Open top menu
Wednesday, May 22, 2013


තිසරණී ගුණසේකර -

‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’
ජෝර්ජ් ෆොස්ටර් (කෘති=17)

ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි.

ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත් විනිසුරෙකට වතුර බෝතලයකින් දමා ගසයි.

සිද්ධිය ඇති වු වේලාවේ හෝ ඉන් පසුව හෝ තරග විනිසුරු සගයාව ආරක්ෂා කිරීමට අනිත් විනිසුරෝ කිසිවක් නොකළහ. අභියාචනාධිකරණ විනිසුරන් අදාළ සිදුවීම ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කළ බව සැලයි. එහෙත් එයින් කිසි පලක් වන්නට විදිහක් නැත. බෝතලයකින් ගසා යකා නැටුවේ යැයි කියනා තැනැත්තා, 1987-90 කාලයේ හම්බන්තොට දිසා විනිසුරුවරයා විය. ඉන් පසු ඔහුව අභියාචනාධිකරණයට පත්කෙළේ ද වෙන කිසිවෙකු නොව, මේ ජනාධිපතිවරයාම ය. ඒ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද උල්ලංඝනය කරමිනි.

සමහර විට ජාතික මාධ්‍ය විසින් මේ සිද්ධිය ගැන
බරපතල හාහෝවක් ඇති කෙළේ නම් සහ පොදුවේ සමාජය ඒ ගැන සිය අප‍්‍රසාදය සහ කෝපය පළ කෙළේ නම්, ‘යමක්’ කිරීමට ජනාධිපතිවරයාට බල කෙරෙන්නට ඉඩ තිබුණි. එවැනි කිසිවක් නැති තැන කිසිවක් නොකර සිටීමට ජනාධිපතිවරයාට පහසුවෙන් පිළිවන.
අසාධාරණය, අපහරණය සහ ¥ෂණය තරමටම, ජඩකම ද ලාංකීය ආදර්ශයක් බවට පත්ව ඇත. දේශපාලනයකට ගෑවිලාවත් නැති ලාංකිකයෙකු වුව, නීතියේ දැළට හසු නොවන සහ බලපුලූවන්කාර සම්බන්ධකම් සහිත මැරයෙකුගේ බිල්ලක් වීමට ඕනෑම විටෙක ඉඩ ඇත.

දේශපාලනික සහ ආර්ථික තලයේ හැරුණු කොට තවත් බොහෝ ක්ෂේත‍්‍ර හරහා මේ රාජපක්ෂ පාලනය ලංකාව අවදානමට හෙලමින් තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම රාජපක්ෂ පාලනයේ දේශපාලනික උවදුර සංකේතවත් කරයි. රාජපක්ෂ සහෝදරයන්ගෙන් රටට අත්විය හැකි ආර්ථික හානිය, විදුලි බිල වැඩි කිරීමෙන් පෙන්නුම් කරයි. මත්තල ගුවන් තොටුපොළ, පවුල් පාලනයේ පරිසර වින්නැහිය විදහාපායි.

එහෙත් මේවා රාජපක්ෂ උරුමයේ දරුණුතම පැත්ත නොවිය හැකිය.

රෝහිත රාජපක්ෂ තරග විනිසුරෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියත්, අභියාචනාධිකරණ විනිසුරු සරත් ඞී. ආබෲ බැංගලෝර් ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ යැයි කියන සිද්ධියත් වාර්තා වූ සතියේම, කොළඹ ප‍්‍රධාන පාසලක ශිෂ්‍යයෙක් තමන්ගේම පංතියේ තවත් ශිෂ්‍යයෙකුට පිහියෙන් ඇන මැරුවේය. මේ ඝාතනය සිදුව ඇත්තේ වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැලක් සංවිධානය කිරීම පිළිබඳ කතාබහක දී ය.

යම් දවසක, වසර ගණනකදී හෝ දශක ගණනකදී, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, රාජපක්ෂවරු දේශපාලනයෙන් පිටව යනු ඇත. එදාට, ගෙල සිරකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, නටබුන් ආර්ථිකයක් සහ බිඳුණු ආයතන පද්ධතියක් ඔවුන්ගේ උරුමය වශයෙන් රටට ඉතිරි කෙරෙන බව නිසැකයි. ඒ සමගම, අනෙකා නොරුස්සන අන්ධ භාවයට පත්, හිංසනයෙන් වහවැටුණු සමාජයකුත් ඉතිරි කර යාවි ද?

ගඩාෆිගේ දීර්ඝ මෘග පාලන කාලය තුළ ඔහුගේ යටත්වැසියන්ව තිරිසන්කරණය කෙරුණි. අනුකම්පාව දුරලන්ටත්, විනීතකමට පිටුපාන්ටත් ඔහු ඔවුන්ට ඉගැන්නුවේය. ඒ පාඩම් මනාව උගෙන ගන්නට, භීතිය සහ ස්වාර්ථය ඉවහල් විය. නිදහසේ මොහොත ළඟා වු අවස්ථාවේ, ගඩාෆිගේ චර්යාවන් බොහොමයක් තමන්ට ද ජීරණය වී ඇති තරම ඔවුහූ පෙන්නුම් කළහ. විරුද්ධවාදීන් සහ වෙනස් අදහස් දරන්නන් ඝාතනය කළ ඔවුහූ, තමන්ගේ හිටපු නායකයාව බෝක්කුවක් අස්සෙන් අල්ලාගෙන ඝාතනය කරන අවස්ථාවේ ජයඝෝෂා නැගූහ.

2007 ඔක්තෝබර් මාසයේ සාලියපුර ගුවන් හමුදා කඳවුරට පහර දුන් කළු කොටි සාමාජිකයන්ගේ නිරුවත් මළ සිරුරු හමුදාව විසින් මුළු රටටම ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ ලංකාවේ දකුණ එම ක‍්‍රියාව හෙළාදැක්කේය. දකුණෙන් පෙන්නුම් කළ ඒ අනුකම්පාව සහ විනීත කම රාජපක්ෂ ව්‍යාපෘතියට අසම්මජාතික ය. අනතුරුව ගෙවුණු දෙවසරක කාලය තුළ, ඒ අනුකම්පාව මකා දමා, විනීත කම පිටමං කිරීමට රාජපක්ෂ පාලනය සාර්ථකව පියවර ගත්තේය.

යුද්ධයේ අවසානයට ආසන්න අවදියේ එක් මොහොතක, ආරක්ෂාවක් පතා ඉබාගාතේ පළා යන එක් දෙමළ පවුලක පින්තූරයක් ඇතැම් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්වුණි. තලතුනා පිරිමියෙක්, තරුණ කෙල්ලක් සහ කුඩා දරුවෙක්, ඉතිරිවූ හිඟන සේසත මත වාඩි වී, තමන්ගේ දුඹුරු පාට වල් බල්ලාව තුරුලූ කරගෙන උන්හ. එම දර්ශනය, දකුණේ කරුණාව ඇවිලවිය යුතුව තිබුණි. ඊට වසර දෙකකට පෙර එම හැකියාව ඇත්තෙන්ම දකුණට තිබුණි. එහෙත් මේ වන විට එය තවදුරටත් ඉතිරිව නොතිබුණි. සිංහල සිත්සතන් සහ හදවත්වලට රාජපක්ෂ විෂ කෙතරම් ගැඹුරට කාන්දු වී තිබිණි ද යත්, (යුද්ධයේ දෙමළ අසරණයන්ට* අනුකම්පා කිරීම, සදාචාරමය දුසිරිතකට සමීප ද්‍රෝහී කමකට සහ හැදිච්ච කමක තත්වයට පත්ව තිබුණි.

රාජපක්ෂලා ඉගැන්නූ සහ දකුණේ අප උගත් ඒ පිළිකුල් සහගත සදාචාරය, කොටියාගේ මරණයත් සමග අභාවයට ගියේ නැත. ඒ වෙනුවට, එය දකුණට කාන්දු වී, මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජන ආදී දේවල් දෙස හෙලන අපේ දැක්මටත් බලපෑවේය. දෙමළාගේ විඳවීම ගැන නිර්වේදී වූ අපි, සිංහල-බෞද්ධයාගේ විඳවීමටත් අසංවේදී වන්නෙමු.

යුද්ධයේ ජයග‍්‍රාහී නිමාවෙන් වසර ගණනක් ගතව යද්දී, හමුදාකරණය එක පිම්මේ වැඩෙයි. එය, බලය සහ හයිය උත්කර්ෂයට පත්කරවන නව පන්නයේ විශ්වාසයක් සමග අත්වැල් බැඳගෙන, කායික සහ සමාජ-දේශපාලනික දුබලතා හෑල්ලූ කරන මනෝභාවයක් ජනිත කරයි. එසේම, ‘උන්ට එරෙහිව අපි’ විභේදනය සමාජ පිළිගැනීමකට ලක්කරයි. කෙනෙකුගේ වෙනස අපරාධයක් සේ සළකන, විසම්මුතිය වෛරයක් සේ ගන්නා මේ නොඉවසනසුළු ගතිය, දේශපාලනික සීමා ඉක්මවා යමින් අදේශපාලනික පථයන් වෙත අවතීර්ණ වී ඇත්තේය. මේ ලෝක දැක්මට අනුව, අපේ අදහස් සමග සමපාත නොවන එකා, නිතැතින්ම ‘අනිකා’ වෙයි. මේ ‘අනිකා’ හැම විටම හතුරෙකි. හැම අතකින්ම, අපේ වළ කැපීමට ඉන්නා එකෙකි. ඕනෑම අවස්ථාවක, කෙතරම් නොවැදගත්, කෙතරම් නිස්සාර සහ කෙතරම් පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන් වුව දක්වන අපේ ප‍්‍රථම සහ එකම ප‍්‍රතිචාරය ප‍්‍රචණ්ඩත්වය වීම, මෙකී විකාර සහගත තර්කණය තුළ යුක්ති සහගත කෙරේ. තර්ක-විතර්ක, වාද-විවාද සහ සාකච්ඡුා අනවශ්‍ය කෙරේ. සමථ සම්මුති, පාවා දීමක් සේ සැළකේ. කොන්දේසි විරහිත ප‍්‍රහාරයම, ඕනෑම ප‍්‍රශ්නයකට ඇති එකම පිළිතුර වෙයි.

යොවුන් පරපුරට එන්නත් කෙරෙන දෘෂ්ටිවාදය එයයි: බලපුලූවන්කාරයන් නීතිය අතට ගන්නා හැටි යෞවනයා දකී. ‘අනිකාට’ එරෙහිව බෞද්ධ භික්ෂුව හිංසනය වණන සැටි ඔහු දකී. ව්‍යාධිගත සැකයේ සහ වෛරයේ වදන් ඔහුට ඇසෙයි.

එවැනි දෛනික පෝෂණයක් යටතේ, අනිකා නොඉවසීමේ හිංසාකාරී වසංගත රෝගබීජවලට ඔවුන් කෙසේ නම් ඔරොත්තු දෙන්න ද?

ඊළඟ පරම්පරාවට වස කැවීම

පසු ගිය සැප්තැම්බර් මාසයේ, කලහකාරී දෙමාපිය කල්ලියකින් අනුබලය ලද, පාසල් නිල ඇඳුම් හැඳගත් ශිෂ්‍ය පිරිසක්, ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට අළුතෙන් පත්ව ආ විදුහල්පතිවරයාට සාහසික අන්දමින් පහර දුන්හ. එය වැළැක්වීමට පොලිසියටත් බැරි වුණි. අන්තිමේ දී විදුහල්පතිවරයාට ආරක්ෂාව පතා පැන යන්නට සිදුවිය.

මේ සතියේ, අර සිංහල-බෞද්ධ අධ්‍යාපනයේ පහන්ටැඹ වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෝ ඔවුන්ගේ නව විදුහල්පතිවරයාට එරෙහිව විරෝධතා දැක්වූහ. නව විදුහල්පතිවරයා පැමිණ නොසිටි හෙයින්, කෑකෝ ගැසීම් සහ රතිඤ්ඤා පත්තු කිරීමෙන් පමණක් සෑහෙන්ට ඔවුන්ට පිළිවන් විය. ඔහු ආ දවසක කුමක් සිදුවේද? මේ නැහැදිච්ච කම ඉදිරියේ ගුරුවරුන්, දෙමාපියන් සහ බලධාරීන් කරන්නේ කුමක් ද?

ප‍්‍රචණ්ඩකාරී නොඉවසීම වර්තමාන ලංකාවේ දේශජ ගතියකි. එසේ වන විට, ඒ නොඉවසීම, සදාචාරමය=වාර්ගික ආදර්ශය වශයෙන් ගැනීමටත්, ඕනෑම විරසකයක් විසඳා ගැනීමේ ප‍්‍රශස්ත මාර්ගය වශයෙන් ප‍්‍රචණ්ඩත්වය සැළකීමටත්, තරුණ පරපුර පෙළඹීම අස්වාභාවික නැත. මේ තත්වය මර්දනය නොකළොත්, සාපරාධීත්වය තුළට සහ අරාජකත්වය තුළට ලංකාව පල්ලම් බැසීම නොවැළැක්විය හැකි වනු ඇත.

සිංහල-බෞද්ධයන්, රටේ බහුතරය වශයෙන්, මේ හිංසාකාරී නොඉවසීමේ වසංගතයට විරෝධය පෑමේ මූලිකත්වය ගත යුතුව තිබේ. එය පටන්ගත යුත්තේ, තොරතෝංචියක් නැති වාර්ගිකාගමික සතුරන් සහ දේශපාලනික දඩමීමන් සෙවීමේ ප‍්‍රයත්නය අතහැර දැමීමෙනි. අප, අප දෙසටම හැරී බැලිය යුතුව තිබේ. අනිකාගේ ෂරියා නීතිය ගැන පිස්සු වැටෙන්ට කලින්, අපේම බොදුබල සේනාවන්ට අප මුහුණදිය යුතුය.

තරුණ, සිංහල=බෞද්ධ ශිෂ්‍ය පිරිසක් වෙසක් උත්සවය සැමරිය යුත්තේ කෙසේදැයි කරන සාකච්ඡුාවක් අවසන් වන්නේ මාරාන්තික හිංසනයකින් නම්, සිංහල-බෞද්ධ සමාජය පිරිහී ඇති තරම එයින් කියාපායි.

පාලක පැලැන්තියට මේ ගැටළුව නිරාකරණය කළ නොහැක: රාජපක්ෂලාම එම ගැටළුවේ ප‍්‍රධාන කොටසක් වන බැවිනි. පවුල් පාලනය සහ රාජවංශික පෙළපත ගෙන යාම සඳහා වසංගත රෝගබීජ ඔවුන්ට අවශ්‍ය කෙරේ. එනිසා, මේ ප‍්‍රවණතාව වැළැක්වීමේ පිළිවෙත් සෙවිය යුත්තේ, දෙමාපියන් සහ ගුරුවරුන් වශයෙන් ද, ආගමික නායකයන් සහ මත සම්පාදකයන් වශයෙන් ද වන, සමාජ තලයක ය. එහෙත්, ‘උන්ට එරෙහිව අපි’ යන දෙබෙදුම අතනොහැරියොත් ඒ ප‍්‍රයත්නයත් නිරර්ථක වනු ඇත. ඒ යුද මානසිකත්වයේ එල්ලී සිටියොත් සිදුවන්නේ, වාර්ගික වෛරය සහ ආගමික නොරිස්සීම අද සාමාන්‍ය දෙයක් වී ඇති පරිද්දෙන්ම, ගුරුවරුන්ට ශිෂ්‍යයන් පහර දීම සහ දෙමාපියන්ට දරුවන් පහර දීමත් සාමාන්‍ය දෙයක් වශයෙන් සළකන දවසක් මෑතකදීම උදා වීමයි.

එදාට, රාජපක්ෂලා ඇතුව හෝ නැතුව, අතීතයටත් වඩා අපේ අනාගතය විසකුරු වනු ඇත.

*2013 මැයි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Behold The Future ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

  1. තමන් විසින් පෝෂණය කල දඩබල්ලන් තමන්ටම එරෙහි වෙන දවසක් ඇත.

    ReplyDelete
  2. A century old history in Russia (1917) and recent history in Libya will repeat here.
    And it is everybody's wish.

    ReplyDelete

Popular Posts

Popular Posts