Header Ads

හිසේ ඔටුන්නයි, අතේ හිඟන පාත්තරයයි

ඬේලි මිරර්’කතුවැකිය -

යුද්ධය අවසන් වී වසර හතරකටත් වැඩි කාලයක් තිස්සේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ රජයේ ඉහළ පෙළේ නායකයෝ විවිධ ආර්ථික සංඛ්‍යා ලේඛන රටට සපයමින්, ශී‍්‍ර ලංකාවේ වර්ධන අනුපාතිකය, ඒක-පුද්ගල ජාතික ආදායම, උද්ධමන අනුපාතික සහ වෙනත් තොරතුරු අනුව අපේ ආර්ථිකය යහපත් බවත්, ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමට දැන් පාර කැපෙමින් ඇති බවත් කියා සිටියහ.

එහෙත් ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් සහ විපක්ෂ දේශපාලඥයන් මේ සංඛ්‍යා ලේඛන බොහෝ කලක් තිස්සේ ප‍්‍රශ්න කරමින් තිබුණි. අපේ නිර්යාත ආදායම් පහත වැටෙමින් තිබීමත්, විදේශ ණය අනුපාතිකය ඉහළ යමින් තිබීමත් එම ප‍්‍රශ්න කිරීම්වලට ප‍්‍රස්තුත විය. ඒ අනුව, ලංකාවේ ආර්ථිකය ඕනෑම වේලාවක කුණාටුවකට හසු වී කඩා වැටිය හැකි වැලි මාළිගාවක් මෙනැ යි ඔවුහූ පෙන්වා දුන්හ.
මේ පරස්පර අර්ථකථන මධ්‍යයේ ගිය සිකුරාදා රාජපක්ෂ පාලන තන්ත‍්‍රය මහා ප‍්‍රහාරයකට ලක්විය. ලෝකයේ ඒ ඒ රටවල ණයගැති භාවයේ ස්වභාවය පිළිබඳ දත්ත සහ වර්ගීකරණයන් ඉදිරිපත් කරන ලෝක ප‍්‍රකට ‘ෆිෂ් රේටින්’ ජාත්‍යන්තර තක්සේරු ආයතනය නිකුත් කළ වාර්තාවක් ඊට හේතු විය. යම් රටක ආයෝජනය කෙරෙන විදේශ ධනයට ලැබිය හැකි ප‍්‍රතිලාභ කවරේ දැ යි දැන ගැනීමට විදේශ ආයෝජකයන් පාවිච්චි කරන්නේ, ඒ ඒ රට සම්බන්ධයෙන් මේ ‘ෆිෂ් රේටින්’ තක්සේරු වාර්තාව සපයන තොරතුරු ය. එය හරියට, රටකට ලැබෙන චරිත සහතියක් වැනි ය.

මෙකී ‘ෆිෂ් රේටින්’ තක්සේරු වාර්තාවට අනුව, ආසියාවේ නැගීගෙන එන වෙළඳ පොළවල් අතරින් ඉහළම ණය බරක් සහිත රටවල්වලින් ශ‍්‍රී ලංකාව දෙවැනි වන්නේ මොංගෝලියාවට පමණි. ශ‍්‍රී ලංකාවේ විදේශීය ණය බර, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 57 ක් වන බව මේ වාර්තාව පෙන්වා දෙයි. සරළ භාෂාවෙන් කියන්නේ නම් මෙහි අදහස වන්නේ, අප උපයන හෝ නිෂ්පාදනය කරන සියල්ලෙන් සියයට 57 ක්ම වැය වන්නේ, විදේශ රටවල්වලින් අප ලබාගෙන තිබෙන ණය ගෙවීමට වන බවයි.

මෙසේ ශ‍්‍රී ලංකාවේ ණය බර ඉහළ ගොස් ඇත්තේ මන්දැ යි යන්නට ‘ෆිෂ් රේටින්’ වාර්තාව හේතු දෙකක් ඉදිරිපත් කරයි. මූලධන ගිණුම ප‍්‍රමාණවත් පරිද්දෙන් විවෘත නොවීම හේතුවෙන් ඇති වී තිබෙන මුදලේ සාපේක්ෂ ස්ථාවරත්වය ඊට එක් හේතුවකි. විදේශ පිළිනපත් ලංකාවට ගලා ඒම සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන ආයෝජන ගලා ඒම දිරිමත් කිරීමට එය බාධාවකි. මේ වසරේ ලංකාවේ ප‍්‍රවර්තන ගිණුමේ හිඟය, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක අගයක් දරනු ඇතැ යි ද එම වාර්තාව පෙන්වා දෙයි.

දෙවැනි කාරණය වන්නේ, විදේශ සෘජු ආයෝජන වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමට ලංකාව අපොහොසත්ව සිටීමයි. 2009 සිට අද දක්වා මේ අංශයෙන් ලංකාව සමත්ව ඇත්තේ, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සහ වසරක සාමාන්‍යයක් වශයෙන් ගත් කල, සියයට 1.2 ක සෘජු විදේශ ආයෝජනයක් රට තුළට ඇද ගැනීමට පමණි. ආසියානු කලාපයේ වෙනත් රටවල් සමග සසඳන විට මෙය ඉතා පහළ අගයක් වන අතර, මෙසේ වීම නිසා, වැඩිමනත් ණය මතම යැපීමට රටට සිදුව ඇත්තේය.

රටේ සංවර්ධන උපාය මාර්ගය පිටතින් ලබාගන්නා ණය මත පරායත්ත කිරීමේ රාජපක්ෂ ප‍්‍රතිපත්තිය, මේ වසරේ ‘ජගත් පිළිණපත්’ නිකුත් නොකර සිටීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා මූලික වෙනසකට භාජනය නොවන බව, එම වාර්තාව අවධාරණය කොට කියා සිටී. 2014 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනුව, ආණ්ඩුවේ ණය ලබා ගැනීමේ සීමාව රුපියල් බිලියන 1100 කට සීමා කොට තිබේ. එය, කලින් ඒ සඳහා පනවාගෙන තිබූ සීමාවට වඩා සියයට 15 කින් පහළ සීමාවකි.

මේ නිසා, ආණ්ඩුවත් ඔවුන්ගේ කයිවාරුකාර ආර්ථික පණ්ඩිතයනුත්, කීර්තිමත් ජාත්‍යන්තර තක්සේරු ආයතනයක් මගින්ම බොරුකාරයන් බවට පත්කොට තිබේ. අඩු වශයෙන් දැන්වත්, සමස්ථ ආර්ථික ප‍්‍රතිපත්තියම යළි සැළකිල්ලට ලක්කොට, අත්‍යාවශ්‍ය නොවන ‘ලෝකෙට පරකාසේ’ ව්‍යාපෘති සඳහා කරන අධික වියදම් අඩු කොට, ධනය සහ සම්පත් වඩාත් සමාන ආකාරයකින් බෙදාහැරෙන ක‍්‍රමයක් හරහා සමාජ සාධාරණත්වය ඉෂ්ට සිද්ධ කෙරෙන ආර්ථික හා සමාජ ප‍්‍රතිපත්තියකට මාරු වෙනු ඇතැ යි මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.

මූලික වශයෙන් අද අපට පෙනෙන්ට ඇති යථාර්ථය වන්නේ, ධනපති සහ පාලක ප‍්‍රභූ පංතියේ සියයට 15 ක් අතේ සමස්ත ධනය සහ සම්පත්වලින් සියයට 85 ක් ඒකරාශී වී තිබීම හේතුවෙන්, බටහිර සහ වෙනත් රටවල් අවුල් සහගත ආර්ථික අවපාතයකට මුහුණදී ඇති බවයි. මේ ප‍්‍රතිපත්තියේ මුලික ප‍්‍රති=ව්‍යුහගත කිරීමක් හරහා එය වෙනස් කර නොගතහොත්, යුක්තිය සහ දීර්ඝ කාලීන සාමයක් සහිත තිරසාර සංවර්ධන මාවතකට අපට පිවිසිය නොහැකි වනු ඇත.

*2013 ඔක්තෝබර් 26 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ the Head, Begging Bowl in the Hand”නැමැති කර්තෘ වාක්‍යයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ -- colombotelegraph -

No comments

Powered by Blogger.