Open top menu
Saturday, November 2, 2013

ටිරන් කුමාර බංගගමආරච්චි -

උතුරු ඡන්දයෙන් පසු දෙමළ ජාතික සන්ධානයට මොකද වුණේ?

අපි හොඳ හීනයක් දැක්කා. ඒත් පේන්න ගත්තේ වෙනදා දකින හීනයම තමයි. අපි දන්නවා දකුණේ ඔක්කොම දේශපාලනය කරන්නේ බලය සහ තානාන්තරවලට කෑදරකමින්. ඒක ආණ්ඩු පක්ෂයටත් පොදුයි. විපක්ෂයටත් පොදුයි. හැබැයි මොකක්දෝ පුංචි විශ්වාසයක් අපි හදාගෙන හිටියා උතුර එහෙම වෙන එකක් නැහැ කියලා. හැබැයි ඒ බොරු පරමාදර්ශයක්. ඒ අයත් අපේ අයගේත් වෙනසක් නැහැ. දෙගොල්ලෝම එකයි. බලයට ඇති ආශාව, කෑදරකම එකම විදිහයි.



ජනතාව ගැන මොකද හිතන්නේ?

දුර බලන්නේ නැති ළඟම බලන පිරිසක් කියලා හිතෙනවා. සතියක, දෙකක, මාසෙක, දෙකක නඩත්තුවකට අවුරුදු ගණනකට ජීවිතය උකස් තියන පිරිසක් කියලා හිතෙනවා. ඒකෙන් දුක් විඳින පිරිසක් කියලා හිතෙනවා. ගමේ මිනිහා ගැන හොඳටම දන්නේ ඒ ගමේ ජනතාවනේ. කොච්චර දැන ගත්තත් තෝරගන්නේ වැරදි මිනිහනේ. තවමත් නිවැරදි දේ දැන දැන වුණත් තෝරාගන්නේ නැති ජනතාවක් මේ රටේ ඉන්නවා කියල හිතෙනවා.

ශිෂ්‍යත්ව විභාගය විකාරයක් වෙලා නේද?

විකාරයක් බවට පත් කරලා. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ මූලික අරමුණ දරුවාගේ බුද්ධි මට්ටම උරගා බැලීම කියනවනේ. ඒ හරහා අධ්‍යාපනයෙන් පිම්මක් පැන්නවීමනේ. මම අහන්නේ අපි එකේ පන්තියේ ඉඳලා මාස තුනකට සැරයක් විභාග පවත්වමින් කරන්නේ ළමයාගේ මට්ටම හඳුනාගැනීම නෙමෙයිද? එතකොට ළමයි පීඩනයක් නැතිව ඒකට මුහුණ දෙනවනේ. ඒත් පහේ පන්තියේදී ළමයත් එක්ක මව්පියනුත් විභාගය ලියනවා. එතනදී ළමයා පීඩනයෙන් පිපිරිලා යනවා. ඇයි පාස් වුණොත් මව්පියෝත් පාස්. ෆේල් වුණොත් මව්පියෝත් ෆේල්. අවුරුදු දහයක ළමයි ටිකක් එක්ක කරන මේ සෙල්ලම හරිම නරකයි. අවුරුදු 13න් පහළ ක‍්‍රීඩා නතර කරන මේ ආණ්ඩුව අවුරුදු දහයක ළමයි ටිකක් අල්ලගෙන ඊට වඩා බරපතළ සෙල්ලමක් කරනවා.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීම හොඳද? නරකද?

පැවැත්වීම හොඳයි. ඒක පවත්වලා ඉවර වුණාම නරක වෙන එකයි අවුල. මේක ලොකු ෂෝ එකක්. කරලා ඉවර වෙනකොට බඩු මිල අහස උසට යවයි. අත්‍යවශ්‍ය හැමදේකම මිල ඉහළ යයි. එතකොට තැලෙන්නේ කවුද? මේ ජනතාවමයි. යුද්ධයෙන් පසු මේ රට පිළිබඳ ජාත්‍යන්තරය තුළ තියෙන්නේ නරක චිත‍්‍රයක්. අපි කොච්චර නැහැ කිව්වත් අපි දන්නවනේ මේ රටේ වෙච්ච දේවල්. ඒ තත්ත්වය වෙනස් කරගනීද? ෂෝ එකෙන්ම ප‍්‍රශ්නය ඉතිිරි කරයිද කියලායි තියෙන අවුල.

ශීඝ‍්‍ර සංවර්ධනය ගැන තෘප්තිමත්ද?

මම විශ්වාස කරන සංවර්ධනය තමයි මිනිස්සුන්ගේ සංවර්ධනය. අධිවේගී පාරවල් හැදෙන එක හොඳයි. පාරවල් කාපට් වෙන එක හොඳයි. හැබැයි මිනිස්සු සංවර්ධනය වෙන්නෙ නැත්නම් වැඩක් නැහැ. පාරවල්, වරායවල්, ගුවන්තොටුපොළවල් හරහා ටික දෙනෙක් සංවර්ධනය වෙනවා නම් ඇති වැඩක් නැහැ. ඒවා හැදුණු පළියට රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙන්න නම් රටේ මිනිස්සු සංවර්ධනය වෙන්න ඕනෑ. එහෙම නැහැනේ.

කුඩු නැති කරන්න බැරි ඇයි?

අපි ඇත්ත තේරුම් ගන්න ඕනෑ. ලංකාවේ ඕනෑම නරකක් දලූලා වැඩෙන්නේ දේශපාලකයෝ හින්දනේ. කුඩුවලටත් ඒක පොදුයි. දේශපාලන නායකත්වයන් හරහා වන නිසා ඒවා නවත්වන්න බැහැ. උදාහරණයකට ගන්න සෞඛ්‍ය ඇමති. සෞඛ්‍ය ඇමති කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයිනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්. ඒත් ඔහු සිගරැුට් පෙට්ටියේ රූප සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් එක තුළ ජයගන්න ඔහුට බැරි වුණානේ. සිගරැුට් එක සම්බන්ධයෙන් නම්ම ගන්න බැරි කැබිනට් එකේ කට්ටිය කුඩු නවත්වන්න අත උස්සයිද? එහෙම පසුබිමක කුඩු නවත්වන කතා බොරු කතා. ලිංගික අල්ලස් ගැනීම ප‍්‍රසිද්ධ පුවතක්.

මේක අලූත් දෙයක් නෙමෙයි. අපේ සංස්කෘතිය ඇතුළේ ඇත්තටම මේවා එළිිපිට කියලා අත්විඳින්න වන පීඩනය, අවමානයට වඩා ඒවා රහසිගතව තබාගන්න එක හොඳයි කියන්න පසුබිමක් තිබුණා. ඒ නිසා මේ දේවල් එළියට ආවේ නැහැ. අද මේ දේවල්වලට එරෙහි වන පිරිසක් එළියට ඇවිත් කතා කරනවා. ඒක හොඳ ලක්ෂණයක්.

තාරුණ්‍යය ගැන අදහස?

අද තාරුණ්‍යයක් තියෙනවාද? ඕක තමයි මට තියෙන ලොකුම ප‍්‍රශ්නය. අපේ රටේ සාරධර්ම මේ වන විට අන්තයටම පිරිහිලා. අද තරුණයා මුදල මතම යැපෙන භාණ්ඩයක් වෙලා. මගේ තාත්තා මට කියපු දෙයක් තමයි හම්බ කරන ගාණෙන් ජීවත්වෙන්න ඉගෙන ගන්න කියලා. ඒත් අද හම්බ කිරීම විතරයි. ජීවිතයක් නැහැ. අද තාරුණ්‍යය ජීවිතය හෝ තාරුණ්‍යය හොයන පිරිසක් නෙමෙයි මුදල් හොයන පිරිසක්. ඒ නිසාම දේශපාලනය තුළ පාවිච්චි වන පිරිසක් බවට පත්වෙලා.

ක‍්‍රීඩාව

මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා ක‍්‍රීඩාව අන්තයටම පිරිහුණා. පහළටම වැටුණා. ඒකට ප‍්‍රධානතම හේතුව ක‍්‍රීඩාව තුළ මේ අයගේ දේශපාලනය ක‍්‍රියාත්මක කිරීමයි. ඒ හරහා නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්වීම. ඒ වගේම ක‍්‍රීඩකයනුත් මේකට වගකියන්න ඕනෑ. කිසි දවසක නොවුණු විදිහට අද ක‍්‍රීඩකයෝ තනතුරු තියාගන්නේත් දේශපාලකයෝ පාවිච්චි කරලා. ඒකේ නරක විපාක තමයි අපි පසුගිය කාලේ දැක්කේ. උඹට මම උදව් වුණා නම් මට උඹත් උදව් කරපං න්‍යායට ගිහින් තමයි දේශපාලකයන් සතුටු කරන්න ක‍්‍රීඩකයෝ මැතිවරණ වේදිකාවල නැග්ගේ. අද දේශපාලනය කරන ගමන් ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩාත් කරනවා. මේවා නිසා අපි ලැජ්ජ වෙන්නේ මෙහේ විතරක් නෙමෙයි, ලෝකයේම ලැජ්ජා වෙනවා. අපි අමුතු ජාතියක් කියලා.

මාධ්‍ය භාවිතය

මම ටෙලිවිෂන් නාලිකාවල ප‍්‍රවෘත්ති බලනවා. ඒ බලනකොට පුදුම පිළිකුළක් ඇතිවෙනවා. අද ප‍්‍රවෘත්තිවත් පවුලේ සියල්ලට එකට ඉඳලා බලන්න බැරි තරම්. ඒවා දුවන්නේ දේශපාලකයන් කියන කුණුහරුප, වාචාල කතා, මෝඩකතාවලින්. කිසිම දේශපාලන දැනුමක් නැති මිනිස්සු කියන කුණුහරුප කතාවලට තමයි අද තැන තියෙන්නේ. හොඳ රටට වැදගත් දෙයක් කියන අයගේ කතා ටීවීවල නැහැ. කිසිම සුදුසුකමක් නැතිව දේශපාලනය කරන අයගේ පල්කතා ටීවීවල යනවා. එතකොට හිතෙන්නේ ලංකාවේ ඔක්කොම දේශපාලකයෝ මේ වගේ විහිළුකාරයෝද කියලායි. පාර්ලිමේන්තුවේ ඉතා බරසාර කතා යනවා. ඒත් පෙන්නන්නේ විෂයට අදාළම නැති, කුණුහරුපයක් හරි විහිළුවක් හරි. මේවාද මාධ්‍ය? මාධ්‍ය තමයි මේ නරක ප‍්‍රවාහය හදන්නේ. මේ අය මේවා නොදැම්මා නම් මේ මිනිස්සු මේවා කියන එක නතර වෙනවා. එතකොට වැදගත් කතාවලට ඉඩක් හැදෙනවා. මම කියන්නේ දේශපාලනය නරක තරමටම මාධ්‍යයත් නරකයි.

ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. I totally agree with his comments. But unfortunately there is no proper leadership to eliminate or correct those for the betterment of people. Anyone can talk but only politicians can change it.

    ReplyDelete

Popular Posts

Popular Posts