Open top menu
Tuesday, May 21, 2013


මේ මොහොතෙහි බුදුදහම බැලූබැල්මට අපට පෙනෙන්නේ කවරක් ලෙසද? රටේ සුළුතර වාර්ගිකයන්, සුළුතර ආගමිකයන් බියෙන් මුළුවද්දන, ‘ඔවුන්ට එරෙහිව’ දේශනාකරන ලද දහමක් හැටියටය. මේ මොහොතෙහි බුද්ධ ශාසනය බැලූබැල්මට අපට පෙනෙන්නේ කවරක් ලෙසද? රටේ සුළුතර වාර්ගිකයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ සංස්කෘතික සමාජ ජීවිතයට බලහත්කාරයෙන් කඩාවැදී, ඔවුන්ගේ දේපළ විනාශකරමින්, බියවද්දමින් හා වෛරය අවුළුවාලමින්,
රට ගිනිතබමින් යන අන්තවාදීන්ගේ කුලකයක් හැටියටය.
එහෙත් මූලික බුදුදහමත්, මූලික බුද්ධ ශාසනයත් එසේ නොවේ. බුදුදහම සුවිශේෂ වන්නේ මිනිස් චින්තනයට, මිනිස් බුද්ධියට එතුළ තබා ඇති විශාල ඉඩකඩ නිසාවෙනි. එහි කියන්නේ ඉතාමත් සරල කතාවකි. ධම්මපදයේ දණ්ඩ වග්ගයේ මෙසේ කියැවෙයි. ‘සියල්ලෝ දණ්ඩනයට බියය. සියල්ලෝ මරණයට බියය. තමා උපමා කොටගෙන හිංසාවෙන් වළකින්න.’ මෙහි මුළු අදහසම නැතත්, එක් වාක්‍යාංශයක් පමණක් වුව මිනිස් ජීවිතයට හැම මොහොතකම ආලෝකය සඳහා යොදාගත හැකිය. ඒ ‘තමා උපමා කොට’ යන්නය. ඉන් කියැවෙන්නේ ‘තමාට කරනු ලබනවාට තමා අකමැති කිසිවක් අනුන්ට නොකරන්න.’ කියාය. ‘තමා උපමා කොට’ යන වචන තුන බුදුදහමේ ඇති මහා ගැඹුරු ධර්මය ඉතාම සරල කොට ජීවිතයට එකතුකර ගැනීමට කැමැතියකුට ආදර්ශ පාඨයක් ලෙස ගතහැකිය.
එනයින්, තමා විෂයයෙහි සිදුවනවාට අකමැති දෙයක් අනුන්ට කරන්නා බුදුදහම අනුව වසලයෙකි. වසල සූත‍්‍රය ඒ ගැන කියන්නේ, ‘පුද්ගලයකු වසලයකු හෝ බ‍්‍රාහ්මණයකු වන්නේ උපතින් නොවේ. ඔහු කරන කියන දේ අනුවය.’ යනුවෙනි. මේ නිසා තමා උපමා නොකොට, අනුන්ට අයහපතක් කරන්නා බුදුදහමට අනුව නියම වසලයෙකි. අනෙක් අතින් බුදුදහමේ මූලික උගැන්වීම්වලට මුළුමනින්ම පටහැණිව යමින් කටයුතු කරන්නා කවර තරාතිරමේ වුවද, කවර තරමේ බලගතු වුවද, නියම වසලයකු බව බුදුදහම ම කියයි.

පසුගිය මෑත අතීතයේ ජාතික චින්තකයන් හා යුදවාදීන් බුදුදහමෙහි නැති අදහස් මවා පා ලජ්ජාසහගත ලෙස එය යුද්ධය සාධාරණීකරණය සඳහා යොදාගත්තා වුවත්, බුදුදහම වනාහි මුළුමනින්ම අවිහිංසාව, මෛත‍්‍රිය, කරුණාව, අන් මත ඉවසීම යනාදිය මත පදනම්වූ ඉගැන්වීමකි. කිසිවකු සමග කිසිම ආකාරයේ ගැටුමක්, වෛරයක්, ද්වේෂයක්, ආරාවුලක් ඇතිකරගැනීමට මූලික බුදුදහම උපදෙස් දෙන්නේ නැත. අඩුගණනේ බුදුදහමත්, ශාසනයත් විනාශවී යන අසීරු අවස්ථාවක වුව, අන් කිසිවකුට හානිකොට හෝ එය රැකගතයුතුයැ’යි කියාවත් බුදුදහම කියන්නේ නැත. ඒ ඇතිවීම, පැවැත්ම හා නැතිවීම ගැන එහි ඇති දාර්ශනික දෘෂ්ටිය නිසාය. එහෙව් බුදුදහම පවත්වාගන්නට පත්කොට ඇති ජන සංඝය වන බුද්ධ ශ‍්‍රාවකයන්ට බුදුන් දුන් පළමු අවවාදය වූයේ, ‘බොහෝ ජනයාගේ හිත සුව පිණිස හැසිරෙන්න’ කියාය. එනයින් කිසිවකුගේ හිතසුව පිණිස නොහැසිරෙන්නා නියම බුද්ධ ශ‍්‍රාවකයෙක් නොවේ. ඔහු බුදුදහම අනුවම වසලයෙකි.

මේ මොහොතේ බුදුදහමත් බුද්ධ ශාසනයත් භාරදී ඇති බව පෙනෙන්නේ මේ වසල කුලකයටය. ඔවුහු රටේ අන් සුළුතර ජාතිකයන්, ආගමිකයන් සමග සහජීවනයෙන් ජීවත්වන්නට බෞද්ධයන්ට මගපෙන්වනවා වෙනුවට ඔවුනොවුන් අතර වෛරය, ද්වේෂය, ක්‍රෝධය වපුරති. නීතිය අතට ගෙන රටපුරා හනුමන් ව‍්‍රතයෙන් සැරිසරමින් සුළුතර මිනිස් ජීවිත බියට පත්කරති. ශරීරහානි සිදුකරති. ඔවුන්ගේ දේපළවලට ගල්ගසා විනාශකරති. ජාතිවාදය, ආගම්වාදය සිතේ නිදන්ගතව ඇති බහුතරයේ අන්තවාදීන් මහමඟට කැඳවමින් රට අවුළුවති. උරුමය, බලසේනා, බලකාය, රාවය, පුනර්ජීවන කොමිෂන් ඈ නමින් හතු පිපෙන්නාක් මෙන් බිහිවූ, බිහිවන මේ සියල්ලන්ගේ අරමුණු අඩුවැඩි වශයෙන් එකමය.

ආණ්ඩුව මුළුමනින්ම මේ තිරශ්චීන ක‍්‍රියාකාරකම් අනුමත කරන බව පෙනෙන්නට තිබේ. මේ තරම් විනාශයක් සිදුකරද්දීත් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැත. නීතිය ක‍්‍රියාත්මක කරන්නට බලකැරුණු තැන්වලදී පවා සුළුවාර්ගිකයන්ට අසාධාරණයක් වන ඊනියා සමථයකට යන්නට ඔවුන් පොළොඹවන ලදි.

යළිත් මේ රටේ ආගමික හෝ වාර්ගික ගැටුමක් හරහා විනාශයක් සිදුවුවහොත් ඊට වගකිව යුත්තේ මේ සාපේක්‍ෂව අතළොස්සක් වන වසලයෝ පිරිස පමණක් නොවෙති. වසලයන් නොවන යහපත් සියල්ලන්මද ඒ වගකීම භාරගත යුතුය. ඒ, මෙවැනි මොහොතක නරකට ඉඩදී කට පියාගෙන ඉඳීම වෙනුවෙනි.

රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Popular Posts

Popular Posts