Open top menu
Monday, November 11, 2013

දීප්ති කුමාර ගුණරත්න
පසුගිය දිනෙක සුනිලා අබේසේකරගේ අවමඟුල් දිනයේදී ඇයගේ දියණිය වන සුභා පුරුෂාධිපත්‍යයට එරෙහිව දීර්ඝ කතාවක් පවත්වන ලදී. ඇගේ මෙම ගුණකථනය පුරා ස්ත්‍රීවාදී කතිකාවේදී භාවිතාවට ලක්වන නම් විශාල ප්‍රමාණයක් ඉවතට විසි කරන ලදී. ඇගේ මෙම කතාවට අභියෝග කළ හැකි ස්ථාවර දෙකක් හඳුන්වා දීමට මම කැමැත්තෙමි.

පුරුෂාධිපත්‍යයට විරුද්ධ ඇගේ සංවාද භාෂාව තුළ එක් ව්‍යතිරේකයක් අපට හඳුනා ගත හැකිය. ඇය සමඟ මේ මොහොතේ එකට ජීවත්වන පිරිමියා (?) ඇගේ ස්ත්‍රීවාදී සංවාදය තුළ පුරුෂාධිපත්‍යය නිරූපණය නොකරන්නේ කෙසේද? එනම් ඇගේ අවිඥාණයට අනුව ඇයට එක (1) පිරිමියෙක් පමණක් පිරිමි නැත. ඒ කෙනා ඇගේ ෆැන්ටාස්මතික පුරුෂයයා. ඔහු පමණක් ගඳ ගහන පුරුෂොත්තමවාදයට ඇතුළත් නැත. මේ අහිංසකයා ඉන්නේ පුරුෂ-විරෝධී දේශපාලනික නිවැරදි (POLITICAL CORRECT) කුලකයේය. දේශපාලනිකව නිවැරදි ස්ත්‍රීවාදී පුරුෂයෙක් යනු සමාජය ඉදිරිපිට ස්ත්‍රියට පක්ෂපාතී බව පෙන්වා ගෘහ ජීවිතය තුළ හෝ පුද්ගලික ජීවිතය තුළ ස්ත්‍රියට පහත් ආකාරයට සැලකීම සාධාරණත්වය ලෙස සලකන පුද්ගලයාය.

අපට වඩා වැදගත් වන්නේ ඇය විසින් සහතික කරන දේශපාලන ස්ථාවරයන් නොවේ. ස්ත්‍රීවාදී සංවාද භාෂාව අනුකරණය කරන ඕනෑම ස්ත්‍රියකට ඇය දරණ පුරුෂාධිපත්‍යයික විරෝධී ස්ථාවරවලට එළැඹීම ඉතා පහසුය. ඇය විසින් ඇයටම දෙන සහතික පත්‍ර ගැන මොහොතක් අමතක කර ඇය විසින් ප්‍රතිරූපගත කරන “සතුරා” ගැන අවධානය යොමු කරමු. සුභාගේ ස්ත්‍රී කතිකාවට අනුව ඇය අතින් විවේචනය වන්නේ නිශ්චල අනන්‍යතාවයක් සහිත පුරුෂාධිපත්‍යයික වාගීශ්වර (වචනය හැසිරවීමට සහ වචනය මාධ්‍යකොට සිතන පිරිමියා) පුරුෂයාය. අවාසනාවකට මෙන් ඇගේ මෙම පොදුජන සතුරා පවතින සමාජය විසින් තවදුරටත් සතරකු ලෙසින් සලකන්නේ නැත. එවැනි අයව සැලකෙන්නේ යල් පැන ගිය අය ලෙසින්ය.

මාක්ස්වාදී අර්ථයෙන් ගතහොත් අවසාන ධනවාදී සමාජයන්හි නිෂ්පාදනය වන ආත්මමූලික ආකෘතිය තවදුරටත් පුරුෂාධිපත්‍යයික නැත. සරලව කිවහොත් සමකාලීන ගෝලීය මූල්‍යකරණ ආර්ථික රටාව විසින් පීතෘමූලිකත්වය නම් විඥාන ආකෘතිය නිපදවන්නේ නැත. කොටින්ම නූතන ධනවාදයට පුරෂාධිපත්‍යයේවත්, ලිංගික වෙනසෙන්වත් දේශපාලනික වැඩක් නැත. ඒ වෙනුවට පශ්චාත් – නූතන ධනවාදී සංස්කෘතික තර්කනය නිපදවන්නේ එක්කෝ බහුල අනන්‍යතාවයන්ය. (MULTIPLE IDENTITIES) නැතහොත් අනන්‍යතා රහිත අනන්‍යතාය. (උදා – අනන්‍යතාවය ප්‍රශ්න කරන එය අසමත් කරවන හිස්ටීරියාව යනු පසුධනවාදයේ වඩාත්ම තීරණාත්මක ආත්මීය ස්ථාවරයකි.) නැතහොත් අනන්‍යතාවය සමඟ යම් පරතරයක් තබා සිටින නරුමවාදයයි. (CYNICAL DISTANCE) මෙම තතු යටතේ ඇත්තේ නිශ්චිත අනන්‍යතාවයක් නොව අනන්‍යතා සංගීත පුටු තරගයකි. අද දවසේ ඔබට කැමති පරිදි ඔබේ අනන්‍යතාවය වෙනස් කළ හැක. අනන්‍යතා සමඟ මිනිස්සු කරන මේ ක්‍රීඩාව තමයි ධනවාදයේ මේ මොහොතේ දෘෂ්ටිවාදය.

දිල්රුක්ෂි වාරියප්පෙරුම විසින් පසුගිය ‛සමබිම’ කලාපයේ රචිත ‛ස්ත්‍රී පුරුෂ සමාජභාවය (GENDER) යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?’ යන ලිපිය මගින් ප්‍රකාශ කරවන්නේ මා ඉහත සලකුණු කළ ඓතිහාසික වෙනස් වීමයි. (අනන්‍යතා ක්‍රීඩාව නව – යුගය ලෙස)

ධනවාදී ආර්ථික ක්‍රමයේ පසුජාතික ආයතනික සහ මූල්‍ය ක්‍රියාකාරීත්වය හරහා මෙතෙක් පැවති සම්භාව්‍ය මර්දිත, ශික්ෂිත පුරුෂාධිපත්‍ය ලිංගික දෘෂ්ටිවාදය ලෝක මට්ටමෙන් ඇද වැටෙමින් පවතියි. මේ නිසාම මෙතෙක් සම්ප්‍රදාය සහ කුටුම්භය තුළ ජීවත්වූ ස්ත්‍රියට විවෘත අවකාශයක් බිහිවී ඇත. නමුත් පසුගිය වසර 25 ක පමණ කාලය ඇතුළත හටගත් විවිධ ලිංගික ආකෘති (ප්‍රසාංගිකත්වයක් ලෙස ලෙස්බියන් ලිංගිකත්වය – ජූඩිත් බට්ලර්, ශරීරයට වද දීම නව පුරුෂවාදය ලෙස සලකන ලිංගිකත්වය – මිචෙල් ෆුකෝ, සංක්‍රාන්ති ලිංගික ලිංගිකත්වය – ජිල්ස් ඩලූස්, කලු ජාතික ලිංගිකත්වය – ටෝනි මොරිසන්, පූජනීය ලිංගිකත්වය – නිකොස් කසන්සාකිස්) විසින් මෙම ‛තාවකාලික විවෘතවීම’ ඉතිහාස කතා මගින් නැවතත් පාරාන්ධ කොට ඇත.

පශ්චාත්-නූතන අනන්‍යතා සංගීත පුටු තරඟය මධ්‍ය කොට ස්ත්‍රියක් යනු කවරෙක්ද යන ප්‍රශ්නයට දැන් ඇත්තේ ආත්මමූලික පිළිතුරක් නොව සමාජමය පිළිතුරකි. දිල්රුක්ෂිගේ ලිපියේදී ස්ත්‍රී-පුරුෂ භේදය පුද්ගලයාගෙන් සමාජයට සහ ආයතනවලට මාරු වන්නේ මේ නිසාය. (OBJECTIVITY)

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය යනු කුමක්ද?
ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සාපේක්ෂ වශයෙන් නව සංකල්පයකි. එය, ගැහැණු හා පිරිමි ළමුන් සහ පිරිමි සහ ගැහැණුන්ට දී ඇති සමාජ-සංස්කෘතික නිර්වචනයයි. ස්වභාව ධර්මය අපව ජීව විද්‍යාත්මක වශයෙන් ස්ත්‍රී හෝ පුරුෂබවට පත් කරන අතර, සමාජය අපට පිරිමිකම හෝ ගැහැණුකම ආරෝපණය කරයි. ගැහැණු ළමයින්ගේ / ගැහැණුන්ගේ සහ පිරිමි ළමයින්ගේ/පිරිමින්ගේ පෙනීම, ආකල්ප, හැසිරීම, භූමිකා, වගකීම්, අයිතීන් සහ සම්පත් ලබා ගැනීමේ සහ පාලනය කිරීමේ හැකියාව තීන්දු කරන්නේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය සහ සමාජය විසිනි. එය ජීව විද්‍යාත්මක වෙනස්කම් වඩා පළල්වූ සමාජ ක්‍රමයක් බවට පරිවර්තනය කරයි.

- පිරිමිකම ගැන විමසුමක්, කම්ලා භාසින්, පිටුව 7, 8 -
මනුෂ්‍යයකු ‛ස්ත්‍රියක්’ වීම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (GENDER) පිළිබඳ සංකල්පවලට අනුව සංස්කෘතික නිර්මිතයකි. ස්ත්‍රිය යනු කුමක්ද? යන ප්‍රශ්නය අරබයා ජුලියා ක්‍රිස්ටීවා නම් ස්ත්‍රීවාදී දාර්ශනිකාව විසින් ඓතිහාසික යුග 3 ක් වෙන් කර දක්වයි.

(A) සංකේත විශ්වය තුළ සමාන ප්‍රවේශයක් ඉල්ලා සටන් කළ යුගය – ලිබරල් ස්ත්‍රීවාදය
(B) ස්ත්‍රිය විසින් සංකේත ලෝකය ‛පුරුෂ’ එකක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කර තමන් වෙනස් යයි පෙන්නුම් කළ යුගය – රැඩිකල් ස්ත්‍රීවාදය.
(C) ස්ත්‍රී පුරුෂ භේදය යන්නම පාරභෞතික නිර්මිතයක් ලෙස සලකා කටයුතු කිරීම – සමකාලීන පශ්චාත් ස්ත්‍රීවාදය
මනෝ විශ්ලේෂණයට අනුව ස්ත්‍රීවාදයට ගෙන ආ හැකි විචාරය කුමක්ද? තමන්ට බොහෝ දේවල් ගැන අවබෝධයක් ඇතැයි තමන්ම කියා ගන්නා කෙනෙකු පහත ආකාරයට මට විවේචනයක් කරයි.

ඔහුට අනුව සියලුම පිරිමින් හම සුදු ගැහැනුන්ට ආශා කරයි. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් හෝ තම සමාජ පන්තියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි.

උත්තරය – මනෝ විශ්ලේෂණයේ ප්‍රධානම මූලධර්මය යනු අවිඥාණික ආශාව නිර්වචනය කිරීමයි. සියලුම පිරිමින් යනුවෙන් මා කියන්නේ විශේෂ පිරිමියෙකුටය. ඔහු නම් ග්‍රාමීය ප්‍රදේශයක උපත ලබා රැකියාව හෝ අධ්‍යාපනය නිසා කොළඹට සංක්‍රමණය වූ පිරිමියාය. සෑම සාර්වත්‍රික පිරිමියෙක්ම විශේෂ පිරිමියෙකි. මා කතා කරන්නේ පැවැත්ම ගැන මිස අනුභූතික පිරිමියෙකු ගැන නොවේ. ඒ අනුව සෑම, ග්‍රාමීය, සිංහල, පිරිමියෙකුගේම අවිඥාණික ආශාව වන්නේ සුදු පාට හමක් ඇති ස්ත්‍රියක් අයිති කර ගැනීමටය. මූණ කැත පිරිමියෙකුට යම් ස්ත්‍රියක් ආලය කරන්නේ නම් එය සවිඥාණික ආශාවක් නොව අවිඥාණික ආශාවකි. තම සමාජ පන්තියට පහළින් සිටින පිරිමියෙකුට යම් ස්ත්‍රියක් ආලය කරන්නේ සවිඥාණිකව නොව අවිඥාණික ආශාවක් වශයෙනි. මට මනෝවිශ්ලේෂණය කියා දීමට ප්‍රථමව ඕනෑම කෙනෙක් අවිඥාණය හැඩ ගැසෙන අයුරු හැදෑරිය යුතුය. ආශාව ගැන කතා කරන විට අවිඥානය හැලී යාමත්, ආශාව ගැන කතා කරන විට එය අනෙකාගේ ආශාව යන්නත් හැලීයාම අහම්බයක් නොවේ. ඒවා අත්වැරදීම් නොව අධ්‍යාපනික අඩුපාඩුය.

මනෝවිශ්ලේෂණ අර්ථකථනයන්ට අනුව ‛ස්ත්‍රිය’ යනුවෙන් කෙනෙක් භාෂා ලෝකයේ හැඟවුම්කාරකයක් ලෙස නොපවතියි. එම අදහස ඉතාම රැඩිකල් අදහසකි. ස්ත්‍රීවාදයේ මූලික අත්වැරදීම මනෝවිශ්ලේෂණයට අනුව නිර්වචනය කරන්නේ නම් එය මෙසේය. ස්ත්‍රිය තමා ස්වාධීන, ස්වායත්ත මනුෂ්‍යයෙක් බව වටහා ගන්නේ ඇයට පුරුෂ සංකේත ලෝකය තුළ “සාරයක්” (ESSENCE) නැති බව අවබෝධ කර ගැනීම තුළය. යම් ස්ත්‍රියක් තමන්ට සාරයක් ඇතැයි සිතා ෆැන්ටාස්මති පුරුෂයකු හෝ උතෝපියානු පුරුෂාධිපත්‍යයක් විචාරය කරන්නේ නම් ඇය ස්ත්‍රියක් නොව හිස්ටෙරිකයෙකි. හිස්ටෙරික ප්‍රශ්නය මෙසේ සාරාංශගත කළ හැක. ‛ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි?’

එබැවින් අප ගැටලුව විස්ථාපනය කළ යුත්තේ පුරුෂාධිපත්‍යයෙන් “නරුමවාදයට” මිස එහි විලෝම දිශාවට නොවේ. සැබැවින්ම ඇති බල රටාවන් සහ ප්‍රකාශමාණ ආධිපත්‍යයන්ගේ ව්‍යූහය අතර වෙනස්කම ප්‍රදර්ශනය කළ හැකි හොඳම නිදර්ශනය වන්නේBASIC INSTINCT චිත්‍රපටියේ පොලිස් විමර්ශකයන් විසින් ෂැරොන් ස්ටෝන්ව ප්‍රශ්න කරන දර්ශනයයි. පළමු මොහොතේදී තම නිලයන්ට ආකාස්මිකව බැඳුණු පොලිස් නිලධාරීන් සහ ප්‍රශ්න කිරීම් හමුවේ හෙම්බත් වූ අසරණ ගොදුරක් වූ ස්ත්‍රියක් අපට පෙන්වයි. නමුත් ෂැරොන් විසින් තම එක කකුලක් උස්සා අනෙක් කකුල මත තබන විට මොහොතකට අපට ඇගේ ‛වසා රොද’ ප්‍රදර්ශනය වෙයි. ඒ මොහොතේදී ආධිපත්‍යය ස්ත්‍රියගේ දැක්මට යටත් වෙයි. බළලා සහ මීයා (ගොදුර) අතර එතෙක් පැවති අධිකාරී බලය කණපිට හැරෙයි. පොලිස්කාරයන් අනාථයන් වන අතර ෂැරෝන් ස්ටොන් බල කේන්ද්‍රයට ආදේශ වෙයි. එබැවින් ගැටලුව වන්නේ පුරුෂාධිපත්‍යය නොව නරුම ලෙස තමන් සහ නිලය අතර පරතරයක් පවත්වාගෙන යන ‛නරුමවාදයයි’∎
samabima -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. පුරුෂවාදය නරකයි ස්ත්‍රීවාදය හොඳද

    ReplyDelete

Popular Posts

Popular Posts