Header Ads

ලාබ තොරම්බල් මාධ්‍ය සංස්කෘතියට එරෙහිව ( සිළුමිණ කතු වැකිය)


වැඩ කරන ජනතාවට දිනයක් ඇත. මවුවරුන්ට දිනයක් ඇත. ළමයින්ට ද දිනයක් ඇත. මේ ආදී වශයෙන් බොහෝ අයට දින ඇත. ඒ අනුව මාධ්‍යවේදීන්ට ද දිනයක් ඇත. ඒ දිනය ද ගෙවී ගියේ ය. එසේ ගෙවී ගියේ කතාබස් කළ යුතු බොහෝ කාරණා ශේෂ කරමිනි.

ජනමාධ්‍යවේදීන්ගේ දිනයේ දී බොහෝවිට සාකච්ඡා වෙන්නේ මාධ්‍ය නිදහස ගැන ය. මාධ්‍ය වගකීම ගැන කතා වෙනවා අඩු ය. නැත්තටම නැති ගාණ ය.

අප ජනමාධ්‍යවේදීන්ගේ දිනය ගැන කතා කරන්නේ මාධ්‍ය ඉතිහාසයේ එක්තරා අර්බුදකාරී පසුබිමකට සේන්දු වී ඇති තත්ත්වයක් ඇතුළත ය. එය අවධාරණයෙන් විමසා බැලීම වටී.

එක් පසෙකින් නවීන තාක්ෂණය විසින් ද තවත් පසෙකින්
වෙළෙඳපොළ විසින් ද මාධ්‍ය ක්‍ෂේත්‍රය ග්‍රහණයට හසුකරගෙන තිබේ. මාධ්‍යයේ නිදහස යන්න සීරුමාරු වෙන්නේ එවන් පසුබිමක් මත ය. සමාජයීය සංකීර්ණත්වය වර්ධනය වන විට සාකච්ඡා කළ යුතු මාතෘකා ප්‍රමාණය ද වර්ධනය වෙයි. සමාජගත කළ යුතු තොරතුරු අසීමිත වේ. ඒ අසීමිත තොරතුරු දැනගැනීම සඳහා ජනතාව අතර ඇති ඉල්ලුම ද අසීමිත වේ.

ඒ පසුබිම තොරතුරු වෙළෙඳාම වෙනුවෙන් ඉතා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරයි. එසේ සලකන විට අපට පෙනෙන්නේ වෙළෙඳපොළ මාධ්‍ය සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවය. එනම් වෙළෙඳාම සඳහා මාධ්‍ය අනුගත කිරීමේ සංස්කෘතියක් ය.

මේ කාරණාව තවත් සරල කොට කිවහොත් විකිණිය හැකි තොරතුරු හා විශේෂාංග සම්පාදනය කිරීම අද මාධ්‍ය කලාව බවට පත්වී ඇත.

පහසුවෙන් විකිණිය හැකි භූත කතා, දූෂණ කතා, අපරාධ කතා, කාම කතා මාධ්‍ය ක්‍ෂේත්‍රය ආක්‍රමණය කොට ඇති බවක් පෙනේ. මාධ්‍ය නිදහස යන සංකල්පයට මුවාවෙමින් වල්බූරු නිදහසක් බුක්තිවිඳින තොරම්බල් මාධ්‍ය සංස්කෘතියක් බිහිවී ඇත්තේ ඒ නිසා ය. මෙය මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යෙදවීමකට අඩු යමක් නොවේ.

තොරම්බල් මාධ්‍ය සංස්කෘතිය විසින් ප්‍රතිඵල දෙකක් ලබාදෙයි. ඉන් පළමුවැන්න මාධ්‍යකලාවේ පැවැති ප්‍රමිතිය පහළට ඇද දැමීමයි. එනම් පාඨකයාගේ ප්‍රබුද්ධ රසිකත්වය විනාශ කිරීමයි. වර්තමානය වන විට මේ අභියෝගය එළිපිටටම පැමිණ තිබේ. මේ මුදලාලි මාධ්‍ය සංස්කෘතිය විසින් තොගපිටින් විකුණනු ලබන අපරාධ, භූත, කාම, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර කතා රැල්ල අද මාධ්‍ය වෙළෙඳපොළේ බක්කියක් බක්කියක් ගාණේ දක්නට ලැබේ.

අනෙක් පසින් නිදහස් මාධ්‍ය සංකල්පයට මුවාවෙමින් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඩොලර් නෝට්ටුවලට විකුණන මාධ්‍ය වෙන්දේසියක් බවට ද පත්ව තිබේ.

මේ මුදලාලිකරණය විසින් අයාලේ පාකර හරිනු ලබන මාධ්‍ය ක්‍ෂේත්‍රය ප්‍රමිතිගත ස්ථාවරත්වයක ගැටගැසීම සඳහා කිසිදු මානයක් ද ඇති බවක් නොපෙනේ. එවැනි මානයක් නැති කල්හි මාධ්‍ය ක්‍ෂේත්‍රය මඩගොහොරුවක ගිලේ.

මේ වසරේ ජගත් ජනමාධ්‍යවේදීන්ගේ දිනය ගෙවී ගියේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය එවන් මාධ්‍ය ගොහොරුවක ගිලෙමින් තිබිය දී ය.

එබැවින් ජනමාධ්‍යවේදීන්ගේ දිනය අප ඉලක්ක කොටගත යුත්තේ මේ ගොහොරුවෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රය ගලවා ගන්නේ කෙසේද යන්නට ය. ඒ සඳහා පුළුල් අවබෝධතාවක් සමඟ බද්ධ වූ නියාමන ජාලයක් ද අවශ්‍ය වන්නේ ය.

නියාමන පද්ධති එනතෙක් බලා නොසිට මාධ්‍යයේ ගරුත්වය රැකගනිමින් ස්වකීය වෘත්තීය ගරුත්වය රැකගනිමින් මාධ්‍යකරණයේ නියැළීම මාධ්‍යවේදීන් සතු වගකීමයි. ඒ සඳහා අවශ්‍ය පූර්වාදර්ශ අපේ මාධ්‍ය ඉතිහාසයේ පිටු අතර ඕනෑතරම් සටහන් වී තිබේ. අවශ්‍ය වන්නේ ඒ ඉතිහාසය පෙරළා බලා තමන් සිටින්නේ කොතැනකද යන්න තමා විසින් ම නිශ්චය කරගැනීමයි.

No comments

Powered by Blogger.