Header Ads

පිල්ලෙයි වැරදි නම් අපි හරිද?

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ලංකා සංචාරයේදී ඇය නිරීක්‍ෂණය කළ කරුණුද පදනම්කොටගෙන එළැඹෙන සැප්තැම්බරයේදී මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට වාචික වාර්තාවක්ද, 2014 මාර්තු මස සැසිවාරයට දීර්ඝ වාර්තාවක්ද ඉදිරිපත්කරන්නට නියමිතය.

රජයේ ආරාධනයකින්ම මෙහි පැමිණි ඇය කෙරෙහි ජනාධිපතිවරයාගේ සිට පහළට විවිධ ස්ථරවල පුද්ගලයන් විසින් මෙන්ම විවිධ ජාතිකවාදී සංවිධාන විසින්ද දක්වන ලද නිශේධනීය ප‍්‍රතිචාර දැන් රටම දනියි.
ඒ අතර ඇගේ ජාතිකත්වයේ සිට මානව හිිමිකම් කොමසාරිස් ධුරය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය දක්වා වූ විවිධාකාර විවේචනද ඇතුළත් විය.

මේ සමහර විවේචකයන්ට අනුව ඇය දකුණු අප‍්‍රිකාවේ කොකෝවා වගාව සඳහා ඉන්දියාවෙන් එහි ගෙනයන ලද දෙමළ ශ‍්‍රමිකයන්ගෙන් පැවැත ඒම එක් ප‍්‍රශ්නයකි. අනෙක් ප‍්‍රශ්නය රියැදුරකු වූ පියාට ඈ වෙනුවෙන් වියදම් කරන්නට මුදල් නොමැතිවීම නිසා ඇගේ දෙමළ වර්ගයා ඇගේ ඉගෙනීමට වියදම් කිරීමය. එනිසා ඇය දෙමළ වර්ගයාට කොහොමත් ළැදිය. දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානුවන්ට එරෙහිව මුදාහැරුණු හිංසනයන්ට ඇය ලක්ව සිටීමද තවත් ප‍්‍රශ්නයකි. එමගින් තමා වැනිම හිරිහැරයට ලක්වූ ලාංකික දෙමළ ජනතාව සමග ඇය අනන්‍ය වන නිසාය. සුළු වාර්ගිකයකු ලෙස තමා විඳි දුක් විසින් දෙමළ ජනතාව දෙස අනුකම්පාවෙන් බලන්නට ඇය හුරුකරනු ලැබ ඇත. ඇගේ සැමියා දකුණු අප‍්‍රිකාවේ සුදු පාලනය යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට ගන්නා ලදි. ඇය නීතිඥවරියක ලෙස සැමියා වෙනුවෙන් නඩු කිව්වාය. ඒ නඩුවෙන් දිනා සැමියා නිදහස්වීම නිසා වෙනත් ත‍්‍රස්තවාදී සැකකරුවන්ගේ ඥාතීහුද ඇය වෙත නඩු ගෙන ආහ. මෙපරිදි ඇය තවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් රාශියකට නීති සහාය ලබාදී ඇත. මේ නිසා ඇය ත‍්‍රස්තවාදීන් තුළ දකින්නේ ඇගේ සැමියාය. මේ හේතු නිසා ඇයට ලංකාව ගැන සෙවීමට සුදුසුකමක් නැත. අනෙක් අතට ඇය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, ටියුනීසියාව, ඊජිප්තුව වැනි රටවල මානව හිමිකම් කඩවීම් ගැන නොසොයයි. මානව හිමිකම් කවුන්සිලය අද ක‍්‍රියාත්මක වන්නේද බටහිර රටවල බළල් අතක් ලෙසය.

මේ ආකාරයෙන් බැලූ විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ධුරයට පුද්ගලයකු පත්කළ යුතුවන්නේ අඟහරු ලෝකයෙන් මෙහි ගෙන්වාගෙනය. මේ විවේචකයන්ට අනුව ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් පැවැතිය යුතු නැත. මානව හිමිකම් කවුන්සිලයක්ද පැවැතිය යුතු නැත. කෙටියෙන් කියනවා නම් ලෝකයේ තිබිය හැක්කේ ලංකාව පමණකි.

හොඳයි, මේ විවේචන කිසියම් මොහොතකට පිළිගෙන අපි නවි පිල්ලෙයි මහත්මියත්, මානව හිමිකම් කවුන්සිලයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පසෙක තබමු. මානව හිමිකම් නමැති සංකල්පයද පසෙකින් තබමු.

ලංකාවේ ඇත්ත කුමක්ද?

මෙහි වසර අඩසිය වසක සිට පැනනැගුණාවූ වාර්ගික ආතතියක් තිබිණි. එය පසුව සන්නද්ධ ගැටුමක් දක්වා දුරදිග ගියේය. සන්නද්ධ ගැටුම ආයුධ බලයෙන් අවසන්කරන ලද්දේ ඉන්පසු රටේ ජනවාර්ගික සුහදත්වය, ප‍්‍රතිසන්ධානය, මානව ගරුත්වය, සමාන සංවර්ධනය ඇතිකරනවායැ’යි පොරොන්දු දෙමිනි. ගැටුම් අවසන්වී අවුරුදු හතරක් ගතවී ඇති අදද ගැටුම්වලට මැදිවූ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුම් නැත. ඔවුන්ට හිමි මානව ගරුත්වය ලබාදීමට කිසිදු පියවරක් ගෙන නැත. ඒ අතර රටේ ජීවත්වීමේ අවස්ථා, අදහස් පළකිරිමට ඇති ඉඩකඩ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්ම මත තබා ප‍්‍රශ්න කළ හැකි මූලික අර්බුද ගණනාවක් පවතියි. සරලව කිවහොත් රටවැසියා පිරිසිදු වතුර ඉල්ලා නිරායුධව පාරට බසින විට ඔවුන්ට ලැබෙන්නේ උණ්ඩයයි. ඝාතනයයි. කිසිම ප‍්‍රශ්නයකට යහපත් උත්තරයක් ආණ්ඩුවට නැතිවා පමණක් නොව උත්තර සෙවීමේ දිශාවට යොමුවීමක් පවා නැත.

මෙවැනි නරක තත්ත්වයන් යටතේ දිවි ගෙවන උතුරු නැගෙනහිර පමණක් නොව ලංකාව පුරා වසන ජනතාවට පිළිසරණක් ඉල්ලා යන්නට තිබෙන්නේ කොහිද? මේ අසාධාරණයන් ගැන කියන්නට ඇත්තේ කවරෙක්ද? පිළිතුරක් ලැබෙන්නේ කොයින්ද?

මහ කොමසාරිස්වරියත්, මානව හිමිකම් කවුන්සිලයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සාධාරණ නොවේයැ’යි කියන පිරිස් විසින් වහාම කළ යුත්තේ රටේ මේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයන ලෙස තමන්ද සාමාජිකයන් වන ආණ්ඩුවට බලපෑම් කිරීමය. ඒ බලපෑම් නිසා මේ ගැටලූවලට පිළිගත හැකි විසඳුම් ලංකාව තුළදීම ලැබේ නම් නවි පිල්ලෙලා රජයේ ආරාධනයෙන්ම ලංකාවට ගෙන්වාගන්නට අවශ්‍ය වන්නේ නැත.

රාවය -

No comments

Powered by Blogger.