Header Ads

දොන්ද සිමන්ද?

'උතුරේ පළාත් සභාවට පොලිස් බලතල දෙනවාට මම විරුද්ධයි...'
ගෝඨාභයගේ මේ සද්දේ ඉන්දියාවේ කන්වල දෝංකාර දෙන්නේ ලලිත් ඇතුලත්මුදලි එදා 1987 ඉන්දු - ලංකා ගිවිසුමට දමපු සද්දෙ වගේය.
ගෝඨාභය රටේ ආරක්ෂක ලේකම්වරයාය. ලලිත් එදා ජාතික ආරක්ෂක ඇමැතිය. ඇත්තටම ගෝඨාභය අද නිරූපණය කරන්නේ එදා ලලිත් ඇතුලත්මුදලි රඟ පෑ භූමිකාවය. එකම වෙනස ලලිත් ජේ. ආර්. ගේ මල්ලී නොවීමත් ගෝඨාභය මහින්දගේ මල්ලී වීමත්ය.



එදා ලලිත් යාපනය මුදා ගන්න දියත් කළ වඩමාරච්චි මෙහෙයුමේ ගෝඨාභයද සිටියේය. මෙහෙයුම නතර කරන්න යැයි ඉන්දියාව

බලපෑම් කරද්දී ලලිත් කෝප වූ වග ගෝඨාභය ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න යන හමුදා නායකයන් යටතේ සිටි නිලධාරියෙක් ලෙස දැනගෙන සිටින්නට ඇත.
'එක්කෝ මම ලලිත්ව ජාතික ආරක්ෂක ඇමැතිකමෙන් අයින් කරන්න ඕනෑ. නැතිනම් මෙහෙයුම නතර කරන ලෙස ලලිත්ට ඒත්තු ගන්වන්න ඕනා...'
එදා ජේ. ආර්. කිව්වේ එහෙමය.



කොහොම හරි මෙහෙයුම නතර කරන ලෙස ලලිත්ට ඒත්තු ගන්වන්න ජේ. ආර්. සමත් විය. ඒත් ලලිත් එය කළේ කැමැත්තෙන් නොවේ.
ඉන්දියාව ඒක දැන සිටියේය. ඉන්දු - ලංකා ගිවිසුමෙන් වසර ගණනාවකට පසු ඉන්දු - ලංකා ගිවිසුම් කාලයේ ආන්දෝලනාත්මක ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් ලියපු කොළඹ භූමිකාව නමැති පොතෙහි ලලිත් ගැන ලියා ඇත්තේ මේ වගේ කතාවකි.



'ලලිත් ඇතුලත්මුදලි මැකියාවලි හා බිස්මාර්ක්ගේ මිශ්‍රණයක් ලෙස සිය ප්‍රතිරූපය ගොඩනඟා ගත්තේය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය සංගමයේ හිටපු සභාපතිවරයකු, සාර්ථක නීතිඥයකු හා නීති විශාරදයකු ද වූ හෙතෙම පැහැදිලිවම බලාපොරොත්තු වූයේ ඔහුගේ අවසන් ඉලක්කය වශයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති වන්නටය. ඔහු බුද්ධිමතෙකි. අදහස් පළ කිරීමේ දී ඉතා පැහැදිලිය. ඔහු දක්ෂයෙකි. එහෙත් දූරදර්ශී නොවූ බව මම නොබියවම කියමි. ඔහුට දේශීය හා විදේශීය වශයෙන් සිටි දේශපාලන විවේචකයන්, ස්වකීය දේශපාලන උපක්‍රම, සාකච්ඡා කිරීමේ කුසලතා, රහස් සබඳතා හා කුමන්ත්‍රණ මඟින් මැඬපවත්වන්නට හැකිවෙතැයි හෙතෙම විශ්වාස කළේය. ඔහුගේ බිස්මාර්ක් ලක්ෂණය නම් දේශපාලන කපටිකම් හා බලපෑම්කාරී හමුදාවක් යොදා ගැනීමෙන් ද්‍රවිඩ අභිලාෂයනට ප්‍රතිචාර නොදක්වා ද්‍රවිඩ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය විනාශ කර දැමීමට හැකිවෙතැයි ඔහු තුළ වූ විශ්වාසයයි. එමෙන්ම ජයවර්ධන මහතා ඉක්මවා යමින් ඉන්දීය නායකයන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නටද හෙතෙම නොපසුබට විය.



එමෙන්ම ජයවර්ධන හා ඉන්දීය නායකයන් යන දෙපිරිසම ඉක්මවා එල්.ටී.ටී.ඊ.ය සමඟ සබඳතා ගොඩනඟා ගන්නටද හෙතෙම සමත් විය. කෙසේ වෙතත් ඉන්දිරා ගාන්ධි හෝ රජිව් ගාන්ධි ඔහුගේ ප්‍රවේශයනට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඔහුට ඉන්දීය සබඳතා ගොඩනඟා ගැනීම උගහට විය. ඔහු නවීන හේතු සහගත දෘෂ්ටියක් ඇත්තෙකි. ඓතිහාසික හා සංස්කෘතික හේතු නොතිබෙන්නට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය මෙතරම් උග්‍ර නොවන්නට ඉඩ තිබිණැයි ඔහු පෞද්ගලික සංවාදවලදී ඇතැම් අවස්ථාවල කීවේය. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වූවා නම් තත්ත්වය යහපත් වන්නට ඉඩ තිබූ බවද කීවේය. කෙසේ වෙතත් ඔහු සිතුවේ ශ්‍රී ලංකා ද්‍රවිඩයන් සම්බන්ධයෙන් බහුතර සිංහලයා දරන මතය නියෝජනය කිරීම තුළ ඔහුගේ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට එරෙහිව කටයුතු කළේත්, ඉන්දීයයන් සමඟ සාකච්ඡා කළේත් මෙම ස්ථාවරයේ සිටිමිනි. ඔහු ප්‍රේමදාස ඝාතනයට සුමානයකට ඉහතදී ඝාතකයකුගේ උණ්ඩයකට ගොදුරු විය. ඔහු ඉන්දියාවට මිතුරුකම් පෙන්වන අතරම ඇමෙරිකාව, පාකිස්තානය, ඊශ්‍රායලය ආදී රටවල් සමඟ සබඳතා පවත්වා ගත යුතු යැයි තදින්ම කියා සිටි පුද්ගලයෙකි. ගාන්ධි මහත්මියට ජයවර්ධන මහතාට එරෙහිව පීඩනයක් ඇති කිරීමට තුඩු දුන්නේද මෙකී සබඳතා ගොඩනැඟීමය. ලලිත්ගේ අභාවයෙන් ශ්‍රී ලංකාවට ඉතා බුද්ධිමත් ක්‍රියාකාරී දේශපාලන නායකයකු අහිමි විය."



ඉන්දියාව අදටත් හිතන්නේ ඉන්දු - ලංකා ගිවිසුම කඩාකප්පල් කළේ ලලිත් ඇතුලත්මුදලි යැයි කියාය. ගිවිසුම අස්සන් කළාට පසු ලංකා නාවික හමුදාව එල්.ටී.ටී.ඊ. නායකයන් රැගත් බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ චෝදනාව නිර්මාණය විය. අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. නායකයන් තමන්ට යළි භාර දෙන ලෙස එල්.ටී.ටී.ඊ.ය ඉන්දීය සාම සාධක හමුදාවෙන් ඉල්ලීමක් කළේය. ඉන්දීය සාම සාධක හමුදා ප්‍රධානී ජෙනරාල් දිනේන්ද්‍ර සිං, ජේ. ආර්. හමු වී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. නායකයන් ඇතුළු සාමාජිකයන් පිරිස තමන්ට භාර දෙන ලෙස ඉල්ලීමක් කළේය. ජේ. ආර්. මෙය ලලිත්ට දැන්වූ විට ලලිත් කීවේ ඔවුන්ව කොළඹට ගෙන ආ යුතු බවය. කොළඹට ගෙන ආ විට ජේ. ආර්. මාධ්‍ය හරහා එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම ඉන්දීය සාම සාධක හමුදාවේ වගකීමක් යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් පසු ඔවුන්ව සාම සාධක හමුදාවට භාර දිය හැකි යැයි යන්න ලලිත්ගේ මතය විය. ඒත් ඔවුන්ව කොළඹට ගෙන නොයන ලෙසට ජේ. ආර්.ට ඉන්දියාවෙන් දැඩි බලපෑමක් එල්ල විය. ජේ. ආර්. එතැනදී හිස නැමුවේ ලලිත්ගේ වචනයටය. එල්.ටී.ටී.ඊ. නායකයන් කොළඹට ගෙන යද්දී දෙදෙනෙක් සයනයිඩ් කා මියගියහ. ගිවිසුමට එරෙහිව ප්‍රභාකරන් උතුරේ විරෝධතා රැල්ල පටන් ගත්තේ මෙම සිද්ධිය දඩමීමා කරගෙනය.



'ලලිත් අටවපු උගුලට ජේ. ආර්. අහුවෙලා ගිවිසුම කඩාකප්පල් කළා..'
ඉන්දියාව හිතුවේ එහෙමය.
'නෑ.. මේක ජේ. ආර්. ලලිත් එක්ක එකතු වෙලා ඉන්දියාවයි ප්‍රභාකරන්වයි හප්පවන්න අටවපු උගුලක්...'
ඩික්සිත් කියන්නේ එහෙමය.
කොහොම හරි ගිවිසුමට අටවපු ලොකුම බිම් බෝම්බය එය විය.
උතුරේ පළාත් සභා ඡන්දය තියා දමිළ ජාතික සන්ධානයට උතුරේ පාලනය භාර දී තමිල්නාඩුවේ ඡන්ද දිනන්න කොංග්‍රස් පක්ෂය ගහන්න යන ගැටයට පිපිරවූ ලොකුම බිම් බෝම්බයත් ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයය.



හැබැයි ලලිත් ගෝඨාභයගෙන් වෙනස් වන්නේ, ලලිත් ප්‍රසිද්ධියේ ඉන්දු - ලංකා ගිවිසුමට හෝ පළාත් සභාවලට එරෙහිව වචනයක්වත් කීවේ නැත. ලලිත් කළේ ගේම් අටවන එකය. ගෝඨාභය පොලිස් බලයට එරෙහිව තම මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.



2009 යුද්ධය අවසන් වූවාට පසු එවකට හමුදාපති සරත් ෆොන්සේකා කිලිනොච්චියේ හමුදා කඳවුරුවලට ගොස් කතාවක් කළේය. ඔහු කීවේ රණවිරුවන් ජීවිත පූජා කොට දිනා ගත් බිමේ උරුමය වෙන කාටවත් දිය නොහැකි බවය. ඒ වෙලාවේ උතුරේ පළාත් සභා ඡන්දය තියන්න ඉන්දියාව බලපෑම් කරන කාලයය.
සරත් ෆොන්සේකා එම ප්‍රකාශය කර වැඩි කලක් ගියේ නැත. ඔහුව හමුදාපති ධුරයෙන් ඉවත් කෙරිණි. ඔහු හමුදා කුමන්ත්‍රණයක් කරන්න යන බවට තොරතුරු හෙළි වුණා යැයි මාධ්‍යවල වාර්තා පළවිය. එවැනි හමුදා කුමන්ත්‍රණයක් වළක්වන්න අවශ්‍ය නම් ඉන්දීය නාවික හමුදා බළඇණි කොළඹ ආසන්නයේ නවතා තබන්න එවකට ඉන්දීය මහ කොමසාරිස් මහින්දට පොරොන්දු වූ බවටත් මාධ්‍ය වාර්තා පළවිය.



13 ප්ලස් දෙන්න මහින්දට තියෙන බාධාව ෆොන්සේකා කියා හිතා ඔහුව ඉවත් කිරීමට ඉන්දියාවත් අනුබල දුන්නාද දන්නේ නැත.
එදා ෆොන්සේකා හිටියේ හෙළ උරුමයේ සහ විමල් වීරවංශලාගේ වීරයා වෙලාය. අද ගෝඨාභය ඉන්නේ එතැනය.
ඉන්දියාව මහින්දට බලපෑම් කොට ඉඩම් බලතල සම්බන්ධයෙන් හෙළ උරුමයේ හෝ විමල්ලාගේ කටවල් වහන්න හෝ ආණ්ඩුවෙන් පිටමං කරන්න කටයුතු කළත් ගෝඨාභයට නම් අතක්වත් තියා ගන්න බැරි බව සහතිකය. ඒ ගෝඨාභය මහින්දගේ මල්ලී වන නිසාය.



‍ෙදාන් නම් ‍ෙදාන්
සිමන් නම් සිමන්
ඉන්දියාව රටවල් 54 පොදු රාජ්‍ය මණ්ඩල සභාපතිකම පෙන්නල මහින්දට සභාපතිකමද ගෝඨාභයද කියල දෙකින් එකක් තෝරා ගන්න කිව්වොත් මහින්ද ඒ රටවල් 54ට වඩා මල්ලී වටිනවා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.