Header Ads

ජනාධිපතිවරයකු කියන ඇත්ත!

සුනන්ද දේශප‍්‍රිය 

පාසල් ගිය සන්ධියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? මේ කතාව හතර වැනි සිල් පදය ගැනය. පොදු වශයෙන් මෙරට බෞද්ධයන් සහ බෞද්ධ සංස්ථා පන්සිල් සියල්ල නැතොත් ඉන් බහුතරය කෙළෙසන බව කියන විට අප ආරක්ෂා කරන්නේ එම හතර වන සිල් පදය යි.


අටසිල් හි මම බොරු නොකියමි යන එම සිල් පදය තව දුරටත් විස්තර කෙරෙයි. ‘මම නුසුදුසු භාෂිතයෙන් එනම්, බොරු කීම, අනුන් රැුවටීම, අනුන් උගුලේ හෙළීම, සිත් පහරවන වචන භාවිතය ආදියෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.’

දැන් අල් ජසීරා කතාවට යමු. ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැුස්වීමට ගිය අතරවාරයේ අල් ජසීරා රූපවාහිනියට සම්මුඛ සාකච්ජාවක් දුන්නේ ය. පසුගිය පළාත් පාලන මැතිවරණය දා මේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේම ආණ්ඩුව ශී‍්‍ර ලංකාවේ ජීවත්වන ජනයාට බැලීම තහනම් කළේ ද මෙම අල් ජසීරා රූපවාහිනියමය. ඒ ශී‍්‍ර ලංකාව ගැන එහි වූ වැඩසටහනකට රාජපක්ෂ ආණ්ඩුව බිය වූ නිසා ය.

එනමුත් දෙමළ බසින් විකාශනය වන හිටපු එල්ටීටීඊ ප‍්‍රකාශක වූ දැන් ආණ්ඩුවේ නොනිල ප‍්‍රකාශකයකු වන දයා මාස්ටර් මෙහෙයවන ඩෑන් රූපවාහිනියේ දෙමළ ජාතික සන්ධානයට අවාසිදායක පුවත් මැතිවරණ දිනයේ නීති කෙළෙසමින් ප‍්‍රචාරය කැරුණි. එහි විකාශනය කෙරුණේ බොරු ය. දයා මාස්ටර් බෞද්ධයකු නොවන නිසා මම බොරු නොකියමි පන්සිල් පදය දන්නේ නැතුව ඇති.

එනමුත් ජනාධිපති රාජපක්ෂ එම සිල්පදය දන්නවා පමණක් නොව අරලියගහ මැදුරේ බුදු කුටියෙහි දී දිනපතාම පන්සිල් සමාදන් වනු ඇති බව සහතික ය. එපමණක් නොවේ. එම රූපවාහිනී සාකච්ජාවට ජනාධිපති රාජපක්ෂ මුහුණ දෙන්නේ ද සිය ආගමික ඇදහිල්ල පෙන්නුම් කරන මහායාන බෞද්ධාගමික වජ්රා සංකේතය සිය වම් අතෙහි රඳවා ගෙන ය. මහායාන ඇදහිල්ලට අනුව වජ්රාව සෑම විටම දකුණතෙහි තිබිය යුතු අතර වම් අතෙහි තිබිය යුත්තේ එවැනිම ආගමික සංකේතයක් වන සීනුව ය. (සමහර විට සීනුව ජවිපෙ ලාංඡනය නිසා ජනාධිපති රාජපක්ෂ එය අත හරින්නට ඇති). නේපාලයේ තමෙල්හි පදික වෙළෙඳුන්ගෙන් මෙම වජ්රාවක් රුපියල් දෙතුන් සියයකට මිල දී ගත හැකි ය.

වජ්රාව ආධ්‍යාත්මික දෘඪභාවයේ ද පාරිශුද්ධභාවයේ ද සංකේතයක් ලෙස මහායානය මෙන්ම හින්දු සහ ජෛන ආගමද සලකයි. ආධ්‍යාත්මික පාරිශුද්ධභාවයේ ආගමික සංකේතයක් ලෙළවමින් උදේ හවා පන්සිල් පද සමාදන් වන ජනාධිපති රාජපක්ෂ පසුගිය දා අල් ජසීරාවට කීවේ මොනවාද? ඇත්ත ද බොරු ද? එකින් එකට යමු.

උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත් වූ බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් ප‍්‍රකාශ කරන ලදැ’යි ජනාධිපති රාජපක්ෂ අල් ජසීරාව හරහා ලෝකයට කීය.

එහෙත් ඇත්ත කතාව නම් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා යුරෝපා සංගමයෙන් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණි බව ය. පැමිණි විදේශීය නිරීක්ෂක කණ්ඩායම් දෙක එනම් පොදු රාජ්‍ය මණ්ඩල සහ සාර්ක් රටවල නිරීක්ෂක පිරිස් උතුරු පළාතෙහි යුදකරණය මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාගේ සතු බලයේ අප‍්‍රමාණවත්කම ප‍්‍රකාශ කළ බව ය.

අතේ පැල කළ එවැනි බොරුවක් ලෝකයට කීම පන්සිල් හෝ වජ්රාව සමග ගැලපේ ද?

වතුර ඉල්ලා පාරට ආ වැලිවේරිය රතුපස්වල ජනයාට වෙඩි තැබීම පිළිබඳව අල් ජසීරා මාධ්‍යවේදියා අසන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන ජනාධිපති රාජපක්ෂ ලෝකයට කියන්නේ එම සිදුවීම ගැන සොයා බැලීමට තමන් කමිටුවක් පත් කළ බවත් එම වාර්තාව තවමත් තමන්ට නොලැබුණ බවත් ය.

එහෙත් ඇත්ත කතාව නම් ආණ්ඩුවේම හොරණෑව වන ඬේලි නිව්ස් පුවත්පත අගෝස්තු 16 දින වැලිවේරිය සිදුවීම ගැන සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව වාර්තා කළ බවයි. එමෙන්ම ඒ ආසන්නයේ ම හමුදාපති ජෙනරල් දයා රත්නායක කියා සිටියේ වැලිවේරිය සිදුවීම පිළිබඳ යුද හමුදා අධිකරණයේ වාර්තාව හමුදාවේ නීති අංශයට භාර දී ඇති බවයි.

එතකොට ජනාධිපති රාජපක්ෂ මේ වාර්තා ගැන දැන සිටියේ නැත් ද? මම බොරු නොකියමි සිල් පදය බිඳුණා ද නැත් ද?

දෙමළ ජන පෙදෙස් යුදකරණය ගැන අසන ලදුව ජනාධිපති රාජපක්ෂ අල් ජසීරාවට කියන්නේ උතුරෙහි සිටින හමුදා ප‍්‍රමාණය 8,000-12,000 අතර වන බව ය. මේ වනාහි උතුරු පළාතෙහි ස්ථාන ගත කර ඇත්තේ මෙතරම් අඩු හමුදා සංඛ්‍යාවක් බව අසන්නට ලැබුණ මුල් වතාව ය. ශී‍්‍ර ලංකාවේ උතුරු පළාතෙහි සංචාරය කර ඇති කවරකු හෝ මෙම ගණන පිළිගනියි ද?

බේගල් එතැනින් නොනවතී. හමුදාව අල්ලා ගෙන සිටි උතුරේ සිවිල් ජනයාගේ ඉඩම් සියල්ල ආපසු දී ඇතැයි ජනාධිපති රාජපක්ෂ අල් ජසීරාවෙන් ලොවට කියන්නේ සිය ඉඩම් හමුදාවෙන් ලබා ගැනීම පිණිස සියගණන් උතුරුවැසියන් අධිකරණයේ පිහිට පතා තිබිය දී ය. යුද හමුදාවවත් මෙවැනි ප‍්‍රකාශයක් කර නැත. මේ වනාහි බොරුකාර දේශපාලනඥයකු නොව පචවිලි මාමා කෙනකු වුව පරදවන අතේ පැලවෙන තවත් බොරුවකි.

රටෙහි සිදුවන සුදු වෑන් පැහැර ගැනීම් බොරුයැයි කීමට ජනාධිපති රාජපක්ෂ 23 හැවිරිදි තරුණියක සහ ඇයගේ පෙම්වතකු පිළිබඳ හාස්‍යජනක කතාන්තරයක් අල් ජසීරාවට දෙසාබායි. ශී‍්‍ර ලංකාවේ තවමත් සුදු වෑන් පැහැර ගැනීම් වන බවට ඊයේ පෙරේදා ආචාර්ය මර්වින් සිල්වාගේ ගෝලයකු බව කියන හට් තිලක් පැහැර ගැනීමම සාක්ෂියකි. පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් සංවිධානය කළ තවත් පැහැර ගැනීමක් සහ ඝාතනයක් මේ දිනවල පුවත්පත් පිටු පුරවයි. කොළොන්නාව ප‍්‍රාදේශීය සභාපති පැහැර ගැනීමට පැමිණි යුද හමුදා සෙබළු අතටම හසු වූහ.

එහෙව් කොට සුදු වෑන් පැහැර ගැනීම් පෙම් පළහිලව්වකට ලූහු කිරීම ජනාධිපතිවරයකුට සෑහෙයි ද?

ජනාධිපති රාජපක්ෂ මුස්ලිම් රටක රූපවාහිනී සේවාවකට කතා කරමින් මෙරට මුස්ලිම් ජනයාගේ ආගමික නිදහසට කැරෙන ප‍්‍රහාරයන් පිළිබඳ කියන්නේ සමහර සිද්ධි සහ පහරදීම් සිදුව තිබෙන බව ය. එනමුත් එම සිදුවීම් වලට හේතු වූයේ මොනවාදැයි තමාගෙන්ම අසා ගනිමින් ඔහු මෙසේ කියයි: ‘‘දැන් බලන්න, ගෑනු ළමයෙක්ව දූෂණය කළා. අවුරුදු හතක ගෑනු දරුවෙක් දූෂණය කළා. එහෙම වුණාම, ඒ මිනිහා මොන ජාතියේ ද, ආගමේ ද කියලා බලන්නේ නැහැ. මිනිස්සු ගහනවා. එහෙම සිද්ධියක් දැන ගත්තාම ජනයා කෝප වෙනවා. නෑදෑයෝ කේන්ති ගන්නවා. ඒ වගේ දේ වෙලා තියෙනවා. ඒ හැම සිදුවීමකටම පසුබිමක් තියෙනවා”කියා ය.

අසව්! මෙරට ඉස්ලාමීය ආගමික ස්ථාන වෙත එල්ල වූ සෑම ප‍්‍රහාරයකටම හේතු වී ඇත්තේ ලිංගික කෙළෙසීම් වැනි කි‍්‍රයා ය. මේ වනාහි ජනාධිපතිවරයකු ගේ වදන ය.

බුද දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී පිරිස් විසින් ඉස්ලාමීය ආගමික ස්ථාන සහ මුස්ලිම් ව්‍යාපාරික ආයතන වෙත එල්ල කරන නිමක් නැති ප‍්‍රහාරයන් සාධාරණ කරනු පිණිස ජනාධිපති රාජපක්ෂ කියන මෙම හත් හැවිරිදි දැරිය දූෂණය වූයේ කොහි දී ද? කා අතින් ද? ඒ සම්බන්ධයෙන් පවරන ලද නඩුවක් තිබේ ද? මේ වනාහි ප‍්‍රචණ්ඩත්වයට අනුබල දීමක් පමණක් නොව සාහසික බොරු මගින් එම අපරාධ සාධාරණය කිරීමකි.

ජනාධිපතිවරයකු අන්තර් ජාතික රූපවාහිනී සේවාවක් ඔස්සේ සිය රටෙහි ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් මෙවැනි අතාර්කික අතේ පැලකරන ලද බොරු කියන විට ඉන් සංකේතවත් කැරෙන්නේ කුමක් ද? ඕනෑම බේගලයක් ඇදබෑව ද මෙරට දී කිසිදු ජනමාධ්‍ය හෝ මහජන පරීක්ෂණයකට මුහුණ දීමට සිදු නොවන බවට ඇති විශ්වාසය යි. ඊටත් වඩා එම ජනාධිපතිවරයා සිය ජනයාගේ මානව හිමිකම් කෙරෙහි දක්වන සැලකිල්ලේ හැටි ය.

(ග‍්‍රවුන්ඞ් වීව්ස් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් ද ඇසුරු කැරිණි.)
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

3 comments:

  1. මෙන්න මේකත් බලන්ඩ මචං

    http://jangun.wordpress.com/2013/09/30/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%b6%e0%b7%90%e0%b6%bd%e0%b7%94/

    ReplyDelete
  2. ME THAWATH ANTHA WADI 1 GE SATAHANAK PAMANI

    ReplyDelete
  3. එතකොට සුනන්ද දේසප්‍රිය බොරුකියලා නැතෙයි?

    ReplyDelete

Powered by Blogger.