Open top menu
Friday, November 15, 2013

චැනල් 4 නාලිකාවේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ කැලන් මැක්රේ ඇතුළු ඔහුගේ පිරිසට 13 වැනිදා අනුරාධපුරයෙන් එහාට යන්න දුන්නේ නෑ. ඔවුන් ගියේ කෝච්චියෙන්. කෝච්චියෙන් මේ පිරිස යන බව දැන ගෙන සිටියේ පොලිසිය විතරයි. ඒත් ඒ රහස ‘ලීක්’ වුණා. කෝච්චියට අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ඉදිරියට යන්න මිනිස්සු දුන්නේ නෑ. බෝඩ් අරගෙන, කෑකෝ ගසමින් විශාල පිරිසක් ‘මැක්රේ ආපහු පලයං’ කියමින් මහා විරෝධයක් කළා. මැක්රේ එයාගේ පිරිසත් අර‍ගෙන පොලිස් ආරක්ෂාව මැද්දේ ආයෙත් කොළඹ ආවා.



ඉන්දියාවට ඇතුළු වෙන්න අවසර නොලැබුණු කැලම් මැක්රේට ලංකාවට එන්න කියලා වීසා දුන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා එහෙම කළේ කැලම් මැක්රේට රටේ ඕනෑම තැනක ගිහිල්ලා ඇස් දෙකින් ඇත්ත දැකලා වාර්තා චිත්‍රපට හදන්නයි. එහෙම කිව්වේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා. තමන්ගේ ගෙදරට එන්න කියලා ආරාධනා කරලා මේ විදිහට එයාව පාච්චල් නොකර වීසා නොදී හිටිය නම් තමයි හොඳ කියලා මට නම් හිතෙන්නේ.
ආණ්ඩුව තොරතෝංචියක් නැතිව මේ දවස්වල කියන්නේ කිසිම කෙනෙක්ට උද්ඝෝෂණ, පිකටිං කරන්න බැහැ කියලයි. ඒ රාජ්‍ය නායකයෝ, ප්‍රභූන් රට පුරා ගමන් කරන නිසා. කොළඹ විශ්ව විද්‍යාල වහලා දැම්මා. වික්‍රමබාහුගේ ඉටිපන්දම් පෙළපාලියටත් වාරණය දැම්මා. එහෙම නම් කොහොමද මැක්රේ ලංකාවට අඩිය තියද්දී කටුනායක ගුවන්තොටුපොළට මැක්රේ විරෝධියෝ එකතු වුණේ. අනුරාධපුරේට එකතු වුණේ කොහොමද? මේවා ඇත්තටම ‘ජාති හිතෛෂි’ කැලම් මැක්රේ විරෝධීන්ගේ වැඩද? එහෙමත් නැත්නම් ගෙදරට එන්න කියලා ආරාධනා කරලා ආණ්ඩුවේ එකමුතුවෙන් දෙන ‘සම්බුද?’
කැලම් මැක්රේගේ වැඩ පිළිවෙල මමත් පුද්ගලිකව අනුමත කරන්නේ නෑ. හැබැයි එයා විද්‍යුත් ජනමාධ්‍යවේදියෙක්. එයා කරන්නේ රාජකාරියක්. අනික මැක්රේගේ රස්සාව චිත්‍රපටි හදන එක. ඒ සඳහා එයාට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවෙන් පඩියක් ගෙවනවා. ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානයේ පැවැති යුද ගැටුම්වලදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන වාර්තා චිත්‍රපට මොහු නිපදවා තිබෙනවා.අනික ඒවා චිත්‍රපටි. එහෙම කළැයි කියලා එයාට ඒ රටවලින් විරෝධයක් නැගුනා කියලා මට නම් ඇහිලා නෑ. අපේ රටේ යුද්දේ ගැන පසුවිපරම වැඩක් නැත්නම් මේ වගේ මාධ්‍යකරුවන්ට රටට ඇතුළු වෙන්න වීසා දෙන්නේ මොන කෙහෙල්මලකටද? චෝගම් සමුළුවේ ගෞරවය බේරා ගන්නට ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ට වීසා දීලා ඔවුන්ට මේ රටේදී කෙනෙහිළිකම් කිරීම සිංහලකමට නිගාවක්. සිංහ කොඩියේ ඉන්න සිංහයාවත් පචකර දැමීමක්.
ආණ්ඩුව කල්පනා කරන විදිහට බැලුවොත් අපේ රටේ අශෝක හඳගමලා, සත්‍යජිත් මාඉටිපේ, විමුක්ති ජයසුන්දරලා, ප්‍රසන්න විතානගේලා, සංජීව පුෂ්පකුමාරලා ඉන්න ඕනේ එලියේ නෙමෙයි,ඇතුලේ. ඒ කියන්නේ හිරේ. ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනෑ චිත්‍රපටයි මොවුන් කරලා තියෙන්නේ.

කැලම් මැක්රේ ජනමාධ්‍යවේදියෙක් වගේම නිර්මාණකරුවෙක්. ඔහුගේ පිටපත සහ කැමරාව හැසිරවීම ගැන සමහරුන්ට ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ මැක්රේ එළිපත්තට කැඳවා පොල්පිත්තෙන් නොවන බවයි මගේ අදහස.

ඒ වගේම කැලම් මැක්රේගේ වාර්තා චිත්‍රපටවලින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය කෙළෙසෙන බව සමහරු කියනවා. ඒක ඇත්ත. නමුත් එහෙම වෙන්නේ ජාත්‍යන්තරයේ සිටින කොටි බලවේග එම වාර්තා චිත්‍රපටවලින් අසීමිත ප්‍රසිද්ධියක් සහ ප්‍රයෝජනයක් ලබා ගන්නා නිසයි.නැති ප්‍රසිද්ධියක් මැක්රේට දීලා මැක්රේ ‘චරිතයක්’ කරන්න මේ අය දඟලපු දැඟලිල්ල ගැන මට දුකයි.

එතෙර කොටි බලවේගය පාලනය කරන්න අපිට බැහැ. ඒකයි ඇත්ත. ඒ නිසයි රටට අතිශය වැදගත් ජාත්‍යන්තර සමුළුවකදී කැලන් මැක්රේට ‘හූ’ කියන්නේ. ඒක හරියට ‘කුඹුරේ ගොයම් කෑවාම ගෙදර තියෙන මුව හමට තඩිබානවා’ වගේ ප්‍රයෝජනයක් නැති වැඩක්. මෙම සමුළුවේ ජනප්‍රියම පුද්ගලයා කවුද කියා S.M.S තරගයක් තිබිබොත් ඒ කැලම් මැක්රේ බවයි මගේ අදහස.
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. අද වෙනවිට ප්‍රවෘත්ති කියන්නෙ නිර්මාණයක් ඒක සත්‍යම නෙමෙයි. ඉතිං මැක්රේ දෙමල ජනයාගේ පැත්තට ෆිල්ම් හදනවා නම් ඇයි ලංකාවෙ අයට බැරි අනික් පැත්තට ෆිල්ම් හදන්න..යූ ටියුබ් සැනල් එකක් ටුවිටර එකවුන්ට් එකක් සල්ලි දී ල අරගෙන ආන්ඩුවෙ මාද්‍යත් දායක කරගෙන ජත්‍යන්තර මට්ටමේ ඒ වගේ නිර්මාණ කරන්න ශක්තිය සහ ඒ නිර්මාණ ජාත්‍යන්තරය ට ගෙනියන වගකීම අපි ට තිබෙනවා. නමුත් අපි හැමවිටම අනෙකාට පහර දීලා හැමදේම ගෝත්‍රිකව විසදගන්න හදනවා විනා වතුර ට බැහැලා පිනන්න උත්සාහ කරන් නැහැ..

    ReplyDelete

Popular Posts

Popular Posts