Header Ads

ගයනි සහ බ්‍රිගේඩියර්

ගයනි විශාඛා මිය ගොසිනි. ඇය මිය යන්නේ කොට්‌ටාව බොරැල්ල බස්‌ මාර්ගයේ කහ ඉරක්‌ මතින් ගමන් කරමින් සිටියදී අධිවේගයෙන් පැමිණි කැබ් රියක හැපීමෙනි. කැබ් රිය පදවන ලද්දේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනෙකි. පැයට කි. මී. 80 ක වේගයෙන් පන්නිපිටිය වැනි ප්‍රදේශයක රියක්‌ පැදවූ මේ බූරුවා යුද්ධයේදී කවරනම් විකාර කරන්නට ඇද්ද? මේ බ්‍රිගේඩියර් පිළිබඳව සඳහන් කිරීමේදී "ශ්‍රී ලංකා යුද හමුදාවේ" යන වචන දෙක වුවමනාවෙන්ම අත්හැරීමට අපි තීරණය කළෙමු. මන්ද මෙවැනි මිනීමරු ගොනුන් යුද හමුදාවටද අපහාසයක්‌ බැවිනි. බ්‍රිගේඩියර් සිය ඩබල් කැබ් එක පදවාගෙන ගිය ආකාරය ඇසින්ම දුටු අය සිටිති. මේ සියලු දෙනා එකතුවී මේකා හිරේ යෑවීමට සාක්‌ෂි දිය යුතුය. විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනකු යනු කල් ඉකුත්වූ භාණ්‌ඩයකි. එහෙත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක යනු ජීවිතය පටන් ගත් තැනම සිටින පුංචි මල් පැළයකි.

අනතුරින් බරපතළ තුවාල ලද ගයනි විශාඛාගේ මොළය මියගිය බවත් ඒ අනුව ඇගේ සිරුරේ අවයව පරිත්‍යාග කිරීමට ඇගේ දෙමාපියන් එකඟ වූ බවත්, මාධ්‍ය මගින් හෙළි කරනු ලැබීය. බෝසතාණන් වහන්සේ සිය සංසාර ගමනේ අවස්‌ථා කිහිපයකදී ඇඟ මස්‌ දන් දුන්නේය. සස ජාතකය එයින් එක්‌ අවස්‌ථාවකි. කෙනකුගේ යහ සාධනය වෙනුවෙන් ශරීර අවයව පරිත්‍යාග කිරීම පටන් ගත්තේ පසුගිය ශතවර්ෂයේදී වෛද්‍ය ශාස්‌ත්‍රය වඩාත් විධිමත් වීමෙන් පසුය. එතැන් සිට වකුගඩු, ඇස්‌ දක්‌වා කොටස්‌ ඇතුළු පටක බද්ධය ක්‍රියාත්මක විය. එහෙත් කෙනකු වකුගඩුවක්‌ හෝ අක්‌මා කොටසක්‌ දන් දුන්නේ ඉතාම කලාතුරකිනි. ඒ සඳහා බොහෝවිට මුදල් අයකරන ලදී. වකුගඩුවක්‌ ලබා ගැනීම සඳහා පත්තරවල පළවන දැන්වීම් මගින්ම එය පසුපස තිබෙන මූල්‍ය අරමුණ තහවුරු වෙයි. දැන්වීම්කරුවා කියන්නේ නොමිලයේ පරිත්‍යාග කෙරෙන වකුගඩුව සඳහා සැළකියයුතු උපකාරයක්‌ කිරීමට තමා සූදානම් බවය. කුමක්‌ද මේ ත්‍යාගය? මුදල්ය. සාමාන්‍ය වෙළෙඳපොළේ වකුගඩුවක මිල රුපියල් හත් ලක්‍ෂයේ සිට දස ලක්‌ෂය දක්‌වා පරාසයක පවතී. ලේ බෝතලයක්‌ පවා රුපියල් පනස්‌ දහසකට අලෙවි කරනු ලැබේ. අක්‌මා කොටසක්‌ රුපියල් දස ලක්‍ෂයකි.

මේ වෙළෙඳ ආර්ථිකය තුළ සිය දියණියගේ අක්‌මාව නොමිලයේම පරිත්‍යාග කිරීමට ගයනි විශාඛාගේ දෙමාපියන් තීන්දු කළහ. එම කොටස ගයනිට වඩා සිවු වසරක්‌ වයසැති තරුණියකට දැනටමත් බද්ධ කර තිබේ. ඇගේ සිරුර ගයනි විශාඛා ශිෂ්‍යාව නිසා ඒකාලෝකව ඇත.

සුක්‌කානමක්‌ ඉදිරිපිට හිඳගන්නා මිනිසකු මාරයකු බවට පත්වීමට ගතවන්නේ ඉතාම ස්‌වල්ප වේලාවකි. මේ කුඩා කාලය තුළ මිනිසුන් මරා, ජීවතුන් අතර සිටින්නවුන්ගේ අත්පා කඩා පවුල් මහපාරට බැස්‌සවීමට එකී මාරයන්ට පුළුවන. මාරයා විවිධ ස්‌වරූපයෙන් එයි. ගයනි විශාඛා සිද්ධියේදී මාරයා පැමිණියේ බ්‍රිගේඩියර් කෙනකුගේ වේෂය දරාගෙනය. මෙවැනි මාරයකු මතුවීමට ගතවන්නේ ඉතාම ස්‌වල්ප වූ කාලයකි. අද ගයනිගේ මාපියෝ හැඬූ කඳුළිනි. බ්‍රිගේඩියර් රිමාන්ඩ් කූඩුවේය. ගයනි යළි කිසි දිනෙකත් ආපසු එන්නේ නැත. එහෙත් බ්‍රිගේඩියර් තව දින කිහිපයකින් ඇප පිට නිදහස ලබා ආපසු එන්නේය.

divaina -

No comments

Powered by Blogger.