Header Ads

ගානකට නැති රටක්

Add caption
 තිසරණී ගුණසේකර -

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද තිබේ. වෙසක් සමයේ ඇති වු සිදුවීම් දෙකක් හරහා මේ සමාජයීය විපත මොනවට විදාරණය කෙරුණි.

බරපතල තුවාල ලත් රෝගියෙකුට කොළඹ මහ රෝහලේ ඇතැම් හෙදියන් සහ වෛද්‍යවරුන්
දැක්වූ උදාසීන නොසැළකිල්ල ගැන සෑහෙන ප‍්‍රසිද්ධියක් ලැබුණි. ඒ, අදාළ කාන්තාව රෝහලට ගෙන ගිය අනාථ-සරණ සෙලීනා ඞී. පීරිස් මහත්මියට ස්තුති වන්නටයි. රෝගියා ගැන උත්සුක විය යුතු කොටස්වල කුසීත කම ඈ සියැසින්ම දැක්කාය. මෙය, රාජ්‍ය අංශයට පමණක් අදාළ ප‍්‍රශ්නයක් වශයෙන් ගත යුතු නැත. මන්ද යත්, පෞද්ගලික රෝහල්වලින් ද එවැනිම බියකරු සිදුවීම් ගැන වාර්තා වී ඇති හෙයිනි. නවලෝක රෝහලේ දී මියගිය දරුවාගේ සිද්ධිය ඊට ඇති මෑතම උදාහරණයයි. එසේම, මෙය රෝහල්වල පමණක් තිබෙන ප‍්‍රශ්නයක් ද නොවේ. මේ කුසීත උදාසීනත්වය, හැම අවකාශයකම- රාජ්‍ය, පෞද්ගලික, දේශපාලනික සහ නිර්දේශපාලනික- ආදී වන හැම අවකාශයකම දක්නට ලැබේ.

හමුදාකරණය වූ වර්තමාන ලාංකීය හර පද්ධතිය තුළ දුබලතාව අවඥාවට ලක්කොට හයියට වන්දනාමාන කෙරේ. වින්දිතයන් නොතකා හැරේ. සැබෑ කරුණාව වෙනුවට සිංහාසනාරූඪ කෙරෙන බොල් ශ‍්‍රද්ධාව, ආගමික සන්නම් හරහා කරලියට ගෙනේ.
රාජ්‍ය වෙසක් උත්සවය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් බුත්තල දී පැවැත්වුණි. ඊට දින කිහිපයකට පෙර, ප‍්‍රාදේශීය බලධාරීන් විසින් එම පළාතේ සිටි අයාල බල්ලන් 38 දෙනෙකු වස දී මරණයට පත්කරන ලදි. ඒ, වෙසක් උත්සවයට උන්ගෙන් කරදරයක් නොවනු පිණිස යි. බුද්ධාගම සේ වර්තමානයේ සලූපිලි ගන්වා ඇති අමන ප‍්‍රදර්ශනකාමීත්වය සහ ජඩ කුහකත්වය, මීටත් වඩා කුළුගැන්විය හැකි වෙනත් සිදුවීමක් තිබිය හැකි ද? සිය ධර්මයේ ප‍්‍රමුඛස්ථානය සකල සත්වයා කෙරෙහි වන මහා කරුණාවට වෙන් කළ උතුම් යතිවරයෙකුගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සැමරීම සඳහා අසරණ සතුන් ඝාතනය කිරීම: ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම අද පත්වෙමින් සිටින තත්වය මේක ද?

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ජීවත් වු නිවහන්වලින් පැය 24 ක් ඇතුළත පිටවන්නැ යි, දඹුල්ලේ පවුල් 35 කට මේ සතියේ නොතීසි නිකුත් කෙරුණි. දඹුල්ල පූජා නගරයක් කිරීමේ එල්ලය ඒ කර්කශ නියෝගයට පාදක විණැ යි කියැවේ. රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් වන මොවුන්ට කිසි වන්දියක් ලැබෙන එකක් නැත. එහෙත් මනුෂ්‍යයන් වශයෙන් සේම රටේ පුරවැසියන් වශයෙන් ද සානුකම්පික දයාවක් ලැබීමට ඔවුන් සුදුස්සෝ ය. පන්සලක් රැුක ගැනීමට දරු පවුල් පාරට ඇද දැමීම බුද්ධ දේශනාවට නොගැළපෙන්නකි.

තවත් මාධ්‍ය වාර්තාවකට අනුව, කල්පිටියේ දුපත් 13 ක් විදේශිකයන්ට විකුණා තිබේ. ඒ මගින්, දහස් ගණන් මිනිසුන්ට උන්හිටි තැන් සේම ජීවිකාව ද අහිමි කෙරෙනු ඇත. එහෙත් ඒ ඛේදවාචකයත් අපේ අවධානයෙන් ගිලිහී යනු ඇත.

අනේ අපොයි නොකියන රටක් පත්වන්නේ ඒ තත්වයටයි.

දයාව මියැදෙන විට

2009 ඔක්තෝබර් මාසේ දවසක් දා, බම්බලපිටියේ යනෙන වාහනවලට මිනිහෙක් ගල් ගසන්ට විය. සිහිකල්පනාව ඇති කිසි මිනිහෙක් එවැනි ක‍්‍රියාවකට යොමු විය නොහැකි බව සාමාන්‍ය බුද්ධියෙන් කාටත් වටහාගත හැකිය. එවන් අවස්ථාවක දී, ශිෂ්ට සම්පන්න සමාජයක සාමාන්‍ය ප‍්‍රතිචාරය විය යුත්තේ එම මිනිසාව මෙල්ල කරගෙන වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමයි.

එහෙත් එම දවසේ බම්බලපිටියේ රජ කෙළේ යක්ෂ සේනාවකි. අසංවර පොලිස්කාරයන් සහ සාමාන්‍ය වැසියන් පිරිසක් ගල් ගසන්නා පස්සේ පන්නන්ට වූහ. තමාව ලූහුබඳින සැහැසි ජනයාගෙන් බේරි පලා ගිය මේ මිනිසා ජීවිත රැුකවරණ පතා පැන්නේ මුහුදටයි. ඔහු පසු පස්සේම මුහුදටත් පැන්නූ පොලිස්කාරයන් දෙන්නෙක් එවිට ඔහුට පොලූ මුගුරුවලින් පහර දෙන්නට වූහ. පහරකෑමෙන් ගැලවෙන්ට ඔහු අනන්තවත් පින්සෙන්ඩු වන සැටි, මේ සිද්ධිය රූපගත කළ වීඩියෝ පටවල සටහන්ව තිබේ. එහෙත් ඔහුටත් වඩා උග‍්‍ර උමතුවෙන් සිටි අර ප‍්‍රහාරකයන් තුළ මේ මිනිසා වෙනුවෙන් කිසි දයාවක් නොවුණි. ඒ ම්ලේච්ඡු ප‍්‍රහාරය ඉදිරියේ අර මිනිසාට කළ හැකිව තිබුණේ මුහුදේ තව තවත් ගැඹුරට පසුබැසීම පමණි. අවසානයේ ඔහු දියේ ගිලී මියගියේය.

මනුෂ්‍යයෙකු මරණයට පත්කළ ප‍්‍රහාරකයන් දෙන්නාත්, එසේ මරණයට පත්වන සැටි බලා සිටි සියයකට අධික පේ‍්‍රක්ෂක ජනයාත්, මදකට නතර වූ තමන්ගේ දෛනික චර්යාවන් වෙත, එයින් පසු ආපසු ගියහ.

පොලිසිය මුලින් කීවේ මිනිසා දියේ ගිලී මියගිය බවකි. එහෙත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඡුායාරූප ශිල්පියෙක් මේ නොමිනිස් කමේ චිත‍්‍රාභිනය රූපගත කොට තිබුණි. අපරාධයක් සිදුව ඇති බව පොලීසිය පිළිගත්තේ එම රූප රාමු ප‍්‍රසිද්ධියට පත්වූ පසුවයි.

මෙසේ මියගිය පුද්ගලයා ඇත්ත වශයෙන්ම උමතු රෝගියෙකු බව පසුව අනාවරණය විය.

ඒ රුදුරු සිද්ධියත්, ඉන් නිරූපිත සදාචාරමය පවිටු බව සහ අනීතිකත්වයත්, ශ‍්‍රී ලංකාව සීග‍්‍රයෙන් ගිලෙමින් සිටි අසංවේදීත්වයේ සහ තිරිසන්කරණයේ අනතුරු ඇඟවීමක් විය.

දෙවැනි ලෝක යුද්ධ කාලයේ සිදු වූ යුදෙව් මහා ජන සංහාරය ගැන කතා කරමින් හැනා ආරෙන්ඞ් මෙසේ කීවාය: ‘‘සිදු කළ ක‍්‍රියාවන් අතිශය රුදුරුයි. එහෙත් සිදුකළ ඇත්තන් … සාමාන්‍යයි.’’ ඇගේ ඒ නිරීක්ෂණය ඒ කාලය සහ ඒ සිද්ධිය පරයා දිවෙන්නකි:
අසරණ මිනිසෙකුට පහර දී දියේ ගිල්වා මරණයට පත්කිරීම ගැන කිසිවක් නොකර බලා සිටි මිනිසුන් සහ ගැහැනුන් ද, රෝගියෙකුගේ අනතුර නොතකමින්, මහා කරුණාවන්ත බුදු පියාණන් සමරණ වෙසක් සැණකෙලි මධ්‍යයේ රූපවාහිනිය නරඹමින් සිටි හෙදියන් සහ වෛද්‍යවරුන් ද රුදුරු රකුසන් නොවේ. ඔවුන් සහසුද්දෙන්ම සාමාන්‍ය මිනිසුන් ය. හැම අතකින්ම, ඔවුන්ගේ පවුල් ජීවිත තුළ, යහපත් ගැහැනුන් සහ පිරිමින් ය.

අපේ අනාගතය ගැන මෙයින් කියැවෙන්නේ කුමක් ද?

අනුකම්පාව, කරුණාව සහ විනීත බව වැනි සාමාන්‍ය ගුණ ධර්ම රජයන සමය අතරමග නතර වූ අවස්ථාවන් ශ‍්‍රී ලංකාව පසු කර තිබේ. සොල්දාදුවන් හෝ සටන්කරුවන් හෝ ත‍්‍රස්තවාදීන් හෝ නොවුණු සාමාන්‍ය පොදු වැසියන් මිනිස් ඝාතකයන් බවට පත් 1983 කළු ජුලිය ඊට දැක්විය හැකි එක් අගනා උදාහරණයකි. එය, අපරාධය සාමාන්‍යකරණය වී, නීතිය ව්‍යතිරේකය බවට පත් අවස්ථාවකි. බලා සිටින්නන්ගේ ඔල්වරසන් මධ්‍යයේ, ආඩම්බරයෙන් යුතුව මහ දවල් තිරිසන් ක‍්‍රියා සිදුකළ අවස්ථාවකි. කරුණාව සහ පොදු මිනිසත් බව ප‍්‍රසිද්ධියේ පෙන්නුම් කළ නොහී එය රහසින් පෙන්නුම් කළ අවස්ථාවකි. මෙම ක‍්‍රියාවලිය දිග හැරුණු මාදිලිය එම භීෂණය තවත් රෞද්‍ර කෙළේය. දිනපතාම, සෑම උදේකම පාරට බැස්ස සැහැසි ජනයා දේපළවලට ගිනි තිබ්බෝය. කොල්ලකෑවෝය. ඝාතනය කළෝය. එසේ කොට හැන්දෑවට මේ පිරිස් සිය නිවෙස් බලා තම පවුල් සොයා ගියේ සාමාන්‍ය මිනිසුන් වශයෙනි. ඉන් පසු, ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ පැය කිහිපයක් ගත කෙරේ. අනතුරුව, අර විකාරරූපී ක‍්‍රියාවලිය, හෙටත්.

එහෙත්, මෑතක් වන තෙක් එවැනි ම්ලේච්ඡුත්වයන් වෙත පසුබැස්සේ ඉඳහිට ය. හදිසියේ ය. හිටිහැටියේ ඇවිලී ගොස් ටික වේලාවක් පැවතී නිවී ගියේය. අද ඒ විෂබීජ ලංකා සමාජයේ සෑම මුල්ලකට එන්නත් කෙරී ඇත. එයින් විනිර්මුක්තව ඉන්නට කිසිවෙකුට නොහැකි ගාන ය.

විශේෂයෙන්, අපරාධකරුවන්ව දේශපේ‍්‍රමයේ නාමයෙන් නීතිය ඉදිරියට නොගෙනෙන සිරිතක් තුළින් මේ විනාශකාරී ප‍්‍රවණතාව බිහි කිරීමේ යම් වගකීමක් දේශපාලඥයන්ට පැවරෙතත්, මේ සාපරාධීත්වය ඔවුන්ගේ වැඩක් පමණක්ම නොවන්නේය. ආගම ලංකාවේ ආයතනගතව ඇති ආකාරය අනුව, මේ ප‍්‍රශ්නයේ තවත් කොටස්කරුවෙකු වන්නේය. ආගම වෙනුවෙන් මහා මන්දිර ගොඩනැගෙන අතරේ එම ආගමික සංස්ථාවම මිනිසාව අවම මිනිස් ශිෂ්ඨත්වයකින් පවා වියුක්ත කරවන්නේය.

බෞද්ධ භික්ෂුවක් ගිනි තබා ගැනීම, දැනටමත් හිංසනයෙන් පීඩාවට පත් සමාජයක් මතට පැටවුණු තවත් මාරක තට්ටුවකි. කුරිරු ක‍්‍රියා සිදුවූ අතීතයේ දී ඒවා ගැන ලජ්ජාවට පත්වීමක් සහ වරද සහගත හෘද සාක්ෂියකින් විඳවීමක් දක්නට ලැබුණි. සමහර විට, ආත්මීය ස්වයං=ගවේෂණයකට ද අවකාශ තිබුණි. එහෙත් ඒ අත්‍යාවශ්‍යක ශිෂ්ට සම්පන්න භාවිතය, උතුරේ මානුෂීය ක‍්‍රියාන්විතය සහ ‘සුභසාධන කඳවුරු’ හරහා අභාවයට ගියේය. යුද්ධය අතරවාරයේ දී සහ එහි නිමාවෙන් පසු ආසන්න වකවානුවේ දී, ස්වාභාවික මිනිස් දයාවට අපේ හදවත් අප වසාගෙන සිටියා පමණක් නොව. අවුරුදු හතරක් ගතව ඇති අද පවා පිටට දෙන්නට දයාවක් අප තුළ ඇත්තේ නැත. ඒ සඳහා වන අවශ්‍යතාවක් දකින්නේ ද නැත.

දයා විරහිත භාවය පුරුද්දකට යන්නේය. දැන් අපේ දයාව පවා එය ගිල ගනිමින් සිටී.

රාජපක්ෂවරුන්ව යම් දවසක ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පෙරලා දැමිය හැකිය. රාජපක්ෂවරු නැති ශ‍්‍රී ලංකාවක, දේශපාලනික සහ ආර්ථික අර්බුද එක්තරා දුරකට විසඳිය හැකි වන්නේය. එහෙත්, දයා විරහිත උපේක්ෂාවෙන් ඔද්දල් වන ශ‍්‍රී ලාංකීය සමාජය සුවපත් කිරීම, නොකළ හැක්කක්ම නොවෙතොත්, දුෂ්කර කටයුත්තක් නම් වෙනු ඇත.

*2013 මැයි 30 වැනි දා  පළවූ The Land Of The Indifferent ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

No comments

Powered by Blogger.