Open top menu
Saturday, November 30, 2013
සලාකා සූදු පොළ ගැන නෙත්ති කුමාර ඇත්තම කියයි

සූදු පිටියක්‌ වැටලූ පොලිස්‌ නිලධාරීන් විසි තුන් දෙනකු බලවත් හස්‌තයක්‌ මගින් මාරු කිරීම සම්බන්ධව අපට විරෝධයක්‌ තිබේ. ඒ සම්බන්ධව මාධ්‍ය සතු කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ගිය ගමනකදී ඔහු අපට හමුවිය. ගාමිණි නෙත්තිකුමාර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇරඹි මුල් මොහොතේ ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කළේය. දිනකට රූපවාහිනි ලොරි තුනක්‌ පමණ, අත්ඔරලෝසු දහස්‌ ගණනක්‌ ඔහුගේ ව්‍යාපාරය විසින් විකුණනු ලැබීය. ප්‍රථම නියෝජිත තැපැල් ආයතනය ආරම්භ කරන්නේද ඔහුය. සූදු පිටිය සම්බන්ධයෙන් ඔහු සතු කතාවක්‌ තිබේ. එම කතාව සමග ඔහුගේ පවුල් ජීවිතයේ ද සම්බන්ධයක්‌ තිබේ. ඔහුගේ දරුවන් තිදෙනාගේ ද සම්බන්ධයක්‌ තිබේ.

අපට අදාළ වන්නේ බලහත්කාරී පොලිස්‌ මාරුව ගැන කතා කිරීම පමණක්‌ වුවත්, ඒ කතාවේ එක්‌ තැනකදී ගාමිණි නෙත්තිකුමාරගේ හා ඔහුගේ දරුවන් තිදෙනාගේ ජීවිතය ද ඊට සම්බන්ධය. මේ කතාවේදී ඔවුන් ගැන කියන කාරණා, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අගතියක්‌ සඳහා හේතු නොවේවා යන පැතුම අපටත්, පාඨක ඔබටත් තිබිය යුතුය. තමාට වූ අඩුපාඩුවත්, සමාජයේ ගරා වැටීමත් වෙනුවෙන් ගාමිණි නෙත්තිකුමාර සියලු කාරණා නොවලහා අපට ප්‍රකාශ කළේය. තීරණයන්ට යටත් වාර්තාකරණයක්‌ ලෙස අප එය පළ කරමු. අනුන්ගේ පෞද්ගලික ජීවිතයේ කුණු, රස විඳිනා මාධ්‍යකරණයක්‌ අපට නැතුවා මෙන්ම, විවෘතව කතා බහ කළ ගාමිණි නෙත්තිකුමාරට පාරාවළල්ලක්‌ බවට එම සංවාදය පත් නොවීමේ වගකීම ද අප හා ඔබ සතුය. ඒ සියල්ල සිහියේ තබාගෙන හුලාගේ කතාවේ තවත් කොටසක්‌ ඔබට ඉදිරිපත් කරමු.

සලාකා කිව්වත්, සෙංකඩ කිව්වත් ඉතා ප්‍රසිද්ධයි. කොහොමද ඔබේ ව්‍යාපාරවල ස්‌වභාවය?

වරදක්‌ නැහැ. හොඳින් කෙරීගෙන යනවා

හොඳින් කෙරීගෙන යන්නේ කෑම ව්‍යාපාරය ද නැත්නම් සූදු ව්‍යාපාරයද?

ඇයි ඕව මගෙන් අහන්නේ (සිනාසෙමින්) මම නොකළ වරදක්‌ ගැන කොහොමද උත්තර දෙන්නේ.

ඒ කියන්නේ ඔබ මේ සූදු ව්‍යාපාරයේ කොටස්‌කරුවෙක්‌ නොවෙයිද?

නැහැ. ඒක අයිති අපේ පවුලට සම්බන්ධ වෙනත් නෙත්ති කුමාර කෙනකුට. ඒ කාන්තාවක්‌.

ඇය ඔබේ කවුද?

මගේ නෑනා කෙනෙක්‌. ඇය අපේ සහෝදරයකු හා විවාහ වුණ කෙනෙක්‌.

නමුත් සුදුව කෙරෙන්නේ ඔබේ තැනකනේ?

නැහැ. ඔය කියන තැන තියෙන්නේ සලාකා එකට ටිකක්‌ එහායින් (ඉබ්බන්වල දෙසට). මේක අද ඊයේ පටන් ගත්ත දෙයක්‌ නෙමෙයි. දැන් අවුරුදු දහයක පහළොවක විතර ඉඳන් කරගෙන එන දෙයක්‌. මෙතනට පොලිසියෙන් පැනල මිනිස්‌සුන්වයි බඩුයි බස්‌වල ලොරිවල දාගෙන යන එකත් අලුත් දෙයක්‌ නෙමෙයි. ඒව මෙතනට බොහෝම හුරුපුරුදුයි. ඊට පස්‌සේ ආරංචි එනවා උසාවියේදී දඩ ගහල තිබුණු බඩු රාජසන්තක කළා කියලා. දවස්‌ දෙක තුනකට පස්‌සේ ආයෙත් සූදුව කලින් වගේම කෙරෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය.

ඇයි වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැද්ද?

මගේ නෑනා මෙය කරගෙන යන්නේ අමුතුම ක්‍රමයකට. එයා මේ සූදු පිටිය සේවකයකුගේ නමට කුලියට දීලයි තියෙන්නේ. ඒක නාමිකව වෙන දෙයක්‌. හැමදාම පොලිසියෙන් අල්ලන්නේ ඒ සේවකයාව. හැමදාම හවසට අපේ නෑනට ලක්‍ෂ විස්‌සක විතර ශුද්ධ ලාභයක්‌ එකතු වෙනවා.

මොකක්‌ද මේ සූදුවේ ස්‌වභාවය?

මේකට කියන්නේ රුචිනෝ කියලා. කෙලින්ම මුදල් දාලා කරන සූදුවක්‌. ඊට අමතරව කැසිනෝත් තියෙනවා.

ඔබත් ගිහින් තියෙනවද?

මම සුරා සූදුවෙන් තොර කෙනෙක්‌. නමුත් මේ ගැන මා දන්නවා. ඔය ස්‌ථානයේ මගේත් මල්ලිගේත් කොටස්‌ තියෙනවා. සූදු පිටිය තිබෙන්නේ අයියට අයිති කොටසේ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ව්‍යාපාරයක්‌.

නමුත් මේ සූදු ව්‍යාපාරයත් සමග ප්‍රසිද්ධ වෙන්නේ ඔබේ බිරිඳගේ නම?

ඒක ඇත්ත. ඇය මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ මේ මෑතක.

ඒ කොහොමද?

මගේ බිරිඳ පසුගිය කාලේ අපේ ව්‍යාපාර ප්‍රතිපත්තිවලට පටහැනි විදිහට මුදල් රැස්‌ කළා. ඒ අතර ඇය විශාල ලෙස මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන ගියා. ඒකට එයාගේ යාළුවෝ වගේම සමහර ඇමැතිවරුන්ගේ බිරින්ඳෑවරුත් විශාල ලෙස මුදල් දැම්මා. ඒත් මේ සියල්ල අතරමග කඩා වැටුණා. ඊට පස්‌සේ මිනිස්‌සු සල්ලි ඉල්ලගෙන අපේ ගෙදරට එන්න ගත්තා. සමහරු නඩු දැම්මා. එතනදී එයාගේ ආරක්‍ෂාවට තමයි හුලා ව ආශ්‍රය කරන්න ගත්තේ. මේ දෙන්නව මුණගස්‌වන්නෙත් සල්ලි පොලියට දෙන මගේ බිරිඳගේම යාළුවෙක්‌. ඒ මුල්ම කාලේ හුලා මටත් කියල තියෙනවා එක එක්‌කෙනාට ඕන විදිහට නටන්න දෙන්න බැහැ, අපි ඔයාගේ වයිµඅව බේරාගන්න ඕන කියලා. එතැනින් පස්‌සේ තමයි අපේ පවුල් ජීවිත අවුල්වෙලා මේ හැම දෙයක්‌ම වුණේ.

ඔබේ බිරිඳ සූදු පිටියට සම්බන්ධ වුණු විදිහ කියවුණේ නැහැ?

මේ වෙනකොට හුලා නමැති පුද්ගලයා සහ මගේ බිරිඳ අතර තිබෙන අනියම් ප්‍රේම සම්බන්ධය පටන් අරගෙන ඉවරයි. ඒ දෙන්නාගෙන් වැඩිම ප්‍රයෝජනය ගත්තේ මගේ නෑනා නෙත්ති කුමාර. කාලයක්‌ අපිත් එක්‌ක තරහවෙලා ඉඳපු නෑනා මගේ බිරිඳත් එක්‌ක යාළුවෙලා බිරිඳව එයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගන්නවා. එතනදී හුලාගේ මාර්ගයෙන් විශාල ආරක්‍ෂාවක්‌ සූදු පිටියට ලැබෙනවා.

ඔබ කොහොමද කියන්නේ ඔබේ බිරිඳට එවැනි අනියම් සම්බන්ධයක්‌ තිබෙන බව. ඔබට ඒ සඳහා සාක්‍ෂි තිබෙනවද? මේ චෝදනා ඉතා බරපතළයි?

මේ ගැන මට වඩා හොඳින් දන්නේ කවුද? මේ දෙන්නගේ සම්බන්ධය ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්‍ෂි මා ළඟ තියෙනවා. ඒ දෙන්න මධුසමය ගත කළ හඬ පටය පවා මා ළඟ තියෙනවා. අහල බලන්න මාව විශ්වාස නැත්නම්. (ඔහු අපට හඬ පටයක්‌ ඇසීමට සලස්‌වයි. එය වෙනත් කෙනකුගේ පුද්ගලික ජීවිතයකට අයිති දෙයක්‌ බැවින් අප එය ක්‍රියා විරහිත කරන මෙන් ඉල්ලා සිටියෙමු.) මේ විතරක්‌ නෙමෙයි ඡායාරූප පවා මා ළඟ තියෙනවා.

මේ සම්බන්ධයට කොච්චර කල්ද?

දෙදහස්‌ එකොළහ වසරේ අග හරියෙදි විතර තමයි මේ තත්ත්වය ඇති වුණේ. එදා ඉඳන් මටත් දරුවන්ටත් අපේ නිවස අපායක්‌ වුණා. දැන් දරුවො ලොකුයි. ලොකු දුව කසාදත් බැඳලා. අපිට ගොඩක්‌ කරදර වුණා. ඉවසල ඉවසල බැරිම තැන දරුවෝ ගිහින් පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. ඒක විභාග කරන්නවත් පොලිසියෙන් ආවේ නැහැ.

ඇයි ඒ?

ඔය හුලා කියන පුද්ගලයට තිබුණ අසීමිත බලය තමයි ඒකට හේතුව.

ඔබ කියන විදිහට බිරිඳගෙන් එතරම් කරදර තිබුණා නම් ඔබට දික්‌කසාද වෙන්න තිබුණනේ?

මම දැන් තමයි දරුවොත් එක්‌ක කතා කරලා ඒ ගැන වැඩකටයුතු කරගෙන යන්නේ. පුළුවන් උපරිමය ඉවසුවා. පසුගිය කාලේ අපේ ගෙදර පුංචි කතාබහක්‌ ඇති වුණත් ටික වේලාවක්‌ යනකොට පොලිසියේ පනහක්‌ විතර ඇවිත් ඒ පැත්තම වට කරනවා. එහෙම එන්නෙත් පොලිසියේ උසස්‌ නිලධාරීන්. මේ පුද්ගලයා නිතරම මගේ නිවසට යන්න එන්න ගත්තහම අපිට විතරක්‌ නොමෙයි අවට අයටත් ලොකු කරදරයක්‌ වුණා. එස්‌.ටී.එµඅ. එකයි එයාලගේ ඩිෙµන්ඩර් රථයි දාල මුළු පාරම අවහිර කරනවා. ඒ වෙලාවට අපිට හරි ලැඡ්ජයි. (ඔහු මද වේලාවක්‌ නිසොල්මනේ අප දෙස බලා සිට යළි තම කතාව අරඹයි) බැරිම තැන ළමයි තුන්දෙනා එයාට කියලා තිබුණ ගෙදරට එන්න එපා කියලා. මමත් හුලාගේ කාර්යාලයට ගිහින් ඒකම කිව්වා.

ඊට පස්‌සේ මොකද වුණේ?

ගෙදරට ආවේ නැහැ. මහ රෑටයි, දවල්ටයි ඕන ඕන වෙලාවට ගේ ළඟට ඇවිත් බිරිඳව ගෙනත් බස්‌ස වන්න, එක්‌ක යන්න එනවා. ඊට පස්‌සේ මගේම නිවසට මගේ කිසිම අවසරයක්‌ නැතුව පුද්ගලික ආරක්‍ෂක සේවයක්‌ දැම්මා. අන්තිමට මටත් එයාලගේ අවසරය ගන්න වුණා යන්න එන්න. මේ සියලු දේට වියදම් කරන්නේ රාජ්‍ය ආයතනවල මුදල් කියලයි මට හිතෙන්නේ.

ඔබ සහ ඔබේ නෑනා වන නෙත්ති කුමාර මහත්මිය අතර ආරවුලක්‌ තිබෙනවද?

ඔව්. නෑනාගේ නීති විරෝධී වැඩ නිසා මා ඇයත් සමග කිසිම ආශ්‍රයක්‌ තිබුණේ නැහැ. ඒකනේ මට විරුද්ධව බිරිඳයි නෑනයි එකතු වෙන්නේ. මගේ ව්‍යාපාර කඩාකප්පල් කරන්න ඒ අය ලොකු වෙහෙසක්‌ ගන්නවා. හුලා ඒ අයත් එක්‌ක ඉන්න එක එයාලට ලොකු ශක්‌තියක්‌ වුණා. ඒ තුන්දෙනා නිතර නිතර විනෝද සවාරි යන තරමට මිතුරු වුණා. මේ ළඟදී නුවරත් ගිහින් තිබුණා. මේ වගේ තත්ත්වයක්‌ තියෙන වෙලාවක තමයි සූදු පිටිය පොලිසියෙන් වැටලුවේත්, එම නිලධාරීන්ට ස්‌ථාන මාරුවීම් දීල ඔය කියන ජරමරය වුණේත්.

නමුත් හුලා මාධ්‍යයට පවසා තිබුණේ ඔබේ බිරිඳත් එක්‌ක තිබෙන්නේ මිත්‍රත්වයක්‌ පමණක්‌ බවයි?

යාළුකම කොහොම එකක්‌ද කියල හරියටම දන්නේ මමනේ. මමනේ මගේ බිරිඳගේ ස්‌වාමිපුරුෂයා. ඒකයි මම කලිනුත් කිව්වේ එහෙම නැහැ කියනවා නම් ඒකට අවශ්‍ය වීඩියෝ පට සහ හඬ පට මා ළඟ තියෙනවා කියලා. ඊටත් එහා ගිය ගොඩක්‌ සාක්‍ෂි මා ළඟ තියෙනවා. නමුත් ඒ හැම දෙයක්‌ම මට මාධ්‍යයට කියන්න බැහැ. ඒ නිසා වැඩිය ඕනෙ නැහැ. එයාගෙන් අහන්න හනිමුන් එකට හෝකන්දර ගියා නේද කියලා. ඒ ඇති. ඉතුරු ටික එයා දන්නවා.

ඔබතුමා ඔහොම චෝදනා කළාට ඔහුටත් පවුල් ජීවිතයක්‌ තියෙනවා. ඒ පැත්තෙන් මෙවැනි චෝදනා දැන ගන්න නැහැ?

මොකද නැත්තේ. බිරිඳගෙ අනියම් සම්බන්ධය ගැන මට මුලින්ම කිව්වේ හුලාගේ බිරිඳගේ ඥතියෙක්‌. ඒ ගෙවල්වලත් මේ ප්‍රශ්නම තියෙනවා.

(අප කතා කළ මේ බොහෝ දේ ඔබ සහ ඔබේ පවුල මත තිබෙන පෞද්ගලික ආරවුල්. මාධ්‍යයක්‌ විදිහට අපට ඒ සඳහා මැදිහත්වීමට එතරම් අවශ්‍යතාවක්‌ නැහැ. නමුත් අපට වෙනත් ගැටලුවක්‌ තිබෙනවා. ඒ තමයි මේ රටේ නීතිය පිළිබඳව තිබෙන ගැටලුව)

පසුගිය දවස්‌වල නැවතත් සූදු පිටිය පොලිසියෙන් වැටලුවනේ. දැන් එතන තත්ත්වේ මොකක්‌ද?

මේ සිදුවීමේදී මගේ නම තමයි ගොඩක්‌ම කැත වුණේ. සලාකා එකේ දෙවැනි

තට්‌ටුවේ මේ සූදු පිටිය තිබුණ කියලනේ රටේම ප්‍රසිද්ධ වුණේ. මම යන එන තැන්වලදී මිනිස්‌සු මා දිහා වපර ඇහින් බලන්න ගත්තා. බැරිම තැන මම පොලිසියට ගිහින් කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්‌ ඇතිවෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා සූදු පිටියේ අයිතිකාරයගේ නම තවත් හංගගෙන ඉන්නේ නැතිව එළියට දාන්න කියලා. ඔවුන් 'ඕකේ' කියලා ඒක පිළිගත්තා. නමුත් මේ මොහොත වෙනකම් ඒක වුණේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි දැන් අවුරුදු දහයක්‌ පහළවක්‌ තිස්‌සේ මේ සම්බන්ධයෙන් හෝ වෙනත් අයථා වැඩ කරමින් ඉන්න මගේ නෑනගේ නම කවදාවත් එළියට ඇවිත් නැහැ.

ලස්‌සනම වැඩේ කියන්නේ, සූදු පිටියෙ නඩු විභාගය තිබුණේ පසුගිය විසිපස්‌ වැනිදා. ඒත් හුලා මහත්තයා විසිහතර වැනිදා මාධ්‍යයෙන් කියනවා මේ සූදු පිටිය පවත්වාගෙන ගියේ එතන හිටපු මැනේජර් කෙනෙක්‌ කියල අධිකරණය තීන්දු කරල තියෙනවා කියලා. මෙයා අධිකරණයේ තීන්දුව කලින්ම දන්නේ කොහොමද? ටිකක්‌ හිතල බලන්න මේක කොච්චර බරපතළ කාරණයක්‌ ද කියලා.

ඔබ ඔය චෝදනා කරන හුලා මහතා මේ රටේ පැවැති යුද්ධයේ අවසන් කාලයේදී විශාල මෙහෙවරක්‌ කළ බවට ඇතැම් අය පවසනවා. ඔබ, මේ ඔහුට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක්‌ වෙන්න බැරිද?

මේ සූදු පිටිය වැටලූ ප්‍රශ්නයත්, එම පොලිස්‌ නිලධාරීන්ට හදිසි ස්‌ථාන මාරුවීම් දීපු ප්‍රශ්නයත් මුල්වරට මා දකින්නේ මාධ්‍යයෙන්. ඒ නිසා ඒක කොහොමද වුණේ කියල මම දන්නේ නැහැ. නමුත් හිතා ගන්න පුළුවන්. නමුත් ඔහුගේ අනියම් ප්‍රේමය නිසා මටත් මගේ දරුවන්ටත් විඳින්න වුණු දුක්‌ගැහැට මා දන්නවා. ඊට අවශ්‍ය සාක්‍ෂිත් මා ළඟ තිබෙනවා. මේ දේවල් වෙන්න කලින් මම මෙයාව දැකලවත් තිබුණේ නැහැ. "කෙල්ලට නිතරම වීරයා වැඩ පෙන්වනවනේ" අපි හැමෝම අහල තියෙන්නේ එහෙමයි. අන්න ඒ විදිහට කෙල්ල ඉස්‌සරහ වැඩ පෙන්වන්න ගිහින් තමයි මෙයා මේ අමාරුවේ වැටුණේ.

එතකොට ඔබ දුෂ්ඨයාද? ඔව්. ඒ අය හිතන් ඉන්නේ එහෙම තමයි. පොලිසියේ විසිතුනක්‌ කිසිම චෝදනාවක්‌ නැතුව එකපාරටම මාරු කරනවා කියන එක මොනතරම් වීර කමක්‌ද? මේක පුදුම බලයක්‌නේ. ඒ වගේම තමයි ඔය පුද්ගලයා නිලතල හොබවන බැංකු ඇතුළු රාජ්‍ය ආයතනවල යටි මගඩි වැඩ බොහොමයක්‌ පසුගිය කාලේදී සැලසුම් කළේ මගේ නිවසේ ඉඳන්. ඒ බව මා දන්නවා. තමන්ට ලැබුණු බලය අනිසි ලෙස පාවිච්චි කරමින් තමයි ඔහු මේ හැම දෙයක්‌ම කරන්නේ.

ඔබත් මේ රටේ බොහෝ දැන හැඳුනුම්කම් තිබෙන චරිතයක්‌. ඒ හරහා රටේ ඉහළ පුද්ගලයන්ට හා වගකිවයුතු තැන්වලට මේ පිළිබඳව දන්වන්න තිබුණා නේද?

මම එහෙම කළා.

එතකොට මොකද ඔවුන් කිව්වේ?

ඔප්පු කරන්න පුළුවන් දන්න දේවල් තියෙනවා නම් ඒ සියල්ල හෙළි කරන්න කිව්වා.

ඒ ඉහළ තැන් මේවට සම්බන්ධ නැහැයි කියල හිතනවද?

මට හොඳටම විශ්වාසයි මේ ඉහළ අය මේ ගැන කිසිම දෙයක්‌ දන්නේ නැති බවට. මේ සියල්ල හුලාගේ පුද්ගලික අවශ්‍යතා මත කරන දේවල්.

අඩුම තරමේ ආරක්‍ෂක ලේකම්තුමාවත් නොදන්නා බවද ඔබ කියන්නේ?

මට විශ්වාසයි එතුමාවත් මේ ගැන දැනගෙන සිටියෙ නැහැ කියලා. මට එතුමාව තවම හමුවෙලා නැහැ. කියන්න ගොඩක්‌ දේවල් තියෙනවා. උත්සාහ කරනවා එතුමාව මුණගැහෙන්න.

පොලිස්‌පතිවරයා ගැන ඔබේ අදහස?

ඔහු ඉතා හොඳ නිලධාරියෙක්‌ විය යුතුයි. ඔහුවත් මට හමුවෙලා නැහැ.

මේ හැම චෝදනාවක්‌ම ඔබේ බිරිඳට ඔබ එල්ල කරන අතරේ ඇයටත් ඔබ සම්බන්ධයෙන් එවැනි චෝදනා ඇති?

ඔව්. තියෙනවා. ඒක තමයි මම ලෝබකමට ඇය ඉල්ලපු බෙන්ස්‌ කාර් එක අරන් දුන්නේ නැහැ කියන චෝදනාව. ඊට අමතරව පසුගිය දවස්‌වල ඇය මගේ දරුවන්වත් මාවත් උසාවි අරන් ගියා දරුවන්ට ලියල තියෙන දේපළවල අයිතිය ඇයට පවරන්න කියා. මේව තමයි චෝදනා.

ඔබ දෙදෙනා විවාහ වුණේ ප්‍රේම සබඳතාවකින්ද?

ඔව්.

ඒ කාලේ ඇය කොහොමද?

ඇය මෝදර ප්‍රදේශයේ බොහොම සාමාන්‍ය පවුලක පුංචි ගෙදරක සිටිය හොඳ කෙනෙක්‌.

මේ හැමදේම හමුවේ ඔබට ජීවිත අවදානමක්‌ තිබෙනවාද?

පැහැදිලිවම තිබෙනවා. ඒ ගැන මගේ දරුවොත්, මගේ මවත්, හිතවතුනුත් නිතර මට කියනවා.

ඒ ගැන නීතිමය පියවර ගත්තද?

පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. ඒකනේ කරන්න තියෙන්නේ. ඒත් ඒ ගැන මට වැඩි විශ්වාසයක්‌ නැහැ.

රංග විදානේ
Read more
Friday, November 29, 2013
ඉන්දියානු සාගරයේ ග‍්‍රීක ශෝකාන්තයක්?

තිසරණී ගුණසේකර -

‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන කිසිවක් වර්තමාන ඉතිහාසයෙන් සොයා ගැනීමට නැත.’’ - ඇල්බෙයා කැමූ (හෙලන්ස් එක්සයිල්)

පොදුරාජ්‍ය මණ්ඩලය යනු, බි‍්‍රතාන්‍ය මහා රාජත්වයේ අවසාන සුසුමයි. තමන් සතු ගෝලීය දේශපාලනික ග‍්‍රහණය අතහැරීමට බල කෙරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයන් තමන් වෙත ඇද ගත් සැනසිලි තෑග්ගයි.

හෙවත්, වරක් ඉර නොබැස්ස යෝධ අධිරාජ්‍යයක, නිෂ්ඵල සිහිවටනයයි.

අධිරාජ්‍යවාදී අතීත කාමයේ මේ ප‍්‍රතිමූර්තිය කිසි දාක ජාත්‍යන්තර වේදිකාවේ වැඩිමනත් වැදගත්කමක් ඉසිලූ බක්කක් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩලය, දේශපාලනික සහ මනෝමය කාරණා පෙරදැරිව, බි‍්‍රතාන්‍යයට අවශ්‍ය කරන්නකි. එය, ඔවුන්ගේ ‘ඉසුරුමත් අතීතයේ’ වඩාත් ස්පර්ශනීය බූදලයයි: එසේම, වේගයෙන් වර්ධනය වන යුරෝපයක පර්යන්තයේ පිහිටි පුංචි කොදෙව්වක් වශයෙන් නොවැදගත් තැනකට ඇද වැටෙමින් තිබීම අමතක කිරීමට ඇති බාහිර කඩතුරාවකි.

කලක් බි‍්‍රතාන්‍යයේ යටත්විජිත වශයෙන් පැවති රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සිටින්නේ ඒ මගින් කිසියම් භෞතික වාසියක් ලැබෙන නිසාවත්, එහි සිටීමෙන් ජාත්‍යන්තර නම්බුවක් අත්වන නිසාවත් නොව, එහි සාමාජිකත්වය දැරීම මොනයම්ම හෝ වගකීමකට යටත් නොවන නිසා ය. පොදුරාජ්‍ය මණ්ඩලීය නව සාරධර්ම සහ ‘ලැටිමර් හවුස්’ ප‍්‍රතිපත්ති ගැන බොහෝ සෙයින් කතා කෙරේ. ඒවා කෙතරම් ප‍්‍රශංසනීය විය හැකි වෙතත්, බලගැන්විය හැකි දේවල් නොවේ. එම රෙගුලාසි අනුව සාමාජික රටවල් කටයුතු කළ යුතු බවට වගබලා ගැනීමේ යාන්ත‍්‍රණයක් බි‍්‍රතාන්‍යයට නැත. සාමාජික සගයන්ට පුරාජේරුවට සැලකීමට තරම් ධනයක්වත්, ඔවුන්ට තරවටු කිරීමේ වේවැලක් ලෙළවීමට තරම් බලයක්වත් ඊට නැත.

ජාත්‍යන්තර වැදගැම්මකට නැති මේ අට්ටාලය කරට ගැනීමට ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂලා වලිකෑම, බි‍්‍රතාන්‍යයන්ට සෑහෙන සොමියකි. පොදුරාජ්‍ය මණ්ඩලයක් ගැන වෙන ලෝකයේ කිසිවෙකු මෙතරම් මැරෙන්නේ නැත. සාමාන්‍යයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය සහ එහි සැසිවාර ගෝලීය අවධානයට ලක්වන්නේ අල්ප වශයෙනි. වහා නස්නාසුළු වුව ද, කිසි දවසක නැති තරමේ කාලීනත්වයක් මේ දවස්වල පොදුරාජ්‍ය මණ්ඩලයට හිමිවන්නේ රාජපක්ෂලාගේ පිළිකුල් කටයුතු නොම්මරේට පින්සිදු වන්නටයි.

මධ්‍යතන යුගයේ වැඩවසම් ගැමියෙකු සිය රදළ හාම්පුතා පිළිගැනීමට මග බලා සිටින අවස්ථාවක් සිහිපත් කර ගන්න. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ගැන රාජපක්ෂලාගේ ප‍්‍රමෝදයත් එවැන්නකි. මේ වන විට කොළඹ උඩු යටිකුරු කරමින් තිබේ. පදික වේදිකා ගැලැවේ. පාරවල් පිලිසකර කෙරේ. තාප්ප පාට කෙරේ. ගස් පැල කෙරේ. ගෙවල්දොරවල් නැති මිනිසුන් සහ බල්ලන් ඉවත් කෙරේ. වතුර මල් තැන තැන ඉදිවේ. ඒ සියල්ල, රටවැසියාගේ දෛනික යථාර්ථයට කිසි නෑකමක් නැති, බොරු සෝබනයක් පෙන්වීමට ය.

රාජපක්ෂලා යන මාවත, මුළු ලංකාවම චීන ගැති දේශයක් බවට පත්කිරීමේ මාවතක් විය හැකිය. එහෙත් ඔවුන්ගේ හෘදයාංගම සන්තානය තිබෙන්නේ, පොදුවේ සුදු-බටහිර ලෝකයා සමගත්, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයන් සමගත් ය. ( ඕගස්තෝ පිනෝෂේ වැනි) වෙනත් නොම්මර එකේ මානව හිමිකම් දූෂකයන් කෙරෙහි බි‍්‍රතාන්‍යයන් (සහ ඇමරිකානුවන්) දැක්වූ බුරුල රාජපක්ෂලා කෙරෙහි ද දක්වන්නේ නම්, බටහිර ඇකයේ තුරුලූ වීම රාජපක්ෂලාට ඉමහත් සොම්නසක්ම වනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලය කෙරෙහි රාජපක්ෂලා අද පෙන්වන අපුල දනවන ආශාව වූ කලී, ලන්ඩනයේ සහ වොෂින්ටනයේ අනුග‍්‍රහය ලබා ගැනීමට ඔවුන් තුළ ඇති දොළදුකේ නවතම ප‍්‍රකාශනයකි.

එසේ නොමැතිව, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවෙන් ලංකාවට අත්වන මෙලෝ කීර්තියක් නැත. එය, තමන් ද ජාත්‍යන්තර කෙරුමන් යැයි තුටුපහටු වීම සඳහා රාජපක්ෂලා යොදාගන්නා අවස්ථාවක් පමණි.

මේ සමස්ත කලබැගෑනිය, තමන් අධිරාජ්‍ය-විරෝධී යැයි කියාගන්නා කල්ලියකින්ම කලඑලි බැසීම, එක කාරණයක් නොවන්නට, බඩ පුරා හිනායන විහිළුවක්ම වන්නට තිබුණි. ඒ, දැනටත් කන්දක් උසට බර උහුලන් සිටින ජනතාවක් සහ මූල්‍ය ව්‍යසනයකට ගමන් කරමින් සිටින රටක් හෝ ජාතියක් නොවුණි නම් ය.

සීමාරහිත රාජපක්ෂලා

ගිය අගෝස්තුවේ දී, පිටරටින් ගෙන්වල අල කිලෝවකට රුපියල් 15 කින් ද, ලොකු ළුනු කිලෝවකට රුපියල් 5 කින් ද බදු වැඩි කෙරුණි. ශ‍්‍රී ලංකාවට ඇත්තේ, ඔලූවෙන් සිටවූ බදු ක‍්‍රමයකි. ඒ මගින්, තියෙන එකාට අනුග‍්‍රහ දැක්වෙන අතර, නැති එකාව සහ මැද පංතිකයාව එලව එලවා ගසාකයි. ලංකාවේ සෘජු සහ වක‍්‍ර බදු අනුපාතිකය 20:80 ක අතිශය විකෘතියකි. (ධනපතියන්ගෙන් අයකර ගන්නා ආදායම් බදු, සෘජු බදු ගනයට වැටෙන අතර, ඉහත කී අල-ළුනුවලින් අයකර ගන්නා බදු, වක‍්‍ර බදු වන්නේය). රටක බදු ආදායමෙන් සියයට 80 ක්ම වක‍්‍ර බදු මාර්ගයෙන් අයකර ගන්නා රටකට මූල්‍ය ස්ථාවරත්වයක් හෝ සෑම ජන කොටසක්ම පංගුකාරයන් කරගන්නා සංවර්ධනයක් හෝ අත්කරගත නොහැක. ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල’ පෙන්වා දෙන පරිදි, මේ අස්වාභාවික බදු ක‍්‍රමයෙන් කෙරෙන්නේ, ‘නැති බැරි එකාගේ කර මතට බදු බර පැටවීමයි.’

‘බදු බර මීට වඩා සමානුපාතිකව අයකර ගනිමින්, රජයේ ආදායම් වැඩි කරගෙන, මීට වඩා ක‍්‍රමවත් පාලනයක් සහ වගවීමක් සාක්ෂාත් කරගෙන, සංවර්ධනයට ගැළපෙන මට්ටමකින් ආදායම පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැ’ යි ‘එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල’ යෝජනා කෙළේය. එවැන්නක් ගැන රාජපක්ෂලා හිතන්නෙවත් නැත. සිදුවනු ඇත්තේ එහි ඉඳුරා ප‍්‍රතිපක්ෂයයි. මේ සමුළුව සඳහා වන නගරාලංකාරයත්, එහි සැසිවාරත් සඳහා වැය කළ ධනස්කන්ධයෙන් කොටසකුත් ලබාගත හැකි වන අන්දමින් තවත් වක‍්‍ර බදු මාලාවක්, පොදුරාජ්‍ය මංගල්‍යය අවසන් වු සැණින් දියත් කෙරෙනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය සැණකෙලිය මගින් සාමාන්‍ය ජනතාව මත පැටවෙන විනාශකාරී බර ගැන රාජපක්ෂ සහෝදරවරුන් නොදන්නවා නොවේ. 2014 මුලදීම ජනාධිපතිවරණය සහ සමහරවිට පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදන්නේ එබැවිනි. නියමිත කලට පෙර පැවැත්වෙන මැතිවරණවල නෛතික භාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව පුවත්පත් වාර්තා කරයි. තත්වාකාර (රාජපක්ෂලාගේ හිතුමතේට පත්කරගත්) අගවිනිසුරුවරයාගේ ස්වභාවය සැළකිල්ලට ගැනීමෙන් එම මතය කුමක් දැ යි සිතාගත හැකිය. සහෝදරයන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය මැතිවරණයක් පවත්වා ගැනීම නීත්‍යානුකූල වන බව එයින් කියැවෙනු ඇත.

ඒ කඩුල්ලත් පැනගත් පසු (මැතිවරණ ජය ගැනීමෙන් පසු) රාජපක්ෂලාව දිනවීම සඳහා ඡුන්දය පාවිච්චි කළ ඡුන්දදායකයන් ද ඇතුළත් සමස්ත රට මතටම බර දැමීම තවත් ජවසම්පන්නව ක‍්‍රියාත්මක කෙරෙනු නොඅනුමානයි. එයින් තැලෙන පොඩිවෙන යමෙකු සාමකාමීව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධය පෑවොත්, ‘වැලිවේරිය කෂායෙන්’ මාත‍්‍රාවක් දෙන්නට පිළිවන.

සරත් අමුණුගම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි, ලංකාවේ පොහොසත්ම සියයට 20, ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 54.1 ක් භුක්ති විඳින අතර, පහළම අඩියේ සිටින සියයට 20 ක දිළිඳු ජනයාට හිමිවන්නේ රටේ ජාතික ආදායමෙන් සියයට 4.5 ක් පමණි. ලංකාවේ ආදායම් විෂමතාව ඉහළ යමින් පවතින බව, ලෝක කම්කරු සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත. තවත් බරපතල දර්ශකයක් වන්නේ තරුණ විරැුකියාවයි. ලෝක කම්කරු සංවිධානයේ 2013 ආසියා-ශාන්තිකර ශ‍්‍රම වෙළඳපොළ පිළිබඳ දත්තයන්ට අනුව, ‘ශ‍්‍රී ලංකාවේ තරුණ විරැුකියාවේ ප‍්‍රතිශතය, රටේ සමස්ත විරැුකියාවේ ප‍්‍රතිශතය මෙන් හතර ගුණයකටත් වැඩි ය.’

රාජපක්ෂලාගේ ළාමක ආශාවන් සන්තර්පණය කිරීම සඳහා අවශ්‍ය පිළිගැනීම සහ කීර්තිය, පොදුරාජ්‍ය මණ්ඩලීය මංගල්‍යයෙන් සැපයෙන්ට පිළිවන. එහෙත් ලංකාවේ වෙසෙන ජනතාවට මේ සාජ්ජය විපතක්ම වනු ඇත. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ තවත් ඉහළ නැගෙන අතර, ආර්ථිකමය වශයෙන් ඵල රහිත සහ දේශපාලනික අදාළත්වයක් නැති මෙවැනි ව්‍යාපෘතියක් සඳහා කෙරෙන සීමාරහිත නාස්තිය නිසා ඇති වන මුදල් හිඟකම හේතුවෙන් මහජන සේවාවන් කප්පාදු කෙරෙනු ඇත.

උඩඟුව සහ දුර්විපාකයේ අන්තර් සම්බන්ධතාව, ග‍්‍රීක ශෝකාන්ත නාට්‍ය කාව්‍යයේ අනවරත තේමාවකි. රාජපක්ෂලාට තරු අල්ලන්ට බැරි කමක් නැත. එහෙත්, ඒ සඳහා ගෙවීමට සිදුවිය හැකි මිළ, ඒ තරමටම, රටේ ජනතාවට මෙන්ම ඔවුන්ටත්, බරපතල වනු ඇත.

2013 නොවැම්බර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A Greek Tragedy In The Indian Ocean? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Read more
ගයනි සහ බ්‍රිගේඩියර්

ගයනි විශාඛා මිය ගොසිනි. ඇය මිය යන්නේ කොට්‌ටාව බොරැල්ල බස්‌ මාර්ගයේ කහ ඉරක්‌ මතින් ගමන් කරමින් සිටියදී අධිවේගයෙන් පැමිණි කැබ් රියක හැපීමෙනි. කැබ් රිය පදවන ලද්දේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනෙකි. පැයට කි. මී. 80 ක වේගයෙන් පන්නිපිටිය වැනි ප්‍රදේශයක රියක්‌ පැදවූ මේ බූරුවා යුද්ධයේදී කවරනම් විකාර කරන්නට ඇද්ද? මේ බ්‍රිගේඩියර් පිළිබඳව සඳහන් කිරීමේදී "ශ්‍රී ලංකා යුද හමුදාවේ" යන වචන දෙක වුවමනාවෙන්ම අත්හැරීමට අපි තීරණය කළෙමු. මන්ද මෙවැනි මිනීමරු ගොනුන් යුද හමුදාවටද අපහාසයක්‌ බැවිනි. බ්‍රිගේඩියර් සිය ඩබල් කැබ් එක පදවාගෙන ගිය ආකාරය ඇසින්ම දුටු අය සිටිති. මේ සියලු දෙනා එකතුවී මේකා හිරේ යෑවීමට සාක්‌ෂි දිය යුතුය. විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනකු යනු කල් ඉකුත්වූ භාණ්‌ඩයකි. එහෙත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක යනු ජීවිතය පටන් ගත් තැනම සිටින පුංචි මල් පැළයකි.

අනතුරින් බරපතළ තුවාල ලද ගයනි විශාඛාගේ මොළය මියගිය බවත් ඒ අනුව ඇගේ සිරුරේ අවයව පරිත්‍යාග කිරීමට ඇගේ දෙමාපියන් එකඟ වූ බවත්, මාධ්‍ය මගින් හෙළි කරනු ලැබීය. බෝසතාණන් වහන්සේ සිය සංසාර ගමනේ අවස්‌ථා කිහිපයකදී ඇඟ මස්‌ දන් දුන්නේය. සස ජාතකය එයින් එක්‌ අවස්‌ථාවකි. කෙනකුගේ යහ සාධනය වෙනුවෙන් ශරීර අවයව පරිත්‍යාග කිරීම පටන් ගත්තේ පසුගිය ශතවර්ෂයේදී වෛද්‍ය ශාස්‌ත්‍රය වඩාත් විධිමත් වීමෙන් පසුය. එතැන් සිට වකුගඩු, ඇස්‌ දක්‌වා කොටස්‌ ඇතුළු පටක බද්ධය ක්‍රියාත්මක විය. එහෙත් කෙනකු වකුගඩුවක්‌ හෝ අක්‌මා කොටසක්‌ දන් දුන්නේ ඉතාම කලාතුරකිනි. ඒ සඳහා බොහෝවිට මුදල් අයකරන ලදී. වකුගඩුවක්‌ ලබා ගැනීම සඳහා පත්තරවල පළවන දැන්වීම් මගින්ම එය පසුපස තිබෙන මූල්‍ය අරමුණ තහවුරු වෙයි. දැන්වීම්කරුවා කියන්නේ නොමිලයේ පරිත්‍යාග කෙරෙන වකුගඩුව සඳහා සැළකියයුතු උපකාරයක්‌ කිරීමට තමා සූදානම් බවය. කුමක්‌ද මේ ත්‍යාගය? මුදල්ය. සාමාන්‍ය වෙළෙඳපොළේ වකුගඩුවක මිල රුපියල් හත් ලක්‍ෂයේ සිට දස ලක්‌ෂය දක්‌වා පරාසයක පවතී. ලේ බෝතලයක්‌ පවා රුපියල් පනස්‌ දහසකට අලෙවි කරනු ලැබේ. අක්‌මා කොටසක්‌ රුපියල් දස ලක්‍ෂයකි.

මේ වෙළෙඳ ආර්ථිකය තුළ සිය දියණියගේ අක්‌මාව නොමිලයේම පරිත්‍යාග කිරීමට ගයනි විශාඛාගේ දෙමාපියන් තීන්දු කළහ. එම කොටස ගයනිට වඩා සිවු වසරක්‌ වයසැති තරුණියකට දැනටමත් බද්ධ කර තිබේ. ඇගේ සිරුර ගයනි විශාඛා ශිෂ්‍යාව නිසා ඒකාලෝකව ඇත.

සුක්‌කානමක්‌ ඉදිරිපිට හිඳගන්නා මිනිසකු මාරයකු බවට පත්වීමට ගතවන්නේ ඉතාම ස්‌වල්ප වේලාවකි. මේ කුඩා කාලය තුළ මිනිසුන් මරා, ජීවතුන් අතර සිටින්නවුන්ගේ අත්පා කඩා පවුල් මහපාරට බැස්‌සවීමට එකී මාරයන්ට පුළුවන. මාරයා විවිධ ස්‌වරූපයෙන් එයි. ගයනි විශාඛා සිද්ධියේදී මාරයා පැමිණියේ බ්‍රිගේඩියර් කෙනකුගේ වේෂය දරාගෙනය. මෙවැනි මාරයකු මතුවීමට ගතවන්නේ ඉතාම ස්‌වල්ප වූ කාලයකි. අද ගයනිගේ මාපියෝ හැඬූ කඳුළිනි. බ්‍රිගේඩියර් රිමාන්ඩ් කූඩුවේය. ගයනි යළි කිසි දිනෙකත් ආපසු එන්නේ නැත. එහෙත් බ්‍රිගේඩියර් තව දින කිහිපයකින් ඇප පිට නිදහස ලබා ආපසු එන්නේය.

divaina -
Read more
Thursday, November 28, 2013
කවුද මේ මහරාජා

ආර්. ප්‍රෙමදාස: විජය කුමාරණතුංග පාවිච්චි කරන වාහනය මොකක්ද?

අනුර බණ්ඩාරනායක: නිසාන් වර්ගයේ වාහනයක්.

ආර්. ප්‍රේමදාස: ඔහෝ... මම හිතුවේ එයා මහරාජලා දුන්න වාහනයක් පාවිච්චි කරනවා කියල...

පාර්ලිමේන්තු හැන්සාර්ඩ්

23.02.1984

අනුර බණ්ඩාරනායකයි, රණසිංහ ප්‍රේමදාසයි කතා කරන මේ මහරාජා වෙන කවුරුත් නොව කැපිටල් මහරාජා ආයතනයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන්ය.

රාජා මහේන්ද්‍රන් නොහොත් මහරාජාගේ නම දේශපාලනයේ ජනප්‍රිය වුණේ සිරස මාධ්‍ය ආයතනය පටන් ගන්නත් කලින්ය. ඒ කාලයේ සිටම ප්‍රකට ව්‍යාපාරිකයකු වූ රාජා මහේන්ද්‍රන් දේශපාලනඥයන්ව සමීපව ආශ්‍රය කළ කෙනෙකි. ඔහුගේ ගජ මිතුරා වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. 1970 මහ ඡන්දයෙන් අන්ත පරාජයට පත්වූ යූ.ඇන්.පී.ය යළි දිනන පක්‍ෂයක් බවට පත් කරන්න එවකට මැද කොළඹ මන්ත්‍රි ප්‍රේමදාස සහ ගාමිණී ෆොන්සේකා පුරවැසි පෙරමුණ හදාගෙන රට වටේ ගියහ. ඒ වන විට ගාමිණීගේ සමීප මිත්‍රයකු වූ රාජා මහේන්ද්‍රන් ප්‍රේමදාස සමඟද සමීප සබඳකමක් ගොඩනඟාගෙන තිබිණි. එකල නැඟී එන තරුණ දේශපාලනඥයෙක් වූ ප්‍රේමදාස දිනන යූ.ඇන්.පි.යක් හදන්න ගාමිණී ෆොන්සේකා එක්ක යන ගමනේදී රාජා මහේන්ද්‍රන්ගේ උදව් ඉල්ලා සිටියේය. 70-77 සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ නැඟී ගෙන ආ ව්‍යාපාරිකයකු වූ ඔහුට ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා සමඟ පමණක් නොව ආණ්ඩුවත්, ආණ්ඩුවේ කොටස්කාර පක්‍ෂ වන වාමාංශික පක්‍ෂ සමඟත් සමීප සබඳතා තිබිණි.

1977 යූ.ඇන්.පී. ආණ්ඩුව බලයට පත්වී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් විට රාජා මහේන්ද්‍රන්ගේ ව්‍යාපාර ජාලය නොම්මර එකේ ව්‍යාපාරයක් බවට පත්විය. එහෙත් 1983 ජූලි කලබල කාලයේදී යූ.ඇන්.පී. ආණ්ඩුවේ මැරයන් ඔහුගේ ව්‍යාපාරික ආයතනය ගිනිබත් කළේය.
ජූලි කලබලවලින් ඔහුගේ ව්‍යාපාරික ආයතනය ගිනිබත් වීමෙන් පසු ගිනිබත් වූ මහරාජා ව්‍යාපාර ගොඩනැඟිල්ල බලන්න මිනිස්සු යන්න පටන් ගත්හ. අළු බවට පත්වී බිමට සමතලා වුණ තවමත් තැනින් තැන ගිනි ඇවිළෙන ගොඩනැඟිල්ල දිහා දෑස් දල්වා බලාගෙන සුසුම්ලන සුදු පැහැති ටී ෂර්ටයකින් සහ කළු කමිසයකින් සැරසුණ අයකු හැමෝගේම නෙත ගැටිණි. ඔහු සිටියේ ඒ අසල බිත්තියකට හේත්තු වෙලාය. ඔහු රාජා මහේන්ද්‍රන්ය. විනාශ වී පිලිස්සී තිබුණේ ගොඩනැඟිල්ල පමණක් නොවේ. ව්‍යාපාරික ලිපි ගොනු හැම දෙයක්ම පිලිස්සී තිබිණි.

ෆීනික්ස් පක්‍ෂියකු මෙන් අළු මතින් නැඟිට ගත් රාජා මහේන්ද්‍රන්ගේ නම යළි පාර්ලිමේන්තුව තුළ රැව් පිළිරැව් දුන්නේ ඔහු විජය සහ චන්ද්‍රිකාගේ මහජන පක්‍ෂයට උදව් කළ නිසාය.
83 කළු ජූලිය රාජා මහේන්ද්‍රන් සහ ප්‍රේමදාස අතර සමීප සම්බන්ධයට බාධාවක් වුණේ නැත. එකලත් ප්‍රේමදාස ඔහුගේ නිවෙසට නිතර ආවා ගියේය. රාජා මහේන්ද්‍රන් යූ.ඇන්.පී.කාරයෙක් නොවීය. ඔහු නමක් හදා ගන්න දුෂ්කර ක්‍රියා කරන නැඟී එන දේශපාලනඥයන්ට උදව් කළේය. ප්‍රේමදාස එයින් ප්‍රධානය. ගාමිණී දිසානායකත් ඔහුගේ මිතුරෙකි. විජය සහ චන්ද්‍රිකාටත් ඔහු උදව් කළේ මහජන පක්‍ෂය හදාගෙන යන කටුක ගමන දැකලාය. වාමාංශික පක්‍ෂවලටද ඔහුගේ ලොකු ඇල්මක් තිබිණි. සමසමාජ පක්‍ෂයේ නායකයන් වූ ඇන්.ඇම්. පෙරේරා සහ බර්නාඩ් සොයිසාට මහරාජා ආයතනය උදව් කරනවා කියා එකල යූ.ඇන්.පී.ය ඇන්.ඇම්.ලාට මඩ ගැහුවේය.
රාජා මහේන්ද්‍රන් හිතපු ලෙසම ප්‍රේමදාස 1988දී මෙරට ජනාධිපති ධුරයට පත්විය. ගාමිණීව දේශපාලනයට ගන්න ප්‍රේමදාසට අවශ්‍ය වූ විට ප්‍රේමදාස හැරුණේ රාජා මහේන්ද්‍රන් දිහාටය. ජනාධිපති වීමෙන් පසුත් ප්‍රේමදාසගේ සහ ඔහුගේ මිත්‍රකම පරණ විදියටම තිබිණි. ඒත් 1991 ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය ඇවිත් ලලිත් සහ ගාමිණී වෙන් වූවාට පසු ප්‍රේමදාස දිනක් දුරකතනයෙන් රාජා මහේන්ද්‍රන්ට කතා කෙළේය.

"ඔයාගේ අධ්‍යක්‍ෂවරයෙක් ගාමිණීලාට උදව් කරනවා. ඔයත් ගාමිණීගේ හොඳ මිත්‍රයෙක් නිසා වැරැදි මතයක් යනවා. ඒ අධ්‍යක්‍ෂවරයාව වහාම අයින් කරන්න.."

ප්‍රේමදාස දුරකතනය එහා කෙළවරින් ගුගුළේය.

"ඔයාගේ ආණ්ඩුවේ අර ඇමැතිව අයින් කරන්න මේ ඇමැතිව අයින් කරන්න කියල මම ඉල්ලල නැහැනේ. මම ඔයාගේ ආණ්ඩුවට ඇඟිලි ගහන්න එන්නේ නැහැනේ. ඔයත් මගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්න එන්න එපා. ඔයා ආණ්ඩුව කරන්න. මම ව්‍යාපාර කරගෙන ඉන්නම්..."

රාජා මහේන්ද්‍රන් ප්‍රේමදාසට උත්තර දුන්නේ එහෙමය. එදායින් පසු ප්‍රේමදාස - රාජා මහේන්ද්‍රන් මිත්‍රත්වයට හෙනහුරා ලැබුවේය. ප්‍රේමදාස පණිවුඩ කිහිපයක් එව්වත් රාජා මහේන්ද්‍රන් ප්‍රේමදාසව මායිම් කළේ නැත.

 රාජා මහේන්ද්‍රන්ට සිරස රූපවාහිනි නාළිකාව හදන්න බලපත්‍රය දුන්නේ ප්‍රේමදාස ඝාතනයට පසු බලයට ආ විජේතුංග ජනාධිපතිවරයාය. ඒ චන්ද්‍රිකා නැඟගෙන ආ කාලයය.

1983 ශ්‍රීල.නි.ප.යෙන් කැඩිලා වෙන් වූවාට පසු පක්‍ෂය හදන්න දුක් ගැහැට වින්ද විජය සහ චන්ද්‍රිකාට උදව් කොට චන්ද්‍රිකාව හොඳින් දැන හඳුනගෙන සිටි රාජා මහේන්ද්‍රන් 1992 චන්ද්‍රිකා යළි ලංකාවට ඇවිත් බහුජන නිදහස් පෙරමුණ හදද්දීත් උදව් කරන්න පසුබට නොවීය. චන්ද්‍රිකා 1994 මහ මැතිවරණයට ඉල්ලන විට චන්ද්‍රිකාට කතා කරන්න රූපවාහිනි මාධ්‍යයක් නොවීය. ඒ වේලාවේ චන්ද්‍රිකාගේ සම්මුඛ සාකච්ඡාවක් සිරස රූපවාහිනියේ ප්‍රචාරය විය. එපමණක් නොව එ.ජා.ප. ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක ගාමිණී ෆොන්සේකා සහ චන්ද්‍රිකා අතර දේශපාලන සන්ධානයේ තිරය පිටුපස චරිතයක් වූයේ රාජා මහේන්ද්‍රන්ය.

ඒත් චන්ද්‍රිකා බලයට ඇවිත් ටික දිනකින්ම රාජා මහේන්ද්‍රන් සමඟ ගැටුමක් නිර්මාණය කර ගත්තාය. කලින් දැන හඳුනගෙන සිටියත් රනිල් සහ රාජා මහේන්ද්‍රන් අතර දැඩි මිත්‍රත්වයක් ආරම්භ වන්නේ චන්ද්‍රිකාගේ කාලයේදීය. රනිල් එක පිට එක ඡන්ද පරාජය වෙද්දීත් ඔහු රනිල්ට උදව් කරන්නේ චන්ද්‍රිකා සහ ඇගේ ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති මංගල සමරවීර ඔහුට කොටි ලේබලය අලවා පහර පිට පහර ගසද්දීය. 1999 ජනාධිපතිවරණ බෝම්බයෙන් ඇසක් අහිමි කරගෙන ජනාධිපති ධුරයට පත්වෙන චන්ද්‍රිකා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් දෙමින් රාජා මහේන්ද්‍රන් තමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරන බවට චෝදනා එල්ල කරන්නේ තමාට සහ විජයට අමාරු කාලයේ ඔහු කළ උදව් අමතක කරමිනි. එසේම 1994 මහ මැතිවරණයේදී ඔහු කළ උදව්ද අමතක කරමිනි. ඒත් රාජා මහේන්ද්‍රන් ඒ තර්ජනවලට බිය වන්නේ නැත. 2001දී එ.ජා.ප.ය දියත් කරන ජනබල මෙහෙයුමේ පින්තූරයක් දාගන්න රනිල්ගේ මාමාගේ පත්තරය වන ලංකාදීපයත් බැහැ කියද්දී රාජා මහේන්ද්‍රන් සිරස රූපවාහිනි නාළිකාවේ ජනබල මෙහෙයුමට සජීවී ප්‍රචාරයක් ලබා දුන්නේය. චන්ද්‍රිකා වැටුණේ ජනබල මෙහෙයුමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පොලිසිය එල්ල කළ මහා භීෂණය ජනතාව ඇස් පනාපිට සිරස රූපවාහිනියෙන් දැක්කාට පසුවය. රනිල්ට කඳුළු ගෑස් ගහනවා දුටු ජනතාව චන්ද්‍රිකාව පිළිකුල් කරන්නට පටන් ගත්හ. චන්ද්‍රිකා සහ මංගල සිරසට කොයි තරම් කොටි ලේබල් ඇලෙව්වත් සිරස මහජන නාළිකාව බවට පත් වූයේ එතැන් සිටය.
2001දී යූ.ඇන්.පී.ය යළි බලයට එන්නේ සිරස මාධ්‍ය ජාලය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ දූෂණය, භීෂණය රටටම හෙළිදරව් කරමින් අභීත මාධ්‍ය සටනක් ගෙන ගිය නිසාය. එසේම රනිල්ගේ ආණ්ඩුවේ සාම ක්‍රියාවලියට සහාය පළ කරමින් එයට එරෙහිව නැඟී සිටි ජ.වි.පෙ. බලය සුනුවිසුනු කළේත් සිරස මාධ්‍ය ජාලයය. මේ නිසාම සිරස මාධ්‍ය ජාලය ජ.වි.පෙ. වෛරයට පත්වී ජ.වි.පෙ. දැඩි ප්‍රහාරයට ලක්විය.

1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට ඒමට කලින් සිටම රාජා මහේන්ද්‍රන්, මහින්ද රාජපක්‍ෂව දැන හඳුනාගෙන සිටියේය. චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මහින්දට රජයේ මාධ්‍ය කෙනෙහිලිකම් කරද්දී විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේ සිරස මාධ්‍ය ජාලයය. 2004 මහින්ද අගමැති වූ විට අරලියගහ මන්දිරයේ පෝය දින බණ දේශනය විකාශය කිරීම රජයේ මාධ්‍ය ප්‍රතික්ෂේප කරද්දී සිරස එය භාර ගත්තේය. ඒත් 2005 ජනාධිපතිවරණයේදී සිරස මාධ්‍ය ජාලය රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය වුවත් සිරස මාධ්‍ය ජාලය රනිල්ව අතහැරියේ නැත. සිරස මාධ්‍ය ජාලයට කොටි හංවඩුව ගහපු මංගල සහ ශ්‍රීපතිව 2007දී මහින්ද ඇමැතිකම්වලින් ඉවත් කළ විට මංගලට සහ ශ්‍රීපතිට තම මතය කියන්න මාධ්‍යයක් නොවීය. පරණ තරහ මරහ අමතක කොට සිරස මාධ්‍ය ජාලය ඒ අවස්ථාව මංගලට සහ ශ්‍රීපතිට ලබා දුන්නේය. ජනාධිපති ධුරයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් විසිවී ගිය චන්ද්‍රිකා මෙරට රාජ්‍ය සහ නිදහස් මාධ්‍යවලින් හතර වටෙන්ම පහර කද්දී ඇගේ මතය රටට කියන්න අවස්ථාව හදලා දුන්නෙත් සිරස මාධ්‍ය ජාලයය.

2007 මාර්තු 12 වැනි දින මෙරට ඇමරිකානු තානාපතිවරයා ලියපු විකිලීක්ස් කේබල් එකක සඳහන් වන්නේ ආණ්ඩුවට පහර ගසන මංගල සමරවීරගේ මාධ්‍ය සාකච්ඡාවලට ප්‍රචාරය දෙන එකම මාධ්‍ය ආයතනය සිරස මාධ්‍ය ආයතනය යැයි කියාය.

මෙයින් උරණ වූ මහින්දගේ ආණ්ඩුව චන්ද්‍රිකා සහ මංගල හදපු කොටි ලේබලය සිරසට අලවා පහර දෙන්නට පටන් ගත්තේය. 2009දී හමුදාව කිලිනොච්චිය මුදා ගත් විට ආණ්ඩුවේ මැරයන් සිරස මාධ්‍ය ජාලයට බෝම්බ ගසා ගිනිබත් කරන්නේ 1983 කළු ජූලියේ සිදුවූ මහා විනාශයට නොදෙවැනි විනාශයක් කරමිනි. මේ එම ප්‍රහාරය හෙළා දකිමින් රනිල් සහ මංගල 2009 ජනවාරි 07 පවත්වපු මාධ්‍ය සාකච්ඡාවය.

"මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ ආණ්ඩුවයි. සිරස මෙරට ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අභීත මාධ්‍ය ජාලයක්. ප්‍රහාරයෙන් ඔවුන්ට සිදුවී ඇති පාඩුව මිලියන දෙසීයකටත් වැඩියි. අප මෙම ප්‍රහාරය පිළිකුලෙන් හෙළා දකිනවා."


රනිල් වික්‍රමසිංහ
"පසුගිය දශකය දෙස බලද්දී ලංකාවේ තිබෙන ප්‍රධාන පෙළේ ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන සිරස මාධ්‍ය ජාලයට එල්ල කළ ප්‍රහාරය එම ආයතනයට එල්ල කළ ප්‍රහාරයක් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායට එල්ල කළ ප්‍රහාරයකි. මා වසර 11ක් පුරා මාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරද්දී මාවත් සිරස මාධ්‍ය ජාලයේ දැඩි විවේචනයට ලක්විය. එහෙත් මා හැම විටම ඔවුන්ගේ මතයට ගරු කළ අතර කිසිවිටෙක ඔවුන් මර්දනය කරන්න කටයුතු කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල වන්නේ විවිධ මත ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමයි. එහෙත් අවාසනාව මොන යම් හෝ විවේචනයක් උසුලන්නේ නැති මෙම ආණ්ඩුව පසුගිය කාලය පුරාම සිරස මාධ්‍ය ජාලය විවිධ මර්දනයන්ට පීඩනයන්ට ලක් කරන ලදී..."

මංගල සමරවීර

මෙහෙම කියපු රනිල් 2012දී සිරස මාධ්‍ය ජාලයේ අධිපති රාජා මහේන්ද්‍රන් ඔහුව විනාශ කරන්න කුමන්ත්‍රණය කරන බව කීවේය. සිරසට සහ රාජා මහේන්ද්‍රන්ට පහර පිට පහර දෙමින් මංගල දැන් සිරස පාලනය කරන්න කියා උසාවි ගොස් ඇත. මෙයට හේතුව 2010 මහ මැතිවරණ පරාජයෙන් පසු රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට පක්‍ෂය තුළින්ම ආ කැරැල්ලට සිරස මාධ්‍ය ජාලය ප්‍රචාරය ලබාදුන්න නිසාය.

1994 සිට 2010 වන තෙක් සිරස මාධ්‍ය ජාලය රනිල්ට දෙන්න පුළුවන් උපරිම ප්‍රචාරය ලබා දුන්නේය. ඒ නිසාම 2009දී සිරස ගිනිබත් විය. යළිත් ආණ්ඩුවේ මැර ප්‍රහාරයකට ලක්විය. ඒත් රනිල්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හෝ ශක්තිමත් විපක්‍ෂයක් ඇති කරන්න අවශ්‍යතාවක් නැති බව යූ.ඇන්.පී.යේ බහුතරයකට සේම සිරස මාධ්‍ය ජාලයටත් පසුව අවබෝධ විය. රනිල් යා යුතුය යන මතය රටට ගෙන ගිය එ.ජා.ප. කැරැලිකරුවන්ට සිරස මාධ්‍ය ජාලය විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ එහෙයිනි.

ප්‍රේමදාසගේ සිට බලන විට චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මංගල මේ හැමෝටම තමන්ව පුම්බන විට මාධ්‍ය පේන්නේ දෙවියන් වගේය. තමන්ට ගහන විට පේන්නේ යක්‍ෂයන් වගේය. රාජා මහේන්ද්‍රන් ප්‍රේමදාසට, චන්ද්‍රිකාට, මහින්දට යස් සර් කියාගෙන හිටියා නම් අද ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයා ඔහුය. හැබැයි ඔහු නායකයන් සමඟ ඉන්න කැමැති කොන්ද කෙළින් තියාගෙනය. නායකයන් ඉස්සරා කොන්ද නවන්න බැරි කමට ජනතාව එක්ක ඉන්න ගිහින් ඔහු නැති කරගත් දේ බොහෝය. 1994 සිට මේ දක්වා අවුරුදු 19ක් ඔහු ව්‍යාපාරිකයකු හැටියට ඉන්නේ විපක්ෂයේ බව අමතක කරන්නට බැරිය.

 1983 කළු ජූලියෙන් අළු බවට පත්වුණ විවිධ මඩ ප්‍රහාරවලට ලක්වී 2009 ආණ්ඩුවේ බෝම්බ ප්‍රහාරවලින් ගිනිබත් වුණ සිරස මාධ්‍ය ජාලය සහ මහරාජා ආයතනය යන ගමන නතර කරන්න ප්‍රේමදාසගේ සිට මහින්ද දක්වා වූ කොයිම ජගතකුටවත් නොහැකි විය. විපක්‍ෂයේ ඉන්න රනිල්ටයි, මංගලටයි එය කරන්න පුළුවන් යැයි සිතීම විහිළුවකි. මහින්දට කඩේ යන රාජ්‍ය මාධ්‍ය ආයතනවලටවත්, ආණ්ඩුවත් එක්ක බිස්නස් කරමින් මහින්දයි රනිල්වයි දෙන්නවම ආරක්‍ෂා කරගෙන යන ඊනියා මධ්‍යස්ථ මාධ්‍ය කලාවේ බඩ පිනුම් ගහන නිදහස් යැයි කියන මාධ්‍ය ආයතනවලටවත් ඇඟිල්ල දික් නොකොට මේ ආණ්ඩුවෙන් දිගින් දිගටම බැටකෑ සිරසට අත තියන්න යන රනිල්ලා, මංගලලා මේ කරන්නේ මහින්දව දිගටම ජනාධිපති ධුරයේ තියාගෙන විපක්‍ෂය තනියම බෙදා හදා ගෙන කන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකි.

ආණ්ඩු විරෝධී මතයට ඉඩ දෙන මාධ්‍ය ආයතන ආණ්ඩුවට හීලෑ කරදීමකි. සිරස යනු සිරගත වූ ෆොන්සේකා උසාවි යන කොට ඔහු කළ ප්‍රකාශය විකාශය කරපු එකම මාධ්‍ය ආයතනයය.

අගවිනිසුරුවරියට එරෙහිව දොෂාභියෝගයේදී ඇගේ මතය රටට දුන් එකම විද්‍යුත් මාධ්‍ය ආයතනයය.

 අවුරුදු දෙකකට ඡන්ද ඉවර වනතෙක් සිරස පාලනය කරන්න නියෝගයක් ඉල්ලන මංගලගේ නඩුවෙන් එකක් පැහැදිලි වේ. සිරසට රනිල්ලා, මංගලලා පණ බයය. සිරස නැතුව යූ.ඇන්.පීයට ඡන්දයක් දිනන්න බැරිය. ඒ කියන්නේ සිරස හැර යූ.ඇන්.පීයට අන් සරණක් නැත.

බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම යයි කියා කතාවක් තිබේ. සිරස ගමන ගැන කියන්න ඇත්තේත් එච්චරය.

 උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
කැසිනෝ ක්‍රීඩා කරන්නේ ඇයි?

නිසුන් කැසිනෝ ක්‍රීඩාව කරන්නේ ඇයි? බොහෝ දෙනා මෙය සලකන්නේ සදාචාරමය වශයෙන් අසාධු ක්‍රියාවක් ලෙසය. නූතන වර්ධිත ධනවාදී සමාජයේ වඩාත්ම නිග්‍රහයට පත් කරන ප්‍රතිරූප දෙකක් ඇත්නම් ඒ දෙක පහත පරිදිය.

01-දුම්බොන්නා (smoker)

02- කෞමාර කාමය (pedophile)

අන් මිනිසුන්ගේ විනෝදය කළමනාකරණය කිරීම සහ තහනම් කිරීම සමකාලීන ධනවාදී දේශපාලනයේ මුඛ්‍ය ලක්ෂණ දෙකයි. ඒ අර්ථයෙන් මෙවැනි සමාජයක භයානකම සතුරා වන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නාය. මන්දයත් එවැන්නෙකු උපරිම විනෝදය විදිතැයි අන්අය විශ්වාස කරන නිසාය.

නමුත් කැසිනෝ ක්‍රීඩා කරන අය එසේ කරන්නේ මන්ද? සූදුව යනු ධනවාදයේ ක්ෂිතිජයයි. සමාජවාදයේ ක්ෂිතිජය ස්ටැලින්වාදය මෙන් ධනවාදයේ ක්ෂිතිජය කැසිනෝය.

කැසිනෝ ක්‍රීඩා කරන බොහෝ අය මිලියන ගණන් මුදල් සොයා ගත් අයයි. ඒ බොහෝ අයට මේ සමාජයේ ජය ගන්නට තවත් බාධා නැත. එබැවින් ඔවුන්ගේ ආශාව ජීවමානව තබා ගැනීමට අවශ්‍ය නම් තමා සතු යමක් නැති කර ගත යුතුය. කැසිනෝ ක්‍රීඩාව හරහා ධනවතුන් ගේ නැති වන්නේ මුදල්ය. ඇති වන්නේ ආශාවය. එබැවින් කැසිනෝ ක්‍රීඩා අවන්හල් යනු මිනිසාගේ ආශාව යළි පාදුර්භූත කරන දේවස්ථානයන්ය. මේ දෙවොලෙහි සර්වබලධාරී දේවියන් වහන්සේ යනු ඇසට නොපෙනන්ට සගවා ඇති ආරක්ෂිත කැමරාවන්ය. මේ කැමරා දෙවියන්ටත් වඩා බලවත් වන්නේ දෙවියන් බලා සිටන බව සියල්ලන්ටම විශ්වාස කරන්නට සිදුවන නිසා මෙන්ම දෙවියන් ගේ බැල්මට ඩිජිටල් සාක්ෂි ඇති නිසාය. කැසිනෝ ක්‍රීඩා අවන්හල් දේවස්ථානයකටත් වඩා පිරිසිදු වන්නේ මේ නිසාය.

මෙම පශ්චාත්-නූතන දේවස්ථාන වල බිෂොප්වරුන් වන්නේ රවී විජේරත්න,ධම්මික පෙරේරා වැනි අයයි. මෙහි අගරදගුරුතුමා වන්නේ ජේම්ස් පැකර් ය. දුප්පත් මිනිසුන් තමන්ගේ කහට වූ කෙලෙසුන් නැතිකර ගැනීමට ආරාම වලට ගොස් භාවනා කරයි. එහි අනෙක් අන්තය වන්නේ විශාල ධනවතුන් තම නැති වූ ආශාව යළි කුළු ගන්වා ගැනීමට කැසිනෝ දේවස්ථාන කරා ගොස් මුදල් නැති කරගෙන, තම ආත්ම අභිමානයද නැතිකර ගැනීමයි. ඇත්තටම ධනපතියා කැසිනෝ මේසය මත නැති කර ගන්නේ ආත්මාර්ථකාමයයි. එබැවින් කැසිනෝ යනු පශ්චාත්-නූතන යුගයේ ආගමයි.
Read more
Wednesday, November 27, 2013
බූරු ජාතකය

යටගිය දවස සිලෝන් නමින් හැඳින්වෙමින් පැවැති පසුකලෙක සිරිලංකා යනුවෙන් හැඳින්වූ අසිරිබර දිවයිනක්මැ විය. මුහුදින් වටව සියලු සශි්‍රකාංගයන්ගෙන්ම ස්වයංපෝෂිතව භාරත සාගරයේ මුතු ඇටය නමින් ප්‍රචලිතව පැවැතියද කෙමෙන් එරට පාලක නරේෂපතියන්ගේ අපුල වූ පිළිවෙත් නිසාවෙන්ම එය භාරත සාගරයේ (අ)මුතු ඇටය නමින් හිතෛෂී අසල් රාජ්‍ය වැසියෝ අමතන්නට වූහ.

 මේ (අ)මුතු ඇටය වූ සිරිලංකා රාජ්‍යයේ තව්තිසා දෙව්ලොවට නොදෙවැනි වූ මහේශාක්‍ය සශි්‍රකත්වයත්, අපූර්වත්වයත්, විස්මිත වූ සාටෝපයත්, මහා ධනස්කන්ධයත්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය කොට මවා පෙන්වූ අති උත්තම 'චෝගම්' සමයෙක් වූයේය.

රාජ රාජ මහාමාත්‍යාදීන් සීතාම්බරපට පිළියෙන් පූර්ණව, රන් පිළි වස්ත්‍රයෙන් සැරැසීගෙන ඇතැයි සිතා චෝගම් සුවයෙන් මුසපත්ව සම්භාෂණශීලී වූ මනෝ රම්‍ය වූ වකවානුවේ ගව, මහිෂ, සුනඛාදී සත්තු පවා එරට මහජනයා සේම චෝගම් තෘප්තිය උදර කුහරයේ වට පණුවන්ගේ ඝෝෂාව නොසලකා පිළිගත්හ.

 මේ (අ)මුතු ඇටේ රාජ්‍යයේ අග නගරයට සමීප පුරහල නම් නගර කේන්ද්‍රයේ සියල් සැප සනීපයෙන් අනූන සුධා ධවල මහා මන්දිරයක් පිහිටියේයැ. මේ වෙළෙඳ මන්දිරයෙහි හුදී ජනයා වෙනුවෙන් රස මසවුළු සම්පාදනය කෙරෙන බොජුන්හලක්ද, නර්තන, ගීත, සලරූ දසුන් සපයන තැටි, පටි මණ්ඩපයකින්ද, රැගත් සුරා පිරූ විතින් රැගෙන ශීර්ෂ භ්‍රමණ ගත කරගත හැකි සුරාසලකින්ද අනූනව, නගර මධ්‍යයේ සියල්ල සලාකයට දෙන මනෝරම්‍ය ස්ථානයක් සේ පතළව වැජඹුණේය.

මේ සලාක ක්‍රමැති වෙළෙඳ ස්ථානයේ වෙළෙඳපති, ඇඹේනිය රූප ශෝභාවෙන් අගතැන්පත්, දුටු දුටු දන මන පොබයන වශීකෘත දේහධාරිනියක සේම සුධා ධවල පැහැයෙන් දිදුලන අතිශය ප්‍රභාවත් තැනැත්තියක් වූවාය.

මේ සෝබමාන රුවැති පිනැත්තිය කලකට ඉහත නර්තන, ගීත, වාදිත, රූපයෙහි ආරම්මන සිත් ඇත්තීව පතිවත රකිනා, කුලසිරිත් අගයනා, ස්වාමි සෙනෙහෙ වඩනා, පර පුරුෂයකු දෙස නෙත් කොනින්වත් නොබලනා 'භාර්යාවෝ' වෙනුවෙන් තෙලදසුනක් නිපද වූවාය.

ඒ සඳහා ඇය සහාය කරගත්තේ තවත් එවැනිම වූ පතිවත රකිනා, හිමි පෙම වඩනා රාජ්‍ය කරවනා ඇමැත්තන් කෙනකුගේ භාර්යාවකි. මේ අමාත්‍යයාද එසේ මෙසේ කෙනකුන් නොව කශේරුකාව සියතින්ම සිඳබිඳ ගත් වීරයකු සේම තමන් වසනා ස්ථානය අනුව පාට, වර්ණ වෙනස් කර ගත හැකි කටුසු වංශිකයකු වූ නිසාම වීරවූ - වංශිකයකු ලෙසින් චිර ප්‍රසිද්ධ වූ පාළු ගෙයි වළං බිඳීමට සමත් රජ වාසලට ගැති කම්, වාල්කම් කිරීමට උපන්ගෙයිම සමත් වූ වාචාලයෙකි.

මේ ඇමැත්තන්ගේ 'භාර්යාවෝ' සමඟින් මහත් වූ ස්නේහයෙන් සිටි සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය පසු කලෙක විරසකව ගියෙන් මහා ගිනි විජ්ජුම්බරක් සිදුවූයේය.

දෙදෙනාගේ වහසි බස් (අ)මුතු ඇටේ රාජ්‍ය පුරා පැතිර ගියේ කුණු වූ නෙරළු (පොල්) ගෙඩියක් පොළොවේ ගැසුවා සේය.

මේ ඇමැත්තාගේ ඇඹේනිය සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය කෙරෙහි ඇතිකර ගත්තා වූ බද්ධ වෛරය හේතුවෙන් රාජ්‍යයේ මහා වන මැද පිහිටි මහා බලැති බෝධි වෘක්‍ෂයක් හමුවේ ‍ෙදාස වඩන්නට ගොස් මංමුළාවී මහා අතෝරාවක්ද කර ගත්තේය.

මේ අතරවාරයේ කටුසු වංශික ඇමැත්තා සිටියේ අසල් රාජ්‍ය වූ භාරත දේශය පිළිබඳ බද්ධානු වෛරයකිනි. උහූ සාටක පොටට මුවාවී අසල් රාජ්‍යයට ගුස්ති අල්ලන්නට අභියෝග කෙළේ වෘෂණකෝෂ එළියට පනින සේ පිටපොට ගසා ගනිමිනි. මේ වහසි බස් අසල් රාජ්‍ය තාන්ත්‍රිකයෝ තම පශ්චාත් භාගයෙන් පිටවන දුර්ගන්ධ වූ වාතයක් සේ හෝ ගණන් ගත්තේම නැත්තෝය.

 මේ අතෝරයේදී කටුසු වංශික ඇමැත්තාට සමීප වූ සුධාර්මික වූ වෙළෙඳ ඇඹේනිය අසල් රාජ්‍යයේ යෞවන ගාන්ධර්වයකු වූ සෝනු නුගම් කෙරෙහි වශීකෘතව ඉල්ලීමක් කළාය.

වෙළෙඳ ඇඹේනියගේ සුරූපී නාරි ලාලිත්‍යයෙන් මුසපත්ව සිහි එළවාගත නොහැකිව සිටි ඇමැත්තෝ ඇගේ හඬට සවන් යොමු කළෝය.
'මාගේ චිත්තය උන්මාදයට පත් කළ වීරවූ වංශිකයාණනි, මාගේ සුසිනිඳු හෘදය අසල්වැසි රටේ සෝනු නුගම් යෞවන ගාන්ධර්වයා කෙරෙහි බැඳී ඇති හෙයින් ඔහු කෙසේ හෝ අප දේශයට ගෙන්වා දෙනු මැනවි'

 සුධාර්මිකාවගේ මුදු ස්වරයෙන් හා මන්දස්මිතයේ ආනුභාවයෙන් මනස උඩුකුරුඤ්ඤං වූ ඇමැත්තාගේ මුඛ පූට්ටු වී ගියේයැ.

අසල්වැසි භාරත දේශයට එරෙහිව උඩුබුරලෑම නවතාගත් කටුසු වංශික ඇමැත්තාණෝ භාරතයට එරෙහි වීමේ පිළිවෙත අලුයම ලූ කෙළ පිඬක් සේ සැණෙකින් ඉවත දැම්මොයැ.

 වහ වහා තම අමාත්‍යංශගත ධන පරිත්‍යාගයෙන් සෝනු නුගම් යෞවන ගාන්ධර්වයා සිරිලකට ගෙන්වා හැරපියා සුධාර්මික රූ සිතැත්තියගේ සෝනු ‍ෙදාළදුක සංසිඳෙව්වාය.

තමන්ට රිසි වූ දෙයක් කිසිදු අනෝරාවකින් තොරව කර ගැනීමේ මනා වූ නිපුණතාවක් ඇති සුධාර්මික වූ රූපවන්තිය අති සුන්දර චෝගම් වකවානුවේදී ඉතිහාස වංශ කතාව තුළ රාජ රාජ මහාමාත්‍යාදීන් වහ වැටී සිටි දූ කෙළිය, දාදු කෙළිය සුධාර්මිකව ආරම්භ කළය. එය පෙර සිට පැවැත්වූවා වූ කෙළියක් වුවද බිය සැක හැරව පවත්වාගෙන යෑමට රාජ්‍ය උෂ්ණාධික අත්වැලක්ද සමීපගතව සිටීම ඇගේ සැපයටම හේතු භූත වූයේය. දේශයේ ආරක්‍ෂාව පිළිබඳ හුදී ජනයා පහන් සංවේගයට හේතුපල දක්වන්නා වූ ස්ථානයකට අරක්ගත් මහානුභාව රාම කුමරුගේ සොහොයුරු නාමධාරියකු වන ප්‍රේමනීයයකුගේ සුපසන් සෙවණ යට දාදු කෙළිය පැවතෙද්දී අනෝරාවක් කඩා වැටිණි.

 පෙර දවස මෙරට රාජ්‍ය කරවූ ජෝන් කොතලාවල සිරිමතුන් අගනුවර සමීපයේ කොටහේන පුරවරයේ නෙයිනා නමැති මුසල්මානුවාගේ බූරු පොළට කඩා පැන්නා සේ එපමණකුදු නොවුවත් තරු පටි, දම්සක් ඔටුනු පැලැඳි නීති කරවන මුලාදෑනියෝ විසිතුන් දෙනෙක් සුධාර්මික කුලකතගේ සූදු මන්දිරයට කඩාපිනූහ.

කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවූ මේ අකරතැබ්බයෙන් ව්‍යාකූල වූ සුරූපිනිය පිළිසරණක් පැතූයේ රාම කුමරුගේ සොහොයුරු නාමධාරි රාජ උෂ්ණාධිකයාගෙනි. 'නැත අන් පිහිටා - ඔබ මිස සරණා' යැයි පිය තෙපුල් ශෝකී ස්වරයෙන් පවසද්දී ළය උණු වී ගිය රාජ උෂ්ණාධිකයා සුමුදු වදනින් සුරූපිනිය සනහා වහා කසය අතට ගත්තේය.

හෝරා කිහිපයක් යන්නට මත්තෙන් සූදු මන්දිරයට කඩා වැදුණු තරු ඔටුනු දම්සක් මුලාදෑනීන්ගේ උන්හිටිතැන් පවා අහිමිව ගියේය. ඔවුහු වනාන්තර යාබද ප්‍රදේශවලට පවනට බඳු වේගයෙන් පශ්චාත් භාගයට පයින් පහරදී එළවා දැමුවෝය.

කඳුළු පිරි දෙනයනින් ශෝකබරිතව සිටි සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය රාජ උෂ්ණාධික ජවාධිකයාගේ ළමැද තලා යහනේ සැනසුම් සුසුම් හෙළුවාය.

 ඔවුනොවුන් උණුසුම් සුසුම් හුවමාරු කරගත්තද තරු ඔටුනු සේවය තුළ මහත් කැලඹිල්ලක් ඇති වූයේය. තරු ඔටුනුු මහ ඇත්තාද දෝෂයට බඳුන් වූයේය. දේශයේ යුක්තිය ආරක්‍ෂා කිරීමට දූෂණය පිටුදැකීමට ගිය තරු ඔටුනුධාරීන්ගේ ශෝචනීය ඉරණම (අ)මුතු ඇටේ යුක්තිගරුක ජනයා තුළ ඇති කෙළේ පිළිකුල් වූ සංවේගයකි.

තත්ත්වයෙහි බැරෑරුම්කම පිරිසිඳ දැන ගත් රාජ උෂ්ණාධිකයෝ ජන රෝෂය සමථයකට පත් කරනු වස් තම සිඟාල ඥානය උපයෝගී කරගනිමින් තවත් ගැටයක් ගැසුවෝය.

 (අ)මුතු ඇටේ ජනපදිකයන්ගේ හිස් මුදුන්වලට ගව අංතට්ටු මුදුන් කරමින් යළිත් වතාවත් තරු ඔටුනු පිරිසක් ලවා සුධාර්මික වූ සූදු මන්දිරයට සත්තමක් දැම්මෙව්වේය.

(අ)මුතු ඇටේ දිවයිනේ මහා ප්‍රෞඪ ඉතිහාසයේ මහරු කෞතුක වස්තූන් තැන්පත් කර තිබූ කෝෂ්ඨකාගාරයට බීඩි කුඩ්ඩකු පැන්නා යැයි ගෙතූ මහා කර්ණගණ්ඩ ජාතකය (කන් ගැට්ටාගේ කතා වස්තුව) සේ මේ බූරු පොළටද නාට්ටාමින් කිහිප දෙනකු දමා ජීවාග්‍රාහයෙන් අල්ලාගෙන ගොස් සිරකර දැම්මේය.

 පෙර දිනයේ තරු ඔටුනු මුලාදෑන් විසිතුන් දෙනා පිනූ වේලාවේ සිටි බලවන්තයන්, ධනවන්තයන්, නිලමක්කාරවරුන් පිළිබඳ ජනතාවගේ බූරු මතකය අකා මකා දමන්නට කැනැහිල් පියවරක් ගත්තේය. ඒ රටේ ජනතාව බූරුවන් යැයි සිතාගෙනය.

නීතියක්, ජන්මයක් නැති දේශයේ රාජ උෂ්ණාධිකයන්ට කළ නොහැක්කක් නැත්තේයැ. නීතිය කණපිට හරවා බූරු පිටි - රත්තනපිටි කළ හැක්කේයැ.

 අසිරිමත් වූ චෝගම් වකවානුවේ (අ)මුතු ඇටේ මුසපත් කළ 'බූරු ජාතකය' එසේ නිමා වුවද රටේ ජනතාව බූරුවන් යැයි සිතා සිටින අමනයන් මෙය දැන ගත යුතුය.

'සඟවන ලද සත්‍යය ගිලී සැඟවී පොළොව සරුසාර කර යළි කෙදිනක හෝ හිරු එළිය දැකගනී' යනුවෙන් ජෝර්ජ් කීත් වෙස්ටර්න් පවසා ඇති බවයැ.

රාජ්‍යයක් හොඳින් පාලනය කළ හැක්කේ යුක්තිය, ධර්මය රැකීමෙනි. එසේ නොමැතිව හුදී ජනයා බූරුවාට හෝ ගවයාට ඇන්දවීමෙන් නොවේ.

 නීතිය, යුක්තිය සුනඛයාට යැවීමෙන් ඇතිවන ප්‍රතිඵලය (අ)මුතු ඇටයේ ගෞරවයද සුනඛයාට යෑමය. ජනතාව යම් දිනක පිස්සු සුනඛයන් වුවහොත් නීතිය කණපිට ගැසූ බූරුවන්ට සිදුවන දෙය අවිනිශ්චිතය.


බණ්ඩාර
Read more
ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක්ව සිටීම කොතරම් අපහසුද...........?  ----- ජොනතන් මිලර්

බ්‍රිතාන්‍ය ජාතික සම්මානලාභී මාධ්‍යවේදියෙකු මෙන්ම චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ජොනතන් මිලර් විසින් ලංකාවෙන් පිටත් වීමෙන් අනතුරුව ලාංකීය මාධ්‍යවේදීන් වෙත ලියූ ලිපියේ සිංහල පරිවර්තනය හුදී ජන පහන් සංවේගය උදෙසා පහත දැක්වේ.
අපගේ ආරක්ෂාවට ශ‍්‍රී ලංකාවේදී දිගින් දිගටම එල්ල වූ තර්ජන හමුවේ මුලින් සැලසුම් කළ දිනට පෙර රටින් බැහැරවීමට අප තීරණය කළ අතර බි‍්‍රතාන්‍ය බලා යන ගුවන් යානයේ සිට මෙය ලියමි.

මා ශ‍්‍රී ලංකාවේ ගත කළ කාලය තුල මා සහ අනෙක් චැනල්-4 හි මාගේ සගයින් හට ශ‍්‍රී ලංකාවේ පොලීසියෙන්, ආගමන විගමන නිලධාරීන්ගෙන් හා රාජ්‍ය බුද්ධි අංශ වලින් දිගින් දිගටම සිදුවූ බාධාකිරීම් නිර්භීත ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් වන ඔබ සැම තුල උපහාසය මිශ‍්‍ර කණගාටුවක් ඇතිකල බැව් මට හොඳාකාරවම දැණින.

මා මෙහි සඳහන් කරන්නේ රෙජීමයේ එවැනි තර්ජන ගර්ජන දිනපතාම අත්විඳින, එහෙත් පැමිණිලි කිරීමට හැකියාවක් හෝ තැනක් නොමැති, ඔබලා කරන්නා වූ කර්තව්‍යය කොතරම් අපහසු එකක්දැයි මට පසක්කර දුන් සැබෑ ජනමාධ්‍යවේදීන් ගැන මිස රෙජීමයේ බාධාකිරීම් බලා ආස්වාදයක් ලබන රෙජීමයට කරන වන්දිභට්ට කම් ශබ්ද නගා වර්ණනා කරන ‘වාර්තාකරුවන්’ ගැන නොවේ.

උණුසුම් සමකාසන්න පාරාදීසයක් වන ඔබලාගේ දිවයිනට පැමිනි බි‍්‍රතාන්‍යයේ අපටද රජයේ මාධ්‍ය මර්දනය නම් අධිශීත සුලඟ සජීවී ව අත්විදින්නට ලැබිණ.

අප රැගෙන උතුර බලා ගමන් කළ දුම්රිය නතර කෙළේ අපත් සමග ආ රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයින්ගේ ඔත්තුවට අනුව රෙජීමයට පක්ෂපාතී උද්ඝෝෂණකරුවන් බැව් අප දනිමු. එසේම අප ලංකාවේ සිටි අවසාන දින කිහිපයේ අප යන යන තැන රජයේ බුද්ධි අංශ වාහන 5 කට වඩා අප පසුපස ආ බවත් සෙනසුරාදා දිනයේ (16* අප සම්මුඛ සාකච්ඡාවක් අවසන් කොට පිටතට එද්දී මොවුන් විසින් ගෙන්වූ මැරයන් පිරිසක් අපට ගල්ගැසූ බවත් අසන ජනමාධ්‍යකරුවන් වන ඔබ කණගාටුවන බව අපට ඒකාන්තයෙන්ම විශ්වාසය.

රජයේ මාධ්‍ය දිගින් දිගටම මා සහ ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කල මා මිත‍්‍ර ‘කැලම් මැක්රේ’ ව කොටි සංවිධානයට සහය දෙන්නන් යැයි දරුණු ලෙස ලෙස හුවා දක්වද්දී අප මෙන්ම ඔබ සැමත් එය පිළිකුලට ලක් කළා යැයි සැක නැත.

එසේම ඔබලාගේ ජනාධිපතිවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ‘අවසරලත් මාධ්‍ය වේදීන්ගේ’ නම් ලැයිස්තුවෙන් අපව ඉවත් කොට තිබූ බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය ප‍්‍රකාශකයා වන ‘රිචඞ් ඌකු’ සහ මාගේ ප‍්‍රවෘත්ති කර්තෘ බෙන් ඩි පියර් විසින් වෙහෙස නොවලා ඔබලාගේ මාධ්‍ය අමාත්‍යවරයාට දිගින් දිගටම කළ පෙරැත්ත කිරීම් නොවන්නට අපට ඒ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොලැබෙන බවද අසන ඔබට, එවෙලේ අපට ඇතිවූ පිළිකුලම දැනේදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් පළමු දිනයකදී අතර මගදී හමුවූ අවස්ථාවේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ තේ පැන් සංග‍්‍රහය හා සම්මුඛ සාකච්ඡාව නම් මට ලැබුනේ නැත.

අප පත්වූ කරදරකාරී තත්ත්වයන් ගැන ඔබලාට දුකක් සිතුනා නම් ඒ ගැන නොසිතන්න. අප කාර්ය භාරයේදී එවැනි කණගාටු දායක සිදුවීම් තිබුනද, ප‍්‍රීතිමත් සිදුවීම්ද නොතිබුනා නොවේ. සැබවින්ම අප ඔබලාගේ රටට දැඩිව ආදරය කරමු. මාධ්‍ය මගින් කුමක් වාර්තා කළද අපට ලංකාව තුල බොහෝ මිතුරන් සිටී.

බොහෝ සිංහල, දමිළ හා මුස්ලිම් ජනයා අප ගිය ස්ථාන වලදී රහසින් හෝ අපට සහයෝගය දැක්වූයේ අපද පුදුමයට පත්කරමිනි. නොයෙක් විට එය සිනහවක්, හස්ත මුද්‍රාවක් හෝ ඇස වසා කල ඉඟියක් විය.

මර්දනයෙන් යුක්ත ඒකාධිපති රාජ්‍යකදී අප පසුපස එන බුද්ධි අංශ සාමාජිකයින් කැමරාගත කිරීමට වඩා ජනමාධ්‍ය වෘත්තියේදී මා ඉමහත් සතුටට පත්වෙන දේවල් අල්පය. අපට කොළඹ යෝක් වීදියේ සී.අයි.ඩී මූලස්ථානය අසලදී ඒ අවස්ථාවද ලැබිණ.

එය මට ගඩාෆිගේ ලිබියාවේදී, සිම්බාබ්වේ හි දී, මියන්මාරයේදී, චීනයේදී, සිරියාවේදී හා සුඩානයේදී මා ලැබූ අත්දැකීම් සිහිගන්වන්නක් විය.

කෙසේවෙතත් රාජ්‍ය මර්දනයේ ඒජන්තවරුන් වන රාජයේ බුද්ධි අංශ සාමාජිකයින්ට කළ හැකි දේ සුළුවෙන් නොතකන ලෙස මම ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට අවවාද කර සිටිමි.

බි‍්‍රතාන්‍ය අගමැති හා රාජ්‍ය ලේකම් සහභාගීවන ප‍්‍රධාන ජාත්‍යන්තර සමුළුවක් අතරතුරදී බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් වන අපට ඔබට නැති ආරක්ෂාවක් ලැබෙන බැව් අපි දනිමු. මට සහ කැලම් මැක්රේට ලංකාවට පැමිණීමට පෙර මරණ තර්ජන ලැබුනද මේ මොහොතේ අප අත් අඩංගුවට ගැනීම, වධ බන්ධනයට ලක්කිරීම හෝ මරා දැමීම නුවණට හුරු නැති බැව් රෙජීමය තේරුම්ගන්නට ඇත. ඔබලාගේ ජනාධිපතිවරයා විසින් ‘නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ යැයි හඳුන්වනු ලබන ශ‍්‍රී ලංකාවේදී, ‘නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ රටක කළ හැකි පරිදි, රෙජීමය අපට පනවා තිබූ සීමාවන් ඉක්මවා යෑම වැදගත් යැයි අප සිතන්නේ එබැවිනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සුරැකීමට බැඳී සිටිනවා යැයි නැවත නැවත කියයි. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසද එයට ඇතුලත්ය. ඔහු එසේ ‘ඇඟට නොදැනී’ බොරු කියන්නේ කෙසේදැයි මට අදහාගැනීමට අපහසුය.

ඔබලාගේ සමහර පුවත්පත් කර්තෘවරුන් හැසිරෙන්නේ දිගේලි කරන ලද එළුවන් මෙනි. පසුගිය වසර 10 තුල ඔබලාගේ රටේ මාධ්‍යවේදීන් 9 දෙනෙකු වත් ඝාතනයට ලක් වී ඇති බව මම දනිමි. ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය ගැන කලින් අනාවැකි පලවූ බව ඇසීම තරම් මට බිය ගෙන දුන් වෙනත් දෙයක් ඇත්නම් ඒ කිහිපයක් පමණි.

ප‍්‍රගීත්ගේ බිරිඳ පැහැරණීමට ලක්වූ ඇගේ සැමියා ඉන්නා තැනක් සොයා ගැනීමට තවමත් උත්සාහ කරනු ඇසීම මට දැඩි වේදනාවක් ගෙන එයි. ඔබ සැවොම ප‍්‍රගීත් ගැන අසා ඇති දේ මම ද විශ්වාස කරමි. එනම් ඔහු තවදුරටත් ජීවතුන් අතර නැති බවයි.

නිව්යෝක් නගරය මූලස්ථානය කරගත් ‘මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ සම්මේලනය’ විසින් (අයිඑෆ්ජේ ශ‍්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් රටවල් 179 අතුරින් 162 වෙනි ස්ථානයේ තබා ඇති බවද මම දනිමි.

රාජපක්ෂ සහෝදරයින් පිලිබඳ විවේචනාත්මකව ලිවීම ඔබලාගේ ජීවිතයට තර්ජනයක් වියහැකි බවත් අපට මෙන් නොව ඔබලාට හමුදාව ගැන නිදහසේ ලිවීමට ඉඩ නැති බවත් ‘යුද්ධය’ යනු ශ‍්‍රී ලංකාවේ විවේචනය කිරීමට තහනම් මාතෘකාවක් බවත් මම දනිමි.

‘දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ’ (රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්) සංවිධානයේ වර්ග කිරීමට අනුව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මකවන රාජ්‍ය අතුරින් පහලම මාධ්‍ය නිදහසක් පවතින්නේ ශ‍්‍රී ලංකාවේය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යක් යැයි කීමම මහත් උත්ප‍්‍රාසයකි.

නමුත් මේ සියළු බාධා මැද්දේ තම රැකියාව නිවැරදිව කරන්නට සැබෑ ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ගන්නා නිර්මාණාත්මක උත්සාහය මා ඉතා සතුටට පත්කරයි.

එදා රාජපක්ෂ සමග පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී සිංහල ජනමාධ්‍යවේදියෙක් නැගිට යුද අපරාධ චෝදනා පිලිබඳ ප‍්‍රශ්න කිරීම දැක මා ඉමහත් විශ්මයට පත්විය. අපි සියල්ලෝම ඔහු කළ දෙය දුටිමු. ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර අවධානය ඈත්වූ පසු ඔහුට කිසිදු කරදරයක් සිදු නොවේවායි මම ප‍්‍රාර්ථනා කරමි.

මම ඔබලාගේ රටේ ඉරිදා පුවත්පත් කියවමි. ලාංකික ජනමාධ්‍යවේදීන් කොතරම් දක්ෂව, නිර්මානාත්මකව වැඩ කරනවාදැයි මට පසක් වේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක්ව සිටීම කොතරම් අපහසුදැයි මට සැබෑවටම වැටහේ. ඔබ යමකුගේ අදහස් උපුටා ලිවීම සමහරවිට ඔබේත් ඔහුගේත් ජීවිත අනතුරේ දැමීමක් විය හැක. එය සත්‍ය වශයෙන්ම අපහසු කටයුත්තකි. ජනමාධ්‍යවේදියෙක් ලෙස මට ඔබලා පත්වන තත්වය සිතා ගත හැකිය.

අවසානයේ ඔබ වැනි ජනමාධ්‍යවේදීන් හමුවීම මට යහපත් ආදර්ශයක්ම වූ බව කිවයුතුය. මෙවැනි මර්දනයක් මධ්‍යයේ ඔබලා කටයුතු කරන ආකාරයට මම ගරු කරමි.

-ජොනතන් මිලර් විසිනි- (සිංහල පරිවර්තනය -ලංකා ඊ නිව්ස්)
Read more
Tuesday, November 26, 2013
ඔන්න ඒ පාර චීනෙත් ..........

කාටුනය -.facebook /indikacartoon
ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය.

මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි.

ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය.

චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය.

මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙමින් සිටිති.  චීනය වැනි විප්ලවකාරී රාජ්‍යයන් පවා එ‍සේ කරද්දී ලංකාව වැනි පුංචි රටකට ලෝකයට එරෙහිව කැරැලි ගැසීමේ ශක්තියක් නැත.

දිනෙන් දින ශ්‍රී ලංකා ආණ්ඩුව වටා දැල එළෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන එක දෙයක් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව කොටි සංවිධානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද පරීක්ෂා කළ යුතු බවයි. ඇත්තෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටින්නේ ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයන්නට මිස ආණ්ඩුව විසින් පමණක් කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සොයන්නට නො ‍වේ.

මෙම තර්කය හේතුවෙන් මතු වන ගැටලුව වන්නේ යුදමය වශයෙන් විනාශ කර තිබෙන කොටි සංවිධානයේ යුද අපරාධ සම්බන්ධයෙන් වග කියන්නට කෙනෙකු නැති වීමයි. එහෙත්, ආණ්ඩුවේ නායකයන්ට තම පාර්ශ්වයෙන් සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගකීම භාර ගන්නට සිදු වේ.

ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා වැඩේ දිග්ගැහෙන්නට පෙර ලංකාවට කළ හැකිව තිබුණු දේ බොහෝ ය. ආණ්ඩුවට යම් වගවීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ හැකියාව තිබිණි. දකුණු අප්‍රිකාවේ සත්‍ය කොමිසම වැනි ක්‍රමවේදයක් මේ සඳහා අනුගමනය කිරීමට ඉඩ තිබිණි.

ආණ්ඩුවට දැන් කතා කරන්නට ඉතිරි වී තිබෙන්නේ එපා වාහෙට ‍හොදි බෙදන්නා සේ කළ උගත් පාඩම් හා සංහිඳියා කොමි‍සම හෙවත් ආණ්ඩුවේ වචනවලින් කියනවා නම් 'අර තිස්සගේ කමිටුව' ගැන පමණි. මේ වනාහි ආණ්ඩුව විසින් දේශීයව කිසිදු ප්‍රවර්ධනය කිරීමක් කළ ‍ක්‍රියාවලියක් නො වේ. එහි අබල දුබල නිර්දේශ හෝ ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් ආණ්ඩුවට තිබුණේ නැත.

තමන් වටා ඇති දැල හිර වෙන විට ආණ්ඩුවේ ගැලවිජ්ජාව වුණේ ජාතිවාදයේ පිළිසරණ සෙවීමයි. ආණ්ඩුව විසින් මුදා හරින ලද සීමාන්තික ජාතිවාදය දැන් ආණ්ඩුවට ම කොඩිවිනයක් වී හමාර ය. ලක්සෙට කොඩි දමා පැවැත්වූ චොගම් සමුළුව ද මොවුහු චොර කළ හ.

අප ජීවත් වන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පමණක් දඬුක‍ඳේ ගැසීම සාධාරණීකරණය කළ හැකි ලෝකයක නො වන බව ඇත්තකි. සරළව කියනවා නම්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වැරදිකරු කරන්නට ගන්නා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලින් ලංකාවේ අර්බුදය තවත් උත්සන්න වනවා මිස රටට යහපතක් වන්නේ නැත.

එහෙත්, රාජපක්ෂවරුන්ගේ පාලනයේ අගතිගාමිත්වය නියාමනය කරන්නට වෙනත් ක්‍රමයක් ද නැත.

මේ අර්බුදයෙන් තමනුත් ගැලවී රටත් ගලවා ගන්නට නම් රාජපක්ෂ පාලනය දිගුකාලීනව බරපතල දේශපාලන තීරණ කීපයකට එළඹිය යුතු ය.

ඒ අන් කිසිවක් සඳහා නො ව ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරින් ම තහවුරු කිරීම සඳහා ය.

Ajith Perakum Jayasinghe
w3lanka -
Read more
Monday, November 25, 2013
ලොකු අයියාගේ කතාව

නායකයෙක්‌ ලෙස 
වැඩ කරන විදිහ ඉගෙන ගත්තෙ මඩුගල්ලගෙන්

කැපුන වෙලාවෙ කණ්‌ඩායමට ගෙනාවෙ සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌

ඉබි ගමනින් ගමන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට යෝධ බල යෝධ ශක්‌තිය ලබාදීමට සමත් වූ ඔහුගේ චින්තනය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝකයේම අංක එකට ඔසවා තැබීමට සමත් විය. සිහිනයක්‌ බඳුව තිබූ ලෝක ක්‍රිකට්‌ කිරුළ 1996 දී ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇප කැපවූ වූ මේ දැවැන්තයා එදා කණ්‌ඩායමේ ලොකු අයියා විය. වර්තමානයේද ක්‍රිකට්‌ ක්‍රීඩාවේ උස්‌ පහත් තැන් තදින් විවේචනය කිරීමට නොපැකිළිව ඉදිරිපත් වන මේ නිහතමානී වීරයා අර්ජුන රණතුංගය.

තමා ගැන නොසිතා අනාගතය ගැන සැලසුම් සකස්‌ කරමින් 1996 ලෝක ක්‍රිකට්‌ කුසලාන ඩැහැ ගැනීමේ සටන අර්ජුන ආරම්භ කරන ලද්දේ 1994 සිටය. ක්‍රිකට්‌ ලෝක වාර්තාවලට වඩා සාමූහික ප්‍රයත්නයකින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජයග්‍රාහී මාවතට රැගෙන යැමට සෑම විටම නිර්භීතව මුලසුන හෙබවූ අර්ජුන රණතුංග ලෝකයේ වැඩිම එක්‌දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක්‌ මෙහෙයවූ නායකයන් අතර තෙවැනි ස්‌ථානයේ පසුවේ. ඔහු එක්‌දින ජාත්‍යන්තර තරග 193 කට නායකත්වය ලබාදී ඉන් තරග 89 ක්‌ ජයග්‍රහණ කරා මෙහෙයවමින් 48.37% ක ජයග්‍රාහි ප්‍රතිශතයක්‌ වාර්තා කර තිබේ. ක්‍රිකට්‌ ලොවේ විටෙක කෙණහිලිකම්ද තවත් විටෙක අඩු සැප සම්පත්ද ඇති කාල වකවානුවක අර්ජුන දැක්‌වූ එම දක්‍ෂතාව ලොව වෙනත් කිසිදු ක්‍රිකට්‌ නායකයකු කර තිබේද යන්නත් සැක සහිතය.

සනත්-කළු සුසංයෝග ආරම්භක පිතිකරුවන් ලෙස යෙදවීමත් මුරලිදරන්ගේ ක්‍රිකට්‌ දිවිය සුරැකීමටත් යෝධ සෙවණැල්ලක්‌ වූ අර්ජුන සිය කණ්‌ඩායමට සහෝදරයකු විය. ලොකු අයියා කෙනෙකු විය. වැනෙන තීරණ වෙනුවට දෙපයින් සිටගෙන ජයග්‍රහණය ඉලක්‌ක කොට ඔහු කණ්‌ඩායම මෙහෙය වීය. "අර්ජුන අයියාට හැම තරගයක්‌ම දිනන්නම ඕනා. අර්ජුන අයියා අපේ කණ්‌ඩායමේ ලොකු අයියා වගේ. අර්ජුන අයියා නැත්තම් අපිට 96 දිනන්න වෙන්නේ නැහැ." යනුවෙන් ඔහුගේ සගයන් තවමත් කියන්නේ එදා අර්ජුන ක්‍රිකට්‌ පිටියේදී ගොඩ නගා ගත් චරිතයට තවමත් ගරු කරමිනි.

අර්ජුන රණතුංග නම් වූ අතීත ක්‍රිකට්‌ විරුවාගේ ක්‍රිකට්‌ දිවියේ අපි නොදත් බොහෝ දේ තවමත් සැඟවී තිබේ. ඔහු ක්‍රිකට්‌ පිටියේ වාර්තා පසු පස කිසි විටෙකත් ලුහු බැඳ නොගියේය. එහෙත් ඇතැම් ලෝක වාර්තා පොදි බැඳගත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වඩා අර්ජුන රණතුංගට අදත් ජනතාව ආදරය කරති. ඒ ඔහු ගොඩනගා ගත් චරිතයටය. අර්ජුන රණතුංග නැමැති චරිතය ලොවක්‌ හමුවට පැමිණියේ කෙසේද? ඔහුගේ ක්‍රිකට්‌ දිවියේ උස්‌ පහත් තැන් මොනවාද? හුදෙක්‌ ඔහු ක්‍රිකට්‌ වෙනුවෙන් කළේ මොනවාද? zඅපි නොදන්න ක්‍රිකට්‌Z ලිපි මාලාවට අර්ජුන සිය අතීතය නැවත සිහිපත් කළේ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රිකට්‌ රසිකයන් නොදත් බොහෝ දේ සිහිපත් කරමිනි.

කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රිකට්‌ පිටියට පය තැබූ අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ අර්ධ ශතකයේ හිමිකරුවාය. 1982 දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්‌ට්‌ තරගයට සහභාගි වීමට පසුබිම සැලසුන ආකාරයත් සිහිපත් කරමින් අර්ජුන සිය හඬ අවදි කළේය.

"මම අවුරුදු 14 වෙන කොට කොළඹ ආනන්ද විදුහලේ දෙවැනි පෙළ කණ්‌ඩායමට සෙල්ලම් කළා. අවුරුදු 15 වෙන කොට පළමු පෙළ කණ්‌ඩායමට සෙල්ලම් කළා. ආනන්දයේ පළමු පෙළ ක්‍රීඩා කරමින් සිටියදී 1980 ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායම ලංකාවට ආවා. ඒ කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ රවී ශාස්‌ත්‍රි. ඒ තරගාවලියේදී ටෙස්‌ට්‌ තරග දෙකක්‌ තිබුණා. මහනුවර තිබුණ තරගයකදි මම ශතකයක්‌ ගැහුවා. පාසල් කාලයේ කොතරම් ලකුණු ගහල තිබ්බත් ඒ තරගයේදී ක්‍රීඩා කරපු ආකාරය දැකල තමයි තේරීම් කමිටු නිලධාරීන්ට මම ගැන අදහසක්‌ ආවෙ. ඊට පස්‌සෙ 1980-81 කාලයෙදි අපි එංගලන්තයට ගියා වයස අවුරුදු 19 න් පහළ තරගාවලියකට. මම ගොඩක්‌ වාසනාවන්ත වුණා හොඳ පුහුණුකරුවන් යටතේ පොඩි කාලයේ ඉඳලම ක්‍රිකට්‌ ඉගෙන ගන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලයනල් මෙන්ඩිස්‌, පී.ඩබ්ලිව්. පෙරේරා, පොළොන්නෝවිට කියන මහත්වරු අපිව නිසි මාර්ගයේ යවපු නිසා ඒ කාලයේ ආනන්දයෙන් ගොඩක්‌ කට්‌ටිය ජාතික තලයකට ආවා. නාලන්දයෙත් හොඳ ගුරුවරු හිටියා. ඒ හින්ද තමයි ගොඩක්‌ වෙලාවට ඒ පාසල් දෙකෙන් බහුතරයක්‌ ජාතික කණ්‌ඩායම නියෝජනය කළේ."

"1982 දී ජාතික කණ්‌ඩායමට එන්න කලින් මට පුහුණු තරගයක්‌ හම්බ වුණා. ඒකෙදි මම ලකුණු එකසිය තිස්‌ ගාණක්‌ ගැහුවා. දෙවැනි මැච් එකේදි 49 ක්‌ ගහල ඉන්නකොට දුවද්දී දැවී ගියා. ඊට පස්‌සෙ සභාපතිගේ කණ්‌ඩායමට නම් කරල තිබුණ තරගවලදිත් හොඳට කරපු නිසා තේරීම් කමිටුව මාව පළමු ටෙස්‌ට්‌ තරගයට නම් කළා. එතනදි මට තිබුණ වාසිය තමයි මැද පෙළ බැට්‌ කරන්න එක වමත් පිතිකරුවෙක්‌වත් හිටපු නැති එක. පළමු තරගයේදී කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන් මගෙන් වැඩි දෙයක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගොල්ලන් කිව්වෙ මම පොඩි ළමයෙක්‌ ඔයාගෙ සාමාන්‍ය ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කරන්න කියල. කොහොම හරි පනහක්‌ ගැහුවා. පළමු ටෙස්‌ට්‌ තරගය ඉවර වෙලා ඉස්‌කොලෙට ගියාම ප්‍රධාන රැස්‌වීම් ශාලාවෙදි මම වෙනුවෙන් උත්සවයක්‌ සංවිධානය කරල තිබුණ. ගාමිණි දිසානායක මහත්තයත් ඒකට ආවා."

"පළමු ටෙස්‌ට්‌ තරගය ගහනකොට එංගලන්ත කණ්‌ඩායම හිටියෙ කොළඹ තියෙන සුපිරිම හෝටලයක. අපිව දාල තිබුණෙ පොඩි හොස්‌ටල් එකක. මාවයි රවී රත්නායකවයි දාල තිබුණෙ එක කාමරයක. ඒ කාමර හරි පොඩියි. එක්‌කෙනෙක්‌ කාමරයෙ ඇවිදින කොට අනික්‌ එක්‌කෙනා ඇඳට වෙලා ඉන්න ඕන. නුවර මැච් වලට ගියත් අපි හිටියෙ සාමාන්‍ය හෝටල්වල. ඒ වගේ ඉතිහාසයක ඉඳල තමයි අපි ආවෙ. හැබැයි අපි ඒ සැප පහසුකම් ගැනවත් අපිට හම්බවෙන රුපියල් දෙසීය පනහ ගැනවත් ඒ කාලෙ හිතුවෙ නැහැ."

පළමු ටෙස්‌ට්‌ තරගයේදි පනහක්‌ ගහපු අර්ජුන රණතුංගට කෙටි කාලයකින් කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ගියේය. නැවත ඔහු කණ්‌ඩායමට පැමිණියේ සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌ හරහාය.

"83 දී මාව කණ්‌ඩායමෙන් අයින් කරල තිබුණෙ. ඒ කාලයෙදි සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌ ලංකාවේ පුහුණුකරු වෙලා ආවා. සර් ගාෆිර්ල්ඩ් සෝබර්ස්‌ අහල තිබුණ අර්ජුන රණතුංග කණ්‌ඩායමේ නැත්තෙ මොකද කියල. ඊට පස්‌සෙ මාව පුහුණු සංචිතයකට කැඳෙව්වා. එතනදි පුහුණු තරග දෙකක්‌ තිබ්බා. පළමු පුහුණු තරගයෙදි මම අංක හත පිතිකරු විදිහට ක්‍රීඩා කළේ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්‌ හැටියට. දෙවැනි මැච් එකේදි මම පන්දු තිහකට පනහක්‌ ගැහුවා. ඊට පස්‌සෙ මොරටුවෙ තිබුණ තුන්දින තරගයකට මාව නම් කළා. මම ගම්පහ ඉඳල බස්‌ එකේ මැච් එකට ගියාම සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌ කිව්ව ඔයා අද මැච් එක ගහන්නෙ නැහැ කියල. මම හිතන්නෙ මට තේරීම් කමිටුවෙ ඒ කාලෙ තිබුණ ප්‍රශ්න නිසා තුන් දින තරගය ගහලා ටෙස්‌ට්‌ කණ්‌ඩායමට ගේනවට වැඩිය කෙළින්ම ටෙස්‌ට්‌ තරගයකට ගේන්න හිතාගෙන තමයි මට එදා ගෙදර යන්න කිව්වෙ. පස්‌සෙ මාව ටෙස්‌ට්‌ මැච් එකට නම් කළා. ඒ මැච් එකෙදි විකට්‌ හතරක්‌ ඉක්‌මනට ගිහිල්ල තිබුණ වෙලාවෙ මම ලකුණු 90 ක්‌ ගැහුවා. ඊට පස්‌සෙ සර් ගාෆිල්ඩ් සෝබර්ස්‌ ඇවිල්ල මට කිව්ව, zමම මගේ යුතුකම් ඉටු කළා. දැන් ඉතින් ඔයාගෙ ක්‍රිකට්‌ ජීවිතයේ ඉස්‌සරහ හදාගන්න කියලා. එතන තමයි මගේ දෙවැනි ක්‍රිකට්‌ ගමනේ හරි අත්තිවාරම වැටුනෙ."

තහනම් දකුණු අප්‍රිකානු සංචාරය යැම සඳහා අර්ජුන රණතුංගට ලොකු ඉල්ලුමක්‌ එදා තිබිණි. නමුත් බන්දුල වර්ණපුර සහ රෝයි ඩයස්‌ වැන්නන් එදා අර්ජුනගේ ඒ ගමන නවතා දැමුවේය. අර්ජුනගේ දෙමව්පියන් ඒ සංචාරයේ ආදීනව පැහැදිලි කර දුන්නේය. පාසල් ක්‍රීඩකයකුව සිටි අර්ජුනට එදා එම සංචාරය පිළිබඳ වැඩි අවබෝධයක්‌ නොතිබුණ බැවින් ඉහත සඳහන් පිරිස නොවන්නට අර්ජුන රණතුංගද ක්‍රිකට්‌ තහනමට ලක්‌වූ පිරිස අතර තවත් ක්‍රීඩකයකු වීමට ඉඩ තිබිණි.

"මට අවුරුදු 23 දී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උප නායකත්වය ලැබුණා. එතකොට නායකයා වූයේ දුලිප් මෙන්ඩිස්‌. දුලිප් නායකත්වයෙන් සමුගන්න කොට තේරීම් කමිටුව මට කතා කරල කිව්ව ඊළඟට නායකත්වය රන්ජන් මඩුගල්ලට දෙනව කියල. මම ඒකට ගොඩක්‌ කැමැති වුණා. මොකද මට තව කල් තියෙන නිසා. රන්ජන් වැනි නායකයෙක්‌ එක්‌ක වැඩ කිරීමට ලැබීම ලොකු භාග්‍යක්‌. මම එතනදි නායකයකු ලෙස වැඩ කළ යුතු ආකාරය ඔහුගෙන් ඉගෙන ගත්තා. රන්ජන් මට ඒ කාලෙ හුඟක්‌ වගකීම් භාර දුන්නා. මම හිතන විදිහට අපේ රටේ බිහිවුන ක්‍රිකට්‌ නායකයන්ගෙන් හොඳම මොළය තිබුණෙ රන්ජන් මඩුගල්ලට"

එදා අර්ජුනලාට ක්‍රිකට්‌ වලින් මුදල් ලැබුණේ සොච්චමකි. 92 වසර වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට මුදල් ගලා ඒම ආරම්භ විය. එතනදි අර්ජුනලා ඩොලර් පනහක්‌ හෝ සියයක්‌ තමන්ට වැඩි කරන දෙන ලෙස ක්‍රිකට්‌ ආයතනයෙන් ඉල්ලීමක්‌ කළේය. එම ඉල්ලීම් සර්ව සාධාරණ ඉල්ලීම් විය.

1995 දී අර්ජුන රණතුංගගේ කණ්‌ඩායමට එරෙහිව කුමන්ත්‍රයක්‌ දියත් විය. එම කුමන්ත්‍රණයට මුහුණ දුන් අර්ජුන, අරවින්ද, ප්‍රමෝදය, සමරවීර සාජා සංචාරයෙන්ද ඉවත් විය.

"95 දී සැලසුම් සහගතව අරවින්දව ඉවත් කරන්න හැදුවා. ඔහුට ශාරීරික යෝග්‍යතාවක්‌ නැහැ කියල. එක පාරටම ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වෙලා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක්‌ පවත්වන්න තීරණය කළා. හැබැයි ඒ පරීක්‍ෂණ කොතරම් තිබුණත් ක්‍රීඩකයන්ව එළියට දාන ක්‍රමයක්‌ එදා තිබුණෙ නැහැ. ක්‍රිකට්‌ ෆිට්‌නස්‌ට්‌ ගැන නොදන්න ඇමැතිවරු, පරිපාලකවරු සහ උපදේශකවරු තමයි එදා ඒ පරීක්‍ෂණය මෙහෙයවූයේ. කොහොම හරි එදා අපි ක්‍රිකට්‌ ආයතනයට පාඩමක්‌ උගවන්න කණ්‌ඩායමෙන් ඉවත් වුණ එක අපේ කණ්‌ඩායමේ එකමුතුභාවය දියුණු කරගන්න ලොකු පිටිවහලක්‌ වුණා.

මුත්තයියා මුරලිදරන් ක්‍රිකට්‌ නවතා ගෙදර යන්න හදන අවස්‌ථාවේදී අර්ජුන නවතා ගත් හැටිත්, සනත් - කළු සුසංයෝගය ආදේශ කළ ආකාරය සහ 96 ලෝක ශූරතාවේ සිදුවූ විශේෂ අවස්‌ථා ලබන සතියේ දැන ගනිමු.....

 අසේල විතාන

Read more
සලාකා රෙජිනෝට ඕනෑ විදියට කළ පොලිස් මාරුව

අරුණ ජයවර්ධන -

කොළඹ පුරහල සලාකා ගොඩනැගිල්ලේ ‘සලාකා රෙජිනෝ ක්ලබ්’ නමින් පවත්වාගෙන ගිය බූරුපිටියක් වැටලූ කොළඹ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 22ක් හා නිලධාරිනියක එන් දිනක් තුළ රටේ සීසීකඩ මාරු කළ පුවත දැන් මුළු රටම දනියි.

කැසිනෝ නොවේ

මේ බූරුපිටිය තිබුණේ කොළඹ පුරහල සලාකා සමූහ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලකය. ඊට ඇතුළු විය හැක්කේ, ලිප්ටන් වටරවුම පැත්තෙන් ධර්මපාල මාවත ආරම්භ වන ස්ථානයේ ඔසුසල මායිම හා එච්එන්බී බැංකුව අතර සලාකා රියගාලට ඇතුළුවන පටු මංතීරුවෙනි. ඉන් ඇතුළුවී සලාකා රියගාල අසළට ගියවිට දකුණු අත පැත්තෙන් හමුවන බිංගෙයක් වැනි කොටසක වම් පැත්තේ බාර් එකක් පිහිටා ඇති අතර දකුණු පැත්තේ දොරටුවෙන් ඇතුළු වන්නේ බිම් මහලේම පිහිටි මේ බූරුපිටියටය. මෙය කැසිනෝවක් නොවේ. එසේ කියන්නේ සාමාන්‍ය කැසිනෝහලක තිබෙන ඔට්ටු ඇල්ලීමේ ක‍්‍රීඩා මෙහි නැති නිසාය. දිනපතා සවස 2 සිට රාත‍්‍රී 8 පමණ වනතෙක් විවෘතව පැවැති, වායු සමනය කළ, විශාල මේස සහිත මේ බූරුපිටියේ ඇත්තේ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කාඞ්පැක්’ ලෙස හැඳින්වෙන, මිනිසුන් බූරුවා ගැසීමට යොදාගන්නා කාඞ් භාවිත කොට සූදු කෙළීමේ ක‍්‍රමයකි. කාඞ්පැක් එකක එක් එක් කාඞ්පතට ඔට්ටු අල්ලා, එම කාඞ්පැක් එක අනා, ලීවලින් සාදන ලද පෙට්ටියක බහා ඉන් එක්් කාඞ්පතක් ගෙන එම කාඞ්පතට ඔට්ටු ඇල්ලූ අයට දිනුම හා මුදල් හිමිකර දීමේ ක‍්‍රමයක් මෙහි තිබී ඇත්තේය. සූදුව සඳහා පෙළඹවීමට භාවිත කරඇත්තේ එක් කාඞ්පතක් ඔට්ටු තබා එම කාඞ්පත එළියට ආවොත් ඔට්ටු තැබූ මුදලට කිහිප ගුණයකින් වැඩි මුදලක් හිමිකරදීමෙනි. උදාහරණයක් ලෙස හාරත හත කාඞ්පතට ඔට්ටු තබන ඒකක 1කට ලැබෙන දිනුම 10 ගුණයකි.

ජූලියේත් ඇල්ලූවා

පසුගිය ජූලි මාසයේ මේ බූරුපිටිය කොළඹ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසය විසින් වටලනු ලැබ එහි සූදුකෙළිමින් සිටි පුද්ගලයෝ 80ක් අත්අඩංගුවට ගන්නා ලදහ. ඒ සමගම කළමනාකරු සහ තවත් සේවකයෝ තිදෙනෙක්ද අත්අඩංගුවට පත්වූහ. ඔවුන් මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කැසිනෝ පනත යටතේය. එහෙත් කැසිනෝ පනත යටතේ මෙවැනි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය පැහැදිලි කළ විට ඔවුන්ට සූදු පනත යටතේ නඩු පවරන ලදි. තමන් සූදු කෙළි බවට 80 දෙනෙකු වරද පිළිගත් අතර සූදු පනත යටතේ රුපියල් 100ක බැගින් දඩයක් ඔවුන් එකිනෙකාට නියම කරන ලදි. සූදුව පවත්වාගෙන ගියේයැ’යි චෝදනා ලද කළමනාකරු සහ තිදෙනෙකු තමන් නිවැරදිකරුවන්යැ’යි කී අතර ඔවුන්ට විරුද්ධ නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය නියම කළේය. එහෙත් මේ නොවැම්බර් 20වැනිදා නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ඒ හතරදෙනාද වරද පිළිගත්හ. ඔවුන්ට රුපියල් පනස් දහසක් බැගින් ලක්‍ෂ දෙකක දඩ නියම විණි. සූදුවෙහි යෙදුණු පිරිස තමන් වරදක් කළ බව පිළිගනිද්දී, එම වරද පිළිගැනීමම සූදු පිටිය පවත්වාගෙන ගිය අයට එරෙහිව ප‍්‍රබල සාක්‍ෂියක් වන විට, තවදුරටත් වරද පිළිගැනීමකින් තොරව සිටීම නිරර්ථක බව ඔවුන් සිව්දෙනාට සිතෙන්නට ඇත. සලාකා රෙජිනෝ ක්ලබ් බූරුපිටිය පසුගිය නොවැම්බර් 4වැනිදා රාත‍්‍රියේ නැවත සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් වටලන ලදි. ඒ, නැවතත් මෙහි සූදුකෙළිය පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත සිවිල් ඇඳුමැ’ති නිලධාරීන් යොදවා මූලික තොරතුරු ලබාගැනීමෙන් පසුය. ඒ සඳහා අවශ්‍ය සෝදිසි වරෙන්තුව, නඩු අංක බී/12452/13 යටතේ එම කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු විසින් 4වැනිදා සවස මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබිණි. එම වැටලීමේදී එහි සූදු කෙළිමින් සිටි පුද්ගලයෝ 42ක්ද, කළමනාකරු හා සේවකයෝ දෙදෙනෙක්ද අත්අඩංගුවට ගන්නා ලදහ. එහි තිබී අත්අඩංගුවට ගන්නා ලද සූදු කෙළිමින් තිබූ මුදල රුපියල් 1,15,450කි. සංවිධානාත්මක හා දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුවෝ කොම්පඤ්ඤ වීදිය පොලිසියට එදිනම භාරදෙන ලද අතර පොලිස් ඇප මත මුදාහරින ලදහ. පසුදා (5වැනිදා) මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ ඔවුන් හතළිස් දෙදෙනා වරද පිළිගත් හෙයින් රුපියල් 100 බැගින් රුපියල් 4200ක දඩ නියම කරන ලදි. කළමනාකරු ඇතුළු තිදෙනාට රුපියල් 50,000 බැගින් දඩ නියම විය. අත්අඩංගුවට ගැනුණු මුදල රාජසන්තක කරන ලද්දේය.

ඔක්කොම මාරු

පසුවදා, නොවැම්බර් 6වැනිදා වන විට වහාම ක‍්‍රියාත්මකවන පරිදි එම කොට්ඨාසයේ සියලූම පොලිස් නිලධාරීන්ටද එකම නිලධාරිනියටද කාර්යක්‍ෂම ස්ථානමාරු ලැබිණි. මාරුවක් නොලැබ ඉතිරි වූයේ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් මහතා පමණෙකි. මාරුකරන ලද පොලිස් නිලධාරීන්ට ලැබුණු සේවා ස්ථාන අතර ඇල්පිටිය, කන්තලේ, හලාවත, රත්නපුර, පුත්තලම, මහනුවර, මාතලේ, වවුනියා, බණ්ඩාරවෙල, නුවරඑළිය, මන්නාරම, අම්පාර, මඩකළපුව වැනි රටේ හතරදිග්භාගයේම විසිරුණු පොලිස් ස්ථාන විය. කොට්ඨාසයේ ඕඅයිසී ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක කේ ඕපී අබේරත්නගේ මාරුව පසුව අවලංගු කැරුණු අතර, ඒ කොට්ඨාසයේ ඇති බඩු බාහිරාදිය පිළිබඳ වගකීමත් ඒවා නිසි පරිදි භාරදීමත් සඳහාය.

වූ දේ පැහැදිලිය. පොලිස් නිලධාරීහු කණ්ඩායමක් බූරුපිටියක් වටලති. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළාට පසුදා ඒ සියලූම දෙනාට සීසීකඩ වන සේ ස්ථාන මාරු ලැබේ. ලංකාවේ පොලිසිය ගැන දන්නා සාධාරණ මනුෂ්‍යයකුට සිතන්නට වන්නේ බූරුපිටිය වැටලූ නිසා පොලිස් නිලධාරීන් මාරුකළ බවයි. ඇත්ත ද එයයි. අන් කිසිවක් නොවේ.

හොරාගේ ප‍්‍රකාශය

බූරුපිටිය ඇල්ලූ නිසා පොලිසියේ 23ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර ඇති බව රටම දැනගත් විට, ඒ ගැන කතාකරන්නට පටන් ගත්විට, කරෙන් දැනෙන පුහුල් හොරා කලබලයට පත්විය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ වහාම නිකුත් කළ නිවේදනයකින් කීවේ, බූරුපිටිය වැටලීමත්, මේ ස්ථානමාරු රැුල්ලත් අතර කිසිම සම්බන්ධයක් නැති බවය.

‘පොලිස් මූලස්ථානයට අනුයුක්ත කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය 2010.09.05දී පිහිටුවා ඇත. මෙම ඒකකයට අනුයුක්තව සිටි කොස්තාපල්වරුන් දෙදෙනකු 2013 සැප්තැම්බර් 9වැනි දින පිළියන්දල මඩපාත ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂයක් කොල්ලකෑම ගැන අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලදි. මෙම සිද්ධියෙන් පසු අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පති අයිඑම් කරුණාරත්න විසින් පොලිස්පති වෙත 2013.10.24 දින වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාව අනුව වසරකට වැඩි කාලයක් කොට්ඨාසයට අනුයුක්තව සිටි සියලූ නිලධාරීන් මාරුකරන ලෙසත් නව නිලධාරීන් අනුයුක්ත කරන ලෙසත් නියෝග කර ඇත.

තවද මෙම කොට්ඨාසයේ නිලධාරීන් විසින් පුරහල ප‍්‍රදේශයේ සූදු ක‍්‍රීඩා ස්ථානයක් වටලන ලද අතර සැකකරුවන් 42ක් අත්අඩංගුවට ගන්නා ලදි. එම වැටලීම සඳහා මෙම මාරුවීම් ලද නිලධාරීන්ද සහභාගිවී ඇත. මෙම නිලධාරීන් මාරුකරන ලද්දේ 2013 ඔක්තෝබර් 24වැනි දින නි. පොලිස්පති (අපරාධ* කළ නිර්දේශයක් මත වන අතර සූදුපොළ වටලන්නේ 2013 නොවැම්බර් 03 දිනය. මේ මාරුවීම් හා සූදුපොළ වැටලීම අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බව අවධාරණය කරමි.’

නිවේදනයෙන් උත්සාහ දරා ඇත්තේ මාරුකිරීම් නියම කළ පසු වැටලීම සිදුවී ඇති නිසා වැටලීම හා මාරුකිරීම් අතර සම්බන්ධයක් නැති බව කියන්නටය. එහෙත්, නිවේදනයේ මාරුකිරීම සඳහා නියම කළ දිනයක් සඳහන් නොවේ. ඇත්තේ මාරුකිරීම සඳහා ‘නිර්දේශ’ පොලිස්පතිවරයාට කළ දිනයක් පමණෙකි. 24 වැනි දින කළ ඒ ‘නිර්දේශයට’ අනුව, ‘මාරුකිරීමේ නියමය’ කරන ලද්දේ කවදාද යන්න නිවේදනයේ සඳහන් නොකිරීම බලවත් අඩුපාඩුවකි. අප සලකා බැලිය යුත්තේ නිර්දේශ කළ දිනය නොව, මාරු නියම කළ දිනය හා වැටලීමේ දිනය අතර සම්බන්ධයයි.

දෙදෙනකුගේ කොල්ලකෑම

මාධ්‍ය ප‍්‍රකාශක තවදුරටත් කියන්නේ කොට්ඨාසයේ සියලූම දෙනාට මාරුවීම් නිර්දේශ කරන ලද්දේ එහි නිලධාරීන් දෙදෙනකු විසින් කළ ‘කොල්ලකෑමේ සිද්ධිය’ නිසා බවය. මේ දෙදෙනකුගේ වරදට සියල්ලන්ටම දඬුවම් දීමේ ක‍්‍රමයකි. ඊට සම්බන්ධ කතාවද සිත්ගන්නාසුලූය. 2013 ජනවාරි 22වැනිදා, කොළඹ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ සේවයේ සිටි නිලධාරීන් හත් දෙනෙක්, (පොප රොහාන් මහේෂ්, පොසැ 28299 නිමල්, පොසැ 11857 ජයවීර, පොකො 32894 කමලසිරි, පොකො 6869 ලියනගේ, පොකො 7069 ජයසිංහ හා පොකො 72852 සමීර) නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඞී* මාරුකර යවන ලදහ. ඒ පොලිසියට විරුද්ධව මහජනයාගෙන් පොලිස්පතිවරයාටත්, නියෝජ්‍ය පොලිස්පති(අපරාධ*ටත් ලැබෙන පෙත්සම් විභාගකිරීම සඳහා පිහිටුවන්නට නියමිත, ඒ උසස්ම නිලධාරීන් දෙදෙනාගේ අණ යටතේ ඍජුව පවත්වාගෙන යන නව ඒකකයක සේවය සඳහාය. පොප රොහාන් මහේෂ් එම ඒකකයේ ඕඅයිසී ලෙස පත්කර වැඩ අරඹන ලදි. සැප්තැම්බර් මස 9වැනිදා පිළියන්දල ව්‍යාපාරිකයකුගෙන් මුදල් කොල්ලකා අත්අඩංගුවට පත්වන්නේ ඔවුන් අතුරෙන් පොකො 7069 ජයසිංහ හා පොකො 6869 ලියනගේ යන දෙදෙනාය. මේ දෙදෙනා කොල්ලකෑම සිදුකරන්නේ ඍජුව පොලිස්පතිත්, නි. පොලිස්පති(අපරාධ) ත් යටතේ නව ඒකකයේ වැඩකරමින් සිටියදීය. ඒ මිස සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ රාජකාරි කරන කාලයේ නොවේ. ඉතින්, ඔවුන් අපරාධයක් කළ නිසා මාරුකරනවා නම් කළ යුත්තේ පොලිස්පතිත්, නි.පොලිස්පතිත් යටතේ තිබූ එම නව ඒකකයයි. එසේ නැතිව සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් නොවේ.

කෙසේ වෙතත් කොල්ලකෑමේ සිදුවීමෙන් පසු එම නව ඒකකය විසුරුවා හරින ලදි. එහි සිටි නිමල්, ජයවීර, කමලසිරි මෙන්ම කොල්ලකෑමට සැකකාර ලියනගේ හා සැකකාර ජයසිංහද නැවත වාරයක් අනුයුක්ත කරන ලද්දේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයටමය. ඒ 2013 ඔක්තෝබර් 1වැනිදා නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) අයිඑම් කරුණාරත්න විසිනි. (කොල්ලකෑම සිදුවන්නේ සැප්තැම්බර් 9වැනිදාය.) එපමණක් නොවේ. පුදුමයකට මෙන් මේ ‘වරදකාර’ ඒකකය භාර නිලධාරීව සිටි පො.ප රොහාන් මහේෂ්ට 2013 ඔක්තෝබර් 3වැනිදා, පොලිස්පතිවරයා විසින් කරන ලද නියෝගයක් යටතේ මනිපායි පොලිසියේ ස්ථානාධිපති ලෙස උසස්වීමක්ද ලැබෙයි.

මාධ්‍ය ප‍්‍රකාශකගේ බොරු

මාධ්‍ය ප‍්‍රකාශකගේ හාස්‍යජනක නිවේදනය අනුව, හරි නම් කොල්ලකෑමේ වරද නිසා මාරුවීම් කළ යුතුයැ’යි නිර්දේශ කළ යුතුව තිබුණේ සංවිධානාත්මක හා දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් නොව ඉහත කී විශේෂ ඒකකයේ නිලධාරීන්ය. කොහෙද යන්නේ මල්ලේ පොල්ය. එබැවින්, කොල්ලකෑම නිසා සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට මාරුවීම් දෙන්නට නිර්දේශ කළායැ’යි කීමත්, සූදුපොළ වැටලූවාට පසුදා ඒ මාරු ලහිලහියේ ලැබීමත් කිසිම තර්කානුකූල සම්බන්ධයක් නැති විහිළුකාර අසත්‍යයන් බව පැහැදිලිව පෙනෙයි. ඒ විහිළුවට යටින් ඇත්තේ ‘මේ මාරුවීම් කළේ සූදුපොළ වැටලූ නිසාමය’ යන නිරුවත් භයානක ඇත්තයි.

නිවේදනයේ ඇති අනෙක් බොරුව නම් වසරකට වැඩි කාලයක් සේවය කළ නිලධාරීන් මාරුකරන්නට නියම වූ බව කීමයි. එහෙත් මාරුකිරීමට හසුවූ පොකො 3907 කරුණාරත්න මෙහි සේවය කර ඇත්තේ මාස 10කි. පොකො 16522 නන්දන ප‍්‍රසාද්ගේ සේවා කාලය මාස 6කි. උපොප එච්එම් සිරිවර්ධනගේ සේවා කාලය මාස 11කි. අවුරුද්දට වැඩි අය ගොඩට ඔවුහු හසුවූවෝ කෙසේද?

මේ මාරුවීම් කළේ සූදුපොළ වැටලූ නිසාම බව පැහැදිලිය. කෝටියක් වටින ප‍්‍රශ්නය නම්, සූදුපිටි වැටලූ නිලධාරීන් එක රැුයින් සීසීකඩ විසුරුවන්නේ කාගේ බලයක් නිසාද යන්නයි. ඒ ප‍්‍රශ්නයට එක එල්ලේ අදාළ නැති නමුත් පවර දඹදිව බ‍්‍රහ්මදත්ත නම් රජකෙනෙකුන් රාජ්‍ය විචාරණ සමයෙහි වූ කතන්දරයක් නිදාන කතාව හැටියට මෙතැන් සිට දක්වමු.

නිදාන කතාව

බ‍්‍රහ්මදත්ත නම් රජකෙනකුන් විසාලා මහනුවර රාජ්‍ය විචාරණ සමයෙහි, ඒ රාජ්‍යයේ ජනාකීර්ණ පුරහලෙහි මහා ව්‍යාපාරයක මෙන්ම සල්පිල් සමූහයෙක අධිපතිවැ වණික් කුලයෙහි සිටුදුවක් විසුවාය. නමින් සුධර්මා නම් වූ ඕ මනා රූප සම්පත්තියෙන් අනූනයැ. ජනකාන්තයැ. කලාකාමීයැ. ගනු-දෙනු කැමැත්තීයැ. කලාකෘති නිෂ්පාදනයෙහි, අනුග‍්‍රහ දැක්වීමෙහි ලා අප‍්‍රමාදයැ. ප‍්‍රභූ ප‍්‍රියයැ. සිය ස්වාමිදරුවාණන් කාලක‍්‍රියා කළෙන් අන්‍ය කෙළෙඹි පුත‍්‍රයකු හා පාශයෙහි බැඳිණ. ඒ කෙළෙඹි පුත‍්‍ර තෙමේ විසාලා මහනුවර නගරාරක්‍ෂක සිව්බල සේනාවේ මාධ්‍ය ප‍්‍රකාශක වන්නේයැ. කොමිස් ගැසීම් යනාදී පෙර වැරැුදි ඇත්තේයැ. දූෂිතයැ. නාමයෙන්් අළුගල්ල වන හේ තෙමේ යථොක්ත සිටුදියණිය සමග මිත‍්‍රවැ ප‍්‍රසිද්ධියේ වසන්නට වන්නේයැ. විසාලා නුවරැු කලාකාමී ජනීජනයාට මේ සහසම්න්ධතාව වූකලි අතැඹුලක් සේ දන්නා දෙයක්මයැ.

පෙර වැනූ සුධර්මා නම් සිටුදියණියෝ නගරාශ‍්‍රිතව වසන දාදුධූර්ත හුදී ජනයාට සංග‍්‍රහකරනු වස් තම ප‍්‍රාග්ධනය යෙදැවීමෙන් තම සල්පිල් අංගණයෙහිම දාදු කෙළිබිමක් පවත්වාගෙන යන්නීයැ. එක් දිනයෙකැ නගරාරක්‍ෂක නිලධරයෝ සමූහයෙක් මේ දාදුකෙළිබිම වටලා දාදුකෙළින්නන් නීති කෘත්‍යය පිණිස කුදලාගෙන යන්නෝයැ. හුදී ජනයාගේ සුඛවිහරණය උදෙසා තමා විසින් පවත්වන්නට යෙදුණ දාදු කෙළිබිම වැටැලීමෙන් කෝපයට පත්වූ සුධර්මාවෝ සිය පාශයෙහි බැඳුණු කෙළෙඹි පුත‍්‍රයාහට මේ අවනඩුව කියන්නීයැ. කෙළෙඹි පුත‍්‍රයා වනාහි රාජ රාජ මහාමාත්‍යාදීන් සමග නිරන්තර හැසිරීමෙන් ලද බලය ඇත්තේ එක් අණාඥාවකින් නගරාරක්‍ෂක නිලධරයෝ සීසීකඩ විසුරුවන්නාහ.

ravaya -
Read more
Sunday, November 24, 2013
මොනවද මේ අලූත් භාෂාව ( පට්ට කතාවක් )---  උපුල් ශාන්ත සන්නස්ගල

”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.

එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.
පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.
භාෂාවේ පදවලට එක් එක් කාලවලදී දෙන අර්ථ වෙනස් වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස සුඟක් යන්න පැරැණි භාෂාවේදී ඉතා ස්වල්පයක් යන්න හැඟවනු පිණිස භාවිත වූ වදනකි. එහෙත් අද ඇත්තේ මීට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ අර්ථයකි. අද භාවිත වන්නේ සුඟාක් නොව හුඟාක් යන වචනයයි. එයින් අදහස් වන්නේ ස්වල්පාර්ථය නොව බහුලාර්ථයයි.
මෙය භාෂාව පරිණාමය වීමයි. මළ භාෂාවක් නම් මෙසේ පරිණාමය වන්නේ නැත. භාෂාවක් යනු ප‍්‍රාණයක් සහිත දෙයකි. භාෂාවට පණ ඇති හෙයින් භාෂාවේ පදවල අරුත් කලින් කලට වෙනස් වේ.
එමෙන්ම භාෂාවක එක් එක් විෂයන්වලට අනන්‍ය වූ පාරිභාෂිත වචනද පවතී. පාරිභාෂිත වචන අදාළ වූයේ එකී විෂයට අදාළව පමණි. එහෙත් නූතන ලේඛකයන් මෙම වචන තමන්ට අවැසි පරිදි තම ලේඛනය සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. උදාහරණයක් ලෙස අවශෝෂණය කරගැනීම විද්‍යා විෂය ධාරාවට අනන්‍ය වූ පාරිභාෂිත වචනයකි. එහෙත් අද සාහිත්‍ය විචාරවලදී මෙම වචනය භාවිත කරනු දක්නට ලැබේ.
සංගායනාවක් යනු යතිවරයාණන් වහන්සේලාට පමණක් කළ හැක්කක්යැයි ඇතැම්හු සිතති. එහෙත් සංගායනාව යනු යහපත් ගායනාවක් යන අරුත් ඇති වචනයකි. යමෙක් පවසතොත් ව්‍යාකරණ සංගායනාවක් පිළිබඳව එතෙනදී සිදුවන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ  භාවිත කළ වදනක් සාහිත්‍යයට අදාළව භාවිත කිරීමකි.
පෙර කල දේහය යන්න භාවිත කළේ මෘත දේහය යන්න කරන සඳහනකදීය. එහෙත් අද කාව්‍ය විචාරයේදී ද දේහය යන වචනය පරිහරණය කරයි. කාව්‍ය ආකෘතිය යන්න වෙනුවට ඒ අරුතින්ම කාව්‍ය දේහය යන්න යොදා ගැනීම අද දක්නට ලැබෙන්නකි.
ආචීර්ණකල්පිත අදහස් දරන, නොඑසේ නම් වෙනස්වීම යන්න පිළිගැනීමට අකමැති භාෂාව විනාශ වේ යැයි චෝදනා කරන භාෂාව සංස්කෘතියක් ලෙස පිළිනොගන්නා භාෂාවේ වෙනස්වීමට විරුද්ධව අදහස් දක්වන අය මෙය භාෂාවේ ශුද්ධ බව නැති කර භාෂාව කාලකන්නි කිරීමක් ලෙස හැඳින්වුවද මෙය භාෂාව විනාශ කිරීමක් ලෙස අප නොපිළිගන්නේ ජීව භාෂාවකට මෙකී උරුමයන් සහ වෙනස්වීම් නිසඟයෙන්ම අනන්‍ය වන බැවිනි.
භාෂාවේ ආමන්ත‍්‍රණ නිපාත ලෙස හඳුන්වන නිපාත පද විශේෂයක් පවතී. ව්‍යාකරණ පතපොතේ ආමන්ත‍්‍රණය කිරීමේ නිපාත යටතේ ඇත්තේ එම්බා, එම්බල, බොල, තෙල, බොලේ, ඒයි,  ඕයි යන ආමන්ත‍්‍රණය. එහෙත් අද සමාජයේදී මේ එක් වචනයක්වත් පොදුවේ ආමන්ත‍්‍රණ සඳහා යොදාගත හැකිද යන ප‍්‍රශ්නය පවතී. පොතේ ඇති නිපාතය එය වුවත් සමාජයීය වෙනස අනුව භාවිත කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූවක් පවතී.
අව්‍ය පදයකදී ස්තී‍්‍රලිංගxපුරුෂලිංග යන භේදය නොපවතී. ඒක වචන බහු වචන යන භේදය නැති වේ. එමෙන්ම විභක්තිවලදී වර නගන්නට නොහැකි වේ. උදාහරණයක් ලෙස මෙන් යන නිපාතයට ස්ති‍්‍රලිංග පුරුෂලිංග භේදයක් නැත. වරනගන්නටත් නොහැක. ඒක වචන බහු වචන භේදයකුත් නැත.
අඩෝ යන වචනය ගතහොත් ව්‍යාකරණ පොතේ හැරෙන්නට නාට්‍යයේත්, චිත‍්‍රපටියේත්, පත්තරයේත්, පොලිස් වාර්තාවලත්, නවකතාවේත්, කෙටිකතාවේත් මේ වචනය නැත. ව්‍යාකරණ පොතේ තිබුණත් එම්බා, බොල, තෙළ, බොලේ යන ආමන්ත‍්‍රණ මේ එක් මාධ්‍යයක්වත් නැත. භාෂාවේ ජීවගුණය, භාෂාවේ වෙනස්වීම් ස්වභාවය මෙයයි.

අනාගතයේදී -”මචං” යන ආමන්ත‍්‍රණය නිපාතයක් වන බවට ඉඟි ලැබෙමින් පවතී. නිපාතයක් වීමට නම් වචන භේදයක් නැතිවිය යුතුය. මචං යන්නේ වචන භේදය අද වෙද්දී තුනීවෙමින් නැතිවෙමින් යමින් පවතී. මචං යන්නට තිබූ නිශ්චිත අර්ථය මස්සිනා යන්නයි. අද ගැහැනු ළමයින් ගැහැනු ළමයින්ටත් පිරිමි ළමයින් පිරිමි ළමයින්ටත් මේ කිසිදු භේදයකින් තොරව මචං යන්න භාවිත කරයි. නිශ්චිත අර්ථය හා ලිංග භේදය නැතිවී මචං යන්න ආමන්ත‍්‍රණ නිපාතයක් බවට අද පත්වී ඇත. ව්‍යාකරණ ඇදුරකු මචං යන්න  නිපාතයක් ලෙස හැඳින්නොවූවත් අනාගතයේදී එය එසේ වන බවට ඉඟි පවතී.
එදා ගම්වල පට්ට යන වචනය ඇතැම් අවස්ථාවල භාවිත කළේ ඉතාම නරක යන අර්ථය දෙන්නටය. පට්ට බැල්ලී, පට්ට වෙසඟන (එය භාවිත වූයේ වෙසඟන යන්නටම යෙදුන අකුරු තුනේ වචනයකිනි.) පට්ට බවට පත්වුණේ පර යන වචනයයි. පරබල්ලා, පට්ට බල්ලා බවට පත්වුණේය. මෙතනදී පර ලෙස ගැනුණේ නරක, අධම, නීච යන අරුතයි.
එහෙත් අද පට්ට යන්නෙන් අරුත් ගැනෙන්නේ සරලව කිවහොත් -”මාර” යන්න වන භාවිතයට සමාන අරුතකි. විශාල උත්කර්ෂයට පත්වන කි‍්‍රයාවක්, සංතෘප්තිදායක දෙයක්, විශ්මය ජනක දෙයක් යන්න සඳහන් කිරීමට ඒ සියලූ අර්ථ කැටිවූ වචනයක් ලෙස පට්ට යන්න භාවිත කරයි.
පට්ට ෆිල්ම් එකක් බැලූවා මචං යනුවෙන් පවසද්දී පට්ට යනු හද්ද පිටිසර වචනයකි. ෆිල්ම් යනු චිත‍්‍රපටිය යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයයි. නියම, ලස්සන, හොඳ, -මාර ගති” චිත‍්‍රපටියක් යන්න දැක්වීමට මෙතනදී මේ සියල්ලේ අරුත් කැටිකොට පට්ට යන්න යොදා ගනී.
පට්ට ආතල්, ගැනීම යනු සාදයකදී විනෝද ගමනකදී, නැතිනම් ලිංගික කි‍්‍රයාවකදී ආදරණීය ගනුදෙනුවකදී  උතුරා යන අප‍්‍රමාණ සතුටක් අත්විඳීමය. ඇතැම් විට පට්ට යන්න පමණක් අදින ස්වරයෙන් කියමින් නතර කරයි. එයින් අරුත් ගැනෙන්නේ ඉන් එහාට කීමට වදන් නැත යන්නය. සියලූ රස උපරිම අයුරින්?  සාරාංශ කොට පට්ට .... යනුවෙන් කියයි. පට්ට ආදරයක් තිබුණා... යනු ඇත්තටම තවත් විදියකින්ම කියනවා නම් බොක්කෙන්ම ආදරය කළා යන්න හැඟවීමට යොදන වචනයයි.
පට්ට කතාවක්, පට්ට සැපක්, පට්ට සීතලකි, පට්ට රහක්. මේ සියලූ කතාවලදී ඉවසා දරාගත නොහැකි ඒ ඒ හැටියට උපරිම රසපිරුණු යන්න හැඟවෙයි.
අද වාමාංශික මොඩලයේ සඟරාවල පට්ට යන්න ජනපි‍්‍රය වචනයකි. පට්ට පොලිටික්ස් යන්න නියම දේශපාලනය යන්න හඟවයි.
පට්ට කෑල්ලක් යනු ගැහැනු ළමයින් සඳහා භාවිත කරන්නකි. ඒ ගැහැනු ළමයාට පබාවතියගේ බඳු රූපයක් ඇති බව, සාලිය කුමරු අශෝකමාලා වර්ණනා කිරීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පියයුරු, කලවා, දෙතොල, දෑස්, කෙස් මේ සියල්ල එකින් එක වර්ණනා කිරීමේදී කළ වර්ණනාත්මක ඇගයුම්, ෙඡ්ද දහයකින් පමණ ලිවිය යුතු වර්ණනා වත්මන් තරුණයින් එක් වචනයකින් කියන්නට ගත් උත්සාහයක් ලෙස පට්ට යන වචනය යොදා ගනියි. පට්ට කෑල්ල කී විට ඒ සියලූ අරුත් එහි ගැබ්ව පවතී.
පට්ට වෙසඟන යැයි කීවේ නියම උපරිම, මචනයේ පරිසමාප්ත අරුතින්ම වෙසඟනකි යන තේරුම දනවන්නටය. භාෂාවේ යමක් පැහැදිලි කරමින් කියන්නට අසීරු විට පැහැදිලි කිරීමට වචන බොහෝ ගණනක් යෙදීමට වඩා එක් වචනයක් භාවිත කිරීම පහසුය. පට්ට යන්න එසේ යොදාගත හැකි වචනයකි. පට්ට යන්න යෙදු විට නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
පෙර යුගයේදී පැරැණි සාහිත්‍යයේදී පදයක් ගත්විට  ඊට අටුවා, ටීකා, ටිප්පනී ගැටපද, ලියාගෙන ඒමට සිදුවූයේ ඒ පදය තේරුම් කිරීම සඳහාය. ශිෂ්ටාචාරයේ දැනට ඇති විශිෂ්ටතම සන්නිවේදන සොයාගැනීම වූ කලී භාෂාවයි.
භාෂාව ඉතා දියුණු තත්ත්වයකට පැමිණ නොතිබූ යුගයේදී නිරුක්ති පැහැදිලි කරන්නට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. පට්ට වැනි වචනවලින් ඒ කිසිදු මහන්සියකින් තොරව තේරුම මේ යැයි හැඟවිය හැකිය.
අද පරම්පරාව එකඟයි යන්න හැඟවීමට -”අනිවාර්යෙන්ම” යන්න යොදාගනී. එය අද ප‍්‍රශ්නවලට ඔව්, එහෙමයි, එකඟයි මේ සියල්ල හැඟවීමට යෙදිය හැකි ස්ථීරසාර යෙදුමක් බවට පත්ව ඇත. ස්ථීරවම, ඒකාන්තයෙන්ම, සත්තකින්ම, අනිවාර්යයෙන්ම යනුවෙන් ගම්වල භාවිත කළේ ද අද පරම්පරාව අනිවාරතයෙන්ම යන්න භාවිත කරගත්තා වූ අරුතමය. එය යමක් පිළිබඳව සපථ කිරීම සඳහා එක් වචනයකින් දෙන පිළිතුරු දීමකි.
පට්ට යන වචනය භාෂාව තුළට ගෙනාවේ කවුරුන් වුවත් සිදුවුණේ එසේ වචනය ගෙනා විට එය පත්තුවීමකි. එසේ ලැව් ගින්නක් සේ වචන පත්තු කිරීම භාෂාවකදී කළ හැක්කකි.

ගැහැනු ළමයින් හැඳින්වීමට මාර කඳක් යනුවෙන් යොදා ගත්තේය. ඒ වචනය ”මාර කැත” හැඳින්වීමක් ලෙස අර්ථ විග‍්‍රහ කළ සුචරිතවාදීහු අප රටේ සිටියහ. බෝධිසත්වයන් වහන්සේ කුස ජාතකයේදී පබාවතිය හඳුන්වා ඇත්තේ ද කඳ යන නමිනි. ජාතක පොතේ ස්වර්ණ තාල ස්කන්ධයක් ලෙස පබාවතිය හඳුන්වා ඇත. ස්වර්ණ යනු රත්තරන්ය. තාල යනු තල්ය. ස්කන්ධ යනු කඳය. සරල සිංහලයෙන් ගත්තම පබාවතිය යනු රන් තල් කඳකි. වත්මන් පරපුර මාර කඳක් යනුවෙන් කළ ව්‍යවහාරය ඒ පැරැුණි ව්‍යවහාරයේම නව මුහුණුවරකි.
‘පිස්සු හැදෙන සඳ’ මීට කලකට පෙර ආ භාවිතයකි. මේක මහ පිස්සු හැදෙන කාලයක් යනුවෙන් එයින් අරුත් ගැන්වුණි. හොදි මදි, හොදි  ඕන් නෑ, දිරවගන්න ලේසියි, තව හොදි ටිකක් තිබුණා නම් යන්න අද ජනපි‍්‍රය තවත් යෙදුමකි. රසය මදි, තියන රසය හොඳටම ඇති, තව රස තිබුණොත් හොඳයි යන්න මින් අර්ථ ගැන්වේ.
මල පැන්නා යන්නද පසුගිය කාලයේ භාවිත වූ ජනපි‍්‍රය යෙදුමකි. කෝප ගැන්වූවා යන්න හැඟවීමට මෙය යෙදේ. අර්ශස් රෝගය සෑදුණු විට ගුද මාර්ගයේ බඩවැල එළියට පැමිණේ. එය මලක හැඩය ගනී. වේදනාව නිසා ඒ රෝග තත්ත්වය හැදුණු විට කේන්තිය එයි. කේන්තිය ආවා යන්න ඇඟවීමට මල පනිනවා යන්න යෙදුනි. ඒ අරුතින්ම තොට අර්ශස්ද යන්න ඇසීම පසුගිය කාලයේ ආ දෙයකි.
පෙර සඳහන් කළ සියලූ වචන අපේ ඉපැරැුණි ජනවහරත් සමඟ සබඳකමක් තිබූ වචන මිස එක්වරම ප‍්‍රාදුර්භූත වූ වචන නොවේ. මේ සියල්ල භාෂණයේ තිබූ ඒවා මිස ආකාස්මික ඒවා නොවේ. භාෂා මූලයකින් හැදෙන වචන මිස ඉබේ පහළ වෙන වචන නොවේ. පට්ට සිට එල, දක්වා කී නොකී සියලූ වචනවලට එකී සත්‍ය වලංගු වෙයි.

සටහන සජීවිකා සමරතුංග
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය
lankadeepa -
Read more
Saturday, November 23, 2013
ඉතිහාසයේ විනිශ්චය කරන්නෝ කවරහු ද?

දේශපාලනය සහ මාක්ස්වාදී දේශපාලනය අතර වෙනස කුමක් ද? දේශපාලනය නම් වචනය පිටුපස ඇති සාරය සොයා යන්නෙකුට දේශපාලනිකය නම් ශුද්ධ වචනයක් හමුවෙයි. මෙම සාරයෙහි බාහිර පැවැත්ම යනු අදහසක් මිස අන් යමක් නොවේ යන්න සහතිකවන තුරු ගවේෂකයෙකුට ගමන් කළ හැක. නමුත් මාක්ස්වාදී දේශපාලනය ඉතා සරලව වතුර වීදුරුවක් තරම් පැහැදිලිව නිර්වචනය කළ හැක. ආර්ථිකයට දේශපාලනයක් ඇත යනුවෙන් සිතන්නිය මාක්ස්වාදිනියෙකි. ආර්ථිකය යන ප්‍රපංචය අතහැරි විගස අපගේ දේශපාලන අදහස් පුළුල් යැයි අන්‍යයන් විසින් අවධාරණය කරයි. ඔවුහු අපට අත්පොළසන් දෙති.

පසුගිය දිනෙක සිරිකොත ඉදිරිපිට පැවති දෙවන බොදුබල සේනා උද්ඝොෂණයේ දී දයා ගමගේ සහ රවී කරුණානායක මහත්වරුන් භික්ෂුන්ගෙන් සමාව ඉල්ලා සිටි විට පොදු විපක්ෂයේ වාමවාදී උද්ඝොෂකයන් කළබල විය.

ලංකාවේ ජනාධිපති තනතුර මාක්ස්වාදී දේශපාලනයට අනුව නිර්වචනය කළ විට එම තනතුරට මෙලෙස නමක් දිය හැක. රාජ්‍යයේ පුර්චසින්ග්  නිළධාරියා. සරළව කිවහොත් රජය වෙනුවෙන් භාණ්ඩ සහ සේවා මිලට ගන්නා නිළධාරියා යනු ජනාධිපතිය. ලංකාවේ ඕනෑම ව්‍යාපාරිකයෙකු ව්‍යාපාර කරන්නේ නම් මෙම නිළධාරියාගේ අනුමැතිය අවශ්‍යය. දයා ගමගේ සහ රවී කරුණානායක යනු ව්‍යාපාරිකයන්ය. සජිත් ප්‍රේමදාස සහ තවත් බොහෝ දෙනා ව්‍යාපාරිකයන් ගෙන් යැපෙන්නන්ය.. ඒ නිසා මේ අයව දේශපාලනය නම් වචනයෙන් පමණක් වටහා ගන්නට කෙනෙකු උත්සහ කරන්නේ නම් එය මෝඩකමකි. බොදුබල සේනා සංවිධානය ඉතා හොදින්ම දන්නව තමන්ගෙන් රවී සහ දයා සමාව ගන්නේ බොරුවට කියල. මොකද මේ කොට්ඨාශ දෙකේම සැබෑ වැඩේ දේශපාලනය නෙවි ආර්ථිකය.මේ අය කරන්නේ දේශපානයෙන් සල්ලි හම්බ කරන එක. ඒ නිසා මේ අයගේ විවේචනය විය යුත්තේ දේශපාලනය නෙවි ආර්ථිකය. අපි මේ සමාජය තමයි වෙනස් කරන්න ඕන.

මේ සමාජය වෙනස් නොකරනකම් තට්ටු මාරු ක්‍රමයට අපිට ලැබෙන්නේ සුදු අදින දේශපාලනය ව්‍යාපාරයක් කර ගත් අය සහ සිවුරු පොරවගෙන දේශපාලන ව්‍යාපාරයෙන් ලාභ උපයන අය විතරයි. පවතින සාමජ ක්‍රමය පෙරළා දානවා කියන එක සිරිකොත ඉදිරිපිට උද්ඝොෂණයක් කරන එකට වඩා සංකීර්ණයි කියන එක නම් අපට පැහැදිලියි.
Read more
එංගලන්තයේදී 'තෝසේ' කඩයක්‌ දැමූ නිසා  කොටින්ගෙන් ගුටි කෑ ලංකාවේ ශිරන්ත

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ් පළාතේ කොවෙන්ටි්‍ර නමැති නගරයේ ෆොඅල්ස්‌හිල් නමැති අතුරු පාරේ අංක 322 දරන තැන සිංහල මනුස්‌සයකුට අයත් දෙමළ කඩයක්‌ තිබේ. එය කෑම කඩයකි. අප මෙය "දෙමළ කඩයක්‌" යන හුරුපුරුදු නමින් හඳුන්වන්නේ එහි විකුණන ලද කෑමවලින් වැඩි හරියක්‌ අපේ දෙමළ සහෝදරයන් අනුභව කරන අල තෝසේ, ගී තෝසේ, ප්ලේන් තෝසේ, මසාල තෝසේ යනාදිය වන නිසාය. කඩේ අයිතිකරු වන සිංහල මනුස්‌සයා හෙවත් ශිරන්ත ප්‍රනාන්දු මසාල තෝසයක්‌ විකුණන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1000 කට ය. මේ දිනවල  Food Promotion එකක්‌ හෙවත් මසාල තෝසේ ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක්‌ ශිරන්ත විසින් අරඹනු ලැබ ඇති බැවින් මසාල තෝසේ දෙකක්‌ම රුපියල් 1000 කට දෙනු ලැබේ. දකුණු ඉන්දියානු ආහාරවලට අමතරව Cඑහකදබ ධපැකඑ නමැති බිත්තර බැදුම රුපියල් 400 කට ද බැදපු ඉස්‌සන් පීරිසියක්‌ ලංකාවේ මුදලින් රුපියල් 1200 කට ද, බැදපු දැල්ලන් පීරිසියක්‌ රුපියල් 1300 කට ද මේ කඩේදී එවෙලේම පිළියෙළ කර දෙනු ලැබේ. සියල්ල මදිවාට ශිරන්ත කොත්තු රොටිත් සාදයි.  Special Koththu වක්‌ ඔහු විකුණන්නේ රුපියල් 1200 කට ය. පරාටාවක්‌ රුපියල් 160 කට ය. බිත්තර රොටියක්‌ රුපියල් හාරසියයකට ය. අප මේ සියල්ල රුපියල්වලින් කියන්නේ පාඨකයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. ශිරන්ත කෑම විකුණන්නේ රුපියල්වලින් නොව ස්‌ටර්ලිං පවුම්වලිනි. සාමාන්‍යයෙන් ස්‌ටර්ලිස්ං පවුමක්‌ රුපියල් 200 සේ සලකා මේ ගණන් ගලපා තිබේ. තවත් වැදගත් යමක්‌ කියමු.

 මේ කඩේ නම "යාල් කැෆේ" ය. වසර 25 ක්‌ පමණ නැවැතී තිබූ යාල්දේවි දුම්රිය පසුගියදා ආපසු උතුර බලා යන්නට පටන් ගත් හැටි ඔබට මතකද? ෆොඅල්ස්‌හිල් පාරේ යාල් කැෆේ එකෙහි කෑම ලාභ බවටත් රස බවටත් මතයක්‌ තිබෙන නිසා කොවෙන්ටි්‍ර නගරය තුළ සිටින සුද්දන් පමණක්‌ නොව සිංහලයන් හා දෙමළ ජාතිකයන් ද, "හලාල්" ආහාර සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ඉස්‌ලාමීයයෝ ද එහි එති. මේ නිසා ශිරන්ත ප්‍රනාන්දුගේ කෑමවල මිල සඳහන් මැනු කාඩ් පතෙහි හලාල් සහතිකයක්‌ ද විය. අපි ඉඳිආප්පයක මිල රුපියල් 2 ක ඉක්‌මවූ විට ආණ්‌ඩුවට හෙණ ඉල්ලමු. එහෙත් ශිරන්ත ප්‍රනාන්දුගේ යාල් කැෆේ එකෙහි ඉඳිආප්පයක්‌ රුපියල් හැටකි. ලන්ඩනයේ ජීවන වියදමට අනුව එය ඉතා අඩු මිලකි.

වසර ගණනාවකට පෙර එංගලන්තයේ පදිංචියට ගිය ශිරන්ත ප්‍රනාන්දු යාල් කැෆේ එක පටන් ගත්තේ අවුරුදු හතරකට පෙර ය. ආහාර පිසීමේ කලාව ඉතා හොඳින් ප්‍රගුණ කළ කෙනකු වූ ඔහු මෙරටින් ලන්ඩනයට ගෙන යන එකම ධනය ද එය ය. යාල් කැෆේ යනු දිගු කඩ පෙළක මැද කඩයයි. එහි දකුණු පස තිබුණේ දෙමළ මහතකුට අයත් Soma නමැති කුඩා සුපිරි වෙළෙඳසලය. වම්පසින් කුලී රථ සපයන සුද්දකුට අයත් ආයතනයක්‌ විය. සිය හෝටලය උදේ 9 ට විවෘත කරන ශිරන්ත රෑ 10 වනතුරු ආහාර වික්‌කේය. ඔහු කඩේ වහන විට දෙපැත්තේ කඩවල් දෙකේ සිටි සුද්දා සහ දෙමළ මහතා සිය ගෙවල්වල තද නිද්දේය.

බ්‍රිතාන්‍යය ලොව දෙවන තැනට විශාලතම දෙමළ ඩයස්‌පෝරාව සිටින රටය. ශිරන්ත යාල් කැෆේ විවෘත කර මාස තුනකට පමණ පසු දිනක්‌ ඔහු හමුවීමට ලංකාවේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ පැමිණියහ.

"යාල් කියන්නේ දෙමළ නමක්‌. ඇයි මේ වගේ නමකින් හෝටලයක්‌ කරන්නේ.?"

තරුණයන්ට හෝටලය තුළට කතා කළ ශිරන්ත ප්‍රනාන්දු ඔවුන්ගේ ප්‍රශ්නයට උත්තර දුන්නේය. "මම දකුණු ඉන්දියානු කෑම හදන්න හොඳටම දන්න කෙනෙක්‌. ඒ වගේම මම තෝසේ, ඉට්‌ලි වැනි කෑමවලට ආසයි. මේ පළාතෙ මම තරම් හොඳට දකුණු ඉන්දියානු කෑම හදල විකුණන හෝටල් නැහැ. මේ වගේ තැනක්‌ පටන් ගන්න කියල මෙහෙ ඉන්න දෙමළ යාළුවෝ කීපදෙනෙක්‌ම කිව්වා. ඒ විතරක්‌ නෙවෙයි. ඉන්දියන් කෑමවලට කැමති මෙහෙ ඉන්න සිංහලයොත් මගෙන් ඒ ඉල්ලීම කළා.

"ඒව හරියන්නේ නැහැ... " තරුණ පිරිස කීහ. "කැෆේ එක කරනවා නම් යාල් නම අයින් කරල දෙමළ නොවන නමක්‌ දාගන්න. එහෙම කරන්න බැරිනම් කඩේ වහන්න...."

"යාල් කියන්නේ කොවෙන්ටි්‍ර සිටි එකේ බ්‍රෑන්ඩඩ් හෝටලයක්‌. දැනට මම ජීවත් වන්නේ මේ කඩෙන් එන ආදායමෙන්. මේක වහන්නවත් නම වෙනස්‌ කරන්නවත් කීස්යටවත් බැහැ." ශිරන්ත ඒ කීවේ ඇත්තකි. "යාල්" නම ඔහු ඉතා මහන්සියෙන් ගොඩනගාගත් ධනයයි.

මේ අතර ලංකාවේදී ඇරඹෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමට චාල්ස්‌ කුමාරයා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තීන්දු කළ බව බ්‍රිතාන්‍ය පුරා පැතිර ගියේය. මෙය ලන්ඩනයේ කොටි තරුණයන් වියරු කළ අවස්‌ථාවකි. ඔවුහු මේ ගමන වැළැක්‌වීම සඳහා උද්ඝෝෂණ කරනු පිණිස පාරට බැස්‌සහ. එහෙත් කුමාරයා සහ අගමැති තම තීන්දුව වෙනස්‌ කළේ නැත.

12 වැනි ඉරිදා රාත්‍රි 9 ට පමණ ශිරන්ත ප්‍රනාන්දු යාල් හෝටලයේ කෑම සාදමින් සිටියේය. හෝටලය තුළ සිටි සුදු තරුණයන් කිහිපදෙනෙක්‌ කෑම ගනිමින් සිටියේය. මේ අතර ක්‍රිකට්‌ බැට්‌ පිති සහ යකඩ පොලු ගත් තරුණයන්අ 20 දෙනෙක්‌ යාල් හෝටලය වට කළහ. ඒ සමගම අනතුරු හඟවා කෑ ගැසූ ශිරන්ත ප්‍රනාන්දු සිය ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්‌ඩලය සමග හෝටලයේ පස්‌ස දොරින් පිටව පැන දිවූහ. ප්‍රහාරයෙන් එක්‌ තරුණයෙක්‌ තුවාල ලැබීය. ශිරන්ත ප්‍රනාන්දු පොලිසිස්යත් සමග ආපසු යාල් හෝටලයට එනවිට එහි සියලු වීදුරු ආවරණ කුඩේ කුඩු ය. මෙයට කලකට පෙර යාල් කඩේ වසන ලෙස තමන්ට තර්ජනය කළ දෙමළ තරුණයන් කිහිපදෙනකු ප්‍රචණ්‌ඩකරුවන් අතර සිටි බව ශිරන්ත පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් ය.

එංගලන්තයට දවල් වන විට අපට රාත්‍රිය එළැඹෙයි. මේ සිද්ධිය ආරංචි වූ දවසේ පටන් සෑම රැයකම අපි යාල් හෝටලයේ දුරකථනය වූ අංක 00442476666459 ට කතා කළෙමි. එහෙත් ඒ හැම විටම Network busy බව අපේ දුරකතනය අපට කියයි. ශිරන්ත ළඟ දැන් අපේ දුරකථන අංකය තිබේ. ඔහු මතු දිනෙක අපට කතා කරනු ඇත.

අනුර සොලමන්ස්‌
Read more
Friday, November 22, 2013
ග්ලැඩ්ස්ටන් 'වීරයෙක්' වීම කැමරන් 'පරයා' වීම

"මහින්ද රාජපක්‍ෂ කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. ඒ දවස්වල නිතරම මේ තරුණ විපක්‍ෂ මන්ත්‍රිවරයා මා හමු වෙනවා. ඔහුත් මමත් ඒ දිනවල මෙරට සිදු වූ අතුරුදන් වීම්, ඝාතන ගැන කතා කරනවා. මේ සම්බන්ධයෙන් ඔහුටත් මටත් ප්‍රේමදාස ආණ්ඩුව ගැන තිබුණේ පොදු මතයක්. ඔහු ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කරන්න ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ බොහොම ළඟින් වැඩ කළා..."
බී.බී.සී. මාධ්‍යයට මේ කතාව කිව්වේ වෙන කවුරුවත් නොවේ. ලංකාවේ මිනිස්සු අතර එකල ප්‍රකට සුදු මහත්තයෙක් වූ ලංකාවේ හිටපු බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ය. ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මේ කතාව බී.බී.සී.යට කිව්වේ 2008 ජූලි 22 වැනි දිනය. ඔහු ඒ කතාව කියන කොට මහින්ද මේ රටේ ජනාධිපති වී ප්‍රභාකරන්ව ඉවර කරන යුද්ධය දියත් කොට තිබිණි.

 ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ගේ මේ කතාව මතක් වන්නේ චෝගම් එකට ආපු බි්‍රතාන්‍ය අගමැති කැමරන් මහින්දගේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් ගැන කළ ප්‍රකාශයට ආණ්ඩුව ඇවිස්සිලා තියෙන තරම දකින කොටය.

"කැමරන් කොටි බළල් අතක්..."

"කැමරන් කතා කරන්නේ බි්‍රතාන්‍ය දමිළ ඩයස්පෝරා ඡන්දවලට..."

"කැමරන් වීදුරු ගෙවල්වල ඉඳල ගල් ගහනවා..."

මේ කැමරන්ගේ ප්‍රකාශවලට ආණ්ඩුව උඩ පැන පැන ගහන ගැහිල්ලය.

 මේ වගේම ප්‍රේමදාසගේ ආණ්ඩුව ග්ලැඩ්ස්ටන්ට ගැහුවේය. ගහලා රටින් පිටමං කළේය. ග්ලැඩ්ස්ටන් කරපු වරද 1991 පළාත් පාලන ඡන්දයේදී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වනවාද කියා නිරීක්‍ෂණය කරන්න දකුණේ මාතර ඡන්ද පොළකට යෑමය. ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ඡන්ද පොළට ගියේ ආණ්ඩුව වෙනස් කරන්න නොවේ. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන්න මැදිහත් විය යුතු යැයි බි්‍රතාන්‍ය තීරණය කළ නිසාය.

"එකල සාමාන්‍යයෙන් බි්‍රතාන්‍ය රාජ්‍ය දූත සේවයේ සම්ප්‍රදායක් තිබුණා. තානාපති සේවය තමන් ඉන්නා රටේ ආණ්ඩුව විවේචනය නොකරන සම්ප්‍රදායක් තිබුණා. මෙය බොහෝ කාලයක සිට රැක ගෙන ආ සම්ප්‍රදායක්. මට බි්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පැහැදිලි උපදෙස් ලැබුණා. මෙම සම්ප්‍රදාය කඩල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්‍ෂා කරන්න මැදිහත් වෙන්නය කියල. එතැනදී ප්‍රේමදාස ආණ්ඩුව මම ජේ.වී.පී. බළල් අතක් ලෙසට හංවඩු ගැසුවා.

මේ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් 2008දී තමන් ලංකාවේ ඉටු කළ කාර්ය භාරය විස්තර කළ ආකාරයය.

ඒ කාලයේ ග්ලැඩ්ස්ටන් මහින්ද රාජපක්‍ෂලාගේ ශ්‍රී ලනිපයට වීරයෙක් විය. මේ එවකට ශ්‍රී ලනිපයේ නොනිල නියෝජ්‍ය නායක අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී ග්ලැඩ්ස්ටන් වීරයෙක් කරමින් කළ කතාවය.





"ගරු කතානායකතුමනි මම තව කාරණා කිහිපයක් ගැන කතා කරන්න ඕනෑ. එකක් තමයි බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ව රටින් පිටමං කොට තිබෙනවා. මම ග්ලැඩ්ස්ටන් වෙනුවෙන් සමාව අයදිනවා නොවේ. මම ඔහු කළ වැඩේ හරිද, වැරැදිද, නීත්‍යනුකූලද කියන එක වාද කරන්න යන්නේ නැහැ. ඔබ ඔහු සම්බන්ධයෙන් ගත් අන්තවාදී ක්‍රියාමාර්ගයම ග්ලැඩ්ස්ටන් කරපු දෙය සාධාරණීකරණය කරල තියෙනවා. බි්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයෙක් රටින් පිටමං කරපු අන්තිම රාජ්‍ය නායකයා තමයි උගන්ඩාවේ ඉඩි අමීන්. අපි ඉඩි අමීන්ගේ පාරේ ගමන් කරල තිබෙනවා. ග්ලැඩ්ස්ටන් නොකළ යුතු දෙයක් කරල තිබෙනවා නම් ඔහුට එරෙහිව ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඔහු වෙනුවෙන් බි්‍රතාන්‍ය ඔබලාගෙන් සමාව ඉල්ලන්න සූදානම් වෙද්දීත් ඔබලාට ඔහුට දඬුවම් දීමට ලොකු වුවමනාවක් තිබුණා. ඒකට හේතුවක් තියෙනවා. ඔබලාගේ මානව හිමිකම් වාර්තාව ගැන සෘජුව කෙළින් කතා කරපු එකම තානාපතිවරයා ඔහුයි. ඒ වගේම ජාත්‍යන්තර රැස්වීම්වලදී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ලොව අවධානය යොමු කරපු රටක් තමයි බි්‍රතාන්‍ය. ඔබ හිතුවා එය පිටුපස ඉන්නේ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් කියල. ඔහු සම්බන්ධයෙන් මේ සභාවේදී අනවශ්‍ය පහත් චෝදනා නැඟුවා. ඔහුට මෙම සභාවට ඇවිත් උත්තර දෙන්න බැහැ. ඔහු මේ රජයේ සේවකයෙක් නොවේ. මම මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමැතියි. ග්ලැඩ්ස්ටන් දික්වැල්ලේ ඡන්ද පොළේදී කරපු පැමිණිල්ල ශ්‍රී ලනිපයට එරෙහිව කළා නම් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? ග්ලැඩ්ස්ටන් පැමිණිලි කළා නම් ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් ඡන්ද පොළේදී ඇඟිල්ලේ ගාපු තීන්ත මැකුවා කියා ඔබ මේ වගේම ඔහුව රටින් පිටමං කරනවාද? එහෙම වුණා නම් ඔබලා ඔහුගේ පිළිරුවක් කඹුරුපිටියේ උදාගමේදී හදනවා නියතයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බි්‍රතාන්‍යයේ අධිරාජ්‍යවාදය සහ නව යටත් විජිතවාදය ගැන කතාවක් කරල තිබුණා. තම පුතාව ලන්ඩනයේ මිල්හිල් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි ඉගෙන ගන්න යවපු අයටම දැන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී රටක් බව වැටහිලා තියෙනවා. තමන්ගේ පුතාලව බි්‍රතාන්‍යයට යවලා උගන්වද්දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලෙස පෙනුණේ නැහැ. එතකොට බි්‍රතාන්‍ය හරි හොඳයි. ඔබලාට තරහක් ඇති වුණාම තරහ පිරිමහන්න පහත් තත්ත්වයේ අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයාට එරෙහිව අරන් තියෙනවා. මා ඇතුළු ශ්‍රී ලනිපය ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ව පිටමං කිරීමට ගත් තීරණය හෙළා දකින බව අවසාන වශයෙන් කියන්න කැමැතියි..."





අනුර බණ්ඩාරනායක

පාර්ලිමේන්තු හැන්සාර්ඩ්

20-06-1991





අනුර මෙසේ කියද්දී මහින්ද රාජපක්‍ෂලා විපක්‍ෂයේ සිට අත්පොළසන් දුන්හ. මහින්දගේ අතිජාත මිත්‍ර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ග්ලැඩ්ස්ටන් වෙනුවෙන් කතා කළේ මෙසේය.





ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා





"බි්‍රතාන්‍ය මහ කොමසාරිස්තුමා එක ස්ථානයකට ගොස් කියා තිබෙනවා, එතැන හොර ඡන්ද දීමේ ව්‍යාපාරයක් යනවාය කියා. ඒකට මොකක්ද කළේ? ඒක ඇත්තද නැද්ද කියා සොයා බැලුවේ නැහැ. මේගොල්ලන් සොයා බලන්නේ ඔහුට මේක කරන්න අයිතියක් තිබෙනවාද නැද්ද යන්න ගැනයි. (බාධා කිරීම්) මෙහෙම පැමිණිලි කරන්න අයිතියක් තිබෙනවාද නැද්ද කියායි සොයා බලන්නේ. තමුන්නාන්සේලා කරන්න ඕනෑ ඒක නෙවෙයි. ඒ පැමිණිල්ල ඇත්තද නැත්තද කියා සොයා බලන්න ඕනෑ. ඇයි මේ ලැජ්ජා නැති වැඩ කරන්නේ. තමුන්නාන්සේලා ඔහොම තමයි. (බාධා කිරීම්)





ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වාගේ පැමිණිල්ලක් කළාය කියා, ඒ මහ කොමසාරිස්තුමා නුවරඑළියට ගිය වෙලාවේ එතුමාගේ කාර් එකේ ටයර් කපා දැම්මා. මම අහනවා මේ ආණ්ඩුවෙන්, මේ ආණ්ඩුව නැවතත් ජේ.ආර්. යුගයට යන්න යනවාද කියා. ආණ්ඩුවට විරුද්ධව තීන්දුවක් දුන්නාය කියා නඩුකාරවරුන්ගේ ගෙවල්වලට ගල් ගැස්සුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුවයි. ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවත් ඒක කරන්න යනවාද? (බාධා කිරීම්) පැමිණිල්ලක් කළාම, පැමිණිලිකාරයා විත්තිකාරයා කර විත්තිකාරයා පැමිණිලිකාරයා කරන එකද ප්‍රේමදාස ආණ්ඩුවේ වැඩපිළිවෙළ? ඒක අපි අහනවා. එහෙම නම් නැවත වාරයක් පසුගිය කාලයේ සිදුවූ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වාගේ දේවල් ඇති වෙන්න ඉඩ තියන්න එපා. සාධාරණයක් කෙරෙන්නට ඕනෑ. (බාධා කිරීම්) හොර ඡන්ද විශාල සංඛ්‍යාවක් වැටී තිබෙනවා" (බාධා කිරීම්)





ග්ලැඩ්ස්ටන්ව පිටමං කිරීමට ගත් තීරණය උපහාසයට ලක් කරමින් ඇත්ත පත්‍රය ලිව්වේ මෙහෙමය.





ග්ලැඩ්ස්ටන්





පළාත් පාලන සභා ඡන්දයේදී එකම ලොකුම වැරැද්ද කළේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාය. ඒ පිළිබඳ චෝදනා පත්‍ර හා සමාන පුවත් පළ වීම ඡන්ද දිනයට පසු දිනය වූ 12 වැනිදා "සිළුමිණ", "සන්ඩේ ඔබ්සවර්" යන රාජ්‍ය පත්තරවලින් ආරම්භ විය. ඒ පත්තර දෙකේම මෙය පළ වූයේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව වූ ප්‍රධාන පුවතේ සිරස්තලයටත් ඉහළිනි. "සන්ඩේ ඔබ්සවර්" පත්තරයේ, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් සිරිසේන කුරේ මහතාගේ හා ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාගේ ලොකු පින්තූරත් සමඟය.
ලොකුම එකම ඒ ඡන්ද වරද වූකලි හොර ඡන්ද දැමීමක හෝඩුවාවක් බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාගේ ඇසටත් කනටත් අසු වී ඒ හෝඩුවාව දික්වැල්ල පොලිසියට දැනුම් දීමය. පොලිස් පොතේ එය සටහන් වුණු ආකාරය 13 වැනිදා රාජ්‍ය පත්තරවල පළ විය. "දුෂ්ට චේතනාවෙන්" කළ පැමිණිල්ලක් ලෙසට එජාප මහ ලේකම් සිරිසේන කුරේ මහතා හඳුන්වන ඒ මහා සාපරාධී පැමිණිල්ලේ සඳහන් හැටියට පැමිණිල්ල කළ ග්ලැඩ්ස්ටන් මහතාට දික්වැල්ලේ අංක 19 දරන ඡන්ද පොළ ළඟදී අපූරු දෙයක් දකින්නට ලැබී ඇත. එනම් එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ආධාරකරුවන් ඡන්ද පොළ ළඟ වතුර රැස්කිරීමය. එයට යොමු වුණු අවධානය නිසා ග්ලැඩ්ස්ටන් මහතා ඡන්ද පොළ වෙතට ගියේය. ඡන්ද පොළෙන් පිටත සෙනඟ රැස්වී සිටින බවත් එජාප වෑන් රියක් එහි නවත්වා ඇති බවත් ඔහුට පෙනිණි. වෑන් රියේ අංකය 60 ශ්‍රී 1325ය. එතැන කෙරෙන්නේ නැවැත නැවැත ඡන්ද දැමීමට යෑම සඳහා ඇඟිලිවල කලින් ඡන්දය දීමේදී ගෑ සායම යැවීම බව ඔහුට අසන්නට ලැබිණි.
මාතර දිස්ත්‍රික්කයට අයත් ඡන්ද පොළක් සම්බන්ධ කොට ගෙන ග්ලැඩ්ස්ටන් මහතා මේ පැමිණිල්ල කළේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රිවරයකු හා මේ ඡන්දයේ දී මාතර දිස්ත්‍රික්කයේ එජාප සංවිධායකයා වූ එච්.ආර්. පියසිරි මහතාගෙන් පරණ තරහකට පළිගැනීමට බව එජාප මහ ලේකම් සිරිසේන කුරේ මහතාත් පියසිරි මහතාත් තදින්ම කියා සිටීම අනුව බලන විට පෙනෙන්නේ අංක 19 දරන ඒ ඡන්ද පොළ ළඟ මුළු සිද්ධියම ග්ලැඩ්ස්ටන් මහතාගේ දුෂ්ට කුමන්ත්‍රණයක් ලෙසටය. 60 ශ්‍රී 1325 වෑන් රිය එතැන නතර කර තිබීම, වතුර ගෙනැවිත් රැස්කිරීම ආදී සියල්ලට ග්ලැඩ්ස්ටන් මහතාගේ යටි කූට්ටුවක් තිබෙන්නට පුළුවන. තරයේ සොයා බැලිය යුතුය.
මේ රටේ සංවර්ධන කටයුතුවලට ද ඉත සිතින් උදවු කරන සම්භාවනීයකු හැටියට රාජ්‍ය උත්සවවලට ද සංවර්ධන කාර්යයන් පිළිබඳ අවස්ථාවලට ගෙන්වා රූපවාහිනියෙන් රටට බොහෝ වර ප්‍රදර්ශනය කෙරුණු කෙනකුත් වී බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා පොලිසියට එවැනි හෝඩුවාවක් දැනුම්දීම ඉතා වැරැදිය. අකෘතඥකමකි."

 රටේ මානව හිමිකම් වෙනුවෙන් කතා කළ ග්ලැඩ්ස්ටන්ව වීරයෙක් කර ගත්ත මහින්ද ද ඇතුළු ශ්‍රී ලනිපයට අද මෙරට මානව හිමිකම් ගැන කතා කරන කැමරන් පේන්නේ පරයෙක් ගානටය.

ප්‍රේමදාස ආණ්ඩුව ග්ලැඩ්ස්ටන්ව පිටමං කළේ 1991 මැයි මාසයේය. 1991 සැප්තැම්බරයේ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රේමදාසව පිටමං කරන්න දෝෂාභියෝගයක් ගෙන ආහ. මහින්දගේ ආණ්ඩුව කැමරන්ලාට පුස් පාට් දමන්න ගියොත් මහින්දගේ පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය අහිමි කොට ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කරන්න කැමරන්ලාට ඇති හැකියාව අවතක්සේරු කළ නොහැකිය.

 කැමරන්ලා පරයන් නම් පරයන්ව ගෙන්වා ගෙන මහජන මුදල් වියදම් කරලා කිරි පෙව්වේ මහජනතාව නොවේ. තව ටික දවසක් ගිහින් චෝගම් කියන්නේ මොකක්දැයි ගමේ මිනිහෙක්ගෙන් ඇහුවොත් "අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන කනවෝ කනවෝ" කියන එකට යැයි කියා උත්තරය ලැබෙනු ඇත.

 උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Thursday, November 21, 2013
පොලිසිය කිච කිරීමට එරෙහිව..

අදට සාපේක්‍ෂව රටේ එතරම් අපරාධ සිදු නොවූ කාලයක්‌ තිබුණේය. මනුෂ්‍ය ඝාතනයක්‌ පිළිබඳව මහත්සේ කම්පා වූ සහ දින ගණන්, සති ගණන්, මාස ගණන් ඒ පිළිබඳවම ප්‍රවෘත්ති වාර්තා පළ වූ ඒ කාලයේ එම අපරාධයක්‌ නැවත සිදු නොවන්නට පෙරට පැමිණි සමාජ සංවාදයක්‌ද වූයේය.

එම සමාජ සංවාදය තුළ අපරාධකරුවා කිසිදු විටෙක වීරයකු වශයෙන් නොසැලකුණු අතර ඔහුට

රැකවරණය සැපයීමේදී දේශපාලනඥයකු වුවත් දෙවතාවක්‌ නොව විසිහතර වතාවක්‌වත් කල්පනා කළේය.

ඉන්පසු එළඹියේ නොකඩවා අපරාධ සිදුවන සහ මිනිසුන් ඊට එරෙහිව කිසිවක්‌ම කළ නොහැකිව තම හිත හදාගෙන අපරාධ සමඟ ජීවත්වන කාලය ය. අපරාධකරුවන් ජැන්ඩියට අඳින පළඳින සහ ඉතාම සුඛෝපභෝගී වාහනවල පිටුපස අසුනේ එරී ගමන්ගත් මේ කාලයේ ඇතැම් පොලිස්‌ නිලධාරියකුගේ පවා සිහිනය වූයේ තමන් ගත කරන ජීවිතයෙන් මාරුවී "නමක්‌ ඇති" අපරාධකරුවකු බවට පත්වන්නේ කවදාද යන්නය. අපරාධකරුවන් තරු වශයෙන් සැලකුණු මේ කාලයේ සිදු වූ තවත් මරුම වැඩක්‌ නම් පොලිස්‌ නිලධාරීන් විසින් අපරාධ තරුවලට සැලියුට්‌ ගැසීමය. අපරාධ තරුවලට තම කාර්යාලීය ආසනය පිළිගන්වා සමස්‌ත පොලිස්‌ සේවාවටම ජංගි ඇන්ද වූ ඕ. අයි. සී ලාද සිටියහ.

ඉන්පසු කවර දේශපාලන විපර්යාස නිසා හෝ කවර සමාජ විපර්යාස නිසා හෝ මේ තතු වෙනස්‌ කෙරිණ. එහිදී අපරාධකරුවන්ගේ සාක්‌කුවල ලැග සිටි පොලිස්‌ නිලධාරීන් බිමට බා ගැනුණු අතර පොලිස්‌ නිලධාරීන්ගේ සාක්‌කුවල ලැග සිටි අපරාධකරුවන් අල්ලා චප්ප කිරීමේ වෑයමක්‌ද දිස්‌ වූයේය.

එහෙත්, පොලිස්‌ සේවය තුළින්ම ඔවුනට කල් ඇතිව ලැබුණු තොරතුරුවලට පව් සිදුවන්නට ඒ බිහිසුණු අපරාධකරුවෝ වැඩිදෙනෙක්‌ තමන් එතෙක්‌ ලැග සිටි පොලිස්‌ සාක්‌කුවලින් පමණක්‌ නොව රටින්ම ද පලා ගියෝය.

මේ නිසාම ශ්‍රී ලංකාවේ අපරාධ අහෝසි වූයේ යෑයි අපට කිවහැකි නොවෙතත්, එල්ලුම් ගසක්‌ නැති තත්ත්වයක්‌ යටතේ ඒ උදාවූ අපරාධ මර්දන විශිෂ්ට ව්‍යායාමය අපරාධකරුවන් මර්දනය වූ සහ ගල්ගැසී ගිය වකවානුවක්‌ විය. තිස්‌ වසරක්‌ රජ කළ අති බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ ඇඩ්‍රස්‌ නැති තත්ත්වයට පත්කළ රජයකින් රටේ අපරාධ මර්දනයෙහිලා මිනිසුන් එවැන්නක්‌ බලාපොරොත්තු වූවාට සැකයක්‌ නැත. (රටේ සම්පූර්ණ අපරාධ මර්දනයක්‌ සිදුවූයේ නම් ඔය කාලයේම නූරී වත්තේ අතකොටාලා සහ කහවත්තේ මොළ කොටාලා රජ කළේ කෙසේද යන පැනය මෙතැනදී අපගෙන් නොඅසනු මැනවි.)

කෙසේ හෝ වේවා අප සඳහන් කළ ඒ විවිධ අපරාධ යුග පසුකර දැන් උදාවී ඇත්තේ ඒ සියල්ලටම වඩා වෙනස්‌ම ලක්‍ෂණ දරන අපරාධ යුගයක්‌ බව පෙනේ.

දැන් වැඩ දෙන්නේ කෙළින්ම පොලිසියෙනි. වෘත්තීය අපරාධකරුවන් බරපතළ රැකියා අවදානමකට ලක්‌කරමින් දැන් ඇතැම් පොලිස්‌ ලොක්‌කෝ ද පොඩ්ඩෝ ද "ගේමට" බැස සිටිති. ඔවුන් විසින් මිනිසුන් "උස්‌සනු" ද ලැබේ. උස්‌සා ගෙන ගොස්‌ "ගස්‌සනු" ද ලැබේ. ඊට අමතරව තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, කප්පම් ලබා ගැනීම් හරි හරියටය. ශ්‍රී ලංකා වෘත්තීය බිහිසුණු අපරාධකරුවන්ගේ සංගමයේ නිලධාරියකු මේ ළඟදී ප්‍රකාශ කළේ රජයෙන් ස්‌ථීර වැටුපක්‌ ලබාගන්නා පොලිස්‌ නිලධාරීන් විසින් තම රැකියාවන් පැහැර ගනු ලැබීමට එරෙහිව ඔවුන් ළඟදීම කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක්‌ පවත්වන බවය. ඊට අමතරව කොටි හිතවාදීන් සහ විපක්‍ෂයේ ඇතැම් කොටස්‌ සමඟ එකතුව ලබන මාර්තුවේ එළඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකා පොලිස්‌ සේවය තුළ කොයි කාලයේත් නරක පොලිස්‌ නිලධාරීන් සිටි බවට සැකයක්‌ නැත. එහෙත්, අපරාධ අංශයේ ලොක්‌කා ද, පොලිසියේ ඕ. අයි. සී. ද ඇතුළු "ගැන්සි" ගණනින් අපරාධවලට හවුල් වූ අවස්‌ථාවක්‌ මින් පෙර මේ රටේ..... (මේ වාක්‍ය අපි අවසන් නොකරමු. මක්‌අනිසාද "නැතැයි" කීමේ ෂුවර් එකක්‌ අපට නැති නිසාය. අප එසේ කළහොත් දැරණියගල වැනි පැතිවල මිනිසුන් අපට සිනාසෙනු ඇත.)

එන්. කේ. ඉලංගකෝන් මහතා වැනි විශිෂ්ට ගණයේ පොලිස්‌පතිවරයෙක්‌ නොවන්නට මේ මොහොත වන විටත් පාතාලයට වඩා දරුණු පොලිස්‌ පාතාලයක්‌ බිහිවෙන්නට ඉඩ තිබිණි යෑයි කීමට අපට සිදුවෙයි. පොලිසිය තුළින් කවර වැරැදි සිදු වුවද ඒවාට එරෙහිව නොපැකිළව කටයුතු කරන ඔහුගේ විශිෂ්ට රාජකාරි ප්‍රතිපත්තිය අප මෙහිදී යළි යළිත් අගය කරන්නේ ඔහු මෙන්ම පොලිස්‌ සේවයේ තවමත් නියුතුව සිටින අවංක යුක්‌තිගරුක නිලධාරීන් බහුතරයට ද ගෞරවය පිණිස ය.

එහෙත්, උදාව ඇති මේ ප්‍රවණතාව ඉතාම භයානක එකක්‌ සේම ඉතාම පිළිකුල් සහගත එකක්‌ ද වේ. පොලිසිය පොලිසිය විසින්ම මෙසේ කිච කරනු ලැබීමට එරෙහිව සෑම යුක්‌ති ගරුක පොලිස්‌ නිලධාරියෙක්‌ම නැගී සිටිය යුතුව ඇත.

ාසඩසබ්-
Read more

Recent Posts

Popular Posts

Popular Posts