Open top menu
Friday, May 17, 2013

සන්ඬේ ලීඩර් පුවත්පත හිතවත් ව්‍යාපාරිකයකු යොදවා මිලදී ගන්නා ලද ආකාරයටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිලින්ද මොරගොඩ යොදවා රාවය පුවත්පතද මිලදී ගැනීමට සැලසුම් කර ඇතැ’යි කියන කතාව පසුගිය සතිඅන්තයේ ලංකාවට සම්බන්ධ බොහෝ වෙබ් අඩවි වාර්තා කොට තිබුණේ ආණ්ඩුවටත් වඩා රාවය හා මා කෙරෙහි ද්වේෂයක් හා නින්දාසහගත හැඟීමක් ඇතිකෙරෙන ආකාරයටය. එක් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ මේ ගනුදෙනුවෙන් රාවයට ලැබෙන්නට යන මිල රුපියල් ලක්ෂ 200ක් වුවද ජනාධිපතිවරයා විසින් මට අත යට දී තිබෙන මුදල රුපියල් ලක්ෂ 500ක් බවය. තවත් ප‍්‍රකාශනයක් ඒ ගැන ලියන විවරණයකදී කියා තිබුණේ ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් කතාකිරීම සඳහා මා රාවය කාර්යාලයේ කාටවත් ඇතුළුවිය නොහැකි අබිරහස් කාමරයක්ද පවත්වාගෙන යන බවය. මෙම වෙබ් අඩවිකාරයන් ගැන මා මීට පෙර කතා කර ඇති බැවින් ඔවුන්ගේ සංස්කෘතිය, සදාචාරය හා ඉතිහාසය ගැන කතා කරන්නට යෑම තේරුමක් නැත. වෙබ් අඩවිකාරයන් මවා පා තිබෙන චිත‍්‍රය නිසාත්, රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය අනුවත් එම පුවත රාවයේ හිතවතුන් හා සමහර පාඨකයන් තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවී නම් මම ඒ ගැන පුදුම නොවෙමි. එහෙත් ඔවුන් දේවල් දෙස බැලිය යුත්තේ ආවේගයෙන් නොව මා හා රාවය මෙතෙක් පෙන්නුම් කර තිබෙන විශේෂ ස්වභාවයද සැලකිල්ලට ගනිමිනි. රාවය මුහුණ දී තිබෙන ප‍්‍රශ්න හා ඒවා නිරාකරණය කරගැනීම සඳහා මා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රවේශය අහිංසක සේ ම අවංකය. සැඟවුණු අභිලාෂයන්ගෙන්
තොරය. එය සාකච්ඡුාවකට ලක්වනවා දකින්නට මා කැමතිය.

රාවයේ ස්වභාවය

රාවය සිය 27 අවුරුදු ඉතිහාසය තුළ සිය පුවත්පත අයථා ලෙස ධනය උපයාගන්නා මාර්ගයක් බවට පත් කරගෙන නැත. එසේ ක‍්‍රියාකර ඇත්තේද අයථා ලෙස ධනය උපයා ගැනීමට අවස්ථා නොතිබියදී නොව ඕනෑතරම් අවස්ථා තිබියදීය. රාවය විවිධ ආණ්ඩු සමග සේ ම විවිධ රාජ්‍ය නායකයන් හා විවිධාකාර දේශපාලන නායකයන් සමගද ගනුදෙනු කර ඇතත්, ඒ සම්බන්ධකම් කවර අවස්ථාවකදීවත් අයථා ලෙස ධනය උපයා ගැනීමට අවස්ථාවක් කරගෙන නැත. එය හැමවිටම ක‍්‍රියාකර ඇත්තේ පොදු මහජන සුබසිද්ධිය සලකාය. රාවයේ ආකල්ප හා දෘෂ්ටිය ගැන විවිධ විවේචන හා මතභේද තිබිය හැකි වුවත් ඉහත දක්වන ලද නිශ්චිත කාරණයේදී චෝදනා කළහැකි අවස්ථා නැත. එම නිශ්චිත කාරණයේදී රාවයේ ප‍්‍රතිපත්තිගරුකභාවය අභියෝගයට ලක් කළ නොහැකිය.

වෙනත් ඕනෑම විෂයයකදී මෙන් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය විෂයේදීද, අලෙවි වීමේ හා මිලදී ගැනීමේදී විවිධ ප‍්‍රභේද ක‍්‍රියාත්මක වේ. කිසියම් පුද්ගලයෙකුට කවර තරම් ලොකු මිලක් තිබුණද ඔහු අලෙවි නොවන කෙනෙකු බව පැහැදිලිව පෙනෙන්නට තිබේ නම් ඔහු මිලදීගන්නට උත්සාහ කිරීමෙන් මිලදීගන්නන් වැළකී සිටිය හැකිය. අලෙවි වීමට විශාල කැමැත්තක් ඇතත්, මිලදීගන්නාට ඒ මිලදීගැනීමෙන් ලබාගත හැකි කිසිදු ප‍්‍රතිලාභයක් නැති අවස්ථාවකදී එවැනි කෙනෙකු මිලදීගැනීමෙන් වැළකී සිටින අවස්ථාද තිබිය හැකිය. එවැනි අයද තමන්ගේ ප‍්‍රතිපත්තිගරුකභාවය ගැන පම්පෝරි ගැසිය හැකිය. අලෙවි වීමට කැමැත්තෙන් සිටියද අපේක්ෂා කරන මිල නොලැබීම නිසා නොවිකිණෙන තත්ත්වයක සිටින අය අතරද තමන්ගේ පාරිශුද්ධභාවය ගැන කතා කරන අය සිටිය හැකිය. සිය කැමැත්තෙන් අලෙවි වී ජීවිත බිය නිසා එසේ කරන්නට සිදුවූවායැ’යි කියන අයද සිටිති. තමන් අලෙවි වීම සත්‍යයක් ලෙස පිළිගනිමින් මුදල් උපයා ගැනීමට තිබෙන කැමැත්ත නිසා එසේ කළ බව කියන අයද කලාතුරකින් හෝ සිටිය හැකිය.

මා හා රාවය විසින් කර තිබෙන හෝ කරන්නට යන ගනුදෙනුවක, හොඳ නරක විනිශ්චය කිරීමේදී ඉහත දක්වන ලද ප‍්‍රභේද අතුරින් අප අයත්වන්නේ කුමන ප‍්‍රභේදයකටද යන්නත් සැලකිල්ලට ගැනීම වැදගත්ය. එවැනි අවස්ථාවලදී අප ක‍්‍රියාකරන විශේෂ ස්වභාවය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් නිදර්ශන තුනක් මෙසේය.

නිදර්ශන තුනක්

චන්ද්‍රිකාගේ පාලනය රාවය උරගා බැලීමකට ලක්වූ වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇය හා ඇගේ ආණ්ඩුව බලයට පත්කිරීමෙහිලා රාවය වැදගත් හා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. බලයට පත්වූ වහාම වාගේ ඇය මා ගෙන්වා රාවය වසාදමා ලේක්හවුසියේ සභාපතිකම භාරගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියාය. රාවයේ වැඩ කරන්නේ පුංචි පිරිසක් වන නිසා ඒ සියලූදෙනාටද රැුකියා ලබාදිය හැකි බවද කියාසිටියාය. එහෙත් මා රාවය වසාදමා එහි සේවකයන් ආණ්ඩුවට භාරදී ලේක්හවුසියේ සභාපතිකම ගත්තේ නැත. එය නොගෙන වෙනත් ආකාරයකින් අයුතු ලාභ ලබාගන්නා තැනකට ගියේද නැත.

ඒ සඳහා දැක්විය හැකි තවත් නිදර්ශනයක් මෙසේය.

ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔවුන්ගේ දෝෂාභියෝග වැඩපිළිවෙළට ආධාර කරන ප‍්‍රතිපත්තියක් රාවය පවත්වාගෙන ගියේය. එම වැඩපිළිවෙළ මහජනයාගේ බලවත් උනන්දුවට හේතුවී ඉදිරියට යමින් තිබූ අවස්ථාවකදී ගාමිණී දිසානායක, සරත් අමුණුගම, ජෝසෆ් ෆොන්සේකා යන තිදෙනා හේමසිරි ප‍්‍රනාන්දුගේ නිවසට මා කැඳවා රාවය ගැන මා වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. හේමසිරි, ජෝසෆ් ෆොන්සේකාගේ බෑණා වූ අතර මාගේ ද හොඳ මිත‍්‍රයෙක් විය.

රාවය සතියකට වරක් පළකරනවා වෙනුවට සතියකට දෙවරක් පළකෙරෙන පුවත්පතක් බවට පත් කරන ලෙසත් ඒ සඳහා යන කඩදාසි ලබාදීමට තමන් සූදානම් බවත් දැනටමත් ඒ යෝජනාව ‘යුක්තිය’ හා ‘ඇත්ත’ යන පුවත්පත් පිළිගෙන ඇති බවත් ඔවුහු කියා සිටියහ. මම ඔවුන්ට සවන්දී ඔවුන්ගේ යෝජනාව භාරගැනීම ප‍්‍රතික්ෂේප කළෙමි. රාවය කොහොමටත් දෝෂාභියෝගයට ආධාර කරන ප‍්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත්, එසේ වුවත් රාවය සැලසුම් කර තිබෙන්නේ සතියකට එක වරක් පළකිරීම සඳහා වන නිසා නොමිලේ කඩදාසි ලැබුණු පමණකින් ඒ පිළිවෙත වෙනස් කිරීමට නොහැකි බවත් මම කියා සිටියෙමි. ඒ අනුව ‘යුක්තිය’ හා ‘ඇත්ත’ යන පුවත්පත් ඒ කාලයේදී සතියකට දෙවරක් පළකැරෙන පුවත්පත් බවට පත්වුවද රාවය පළකරන ලද්දේ සුපුරුදු පරිදි සතියකට එක් වරක් පමණය.

රාවයේ නියම ස්වභාවය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් තවත් නිදර්ශනයක් මෙසේය. පොදු පෙරමුණු ආණ්ඩුව කරළියට එන්නට පෙර සර්වෝදය මුද්‍රණාලයෙන් ඉවත් වී මුදල් ගෙවා පුවත්පත මුද්‍රණය කරවා ගන්නා තත්ත්වයකට පත්වීමෙන් පසු රාවය ද්‍රවශීල අර්බුදයකට මුහුණ දුන්නේය. බැංකුවකින් ණය පහසුකම් ලබාගැනීමට අවශ්‍ය තරම් පිරිවැටුමක් රාවයට තිබුණද රාවය ගනුදෙනු කළ බැංකුව ආණ්ඩුවට තිබෙන බිය නිසා ණය පහසුකම් ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ වන විට අනුරුද්ධ රත්වත්ත හා මා අතර සමීප හිතවත්කමක් තිබුණු අතර ඔහු නමින් ඇති ස්ථිර තැන්පතුවක රුපියල් මිලියනයක් තිබෙන බව ඔහුගෙන්ම දැනගන්නට ලැබී එහි ඒ මුදල මගේ අවුල විසඳා ගැනීම සඳහා මට ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ මුදල කිසියම් කාලසීමාවක් තුළ බැංකු පොලිය සමග ආපසු ගෙවන බවද මම කීවෙමි. මාගේ එම ඉල්ලීම ඔහුගේ විස්මයට හේතුවූ අතර ඒ අවදානම භාරගැනීමට තමා සූදානම් නැති බව කියා එහෙත් එම අවශ්‍යතාව සපුරාගැනීම සඳහා වෙනත් මාර්ගයක් සකස් කරදීමට උත්සාහ කරන බවට ඔහු පොරොන්දු විය.

අනුරුද්ධ රත්වත්ත ඔහු පොරොන්දු වූ ආකාරයටම මගේ ප‍්‍රශ්නය හැරී ජයවර්ධන සමග කතා කළේය. ඔවුහු සමීප මිත‍්‍රයෝ වූහ. සිදුකැරුණු කතාව මටද දැනගන්නට සැලැස්සුවේය. හැටන් නැෂනල් බැංකුව ඒ වනවිට අප ගනුදෙනු කරමින් සිටි බැංකුව විය. එම බැංකුවේ නිර්මාතෘවරයා ක‍්‍රිශාන්ත කුරේ වුවත් ඒ වනවිට හැරී බැංකුවේ වැඩි කොටස් ප‍්‍රමාණයක් හිමි පුද්ගලයා බවට පත්ව සිටියේය. හැරී හා ක‍්‍රිශාන්ත අතර තිබුණු මිත‍්‍රත්වය නිසා හැරී ක‍්‍රිශාන්තට සභාපතිකමේ ඉන්නට ඉඩදී තිබුණේය. අනුරුද්ධ රත්වත්ත හැරී සමග කරන කතාබහ නිසා මට හැටන් නැෂනල් බැංකුවෙන් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව උදාවනු ඇතැ’යි විශ්වාසය පළකරමින් අනුරුද්ධ හැරී සමග කරන සාකච්ඡුාවලට මමද මගේ අනුමැතිය ලබා දුන්නෙමි.

මේ ගැන පළමු සාකච්ඡුාව සිදුකැරුණේ ක‍්‍රිශාන්ත කුරේගේ නිවසේය. ඔහු අපට කදිම රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිළියෙළ කර තිබුණේය. ක‍්‍රිශාන්තගේ බිරිඳ වූයේ අපේ‍්‍රල් මහා නඩුවේ විනිශ්චය මණ්ඩලයේ (අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව) සාමාජිකයකු ලෙස ක‍්‍රියා කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඒ.සී. අලස් මහතාගේ දියණියකි. ඒ.සී. අලස් උනන්දුවට හේතුවන පොත් කිහිපයක් ලියා තිබෙන ග‍්‍රන්ථ කතුවරයෙකි. මා ඔහුගේ බෑණාගේ නිවසට එන බව අසන්නට ලැබී විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි මෙම විනිසුරුවරයාද එම රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගි විය.

හැරී ජයවර්ධන රාවයේ මූල්‍ය වාර්තා පරීක්ෂා කරබැලීමෙන් පසු රාවය මුහුණ දී තිබෙන ප‍්‍රශ්නය ලොකු ප‍්‍රශ්නයක් නොවන බවත්, එය පහසුවෙන් විසඳාගත හැකි ද්‍රවශීල ප‍්‍රශ්නයක් පමණක් බවත් ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදීමට කැමති බවත් කියා සිටියේය. එහෙත් ඔහු එම මුදල් ලබාදීමට අපේක්ෂා කළේ සිය සාක්කුවෙනි. බැංකුවේ ණය පහසුකමක් වශයෙන් ලබාදීමට කැමති නොවීය. බැංකුවෙන් ණය පහසුකමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ඔහු ඒ යෝජනාව එකහඬින් ප‍්‍රතික්ෂේප කළේය. මටද කළ හැකිවූයේ ඔහුගේ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම පමණය. ඒ ගැන වන අවසාන සාකච්ඡුාව සිදුවූයේ ක‍්‍රිෂාන්ත කුරේගේ නිවසේ නොව වෙනත් දිනකදී වෙනත් තැනකය. මගේ තීරණය අනුරුද්ධගේ පුදුමයට හේතුවිය. හැරීට බැංකුව හරහා ඒ උදව්ව ලබාදීමට පුළුවන්කම තිබියදී එසේ නොකොට ඔහුගේ සාක්කුවෙන් මුදල් ලබාදෙන ප‍්‍රතිපත්තියකට මට එකඟවිය නොහැකි බව මම අනුරුද්ධට කීවෙමි. ඒ ගනුදෙනුව එතැනින් අවසන් විය.

රාවයේ ප‍්‍රශ්න හා මගේ සිහිනය

රාවයට වර්තමානයේ මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප‍්‍රශ්න හා ඒවා විසඳා ගැනීමට මා කල්පනා කළ ආකාරය මෙසේ විස්තර කළ හැකිය. මා දැන් ඉන්නේ රාවයට තිබෙන මගේ වගකීම් ක‍්‍රමක‍්‍රමයෙන් අත්හරිමින් මුළුමනින් විශ‍්‍රාම යෑමට සැලසුම් කරමින් සිටින අවස්ථාවකය. ආත්මාර්ථකාමී විය හැකි වුවත් රාවය මා දකින්නේ මාගේම සුවිශේෂ නිර්මාණයක් ලෙසය. එය රෝසමල් යහනාවක් මත බිහිකළ නිර්මාණයක් නොව ඇප කැපවීම් මැද්දේ හා දුෂ්කර, කටුක, හිංසාකාරී වටාපිටාවක් තුළ ගොඩනගන ලද ලස්සන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. එය මට මගේම දරුවකු වැනියැ’යිද විශ‍්‍රාම යෑමට පෙර රාවය දැන් සිටින තත්ත්වයට වඩා පැහැදිලි අරමුණක් මත පිහිටා වඩා විධිමත් හා වඩා ශක්තිමත් ක‍්‍රියාකාරිත්වයකින් යුතු ආයතනයක් බවට පත්වනවා දකින්නට මා කැමතිය. එය එසේ වේ නම් මගේ තෘප්තියට පමණක් නොව රටේ පොදු යහපතටද හේතුවනු ඇත්තේය.

පුවත්පතේ අන්තර්ගතය සේ ම බාහිර ආකෘතියද වඩා ශක්තිමත් තත්ත්වයකට පත්වනවා දකින්නටද මා කැමතිය. එහි අලෙවියද දැන් තිබෙන තත්ත්වයෙන් වඩා දෙතුන් ගුණයකින් ඉහළ යනවා දකින්නට මා කැමතිය. කාර්ය මණ්ඩලයද සමගියෙන් පැහැදිලි අරමුණක් වෙනුවෙන් ඇපකැපවෙමින් ප‍්‍රබෝධමත් ලෙස ක‍්‍රියාකරනවා දකින්නට මා කැමතිය. ඔවුන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳව සැකයෙන් තොර විශ්වාසයෙන් හා තෘප්තියෙන් ක‍්‍රියාකරනවා දකින්නට කැමතිය. පුවත්පතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්ම පමණක් නොව ආයතන ක‍්‍රමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්මද ශක්තිමත් වනවා දකින්නට මා කැමතිය. මා මියගිය පසුවද අවුල්වලින් තොරව සිය ගුණධර්ම ආරක්ෂා කරගනිමින් පොදු සුබසිද්ධිය වෙනුවෙන් ඇපකැපවී ක‍්‍රියාකරන මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ පුවත්පතක් හා පුවත්පත් ආයතනයක් ලෙස පවතිනවා දකින්නට මා කැමතිය.

ඒ සඳහා ඇති කළ යුතුව තිබෙන මා දකින වෙනස්කම් මේවාය.

1.රාවයේ කර්තෘ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ඉගෙනගනිමින්ද, ආත්ම විශ්වාසයකින් හා ප‍්‍රබෝධයකින් යුතුව ක‍්‍රියාකරන තත්ත්වයකට ගෙනා යුතුය. ඒ සඳහා සුදුසු ආයතනික වටාපිටාවක් ඇතිකර දිය යුතුය. ඔවුන් වැඩ කළ යුත්තේ පොදු යහපත සඳහා වුවත් ඔවුන්ගේ ජීවිතවලටද විශ්වාසදායක අනාගතයක් ඇති බව සහතික කළ යුතුය.

2. ඔවුන් ආයතනයේ නියම කොටස් හිමියන් බවට පත් කළ යුතුය. විශ‍්‍රාම යන අවස්ථාවකදී එම කොටස් හිමිකමේ වටිනාකම මුදලින් ලබාගත හැකි ක‍්‍රමයක් ඇති කළ යුතුය. ආයතනය බොහෝදුරට ඔවුන් විසින්ම පාලනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වයං පාලන ආයතනයක් බවට පත් කළ යුතුය.

3.සමහර යන්ත‍්‍ර සූත‍්‍ර අලූත්වැඩියා කළයුතු අතර තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි තරමට අබලන් වී තිබෙන යන්ත‍්‍රසූත‍්‍ර වෙනුවට අලූතෙන් මිලදී ගත යුතුය.

4. පුවත්පතේ අන්තර්ගතය හා ආකෘතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. දේශපාලන අන්තර්ගතය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් තියුණු හා විස්තීර්ණ කළ යුතුය. දේශපාලනයට හා කලාවට සීමා නොවී මහජනයාට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වන ගැටලූ විසඳා ගැනීමට අවශ්‍ය හරි මගපෙන්වීම් ලබාදෙන, පුවත්පතක් බවට පත් කළ යුතුය. කොටින්ම රාවය මිලදීගන්නන්ට සීමා නොවී ඔවුන්ගේ ගෙදර බිරිඳ හා දරුවන්ගේද උනන්දුවට හේතුවන පුවත්පතක් බවට පත් කළ යුතුය.

5. පුවත්පත මුද්‍රිත මාධ්‍යයට සීමා නොකොට උපරිම මට්ටමකින් අන්තර්ජාලයටද අවතීර්ණ විය යුතුය. 6. බෙදාහැරීමේ හා අලෙවි කිරීමේ ක‍්‍රම නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස වෙනස් කොට විකල්ප ප‍්‍රචාරණ ක‍්‍රමද යොදා ගනිමින් දැනට තිබෙන අලෙවිය දෙගුණ තෙගුණ කරගත යුතුය.

ආයෝජකයකු අවශ්‍ය වීම

මේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඒ සඳහා අවශ්‍ය වියදම් දැරිය හැකි ආයෝජකයකු සොයාගැනීමට මට අවශ්‍ය වී තිබුණි. දැන් රාවය පවතින්නේ බංකොළොත් තත්ත්වයක නොව එකතැන පල්වෙන තත්ත්වයකය. ඒ තත්ත්වය වෙනස් කිරීමට නම් ලොකු ආයෝජනයක් සොයාගත යුතුය. ඊට සුදුසු ආයෝජකයකු සොයා ගත යුතුය. ආයෝජකයාට පුවත්පත හා පුවත්පත් ආයතනය මුළුමනින් අත්පත් කරගත නොහැකි, පුවත්පතේ අන්තර්ගතය තීන්දු කිරීමේ අයිතිය හා නිදහස කර්තෘ මණ්ඩලයට සහතික කෙරෙන සංවිධාන ක‍්‍රමයක් සහිත නව ආයතන ක‍්‍රමයක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා මාගේ උනන්දුවට හේතුවී තිබෙන ආයතන ක‍්‍රමය වන්නේ ප‍්‍රංශයේ ලමොන්ඞ් හා එංගලන්තයේ ගාඩියන් යන පුවත්පත් සඳහා ඇති කර තිබෙන ආයතන ක‍්‍රමයන්ය.

මිලින්ද මොරගොඩ මා දැනහඳුනාගෙන සිටියේ ඉතා මෑත කාලයකදී නොව ඈත කාලයකදී සිටය. චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්වූ වහාම වාගේ ඇය පොරොන්දු වී තිබුණු ආකාරයට ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක්ද ලැබෙන ආකාරයට රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව නැතිව එය කළ නොහැකි නිසා එක්සත් ජාතික පක්ෂය හා එහි නායක එකඟකරවා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡුා කරන තැනකට යන ලෙස මම ඇගෙන් ඉල්ලා සිටියෙමි. එක්සත් ජාතික පක්ෂය එවැනි වැඩසටහනක් සඳහා එකඟ කරවා ගැනීමට හැකිවනු ඇතැ’යි ඇය විශ්වාස නොකළාය. එහෙත් පුළුවන් නම් රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡුා කරන ලෙස ඇය මට කීවාය.

මා ඒ ගැන එජාප නායකයා හමුවී සාකච්ඡුා කළෙමි. ඒ හමුවේ අතරමැදියා ලෙස ක‍්‍රියා කළේ මිලින්දය. පොදු එකඟතාවක් සඳහා නායකයන් දෙදෙනා අතර අන්‍යොන්‍ය විශ්වාසයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියේය. අන්‍යොන්‍ය විශ්වාසයක් ඇතිකර ගැනීමෙන් පසු ඇති කළ යුතු වෙනස්කම් මොනවාදැ’යි සාකච්ඡුා කොට අවශ්‍ය වෙනස්කම් සලකා පොදු එකඟතාවක් ඇති කරගත හැකි බව ඔහු කීවේය. ඒ සඳහා ඔහු චන්ද්‍රිකාගෙන් සංඥාවක් ඉල්ලා සිටියේය. තමා සමග වැඩ කළ පොලිස් නිලධාරියකු (ලෙව්කේ) පළිගැනීම සඳහා වව්නියාවට මාරු කර යවා තිබෙන බවත්, අන්‍යොන්‍ය විශ්වාසය තරකර ගැනීමට දෙන සංඥාවක් වශයෙන් ඔහු නැවත කොළඹට එවන ලෙස චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටින ලෙසත්, ඒ ඉල්ලීම ඉටු කළහොත් ඇයටද එවැනි සංකේතාත්මක දෙයක් තමන්ගෙන්ද ඉල්ලා සිටිය හැකි බවත් එවිට තමන්ද ඒ ඉල්ලීම ඉටුකරන බවත් එවැනි ක‍්‍රියා කිහිපයකින් පසුව අන්‍යොන්‍ය විශ්වාසයකින් යුතුව ඇති කළයුතු වෙනස්කම් ගැන සාකච්ඡුා කරන තැනට යා හැකි බවත් කියා සිටියේය.

පොලිස් නිලධාරියාගේ මාරුව පිළිබඳ ඉල්ලීම මා විසින් චන්ද්‍රිකාට ඉදිරිපත් කළ විට ඇය ගත් කටටම කීවේ ‘ලෙව්කේ ඇමරිකාවට යවා පුහුණු කරවනු ලැබූ පුද්ගලයෙකු බවත් ඔහු කොළඹට ගෙන්වා ගැනීමට රනිල්ට අවශ්‍ය වී තිබෙන්නේ සමහරවිට තමා මරාදැමීමේ අරමුණින් විය හැකි බවත්’ය. එම පිළිතුර නිසා මා තුළ ඇය පිළිබඳව ඇතිවුණේ හාස්‍යයක් හා කලකිරීමකි.

එතැන් සිට මිලින්ද හා මා අතර මිත‍්‍රත්වයක් ගොඩනැගුණු අතර අපි විටින් විට හමුවී අදහස් හුවමාරු කරගන්නා තත්ත්වයකින් කටයුතු කළෙමු. එහෙත් මා හෝ රාවය හෝ ඔහුගේ දේශපාලන වැඩවලට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කර නැත.

රාවයට පුද්ගලික සමාගම් වෙළෙඳ දැන්වීම් ලබාදීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තිය වෙනස් කරවා ගැනීම සඳහා මම අවුරුදු 10ක තරම් කාලයක සිට විවිධ උත්සාහයන් දරා ඇත්තෙමි. මීට අවුරුදු 10කට පමණ ඉහතදී තෝරාගත් ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන 50ක අයිතිකරුවන් අමතා ඒ ගැන සකස් කළ ලියුමක් ඔවුන් වෙත යැවීමි. මා ඒ මගින් තර්ක කළේ දියුණු රටවල පුද්ගලික අංශය ජනමාධ්‍යවලට දැන්වීම් ලබාදීමේදී ලංකාවට වෙනස්ව ඔවුන්ට තිබෙන අලෙවිය පමණක් නොව ඔවුන් විශේෂ සමාජ කාර්යභාරයක් ඉටු කරන්නේ නම් එයද සැලකිල්ලට ගන්නා බවය. ඒ අනුව යමින් ඔවුන් අනුගමනය කරන වැරදි ප‍්‍රතිපත්තිය වෙනස් කරන ලෙස මම ඒ ලිපියෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. යවන ලද ලියුම් 50ට ලැබුණු පිළිතුරු ගණන දෙකකි. පිළිතුරු දෙන ලද එක් අයකු වූයේ කොමර්ෂල් බැංකුවේ එකල සිටි සභාපති අමරසූරිය මහතාය. ඔහු මාගේ තර්කය පිළිගත්තා පමණක් නොව සිය සමාගම රාවයට දැන්වීම් ලබාදෙන ප‍්‍රතිපත්තියකටද යොමු කළේය.

මීට මාස කිහිපයකට පෙරද වෙළෙඳ දැන්වීම් සඳහා පුද්ගලික අංශය දැනුවත් කරන උපාය මාර්ගික වැඩසටහනක් සකස් කොට තෝරාගත් පුද්ගලයන් හමුවී සාකච්ඡුා කරන පිළිවෙතක් අනුගමනය කරන ලදි. එහිදී මා ඉලක්ක කරගෙන තිබූ ලැයිස්තුවට ඇතුළත් එක් පුද්ගලයෙකු වූයේ මිලින්දය. මා ඒ ගැන ඔහු සමග සාකච්ඡුා කරන ලද අවස්ථාවේදී මා කැමති නම් ආයෝජකයකු ලෙස රාවයට එකතුවීමට ඔහු කැමති බව කියා සිිටියේය. ඉන්පසු අපි විටින් විට හමුවී ඒ ගැන සාකච්ඡුා කළෙමු. මම මාගේ කොන්දේසි ඔහු වෙත වාචිකවත් ලිඛිතවත් ඉදිරිපත් කළෙමි. ඊට අදාළ ලියවිල්ල මෙහි අන් තැනක පළකරන නිසා ඊට ඇතුළත් කරුණු මෙහි විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි.

එහි මා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි අනුව ආයෝජකයාට තමා මිලදී ගන්නා සියයට හතළිහේ පංගුව හැර වෙනත් කොටස් මිලදී ගැනීමේ හැකියාවක් නැත. ආයතනයේ පිළිගත් ප‍්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාවක්ද නැත. ඔහු දේශපාලනයක් කරන්නේ නම් ඒ අරමුණ සඳහා පුවත්පත හෝ ආයතනය හෝ පාවිච්චි කිරීමද තහනම්ය. ආයතනය ලාභයක් උපයන්නේ නම් ඔහු ඉන් පමණක් තෘප්තිමත් විය යුතුය. ඔහු මේ සියලූ කොන්දේසිවලට එකඟ වූවා පමණක් නොව ‘එම පරමාදර්ශී ආයතනයේ කොටස්කරුවකු වීමෙන් පමණක් වුවත් තමාට තෘප්තිමත් විය හැකි බව’ද කියා සිටියේය. වෙබ් අඩවිවල පළවූ ප‍්‍රවෘත්තිවලින් පසුව ඔහු මට දුරකතනයෙන් කතා කොට මෙම වැඩපිළිවෙළ මගේ හොඳ නමට කැළලක් වේ නම් සමස්ත වැඩපිළිවෙළ අත්හැරියද මා සමග උරණ නොවන බවද කියා සිටියේය. මෙම නිශ්චිත ප‍්‍රශ්නයේදී මිලින්ද වැදගත් වූයේ ආයෝජකයකු වශයෙන් මිස දේශපාලනඥයකු වශයෙන් නොවේ. ඔහුගේ මේ ප‍්‍රවේශය තුළ සැඟවුණු දුෂ්ට අරමුණක් ඇතැ’යි මම විශ්වාස නොකරමි. මෙම වැඩපිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හෝ එම ආණ්ඩුව විසින් හෝ රාවය නිහඬ කිරීම හෝ මිලදී ගැනීම සඳහා හෝ දියත් කර තිබෙන දෙයක් ලෙස සැලකීම වැරදිය. බොහෝ ජනමාධ්‍ය ආයතන යටහත් පහත් තත්ත්වයකට පත්ව සිටින්නේ බිය නිසා නොව දීන වීමෙන් ලබාගත හැකි වාසි සලකාය. සන්ඬේ ලීඩර් පුවත්පත මිලදී ගැනීම හා විකිණීම පිළිබඳව මට තිබෙන අර්ථකථනය රටේ ජනප‍්‍රිය අර්ථකථනයට වඩා වෙනස්ය.

මාගේ මෙම වැඩසටහන පිළිබඳව මම මටද රාවයටද ගැඹුරු සම්බන්ධයක් ඇති සමහර මිත‍්‍රයන් සමග කතා කර ඇත්තෙමි. මිලින්දට එතරම් කැමති නැති මිත‍්‍රයකු හුවමාරු වී තිබෙන මාගේ සටහන් බලා පළ කළ අදහසක් මෙසේය.

‘ඔයාගේ ස්වභාවය අනුව කොහොමටත් ලංකාවේ කිසිම ආයෝජකයෙක් ඔයා සමග වැඩ කරන්න කැමති වෙන්නේ නැහැ. ආයතනයේ ප‍්‍රතිපත්තිවලට ඇඟිලි ගසනවාටත් ඔයා විරුද්ධයි. ලොකු ලාභ ලබනවටත් විරුද්ධයි. ආයෝජකයා වෙනත් අයගේ කොටස් මිලදී ගන්නවාටත් විරුද්ධයි. මිලින්දගේ හොඳ නරක කුමක් වුවත් එයා මේ කොන්දේසිවලට එකඟ නම් සමහරවිට ඔයාට ලංකාවෙන් හොයාගත හැකි එකම ආයෝජකයා ඔහු පමණක්ද විය හැකියි.’ ඔහු නිසා ලැබෙන වාසි තිබෙනවා සේ ම අවාසිද තිබෙන්නේය. ලාභ අලාභ තුලනය කළවිට ආයතනයට ලැබෙන වාසි වැඩිවිය හැකි බව ඔහු අවසාන වශයෙන් කියාසිටියේය.

එහෙත් මිලින්ද එකතු කරගැනීම අනුමත නොකරන අයද සිටිති. මා දැනට තෝරාගෙන තිබෙන මාර්ගය වැරදි බව හා ඒ අරමුණ කරා යා හැකි වඩා හොඳ වෙනත් මාර්ග තිබෙන බව තර්කානුකූලව පෙන්වා දියහැකි නම් මෙම සමස්ත වැඩසටහන අත්හැරීමට වුවද මා සූදානම්ය. ඒ ගැන වෙනත් අයට අදහස් ඇතොත් ඒවාද බැ?රුම් ලෙස සලකා බැලීමට මා සූදානම්ය. මේ ගැන වන විශේෂ සාකච්ඡුාවක් පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ ගාමිණී වියන්ගොඩගේ නිවසේදී පවත්වන ලදි. ඊට ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක. අශෝක හඳගම, චූලානන්ද සමරනායක හා රංජිත් දිසානායක යන අය සහභාගි වූහ. එය උණුසුම් හා හැඟීම්බර සාකච්ඡුාවක් විය. ගාමිණී විකල්ප ක‍්‍රියාමාර්ගයක් යෝජනා කළේය. අවශ්‍ය කරන මුළු මුදලම සොයා දිය හැකි බවද කියා සිටියේය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර හා කුසල් පෙරේරා යන තිදෙනා එක්වද විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ. ඒ සියලූදෙනා මේ ප‍්‍රශ්නයට දක්වන ලද උනන්දුවට මගේ කෘතඥතාව හිමිවිය යුතුය.

රාවය කිහිපදෙනකුගේ අයිතිය ඇති පුවත්පතක් වෙනුවට රට හා සමාජය ගැන හැඟීමක් ඇති පුද්ගලයන් විශාල පිරිසකගේ අයිතිය යටතේ ක‍්‍රියාත්මක වන පුවත්පතක් බවට පත් කළ හැකි නම් තෝරාගත යුතුව තිබෙන හොඳම විකල්පය වනු ඇත්තේද එයයි. මේ මොහොතේ රාවය වඩා ශක්තිමත් තැනකට ගැනීම රාවයේ යහපතට පමණක් නොව රටේ පොදු යහපතටද හේතුවනු ඇත්තේය. ශ‍්‍රී ලංකාව හා එහි සමාජය මුහුණ දී තිබෙන සංකීර්ණ අවුල් ජයගත හැකිවනු ඇත්තේ සමාජය දැනුවත් කිරීමෙන් පමණය. ඒ වෙනුවෙන් රාවයට කළ හැකිව තිබෙන කාර්යභාරය අතිවිශාලය. රාවය සිය අපේක්ෂා ජයගත යුතු ආකාරය පිළිබඳව කෙරෙන සංවාදයන් රාවයට සේ ම සමාජයටද වැදගත්ය. එම සංවාදය ඔස්සේ ඉදිරිපත්වී තිබෙන විවිධ විසඳුම් යෝජනා අතර තෝරාගත යුතු හොඳම විකල්පය ගැන තීරණයක් ගැනීමට රාවයට හැකිවනු ඇතැ’යි විශ්වාස කරමි.

කොටස්කරුවන්ගේ ගිවිසුම සඳහා ඇතුළත් වියයුතු කරුණු

1. එළැඹෙන වසර තුනක කාලයක් (2013 ජූනි 31 වැනිදා සිට 2016 ජූනි 31 දක්වා) අත්හදා බැලීමක යෙදෙන කාලයක් ලෙස සලකා ඇතිකර ගන්නා කොටස් හිමිකමේ ප‍්‍රමාණයන්ගේ හෝ සංයුතියේ හෝ අයිතියේ කිසිදු වෙනසක් සිදු නොවිය යුතුය. ඒ කාලය තුළ කොටස් හිමියන්ගේ කොටස් හිමිකම විකිණීම අන්සතු කිරීම හෝ පවරාදීම් තහනම්ය.

2. සමාගම රාවය මෙතෙක් පවත්වාගෙන ආ යහපත් ගුණධර්ම උල්ලංඝනය නොකළ යුතුය. ඒවා පරදුවට තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළ යුතුය.

3. එම ගුණධර්ම අතර පහත සඳහන් දේවල් ප‍්‍රධානය.

(ඊආයතනය නිෂ්පාදනයේ හා වෙළෙඳාමේ යෙදෙන ආයතනයක් වුවද මහජනයාට අධ්‍යාපනය ලබාදෙන හා මහජන මතය කෙරෙහි බලපාන මාධ්‍ය ආයතනයක් වන නිසා සාධාරණ ලාභයක් සඳහා මිස අධික ලාභ පසුපස හඹා නොයා යුතුය. සාධාරණ ලාභයක් පවා උපයාගත යුත්තේද සමාජයේ පොදු යහපතට හා උන්නතියට හේතුවන ක‍්‍රියාකම්වල නිරතවීමෙන් පමණය.

(ඊ)සමාජය දැනුවත් කිරීම, බුද්ධිමත් කිරීම, විචාරවත් කිරීම, වර්ග භේදයෙන්, ආගම් භේදයෙන් හා කුල භේදයෙන් තොර බහුත්වවාදී ආකල්පයන්ගෙන් යුතු එක්සත් ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම හා එම ජාතියේ උන්නතියට ගෞරවයට හා අවශ්‍යතාවන්ට ගැළපෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් දිනාගැනීම සමාගමේ ජනසන්නිවේදන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන අරමුණ විය යුතුය.

(ඊඊසමාගම හෝ සමාගම පළකරන ප‍්‍රකාශන කිසිදු පක්ෂ දේශපාලනයක කොටස්කරුවකු හෝ ආධාරකරුවකු ලෙස ක‍්‍රියා නොකළ යුතුය. දේශපාලන පක්ෂවලට ඉහළින් ස්වාධීනව ඉඳිමින් සාධාරණවද, සත්‍යගරුක හා අපක්ෂපාතී ලෙසද මහජනයා දැනුවත් කරන මාධ්‍ය ආයතනයක් ලෙස ක‍්‍රියා කළ යුතුය.

(ඉව්)රාවයේ හොඳ නමට හා ගෞරවයට හානිවන කිසිදු දෙයක් සිදු නොවිය යුතුය.

4.අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත විය යුතුය. ඉන් දෙදෙනෙක් සියයට 40 කොටස් හිමිකරුවා වෙනුවෙන්ද, තවත් දෙදෙනකු සියයකට 35ක කොටස් හිමිකමක් ඇති සේවකයන් වෙනුවෙන්ද, ඉතිරි කෙනා සියයට 25ක හිමිකමක් ඇති කොටස්කරුවා වෙනුවෙන්ද විය යුතුය. අත්හදා බැලීම සිදු කෙරෙන වසර තුන සඳහා හිටපු සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විය යුතුය.

5. සමාගම පළකරන ප‍්‍රකාශනවල අන්තර්ගතය අධ්‍යක්ෂ මණ්ඩලයේද එකඟතාව ඇතිව ඇතිකර ගන්නා ප‍්‍රතිපත්ති රාමුව තුළ තීරණය කිරීමේ හා පවත්වාගෙන යෑමේ අයිතිය කර්තෘ මණ්ඩලවලට හිමිවිය යුතුය.

6. අධ්‍යක්ෂ මණ්ඩලය වැඩි ඡුන්දයෙන් තීන්දු ගන්නා ප‍්‍රතිපත්තියක් වෙනුවට පොදු එකඟතාවකින් තීන්දු ගන්නා ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකිරීමට උත්සාහ කළ යුතුය. වැඩි ඡන්දයෙන් තීන්දු ගන්නා තැනකට යායුත්තේ කරුණු පහදා දී පොදු එකඟතාවක් ඇති කරගැනීමට දරන උත්සාහයන් තුනකින් එසේ කිරීමට අසමත් වන අවස්ථාවකදී පමණය.

7.සමාගමේ සියලූ කටයුතු හා ගනුදෙනු පාරදෘශ්‍ය තත්ත්වයක තිබිය යුතුය.

කර්තෘ මණ්ඩල සඳහා ප‍්‍රතිපත්ති රාමුවක්

කර්තෘ මණ්ඩලවල ප‍්‍රධාන අරමුණ වියයුත්තේ දැනුවත්, බුද්ධිමත්, විචාරශීලී ශ‍්‍රී ලාංකික සමාජයක් ගොඩනැගීමය. සමාජයේ පවතින වර්ග භේදවාදී, ආගම් භේදවාදී හා කුලවාදී ආකල්ප, මිථ්‍යා විශ්වාසයන්ට ඇති නැඹුරුවද දුර්වල කොට බහුත්වාදී හා නවීන ආකල්පවලින් යුතු ශ‍්‍රී ලාංකික ජාතියක් හා ඒ ජාතියේ අධ්‍යාශයන්ට හා දියුණුවට ගැළපෙන හා සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය සමාජ මානසිකත්වයක් ඇති කිරීම පුවත්පතේද පළවෙන වෙනත් ප‍්‍රකාශනවලද ප‍්‍රධාන අරමුණ විය යුතුය.

විශේෂයෙන්ම රාවය පුවත්පතද වෙනත් භාෂාවලින් තවත් පුවත්පත් පළකරන්නේ නම් ඒවාද

1. රටේ සිදුවන දේවල් පිළිබඳව සත්‍යගරුක සාධාරණ හා සමබර චිත‍්‍රයක් පාඨකයන්ට ලබාදිය යුතුය.

2. උද්ගතවන ප‍්‍රශ්නවලදී ඒ ප‍්‍රශ්නවල හැම වැදගත් පැත්තක්මත් පාඨකයන්ට දැනගන්නට සැලැස්විය යුතුය.

3. මහජනයාගේ දැනුම හා විචාර බුද්ධිය වර්ධනය කිරීමට හේතුවන වාද විවාද ඇති කරමින් ඒ වාද විවාද මෙහෙයවන මණ්ඩපයක් ලෙස ක‍්‍රියා කළ යුතුය.

4. රටේ සිදුවන වංචා, දූෂණ හා වෙනත් වැරදි නිර්භීතව හෙළිදරව් කරන ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුය. එවැනි හෙළිදරව් කිරීම් සමහර අවස්ථාවලදී බරපතළ නෛතික ප‍්‍රශ්න ඇති කිරීමට හේතුවන බව අමතක නොකරමින් ඒවා සනාථ කිරීමට අවශ්‍ය තොරතුරු ළඟ තබාගත යුතුය.

5. කිසිදු වාර්තාකරණයක් හා විචාරයක් කෙනෙකුට අගතියක් ඇති කිරීමේ දුෂ්ට අරමුණින් සිදු නොකළ යුතුය.

6. සිදුකරනු ලබන සියලූ විවේචන හා විචාර සත්‍ය පදනමක් මත පිහිටා ද්වේෂයෙන්, වෛරයෙන් හා අගතියෙන් තොර විය යුතුය. 7.කිසියම් වාර්තාකරණයක් නිසා තමන්ට පීඩාවක් හෝ අගතියක් ඇතිවීයැ’යි කල්පනා කරන ඕනෑම පුද්ගලයකුට ඒ ගැන ඔහුගේ අදහස් පළකිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදිය යුතුය.

8. පුවත්පත හෝ වෙනත් ප‍්‍රකාශනයක් මගින් වරදක් සිදුවූ බව පෙනෙන හැම අවස්ථාවකදීම ඒ වරද නිවැරදි කළ යුතු අතර ඒ ගැන කනගාටුවද පළ කළ යුතුය.

9.කර්තෘ මණ්ඩල සාමාජිකයකුට තමන් කැමති දේශපාලන පක්ෂයක, මතවාදී කණ්ඩායමක සාමාජිකයකු හෝ ආධාරකරුවකු ලෙස ක‍්‍රියාකිරීමේ අයිතියක් ඇතත්, පුවත්පත හෝ ප‍්‍රකාශන මොනම දේශපාලන පක්ෂයකට හෝ මතවාදී කණ්ඩායම්වලට අනුබද්ධව ක‍්‍රියාකරන තත්ත්වයක නොතිබිය යුතුය. එසේම කිසියම් දේශපාලන පක්ෂයකට හෝ මතවාදී කණ්ඩායමකට සම්බන්ධ කර්තෘ මණ්ඩල සාමාජිකයකු තමන් සම්බන්ධ පක්ෂයකට හෝ මතවාදී ව්‍යාපාරයට පුවත්පත මගින් විශේෂ ආවරණ ලබාදෙන හෝ ඔවුන්ගේ දේවල් ලියන තැනකට නොයා යුතුය.

10.පුද්ගලයන්ට හෝ සංවිධානවලට ආවරණ ලබාදීමේදී ඊට විශේෂ වැදගත්කමක් ලැබිය යුතු නම් මිස හිතවත්කම් මත සිදු නොකළ යුතුය.

11.හොඳින් තහවුරු වී සිටින අයට පමණක් නොව දක්ෂතා ඇති නවකයන්ටද ඉදිරියට ඒමට උදව් කළ යුතුය.

12.දේශපාලන කරුණුවලට පමණක් සීමා නොවී, මිනිසුන්ගේ දෛනික ජීවිත යහපත් කරගැනීමටද දැනුම හා මගපෙන්වීම් ලබාදිය යුතුය.

13.කර්තෘ මණ්ඩල සාමාජිකයන් රාවය ගොඩනගා ගෙන තිබෙන විශ්වාසය හා ගෞරවය පළුදු කිරීමට හේතුවන ක‍්‍රියාවලින් වැළකී සිටිය යුතුය.

14. කර්තෘ මණ්ඩල සාමාජිකයන් මීට පෙර විධිමත් ලෙස ප‍්‍රකාශ කොට තිබෙන රාවයේ ආචාර ධර්මවලට අනුකූලව ක‍්‍රියා කළ යුතුය.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. Idiriyedi apata bala gatha hakiya. ewita ravaya milata ganeema nawathamu.

    ReplyDelete

Popular Posts

Popular Posts