Header Ads

මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව

 තිසරණී ගුණසේකර -

‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’  (පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)

රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්)*ලැබෙනු නොඅනුමානයි. එවිට, ශ‍්‍රී ලංකා මාධ්‍යයේ භූමිකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ යන සම්මත අරුතින් ‘රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා’ බවට අළුතින් නිර්වචනය කළ යුතු වනු ඇත.

එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් බිහි වන ඕර්වෙල්ලියානු* යථාර්ථය තුළ,
රජයේ සේවකයෙකුව ගස් බැදීමට මර්වින් සිල්වාටත්, රග්බි තරග විනිසුරුවරයෙකුට පහර දීමට රෝහිත රාජපක්ෂටත්, දෙනෝදාහක් මැද්දේ අවසර ලැබෙනු ඇත. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට හෝ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට ලැබෙන්නේ නැත. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එසේ වාර්තා කිරීම මගින්, ‘‘රටේ සදාචාරයට සහ මහජන අපේක්ෂාවන්ට නොගැළපෙන හෝ මහජන වින්දනය සහ සදාචාරයේ ප‍්‍රමිතීන් පහත් තත්වයකට බාල්දු කෙරෙන’’ තත්වයක් ඇති විය හැකි නිසා ය.
එසේම, අපේ පරිසරයට නොගැළපෙන ක‍්‍රමවේද සහ යල්පැන ගිය තාක්ෂණය භාවිත කරමින් බලශක්ති බලාගාරයක් පිහිටුවීමට චීන සමාගමකට අවසර ලැබෙන්නේය. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට නොලැබෙන්නේය. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එය, ‘‘ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි බලපාන විවේචනයක්’’ විය හැකි බැවිනි.

එසේම, සිංහල=බෞද්ධ උන්මත්තකයන්ට ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට පහර දීමට අවසර ඇතත්, ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට ඉඩක් මාධ්‍යට නැත. මන්ද යත්, එසේ වීමෙන්, ‘‘ආගමික කණ්ඩායම් සහ ප‍්‍රජාවන් පිළිබඳ අපහාසාත්මක අදහස් පළවිය හැකි නිසා හෝ ආගමික සහ වාර්ගික සංහිඳියාවට අනර්ථකර ආකාරයෙන් වාර්ගික සහ ආගමික අසමගිය රෝපණය විය හැකි’’ නිසා ය.

එසේම, තමන් මවා ගත් ද්‍රෝහීන්ට සහ සතුරන්ට ප‍්‍රසිද්ධියේ බැන වැදීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වන අතර, එසේ බැන වැදීම ඔහුගේ ‘ක්‍රෝධාවේශයකැ’ යි වාර්තා කිරීමට මාධ්‍යට හැකිවන්නේ නැත. මන්ද යත්, එය, ‘‘අසභ්‍ය වන, අපකීර්තිකර වන, සචේතනික බොරුවක් වන, ඇනුම්පද කීමක් වන…’’ බැවිනි.

ම්ලේච්ඡු, අසාධාරණ සහ අනීතික දෝෂාභියෝගයක් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඒමට රාජපක්ෂලාට බාධාවක් නැති අතර, ඒ ගැන වාර්තා කිරීම ‘‘ජනතාව නොමග යවනසුළු ප‍්‍රවෘත්තියක්’’ විය හැකි නිසා, මාධ්‍යට එය තහනම් ය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් පැහැර ගැනීමට බාධාවක් නැත: හොර විගණන වාර්තාවක් සැපයීමට ‘රණවිරු සේවා අධිකාරියට’ අවසර ඇත. එහෙත්, ඒ කිසිවක් ගැන වාර්තා කිරීම, අදහස් පළ කිරීම, ‘‘හිංසනය දිරිමත් කිරීමක් හෝ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවක් විය හැකි හෝ ජාතික-විරෝධී ආකල්ප බෝ කිරීමක් හෝ’’ විය හැකි නිසා, තහනම් ය.

අවංක විනිසුරුවරුන් තොග පිටින් දඩුවම් පිණිස මාරු කර යැවීමට රාජපක්ෂගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර ඇත. එසේම අල්ලස් ගත් පුද්ගලයන්ට උසස් වීම දීමටත් පිළිවන. එහෙත් ඒ කිසිවක් ගැන වාර්තා කිරීම හෝ අදහස් පළ කිරීම ‘‘අධිකරණයට අපහාසයක්’’ වන නිසා තහනම් ය.

බලය බෙදා හැරීම ගැන බොරු කියන්ට ජනාධිපතිවරයාටත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන බොරු කියන්ට ඔහුගේ අගවිනිසුරුවරයාටත්, සංවර්ධනයේ සිට රාජ්‍ය ආරක්ෂාව දක්වා වන කරුණු සම්බන්ධයෙන් බොරු කියන්ට ඔහුගේ සහෝදරයන්ටත් අයිතිය තිබේ. ඒවා කෙබර යැයි කියන්ට මාධ්‍යට අයිතියක් නැත. මන්ද යත්, එය, ‘‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට’’ කැළලක් විය හැකි බැවිනි.

හෙළ උරුමයට හෝ බොදුබල සේනාවට, සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරන්ට පුලූවන. එහෙත් එවැනි ක‍්‍රියා ක්‍රෝධය වැපිරවීමක් වශයෙන් පෙන්නුම් කරන්නට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවිට ‘‘වාර්ගික, භාෂාමය හෝ ආගමික ජන කොටසකට හෝ පුද්ගලයෙකුට එරෙහි විවේචනයක් හෝ මඩ ප‍්‍රහාරයක්’’ විය හැකි බැවිනි.

දුමින්ද සිල්වාට, ඔහුගේ වෛද්‍යවරුන්ට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන බොරු කියන්ට පුලූවන. එහෙත් ඒ බොරු හෙළිදරුව් කිරීමට මාධ්‍යට නොහැක. මන්ද යත්, ඒ මගින්, ‘‘පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, පුද්ගලයෙකුගේ මූල්‍ය තොරතුරු… පුද්ගලයෙකුගේ කායික හෝ මානසික සෞඛ්‍ය තොරතුරු… මහජන අවශ්‍යතා වෙනුවෙන් කෙලින්ම අදාළ නොවෙතොත්’’ පළ කළ නොහැකි නිසා ය.

මහින්ද රාජපක්ෂව ‘හිරු දෙවියන්’, ‘සඳ දෙවියන්’ සහ ‘ත‍්‍රීසිංහලයේ නරේන්ද්‍රයන්’ වශයෙන් මුරුංගා අත්තේ තැබිය හැකිය. එහෙත් සුළුජාතික ආගමක් වෙනුවෙන් පෙනී සිටීම, ‘‘මිථ්‍යා විශ්වාසයක් හෝ අන්ධ භක්තියක්’’ විය හැකි නිසා මාධ්‍යට තහනම් ය.

බලවතුන්ට සහ ඔවුන්ගේ නෑහිතවතුන්ට මිනී මරන්ට පිළිවන. වධහිංසා පමුණුවන්නට පිළිවන. ස්ත‍්‍රීන් ¥ෂණය කරන්ට පිළිවන. සුදු වෑන් එවා මිනිසුන්ව උස්සන්ට පිළිවන. එවැනි රුදුරු ක‍්‍රියා වාර්තා කරන්නට මාධ්‍යට නුපුලූවන. මන්ද යත් එය, ‘‘දාමරිකත්වය, මත්ද්‍රව්‍ය ආසක්තිය, පරපීඩාකාමය, ලිංගික සල්ලාලකම සහ අසභ්‍ය දේවල්’’ පතුරුවා හැරීමක් විය හැකි බැවිනි.

රාජපක්ෂලාව වර්ණනා කිරීමට සහ ‘ආසියාවේ ආශ්චර්ය’ තුළ සිදුවන අපරාධ සහ ¥ෂණ නොතකා ඉන්නට බැරි කමක් නැත. එහෙත් වකුගඩු රෝග වසංගතය පිළිබඳ කැබිනට් වාර්තාව කූට ආකාරයෙන් වෙනස් කළෝ කවරහු දැ යි ප‍්‍රශ්න කිරීමට, සහල්වල සීමාන්තික කැඞ්මියම් අන්තර්ගතය ගැන ප‍්‍රශ්න කිරීමට, නීති කඩන ස්වකීය ඇබිත්තයන්ට ජනාධිපතිවරයා ආචාර ධර්ම හඳුන්වා දෙන්නේ කවදා දැ යි ප‍්‍රශ්න කිරීමට, 2005 දී රුපියල් බිලියන 32 ක් ඉපෑයූ රාජ්‍ය ආයතන 2012 දී රුපියල් බිලියන 107 ක් පාඩු ලබන්නේ කෙසේ දැ යි ප‍්‍රශ්න කිරීමට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවැනි ප‍්‍රශ්න, ‘‘ආචාරධර්ම විරෝධී සහ නීති විරෝධී’’ විය හැකි බැවිනි.

‘අපේ නායකතුමා කරන දේවල් අපි කවුරුත් හැම මොහොතකම අනුමත කරමු’’ යැයි, හිට්ලර්ගේ රහස් පොලීසියේ නිර්මාතෘ හර්මන් ගෝරිං වරක් ප‍්‍රකාශ කෙළේය. ලංකාවේ මාධ්‍යයේ ප‍්‍රධාන ක‍්‍රියාන්විත මූලධර්මය මෙවැනි අනුකෘතියකට ඌනනය වන කාලය ඈත නැත. පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට ස්තෝත‍්‍ර ගයන, රජයේ ප‍්‍රතිවාදීන්ට දෙස් දෙවෙල් තියන සහ අනිත් සියලූ දේවල් ගැන නිහඩව සිටින මාධ්‍යක්, එහි ප‍්‍රතිඵලය වශයෙන් බිහිවෙනු ඇත. දිනපතා සියල්ල යහපතට හැරෙමින් තිබේ ය යන්න, රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍යයේ ද, එකම පණිවිඩය වෙනු ඇත.

මියැදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය

‘අළුතෙන් බිහි වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්’ යනුවෙන් හැඳින්වෙන රටවල් විශේෂයක් තිබේ. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ප‍්‍රජාතන්ත‍්‍ර=විරෝධයට පල්ලම් බසින රටවල් විශේෂයක් ද තිබේ. ශ‍්‍රී ලංකාව වැටෙන්නේ, ඒ ගනයට යි. සමහර විට, එවැනි සංක‍්‍රාන්තියක් ව්‍යුහගතව මුල් ඇදීමට කලින් නතර කර ගැනීමට පුලූවන් කම තිබේ. එහෙත් අවාසනාවකට මෙන්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලංකාව ඒ කඩඉම පැන්නේය. ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති අතකොලූ බවට පත්වීමත් සමග, ජනාධිපති බලතල තවත් උලූප්පමින් ජනාධිපති ධුර වාර ගණන ඉවත් වීමත් සමග, පවුල් ඒකාධිපතිත්වය වෙත වැටී තිබුණු පටු දුෂ්කර මාර්ගය, සුපිරි අධි-වේගී මාර්ගයක් බවට පරිවර්තනය කෙරිණ.

විරෝධය නොපාන, අඥාන සහ මන්දෝත්සාහී ජනතාවක් බිහි කර ගැනීම පාලකයා ඉදිරියේ ඇති ඊළඟ කර්තව්‍යයයි: හීලෑ වූ මාධ්‍යක් ඒ සඳහා ඔහුට අවශ්‍ය කෙරේ.

මිචිගන් විශ්ව විද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, ‘ප‍්‍රවෘත්ති නිදහස ඉහළින් ඇති රටවල්, උසස් පරිසර ගුණයක් සහ උසස් මානව සංවර්ධනයක් භුක්ති විඳින අතර, රටක ¥ෂණයේ සෑම මට්ටමක්ම හෙළිදරව් කරන මුරබල්ලාගේ භූමිකාව රඟපෑම නිසා උසස් ජීවන තෘප්තියක් ද භුක්ති විඳින්නේය’.

නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයකින් තොරව, ඇති විය හැකි ව්‍යසනයන් ගැන ජනතාව කල්තියා දැනුවත් කළ නොහැක. අසංවේදී දෙපයට යටින් කෙමෙන් මෝදු වන ගිනි රකුසා ගැන නොතකමින්, විසූවියස් කඳු බෑවුමේ කෙළිලොල් වන්නට එවිට කෙනෙකුට නිදහස තිබේ.

* ජෝර්ජ් ඕවල්ගේ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන නවකතාව වන ‘1984’ සඳහන් පරිදි, අත්තනෝමතික පාලන තන්ත‍්‍රයක මහා බොරුවට සමස්ත සමාජයක්ම ජීරණය කරගැනීමේ මාධ්‍ය ව්‍යාපෘතිය හැඳින්වුණේ, ‘සත්‍යය අමාත්‍යාංශයක්’ යනුවෙනි. එහි දී, ‘සත්‍යය’ යනුවෙන් ගැනුණේ, පාලකයාගේ ‘සත්‍යය’ යි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට උත්තරය පහ යැයි පාලකයා සිතයි නම්, එය ‘සත්‍යය’ වශයෙන් රටවැසියා භාරගත යුතුය. (පරිවර්තක)

*2013 ජුනි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Media-Ethics And Reality Control ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

No comments

Powered by Blogger.