Header Ads

උපසභාපතිගේ දත් ගලවන බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපති

පසුගිය කාලය දෙස බලන විට මෙය අලුත් කතාවක්‌ නොවේ. නමුත් රටේ අනාගතය මේ හා ගැලපීමේදී නම් මෙය කරුම කතාවකි. දිනෙන් දින ජරා ජීර්ණව නරා වළට යන මේ රටේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හැසිරීම දැන් ඒ ගමන වේගවත් කර ඇති බව අප කියන්නේ අත්දැකීමෙනි. ඒ වේගවත් වීමේ තරම පෙනෙන්නෙ එකම පක්‍ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඇනකොටා ගැනිල්ල දෙස පසෙකට වී බලාසිටියදීයි.

එහි අලුත්ම කතාව ඇසෙන්නෙ බෙන්තර ගඟ පැන්න විටම දිස්‌වන බෙන්තර ප්‍රාදේශීය සභාවෙනි. කතාවේ හැටියට මෙහි කේන්ද්‍රීය ප්‍රධාන චරිත එකක්‌ නොව දෙකක්‌ම තිබේ. බෙන්තර ප්‍රාදේශීය සභාවට විවිධ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන දෙනෝදාහක්‌ පිරිස මැද මේ චරිත දෙකට ජීවය දෙන්නෙ වෙනත් කවරකු ද නොව බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයායි.

මුල්ම පරිච්ඡේදයට අනුව මේ ප්‍රා. සභාවේ උප සභාපති රංජිත් ශ්‍රීලාල් වික්‍රමසිංහ, ප්‍රා. සභාවේ කාර්යමණ්‌ඩලයේ කිහිපදෙනකුට තෙල බෙදමින් හිඳී. සුද්ද සිංහල බසින් ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව කරගෙන යමින් පැවති එම වැඩේ මැද්දට මේ කතාවේ අනෙක්‌ චරිතය වන බෙන්තර ප්‍රා. සභාවේ සභාපති ගයාන් සිරිමාන්න මහතා හිටි හැටියේ කඩාපාත්වේ. ඒ තමන්ගෙ මිනිස්‌සුන්ට උප සභාපති රංජිත් වික්‍රමසිංහ බැණවැදීම පිළිබඳ විරෝධයක්‌ පළකරමිනි. වචනයෙන් දෙකෙන් පටන්ගත් එම බහින්බස්‌වීම අනතුරුව බයිස්‌කෝප් ජවනිකාවක්‌ මෙන් ගුටි කෙළියක්‌ බවට පත්වන්නේ මේ දෙදෙනාටම ඡන්දය දුන් අපේ බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක්‌ද බලා සිටියදීය.

මේ ගුටි කෙළියෙන් පසු එතෙක්‌ මේ ප්‍රාදේශීය දේශපාලකයන් දෙදෙනා තමන්ගෙ ඡන්දදායකයන්ගෙන්ද රටේ අනෙකුත් පුරවැසියන්ගෙන්ද වසන්කරගෙන සිටි විශේෂ කරුණක්‌ හෙළිදරව් වන්නේය. ඒ මේ දෙදෙනා වෙන් වෙන්ව තමන් දක්‍ෂ දත් දොස්‌තරවරයකු ද හොඳ මල්ලවපොර ක්‍රීඩකයකු ද වන බවය.

නමුත් පසුදා පුවත්පත්වල මේ අලුත් දත් දොස්‌තරගෙ දත් ගැලවීමේ විශේෂඥකම මුළු රටටම නොරහසක්‌ බවට පත්වන්නේ ඔහුගේ ප්‍රතිමල්ලවයාගේ මල්ලවපොර හැකියාවට ද ප්‍රමාණවත් කීර්තියක්‌ ලැබෙමිනි.

ඊට පසු කිසිදු හිරිකිතයකින් තොරව මේ දෙදෙනාම මෙවැනි සිදුවීමක්‌ වූ පසු සාමාන්‍යයෙන් සිදුවන ලෙසට මාධ්‍යයට මෙසේ ඉතා ශීලාචාර ප්‍රකාශ ලබාදෙන්නෙ මල්වට්‌ටි රැගෙන පන්සල් යන පුෂ්පකුමාරලාගේ ස්‌වරූපයෙනි. "ඒ වෙලාව උදැසන 10.15 ට විතර ඇති. මම හිටියෙ සභාවෙ මුදල් කමිටු රැස්‌වීමේ. එහෙම ඉන්නකොට තමයි මගේ මිනිස්‌සුන්ට බණින්නෙ ඇයි කියාගෙන ආව සභාපතිවරයා මට පහර දුන්නෙ. ඒ ගහපු පාරට මගෙ දතක්‌ ගැලවිලා ගියා. තවත් දතකට තුවාලයි. මේ පහරදීම නිසා මගේ ඇඟපතත් රිදෙනවා. ඒ නිසා මම බෙන්තර පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ දාලා බෙත්තර රෝහලට ඇතුළත් වුණා. මේ වෙන මොනවත් නිසා නොවෙයි. මගේ ප්‍රදේශයේ වීථි පහන් අලුත්වැඩියා කරන්නෙ නැති නිසා. මම මේ ගැන දිගින් දිගටම කතා කරල කිව්වහම එතන ඉන්න සභාපතිවරයාගෙ හෙන්චයියෙක්‌ ඒ වැඩවලට බාධා කරනවා. මේ පුද්ගලයා තාවකාලික කම්කරුවෙක්‌. දැන් ඔහුට සුපර්වයිසර් තනතුරකුත් දීලා. එහෙම නින්දිත වැඩ තමයි සභාපතිවරයා කරන්නෙ. තමන්ගෙ අතේ කිසිදු වරදක්‌ නැති ආකාරයෙන් එසේ ප්‍රකාශ කර තිබුණේ දතක්‌ ගැලවෙන්නට පහර කෑමට ලක්‌වූ උප සභාපති රංජිත් වික්‍රමසිංහය. ඊට පිළිතුරු බැඳ තිබූ සභාපති ගයාන් සිරිමාන්නද එයට නොදෙවෙනි ප්‍රකාශයක්‌ කර තිබුණේය. "ඔය කියන විදියෙ කිසිදු පහරදීමක්‌ වුණෙත් නෑ. බහින්බස්‌ වීමක්‌ නම් වුණා. උප සභාපතිවරයා සභාවේ සේවකයකුට පරුෂ වචනයෙන් බැණ තියනවා. මම කිව්වා සභාවෙ සේවකයන්ට ඔහොම කතා කරන්න එපා කියල. ඒ අයටත් ආත්ම ගරුත්වයක්‌ තියනවනෙ. එහෙම කියනකොට උප සභාපතිවරයා ආවේගශීලී වුණා. මට නින්දිත අයුරින් බැන්නා. මම එහෙම බනින්න එපා කිව්වා. එතකොට සභාවෙ සීල් ගහන උපකරණයෙන් ඔහු මට පහර දුන්නා. ඒක වළකන්න මම ආත්මාරක්‍ෂක විධියක්‌ ක්‍රියා කළා. එතැනදි උප සභාපතිවරයා ඇදවැටුණා. සේවකයන් තමයි මැදිහත්වෙලා බේරුවෙ. දැන් මමත් ඉන්නෙ බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින්. බෙන්තොට පොලිසියටත් මේ ගැන මම පැමිණිලි කළා."

මේ ප්‍රකාශ දෙක කිරා මැන බැලීමේදී බළලා මල්ලෙන් එළියට පැන ඇති බව සිතාගැනීමට අසීරු නැත. කවුරු වෙතත් කුමක්‌ වෙතත් මේ නරි නාඩගම් නටන්නේ රටේ ඉදිරි අනාගතය බාරගැනීමට මුල් අඩිය තියා ඇති පුද්ගලයන්ය. එවැනි පුද්ගලයන් ගමේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයෙන් පිළිතුරු සොයනවා වෙනුවට අතපය දිගහැර පිළිතුරු සොයන්නට යන්නේ නම් අනාගතයේදී රටේ ප්‍රශ්නවලට කෙසේ විසඳුම් සොයාවි දැයි දන්නේ දෙවියෝ පමණය. නොමැතිනම් එවැන්නන් ඒ තැන්වලට ඔසවා තබන පිරිසය.

රකිදු

No comments

Powered by Blogger.