමට, ඉන් පසු වැඩි කලක් ගත වුණේ නැත.
අසමාන හැන්දෙන් බෙදීම

ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හැබෑවටම මිහිදන් කළ බව අවබෝධ කර ගැනීමට ඒ විකාරරූපී දෝෂාභියෝගයවත් ප‍්‍රමාණවත් නොවුණි නම්, රාජපක්ෂ පාලනයේ හුරතල් දේශපාලඥයකු වන දුමින්ද සිල්වාට ගිය සතියේ ඇප දීම, ඒ අගනා පාඩම දැන්වත් උගෙනීමට අපට බල කරයි. තමාගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු සහ තවත් තිදෙනෙකු ඝාතනය කිරීමේ සැකකරුවෙකු වූ දුමින්ද සිල්වා, බරපතල තුවාල ලැබ ඇතැ යි යන හේතුව මත, (නීතිපතිගේ කිසි විරෝධතාවකින් තොරව* ඇප පිට නිදහස් කරන ලදි. එහෙත් නිදහස ලැබූ ගමන්ම, ඔහු ප‍්‍රසිද්ධියේ උඩ පනිනු අපි දුටුවෙමු. ඉන් පසු ජනාධිපති මන්දිරයට ඔහුව හරසරින් පිළිගැනුණි. එය පවා අපට නොසෑහෙන නිසා දෝ, උසස් පොලිස් නිලධාරියෙකු ඔහුට උත්තමාචාරය පුද කරන ඔක්කාරය දනවන දසුනකින් ද අපට සංග‍්‍රහ කෙරුණි.

දින කිහිපයක් ගත විය. මුස්ලිම් විරෝධී බොදුබල සේනාවේ කුපිතකාරී වාගාලාපයන්ට එරෙහිව ත‍්‍රස්ත විරෝධී නීතිරීති ක‍්‍රියාත්මක නොකළ ආණ්ඩුව, බොදුබල සේනාවේ මුස්ලිම් විරෝධී ද්වේෂ සහගත ප‍්‍රචාරණයන් විවේචනය කළ මුස්ලිම් දේශපාලඥයෙකු අත්අඩංගුවට ගැනීමට එම නීතිරීති පාවිච්චි කෙළේය. ඉතිං, එතැන ඇති සමානාත්මතාව කුමක් ද?
නීතිය බලපවත්වන්නේ ඇයි?

එය මූලික ප‍්‍රශ්න ගණනාවක් මතු කරයි. ව්‍යවස්ථාව, අනපණත් සහ අධිකරණ තවමත් බලපවත්වන්නේ කුමට? විධායක ජනාධිපතිවරයාම උත්තරීතර සහ සර්වබලධාරී විනිශ්චයේ ලෝගුවෙන් සැරසී තමාම නඩු අසා තීන්දු නොදෙන්නේ ඇයි? එයම නොවේ ද අද සිදුවන්නේ? ඒ නිසා, බොරු වෙස්මුහුණ ගලවා මේ ප‍්‍රහසනය ඉවරයක් කළ යුතු නැත් ද? එය, පැහැදිළිවම, මීට වඩා අවංක හැසිරීමක් වනු ඇත.

මේ වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කලින් එවැනි අවංක භාවයක් ප‍්‍රදර්ශනය කිරීම අත්‍යන්තයෙන් යෝග්‍යයි. එවැන්නක් පවා, පොදුරාජ්‍ය මණ්ඩලයේ හුරතල් තරවටුවකට වැඩි යමකට හේතුවක් නොවෙනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම සහ පුරුෂාර්ථ රැුකීමට උජාරුවෙන් සපථ කරන අතරේ, ඒවා අමුඅමුවේ උල්ලංඝණය කරන්නන් ගැන අහක බලාගෙන සිටින ඒ සම්භාව්‍ය කණ්ඩායම, නීතියේ සමානත්වයේ උදාරත්වය ගැන තවත් ‘කතා පෙට්ටියකට’ සතුටින් සම්මාදම් වෙනු සහතිකයි.
කිෂාලී පින්තු ජයවර්ධන -
වෙනස පැහැදිළි ය. පොදුරාජ්‍ය මණ්ඩලය විරෝධය පාන්නේ ෆීජි වැනි විවෘත ඒකාධිපතිත්වයන්ටයි. ශ‍්‍රී ලංකාව වැනි සටකපට ඒකාධිපතිත්වයන්, තමන්ගේ වාසිය පෙරදැරිව ඉවසා වැදෑරීමට, එය සතුටු ය. එම පොදුරාජ්‍ය මණ්ඩලයේ යෝධ බකතපසෙන් ශ‍්‍රී ලාංකීය ජනතාවට අපේක්ෂා කළ හැකි සහනයක් නැත. අපට කළ හැක්කේ මේ විකාරවලින් විඳවීම පමණි.

 Suffering The Follies Of Petty Tyranny ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts