Open top menu
Friday, November 1, 2013


මාතර සිද්ධියේදී හර්මන් ගුණරත්න මහතාට පොලු පහර වැදුනු අයුරු.
ඉකුත් ඔක්‌තෝබර් 5 වැනිදා මාතරදී ඇතිවූ සිද්ධිය හේතුවෙන් එජාපය තුළ ඇති අර්බුදය අන් කවරදාටත් වඩා කතාබහට ලක්‌වන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත. මාතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාම ජනමාධ්‍ය තුළින් ඇතිවූ කතාබහෙන් අපට වැටහෙන්නේ බොහෝ අය මෙම සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වගකීම මංගල සමරවීර මත පමණක්‌ පැටවීමට උත්සාහ කරන බවකි. මංගල සමරවීර ද මේ සිද්ධියට සහභාගි වූ බවත් ඔහුගේ ගෝලබාලයන් එහි ප්‍රධාන කාර්යභාරයක්‌ ඉටුකළ බවත් ඉතාමත්ම පැහැදිලිය. නමුත් අපි සමරවීර ගැන පමණක්‌ අවධානය යොමු කළ හොත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අප තේරුම් ගතයුතු වැදගත්ම කාරණය නොපෙනී යනු ඇත.



මෛත්‍රි ගුණරත්න හා ශිරාල් ලක්‌තිලක විසින් සංවිධානය කරන ලද රනිල් විරෝධී පාද යාත්‍රාවට පහර දුන්නේ මංගල සමරවීර පමණක්‌ නම් මේ සිද්ධියට සම්බන්ධ නැති අප වැනි තුන්වන පාර්ශවවලට භීතියට පත් වීමට හේතුවක්‌ නැත. සමරවීර යනු චන්ද්‍රිකා කුමාරතුංගගේ ගෝලයෙකි. චන්ද්‍රිකාගේ පාලන සමය තුළ මේ ආකාරයට විරුද්ධවාදීන්ට පහර දීම දිනපතා පාහේ සිදුවූ සාමාන්‍ය කාරණයක්‌ විය. මාතර ප්‍රහාරයෙන් නැවතත් සිහිගන්වනු ලැබුවේ 1999 වයඹ පළාත් සභා ඡන්දයත් 2001 දෙසැම්බර් පාර්ලිමේන්තු මැතිවරණයත් ය. 2001 දෙසැම්බර් මාසයේදී පරාජය අභිමුඛව සිටියදීත් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව උත්සාහ දැරුවේ එජාපයට මැර ප්‍රහාර දියත් කිරීම තුළින් නැවත බලය දිනා ගැනීමටය. මංගල සමරවීර එකල පොදු පෙරමුණේ මාතර දිස්‌ත්‍රික්‌ නායකයා වූ අතර එම දිස්‌ත්‍රික්‌කයේ සිදුවූ මැර ක්‍රියා මම ද පුද්ගලිකවම දුටුවෙමු. මේ නිසා රනිල් විරෝධී පාද යාත්‍රාවට පහර දුන්නේ සමරවීර පමණක්‌ නම් මෙය ඔහු චන්ද්‍රිකා කුමාරතුංග යුගයෙන් ගෙනවිත් ඇති පුරුද්දක්‌ බවත් හුදෙකලා සිද්ධියක්‌ බවත් එජාපය මෙයට ගෑවී නැති බවත් සිතා අපට සැනසීමෙන් සිටීමට හැකියාව තිබිණි. නමුත් මාතර සිද්ධියේදී සමරවීර ප්‍රධාන කාර්යභාරයක්‌ ඉටු කළ ද මේ ප්‍රහාරය ජාතික මට්‌ටමෙන් එජාපය විසින්ම සංවිධානය කරන ලද්දක්‌ බවට කිසිදු සැකයක්‌ නැත. රනිල් විරෝධී පාද යාත්‍රාවට පහර දීම සඳහා සහභාගි වූ පිරිස අතර මංගල සමරවීරගේ ගෝලයන් පමණක්‌ නොව කොළඹ, ගම්පහ, ගාල්ල වැනි ප්‍රදේශවලින්ද පැමිණි එ.ජා.ප. ජනතා නියෝජිතයන් සිටියේය. සමරවීර පමණක්‌ සංවිධානය කළ ප්‍රහාරයකට කොළඹින් ගම්පහින් හා ඊටත් ඈත ප්‍රදේශවලින් මිනිසුන් ගෙන්වා ගැනීමට සමරවීරට එජාපය තුළ නිල බලයක්‌ නැත. එමෙන්ම සමරවීරගේ පුද්ගලික ඉල්ලීමකට මොවුන් සහභාගි වූවා යෑයි සිතිය නොහැක්‌කේ ඔහුට එජාපය තුළ එවැනි පුද්ගලික ජනප්‍රියත්වයක්‌ නැති නිසාය.

රනිල් විරෝධී පාදයාත්‍රාවට පහර දීමට මාතරට පැමිණි අය දෙස බලන විට පැහැදිලි වන්නේ මෙය එජාපයේ ඉහළම තැන් වලින් සංවිධානය කරන ලද ප්‍රහාරයක්‌ බවත් සමරවීර එහි එක්‌ කොටස්‌කරුවෙක්‌ පමණක්‌ බවත්ය. මේ කරුණ අප කාගේත් මවිතයටත් භීතියටත් හේතුවිය යුතුය. අප අද දක්‌වා අත්විඳින "දේශපාලන සාමය" 2001 දී ඇතිකරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව මම හැමදාමත් කියා ඇත්තෙමි. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග යටතේ හත්අවුරුද්දක්‌ පුරා මහා භීක්‍ෂණයකට මුහුණ දුන් එජාපය 2001 දෙසැම්බරයේදී නැවත බලයට පැමිණීමෙන් පසු පරාජිත චන්ද්‍රිකා කුමාරතුංගගේ පාර්ශවයට කිසිදු ප්‍රහාරයක්‌ දියත් කළේ නැත. දේශපාලන විරුද්ධවාදීන්ට පහර දීමේ විෂම චක්‍රය අවසන් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි. චන්ද්‍රිකා කුමාරතුංග 2004 අප්‍රේල් මාසයේදී යළිත් බලයට පැමිණෙන විට ඇය යම් පාඩම් ඉගෙන ගෙන තිබුණු නිසා 1994-2001 මෙසේ හැසිරුණු ආකාරයට හැසිරුනේ නැත. 2005 න් පසු බලය ගත් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ද එජාපයට එරෙහිව කිසිදු ප්‍රහාරයක්‌, අඩන්තේට්‌ටමක්‌ අද දක්‌වාම කර නැත. මේ අනුව 2001 සිට අද දක්‌වා අපේ රටේ ආණ්‌ඩු පෙරළි වැනි දේවල් සිදු වුවත් ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය ගහමරා ගන්නේ නැතුව යම් දේශපාලන සාමයක්‌ අත්දැක ඇත.

2013 ඔක්‌තෝබර් 5 වැනිදා බිඳ දමනු ලැබුවේ මේ දේශපාලන සාමයයි. මාතර සිද්ධියට වඩා බරපතළ අභ්‍යන්තර ගැටුම් ශ්‍රීලනිපය තුළ ද සිදුවී ඇති බවද සත්‍යයකි. මෙයට හොඳම උදාහරණය වන්නේ 2011 ඔක්‌තෝබර් මාසයේ භාරත ලක්‍ෂමන් හා දුමින්ද සිල්වා අතර කොලොන්නාවේ ඇතිවූ ගැටුමයි. නමුත් භාරත ලක්‍ෂමන් මියගිය සිද්ධිය ක්‍ෂණිකව ඇවිලී ගිය ගැටුමක්‌ හේතුවෙන් ඇතිවූවක්‌ මිස කලින් සැලසුම් කොට තැන් තැන්වලින් මිනිසුන් ගෙන්වාගෙන සිදුකරන ලද ප්‍රහාරයක්‌ නොවීය.

මෙයින් අපට පෙනී යන්නේ එජාපයත් රනිල් වික්‍රමසිංහ මහතාත් පසුගිය වකවානුව තුළ වෙනසකට ලක්‌වී ඇති බවයි. එජාපයේ ජනප්‍රිය දේශපාලන පදනමක්‌ ඇති අය පක්‍ෂය හැර දමා ආණ්‌ඩුවට බැඳීමත් සමගම එජාපය ක්‍රම ක්‍රමයෙන් පාදඩයින් පමණක්‌ ඉතිරි වී සිටින පක්‍ෂයක්‌ බවට හැරෙමින් පවතී. මෑත කාලයේ එජාපය තුළ විවිධ දිස්‌ත්‍රික්‌ක වල ඉදිරියට පැමිණෙමින් සිටින අයට ජනප්‍රියත්වයක්‌ හෝ තමන්ට යෑයි කියා දේශපාලන පදනමක්‌ හෝ නැත. යමෙක්‌ ඡන්ද කොට්‌ඨාසයක සංවිධායකවරයෙක්‌ නම් ඔහු කවුරු වුවත් එම කොට්‌ඨාසයේ පාක්‍ෂිකයන් ඔහුට ද මනාපයක්‌ ප්‍රකාශ කරයි. එමෙන්ම ඔවුන්ට පක්‍ෂය තුළ තත්ත්වයක්‌ ලැබී ඇත්තේ ද ඔවුන්ට ඉහළින් සිටි අය පක්‍ෂය හැර දමා යාම නිසාය. රනිල් හොඳ නායකයෙක්‌ යෑයි කියා සියලු දෙනාම පක්‍ෂයෙන් නොගොස්‌ දිගටම රැඳී සිටියේ නම් මේ දැන් ඉහළට එමින් සිටින අයට කිසිදාක තැනක්‌ ලැබෙන්නේ නැත. ඒ මට්‌ටමේ අයට බලය නැතැයි කියා ප්‍රශ්නයක්‌ නැත්තේ ද ඔවුන් තවමත් ඉහළට ගමන් කරමින් සිටින අය නිසාය. ඔවුන් තව තවත් ඉහළට ගමන් කිරීමට නම් ඔවුන්ට ඉහළින් සිටින පිරිස්‌ බලයේ නැතිය, රනිල්ට බැරිය යෑයි කියා පක්‍ෂය හැරදමා යා යුතුය. එජාපය නැගී එන පාදඩ පිරිසකගේ පක්‍ෂයක්‌ බවට හැරෙමින් පවතින්නේ ඒ ආකාරයටය. රනිල් වික්‍රමසිංහ මහතා ද 2001 සිටියාට වඩා අද වෙනස්‌ය. එකල ඔහු ජයග්‍රාහී නායකයෙක්‌ විය. අද ඔහු ගොඩගත නොහැකි තරමේ පරාජිතයෙකි. ඔහුගේ එකම ප්‍රමුඛ තාවය වී ඇත්තේ කෙසේ හෝ එම තනතුරේ එල්ලී සිටීම මිස තම ප්‍රතිරූපය නොවේ. අපට දැන් මුහුණ දීමට සිදුවී ඇත්තේ "ලුම්පන්" විපක්‍ෂයකටය. මේ මැර ප්‍රහාරයට ලක්‌ වූ මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්‌තිලක 2001 දෙසැම්බර් 20 වැනිදා සිරිකොතට සිදුවූ ප්‍රහාරයට වගකිවයුතු බවද මෙහිදී අප පෙන්වා දිය යුතුය. නමුත් ඒ අවස්‌ථාවේදී ඔවුන් සිරිකොත ඉදිරිපිටට රැස්‌ කළ පිරිස්‌ කරු ජයසූරිය නායකත්ව තරගයෙන් පරාජය වීම හේතුවෙන් ප්‍රකෝප වූවා යෑයි කියා හෝ නිදහසට කරුණු කිව හැක. ඔවුන් සිරිකොත ඉදිරියට පැමිණියේ පක්‍ෂ කාර්යාලයට පහර දීමේ ෙච්තනාවෙන් නොවන බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් 2011 සිරිකොත සිද්ධියෙන් මාතර ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකිය. මේ රනිල් විරෝධී පාද යාත්‍රාව සාමකාමී පෙළ පාලියක්‌ විය. එයට ඉතා නින්දිත ලෙස රනිල්ට හිතවත් පිරිස්‌ පහර දෙන ලදී. ප්‍රහාරය දියත් කළ මැරයන්ට වෙඩි තැබීම ගැන මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්නට දොස්‌ පවරන කිසිවෙක්‌ මට තවම හමුවී නැත. ඒ වෙඩි තැබීම කෙලින්ම වැටෙන්නේ දණ්‌ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 වන වගන්තිය දක්‌වා සඳහන් වන ආත්මාරක්‍ෂාවට ඇති අයිතිය යටතටය. දණ්‌ඩ නීති සංග්‍රහයේ එම වගන්ති වලට අනුව ආත්මාරක්‍ෂාව කතා කරන මොනම දෙයක්‌වත් වරදක්‌ නොවන්නේය. තමාගේ ආත්මාරක්‍ෂාව සඳහා ප්‍රතිවාදියාව ඝාතනය කිරීමට වුවත් කෙනෙකුට අයිතියක්‌ ඇත. දණ්‌ඩ නීති සංග්‍රහයේ 99 වන වගන්තියේ පැහැදිලි කිරීමට අනුව තමා ඝාතනය කිරීමට එන පිරිසකට වෙඩි තැබීමේදී එම පිරිස අතර සිටින අහිංසකයෙකුට වෙඩි වැදී මිය යැමත් වරදක්‌ වන්නේ නැත. ඔක්‌තෝබර් 5 වැනිදා මාතර සිදුවීමේ ආරම්භය ඉතා මැනවින් පෙන්වන කෙටි වීඩියෝ පටයක්‌ මා සතුව ඇත. එහි ඇති දර්ශනවලින් සිදුවූයේ කුමක්‌දැයි ඉතා මැනවින් පැහැදිලි වෙයි. එම වීඩියෝ පටය ආරම්භ වන විට රනිල් විරෝධී පාද යාත්‍රාව සාමකාමීව මහමග ගමන් කරමින් සිටී. ඉදිරියෙන්ම යන්නේ "පැරදුනා ඇති" යන්න සටහන් කොට ඇති බැනරයක්‌ රැගත් පිරිසකි. ඉන්පසු තමා වෙතට පොලු මුගුරු රැගෙන දිව එන මැර පිරිස දැක මෙකී බැනරයද හකුලාගෙන ඉදිරියෙන් සිටි පිරිස පලා යයි. ඔවුන් අතර සිටි හර්මන් ගුණරත්න මහතා පමණක්‌ පාරේ ඉතිරි වෙයි. ඉන්පසු පොල්ලක්‌ රැගත් පළමු මැරයා හර්මන් ගුණරත්න මහතාට පහරදීමට මෙන් පැමිණ ඔහු පසුකරගෙන යයි. නමුත් හර්මන් ගුණරත්නට වෙනත් මැරයෙක්‌ පොලු පහරවල් දෙකක්‌ ගසයි. ඒත් සමගම හර්මන් ගුණරත්න මහතාද පාරේ කලබලය නිසා නවතා තිබෙන සුදු පැහැති ට්‍රක්‌ රථයක්‌ අසලට යයි. ඉන්පසු කොළපැහැති කමිසයක්‌ ඇඳගත් තවත් මැරයෙක්‌ ඔහුට පොලු පහරක්‌ එල්ල කරනු පෙනේ. නමුත් මේ වන විට ඔහු තම පිස්‌තෝලය අතට ගෙන තිබෙන බවක්‌ පෙනේ. අනාගතයේ නීති විද්‍යාලයේ දණ්‌ඩ නීති සංග්‍රහය පිළිබඳ දේශනවලදී 89 සිට 99 වන වගන්ති එයට ඇතුළත් කර තිබෙන්නේ මන්දැයි සිසුන්ට පැහැදිල කිරීම සඳහා මෙකී වීඩියෝ පටය සිසුන්ට පෙන්විය හැකිය.

පොලිසියද මේ අවස්‌ථාවේද අන්දමන්ද වී සිටීම ගැන මම පුදුමු වන්නේ නැත. මේ තත්ත්වය සමනය කිරීමට පොලිසිය මැදිහත් වූවානම් ඔවුන්ට මේ පාර්ශ්ව දෙකෙන් එකකට හෝ දෙකටම බැටන් පොලු පහර දී පලවා හැරීමට සිදුවනු ඇත. කුමන පාර්ශ්වයට පහර දුන්නත් පොලිසිය "විපක්‍ෂයට" පහර දුන්නාය යන චෝදනාවට මුහුණදීමට සිදුවනු ඇත. දැනුදු දෙපාර්ශ්වයම කියන්නේ අනෙත් පාර්ශ්වයට ආණ්‌ඩුවේ අනුග්‍රහය තිබුණු බවයි.· හර්මන් ගුණරත්න මහතා ජනාධිපති උපදේශකයකු බව සමරවීර මහතා පුන පුනා කියයි. නමුත් හර්මන් ගුණරත්න ජනාධිපතිවරයාගේ මිතුරකු පමණි. ඔහු කිසිදු තනතුරක්‌ හොබවන්නේ නැත. එමෙන්ම ඔහු එම පෙළපාලියට සහභාගී වූයේ තමන්ගේ පුතා එහි මූලිකත්වය ගෙන තිබෙන නිසා මිස රනිල් වික්‍රමසිංහ මහතාව පන්නා දැමීමට ඔහු තුළ කිසිදු උවමනාවක්‌ තිබුණු නිසා නොවේ. මේ බව මම හර්මන් ගුණරත්න මහතාගේ මිතුරකු හැටියට එය හො¹කාරවම දනිමි.

ඔක්‌තෝබර් 5 වැනිදා මාතරදී ඇතිවූ සිද්ධියෙන් මටනම් පැහැදිලි වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දැරීමේ වටිනාකමයි. ජෙනරාල් සරත් ෆොන්සේකා අවුරුදු දෙකක්‌ සිරබත් කෑමට සිදුවූයේ ඔහු තම ප්‍රතිවාදීන්ව හිරේ දැමීමට, ජනවරමක්‌ ඉල්ලූ නිසාය.

තමන් විලංගුවේ වැටුණු පසු අද ජෙනරාල් ෆොන්සේකා වෙනත් අය හිරේ දැමීම ගැන කතා කරන්නේ නැත. ඒ අනුව ඔහු අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු දේශපාලන පාඩමක්‌ ඉගෙන ගෙන තිබෙන බව ඉන් පෙනේ. එමෙන්ම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක ධුරයෙන් පහ කිරීමෙන් පසුවත් උසාවී ගානේ යාමට සිදුවී තිබෙන්නේ දොඅෂාභියෝගයේ තිබුණේ බොරු චෝදනා බව ඇයට සහයෝගය දුන් මෝඩයින් පුන පුනා කී නිසාය. ඒ චෝදනා සත්‍ය බව ජාත්‍යන්තරයට පෙන්වීමේ උවමනාව නිසාය.

රනිල් වික්‍රමසිංහද 2001-2004 අතර බලය හෙබවූ සමයේ විපක්‍ෂයට කිසිදු අඩන්තේට්‌ටමක්‌ නොකළද මාතර සිද්ධියෙන් පසු අපට ඔහු ගැන කිසිදු විශ්වාසයක්‌ තැබිය හැකිදරෑ.

සී. ඒ. චන්ද්‍රප්‍රේම
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

Popular Posts

Popular Posts