Header Ads

මාලක සහ සාලින්ද අනතුරුදායකය

ටිරන් කුමාර බංගගමආරච්චි

අධි වේගයෙන් ඉගිල්ලෙන ජීවිතවලට අනෙක් ජීවිත කෙටිය. ඒ දෙස ඇස් ඇර බලන්නට හෝ ඇති ඉඩ පටුය. රිය අනතුරුද අද දවසේ මෝස්තරයකි. රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයේදී රිය අනතුරු හතර පහක් හෝ පෙන්වීම නිත්‍ය අංගයකි. එය ලේවල තවරාම ඉදිරිපත් කිරීම විජයග‍්‍රහණයකි. රිය අනතුරු තරමටම එය වාර්තා කිරීමද තරගයක් වී හමාරය.



එහෙත් පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක ගමන් ගත් ජීප් රියට යටවූ කුඩා දැරිය ගැන වාර්තා කිරීම මන්දගාමීය. ඇය වසර තුනක් තරම් කුඩා දැරියකි. පාර අසල නිවසක දරුවෙකි. මේ මොහොතේ ගමේම අර්ථකථනවලට අනුව දැරිය වැරදිය. මොවුන් නිවසින් එළියට බැසීම යනු පාරට බැසීමය. මෙලෝ හසරක් නොදත් දරුවකු පාරට බැස ඇත. ඉගිල්ලී ආ ඇමතිගේ රථය දරුවාගේ ජීවිතයට පාර පැනීමේ ආනිසංස කියාදී ඇත. ඒ අනුව ගොකරැුල්ල ප‍්‍රදේශයේ පදිංචි පුංචි දැරිය කුරුණෑගල රෝහලටත්, බරපතළකම හේතුවෙන් කොළඹ ජාතික රෝහලටත් මාරු කොට එවා ඇත. එතැන් සිට දැරියට කුමක්වූවාදැ’යි දන්නේ එම දැරියගේ ඥාතීන් පමණි. පොලිසිය සිද්ධියේ මුල් අවස්ථාව දන්නාමුත් ඉන් එපිට මෙලෝ හසරක් නොදනිතැ’යි කියති.

ඇහින් දුටු සාක්ෂිකරුවකු කියනුයේ මැල්සිරිපුර සිට කුරුණෑගල දක්වා අධික වේගයෙන් ඉගිලූණු ඇමතිගේ රථය ත‍්‍රිරෝද රථයකට ඉස්සර කරන්නට යෑමේදී පාර අයිනේ සිටි දැරියද ඉස්සරහට ඇදගෙනම ගොස් සිය ගමන නැවතූ බවය. දැරිය අනතුරින් බරපතළ තුවාල ලැබුවාය. රටේ කප්පරක් ප‍්‍රශ්න හිසලාගෙන ඒවාට විසඳුම් සැපයීමට කඩිනමින් ඉගිල්ලෙන දේශපාලකයන්ගේ වාහනවලට හසුවීම බරපතළය. ඒ එවැනි වාහනවලට හසුවන සියල්ලන් හසුවූ සැණින් වැරදිකරුවන්ද වන නිසාය. ඒ අනුව සාලින්ද ඇමති හොඳ වී මේ දරුවා වැරදි වී ඇති බව කුරුණෑගල මාධ්‍යවේදී මිතුරන්ගේද අදහස විය. සැප්තැම්බර් 25 වැනිදා රාත‍්‍රි 7.30ට සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පාර මාරු වෙන්න ගොස් නැත. ඇය සිට ඇත්තේ පාර අයිනේ පිහිටි නිවසේ දොරකඩය. එහෙත් වේගයෙන් යන ඇමැත්තාට පාර මදිවී පාරෙන් පිටට පැන ඉගිලෙන විට දැරියව යටකොට ගමන ගොස් ඇත. මේ වනවිට ඇමති රැුගෙන ගිය රියදුරා අත්අඩංගුවට ගෙන ඇත. දැරියට සිදුවූයේ සදාකාලිකව රෝගාතුරව දිවි ගෙවන්නටය. ඇමැත්තෙක් ගමන් ගත් රථයක් නිසා ප‍්‍රශ්නයත් ඉබේටම යටවී ඇත. අද ඒ පිළිබඳ කියන්නට කරන්නට කිසිත් නැත. දරුවා සෙල්ලමට ඇමති වාහනයට පැන්නායැ’යි හිත හදාගත යුතු තත්ත්වයට පත්ව ඇත.

යුද්ධයෙන් පසු දේශපාලකයන් උපරිම නිදහස භුක්ති විඳිනුයේ පාරවල් සියල්ල ඔවුන් සන්තක කරගනිමිනි. ඇමතිවරුන් ගණනාවකගේ මේ අධික වේගය නිසා මිනිස් ජීවිත කිහිපයක්ම අහිමි වුවද ඒ වෙනුවෙන් සිරගත හෝ දඬුවම් ලැබූ දේශපාලකයෙක් නොවීය. 2011දී ජනාධිපති ආර්යාව ගමන් ගත් රථ පේළියේ රථයකට හසුවී බේරුවල මොරගොල්ලේදී අයෙකු මියගියේ හිස කුඩුපට්ටම් වෙමිනි. එහෙත් ඒ ගැන වචනයක් හෝ නොදොඩන්නට, නොලියන්නට පුදුමාකාර විදිහට මාධ්‍ය පරිස්සම්සහගත විය. රිය අනතුරු කොතෙක් වුවද මැති-ඇමතිවරුන්ගේ වාහනවලට හසුව මියයන, බරපතළ තුවාල ලබන ජීවිත ගැන කතා කිරීම මාධ්‍ය මාර්ග බාධකයක් කරගෙන ඇති හැඩකි. ජනතාව කළයුත්තේ දේශපාලකයකු ගමන් ගන්නා වාහනයකට හසුනොවන්නට පරිස්සම්වීමය. දේශපාලකයකු එන බව කල්තියා අන්ධයකුට වුව හඳුනාගැනීමට හැකි බැවින් කාණුවකට හෝ අහළ පහළ නිවසකට හෝ ගොස් පරිස්සම්වීම ශරීර සෞඛ්‍යයට හොඳය. නැතහොත් අනතුරට වන්දියක් ගැනීම කෙසේ වෙතත් මැති-ඇමැත්තෙකු අමාරුවේ දැමීමට හිතා මතා වාහනයට පැනීම ගැන බරපතළ අවනඩුවකටද මුහුණදීමට සිදුවනවා නියතය. කුරුණෑගල දන්නා කියන මාධ්‍ය මිතුරන් කීවේ අම්මලා දැනගන්න ඕන ළමයි බලාගන්න යන ප‍්‍රකාශයකි. මේ දේ හෙට ඔබට මට නොව ඔය කියන මාධ්‍ය මිතුරන්ට වුවද පොදු යථාර්ථයමය.

ඒ එක් කතාවකි. එබඳුම තවත් කතාවක් අසන්නට ලැබුණේ කතරගම ප‍්‍රදේශයෙනි. ඒ මහජන උපයෝගිතා පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සම්බන්ධයෙනි. කතරගම බලා ගිය මාලකට ආරක්ෂාව සැපයූ ඇමති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් කිහිපදෙනකු තුවාල ලැබීමත් සමගය.

මාලක සිල්වා ඇමති කෙනකුගේ පුතකුමුත් ඇමති කෙනෙක් නොවේ. එහෙත් ලංකාව වැනි රටවල ඇමතිට ඇති බලපරාක‍්‍රමය දශමයක අඩුවැඩියාවක් නැතිව ඇමතිගේ බිරිඳට, දරුවන්ට පමණක් නොව ගෙදර බල්ලාටද ඇති සැටියකි. කෙනෙක් සිහිවිකල්ලෙන් ඇමති ආරක්ෂාව පුතාට දුන්නේ කෙසේද වැනි ප‍්‍රශ්න ඇසිය හැකිය. ඒ ප‍්‍රශ්න ඇසිය හැකිමුත් පිළිතුරු නැති බවද පසක් කරගත යුතු වෙනම කරුණකි.

මාලක කතරගම ගියේ දෙවියන් වැඳ පුදා ගන්නටයැ’යි අනුමාන කරමු. දෙවියන් වඳින්නට යන ඇමති පුතකුට වුව දැඩි ආරක්ෂාව අවැසි සාමකාමී රටක් ලෙස ලංකාව දැන් ලෝකයේම ප‍්‍රසිද්ධය. පුතා දෙවියන් වඳින්න යනවිට ඇමති නිවසෙන් එළියට හෝ නොබහිනවා නියතය. මන්ද ආරක්ෂාව පුතාට දුන් කල ඇමතිට ආරක්ෂාව කොයින්ද? එසේ නම් ඇමතිට නිල නොලත් ආරක්ෂකයන් සිටිය යුතුය. සැප්තැම්බර් 23 වැනිදා තංගල්ල වාඩිගල වැල්ආර ප‍්‍රදේශයේදී වූ මේ සිද්ධියේදී තුවාල ලැබුවේ පෑලියගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් දෙපළකි. ඇමතිවරුන්ට පමණක් නොව ඔහුගේ පවුලේ කවුරු වෙනුවෙන් හෝ දිවි පුදන පොලිස් නිලධාරීන් ගැන කම්පාවිය යුතුය. එහෙත් ඒ ඔවුන්ගේ දේව රාජකාරියය.

පොලිසියේ ඉහළ නිලධාරීන් කියනුයේ ඇමති ආරක්ෂකයන් ඇමති පුතාගේ ආරක්ෂාවට යෙදිය නොහැකි බවය. යෙදවූයේ කෙසේද අසන්නට තබා ඒ ගැන ප‍්‍රසිද්ධියේ කතා කිරීමට වුව ඔවුන් බියය. ඇමති මර්වින් සිල්වා කියනුයේ තමාගේ අහිංසක පුතාට ඔඩෙල් සංකීර්ණය ඉදිරිපිටදී පහර දුන් පසු මෙලෙස ආරක්ෂාව සපයන බවය. ඔඩෙල් සංකීර්ණය ඉදිපිටදී ගුටි කෑ මාලක රටට කීවේ තමා ඇමති ආරක්ෂකයන් පිරිවරාගෙන යන බව මාධ්‍ය කීවද එය ඔඩෙල් සිද්ධියෙන් බොරුවූ බවය. එය කතරගම සිද්ධිය ඇත්ත වන විට ඇමති මර්වින් කියනුයේ චණ්ඩි පුතුන් නොගසන්නට පුතාට ආරක්ෂාව අත්‍යවශ්‍ය බවය. කෙසේ වෙතත් මාලක සිල්වාට ගහන්නට සිටින අය පහරදී අවසන් නැති බව ඇමතිගේ ප‍්‍රකාශයෙන්ම පැහැදිලිය. නැවත ඒ දේ විය හැකිය. එබැවින් තමාගේ ආරක්ෂාව පුතාට පරිත්‍යාග කොට ඇත්තේය. එය පියකුගේ දරු සෙනෙහසය. මෙහි ඇති ආදර්ශය ඇමතිවරුන් පමණක් නොව ඇමති පුත්තු එන විටද ජනතාව මහමගින් අහකට විය යුතු බවය. මුළු ජනතාවටම හෙණ ගැහැව්වද රැුකිය යුත්තේ ඔවුන් පමණි. මාලකට දෙන ආරක්ෂක රථය පෙරළෙන විට ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණයට රැගෙන ගිය තරුණියන් දෙපළක්ද තුවාල ලැබුවද අනතුරින් පසු ඒ රථයෙහි ගමන් ගත් තරුණියන් පිළිබඳ පුවත අතුරුදන්ය. ඒ ගැන ලියන විට තරුණියන් හැලී ගැලවී ගොස්ය. ඒ අනුව බලන කල මොවුන්ගේ රථවලට කවුරු හසුවුවද අත්වන ඉරණම එපමණකි.

මර්වින් සිල්වාට, සිල්වාගේ පුතාට, සාලින්දලාට ඉගිල්ලිය හැකිය. පරිස්සම් විය යුත්තේ ඒවාට හසුනොවන්නටය. මර්වින් සිල්වාගේ පුතාගේ වාහනයකට හෝ පුතාගේ ආරක්ෂකයන්ගේ වාහනයකට කවුරු හසුවුවද ඒ මර්වින්ගේ පුතාට ගහන්න ආ අයකු බවට පත්වන්නට ගතවන්නේ හසුවන කෙටි කාලය පමණක් බව සිහි තබා ගත යුතුය. පාරේ යන්නේ මැති ඇමැත්තන් විය හැකිය. ඒ අයගේ බිරින්දෑවරුන් දූවරුන් පුතුන් විය හැකිය. ඒ කවුරු වුව මගමරුවෙකු ලෙස සලකා පරිස්සම්වීම මහජනයාගේ වගකීමකි.

ravaya -

No comments

Powered by Blogger.