Header Ads

එජාප ඛේදවාචකයේ අවජාතක නපුංසක කුජීත කතා

සුනන්ද දේශප‍්‍රිය 

වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණයවී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනපි‍්‍රය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජයගැනීම තබා හොඳ තරගයක් දීමටවත් සමත් නොවන බව මැතිවරණ දේශපාලනයේ අ යන්න ආ යන්න දන්නා ඕනෑම අයකුට තේරුම් ගත හැකිව තිබුණි.


දයාසිරි ජයසේකර එජාපයෙන් ඉවත්වීම යහපතක් බවත් එමගින් පක්ෂය පිරිසිදු වූ බවටත් කියන කතාන්තර මතකයට ගෙනෙන්නේ ලෙඩා මළත් බඩ සුද්ධවීමේ කතා ය. එජාපය හැර ගිය සියල්ලන් හොරුන් සහ වංචාකාරයන් බවට කියන කතාන්තර හුදෙක් තමන් සනසා ගැනීමට සකසා ගන්නා ස්වයංමෝහනයන් පමණකි. ඇත්ත වශයෙන්ම නම් එජාපයෙහි දුරදක්නා නායකත්වයක් වූයේ නම් වයඹ එජාප නායකයා වශයෙන් ඉදිරියට ගන්නට ඉඩ තිබුණේ ජයසේකර ය. දයාසිරි පමණක් නොව එජාපයෙන් ඉවත්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ගිය තවත් බොහෝ තරුණ දේශපාලනඥයන්ට එසේ කිරීමට සිදුවූයේ රනිල් වික‍්‍රමසිංහ විසින් පල නොකියා පලා බෙදීම නිසා ය. රාජපක්ෂ එය සිය වාසියට හරවා ගත්තේ ය. කලකට පෙර එහි බලකොටුවක් ලෙස සැලකුණු වයඹ දී එජාපය ලද පරාජය ශී‍්‍ර ලංකාවෙහි එජාපයේ ගරාවැටීම පෙන්වන සංකේතාත්මක දර්ශකයකි.

උතුරු පළාතෙහි එජාපය සේදී ගිය අතර මධ්‍යම සහ වයඹ ජන්ද ප‍්‍රතිශතය සියයට 20 සහ 30 අතරට වැටුණි. එජාපය කෙරෙහි ඇති කළකිරීම පෙන්වමින් රාජපක්ෂ විරෝධී ජන්දදායකයෝ දස දහස් ගණනාවක් පොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සහාය දුන්හ. තවත් එවැනිම පිරිසක් ජන්දය නොදී හැරියහ. මෙම පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල විසින් ඉතා සරල නිගමනයකට පැමිණිය හැකි ය. එනම් ලබන වසරෙහි පැවැත්වීමට ඉඩ ඇති ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට තරගයක් හෝ දීමට රනිල් වික‍්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයට නොහැකි බවයි. එය ලබන වසර මුල පැවැත්වෙන පළාත් සභා මැතිවරණ තුනෙන්ද තහවුරු වනු ඇති බව දැන්ම ලියා තැබිය හැකිය.

පිට පිටම ලබන පරාජයන් හමූයේ පක්ෂයක නායකත්වය බදාගෙන සිටින වික‍්‍රමසිංහ වැනි නායකයකු ලෝකයේ වෙනත් කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක වෙත්දැයි සිතිය නොහැකි තරම්ය. එජාපයට නව නායක පරම්පරාවක් ගොඩනැගීම වෙනුවට ඔහු විසින් ඉතිරි කරගෙන ඇත්තේ තරුණ එහෙයියන් රෑනක් පමණි. පක්ෂය සෝදාපාළුවී යත්දීත් නායකත්වයේම එල්බ සිටීම අතින් ජවිපෙ සෝමවංශ අමරසිංහ සහ එජාප රනිල් වික‍්‍රමසිංහ අතර වෙනසක් නැත.

රනිල් වික‍්‍රමසිංහගේ දැක්ම තුළ මහාජනයා කියා ප‍්‍රභේදයක් නැති බව මේ ලියුම්කරු අත්දැකීමෙන්ම දනී. ඔහුගේ දේශපාලනය ආර්ථික ඌනනවාදයකි. එනම් ඔහු කල්පනා කරන්නේ ආර්ථික ප‍්‍රශ්න විසින් දේශපාලන ජය පරාජයන් තීරණය කරන බවයි. ආර්ථික අර්බුදයක් ඇති වුව හොත් තමන්ට නිකම්ම බලයට පත්විය හැකි බවත් එවැනි අර්බුදයක් නැත්නම් කොතරම් ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ඇති කළත් මැතිවරණයකින් බලය ලබා ගත නොහැකි යැයි යන්න ඔහුගේ කල්පනාව ය. ප‍්‍රබල පක්ෂයකට නායකත්වය දී ගොඩනැගීමට අවශ්‍ය සන්ධානකාමී නම්‍යශීලි බව වික‍්‍රමසිංහට අවශ්‍ය නොවන්නේ ඒ නිසා ය.

එජාපයේ අභාග්‍යය රනිල් වික‍්‍රමසිංහ නායකත්වය පමණක් නොවේ. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තමන් යැයි තමා විසින්ම පත්කරගෙන ඇති සජිත් පේ‍්‍රමදාස එජාපයේ ඛේදවාචකය දෙගුණ කරවයි. තමාට පක්ෂයේ නායකත්වය ඇතොත් තමා එජාපය ජයග‍්‍රහණය කරා ගෙන යන බව පේ‍්‍රමදාසගේ කයිවාරුවය. ඒ සා හැකියාවක් ඇතැයි කියන පේ‍්‍රමදාසට දකුණු පළාතේ මහ ඇමැති අපේක්ෂකයා වන්නැයි ඉල්ලීමක් කළ විට ඔහු දක්වන්නේ ජනාධිපති අපේක්ෂකයකුට නොහොබිනා නෑසූවිරූ පහත් මට්ටමක බැණ වැදීමකි.

එම යෝජනාව ගෙන ආ පිරිස් පේ‍්‍රමදාස හඳුන්වන්නේ (දේශපාලන) කුජීත අවජාතක නපුංසකයන් පිරිසක් ලෙසය. එම යෝජනාව ඔහු හඳුන්වන්නේ නින්දිත කුමන්ත‍්‍රණයක් ලෙසය. විදේශ බලවේගයන්ගේ දේශීය අතකොලූවල වැඩක් ලෙසය. කොටි බළල් අත්වල යෝජනාවක් ලෙසය.

මහ ඇමැති අපේක්ෂකයා වන්නැයි කරන ලද යෝජනාවට මෙම ඊළඟ නායකයා බියට පත්ව ඇති තරමින් පෙනෙන්නේ දකුණු පළාතේ දී එජාපය ලබන්නට නියමිතව ඇති දරුණු පරාජයේ තරම ය. අඩුම වශයෙන් රාජපක්ෂවරුන්ට විරුද්ධව හොඳ තරගයක් හෝ දීමට හැකියාවක් තිබුණේ නම් පේ‍්‍රමදාස මහතා මෙම යෝජනාව ඉතසිතින් භාරගන්නට තිබුණි. එමෙන්ම එවැනි වාසිදායක තත්ත්වයක් තිබුණි නම් රනිල්වාදී පිරිස් විසින් පේ‍්‍රමදාසට කිසිසේත්ම මෙවැනි යෝජනාවක් කරන්නේ ද නැත.

දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙරම එජාපය තුළ ඇතිවී තිබෙන මෙම කළබගෑනියෙන් ද තහවුරු වන්නේ එහි ඡුන්ද පදනම කොතරම් දෙදරා ඇත්තේ දැයි එම පක්ෂයේම අභ්‍යන්තරයේ ඇති පිළිගැනීම යි. එක් පාර්ශ්වයක් පරදින මහ ඇමැති තරගයට පේ‍්‍රමදාස කොටු කර අමාරුවේ දැමීමට සැලසුම් කරන අතර බියට පත් පේ‍්‍රමදාස පහත් පෙළේ වාග් ප‍්‍රහාර මගින් එම තරගයෙන් ලිස්සා යයි.

පේ‍්‍රමදාසගේ එම කතාවේ ස්වරය ද එක්කළ කල මෙම වාග් ප‍්‍රහාරය යෝග්‍යවන්නේ අනාගත ජනාධිපති අපේක්ෂකයකුට වඩා අද මර්වින් සිල්වා දරන මහජන සම්බන්ධතා ඇමැතිධූරය වැනි එකකටය. පේ‍්‍රමදාස පාවිච්චි කරන ‘අවජාතක’ ‘නපුංසක’ වචන සමාජයේ කොන්කරනු ලබන පුද්ගලයන් පහත් කොට සැලකීමට යොදා ගන්නා වචන ය. එම වචන යොදා ගැනීම මගින්ම සමාජයේ ඇති විසම සැලැකීම් තහවුරු කරයි. ඊටත් වඩා එම කතාවෙන් පෙන්නුම් කැරෙන්නේ සන්සුන් සහ මානවවාදී ඉවසිලිවන්ත දේශපාලනඥයකුගේ චරිතය නොව හදිසි දේවදත්තයකුගේ බියකරු මුහුණුවර ය. තමාට මහ ඇමැතිධුරයට තරග කරන්නැයි කරන ලද ඉල්ලීමට මෙතරම් ආක්‍රොශ පරිභව භාෂාවක් යොදා ගනිමින් ප‍්‍රහාරයක යෙදෙන පේ‍්‍රමදාසට විධායක ජනාධිපතිධුරය ලැබුණොත් කෙහොමට සිටිනු ඇත් ද? පළිගැනීම අතින් ඔහු සිය පියා වූ ජනාධිපති පේ‍්‍රමදාස පරයා යෑමට හොඳටම ඉඩ තිබේ.

පේ‍්‍රමදාසගේ දේශපාලනය කොතරම් පහත් මට්ටමකට වැටී ඇත්ද යන්න තමාගෙන් කරන ලද එම ඉල්ලීමෙන් පලා යෑම පිණිස ඔහු රටට විරුද්ධ විදේශ බලවේග සහ කොටි බළල් අත් යනාදී රාජපක්ෂවාදී ජාතිකවාදී දේශපාලන සංකල්පයන් යොදා ගැනීමෙන් පෙනී යයි. ඉන්දීය සාම සාධක හමුදාව අතින් පරාජය වී යෑමට ඔන්න මෙන්න කියා සිටි එල්ටීටීඊ සංවිධානයට ලොරි පිරවූ අවි ද මලූ පිරවූ මුදල් ද ලබා දුන්නේ සිය ජනාධිපති පියා බව සජිත් පේ‍්‍රමදාස අමතක කරයි. පසුව ජේ.ආර්. කී පරිදි එල්ටීටීඊයට ඔක්සිජන් ලබාදුන්නේ ජනාධිපති පේ‍්‍රමදාස ය. විදේශගතව සිටි ප‍්‍රභාකරන්ගේ බිරිඳ සහ දරුවන් කටුනායක ගුවන්තොට හරහා ගෙන්වා වන්නියේ සිටි ප‍්‍රභාකරන් වෙත යැවූයේ සිය පියා වූ ජනාධිපති පේ‍්‍රමදාස විසින් බව සජිත් පේ‍්‍රමදාස අමතක කරයි. කොටි අත තිබුණේ කොහි ද? සිය සංවිධානාත්මක සහ ප‍්‍රචාරාත්මක දේශපාලන හැකියාව පෙන්වීමට කැමැති කවර දේශපාලනඥයකු වුව පරදින මහ ඇමැති තරගයක් හෝ සලකනු ඇත්තේ අත නොහැරිය යුතු අවස්ථාවක් ලෙස ය. ජනාධිපති තරගයට තමා ලැහැස්තියැයි කියන නමුත් දකුණේ මහ ඇමැති තරගයට බැහැයැයි කියමින් යට කලිසම තෙමා ගත් ළදරුවකු සේ කැමොර දෙන පේ‍්‍රමදාස පෙන්වන්නේ එජාපයේ ඊළඟ නායකත්වයේ නොමේරූ ස්වභාවයයි.

රනිල් වික‍්‍රමසිංහ නායකත්වයේ එල්බගෙන සිටීමෙන් සහ පක්ෂයේ නැගී එන නායක පිරිස් පළවා හැරීමේ විපාකය නම් ඊළඟ නායකයා බවට සජිත් පේ‍්‍රමදාස පත්ව තිබීමයි. මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කනගාටුදායක අසාර්ථකත්වය හමුයේ ඇය වටා සිටි නැගී එන දේශපාලනඥයන් පක්ෂය තුළ ජනපි‍්‍රයත්වයෙන් ගිලිහී ගිය නිසා ය. අද එජාපයට ද සිදුවෙමින් ඇත්තේ එය යි. පරාජිත රනිල් වික‍්‍රමසිංහවාදී පිරිස් පක්ෂය තුළ දුර්වල වනු ඇති අතර අප කැමැති වුවත් නැතත් එහි අනාගත නායකයා වනු ඇත්තේ නපුංසක අවජාතක ශබ්ද කෝෂයක් සහිත ජාතිකවාදී වියරු දේශපාලනඥයකු වන සජිත් පේ‍්‍රමදාස ය. රනිල් වික‍්‍රමසිංහ පරදවන එජාපයේ ඛේදවාචකය වනු ඇත්තේ එයයි.

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

1 comment:

  1. රනිල්ට වඩා සජිත් අම්බානක ලාමකයි..ඒක ප්‍රාෙද්ශීය මට්ටමේ නායකයකු සිටිය යුතු මට්ටමටත් වඩා පහල තැනක්.. රනිල් දෙනකල් ඉන්නෙ නැතුව මේ වනකොට ආන්ඩුව ගන්න හැකියාව සජිත්ට තිබෙන්නට ඕනි..නිවැරදි නායකයෙක් නම්..

    ReplyDelete

Powered by Blogger.