Open top menu
Tuesday, November 12, 2013

සාහිත්‍ය කලාවට ආශක්තව සිටි අප ඉඳහිට කෙටිකතා කවි ආදිය ලියන්නට යොමුවූයේ ඉබේම වාගේය. ඒ ආකාරයෙන් ලියැවුණ කෙටිකතාවක් ‘ජනතා’ පුවත්පතට යවන ලද්දේ එහි කෙටිකතා පිටුව සකස් කළ සෝමපාල රණතුංග මහතාගෙන් ආධුනිකයන්ට යම් පිටුබලයක් ලැබුණු බැවිනි. නොකඩවා ජනතා පුවත්පත කියවන්නට පුරුදුව සිටි මට, සයිමන් නවගත්තේගම යන නම මුලින්ම දැකගන්නට ලැබුණේ එහි කෙටිකතා පිටුවෙහි පළව තිබියදීය. ගුණසේන සමාගම විසින් ලිහිණි ‍පොතක් ලෙසින් පළකෙරුණු ‘ඔහුගේ කතාව’ කියවන්නට ලැබුණේ ඒ අතරය. නවගත්තේගමගේ නම අමතක නොවන අයුරින් අප සිතෙහි සටහන් වන්නට එම ‍පොත එක් හේතුවක් විය. එවකට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යකුව සිටි ඔහු පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත්වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය.
අප විදුහලෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත්ව ගිය, මගේ මිත්‍රයකුගෙන්, නවගත්තේගම පිළිබඳ තවත් අපූරු පුවතක් අසන්නට ලැබුණි. එනම් අපද දන්නා හඳුනන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක සමග ඇතිකරගත් පෙම් පලහිලව්වක් හේතුවෙන් ඔහු විශ්වවිද්‍යාලයෙන් පලාගිය බවයි. පසුව සුමන ආලෝක බණ්ඩාර විසින් ‘රාවය’ පුවත්පතට ලියන ලද ලිපියකද ඒ පිළිබඳ සඳහන්ව තිබුණි. ඔහු නැවත විශ්වවිද්‍යාල අධ්‍යාපනය පැත්තට යොමුකරවන ලද්දේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ මැදිහත්වීමෙන් පසුව බවද අසන්නට ලැබුණි. තමා සරච්චන්ද්‍ර මහතාට කාන්තාවකට මෙන් පෙම් කළ බව නවගත්තේගම එක් අවස්ථාවක කියා ඇත.
උපාධිධාරී ගුරුවරියක ලෙස කලක් සේවය කළ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සේවයෙන් විශ්‍රාම ලබා, දැන් ගම්පහ ප්‍රදේශයේ අපගේ අසල්වැසි නිවසක පදිංචිව සිටියි.
විශ්වවිද්‍යාලයෙන් පලාගොස් වනගතව සිටි කාලයේදී ‘දඩයක්කාරයාගේ කතාව‘ හා ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ වැනි නවකතා ලියන්නට පදනම්වූ අත්දැකීම්, ඔහු ලබා ගන්නට ඇතැයිද ආලෝක බණ්ඩාරගේ ලිපියේ සඳහන්ව තිබුණි.
සයිමන් නවගත්තේගමගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ කෙටිතා සංග්‍රහය පළවූයේ ඉහතකී සිදුවීමවලින් සෑහෙන කලකට පසුවය. මී නාම්බකු හා මැඩිකෙල්ලක අතර ඇතිවන පෙම්පලහිලව්වක් පදනම් කරගෙන ලියැවුණු ‘සාගර ජලය’ කෙටිකතාව ෆ්‍රාන්ස් කාන්කාගේ අධිසත්තා රීතීයේ ආභාසය ලබා ලියන ලද  අමුතු තාලයේ කතාවකි. සමහරවිට ඔහුගේ පළමු ප්‍රේමයේ අත්දැකීම්ද ඊට පදනම් වන්නට ඇත. සිංහල පාඨකයාට එය නවමු අත්දැකීමක් වූ අතර, පහසුවෙන් විදඟත හැකි නිර්මාණයක්ද විය. එහි ඇතුළත් අනෙකුත් කතා යථාර්ථවාදී රීතිය අනුව ලියැවුණු, ඉහළ මට්ටමක පැවැති කෙටිකතා විය.
දක්ෂ දඩයක්කාරයකු වූ තම පියාගේ සමීප මිත්‍රයකු වූ අලියාවැටුණුවැව ආදායම් පාලක නිලධාරී විමලරත්න කුමාරගම මහතාත්, තම ගුරුවරයකුවූ අවු‍ලේගම සේනාධීර කවියාත්, අම්මා කියා දුන් යසෝදරාවතේ කවිත්, තමා තුළ කවිබස පිළිබඳ කිසියම් හැඟීමක් ඇතිවන්නට බලපෑ බව නවගත්තේගම පවසා ඇත.
‍පොතපතින් හඳුනාගෙන සිටි නවගත්තේගම, ජීවමානව දැකගන්නට මට අවස්ථාව සැලසුණේ ‘සුභ සහ යස’ නාට්‍යය නරඹද්දීය. තමා විසින්ම ලියා
නිෂ්පාදනය කෙරුණු එහි ප්‍රධාන චරිතය උපාලි අත්තනායකගෙන් පසුව රඟපෑවේ ඔහුය. සුගතපාලද සිල්වා ඇතුළු ‘අපේ කට්ටිය’ සමග එක්ව සිටි ඔහු ඊට කලින් ‘විරූපී රූප’ හා ‘සහන් එළිය’ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපා තිබුණි. තවත් එක් නිළියක් සමග ඔහු පමණක් රඟපෑ ‘පුස් ලෝඩං’ විකාර රූපි නාට්‍යයකි.
පසුව ‍පොතක් ලෙස මුද්‍රණය කෙරුණු ‘දඩයක්කාරයගේ කතාව‘ මුලින් පළවුයේ ‘දිවයින’ ඉරිදා සංග්‍රයෙහි කොටස් වශයෙනි. ඇතැම් දවසක එහි අත්පිටපත ගෙනැවිත් දෙන්නට නවගත්තේගම ‘දිවයින’ කාර්යාලයට ආවේය. එසේ පැමිණ විට, තම පුවත්පත් කලාවේදී සඟයන් සමග සතුටු සාමිචියක යෙදීම ඔහුගේ සිරිත විය. වඩාත් සමීපව ඔහු හඳුනා ගැනීමේ අවස්ථාව මට සැලසුණේ එවිටය.
තලාහේනේ ‍පොඩි මැණිකේගේ දරමඩුවේ, ඇගේ සැමියා, දරුවන් පමණක් නොව ඔවුන්ගේ කරත්තයේ බඳින ගොනා හා බල්ලාද සමග එකට වාසය කළ අවදියේ, තමා අනිත් ‘සාහිත්‍යය සමාජවාදය සහ කලා විචාරය’ ලියැවුණු බව තම නිවසේ ටික කලක් නවාතැන් ගෙන සිටි නවගත්තේගම තමා සමග පැවසූ බව මට කීවේ අප හිතවත් මාධ්‍යවේදී මිත්‍රයකු වන ඒ.ඩී. රංජිත් කුමාර මහතායි.
එම ‍පොතද මුලින් පළවූයේ  ‘ඉරිදා ඇත්ත’ පත්‍රයෙහි කොටස් වශයෙනි. එය අතිශය ආන්දෝලනයකට තුඩුදුන් ලිපි පෙළක් විය. එම විචාර ග්‍රන්ථය කලකට පසුව නැවත කියවා බලද්දී මට හැඟී ගියේ, නවගත්තේගමගේ නිර්මාණ කෘතීන් හා එහි එන විචාර මතවාද අතර එතරම් සබඳතාවක් නොමැති බවයි.
එකල නිතර පැවැත්වුණු ‍පොත් දොරට වැඩීමේ උත්සව සාහිත්‍ය සාකච්ඡා හා සම්මන්ත්‍රණ ආදිය නවගත්තේගම දැකගන්නට ලැබුණු තවත් තැනක් විය. පසුපෙළ අසුනක වාඩිවී සිටියද, එහිදී කිසියම් විවාදාපන්න අවස්ථාවක් පැමිණි විට, ඉන් නැගී සිට තම අදහස පළකරන්නට ඔහු පැකිලුණේ නැත. එබඳු එක් අවස්ථාවක, එක් ශ්‍රාවකයෙකු, නවගත්තේගම ලියූ කෙටිකතාවක් පිළිබඳ අදහස් විමසමින්, එම කතාව ඒ ආකාරයට අවසන් කළේ කවර හේතුවක් මතදැයි, විමසා සිටිනු මතකය. එවිට ඔහු කීවේ ඊට හේතුව කුමක් දැයි තමා නොදන්නා බවයි. නවගත්තේගමගේ ලිවීමේ පිළිවෙතේ එක් පැත්තක් තේරුම් ගන්නට එම පිළිතුරෙන් කිසියම් ඉඟියක් ලැබෙතැයි මට සිතේ.
නවගත්තේගම අතින් ලියැවුණු නිර්මාණ කෘතීන් සියල්ල සමස්තයක් හැටියට ගෙන විමසා බලන විට අනාවරණය කරගත හැකි තවත් එක් ලක්ෂණයක් වෙයි. එනම් එහි දක්නට ලැබෙන සංදිග්ධතා ගුණය නැතහොත් බහුස්වරයයි. බහුවිධ අරුත් නගන, බහුමානික ගුණය හැටියටද එය හැඳින්විය හැකිය.
‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ සම්බන්ධයෙන් මතෛක් පළව ඇති විචාර සමස්තය සලකා බලන විට එය පැහැදිලිව වටහාගත හැකිය. ඒ ආකාරයෙන් විවරණයට ලක්වුණු වෙනත් නිර්මාණයක් නොමැති තරම්ය. තම විචාර ප්‍රතිභාවට අමතරව, කාල් මාක්ස්, සිග්මන් ‍ප්‍රොයිඩ් හා කල් යුංග් වැනි වියතුන්ගේ ‍පොතපත කියවා, බහුශ්‍රැත භාවයට පත් විචාරකයන් ඒ සම්බන්ධයෙන් ලියූ විචාර බොහෝ වෙයි. කෘතිය තුළ දිගට හරහට, ඉහළට පහළට පිහිනා කිමිද ඔවුහු විවිධ අරුත් මතුකොට දක්වති.
එබඳු විචාරවලට අනුව පන්ති ප්‍රතිවිරෝධතා, පවුල, ස්ත්‍රීපුරුෂ සබඳතාවන්ගේ ප්‍රතිවිරෝධතා, ශිෂ්ටාචාරයේ වර්ධනය ආදිය එහි අන්තර්ගතව ඇත. භික්ෂුන් වහන්සේ හා දඩයක්කාරයා තුළින්, කායික හා මානසික ශ්‍රමය අතර පරාරෝපණය ගෙන හැර දක්වයි. නිෂ්පාදන හා ප්‍රතිනිෂ්පාදන ක්‍රියාදාමයත් ධ්‍යානඵල අතරත් ධ්‍රැවීකරණය සංකේතාත්මකව නිරූපණයකොට දක්වයි. ඒ අතර න්‍යෂ්ටික පවුල පිළිබඳ කෙරෙන විචාරාත්මක විවරණයක්ද ඔවුහු එහි දකිති.
ජාක් ඩෙරීඩා, රෝලන්ඩ් බාත්, නීට්ෂේ හා හයිඩෙගර් හැදෑරු පශ්චාත් නූතනවාදී විචාරකයෝ ඊට වඩා වෙනස් තවත් අරුත් එහි දකිති.
මේ එකම ‍පොතපත කියැවූ විචාරකයන් අතරද, එකම වටහා ගැනීමක් දක්නට නොලැබිම තවත් විශේෂත්වයකි. දඩයක්කාරයා පිළිබඳ ඔවුන්ගේ විවරණයන් බොහෝ විට එකිනෙකට වෙනස්ය.
එතරම් ගැඹුරු නැති, සරල සාමාන්‍ය සමාජ විඥානයක උරුමක්කාරයන් වන අප වැන්නෝ එහි එතරම් සංකීර්ණත්වයක් දැක ගන්නට අ‍පොහොසත් වෙති. දඩයක්කාරයා නම් වන සුවිශේෂී
චරිතයෙන් නියෝජනය වන සමස්ත ‍පොදු ජනතාවගේ ජීවන අරගලය කලාත්මක අයුරින් මූර්තිමත් කොට දක්වන නිර්මාණයක් හැටියට ඔවුහු එය තේරුම් ගනිති. ආගමික සබඳතා, ලිංගික ගැටලු, ආශාවන් සන්තර්පණය කරගැනීම පිණිස දරන ප්‍රයත්නයන් එමගින් ප්‍රකාශයට පත්ව තිබෙන අයුරු ඔවුහු දකිති.
“සංසාරණ්‍යය අසබඩ’ නවකතාව සම්බන්ධයෙන්ද එබඳු විවිධ විවරණ පළව ඇත. එහි එන ආගන්තුකයා මගින් කිසියම් පිටස්තරයෙකු නියෝජනය වන බව කෙනෙකු පෙන්වා දෙන අතර, තවත් කෙනෙකුගේ විවරණය වන්නේ එමගින් නියෝජනය වන්නේ මෙරට මාක්ස්වාදී ව්‍යාපාරය බවයි. අර්ජුන කුමාරයාගේ කතන්දරේ වැඩිහිටි පාඨකයාත් එක් ආකාරයට වටහාගන්නා අතර, බාලවයස්කාර පාඨකයෝ වෙනස් ආකාරයකට වටහා ගනිති.
සාමාන්‍යයෙන්, කලාකෘතියක මෙම බහුමානික ගුණය, එහි සාර්ථකත්වය මනින එක් නිර්ණායකයක් හැටියට සැලකෙයි. එය එසේ වන්නේ නවකතාවේ හෝ කෙටිකතාවේ හෝ සමස්තාර්ථය විමර්ශනය කිරීම මගින් එබඳු අරුත් මතුකර ගන්නේ නම් පමණි. නිර්මාණයේ වාක්‍යයක් දෙකක් නැතිනම් එක් ජේදයක් අල්ලාගෙන, විචාරකයාගේ ඔළුවේ තිබෙන විවිධාකාර සංකල්ප, කලාකෘතිය මත පැටවීම, එතරම් සාර්ථක විවරණ විදියක් හැටියට සලකන්නට නොපුළුවන.
නිර්මාණ කාර්යයේදී, කතුවරයාගේ මතවාද, බලහත්කාරයෙන් කෘතීන් තුළට ඇතුළු කිරීම, අනර්ථයක් වන්නා සේම, විචාරයේදී, පිටතින් ගෙන ආ මතවාද ඒ මත පැටවීමද අනර්ථකාරී වෙයි.
කිසියම් කලා නිර්මාණයක් කියවීමේදී, නිරායාසයෙන් මතුව එන අරුත් පිළිබඳ විමසිලිමත් නොවී, සීමාව ඉක්මවා අරුත් සොයන්නට දරන වෑයම, එමගින් සන්නිවේදනය වන වින්දනය විඳගන්නට මහත් බාධාවක් වන බව මගේ වැටහීමයි. එක් පැත්තකින් එම විචාර විදිය කලා නිර්මාණය දාර්ශනික නිබන්ධනයක් කරගැනීමකි. නැතිනම් හරස්පද ප්‍රහේලිකාවක් කරගැනීමකි. නිර්මාණයකින් ලබන වින්දනය මලක සුවඳ මෙන් ඉබේටම මෙන් විඳගත යුත්තක් හැටියට හඳුන්වා දී තිබෙන්නේ එබැවිනි.
අර්ථවත් සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් ගත්විට එබඳු විචාර සැලකිය හැක්කේ ඊට එක්කෙරෙන අලංකාරයක් නැතහොත් භූෂණයක් හැටියට නොව
දූෂණයක් හැටියටයි.

පියනන්ද මල්දෙණිය
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts