Open top menu
Sunday, May 5, 2013


‘‘රජවාසලට ඉන්ධන සැපයීමේ රාජකාරිය පැවැරී තිබුණේ තාප්පකාර මුහන්දිරම්ටය. ගබඩා ගම්වලින් ඉන්ධන රැස්කිරීමේ යෙදුණේ ‘‘හංගිඩියා’’ නම් කෝරාළවරුන්ය. දර, කොප්පරා, පොල්තෙල්, කැකුණ ඉටි ආදිය රැස්කර මාලිගාව එළිය කිරීම පන්දම් පට්ටලේ කාරියයි. ගබඩාගම්වලින් ඉන්ධන සොයාගැනීමට අපහසු වුවහොත් ‘‘හංගිඩියා’’වරු කරන්නේ අවට ගෙවල්වලට පැන ජනතාව රැස්කර තබාගත් දෑ කොල්ලකා මාලිගාවේ ගබඩා ගෘහය පිරවීමයි. ‘‘ජනතාව අඳුරේ තබා රජමැදුර ආලෝක කළේ එසේය.’’

උඩරට රජුගේ පාලනය පිළිබඳව ජෝන් ඩොයිලි මෙසේ සටහන් කරන්නේ 19 වැනි සියවසේය. දැන් රටේ සිටින්නේ ජනාධිපතිවරයෙකි. තාප්පකාර මුහන්දිරම්ගේ රාජකාරියත්, හංගිඩියාගේ රාජකාරියත්, පන්දම් පට්ටලේ රාජකාරියත් තමාගේ බලතල අනුව සපයාගතහැකි ‘‘විධායක’’ බලතල සහිත ජනාධිපතිවරයෙකි.

අපේ‍්‍රල් මාසයේ විදුලිබිල ඉහළ දැමීම වෙනුවෙන් ආණ්ඩුව කෙකර ගාන්නට පටන් ගත්තේ ඉකුත් පෙබරවාරි මාසයේ සිටය. ‘‘විදුලිය ගාස්තු නැංවීමට කටයුතු කරන්නේ ජනතාවගේ පැත්තෙන් සිතාමතා බලලා පමණයි.’’ යනුවෙන් වගකිව යුත්තෝ කෙඳිරිගෑවෝය. සිංහල අවුරුද්දේ නැකැත්
චාරිත‍්‍රවලට අනුව ලිප ගිනි මෙළවීමට සූදානම් වෙමින් සිටි ජනතාවගේ හිස ගිනිලෑවේය. අපේ‍්‍රල් 12 වැනි දින විදුලිය ගාස්තු වැඩිකරන බව නිවේදනය කිරීමෙන් පසුව අපේ‍්‍රල් 14 වැනිදා අරලියගහ මැදුරේ සිට විධායක ජනාධිපතිවරයා අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයක්ද ජංගම දුරකථනවලට එවනු ලැබීය. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකු යැයි ජනවහරේ කියන්නේ මේ වගේ වැඩවලටය.

පුරාණයේ සිටි එක්තරා මහමුදලිවරයෙකු තමන්ගේ වත්තේ පොල් අහුලන කාන්තාවන් මට්ටු කරන්නට සිතුවේය. වත්තට කාන්තාවන් එන වෙලාව දැනගත් මහමුදලි නිරුවතින් පොල්වත්තේ සැරිසැරුවේය. පොල් ඇහිඳීමට පැමිණි කාන්තාවන් ආපසු හැරී දිව්වේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුවෙලා යයි කියමිනි. දැන් කීමට ඇත්තේ ‘‘ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකු’’ බවය.


ආණ්ඩුව ජල බිල ඉහළ දැමුවේ 2012 වසරේ ඔක්තෝබර් 01 දිනය. 5% සිට 20% දක්වා ජලගාස්තු නැංවීය. එම වසරේ දෙසැම්බර් 14 දින පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 10.00 කින් ඉහළ දැමුවේය. යළිත් 2013 වසරේ පෙබරවාරි 22 මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකවන පරිදි පෙට‍්‍රල්, ඩීසල්, භූමිතෙල් පිළිවෙළින් රුපියල් 03ක්, රුපියල් 06ක් සහ රුපියල් 04ක් ලෙස ඉහළ දැමුවේය. රුපියල් 30.50ට තිබූ භූමිතෙල් ලීටරය රුපියල් 106 දක්වා ඉහළ දැමුවේ සියයට දෙසිය පනහක ප‍්‍රතිශතයකිනි. වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිවීමේ වරදට ධීවරයෙකු හලාවතදී වෙඩිතබා ඝාතනය කළේය. තත්වය මෙසේ තිබියදී 2013 අපේ‍්‍රල් 12 වැනිදා සිට විදුලිබිල 60%කින් ඉහළ දැමීම අනුමත කළහැක්කේ කාටද? යෝජනා කළහැක්කේ කාටද? ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ ඉන්ධන මිල ඉහළයාම නිසා විදුලිබිල වැඩිකරන්නට සිදුවූ බවය. පවිත‍්‍රා ලවා එය කියවා මිල වැඩිකිරීමේ චෝදනාව පවිත‍්‍රාටම යන ආකාරයේ සූත‍්‍රයක් නිර්මාණය කළේය. මැදමුලනේ සූරපප්පා කෝකෙනුත් නිදහස්ය.

සූරපප්පා විදුලි බලාගාර විවෘත කරමින් පංචකේන්ද්‍රීය ආශ්චර්යය ගැන කීවේය. අඩුමිලට විදුලිය උපදවන බව කීවේය. ජනතාවට සහන සලසන බව කීවේය. සංවර්ධනය ගැන දවසකට 60 වරක්වත් මුරගෑවේය. ඒ සියල්ලම මීයාගේ ලී කැපිල්ලට සමානය. මීයා කොතෙක් ලී කැපුවත් හැදූ භාණ්ඩයක් නැත. මහින්ද රාජපක්ෂගේ කයිවාරුවද එසේය. සද්දේ තිබුණත් ඇති බම්බුවක් නැත.


2008 වසරේ සිට 2012 වසර දක්වා තෙල් කාන්දුවීම් 34කින් බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 500ක් අපතේ ගොස් තිබේ. ලක්ෂ 13ක් වන ලංකාවේ විදෙස් ශ‍්‍රමිකයන් උපයන මුදල වැයවන්නේ ඛනිජ තෙල් ආනයනයටය. වාර්ෂිකව ඔවුන් උපයන ඩොලර් මිලියන 6.6ක මුදල ඛනිජ තෙල් ආනයනයට යොදවා ඒවා අපතේ යාමට ඉඩහැරීම ආණ්ඩුවේ කාලකණ්ණිකමකි. හෙජිං ගනුදෙනුවේ කැබිනට් පත‍්‍රිකාවට අත්සන් කළේ මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂය. 2012 නොවැම්බර් 01 අන්තර්ජාතික බේරුම්කරණ මණ්ඩලය ලංකා රජයට දැනුම් දුන්නේ හෙජිං ගනුදෙනුවේ වන්දිය සහ පොලිය වෙනුවෙන් රුපියල් කෝටි 1,040ක් ජාත්‍යන්තර බැංකුවට ගෙවිය යුතු බවය. මේවාට වගකිව යුත්තේ රටේ මුදුනාය. කෝප් වාර්තාවට අනුව අන්ත දූෂිතම ආයතන ලෙස ඉදිරියෙන් සිටින්නේ ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලයය. දැන් ඒ සියලු බර පටවා ඇත්තේ ආණ්ඩුව නඩත්තු කිරීමට සියලු දේ උපයා දෙන ජනතාවගේ හිසමතය.

2011 වසරේ විදුලිබල මණ්ඩලය ලැබූ අලාභය රුපියල් බිලියන 19.3ක් හෙවත් රුපියල් කෝටි එක්දහස් නවසිය තිහකි. 2012 වසරේ බිලියන 61.2ක් හෙවත් රුපියල් කෝටි හයදහස් එකසිය විස්සකි. අලාභය වර්ධනය වී ඇත්තේ 217%කිනි. විදුලිබල මණ්ඩලය විදුලි සැපයුම්කරුවන්ට ගෙවියයුතු මුදල රුපියල් බිලියන 21ක් හෙවත් රුපියල් කෝටි 2,100කි. රුපියලේ අගය අවප‍්‍රමාණය කිරීමෙන් විදුලිබල මණ්ඩලයේ වියදම රුපියල් බිලියන 132කින් හෙවත් රුපියල් කෝටි දහතුන්දහස් දෙසීයකින් ඉහළ ගොස් ඇත. විදුලිබල මණ්ඩලය මහජන බැංකුවට පමණක් ණය වී ඇති මුදල රුපියල් බිලියන 42ක් හෙවත් රුපියල් කෝටි හාරදහස් දෙසීයකි. චින්තන පොත්ගෙඩියේ ඉදිරි දැක්මේ කියුවේ ‘‘සැමට සැමදා විදුලිය’’ අඩු වියදම් විදුලි නිෂ්පාදනයක් කරා ගමන් අරඹන බවය. ජල බලය, ඛනිජ තෙල්, පුනර්ජනනීය ප‍්‍රභවයන් ඔස්සේ විදුලිය නිෂ්පාදනය කරන බවද මහින්ද චින්තන පොත්ගෙඩියේ ලීවේය.

නොරොච්චෝලේ, ත‍්‍රිකුණාමලය ගල්අඟුරු බලාගාර ඇතිකර, ඉහළ කොත්මලේ, උමා ඔය, ගිං ගඟ, බ්‍රොඩ්ලන්ඩ්ස්, මොරගොල්ල යන ප‍්‍රදේශවල නව ජලවිදුලි බලාගාර ඇතිකරන බවත් ඒ වෙනුවෙන් සමස්ත රාජ්‍ය ආයෝජනය රුපියල් මිලියන 933,225ක් බවත් කීවෝය.

නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගෙන තිබේ.

2011 ජූලි මස 24 වාණිජ්‍ය මෙහෙයුම් කටයුතු ආරම්භ කල නොරොච්චෝල බලාගාරය 2012 සැප්තැම්බර් වනවිට 19 වතාවක් අක‍්‍රිය වුණේය. ලක්විජය බලාගාරය 20 වතාවකුත් යුගදනව් බලාගාරය 17 වතාවකුත් අක‍්‍රිය විය. දැන් සැමට විදුලි සැර වැදීමට පටන්ගෙන තිබේ. අලුත්කඩේ මෙහෙයුම පෙබරවාරියේ අවසන් කළ ආණ්ඩුව මාර්තුවේ සසුන පිට නැග හලාල් විරෝධී මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. ඊළඟට පටන්ගෙන ඇත්තේ ‘‘අකුණු පහර’’ මෙහෙයුමය. කාලකණ්ණි, නාස්තිකාර, දූෂිත රාජ්‍ය නඩය ජනතාවට බර පටවන්නේ කිරෙන් කා තෙලෙන් අත සෝදන ගමන්ය. රජගෙදර නාම්බන්ට රේස් පදින්නට විදුලිබිල් ගෙව්වේ මේ රටේ දුක්විඳින ජනතාවය. 2011 දෙසැම්බර් 16-17 පිටකොටුව ඒකාලෝක කර රේස් දිව්වේය. 2012 ලැම්බෝගිනි ආනයනය කර දෙසැම්බර් 14/15 රේස් දිව්වේය. අරලියගහ මැදුරේ ක‍්‍රීඩා සමාජය හෙවත් කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් මේවා සංවිධානය කළේය. පැය 48ට ලක්ෂ 250ක් වැය කළේය. දැයට කිරුළ වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 2,000ක් යොදවාගෙන සැණකෙළි කරන්නේය.

විදුලිබිල ඉහළ දැමීමෙන් ජනතාවෝ තුන්ආකාර පීඩාවකට ලක්වී සිටිති. මේ ප‍්‍රහාරය බර්මියුඩා ති‍්‍රකෝණය තරම්ම අද්භූතජනකය. නිවසේදී විදුලි බිලට කෙළින්ම හසුවන නිවැසියා භාණ්ඩ හා සේවා මත පැටවෙන බරට මහමගදී මුහුණ දේ. ඊළඟට සේවා ස්ථානයේ දිරිදීමනා, සුබසාධන, වැටුප් කප්පාදු හරහා පීඩාවට පත්වේ. කර්මාන්ත බිඳවැටීම, ආයෝජන අවස්ථා අහිමිවීම, විරැකියාව, දුප්පත්කම වර්ධනය වෙන්නට මහින්දගේ ඉන්ධන ගැලපුම් ගාස්තු සංශෝධනයම ප‍්‍රමාණවත්ය. ජනතාවන් හසුවන්නේ මේ තුන් ආකාර පීඩාවටය.

අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටෙද්දී 2012 ආණ්ඩුව මිලියන 17.37ක් වැය කළේ පොලිස් කැරළි මර්දන ඒකකයට ජනතාව තලන පෙලන උපකරණ ගෙන්වීමටය. විදුලි ගාස්තු සංශෝධනයෙන් පහර වදින්නේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාටය. සහන ඇත්තේ මහා පරිමාණ කර්මාන්ත සහ සූදු අන්තුවන්ටය. ගාස්තු සංශෝධනය කර ඇත්තේ තරු පහේ හෝටල් සමාගම් සහ ඉදිරියේදී සූදු මැදුරු තනන රාජපක්ෂ හිතාදර ආයෝජකයන්ගේ සිත් නොපෑරෙන ආකාරයටය. උතුරු ජනනී විදුලි බලාගාරය විවෘත කළේ 2013 පෙබරවාරි 12 වැනි දිනය. එහි සමරු ඵලකයට ලක්ෂ 10ක් පමණ වැයකර ඇතිබවට මාධ්‍ය වාර්තාද පළවිය. නාස්තියේ පිඹුරුපත් තැනෙන්නේ අරලියගහ මැදුරෙන්මය. ජනතාව විදුලි පුටුවේ හිඳුවා මාසිකව විදුලි සැර වැද්දවීම බක්මහ හෙවත් භාග්‍යවන්ත මාසයෙන්ම පටන් ගත්තේය. විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති වැය ශීර්ෂය සඳහා පසුගිය අය-වැයෙන් වෙන්කරගත් මුදල රුපියල් හත්සිය හතළිස්කෝටි හතළිස් හතර ලක්ෂ හැත්තෑ දහස (7,404,470,000/=) කි. දේශපේ‍්‍රමය, මානව පේ‍්‍රමය ගැන දෙසන මේ විධායක ජනාධිපතිගේ දිනක  වියදම දෙකෝටි දෙලක්ෂ අසූහයදහස් දෙසිය දහනවය (20,286,219/=) කි. 2013 වසරේ අය-වැයෙන් අපේක්ෂාකළ මුළු බදු ආදායම රුපියල් කෝටි අනූඑක්දහස් දහයකි. රටේ එක පුරවැසියෙකුගෙන් අයකර ගැනීමට ඉලක්ක කර ඇති බදු මුදල රුපියල් හතළිස් තුන්දහස් හත්සිය පනහකි. එසේ කර තිබියදී මැදමුලනේ ගොවි වලව්වෙන් පැමිණි විධායක ජනාධිපතිවරයා විදුලි බිලේ බරත් ජනතාවගේ පිට මත පැටෙව්වේය. උත්තරීතර යැයි කියාගන්නා පාර්ලිමේන්තුවේ ඉකුත් මාර්තු මාසයේ විදුලි බිල පමණක් රුපියල් හැටතුන්ලක්ෂ හැටදහස් පන්සිය අසූ පහකි. ගිණුම් අංක 4270001461 යටතේ විදුලිබල මණ්ඩලය නිකුත්කළ බිලෙහි දැක්වෙන්නේ රුපියල් 6,360,585 යි ශත 75 ක් ලෙසය. මේවා ගෙවන්නේ ජනතාවය. අයකර ගන්නේ ජනතාවගෙන්ය. ගිණුම් අංක 4170001788 යටතේ ඇති හෝමාගම, දියගම, මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩා සංවර්ධන පදනම (Mඅහින්ඩ ර්‍අජපක්ශ Sපොර්ට් ඪෙවෙලොප්මෙන්ට් Fඔඋන්ඩටිඔන්, ඪියගම, Hඔමගමාට අයත් ක‍්‍රීඩාංගණයේ මාර්තු මාසයේ විදුලි බිල රුපියල් හැටතුන්ලක්ෂ හතළිස් පන්දහස් තුන්සිය තුනයි ශත හැට අට (6,345,303.68/=)කි. තවමත් එකදු රුපියලක් හෝ ගෙවා නැත. ආගමික ස්ථානවලට විදුලි බලය ලබාදෙන ශීර්ෂය යටතේ මෙම ක‍්‍රීඩාංගණයට විදුලිය ලබාදී තිබේ. මෙය හොර වැඩකි. එම මුදලද අයකර ගන්නේ ජනතාවගෙනි. අරලියගහ මැදුරට සපයන විදුලි බලය සඳහා ගෙවන්නේද ජනතාවය. කථානායක නිළ නිවසට බිල ගෙවන්නේද ජනතාවය.

බල්ගේරියාවේ විදුලිබල ඇමැති හා නියෝජ්‍ය අගමැති ධුර දැරූ බොයිකෝ බොරිසොව් (ඹොය්කො ඹොරිසොව්) 2013 පෙබරවාරි 18 සිය ධුරවලින් ඉල්ලා අස්වූයේ 19.7% සිට විදුලිබිල 22% දක්වා වැඩිකිරීම හේතුවෙන් මතුවූ ජනතා විරෝධය නිසාය. අසමත්කම පිළිගෙන හේ නම්බුකාරපිට ගෙදර ගියේය. ලංකාවේ එහෙම වෙන්නේ නැත.

උරුගුවේ ජනාධිපති ජෝස් ඇල්බර්ටෝ පෙපේ මුජිකා කොර්ඩනෝ (Jඔස්é ඇල්බෙර්ටො "ඵෙපෙ" Mඋජිcඅ Cඔර්ඩනෝ හෙවත් ජනතාව ආදරයෙන් හඳුන්වන ‘‘පෙපේ’’ ලොව සිටින දුප්පත්ම ජනාධිපතිවරයාය. එහෙත් දේශපාලනයෙන් පොහොසත්ම ජනාධිපතිවරයාය. 2010 උරුගුවේ ජනාධිපති ලෙස පත්වූ හෙතෙම අමෙරිකන් ඩොලර් මිලියන ගණනක වටිනාකමින් යුතු ජනපති මැදුර ප‍්‍රතික්ෂේප කළේය. හෙතෙම තම රාජකාරි නිසි පරිදි ඉටුකරමින් තම බිරිඳට අයත් ග‍්‍රාමීය නිවස ජනපති මැදුර කරගත්තේය. ආරක්ෂක ප‍්‍රධානීන්ගේ විරෝධය නොතකා ප‍්‍රභූ ආරක්ෂාව ප‍්‍රතික්ෂේප කළේය. ආරක්ෂාව ලබාගැනීම අනිවාර්ය කර ඇති නිසා දිවා කාලයට පමණක් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සිය නිවසේ රඳවා ගනී. රාත‍්‍රී කාලයට ආරක්ෂකයෝ නැත. එකම ආරක්ෂකයා මැනුවෙලා නමැති කකුල් තුනක් පමණක් ඇති ආබාධිත සාමාන්‍ය බල්ලෙකි. ජනපති තනතුර සඳහා ලැබෙන අමෙරිකන් ඩොලර් 12,000ක වැටුපෙන් හෙතෙම ලබාගන්නේ සියයට අටක් පමණි. ලංකා මුදලින් නම් රුපියල් පහළොස් ලක්ෂ විසිහතර දහසකින් එක්ලක්ෂ විසිඑක්දහස් නවසිය විස්සකි. ජනපති වැටුපෙන් 92%ක් රටේ දුප්පත් ජනතාව නගාසිටුවීම සඳහා කරන පරිත්‍යාගයයි. ජනපතිගේ සම්පූර්ණ වත්කම් ප‍්‍රමාණය අමෙරිකාවේ කම්කරුවෙකුගේ අවම වැටුපට සමානය. උරුගුවේ ‘‘පෙපේ’’ ට වෙනම හෙලිකොප්ටර්, ගුවන් යානා හෝ සුඛෝපභෝගී වාහන නැත. ඒවා පාවිච්චි කරන්නේද නැත. රජ බොජුන් වෙනුවට හේ ගෙවත්තේ වගා කරන එළවළු, පලතුරු  පමණක් ආහාරයට ගනී.

‘‘මම කිසි කලෙකත් රටේ ජනතාව අබිබවා යන්නේ නෑ...’’ යයි ඔහු ජාත්‍යන්තර සමුළුවකදී කියා තිබේ. මැදමුලනේ ජනරංජන ජනමූල මහින්ද උරුගුවේ ජනාධිපතිගෙන්වත් ඉගෙනගත යුතුය. ජනතා දේපළ ඍජුව හා වක‍්‍රව සූරාකෑම ප‍්‍රතික්ෂේප කළ උරුගුවේ පෙපේට රටම ආදරේය. ඔහු රටේ සාමාන්‍ය පුරවැසියෙකි. එහෙත් අපේ රටේ රජා නොහොත් ආඩම්බරකාර පප්පා, උරුගුවේ ජනාධිපතිගේ මාසික වැටුප තරම් මුදලක් දිනකට වැයකරන්නේය. උරුගුවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 176,215 කි. ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610 කි. රටේ ඕනෑතරම් භූමියක් පවා තිබියදී තමා වගාකරන භූමිය පමණක් උරුගුවේ ජනාධිපතිවරයා සතුව පවතී.

විදුලි බිල ඉහළ දමා රටේ ජනතාව පීඩාවට පත්කරන මොහොතේ දේශමාමකයෝ බණ කියති. සංවේදී කලාකරුවෝ අධිෂ්ඨාන පූජා පවත්වති. හලාල් විරෝධයෙන් වීදි බැස සටන් කළ හාමුදුරුවරු අමෙරිකාවේ සංචාරය කරති. උගත්තු, වියත්තු, බුද්ධිමත්තු ගොරවමින් නිද්දට වැටෙති.

‘‘මානව සමාජයේ යහපත වෙනුවෙන්, රටක යහපත වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් හඬනැගීමට සහ වැඩ කිරීමට රටක සියලු පුරවැසියන්ට නොහැකිය. ඒ ශක්තිය තිබෙන්නේ දැන උගත් පිරිසටයි.’’ අප‍්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වරක් කීවේය. මැන්ඩෙලා කී ලෙසම එවැනි මිනිසුන්ගේ හිඟකමින් අපේ රටට තව කොතෙක් කල් අඳුරේ ලගින්නට සිදුවේදැයි නොදනිමු.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts