Header Ads

සුද්දට දණ ගසා - අසව්! කියන මුසා..

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ආණ්ඩුවේ බෙර වැයීම පටන්ගෙන තිබේ. හක් පිඹින්නන්ද, හොරණෑකාරයන්ද, දවුල් තම්මැට්ටම්කාර ඇමැතියන්ද, ආණ්ඩුවේ බත්බැල කටබක්කන්ද අපට කියන්නේ මේ සමුළුවෙන් පසුව ආයෝජන දෝර ගලා එන බවය. කේතුමතිය පහළවෙන බවය. තව්තිසාවේ ඇති කල්ප වෘක්ෂය ශ‍්‍රී ලංකා ධරණීතලයට කැඳවාගෙන එන බවය.


රූපවාහිනියේ සිට මහපාර දිගේ ගලායන්නේ චෝගම් (CHOGM) පිළිබඳව රසාලිප්ත කතා වස්තූන්ය. ලෙළෙන කොඩිවැල්ය. බමනය වන රූංපෙතිය. රටේ ජනතාව සිහින තොටිල්ලේ සතපවන සුරංගනා කතාය. මේ සියල්ලෙන්ම රටේ ජනතාවට කියන්නේ මෙය නම් ලෝක පාලක දෙවියන්ගේ සැපත්වීමක් හා සමාන වන ආශ්චර්යයක් උපදවන මහා සමුළුවක් බවය.

එහෙත් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මෙයට පෙර පැවැත්වූ අවස්ථාවන් හා එහිදී සාමාජික රටවල් ගත් තීරණ පිළිබඳව ඉතිහාසය සොයා බැලීමේදී මෙකී විචිත‍්‍ර ඝෝෂාවේ සැබෑව රටේ ජනතාවට තේරුම් ගැනීමට අපහසු වන්නේ නැත.

පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවීමේ පදනම සැකසෙන්නේ (1867-1948) කාලය තුළ බි‍්‍රතාන්‍ය යටත් විජිත ලෙස පැවත ඉන් නිදහස ලැබූ රටවල් පහක් එකතුවීමෙනි. සුදු මිනිසාගේ සංගමය (White Mans Club) නමින් එය හැඳින්විණි. කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව මෙම සංගමයට ඇතුළත්ව තිබුණි. බි‍්‍රතාන්‍ය යටත් විජිත ලෙස පැවැති රටවල යටත් විජිත භාවයට එරෙහිව අරගල පැනනැගීමත් සමග එම රටවලට ඩොමීනියන් තත්වය හෙවත් අර්ධ නිදහස ලබාදීමට බි‍්‍රතාන්‍යයට සිදුවිය. ඍජු යටත් විජිත භාවයෙන් මිදුණු මේ රටවල් තවදුරටත් බි‍්‍රතාන්‍ය ‘‘කිරීටයට ගරුකරන’’ ‘‘කිරුළට පක්ෂපාති පිරිසක්’’ ලෙස තබාගැනීම මහා බි‍්‍රතාන්‍යයේ අරමුණ විය. ‘‘1962 බැල්ෆෝ ප‍්‍රකාශයෙන් යටත් විජිත ජනපද සඳහා ඩොමීනියන් තත්වය පිරිනමනු ලැබීය. බි‍්‍රතාන්‍යයට අවශ්‍යව තිබුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය පිළිබඳ කීර්තිය රැකගැනීමය. අවසානයේ මේ ඒකරාශී කිරීම ‘‘පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතිය’’ බවට පත්කිරීමට අරමුණු කරගත්තේය.’’

(DAle William The modern Commonwealth - London, 1983) 1949 දී ලන්ඩන් ප‍්‍රකාශය ඉදිරිපත් විය. මෙමගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය කිරීටය එහි සංකේතය බවට පත්විය. එතෙක් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් පැවැති තත්වයන් වෙනස් කරමින් නිදහස්, ස්වේච්ඡා සංවිධානයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය ඉදිරියට පැමිණියේය. එතැන් සිට ‘‘පොදුරාජ්‍ය මණ්ඩලය’’ බි‍්‍රතාන්‍ය කිරුළට පක්ෂපාතීත්වයක් දක්වන රාජ්‍යයන් සඳහා සාමාජිකත්වය පිරිනමන ජාත්‍යන්තර සංවිධානයක් ලෙස සැලකේ.

මෙම සංවිධානයට අයත් රටවල් 54 අතරින් 33ක් ජනරජයන් වන අතර ඉතිරි 21 රාජාණ්ඩුය. ඉන් 16ක් රැජින තම රටවල ප‍්‍රධානියා ලෙස සලකති. රටවල් 05ක ඔවුන්ගේම රජවරු සිටිති. බෲනෙයි, දරුස් සලාම්, ලෙසතෝ, මැලේසියාව, ස්වාසිලන්තය හා ටැන්සානියාව ඒවාය. මහා බි‍්‍රතාන්‍යයට පිටින් වෙනත් රටක මුල්වරට මෙම සමුළුව කැඳවන්නේ 1971 ජනවාරි 14 වැනි දිනය. සිංගප්පූරුවේ පැවැති එම සමුළුවේ සභාපතිත්වය දැරුවේ ‘‘ලී ක්වාන් යූ’’ ය. එතැන් සිට සමුළු වාර 22ක් සත්කාරක රටවල් 22ක පවත්වන ලදී. ඒ සෑම අවස්ථාවකම සමුළුව පවත්වන රටේ නායකයා සමුළුවේ සභාපතිවරයා ලෙස නම් කෙරිණ. ශ‍්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීමටත් එහි සභාපතිත්වය ලංකාවට පිරිනැමීමටත් යෝජනා වූයේ 2011 ඔක්තෝබර් 28-30 යන දිනවල ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවැති සමුළුවේදීය. සභාපතිත්වයට නම්කරන රාජ්‍ය නායකයාගේ කාර්යභාරය වන්නේ අනෙකුත් ජාත්‍යන්තර සමුළු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් ඊට සහභාගිවීමය. එය මහා ආශ්චර්යයක් නොවේ. හද්දා මගුල් කෑමටද හේතුවක් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පිළිගන්නා පොදු රීතියක් තිබේ. එයනම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ‘‘නායකත්වය’’ කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව මහා බි‍්‍රතාන්‍ය ලෙස පිළිගැනීමයි. සමුළුවේ සභාපතිත්වය කාට හිමි වුවද නායකත්වය අනුල්ලංඝනීය ලෙස මහා බි‍්‍රතාන්‍යය සතු බව මේ රටවල් පොදුවේ පිළිගනී. සත්‍ය වශයෙන්ම මෙතෙක් සමුළු වාර පැවැත්වූ සෑම රටක්ම කර ඇත්තේ සමුළුව සඳහා පැමිණෙන රාජ්‍ය නායකයන් සඳහා ‘‘කේටරින් සර්විස්’’ සැපයීමය. ‘‘සත්කාරකත්වය’’ නම් ගරු ගාම්භීර වචනවලින් කියවන්නේ එයයි. අපේ අභිමානය, අපේ ගෞරවය ලෝකයා හමුවේ තැබීමට මෙය ඓතිහාසික අවස්ථාවක් බව රටේ ඇමැතිවරුන් කියන්නේ මේ සත්කාරකත්වයට මුවාවෙමිනි.

මෙතෙක් සමුළු පැවැත්වූ සෑම රටකම ආර්ථිකය සංවර්ධනය වීමට මෙම සමුළුව මහා ප‍්‍රාතිහාර්යයක් පෑවේ නැත. අවසානයේ ‘‘අතින් කාලා හරක් බැලුවා’’ වැනි ඉරණමක් මිස ලැබුණු ආයෝජනයක්ද නැත. තත්වය එසේ වුවද ශ‍්‍රී ලංකාවට සභාපතිත්වය හිමිවීම පිළිබඳව රටේ ජනතාව ගොනාට අන්දන්නේ ‘‘මහා සම්මත රජකම රටට ලැබී තිබේ’’ කියන්නාක් මෙනි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මුදුනා ලෙස පිළිගන්නේ මහා බි‍්‍රතාන්‍යයයි. එහි ජනගහනයෙන් 10%ක් අන්ත දුප්පතුන්ය. 2013ට අදාළව මහා බි‍්‍රතාන්‍යයේ ආදායම ඩොලර් බිලියන 930කි. රටේ වියදම ඩොලර් ටි‍්‍රලියන 1.1කි. අය-වැය පරතරය පවුම් බිලියන 108කි. එම තත්වය දළ දේශීය නිෂ්පාදනයෙන් 6%කි. මහා බි‍්‍රතාන්‍යයේ ආර්ථික විශේෂඥයන් මෙම තත්වය පෙන්වා දෙන්නේ ‘‘ණය කන්ද’’ (Debt Mountain) ලෙසිනි. ජනගහනයෙන් 50%ක් ළමා දිළින්දන් ලෙස සැලකේ. තත්වය මෙසේ තිබියදී මහා බි‍්‍රතාන්‍ය හෙවත් එංගලන්තය 2013/14 අය-වැයෙන් රාජකීය පවුල සඳහා වෙන්කළ මුදල පවුම් මිලියන 36.1ක් හෙවත් රුපියල් කෝටි 747කි. 2010 ගණනය කිරීමට අනුව රැජිනගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 450ක් හෙවත් රුපියල් කෝටි 5850කි. රාජකීය පවුලේ නැපිය පවා නඩත්තු කරන්නේ දුකසේ උපයා දෙන බි‍්‍රතාන්‍ය ජනතාවගේ බදු මුදල්වලිනි. ජනගහනය 63,181,775ක් සිටින මහා බි‍්‍රතාන්‍යයේ ජනතාවගේ ඉරණම මෙබඳුය.

2014 විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 857කි. ගෝඨාභය, බැසිල්, චමල් ඇතුළු පවුලේ සමාගමට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 72,402කි. අය-වැයේ වෙන්කළ මුදලින් එම ප‍්‍රමාණය 47%කි. අනෙකුත් සියලු අමාත්‍යංශ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි අසූඑක්දහස් අටසිය විසිතුනකි. දෙකෝටි දෙලක්ෂ හැත්තෑ හතරදහස් එකසිය හැත්තෑ නවයක් වූ ලංකාවේ ජනතාවගේ ඉරණම එබඳුය. එංගලන්තයේ රජපවුලේ නඩත්තුවට රුපියල් කෝටි 747ක් වෙන්කරද්දී ලංකාවේ ජනාධිපති වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 857කි. ලංකාවේ සිටින්නේ සක්විති රජෙකි. උසාවියට කැන්දන්නට බැරි රජෙකි. අධිරාජ්‍ය ගැති කිරීටයට පක්ෂපාති සමුළුවක මහපුටුවේ ඉඳගැනීම අභිමානයට කාරණයක් ලෙස සලකා රටේ ජනතාව දුක සේ උපයාදෙන බදු මුදල්වලින් මගුල් කෑම අපේ රටට ඔරොත්තු දෙන්නේ නැ. එක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට අධික ණයකාරයෙකු බවට පත්වී ඇති ආර්ථිකයක් තිබෙන මේ රටේ මේවා අලි මෝඩකම් ලෙස ඉතිහාසයේ සටහන්වනු ඇත.

චාල්ස් කුමාරයාගේ අත ඉඹින්නට වලිකන දේශපේ‍්‍රමි කටබක්කන්ට ඉතිහාසය මතක නැත. මේ රට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට නතු වූයේ 1796 දීය. කොළඹින් පටන්ගත් එම ආක‍්‍රමණය කන්ද උඩරට රාජධානිය යටතේ කරගැනීමෙන් අවසන් වූයේ 1815 මාර්තු 10 වැනි දිනය. එතැන් සිට මේ නරුම පාලනයෙන් නිදහස් වීමට මේ රටේ දේශපේ‍්‍රමී ජනතාවෝ වරින්වර කැරළි ගැසූහ. මේ කැරළි මර්දනය සඳහා එවකට බි‍්‍රතාන්‍ය පාලනය කල පස්වැනි ජෝර්ජ් රජ්ජුරුවෝ  (George Augustus Federac) සන්නද්ධ හේවායන් ලංකාවට එවනු ලැබීය. ලංකාවට එනවා යැයි කියන චාල්ස් කුමාරයාගේත් වත්මන් කිරීටය දරන එලිසෙබෙත් රැජිනගේත් ආදිතමයෙකු වන්නේ මේ පස්වැනි ජෝර්ජ් රජ්ජුරුවෝය. බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව මුල්ම කැරැල්ල ඇරඹියේ 1818 දී වෙල්ලස්සෙනි. රොබට් බ‍්‍රවුන්රිග් (General Robert Brownrigg) වෙල්ලස්ස ගිනිතබා වෙල්ලස්සේ ජනතාවෝ දස දහස් ගණනින් මරා දමනු ලැබුවෝය. 1818 ඔක්තෝබර් 28 වැනි දින පිළිමතලාවේ සහ කැප්පෙටිපොළ ඇතුළු සටන්කරුවෝ ‘‘ඕ’’ නෙල්ගේ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ 1818 නොවැම්බර් 25 වැනි දින හිස ගසා දමා මරා දමනු ලැබුවෝය. ඒ අඳුරු නොවැම්බරය ඉතිහාසයේ තිබියදී ඉන් වසර 195කට පසුව සිදුකෙරෙන මේ ‘‘රාජකීය මගුල්කෑම’’ නම් ඓතිහාසික සරදමකි. බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි  වූ වරදට ඉහගම රතනපාල හිමි අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණය හමුවට පමුණුවා මරණ දඬුවම නියම කරන ලද්දේ 1818.11.17 වැනි දිනය. 1818 ඔක්තෝබර් 30 දින නුවර කලාවියේදී අත්අඩංගුවට ගත් බූටෑවේ රටේ රාළ යුද්ධාධිකරණයෙන් වරදකරු කර හිස ගසා මරා දමනු ලැබුවේ 1818 නොවැම්බර් 18 වැනි දිනය. විමුක්ති අරගලයට අනුබලය දුන් ඌව පළාතේ විසූ දඹගොල්ලේ උන්නාන්සේ නම් අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුව අත්අඩංගුවට ගෙන සිවුර නොසලකා සිරගත කරන ලද්දේ 1818.11.14 වැනි දිනය. එකී සිදුවීම්වලින් වසර 195කට පසුව ඝාතකයන්ගේ අත ඉඹ පිළිගෙන රාජකීය සාද පැවැත්විය හැකි දේශපේ‍්‍රමියා කවුරුන්ද? මෙකී ඝාතනයන් සිදුකරනු ලැබූ නොවැම්බරයක පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට පැමිණෙන බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ රාජ වල්ලභයා රතුපලස් මත හොවා පසඟ තුරුගොස මැද පිළිගැනීම ඉතිහාසයේ මව්බිම වෙනුවෙන් මරා දැමුණු ඒ අතීත වීරයන්ට කරනු ලබන දුෂ්ඨ නිග‍්‍රහයක් නොවේද?

පොදුරාජ්‍ය මණ්ඩලය යටතේ ඇති ‘‘සංග‍්‍රාම සුසාන කොමිසම’’ මගින් ලොව පුරා යුද ස්මාරක 2,500ක් නඩත්තු කරනු ලැබේ. මේ ඉම්පීරියල් සංග‍්‍රාම සුසාන කොමිසම පිහිටුවා ඇත්තේ පළමු හා දෙවැනි ලෝක යුද සමයේදීත්, යටත් විජිතවල පැවැති අරගලවලදීත් මියගිය බි‍්‍රතාන්‍ය ජාතිකයන් සැමරීම සඳහාය. පොදුරද මඩුළු සමුළුවට සමගාමීව ලංකාවේදීද ඔවුන් සමරනු ලබනු ඇත. එහෙත් එකී සැමරුම්වලට බූටෑවේ රටේ රාළ, කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බංඩා, ඉහගම රතනපාල හිමි, වාරියපොළ සුමංගල හිමි යන මෙරට විසූ විමුක්තිකාමියන් ඇතුළත් වන්නේ නැත. දේශපේ‍්‍රමී යැයි කියාගන්නන් අධිරාජ්‍යගැති ආණ්ඩුවේ හොරණෑවලින් ගයන ප‍්‍රශස්තිවලට යටින් ඇත්තේ අන්ධකාර ඛේදවාචකයකි. විධායක ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ යුගයේ මේ සමුළුව පැවැත්වීමත් ඔහුට එහි සභාපතිත්වය පිරිනැමීමත් පුදුමවීමට කාරණා නොවේ.

‘‘උතුමාණනි කැරැල්ල මැඩපවත්වන්නට කටයුතු කරමි. ප‍්‍රභූ අධිකාරම්වරු කිහිපදෙනෙකුගේ තොරතුරු මත නායකත්වය දෙන භික්ෂූහු ඇතුළු නිළමෙලා අත්අඩංගුවට ගනිමි. ඔත්තු ලබාදුන් ප‍්‍රභූන්ට ආරක්ෂාව ඇතුව පිට පළාත්වල රැකවරණය දෙමි. ප‍්‍රභූ ඔත්තුකරුවා ලවා කැරැල්ලේ සියලු තොරතුරු මම ලබාගත්තෙමි. ඔහු කැරැල්ල වෙනුවෙන් පෙනීසිටි අපගේ බලවත් ඔත්තුකරුවෙකි.’’ ජෝන් ඩොයිලි (1812 - 1822) තැබූ මේ ලංකාව සම්බන්ධ සටහන බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තිබේ. මේ ඔත්තුකරුවා කවරෙකු වියහැකිද? 1818 වෙල්ලස්ස කැරැල්ලට සහයෝගය දෙන බව පෙන්වා බි‍්‍රතාන්‍යයන්ට තොරතුරු ලබාදුන් සෙන්පතියා වෙන කිසිවෙකු නොවේ. ඔහු වනිග චින්තාමනී මොහොට්ටි දොන් හෙන්ද්‍රික් රාජපක්ෂය. මේ වනිග චින්තාමනී මොහොට්ටි දොන් හෙන්ද්‍රික් රාජපක්ෂ පිළිබඳව ආචාර්ය අලුත්වැව සෝරත හිමි මැදමුලන මහරුක නම් පුවත්පත් අතිරේකයට ලියා තිබූ ලිපියක දක්වා ඇත්තේ මෙසේය.

‘‘ඓතිහාසික මූලාශ‍්‍ර අනුව රාජපක්ෂවරුන් අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වන්නේ 1818 කැරැල්ල සමගය. එම ඓතිහාසික නිදහස් අරගලයට නායකත්වය දුන් ජාතික වීරවරයන් අතර එක් අයෙකු වූයේ වනිග චින්තාමනී මොහොට්ටි රාජපක්ෂය. ඉංග‍්‍රීසීන් විසින් අතිශය කෲර ලෙස එම කැරැල්ල මර්දනය කිරීමෙන් පසු ජීවිතාරක්ෂාව පතා මැදමුලනට පැමිණ ඇත. මොහු රාජපක්ෂ පරම්පරාවේ ආදි පුරුෂයෙකු ලෙස සැලකේ’’

උන්වහන්සේ එසේ සඳහන් කළද බ‍්‍රවුන්රිග්ගේ සටහනට අනුව නම් මේ වනිග චින්තාමනී මොහොට්ටි වෙල්ලස්ස කැරැල්ල ඇවිලෙමින් තිබියදී බි‍්‍රතාන්‍යට ඔත්තු ලබාදුන් ප‍්‍රභූ සෙන්පතියෙකි. වෙල්ලස්ස සටන් ඇවිලෙමින් තිබියදී සෙන්පතියෙකු මැදමුලනේ හරක් පට්ටි ආම්බාන් කළේ කුමක් සඳහාද යන්න දැන් පැහැදිලිය. අධිරාජ්‍ය ගැතිභාවය පරපුරෙන් පරපුරටම පවතින්නේ මේ ඉතිහාසයත් සමගය. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එම නම ලැබුනේ ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහතාගේද මැදිහත්වීමෙනි. තමන්ගේ පුත‍්‍රයාට හොඳ නමක් යෝජනා කරන්න යැයි ඩී. ඒ. රාජපක්ෂ සෑම් විජේසිංහට කියද්දී හෙතෙම එකළ කියවමින් සිටි ශ‍්‍රී නේරුගේ ‘‘ඉන්දියාවේ සොයාගැනීම්’’ නම් කෘතියෙන් උපුටාගත් ‘‘මහේන්ද්‍ර’’ යන නම යෝජනාකර තිබේ. ඩී. ඒ. රාජපක්ෂ කීවේ මේ නමේ මුලට පර්සි වැනි යුරෝපීය නමක කෑල්ලක් එකතු වුණොත් හොඳ බවය. ඒ අනුව ‘‘පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ’’ යන නම ලැබිණ. අද දේශපේ‍්‍රමී මහින්දගේ ඉතිහාසය එබඳුය.

නිදහස් අරගලයේ නියමුවන් මරා දැමූ එංගලන්තයේ පරපුරෙන් එන චාල්ස්ගේ අත ඉඹ පිළිගන්නටත්, කිරීටයේ අධිපතිත්වයට හිස නමා සභාපති පුටුවේ ඉඳගන්නටත් මේ මහින්ද රාජපක්ෂට ඕනෑතරම් සුදුසුකම් තිබේ. සුද්දන්ගෙන් රට බේරාගැනීමේ නිදහස් අරගලය වෙනුවෙන් ජීවිත පූජාකළ විරුවන්ගේ ලේ පැල්ලම් මත පාවාඩ එලා, එකී සංහාරයට වගකිව යුත්තන්ගේ අත් ඉඹ, හාදු දී පිළිගන්නේත්, දහදුක් විඳ රටේ භාණ්ඩාගාරය පුරවන ජනතාවගේ මුදල්වලින් රුපියල් මිලියන 1940ක් වැයකර සැණකෙළි සාද කරන්නේත් ඒ පරගැතිබව නිසාය.

පරගැතියන්ට දේශපේ‍්‍රමීන් වියහැකිද? දේශපේ‍්‍රමී නම් මේ ලෙස ජනතාවගේ බදු මුදල්, දඩ මුදල්, පිටරටින් ලබාගන්නා ණය මුදල් හිතුමතේ වියදම් කළ හැකිද? මේවා ගැන නොහිතන, නොවිමසන අපේ රටේ ජනතාවට හෙට සිදුවන්නේ මේ පොදුරාජ්‍ය මණ්ඩල සැණකෙළි සාදයේ බිල බඩුමිලෙන්, විදුලි බිලෙන්, වතුර බිලෙන්, බස් ගාස්තුවෙන්, දඩ මුදල්වලින් ගෙවාදැමීමටය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.