Header Ads

රාජා හෝ මා හෝ

ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කැසිනෝ බලපත්‍ර දීමට ටෙන්ඩර් කැඳවන කාලයය. එකල ඕස්ට්‍රේලියාවේ බලයේ සිටි ලේබර් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට අද කැසිනෝ රජා ලෙස ප්‍රකට ජේම්ස් පැකර්ගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි.
'මට ලැයිසන් එක ලැබුණේ නැතිනම් මම උඹලා ඔක්කොම කම්බස් කරනවා....'

මේ ජේම්ස් පැකර් ඇමැතිවරයාට කරපු තර්ජනයය. පසු දින ඕස්ට්‍රේලියානු පුවත්පත්වල මෙය පොල් ගෙඩි අකුරින් පළ විය. ඒත් කැසිනෝ රජාට අත තියන්න ලේබර් ආණ්ඩුව බය විය.

 වරක් ඔහුව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයකදී 'ද ඕස්ට්‍රේලියන්' පුවත්පතේ වාර්තාකාරයකුට හමු විය.

'ඔබ අගමැතිතුමා හමුවීමට ගියාද....?'

වාර්තාකාරයා ඇසීය.

'නෑ... මම විපක්‍ෂ නායකවරයා හමුවෙන්න ගියා...'
පැකර් උත්තර දුන්නේ එසේය.

'පැකර් ඕස්ට්‍රේලියාවේ දේශපාලනයේ එක පැත්තකට පමණක් නොවේ දෙපැත්තටම සෙල්ලම් කරන්න දක්‍ෂයි...'

මේ පැකර්ට එරට ආණ්ඩුවේ පමණක් නොව විපක්‍ෂයේත් තියෙන සම්බන්ධතා ජාලය දැක එරට මාධ්‍ය කිව්ව කතාවක්ය.

'ලොක්කන් එක්ක ගනුදෙනු කරද්දී ජේම්ස් පැකර් ඔහුගේ පියා කෙරී පැකර්ට සම කළ නොහැකිය. ඒත් ඔහු සිඩ්නි නුවර දෙවැනි කැසිනෝ සංකීර්ණය හදන්න දියත් කර ඇති යුද්ධය දිහා බලන විට පේන්නේ ඔහු පියාගේ බලගතු ජාන පරම්පරාවෙන් එන අයකු බවය. එයින් ඔප්පු වන්නේ පැකර් නාමය අදටත් ජාතියේ තීරණ ගන්නවුන්ගේ දෙසවන තුළ රැව් පිළිරැව් දෙන වගය...'

මේ ඕස්ට්‍රේලියානු මාධ්‍යයක පසුගිය වසරේ පළවූ ලිපියකි.

 පැකර්ගේ පියා කෙරී පැකර් එරට ආණ්ඩු හදපු වට්ටපු මාධ්‍ය අධිරාජයෙකි. ජේම්ස් පැකර් ඔහුගේ පුතාය. ඔහු කැසිනෝ රජෙකි. ඔහු පියා මෙන් මාධ්‍ය හරහා නොව සූදුවෙන් එරට දේශපාලනය අල්ලේ නටවයි.

'එතකොට මෙයාද මේ ලංකාවට එන්න යන්නේ...'

 දන්නෝ අහන්නේ එහෙමය.

'පැකර්ට ගිය රට...'

කවදා හරි හැමෝම කියන්න ගන්නේ ඔය කතාවය.

මේ පැකර් දැන්ම මහින්දගේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදලා ඉවරය. කැසිනෝවලට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා කට අරින්නේ කැසිනෝ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

'කැසිනෝ ව්‍යාපාරවලට වඩා අපි ජාතික උරුමයට මුල් තැන දිය යුතුයි.....'

නිමල් සිරිපාල එහෙම කියද්දී හෙළ උරුමයේ බලපෑමට ආණ්ඩුව කැසිනෝ කෙටුම්පත අකුළා ගත්තේ එය පාර්ලිමේන්තුවේ පරාජය වේ යැයි පණ බයෙන්ය.

කැසිනෝ රජා ලංකාවට පය ගහන්න කල් යල් බලන්නේ අද ඊයේ නොවේ. 2008 සිටය. මේ ආණ්ඩුව 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත නමින් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය. මෙම පනතේ අරමුණ, හඳුනාගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා බදු රහිත කාල සීමාවක් සඳහා විධිවිධාන සැලැස්වීමය. 2010දී ආණ්ඩුව කැසිනෝ පිහිටුවීම සඳහා පනතක් ගෙනැවිත් සම්මත කර ගත්තේය. තෝරාගත් ස්ථානවල කැසිනෝ පිහිටුවීම සඳහා බලපත්‍ර දීමට එම පනතින් අනුමැතිය ලැබිණි. මේ, කැසිනෝ රජාට ලංකාවට එන්න මේ ආණ්ඩුව පාර කපපු හැටිය. 2008 කැපූ පළමු පාර 2008 ක්‍රමෝපාය සංවර්ධන පනතය. ආණ්ඩුව ඒ පාරට තාර දමන්නේ 2013 අංක 16 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත හරහාය. එයින් කියන්නේ 2008 සම්මත වූ පනතට අනුව දෙනු ලබන බදු සහනවලට අලුත් අයිතමයක් නොහොත් විෂයක් එකතු වන බවය. එකතු වන අයිතමය නොහොත් විෂය නම් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතය. පැකර්ට එන්න පාර කැපිලා තියෙන්නේ මෙහෙමය. ඒ කියන්නේ සියලු බදු සහන සහ වරප්‍රසාද දී පැකර්ව ගෙන්නා ගන්න පනත් සම්මත කර ගෙන ඇත්තේ ප්‍රභාකරන්ව විනාශ කොට ත්‍රස්තවාදය අවසන් කරන්න ත්‍රස්ත විරෝධී අණ පනත් නීති රීති සම්මත කර ගත්තා වගේය.

 පැකර් සිඩ්නි නුවර දෙවැනි කැසිනෝ සංකීර්ණය හදන්න ගත් උත්සාහය එරට මාධ්‍ය හැඳින්වූයේ යුද්ධයක් ලෙසය. ඒ යුද්ධය ජය ගත්ත ඔහු ආණ්ඩුවටත් විපක්‍ෂයටත් සල්ලි වීසි කළේය. පැකර් ලංකාවෙත් කැසිනෝ පටන් ගන්න දියත් කර ඇත්තේ එවැනිම යුද්ධයක් බව පෙනේ.

'ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුවටයි විපක්‍ෂයටයි පැකර් සල්ලි වීසි කරනවාද...'

 ඒක නම් කියන්න දන්නේ නැත. සුද්දන්ව පේන්න බැරි මේ ආණ්ඩුවට පැකර් ගැන කැක්කුමක් ඇති වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයකි. පැකර්ගේ කැරැට්ටුව මේ ආණ්ඩුව නොදන්නවා නොවේ. පැකර්ගේ පියා එරට ආණ්ඩු හොලවපු හැටිත් පැකර් අද එරට දේශපාලනඥයන් අල්ලේ නටවන හැටිත් ආණ්ඩුව දනී.


මලයාසියාවට රිංගපු සල්ලි රජා ජෝර්ජ් ෂෝරෝත් කළේ ඒකමය. මලයාසියාවේ මහතීර් මොහමඩ්ගේ වසන්ත කාලයේ මලයාසියාව බලගතු රටක් කරන්න ෂෝරෝ ආයෝජන සඳහා සල්ලි වීසි කළේ ලෝභකමකින් තොරවය. මහතීර්ගේ ආණ්ඩුව එකල නැටවුණේ ෂෝරෝගේ අල්ලේය. හංගේරියානු - ඇමෙරිකානු මිශ්‍ර ව්‍යාපාරිකයෙක් වූ ෂෝරෝ මහතීර්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ව සල්ලිවලට ගත්තේය. මහතීර් ඇතුළු ආණ්ඩුව ෂෝරෝගේ වලිගේ එල්ලිලා මලයාසියාව දිව්‍ය ලෝකයට ගෙන යන්න දත කද්දී ෂෝරෝ වලිගේ ගැසුවේය. මහතීර් පමණක් නොව මලයාසියාවත් බිම ඇද වැටිණි. මහතීර්ව විනාශ කරන්න වේලාව හරි යයි හිතපු ෂෝරෝ මලයාසියාවේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ මුදල් හිටි හැටියේ ඇදලා ගත්තේය. මහතීර් සමඟ මලයාසියාවම හතර ගාතෙන් ඇද වැටිණි. ෂෝරෝ කසකස්තානයේ මෙන්ම යුක්රේනයේ සහ ජෝර්ජියාවේ ආණ්ඩු වෙනස් කරන්න රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි වීසි කළේය. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු නැඟෙනහිර යුරෝපයේ රටවල් කොමියුනිස්ට්වාදයෙන් බේරා ගැනීමටත්, ඇමෙරිකාවේ බුෂ්ගේ ආණ්ඩුව වෙනස් කිරීමටත් ඔහු මහා ධනස්කන්ධයක් වැය කළේය.

 පැකර්ලා ෂෝරෝලා කියන්නේ එක ජාතියේ කුරුල්ලන්ය. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ලංකාවට ආ කැසිනෝ රාජා ජෝෂිම්ද එවැනි කුරුල්ලෙකි. ඔහු ගැන මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂයේ සිටියදී පාර්ලිමේන්තුවේ කළ මේ කතාව මතක් කර ගත්තොත් පැකර් එන්නේ මොකාටද කියල තේරුම් ගන්න තව අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නොවේ.

 'මොකක්ද, මේ විනෝදය? පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශය වුණා. පසුගිය කාලවලදී ජෝෂිම්ට පුළුවන්කමක් තිබුණා ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ පින්තූරවලට පෙනී සිටින්න. (බාධා කිරීම්) තමුන්නාන්සේලාට වැරදිලා. තමුන්නාන්සේලා වෙන්න පුළුවන්. අපි නොවෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්නට එපා. ජෝෂිම් එක්ක හිටපු අයගේ ලැයිස්තුව ගැන මම කියන්න ගියොත් තමුන්නාන්සේලාට ටිකක් කෑගහන්න වේවි. මම කාටවත් අපහාස කරන්න කැමැති නැති නිසා ජෝෂිම් එක්ක හිටපු අයගේ නම් ලැයිස්තුව කියවන්නේ නැහැ. නමුත් ජෝෂිම්ලා වගේ උදවිය, කැසිනෝ වැනි සූදු මේ රටට ගෙනැවිත්, තායිලන්තයෙන් ගණිකාවන් මේ රටට ගෙනැවිත් මේ රටේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. එවැනි අයට මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් දීලා පුරවැසිභාවය ලබාගන්න එකවත් විශාල කාර්යයක් නොවෙයි. එවැනි අය මේ රටට ශතයක්වත් ගේන්නේ නැතිව, මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේම ඉඳගෙන සල්ලි හම්බ කරලා, කළු සල්ලි ඩොලර්වලට පත් කරලා ඕනෑ නම් ඒ සල්ලිවලින්ම මේ රටේ පුරවැසිකම ලබාගෙන, දේශපාලනඥයනුත් ඒවාට හවුල් කරගන්න මහන්සි ගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ විශාල පරිහානියක්ය කියන එක මම මතක් කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තිය, සමලිංගික සේවනය, ඒඩ්ස් රෝගය වැනි දේවල් ඔවුන් මේ රටට ගෙනෙන්නට පුළුවන්.

 දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගන්නේ නැතිව වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්නට ගියොත් - මේ රටේ විනාශයක් මිස සංවර්ධනයක් ඇතිවන්නේ නැහැයි කියන එක මම මතක් කරන්නට ඕනෑ. ඒ විතරක් නොවෙයි, ඊටත් වඩා භයානක දෙයක් තිබෙනවා. මේ රටේ තිබෙන දේශපාලන පරිසරය අනුව පසුගිය කාලයේදී මේ රටේ ජනාධිපතිතුමා ඝාතනය වුණා, රංජන් විජේරත්න ඇමැතිතුමා ඝාතනය වුණා, ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි හමුදා නායකයන් ඝාතනය වුණා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඝාතනය වුණා. මෙවැනි තත්ත්වයක් පවතින විටදී, සමහර විට මැරවරයන්, සල්ලිකාරයන්, හොර ජාවාරම්කාරයන් මේ රටට ඇතුළු වී අවසානයේ මේ රටේ දේශපාලනය හසුරුවන්නට එවැනි ඝාතන සැලැස්මවල් ආරම්භ කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මීට වඩා පරෙස්සම් විය යුතුව තිබෙනවා. මොකද, සල්ලි අරගෙන මේ රටට ඇවිත්, සල්ලිවලට පුරවැසිකම් ගත් පසු මේ රටේ ආණ්ඩු වෙනස් කිරීම, අලුත් ආණ්ඩු ඇති කිරීම, රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම වැනි දේවල් පවා සිදුවීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ භයානක සෙල්ලම නතර කළ යුතුයි.'


උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.