Header Ads

ශරීර ස්ත‍්‍රී වුණාට ඔළුව පිරිමි - අනෝමා රාජකරුණා

ඇය අනෝමා රාජකරුණාය. 

පිල්ලෙ ගැන

පිල්ලෙ කියන්නෙ කවුද කියලා වටහාගන්න ලෙහෙසිම දේ තමයි පිල්ලෙගේ ඉතිහාසය කියවන එක. ඇය සංක‍්‍රමණික පවුලක කෙනෙක්. ඒ වගේම ඉතාම පහළ අඩියක ඉඳලා ජීවිතය පටන් ගත්ත කෙනෙක්. ඇයට ඉගෙනීමට අත දෙන්නෙ ඇය ජීවත් වුණ පරිසරයේ කොටස්මයි. එයින් උපරිම පල ඇය නෙළා ගන්නවා. ඈ කුඩා කාලේ ඉඳලාම ජීවිතය කියවපු, පරිසරය අත්විඳපු, සමාජය ග‍්‍රහණය කරගත්ත කෙනෙක්. අද ඇය ඉන්න නිලයට අවශ්‍ය සියලූ සුදුසුකම් ඇයට උරුම වුණේ ඇය ඉපදිච්ච කාලය, දීපය, දේශය අනුව කියලායි මම විශ්වාස කරන්නෙ. පිල්ලෙ රූප සුන්දරියක් නෙමෙයි.
හැබැයි ඒ පෞරුෂය ඉස්සරහ බොහෝ අය අසරණයි. මට අනුව පිල්ලේගේ වැදගත්ම ලක්ෂණය තමයි ඒ පෞරුෂය. ඇය මතුපිටින් ගොඩනැගුණු චරිතයක් නෙමෙයි. ඇතුළාන්තයෙන්ම ගොඩනැගුණු චරිතයක්. ඒ හින්දම තමයි කට්ටිය පිල්ලෙට බය.

ඡන්දය

මම ඡන්දය තේරුම් ගත්තේ කොහොමද? පුරවැසියෙක් විදිහට අවුරුදු දහඅට සම්පූර්ණ කළාම ඡන්ද අයිතිය ලැබෙනවා. එදා මම හිතුවා මම ගහන කතිරයට සියලූ බලධාරීන් වෙනස් කරන්න පුළුවන් බලයක් තියනවා කියලා. ඒක එහෙමද? අද වෙනකොට මේ සියල්ල වෙනස් වෙලා. ඡුන්දය කියන එකම අද ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලියක් බවට පත්වෙලා. අද ඡුන්දය කියන්නෙ අපේ කැමැත්ත නෙමෙයි බලයේ සිටින අයගේ කැමැත්ත. මේ ඡුන්දය විසින් අද ඉතිරි කරන්නෙ මේ සමාජය පිළිබඳ ප‍්‍රක්ෂේපණයක් ලබාදීම විතරයි. අපි දියුණු සංවර්ධනය ගැන කතා කරනවා. ඒත් අපි තවම කැලෑවෙන් එළියට ඇවිත් නැහැ. මොකද තවම තියෙන්නෙ කැලෑ නීතිය. කැලෑ නීතිය යටතේ තියන ඡුන්දය වල් වැදුණු ඡුන්ද කියලයි මම හිතන්නෙ.

සිරිමාවෝ සහ චන්ද්‍රිකා

ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ඇයයි. චන්ද්‍රිකා ගත්තාම මෙරට ප‍්‍රථම ජනාධිපතිනිය ඇයයි. ඔය තමයි සරල ලඝු කිරීම. මේ දෙන්නගෙම පොදු ලක්ෂණය තමයි මේ දෙපළම වැන්දඹු දේශපාලනය එක්ක බැඳිච්ච දේශපාලන චරිත වීම. අපි නිතරම කතා කරනවා රටේ ප‍්‍රචණ්ඩත්වය, දූෂණය, භීෂණය වළක්වන්න වැඩි වැඩියෙන් ස්ත‍්‍රීන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. එහෙම නම් මේ ප‍්‍රබල කාන්තාවෝ දෙපළක් ඉඳලා ඒ තත්ත්වයන් වෙනස් නොවුණේ ඇයි? මම කියන්නෙ මේ දෙපළම ස්වාධීන චරිත විදිහට ස්ත‍්‍රී ශරීර වුණත් වැඩ කළේ පිරිමි ඔළුවලින්. මේ දෙපළගේ ශරීර ස්ත‍්‍රී වුණාට ඔළුව පිරිමි. ඒක තමයි ඇත්ත.

ස්ත‍්‍රී දූෂණ

අපි මේක පොදුවේ ගනිමු. අද බලහත්කාරයට ලක්වෙන්නෙ දූෂණයට ලක්වෙන්නෙ ස්ත‍්‍රිය විතරද? පොදුවේ ගත්තාම අද ස්ත‍්‍රී ශරීරය විතරක් නෙමෙයි අපේ මුළු සමාජයම ප‍්‍රචණ්ඩත්වයට ලක්වෙනවා. මානසිකව සහ ශාරීරිකව පවතින බලය සහිත පුද්ගලයන් අතින් ප‍්‍රචණ්ඩත්වයට ලක්වෙනවා. මෙතනදී අපේ හදවතට වඩා දැනෙනවා සහෝදරියක්, මවක්, බිරිඳක්, දියණියක් විදිහට ගත්තාම. ඒකයි ස්ත‍්‍රී දුෂණ වෙනම අරගෙන අපි කතා කරන්නෙ. අද සමාජයම දුෂිතයි.

දික්කසාදය

අත්තිවාරම දෙදරපු නිවසක පැවැත්ම ගැන හිතන්න. ඒක කොයි වෙලාවක හරි කඩා වැටෙන්න පුළුවන්. ඒක රඳවගන්න පැච් දානවා. පැලැස්තර අලවනවා. කණු ගහනවා. හැබැයි භෞතික සත්‍යය තමයි කොයි වෙලාවක හරි ඒක කඩා වැටෙනවා කියන එක. ඒ වගේ ආදරය, විශ්වාසය, ඊට එහා බැඳුණු ඉතිරි කාරණා පළුදු වෙච්ච තැනක අමාරුවෙන් රැුඳිලා ඉන්නවාට වැඩිය දික්කසාදය හොඳයි. ළමයි හින්දා හරි, යන්න තැනක් නැති හින්ද හරි, ඊට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැතිවෙයි කියන බය හින්දා හරි මොනයම් හෝ කාරණයක් නිසා එල්ලිලා ඉන්නවට වඩා ජීවිතයේ සහජීවනය, සාමය, සතුට වෙනුවෙන් ක‍්‍රියාකිරීම වැදගත්. මම කියන්නෙ දික්කසාදය නරක නැහැ. අපි හදාගන්න ඕන දික්කසාද වෙලා හතුරෝ නොවී ඉන්න පරිසරයයි.

ගණිකාවෝ

මේක මොන විදිහකින්වත් සමාජයෙන් අතුගා දැමිය නොහැකි දෙයක්. ඒක අපි පිළිගන්න ඕනෑ. සේවය ලබාගන්න පිරිසක් ඉන්න හින්දාම තමයි සේවය ලබාදෙන පිරිසක් ඉන්නේ. ඒ හින්දා මම කියන්නේ මේකට නීත්‍යනුකූලභාවයක් ලබාදෙන්න ඕනෑ. එතකොට තමයි වෘත්තීයමය වශයෙන් එයට වටිනාකමක් ලැබෙන්නේ. ඒඞ්ස් වැනි රෝග ව්‍යාප්ත වන ශ‍්‍රී ලංකාව වැනි රටක ඒක අවම කරගන්න පුළුවන් ක‍්‍රමය තමයි මේ නීත්‍යනුකූලභාවය. එතකොට එහි නියැලෙන අය වගේම ඒ සේවය ලබාගන්නා අයත් සුරක්ෂිත වෙනවා. අද ස්ත‍්‍රී ගණිකාවෝ විතරක් නෙමෙයි පිරිමි ගණිකාවෝත් ඉන්නවා. මේ දෙපිරිසම සෞඛ්‍යය අතින් සේ ම වෘත්තීයමය අතිනුත් සුරක්ෂිත කරන්න පුළුවන් එය නීත්‍යනුකූල කළොත් කියලයි මගේ අදහස.

සංඝ සමාජය

සංඝ සමාජය පාරට බහින එක ලංකාවට විතරක් පොදු කාරණයක් නෙමෙයි. මේ තත්ත්වය, තායිලන්තය, මියන්මාරය වගේ රටවලත් දක්නට ලැබෙනවා. හැබැයි මේ අය පාරට බහින අරමුණුවල වෙනස්කම් තියනවා. මෑතකදී තායිලන්තයේ භික්ෂූන් පාරට බහිනවා. ඒ ඒඞ්ස්, එච්අයිවී ගැන දැනුවත් කරන්න. අපේ තියෙන්නෙ මේකෙ අනෙක් පැත්ත. අපේ සංඝ සමාජය අත්තකිලමතානු යෝගය වෙනුවට කාමසුඛල්ලිකානු යෝගය පවරගත්ත සංඝ සමාජයක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණාංග ගිහි සමාජයට වදාරමින් තමන් එහි අනෙක් පැත්ත නියෝජනය කරන සංඝ සමාජයක් අපිට ඉන්නෙ. බුදුන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ කුලවාදයම කරපින්නාගෙන යන සංඝ සමාජයක් අපිට තියෙන්නෙ. මම නම් දකින්නෙ සිංහල සංඝ සමාජය කියන්නෙම ප‍්‍රචණ්ඩකාරී සලකුණක්.

ටිරන් කුමාර බංගගමආරච්චි (රාවය)

3 comments:

  1. Well said... Thumbs up...

    ReplyDelete
  2. She is insightful and well spoken...
    I wonder why nobody still called her "Wesie"

    ReplyDelete

Powered by Blogger.