Open top menu
Friday, November 1, 2013

මේයුගයේ ජීවත් වන මිනිසුන් ගැන කතා කරන බොහෝ අය විසින් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ අප ජීවත් වන ධනවාදී යුගය අතිශයින්ම නරක බවත් මේ යුගයේ මිනිසුන් ගේ මනුෂ්‍ය සම්බන්ධතා ධනවාදී ප්‍රාග්ධන සමුච්ඡන ක්‍රියාදාමය නිසා අවුලට පත්ව ඇති බවත්ය. ඒ අනුව අප අද ජීවත් වන යුගයට වඩා මානුෂික හොද ,යහපත් යුගයක් අතීතයේ තිබී ඇති අතර ඒ යුගයට වඩා වර්ථමාන යුගය අතිශයින්ම බියකරුය. ගැටලුව වන්නේ අතීතයේ තිබුනා යැයි අප විශ්වාස කරන පරමාදර්ශී යුගයට වඩා මේ යුගයේ ඇත්ත ගැටලුව නිසියාකාරව කිසිවකුටත් ග්‍රහණය කර ගන්නට හැකියාවක් නොමැතිකමයි.

රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න. එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව. මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ  රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව. ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල  නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.

ඒත් මේ වෛද්‍යවරුන්ම කවදාවත් පාසල් නොගිය මත්ද්‍රව්‍ය විකුණලා මුදල් හම්බ කරන මුදලාලි කෙනෙක්ව නවලෝක රෝහලේ දී හම්බ වුනහම මෙහෙම කියනව. සර් ඔයා තව දුරටත් රෙස්ට් කරන්න ඕන. ඔයාට අපි  දැනට අන්ටි-බිඔටිc එකක් දෙනව. ඔයාට අපි දෙන්නේ ඪප්ටොම්ය්cඉන්. අපි ඒක බීලා බලමු. ඊට පස්සේ අපි එන්ඩොස්cඔප්ය් එකක් කරමු. ඔයාගේ තත්ත්වය බලලා සමහර විට අපිට අන්ගිඔග්‍රම්ස්  එකක් කරන්න වෙයි. බය වෙන්න එපා සර් අපි ඔයා ගැන බලා ගන්නම්. මේ වෛද්‍යවරුන්ම උපාධිධාරී රජයේ සේවකයෙක්ට රජයේ රෝහලකදී කුණු බැනුම් බනිනව. ඒ වගේ වෛද්‍යවරුන්ටම ආණ්ඩුවේ රෝහල් වලින් බෙහෙත් ගන්න මිනිස්සු සළකන්නේ දෙවිවරුන්ට වගේ.   සමහර මිනිස්සු ආණ්ඩුවේ රෝහලකින් බෙහෙත් අරගෙන පිටවෙලා යනකොට වෛද්‍යවරයට පිං දීලා යනව. ඒත් වැඩි දවසක් නවලෝක රෝහලේ නතරවෙලා රෝගියෙක් පිටවෙලා යද්දි වෛද්‍යවරයා රෝගියාට පිං දෙනව. මොකද වැඩි පුර ඉන්න ඉන්න වෛද්‍යවරයගේ ආදායම සරුවෙනවනේ.  මේ නිසා තමයි අපි ජීවත් වෙන යුගයේ දී ආණ්ඩුවේ උපාධිධාරි රජයේ සේවකයෙක් රජයේ රෝහලක දී නූගත් මැට්ටෙක් බවටත්, ව්‍යාපාරිකයෙක් පෞද්ගලික රෝහලකදී උගත් බුද්ධිමත් වැදගත් මිනිහෙක් බවටත් වෛද්‍යවරුන් විසින් පත් කරන්නේ.( මේක තමයි මේ යුගයේ පංති අරගලය) ඒ නිසා අපි ජීවත් වන මේ යුගයේ මුදල් වලට හැරෙන්නට අපි විශ්වාස කරන සදාචාරයට,සාරධර්ම වලට, ආචාර ධර්ම වලට,හොදට, යහපතට කිසි වටිනාකමක් නැත්තේ. මුදල් තියෙනවා නම් වටිනාකම් ආරෝපණය කර ගන්න එක පහසු වැඩක්. දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු  මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන්  වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්.

අපි ඊලගට බලමු නීතිඥවරුන් ගැන. මේ තවත් එක වෘත්තියක්. මේ වෘත්තියේ ඉන්න පිරිසත් හිතන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිත විනාශ කරන්නේ අපරාධකාරයන් මැරයන් විසින් බවයි. මේ පිරිස තමන් ගේ සේවාදායකයන් ගෙන් මුදල් ගැනීමේ දී සාමාන්‍ය දුප්පත් මිනිහෙක්ට කියන්නේ නීතිය තුල ඇත්තට තියෙන සංකල්ප නෙවි. ඔවුන් තමන් ගේ සේවාදායකයන්ව බියට පත් කරනව. අයිසේ තමුසේ මම කියන විදහට වැඩ කරනව. නැත්තම් හිරේ යන්න වෙයි. උසාවියට එන සේවාදායකයන් දෙස මේ වැදගත් උගත් නීතිඥවරුන් (මේ නීතිඥවරුන් ගෙන් බහුතරයක් කියන්නෙත් අර කහටගස්දිගිලියේ වෛද්‍යවරියවගේම අමාරුවෙන් ඉගෙන ගත්ත අයයි) බලන්නේ හරිම අපුලෙන්. බලන්න මේ කාලකන්නි යක්කු කවදාවත් හැදෙන්නෙ නැහැ. හැමදාම වැරදි කරනව. මුන් තමා මේ සමාජය විනාශ කරන්නේ. මුන් නිසා තමයි අපේ ළමයින්ව කවදාවත් හදාගන්න බැරි. ඒ නිසා මේ වගේ උන් එල්ලා මරන්න ඕන. මේ නීතිඥයන් ගෙන් ගොඩක් අය විශ්වාස කරන්නේ තමන්ගේ පවුල විතරයි. පවුලෙන් පිට සමාජයක් ගැන මේ අයට අදහසක් නැහැ. විශේෂයෙන් සිවිල් සමාජය සහ රාජ්‍ය ගැන මේ අයට කිසිම නිනව්වක් නැහැ. කුමක් හෝ සමාජ වැඩක් ගැන කතා කළාම කියන්නේ අප්පෝ අපිට ඕවා වැඩක් නැහැ. අපි අපේ පාඩුවේ ජීවත් වෙන්නේ. අපිට දේශපාලනය වැඩක් නැහැ. මොකා මොනදේ කළත් අපේ අතට ගාණ එනවා නම් අපිට ඇති කියලයි. ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය මහා පරිමාණයෙන් පටන් ගන්න යන එක ගැන මේ අයට තියෙන්නේ මෙහෙම අදහසක්. අපිට මොකද පැකර් නෙවි ඕන එකෙත් ඇවිත් කැසිනෝ නෙවි ගණිකා නිවාස නෙවි ඕන මළදානයක් දා ගත්තම. මට තියෙන එකම ප්‍රශ්ණය මගේ පාඩුවේ මගේ දරුවෝ දෙන්නා හදා ගන්න එක විතරයි. මේ අයට දේශපාලනය තමන්ගේ ජීවිතයට කොයි තරම් නම් සම්බන්ධ ද කියන එක තේරුම් ගන්න වෙන්නේ තමන් ආදරයෙන් හදන දරුවෝ කැසිනෝ ගහන්න ගිහින් විනාශ වුනාම හෝ තමන් ගේ දූවරුන් ගණිකාවන් බවට පත් වුනාට පස්සේ තමයි. රාජ්‍ය ශක්තිමත් කීරීමෙන් සිවිල් සමාජයත්, සිවිල් සමාජය ශක්තිමත් කිරීමෙන් පවුලත් ශක්තිමත් කළ හැකි බව මේ අය දන්නෙ නැහැ. මේ නීතිඥවරුන් නොදන්නේ දයලෙක්තික සම්බන්ධයයි. තමන්ගේ හයිබ්‍රිඩ් වාහනයට රුපියල් ලක්ෂකය වාරිකයන් ගෙවන්න නම් මේ අපරාධකාරයන් සිටිය යුතු බව මේ අයට වැටහෙන් නැහැ. නීතිඥවරයෙක් තමන් ගේ පුතාට ෆුඩ් සිටියෙන් ස්ටෝබෙර් කන්න දෙන්නේ දෛනික කුලි පදනම මත වැඩ කරන ගංජා බොන කම්කරුවෙක් උසාවියේ දී ගෙවන මුදලින්. ඒ කම්කරුවා ගේ දරුවාට කුසට අහරක් නැතිව ඉන්නට පුලුවන්කම හදා දෙමින් තමයි නීතිඥවරයා ගේ පුතාට ස්ටෝබෙරි කන්නට පුලුවන් වෙන්නේ.

පාරිභොගික භාණ්ඩ ජනමාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන අවකාශයක් තුළ පරිභොජනය කිරීම අතින් ගත්තම ඉදිරියෙන්ම සිටින්නේ වෘත්තිකයන්. වෛද්‍යවරුන්,නීතිඥයන්,වරලත් ගණකාධිකාරීවරුන්,ඉංජිනේරුවන්, ගෘහනිර්මාණ ශිල්පීන්, විශ්ව විද්‍යාල ගුරුවරුන් වගේ වෘත්තිකයන් මේ වන විටත් තමන්ට අවශ්‍ය මොනවාද නැත්තේ මොනවාද යන්න ගැනවත් දන්නේ නැහැ. උදාහරණයක් විදිහට හදවතේ සියුම්ම නහරයක සැත්කමක් කරන්න පුලුවන් වෛද්‍යවරයෙක් තමන්ට හදවතට සමීප බිරිදක් සොයා ගන්න දන්නෑ. ඔහුට කසාද බදින්න සිද්ධ වෙන්නේ ස්ත්‍රියක් වෙනුනට සුපර්මාකට් එකක්. ලංකාවේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙකුට රන්ගෙ රොවෙර් එවොඣුඑ රථයක් මිලට ගන්නට සිද්ධ වෙන්නේ ඔහුට එය අවශ්‍යම නිසා නෙමෙයි. වෙළෙද පොල විසින් එවන් රථයක් මිලදී ගන්නට ඔහුට බල කෙරී ඇති නිසයි. ඒ නිසා තමයි නුගේගොඩ ඉදන් වාහන තදබදය අස්සෙන් යන්න සෆාරි වාහනයක් මිලදී ගන්න වෙන්නේ. මේ ගොඩක් උදවිය ජීවත් වෙන්නේ අනෙකා ගේ බැල්ම ගැන කල්පනා කරලයි. හැමෝම හිතන්නේ තමන් දෙස කවුරුන් හෝ කෙනෙක් බලා සිටින බවයි. ඒ නිසා තමයි පෙරකී ජනාධිපති නීතිඥවරයාට තමන්ට ඇත්තටම පහසු ඹෙන්z, ඇඋඩි,ඹ්.M.W කාර් රථයක් වෙනුවට  රන්ගෙ රොවෙර් එවොඣුඑ එකක් මිලට ගන්න වෙන්නේ. මේ වන විටත් වෛද්‍ය විද්‍යාත්මකව නිළ වශයෙන් සොයා නොගත්ත ඔස්ටිරෝපොරෝසිස් නම් රෝගය සුව වන්නට ඇන්ලීන් අත්‍යාවශ්‍ය බව සංගක්කාර කියන කොට ගමේ ගොඩේ කාන්තාවන් ඒක විශ්වාස කරලා ඇන්ලීන් බොන්න පටන් ගන්න එකේ සහ ඉහත රන්ගෙ රොවෙර් එවොඣුඑ රථය මිලට ගැනීම අතර ලොකු වෙනසක් නැහැ කියලයි අපට නම් හිතෙන්නේ.

පුවත් පත් ආයතනයක කාලයක් සේවය කරපු ජන මාධ්‍යෙවිදියෙක් එක පාරටම  ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනි එකක වැඩට යනව. ඒකේ වැඩ කරන ගමන් පොත් ප්‍රකාශකයෙක් වෙන්න උත්සහ කරනව. ඒ අතරේ ජීවත් වෙන්න විදිහක් නැති නිසා රස්සාවක් හොය හොයා ඇවිදින්න පටන් ගන්නවා. ඔහුට වාමාංශිකයෙක් මුණ ගැහුනම ඔහුගෙන් රැකියාවක් ඉල්ලනවා. ඇමතිවරයෙකු ගේ ලේකම්වරයෙක් මුණ ගැහුනම ඔහුගෙනුත් රස්සාවක් ඉල්ලනව. ඔහුට අවශ්‍ය වන්නේ එක දෙයයි. රස්සාවක් විතරයි. ඒකට අපිට දොස් කියන්න බැහැ. මොකද ඔහුට ඇත්තටම ජීවත් වීමේ ගැටලු තියෙනව කියන එක යථාර්ථයක්. නමුත් ගැටලුව වන්නේ ජීවත් වීමට රස්සාවක් කරනවා වෙනුවට රස්සාවක් කරන්නට ජීවත් වෙනවා වගේ තැනකට මිනිහෙක් තල්ලු වෙනව නම් ඒකයි. මොන දේ කළත් ජීවත් වෙන්නට ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන කියන එක හිතන තරම් සරළ නැහැ. එක්තරා මොහොතක තමන්ට ජීවිතේ ඉන්න නරකම යැයි හැගෙන මිනිහව ඊට ටික කාලෙකට පස්සේ තමන්ට කීයක් හරි හොයා ගන්න පුලුවන් මෙවලමක් විදිහට දැනෙනවා නම් ඒ වගේ කෙනෙක් කතා කරන දේවල් අපිට තේරුම් ගන්න වෙන්නේ භාෂාවෙන් නෙවි ව්‍යවහාරයෙන්. මේ අය නරක පුද්ගයන් යැයි කියා අපට ඉවත දමන්නට බැහැ. මොකද පවතින ක්‍රමය කියන්නෙම මේ වගේ අයගේ එකතුවක්. පව්කාරයන් ගේ සමාජයක දී තමයි විප්ලවය සදහා ජවය සහ ශක්තිය ලැබෙන්නේ. ඒ අර්ථයෙන් මේ වගේ මාධ්‍යවේදීයෙක් කියන්නේ විප්ලවීය මිතුරෙක්.

මේ වෛද්‍යවරුන්,නීතිඥයන්,ජනමාධ්‍යෙවිදීන් ඇතුලු ගොඩක් අය කියන්නේ ස්ටැන්ලිලා වගේ අයයි. මේ අය හිතන්නේ යථාර්ථය කියන්නේ තමන් දන්න දේට කියලයි. ඒ අයට අනුව යථාර්ථය කියන්නේ තමන්ගේ සංජානන ක්ෂේත්‍රයට හසුවන දේ විතරයි කියලයි. යථාර්ථය තුළ තමන් නියෝජනය වනවා කියන එක මේ අයට අමතකයි.

සමහරු අපි කියන මේ දේ ගන්න පුලුවන් සෘණාත්මක අර්ථයකින්. ඒ කියන්නේ බලන්න සමාජය කොච්චර නරකද වෛද්‍යවරු, නීතිඥයන්, ජනමාධ්‍යෙවිදීන් කොච්චර නරක අයද ඉස්සර සමාජය මෙහෙම නැහැ. ඒත් අපි තේරුම් ගන්න ඕන මේ අය කියන්නෙ මේ සමාජ ක්‍රමයම කියන එක. මේ අය මෙහෙම හැසිරෙන නිසාම තමයි අපිට දැන් ජීවත් වෙන සමාජයට වඩා උසස් සමාජයක් නිර්මාණය කරන්න ඕන කියන අදහස එන්නේ. මේ යුගයේ ගැටලුව වන්නේ නරක මිනිසුන් ගේ නරක ක්‍රියා නොව හොද මිනිසුන් ගේ නිහඩතාවයයි කියන මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශය අපිට වෙනස් කරන්න වෙනව. ඇත්තටම හොද මිනිස්සු නිහඩව ඉන්න නිසා තමයි නරක මිනිස්සුන් ගේ ක්‍රියා බලලා අපිට පවතින සමාජයට වඩා උසස් සමාජයක් නිර්මාණය කරන්න පුලුවන් වෙන්නේ. විමල් වීරවංශ වගේ කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්නකොට එයා නිතරම කීවේ ධනවාදය කියන තුවාලය නිසා තමන් විදවනව කියලයි. ඒත් පස්සේ එයාගේ තුවාල හොද වුණා. අනුර දිසානායක වගේ හොද මනුෂ්‍යෙයකුන් ඉගෙන ගන්නවට වඩා අපිට ඉගෙන ගන්න තියෙන්නේ විමල් වීරවංශගෙන්. අපි මේ සටහන ලෙනින් ගේ වාක්‍යයකින් අවසන් කරමු. හොද පූජකයින් ගේ හොද ක්‍රියාවලට වඩා නරක පූජකයින් ගේ නරක ක්‍රියා මගින් විප්ලවය සදහා අප පොළඹවාලයි! ඒ නිසා අපට හමුවන ස්ටැන්ලිලා ගෙන් අප විප්ලවීය පන්නරය හැර වෙන කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු.

සටහන

අප මේ ස්ටැන්ලි යන නම යොදා ගත්තේ නන්දා මාලනියගේ ගීතයක සිටින ස්ටැන්ලි නම් චරිතයෙනි. අපට දෛනිකව මුණ ගැසෙන බොහෝ ස්ටැන්ලිලා හිතන්නේ අපට මේ අයගේ ඇත්ත අරමුණු නොවැටහෙන බවයි. ඒත් සිදුවන දේ තියුණු ඇසකින් නිරීක්ෂණය කරනවා හැර සිදුවන දේ ගැන නිගමනයන්ට එළඹෙන්නට අපට අවශ්‍ය නැත. ස්ටැන්ලිලා හිතන තරම් අප බබාලා නොවන අතර ආලෝකය උදාකර ගන්නට නම් අප අදුරට මුහුණ දී තිබිය යුතු බව අප දනිමු.3mana


Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. Bit deep analysis of existing social structure, but reality is different from your imagination. Socialism is impractical in present world scenario, we need practical approach to eliminate the difference between haves and have nots, most of the Western countries trying hard to minimize this gap but not fully successful nevertheless better than SL way

    ReplyDelete

Popular Posts

Popular Posts