Open top menu
Friday, May 3, 2013


ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් 2013 ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ‘මරණය සමග වසර නවයක්’ යන තේමාවෙන් නිකුත් කළ 2004 මැයි සිට 2013 මැයි දක්වා ජනමාධ්‍ය මර්දනයේ අත්දැකීම් වාර්තාව ඇසුරෙනි
—————————–
යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.
‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’(Journalists Without Borders) නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි. 2010 වසරේ 158, 2009 වසරේ 162, 2008 වසරේ 165, 2007 වසරේ 156, 2006 වසරේ 141, 2005 වසරේ 115, 2004 වසරේ 109, 2003 වසරේ 89 සහ 2002 වසරේ 051 යන ස්ථානවල එම දර්ශකය අනුව ලංකාව පැවතිණි. මේ අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස වත්මන් පාලනය යටතේ දිගින් දිගටම පිරිහීමට ලක්ව ඇති ආකාරය අමුතුවෙන් කිවයුතු නොවේ.

එක්සත් ජනපදයේ ‘ෆ‍්‍රීඩම් හවුස්’(Freedom House) ආයතනයේ වාර්තා අනුව ලංකාව සිටින්නේ ජනමාධ්‍ය නිදහසක් නැති රටවල් අතරය. 2012 වසරට අදාළව ඔවුන්ගේ දර්ශකය අනුව එය 161 වැනි ස්ථානයයි.
එම සංවිධානය විසින් 2013 වසර සඳහා සකස් කළ නිදහස පිළිබඳ දර්ශකයේ
ලංකාව ස්ථානගතව ඇත්තේ අර්ධ නිදහසක් සහිත රාජ්‍යයන් අතරටය.

දේශපාලන අයිතිවාසිකම් තත්වය (Political Rights)එනම්, පාලන ක‍්‍රියාවලිය, මැතිවරණ, දේශපාලනයට ජන සහභාගීත්වය හා බහුවිධත්වය ද සිවිල් නිදහස  පිළිබඳ තත්වය(Civil Liberties)  එනම්, කැමැති මතයක් දැරීමේ, ඇදහීමේ හා ප‍්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ හා සමාගමයේ නිදහස, නීතියේ පාලනය, පුද්ගල ස්වාධීනතාව හා පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිවාසිකම් පදනම් කරගෙන මෙම දර්ශකය සකස් කළ බව ‘ෆ‍්‍රීඩම් හවුස්’ ආයතනය පවසයි. එම නිර්ණායක අනුව ලෝකයේ රටවල් වර්ගීකරණය කිරීමේ දී ලංකාව දේශපාලන අයිතිවාසිකම් තත්වය අනුව අයත් වන්නේ පස් වැනි කාණ්ඩයටයි. සිවිල් නිදහස පිළිබඳ වර්ගීකරණය අනුව ලංකාව අයත් වන්නේ 4 වැනි කාණ්ඩයටයි. එකී දර්ශකයේ පළමු වැනි කාණ්ඩයට අයත් ලෝකයේ සංවර්ධිත රටවල් සම`ග අපේ සමාජ තත්වයන් සමපාත කළ නොහැකිය. කෙසේ වුවත් මෙම දර්ශකයේ ස්ථානගත වීමෙන් ම පෙනී යන අන්දමට අප ලෝකයේ පුරවැසියන්ට හිමිව ඇති නිදහස අනුව, පස් වැනි තැනට ඇද දමන ලද පුරවැසියන්ය.

කුමන දර්ශකය නැතත්, පසුගිය වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් කි‍්‍රියාත්මක වීමේ අත්දැකීම්, සමාජයක් ලෙස අපට අමතක කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට පහර දීම, පැහැරගෙන යාම, අත්අඩංගුවට ගැනීම, අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම යනාදී වශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන ද ප‍්‍රහාරයට ලක් වීම, ගිනි තබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක් වීම වැනි ඍජු ලෙස මර්දනයට හසු වීම දක්නට ලැබේ.

මේ වන විට ජීවිතාරක්ෂාව පතා විදේශගතව සිටින ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සැලකූ විට රටේ ඇත්තේ ජනමාධ්‍යකරුවන් දඩයම් කරන පාලනයක් බව ඉතාමත් පැහැදිලිය. යම් කරුණක් සම්බන්ධව තමන් දරන මතය ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කිරීම යනු ප‍්‍රහාරයකට ගොදුරු වීමේ අනතුර කැඳවා ගැනීමක් වන නිසා විදේශයන් හි ආරක්ෂාව පතා ගිය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් පසුව පවා මෙරටට ඒමට සුදුසු පරිසරයක් නිමැවී නැත. අතපය කඩාබිඳ දැමීමෙන් පසුව විදේශගත වූ පෝද්දල ජයන්ත යනු සිය ආරක්ෂාව ඉල්ලා සිටිය ද එය නොලැබුණු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සේවකයෙකි. ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ජනමාධ්‍යයන් හි සේවය කිරීමේ දී ආරක්ෂාවක් නැති නම් සෙසු මාධ්‍ය ආයතනවල සේවකයන් ගැන කුමන කතාද?

ජනමාධ්‍යවේදීන්ටත් ජනමාධ්‍ය ආයතනවලටත් මෙසේ විවිධ තාඩන පීඩනවලට ලක් වන්නට හා අනාරක්ෂිත පසුබිමක් මතුව තිබිය දී ඒ පිළිබඳව ආණ්ඩුවත් විශේෂයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයාත් පොලිසිය, අධිකරණය වැනි නීතිය බලාත්මක කරන ආයතන පවා ප‍්‍රමාණවත් අවධානය යොමුකොට නැත. ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිට ඝාතනය කිරීම දක්වා අපරාධ සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට මේ දක්වා ආණ්ඩුව හෝ අදාළ අංශ කටයුතු කර නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව විවිධ අවස්ථාවල දී බලධාරීන් විසින් ප‍්‍රකාශ කළත් අදාළ වරදකරුවකු අත්අඩංගුවට ගත් බවක්, හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.

වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ අවස්ථා 44ක් සහ ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 20ක්, පැහැරගෙන ගිය අවස්ථා 05 ක් පිළිබඳ නිසි විමර්ශන සිදු කර නැත. ජනමාධ්‍ය නිදහසට එරෙහිව යම් බලවත් පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලබන අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව එහි අදහසයි. මේ ජනමාධ්‍යවේදීන් හිරිහැරයට ලක් වූයේ ආණ්ඩුව විවේචනය කරමින් ගෙන ගිය මාධ්‍ය භාවිතයක් තුළ නිසාම එකී අපරාධයන් පිළිබඳ වගකීමෙන් නිදහස් වන්නට ආණ්ඩුවට නොහැකිය. මීට අමතරව ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට පහර දීමේ අවස්ථා ගණනාවක් වාර්තා විය. නිශ්චිතව අවස්ථා අටක දී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධ නිසි පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කර නැත.

මෙයින් මහ දවාලේ ‘සිරස’ ප‍්‍රවෘත්ති අංශයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ එම ආයතනය විසින් සිදුවීම වීඩියෝගත කිරීම නිසා සැකකරුවන් කවුරුන්ද යන වග නිශ්චිතවම හඳුනා ගනු ලැබිණි. මර්වින් සිල්වා ඇමැතිවරයා ජාතික රුපවාහිනී සංස්ථාවට අනිසි ලෙස කඩාවැදී සිදු කළ කලබලකාරීත්වය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැත. එහෙත් එම සිදුවීමෙන් පසුව ඇතැම් රුපවාහිනී මාධ්‍යවේදීන්ට පහර දීම හා තියුණු ආයුධවලින් තුවාල කිරීම සහ මරණ තර්ජන කිරීමක් සිදු විය. අධිකරණ ක‍්‍රියාවලිය මන්දගාමීය. නීතිිපතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ සහ ඔවුන් විසින් මෙහෙයවන දෙපාර්තමේන්තුවල අකාර්යක්ෂමතාව හෝ හිතාමතා ප‍්‍රමාද කිරීම් මේ තත්වයන්ට හේතු වී තිබේ.

ඊට අමතරව ජනමාධ්‍ය ආයතන පසුගිය කාලයේ විවිධ හිරිහැරයන්ට ලක් වී තිබේ. නීතිය හා යුක්තිය ඉටු කරන්නට නොහැකි වන තාක් ආණ්ඩුවට එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පලා යා නොහැකි බව අවධාරණය කරමු. ජනමාධ්‍ය ආයතනවලට හා මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව සිදු කළ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන පවත්වා ඒ කිසිදු අපරාධකාරී ක‍්‍රියාවක් පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. එසේ වුවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ජනමාධ්‍ය ආයතනවලට මුද්‍රා තැබීම සඳහා ආණ්ඩුව නීතියේ රැුකවරණය ලබා ගනී. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා 38ක් සහ මාධ්‍ය ආයතන මුද්‍රා තැබීම් 2ක් වාර්තා විය. එසේම පුවත් වෙබ් අඩවි ගණනාවක් තහනම් කරන ලදී. ගුවන් විදුලි නාලිකා තහනම් කළ අවස්ථා ද තිබේ.

රටේ මූලික නීතිය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය(Freedom of Expression) නිසි පරිදි පවත්වාගෙන යාමටත් ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය(Right to Know)ආරක්ෂා කර දීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. මැතිවරණවල දී ජනමාධ්‍ය නිදහස රකින බවට පවසන ජනාධිපතිවරයාත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් නායකයනුත් ප‍්‍රායෝගික තලයේ ඒ වෙනුවෙන් ප‍්‍රකාශවලට ඔබ්බෙන් ක‍්‍රියාකාරීත්වයක් දක්වා නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත.

ජනමාධ්‍ය ආරක්ෂා කිරීමේ පිළිවෙත ක‍්‍රියාකාරීත්වයක් බවට පත් කිරීමට නම් අවම වශයෙන් මේ තාක් හිරිහැරයට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධව හා ප‍්‍රහාරයට ලක් වූ ජනමාධ්‍ය ආයතන පිළිබඳව නීතිය හා යුක්තිය ඉටු කළ යුතුව තිබේ. එහි ලා ආණ්ඩුවේ වගකීම එසේම තිබිය දී නීතිය බලාත්මක කිරීමේ කාර්යය වෙනුවෙන් පොලිසිය විසින් වගකිවයුතු කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. පොලිසිය නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථාවල දී ජනමාධ්‍ය නිදහස අහිමි වන අවස්ථා බොහෝ තිබේ. පොලිස් නිලධාරීන් ඉහළ සිට පහළට කටයුතු කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් සිය ප‍්‍රතිවාදීන් පිරිසක් වැනි ආකල්පයකිනි. අනෙක් අතට ජනමාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් අදාළ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ දී ද පොලිසිය හා ආණ්ඩුව දැඩි උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.

මෙම පසුබිම තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සතු විශේෂ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. තමන් විසින් මහන්සියෙන් සොයා ගත් තොරතුරු වාර්තා කිරීම නිසා ජනමාධ්‍යවේදීන්ට බියෙන් යුතුව ජීවත් වන්නට සිදු වේ. සත්‍ය කරුණු ඇතුළත් කරනු වෙනුවට ලිපියක පදාස පිටින් කපා දමා පළ කිරීමට ජනමාධ්‍යවේදීන් පොලඹවන ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් ඇත්ත වෙනුවෙන් තර්ජනයන්ට ලක් වන මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ශ‍්‍රමයෙන් ජනප‍්‍රියත්වයට පැමිණි පුවත්පත්වලින් මිලියන ගණන් වාර්ෂිකව ලාභ එකතු කරගන්නා පුවත්පත් හිමිකරුවෝ එකී ගවේෂණාත්මක කාර්යය නිසා මරණ තර්ජනයට ලක් වන තම මාධ්‍ය සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරති. ඇතැම් ආයතනවල ජනමාධ්‍යකරුවන් අසාධාරණයන්ට ලක් වෙද්දී හා සත්‍යය වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීමේ දී නීතිඥ සහාය පවා ලබා දෙන්නට ජනමාධ්‍ය ආයතන ඉදිරිපත් නොවේ. ඒ නිසාම ජනමාධ්‍ය සේවකයෝ ශ‍්‍රම සූරාකෑම නිසා පීඩාවට පත් වන අතරම තම වෘත්තිය නිසා ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමකට ලක්ව සිටිති. ජනමාධ්‍ය නිදහස පිළිබඳව ලෝකයේ විවිධ ක‍්‍රියාකාරීත්වයන් සිදු වෙද්දී අප රටේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තිය ආරක්ෂා කරගන්නටත් ජීවිත ආරක්ෂා කරගන්නටත් ආයාචනා කරන්නට සිදුව තිබේ.

මේ පසුබිම තුළ ලංකාවේ ජනතාව විසින් සිය නිදහසේ මූලික කොන්දේසියක් ලෙස ‘ජනමාධ්‍ය නිදහස’ රැුක ගන්නට ක‍්‍රියාකාරීව පෙරට ආ යුතු කාලය එළඹ තිබේ. ජනමාධ්‍ය පැවැත්මට අදාළ අයිතිවාසිකම් හා නිදහස යනු හුදු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන වලට පමණක් අදාළ වන්නක් නොවේ.

මුළුමහත් සමාජයේම නිදහස උදෙසා ඒ මුළුමහත් සමාජය විසින්ම ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයමය නිදහසත් තොරතුරු දැන ගැනීමේ අයිතියත් රැුකගත යුතු බව වටහා ගන්නට තවත් ප‍්‍රමාද විය යුතු නැත.

janarala -

Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts