Open top menu
Sunday, May 5, 2013


උතුරේ පළාත් සභා ඡුන්දය මේ වසරේ සැප්තැම්බර් මාසයේ පවත්වන බව ජනාධිපතිතුමා අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශකොට තිබේ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාකරගැනීම සම්බන්ධයෙන් එය වැදගත් කාරණයකි.

යුද්ධය අවසන්කොට වසර හතරක්ද අවසන් වෙමින් තිබේ. යුද්ධය පවත්වාගෙන යෑම සාධාරණීකරණය සඳහා ආණ්ඩුව උපුටා දැක්වූ එක් කාරණයක් වූයේ, එල්ටීටීඊ සංවිධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් බලහත්කාරයෙන් මර්දනය කරගෙන සිටින බවත්, එල්ටීටීඊය පරාජයකොට ලබන යුද ජයග‍්‍රහණයෙන් පසු එම අයිතිවාසිකම් නැවතත් ඔවුනට ලබාදීමට කටයුතු කරන බවත්ය. දැන් අවුරුදු හතරක්ම අවසන්වී ඇත්තේ එම පොරොන්දුව ඉටු කළයුතු කාලයෙනි.



ජනාධිපතිතුමා උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට ප‍්‍රකාශකොට තිබියදී, එයට එරෙහිව ආණ්ඩුවේම දේශපාලන හා නිලධාරී බලවේග වෙතින්ද, ආණ්ඩුවට හිතමිතුරු නමුත් ආණ්ඩුව දේශපාලන වශයෙන් විනාශය කරා ඇදගෙන යන්නට විශාල මෙහෙයක් කරන දේශපාලන විචාරක කල්ලි වෙතින්ද බලවත් විරෝධයක් පැනනගිනු දක්නට ලැබෙයි. සිය විරෝධය සාධාරණීකරණය සඳහා ඔවුන් විසින් සකස්කරගන්නා ලද ඊනියා දේශපාලන සූත‍්‍රයක්ද තිබේ. ඒ අනුව, උතුරු පළාත් සභාව ජයගනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. උතුර ජයගන්නා ඔවුන් නැගෙනහිර පළාත් සභාවේ සිටින මුස්ලිම් පාර්ශ්වයන් සමග එක්වී, සහයෝගයෙන් කටයුතු කරන හෝ ඒකාබද්ධ හෝ උතුරු-නැගෙනහිර පළාත් සභාවක් පිහිටුවා වෙනම පාලන ඒකකයක් ලෙස කටයුතු කරන්නට පටන්ගනු ඇත. පිටරටවල් සමග ඍජුව ගණුදෙනු කරනු ඇත. එනිසා උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් රට දෙකඩ වෙයි. ඊලාම් සංකල්පය වෙනත් පැත්තකින් ජයගනියි. මේ පාර්ශ්වයන්ගේ එක් යෝජනාවක් වන්නේ, 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකොට වෙනත් පාලන ආයතන ව්‍යුහයක් පිහිටුවන ලෙසයි. නැතහොත්, 13වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට හිමිව ඇති පොලිස් හා ඉඩම් ඇතුළු වැදගත් විෂයයන් පිළිබඳ බලතල මුළුමනින්ම ඉවත්කරන ලෙසයි.

මේ අදහස්, එක් පැත්තකින් පළාත් සභා මැතිවරණය පවත්වනවායැ’යි කියන ආණ්ඩුවේම අදහස්දැ’යි පැහැදිලි නැත. කෙසේ වෙතත් උතුරු පළාත් සභා ඡුන්දයකින් දෙමළ ජාතික සන්ධානය ජයගන්නට තිබෙන ඉඩකඩ වැඩිය. එවැනි තත්ත්වයක් මත, උතුරේ පාලනය තමන් වෙතින් ගිලිහී යාවියැ’යි සාධාරණ බියක් ආණ්ඩුවට තිබේ. ඒ අර්ථයෙන් ගත් කල, උතුරේ මැතිවරණය තවදුරටත් නොපවත්වා සිටින්නට උත්තේජකයක් ලෙස ආණ්ඩුවේ අභ්‍යන්තර බලවේග විසින් ගෙන එන මේ විරෝධය උපුටා දක්වන්නට හෙට අනිද්දා ජනාධිපතිතුමාම කටයුතු කළහොත් එහි පුදුම වන්නට දෙයක්ද නැත.

එහෙත්, උතුරේ පළාත් සභා මැතිවරණය වර්තමාන ආණ්ඩුවට සිය පාලනය පිළිබඳ ලිට්මස් පරීක්‍ෂාවකි. උතුරේ දෙමළ ජනතාවට හිමි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් මේ ආණ්ඩුව විසින් ගරු කැරෙන්නේද, දෙමළ ජනතාවට සිය අයිතිවාසිකම් ලබාදීමට ආණ්ඩුව අවංකවම කැපවී සිටින්නේද යන්න ගැන වැදගත්ම පරීක්‍ෂාව වනු ඇත්තේ එම පළාත් සභා ඡුන්දයයි. අනෙක් අතට, පසුගිය කාලයේ බරපතළ ලෙස මර්දනයට ලක්කරන ලද දෙමළ ජනතාවට තමන් පිළිබඳ අභිමානය පුනස්ථාපනය කරගන්නට ලැබෙන වැදගත් අවස්ථාවක් වන්නේද මේ මැතිවරණයයි. එය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වුවහොත්, තමන් පාලනය කිරීම සඳහා තමන්ගේම කැමැත්ත අනුව තමන්ගේම නියෝජිතයන් පත්කරගැනීමේ අවස්ථාවක් ඔවුන්ට හිමිවෙයි. එය කිසිසේත් නීති විරෝධී නොවන අතර, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුවට අත්‍යන්තයෙන්ම ගැළපෙන, අනුකූල පිළිවෙතක්ද වනු ඇත. ඒ අයිතිය ඔවුන් වෙත සහතික කරලීම අත්‍යවශ්‍යය. එනිසා උතුරේ නිදහස් හා සාධාරණ ඡුන්දයක් පැවැත්වීම සඳහා සියලූ පියවර ගැනීමත්, උතුරේ දෙමළ ජනතාවගේ ඡුන්ද අයිතියට ගරුකිරීමත් ආණ්ඩුව කළයුතුය.

යම් හෙයකින් විවිධ බලවේගවල පීඩනයට යටත්ව උතුරේ පළාත් සභා ඡුන්දය නොපැවැත්වුවහොත් හෝ 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් හෝ පැනනනගින ප‍්‍රතිඵල දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් රටට සුබදායීී නොවන බව නම් පැහැදිලිව ලියා තැබිය යුතුය.

රාවය -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts