Open top menu
Monday, November 11, 2013

තිසරණී ගුණසේකර -

‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව පිරිසකගේ ප‍්‍රශ්න සහ දුර්දසාවට පමණක් ආමන්ත‍්‍රණය කරන්නක් නොවේ.’’ අමාර්ත්‍යා සෙන් – (යුක්ති ධර්මයේ සංකල්පය)

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ එක කිලෝ මීටරයක් සඳහා වැය කොට ඇති මුදල රුපියල් බිලියන 1.8 කි.
එය, 2014 වසරේ ළමා සංවර්ධනය සහ වනිතා කටයුතු සඳහා ද (රු. බිලියන 1.24), සංස්කෘතික සහ කලා කටයුතු සඳහා ද (රු. බිලියන 1.48), විදුලි සංදේශ සහ කාර්මික තාක්ෂණය සඳහා ද (රු. බිලියන 0.957), වනජීවි සම්පත් සහ සංරක්ෂණය සඳහා ද (රු. බිලියන 1.31), විදේශ සේවා ප‍්‍රවර්ධන සහ සුභසාධක කටයුතු සඳහා ද (රු. බිලියන 0.58) ජාතික උරුමය සඳහා ද (රු. බිලියන 1.26) වන අයවැයෙන් වෙන් කොට ඇති ප‍්‍රතිපාදනවලට වඩා අධික ය.

මේ කෙටි මහා මාර්ගය සඳහා වැය කළ මුළු මුදල රු. බිලියන 45.7 කි. වාර්තා වන අන්දට, එය වර්තමාන වෙළඳ පොළ මිළ ගණන් යටතේ රත්රන් ටොන් 7 ක් මිළ දී ගත හැකි මුදලකි. අනිත් අතට එය, 2014 වසරේ අධ්‍යාපනය සඳහා ද (රු. බිලියන 38.84), වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණය සඳහා ද (රු. බිලියන 41.2), කෘෂිකර්මය සඳහා ද (රු. බිලියන 44.47), උසස් අධ්‍යාපනය සඳහා ද (රු.බිලියන 29.5), විදුලිය සහ බලශක්ති සඳහා ද (රු.බිලියන 23.74), තාක්ෂණ සහ පර්යේෂණ සඳහා ද (රු.බිලියන 3.76), පරිසර (රු.බිලියන 4.26) සහ සමාජ සේවා සඳහා ද (රු.බිලියන 4.3) වෙන් කොට ඇති මුදලට වඩා අධික ය.

දකුණු අධිවේගී මාර්ගයෙන් දැරීමට සිදුවන පාඩුව වාර්ෂිකව රු.බිලියන 5.5 කි. ඒ, ලබා ගත් ණය සඳහා ගෙවීමට ඇති අධික පොලිය නිසා ය. කටුනායක=කොළඹ අධිවේගී මාර්ගය ඊට වෙනස් වෙතැ යි සිතීමට හේතු නැත. මේ මාර්ගය සඳහා වන ණය අප ලබාගෙන ඇත්තේ චීනයෙන් නිසා, එම අවදානම තවත් වැඩි වන්නේය. ඇමරිකානුවන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වඩා චීනය ඒ අතින් කුප‍්‍රපකට ය. රැුකියා සම්පාදනයක් නොකෙරෙන හම්බන්තොට වරාය සඳහා ලබා ගත් ණයවල පොලී අනුපාතිකය චීනය විසින් හදිසියේම සියයට 5 කින් ඉහළ දමා තමන්ගේ ෂයිලොක්වාදී ස්වභාවය මේ වන විටමත් ප‍්‍රදර්ශනය කොට තිබේ.

ජාත්‍යන්තර ෆිෂ් තක්සේරුවට අනුව, විදේශ සෘජු ආයෝජන ඇද ගැනීමට පශ්චාත්-යුද ශ‍්‍රී ලංකාව අසමත්ව තිබේ. 2009 පටන් ලංකාවට ලැබී ඇති එවැනි විදේශ සෘජු ආයෝජන, අපේ දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව සියයට 1.2 ක් වැනි අල්පයක් පමණි. ‘‘මෙය අපේ කලාපයේ වෙනත් රටවල් සමග සසඳන විට පහළ මට්ටමක් වන අතර, ඒ හේතුවෙන්, ණය බරක් වන ප‍්‍රාග්ධනය මත යැපීමට අපව තල්ලූ කොට ඇත… ඒ අනුව, අපගේ බාහිර ණය බර, අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 57 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය, මොන්ගෝලියාව හැරුණු කොට ආසියාවේ නැගී එන අනෙක් සියළු වෙළඳපොළවලට වඩා ඉහළ ණය බරකි.’’

සිතාගත හැකි පරිද්දෙන්ම, 2014 අයවැයෙන් ද වැඩිම මුදලක් වෙන් කොට ඇත්තේ, ජාතික ආරක්ෂාව සහ නගර සංවර්ධනයටයි. මේ මුදලෙන් විශාල පදාසයක් අභූත අතාර්කිකත්වයකින් වියදම් කෙරෙන ආකාරය ගැන වාර්තාවක් පසුගිය දා පළ විය. ‘ඬේලි මිරර්’ පුවත්පත වාර්තා කළ අන්දමට, යුද්ධය ඉවරයක් කළ ශ‍්‍රී ලංකාව, ජේ.එෆ්-17 වර්ගයේ යුද අහස් යානා කිහිපයක් පාකිස්ථානයෙන් මිළ දී ගැනීමට සැරසෙයි. මේ ප‍්‍රහාරක අහස් යානා නිෂ්පාදනය කෙරෙන්නේ චීන-පාකිස්ථාන ඒකාබද්ධ ව්‍යාපාරයක් වශයෙනි. එවැනි අහස් යානයක අවම නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 15 කි. එම අවම පිරිවැය පමණක් ගෙවා මේවායින් එකක් පමණක් ශ‍්‍රී ලංකාව මිළදී ගත්තත්, ඒ සඳහා රුපියල්වලින් වැය කළ යුතු මුළු මුදල බිලියන 1.7 ක් වැනි විශාල මුදලකි.

රට අභ්‍යන්තරයෙන් හෝ රටට පිටස්තරින් කිසි සන්නද්ධ තර්ජනයකට මුහුණ නොදෙන ශ‍්‍රී ලංකාව, මේ සා විශාල මුදල් කන්දරාවක් එවැනි ප‍්‍රහාරක යානා සඳහා නාස්ති කළ යුත්තේ ඇයි?

2001 සිටම චීනය මේ ප‍්‍රහාරක යානා විකුණා ගැනීමට තැත් කරන බව වාර්තාගතයි. මේ දක්වා ඒවා මිළදී ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ පාකිස්ථාන ගුවන් හමුදාව පමණි. අපට අවශ්‍ය නොකරන මෙවැනි දේවල් අප මිළදී ගන්නේ චීනයේ බලපෑම මත ද? ආධාරවලට ගැටගසා වෙනත් දේවල් ගිල්ලන ඇමරිකානු/බටහිර සිරිත චීනයත්, ඊට වඩා පිළිකුල් සහගත අන්දමකින් අනුකරණය කරන්නේ ද? ධනේෂ්වරයේ සීනි තැවරූ වෙඩි උණ්ඩ පිළිබඳ මාවෝගේ අනතුරු ඇඟවීම, ඔහුගේ අනුප‍්‍රාප්තිකයන්ගේ ජාත්‍යන්තර ආර්ථික ප‍්‍රතිපත්තිවලට වඩාත් උචිත වන්නේද?

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව, සම්ප‍්‍රදායික ප‍්‍රධාන අවි නිර්යාකරුවන්ගෙන් චීනය පස් වැනි ස්ථානය ගනී. චීනයේ සමස්ත අවි විකිණීම්වලින් සියයට 2 ක් මිළ දී ගන්නේ ශ‍්‍රී ලංකාවයි. අපේ ජාතික ධනයෙන් විශාල කොටසක් වැය කොට, අධික මිළ ගණන් නියම කොට ඇති, වැඩකට නැති චීන හමුදා ආම්පන්න මිළ දී ගැනීමෙන් තව තවත් චීනයට ණය වීම, චීනයේ වර්ධනය වෙමින් පවතින හමුදා-කාර්මික ව්‍යාපෘති සංකීර්ණයට අපෙන් කෙරෙන ‘සම්මාදම’ ද?

රාජපක්ෂලා මේ කරන්නේ, තමන්ගේ විකාර යෝධ ව්‍යාපෘති සඳහා චීනයෙන් අඛණ්ඩව මුදල් සපයාගනු වස් චීන හාම්පුතුන්ව තුටුපහටු කිරීම සඳහා කන්දක් බරට චීනයට ණය වෙමින් ජාතිය හිඟමනට පත්කිරීම සහ අනාගත පරම්පරා ගණනාවක්මත් ණයකාරයන් බවට පත්කිරීම නොවේද?

ජාතික ආරක්ෂාවේ වියදම මෙසේ අහස උසට නැගෙද්දී පවා, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ඇත්තේ අනතුරේ ය. දිනෙන් දින වර්ධනය වන අපරාධකරුවන් සහ හැම තැනකම හිස ඔසවන සාපරාධී දේශපාලනික මැරයන්ගෙන් පමණක් නොව, රාජපක්ෂලාගේ වගවිභාගයක් නැති දේශපාලනික/ආර්ථික/සමාජයීය ප‍්‍රතිපත්තිවලින් ද සාමාන්‍ය ලාංකිකයාගේ ආරක්ෂාව අනතුරට පත්වෙමින් තිබේ.

1990 දශකයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල, රටක අනාගතයක් අනතුරට හෙලිය හැකි ව්‍යාජ වර්ධන මාර්ග ගණනාවක් හඳුනාගෙන තිබුණි. ඒවා නම්: රැුකියා රහිත වර්ධනය, හඩක් නැති වර්ධනය (මහජන සහභාගීත්ව, මහජන බලගැන්වීම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වර්ධනය), නිර්දය වර්ධනය (දුප්පත්-පොහොසත් පරතරය පුළුල් කරන වර්ධනය), අක්මුල් නැති වර්ධනය (සාධනීය සංස්කෘතික සම්ප‍්‍රදායයන් විනාශ කරන වර්ධනය), අනාගතයක් නැති වර්ධනය (පරිසරය විනාශ කරන වර්ධනය) වශයෙන් වන්නේය.

රාජපක්ෂ ආර්ථික උපාය මාර්ගය, මේවායින් බොහොමයක සම්මිශ‍්‍රණයකි. හෙවත්, සංවර්ධන විරෝධී ව්‍යායාමයකි. රැුකියා රහිත වර්ධනයට කියාපු උදාහරණය, හම්බන්තොට වරායයි. වැලිවේරිය, දොරපේ සහ බටකැත්තර වාතය සහ ජලය දූෂ්‍ය වීමේ සිදුවීම්, මනුෂ්‍යයන්ගේ අවම අයිතියක් වන හුස්ම ගැනීමට වාතයත්, බීමට ජලයත් එම පළාත්වාසීන්ගෙන් අහිමි කිරීමේ අවස්ථාවන් ය. (ඇරත්, පරිසරයේ එවැනි අනතුරුදායක තත්වයක්, පොහොසතාට සහ බලවතාවට ද යම් විටෙක බලපාන්නේය).

කොම්පඤ්ඤවීදියේ නිවැසියන් ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ද බැර කෙරෙන්නේ සංවර්ධනයේ නාමයටයි. එක්සත් ජාතික පක්ෂයේ දියාරුව ඉදිරියේ (එක්සත් ජාතික පාක්ෂිකයන් ද වන කොළඹ දිළිඳු වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහවත්, සජිත් පේ‍්‍රමදාසවත් ඉදිරියට විත් නැත), රටේ පාලකයන් විසින් වටිනා ඉඩකඩම් ඩැහැගැනීම තවත් තීව‍්‍ර කරනු ඇත. ලාංකික වැසියන්ගෙන් පැහැරගන්නා කෙලකෝටි ගණන් වටිනා මේ ඉඩම් අක්කර හත පවරා දෙන්නේ ඉන්දියානු ටාටා කොම්පැනියටයි.

යාපනේ උතුරු කට්ටුවාන් ප‍්‍රදේශයේ නිවෙස්, හමුදා කඳවුරු ව්‍යාප්ත කිරීම සඳහා කඩා දැමීමට පටන්ගෙන තිබේ. මෙසේ එම ජනතාව තමන්ගේ නිවෙස්වලින් අස්වාමී කිරීම බි‍්‍රගේඩියර් රුවන් වනිගසේකර යුක්ති සහගත කරන්නේ, එම නිවෙස් කඩා දැමීම නීත්‍යානුකුලව කරන බව පෙන්වා දෙමිනි: ‘‘ඒවාට නීතිමය අයිතිකාරයෝ ඉන්න ඇති. ඒත් දැන් ඒවා කඩන්නේ, ඒ ඉඩම් ආණ්ඩුවෙන් අත්පත් කරගැනීමෙන් පස්සෙයි.’’

රාජපක්ෂ රාජ්‍යය, උතුරේ සිට දකුණ දක්වා කරන සෑම කොල්ලයක් සඳහාම අවශ්‍ය කරන නීතිමය රැුකවරණය රාජපක්ෂ-අධිකරණයෙන් සැපයෙනු ඇත. සෑම ජාතියකම, සෑම ආගමකම සාමාන්‍ය ජනතාව, මෙලෝ ආරක්ෂාවක් හෝ පිළිසරණක් නැතිව අසරණ වෙනු ඇත.

විභේදන ආණ්ඩුව

අසාධාරණ හේතු මත වෙනස්කම් කිරීම මූලික රාජපක්ෂ ලක්ෂණයකි. එය, රාජපක්ෂ සහෝදරයන්ගේ දේශපාලනික සහ සමාජාර්ථික ප‍්‍රතිපත්තිවල නිර්ණායක ලක්ෂණයකි. සාමාන්‍ය ලාංකිකයන්ට (තමන්ගේ උදව්කරුවන්ට පවා: උදා, වැලිවේරිය* ‘සිල්ලර දෙවියෙකුගේ දරුවන්ට’ සේ සැළකීම, රාජපක්ෂ පාලනයේ මූලික මාදිලියයි. ‘‘ධනවතාට සහ බලවතාට ගරුසරු වීමට සහ වන්දනාමාන කිරීමට පවා පෙළඹෙන අතරේ, දුප්පතාව සහ නැතිබැරි එකාව හෙළාදැකීමට හෝ අඩු වශයෙන් නොතකා හැරීමට හෝ පෙළඹීම වූ කලී, අපේ සදාචාර සංවේදනයන් දූෂ්‍ය කිරීමේ ප‍්‍රබලතම සහ වඩාත් විශ්වීය හේතුකාරකය වී තිබේ’’ යැයි ඇඩම් ස්මිත් වරක් අනතුරු ඇෙඟව්වේය. පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජපක්ෂ සහෝදරයන් තුළ ඇති ළාමක උද්වේගය හෝ ජේම්ස් පැකර් වැනි සූදු අන්තුවන් කෙරෙහි ඔවුන් දක්වන ගෞරව පක්ෂපාතීත්වයට අනිත් පැත්තෙන්, සාමාන්‍ය ලාංකිකයාගේ දුක්ඛ දෝමනස්ස ගැන ඔවුන් දක්වන අන්ධ අසංවේදී භාවය විසින් පෙන්නුම් කරනු ලබන්නේ, ඉහත කී ඇඩම් ස්මිත් කී පෙන්වා දුන් මනෝ භාවය, රාජපක්ෂ ආණ්ඩුකරණයේ ගී සරණය වී ඇති බවයි.

ආර්ථිකයක් නව-ලිබරල්වාදී හෝ රාජ්‍ය-කේන්ද්‍රීය සමාජවාදී/ධනවාදී හෝ විය හැකිය. එය, රාජ්‍යයේ පාලනයට හෝ වෙළඳපොළ පාලනයට යටත්, එසේ නැතහොත් ඒ දෙකේම මිශ‍්‍රණයකට යටත් විය හැකිය. එහෙත් සංවර්ධනයේ කේන්ද්‍රය මත මානව සුභසිද්ධිය ස්ථානගත නොකෙරෙන්නේ නම් හෝ ආර්ථික උපායමාර්ග සහ උපක‍්‍රම සැලසුම් කිරීමේ දී හෝ ක‍්‍රියාත්මක කිරීමේ දී මිනිස් සුභසිද්ධිය එහි අරටුව කර නොගන්නේ නම්, සංවර්ධනය ජනතාවගෙන් බහුතරයක් අතහැර දැමෙන සහ ඔවුන්ගෙන් වියුක්ත සංසිද්ධියක් වශයෙන් පවතිනු ඇත.

බයිබලයේ උපමාවක් උපුටා දක්වන්නේ නම්, දිළින්දාගේ එකම බැටළු දෙන පොහොසතා විසින් පැහැර ගැනීමත් සංවර්ධනයක් වශයෙන් දකින ආර්ථිකයක් බවට එවැන්නක් පත්වෙනු ඇත. රාජපක්ෂලාගේ මාවත එවැන්නක් නොවේද?

*2013 ඔක්තෝබර් 31 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Children Of A Lesser God ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

2 comments :

Popular Posts

Popular Posts