Open top menu
Thursday, May 23, 2013

ලේක්හවුස් සමාගම ආණ්ඩුවට අයත් පුවත්පත් ආයතනයයි. 1926දී ස්ථාපිත කරනු ලැබ 1973දී රජයට පවරා ගන්නා තෙක්ම එය පෞද්ගලික ආයතනයක් ලෙස පැවතිණි. ඉන්පසු එය පවතින ආණ්ඩුවේ කුණු සේදීම සඳහා වන වෙල්ලා හැළියක් ලෙස භාවිත වෙමින් ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ පොදු පිළිගැනීමයි.

ලේක්හවුස් ආයතනයේ ආරම්භක ඩී.ආර්. විජේවර්ධන තම පුවත්පත් ජනප්‍රිය කරවීම සඳහා ප්‍රකට ලේඛකයින්, බුද්ධිමතුන් තම පුවත්පත් කර්තෘ මණ්ඩලවලට බඳවා ගත්තේය. මහා ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත්පතේ කර්තෘවරයෙකු සේවය කළ අතර මීමන ප්‍රේමතිලක කවියා සිළුමිණ පුවත්පතේ කර්තෘව සිටියේය.

ලංකාවේ ධනේශ්වර පංතියේ ප්‍රමුඛ නියෝජිතයකු වූ ඩී.ආර්. තම දේශපාලන මතය පුවත්පත් මගින් තහවුරු කිරීමේලා උත්සාහ ගත්තේ අතිශය සියුම් ලෙසය. ඒ වෙනුවෙන් ආයතනයේ කීර්තිනාමය පරදුවට නොතැබීමට ඔහු පරෙස්සම් වූවා සේම පුවත්පත් කතුවරු සහ ලේඛකයෝ පුවත්පත්
සදාචාරය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වූහ. ගුවන් විදුලිය හැරෙන්නට වෙනත් ජනමාධ්‍යයක් නොමැති වූ එකල පුවත්පත් සමාජයට ප්‍රබල බලපෑමක් කළ හැකි මාධ්‍යයක් විය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා තම 'උපන්දා සිට' කෘතියේ ලේක්හවුස් අත්දැකීමක් විස්තර කරමින් කියන්නේ අවිස්සාවේල්ලේදී පියෙකු දුවට අතවර කළ සිදුවීමක් පාදක කරගනිමින් සමසමාජය පක්ෂයට අවමන් වන අන්දමේ කතුවැකියක් දිනමිණට ලියන ලෙස ඩී.ආර්. විජේවර්ධන තමාට යෝජනා කළ බවය. තමා එසේ කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන වික්‍රමසිංහ තමා නිවාඩු ගිය දිනක විජේවර්ධන උප කර්තෘ ලවා එම කතුවැකිය ලියවා තිබූ බව උපන්දාසිට ස්වයං චරිතාපදානයේ සඳහන් කරයි.

එවන් බුද්ධිමතුන්ගේ ඇසුරෙහි පැවති ලේක්හවුසියේ දිනපතා සිංහල ප්‍රකාශනය වන දිනමිණ පුවත්පත අද වැටී ඇති අගාධයක තරම පෙන්වා දෙන්නේ වෙන කවුරුන්වත් නොව එම පුවත්පතමය. අද එය මාධ්‍යවේදීන් අතට නොව අසූචි අනුභව කරන මානසික රෝගීන් අතට පත්ව ඇත්දැයි සිතෙන තරම්ය. මාධ්‍ය සදාචාරය පිළිබඳව අබමල් රොනක හෝ හැඟීමක් නොමැති බවත් මඩ ගැසීම සඳහා තමන්ට වැටිය හැකි සීමාවක් නොහැකි බවත් දිනමිණ පෙන්වා දෙයි.
22දා දිනමිණ අලුත් සොයාගැනීමක් වාර්තා කරයි. එනම් තම ශීර්ෂයෙන් 'එක්දින වැඩ වර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය' ඊයේ පැවති බව කියාපාමිනි. 'වර්ජනය අසාර්ථක කරලීමට ජනතාව දුන් සහයට රජයේ ප්‍රසාදය', 'ජනතාව ජනාධිපතිතුමා සහ රජය සමඟ බව පෙන්වූවා' තවත් උප සිරැසි දෙකකි. තවත් උප ශීර්ෂයකින් දිනමිණ නිරුවත් වෙයි. 'ලාල්කාන්තගේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ' එම සිරස්තලයය. ශිෂ්ට සම්පන්න මාධ්‍ය කලාව ඉක්මවා යමින් තම මජරකම පෙන්වීමට දිනමිණ දරන උත්සාහය අනුකම්පා කටයුතුය.

ලාල්කාන්ත කියා ඇත්තේ විදුලි බිල අඩුකරගැනීමට ආණ්ඩුවට බලපෑම් කරන ලෙසය. එසේනම් දිනමිණට අනුව විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලීම නරිවාදමකි. විදුලි ගාස්තු වැඩිවීම ලාල්කාන්තගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. අනෙක් අතට විදුලි බිල අඩු වුවහොත් ඒ ලාල්කාන්තට පමණක් නොවේ. සමස්ත ජනතාවටය. දිනමිණ වසන් කරන්නට හදන්නේ ඒ සත්‍යයය. අනෙක් අතට සමස්ත රාජ්‍ය බලය රාජ්‍ය සේවකයන්ට එරෙහිව යොදා, පැමිණීම අනිවාර්ය කර චක්‍රලේඛ නිකුත් කර, දවසසේ තෙවරක් පැමිණීමේ ලේඛනයේ අත්සන් කරන ලෙසට බලකර, සේවය අහිමි කරන බවට එක් හෝ තවත් ආකාරයකින් බියවද්දා ආණ්ඩුව නැටූ නාඩගම දිනමිණ දන්නේ නැත. ආණ්ඩුව මේ එක්දින වර්ජනයට කෙතරම් බියගෙන සිටියේද යත් එයින් හෑල්ලු වූයේ, ආණ්ඩුවේ මහා බලැති විධායක ධූරයය, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයය. වර්ජනයේ සාර්ථකත්වය මනින මිම්ම එය වීනම් එනයින්ම වර්ජනය සාර්ථකය.

දහස් ගණනක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් රාජකාරියට වාර්තා නොකරමින්ද, කඩහිමියන් තම කඩසාප්පු වසා තබමින්ද දහස් ගණනක් විරෝධතා උද්ඝෝෂණවල යෙදෙමින්ද ඊයේ තම විරෝධය පළ කර තිබියෙදී ඇතැම් මාධ්‍යයන්ට ඊයේ කිසිවක් සිදුවී නොමැති බවට වාර්තා කරන්නට සිදුව තිබීම තේරුම් ගත හැක්කකි. ඒසේ වන්නේ ආණ්ඩුවෙන් ඍජුවම වැටුප් ලබන දිනමිණට පමණක් නොවේ, ප්‍රාග්ධන හිමිකාරිත්වයෙන් වැටුප් ලබන සියලු ජනමාධ්‍ය ආයතනවලටය.

lankatruth -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts