Open top menu
Wednesday, November 27, 2013

යටගිය දවස සිලෝන් නමින් හැඳින්වෙමින් පැවැති පසුකලෙක සිරිලංකා යනුවෙන් හැඳින්වූ අසිරිබර දිවයිනක්මැ විය. මුහුදින් වටව සියලු සශි්‍රකාංගයන්ගෙන්ම ස්වයංපෝෂිතව භාරත සාගරයේ මුතු ඇටය නමින් ප්‍රචලිතව පැවැතියද කෙමෙන් එරට පාලක නරේෂපතියන්ගේ අපුල වූ පිළිවෙත් නිසාවෙන්ම එය භාරත සාගරයේ (අ)මුතු ඇටය නමින් හිතෛෂී අසල් රාජ්‍ය වැසියෝ අමතන්නට වූහ.

 මේ (අ)මුතු ඇටය වූ සිරිලංකා රාජ්‍යයේ තව්තිසා දෙව්ලොවට නොදෙවැනි වූ මහේශාක්‍ය සශි්‍රකත්වයත්, අපූර්වත්වයත්, විස්මිත වූ සාටෝපයත්, මහා ධනස්කන්ධයත්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය කොට මවා පෙන්වූ අති උත්තම 'චෝගම්' සමයෙක් වූයේය.

රාජ රාජ මහාමාත්‍යාදීන් සීතාම්බරපට පිළියෙන් පූර්ණව, රන් පිළි වස්ත්‍රයෙන් සැරැසීගෙන ඇතැයි සිතා චෝගම් සුවයෙන් මුසපත්ව සම්භාෂණශීලී වූ මනෝ රම්‍ය වූ වකවානුවේ ගව, මහිෂ, සුනඛාදී සත්තු පවා එරට මහජනයා සේම චෝගම් තෘප්තිය උදර කුහරයේ වට පණුවන්ගේ ඝෝෂාව නොසලකා පිළිගත්හ.

 මේ (අ)මුතු ඇටේ රාජ්‍යයේ අග නගරයට සමීප පුරහල නම් නගර කේන්ද්‍රයේ සියල් සැප සනීපයෙන් අනූන සුධා ධවල මහා මන්දිරයක් පිහිටියේයැ. මේ වෙළෙඳ මන්දිරයෙහි හුදී ජනයා වෙනුවෙන් රස මසවුළු සම්පාදනය කෙරෙන බොජුන්හලක්ද, නර්තන, ගීත, සලරූ දසුන් සපයන තැටි, පටි මණ්ඩපයකින්ද, රැගත් සුරා පිරූ විතින් රැගෙන ශීර්ෂ භ්‍රමණ ගත කරගත හැකි සුරාසලකින්ද අනූනව, නගර මධ්‍යයේ සියල්ල සලාකයට දෙන මනෝරම්‍ය ස්ථානයක් සේ පතළව වැජඹුණේය.

මේ සලාක ක්‍රමැති වෙළෙඳ ස්ථානයේ වෙළෙඳපති, ඇඹේනිය රූප ශෝභාවෙන් අගතැන්පත්, දුටු දුටු දන මන පොබයන වශීකෘත දේහධාරිනියක සේම සුධා ධවල පැහැයෙන් දිදුලන අතිශය ප්‍රභාවත් තැනැත්තියක් වූවාය.

මේ සෝබමාන රුවැති පිනැත්තිය කලකට ඉහත නර්තන, ගීත, වාදිත, රූපයෙහි ආරම්මන සිත් ඇත්තීව පතිවත රකිනා, කුලසිරිත් අගයනා, ස්වාමි සෙනෙහෙ වඩනා, පර පුරුෂයකු දෙස නෙත් කොනින්වත් නොබලනා 'භාර්යාවෝ' වෙනුවෙන් තෙලදසුනක් නිපද වූවාය.

ඒ සඳහා ඇය සහාය කරගත්තේ තවත් එවැනිම වූ පතිවත රකිනා, හිමි පෙම වඩනා රාජ්‍ය කරවනා ඇමැත්තන් කෙනකුගේ භාර්යාවකි. මේ අමාත්‍යයාද එසේ මෙසේ කෙනකුන් නොව කශේරුකාව සියතින්ම සිඳබිඳ ගත් වීරයකු සේම තමන් වසනා ස්ථානය අනුව පාට, වර්ණ වෙනස් කර ගත හැකි කටුසු වංශිකයකු වූ නිසාම වීරවූ - වංශිකයකු ලෙසින් චිර ප්‍රසිද්ධ වූ පාළු ගෙයි වළං බිඳීමට සමත් රජ වාසලට ගැති කම්, වාල්කම් කිරීමට උපන්ගෙයිම සමත් වූ වාචාලයෙකි.

මේ ඇමැත්තන්ගේ 'භාර්යාවෝ' සමඟින් මහත් වූ ස්නේහයෙන් සිටි සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය පසු කලෙක විරසකව ගියෙන් මහා ගිනි විජ්ජුම්බරක් සිදුවූයේය.

දෙදෙනාගේ වහසි බස් (අ)මුතු ඇටේ රාජ්‍ය පුරා පැතිර ගියේ කුණු වූ නෙරළු (පොල්) ගෙඩියක් පොළොවේ ගැසුවා සේය.

මේ ඇමැත්තාගේ ඇඹේනිය සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය කෙරෙහි ඇතිකර ගත්තා වූ බද්ධ වෛරය හේතුවෙන් රාජ්‍යයේ මහා වන මැද පිහිටි මහා බලැති බෝධි වෘක්‍ෂයක් හමුවේ ‍ෙදාස වඩන්නට ගොස් මංමුළාවී මහා අතෝරාවක්ද කර ගත්තේය.

මේ අතරවාරයේ කටුසු වංශික ඇමැත්තා සිටියේ අසල් රාජ්‍ය වූ භාරත දේශය පිළිබඳ බද්ධානු වෛරයකිනි. උහූ සාටක පොටට මුවාවී අසල් රාජ්‍යයට ගුස්ති අල්ලන්නට අභියෝග කෙළේ වෘෂණකෝෂ එළියට පනින සේ පිටපොට ගසා ගනිමිනි. මේ වහසි බස් අසල් රාජ්‍ය තාන්ත්‍රිකයෝ තම පශ්චාත් භාගයෙන් පිටවන දුර්ගන්ධ වූ වාතයක් සේ හෝ ගණන් ගත්තේම නැත්තෝය.

 මේ අතෝරයේදී කටුසු වංශික ඇමැත්තාට සමීප වූ සුධාර්මික වූ වෙළෙඳ ඇඹේනිය අසල් රාජ්‍යයේ යෞවන ගාන්ධර්වයකු වූ සෝනු නුගම් කෙරෙහි වශීකෘතව ඉල්ලීමක් කළාය.

වෙළෙඳ ඇඹේනියගේ සුරූපී නාරි ලාලිත්‍යයෙන් මුසපත්ව සිහි එළවාගත නොහැකිව සිටි ඇමැත්තෝ ඇගේ හඬට සවන් යොමු කළෝය.
'මාගේ චිත්තය උන්මාදයට පත් කළ වීරවූ වංශිකයාණනි, මාගේ සුසිනිඳු හෘදය අසල්වැසි රටේ සෝනු නුගම් යෞවන ගාන්ධර්වයා කෙරෙහි බැඳී ඇති හෙයින් ඔහු කෙසේ හෝ අප දේශයට ගෙන්වා දෙනු මැනවි'

 සුධාර්මිකාවගේ මුදු ස්වරයෙන් හා මන්දස්මිතයේ ආනුභාවයෙන් මනස උඩුකුරුඤ්ඤං වූ ඇමැත්තාගේ මුඛ පූට්ටු වී ගියේයැ.

අසල්වැසි භාරත දේශයට එරෙහිව උඩුබුරලෑම නවතාගත් කටුසු වංශික ඇමැත්තාණෝ භාරතයට එරෙහි වීමේ පිළිවෙත අලුයම ලූ කෙළ පිඬක් සේ සැණෙකින් ඉවත දැම්මොයැ.

 වහ වහා තම අමාත්‍යංශගත ධන පරිත්‍යාගයෙන් සෝනු නුගම් යෞවන ගාන්ධර්වයා සිරිලකට ගෙන්වා හැරපියා සුධාර්මික රූ සිතැත්තියගේ සෝනු ‍ෙදාළදුක සංසිඳෙව්වාය.

තමන්ට රිසි වූ දෙයක් කිසිදු අනෝරාවකින් තොරව කර ගැනීමේ මනා වූ නිපුණතාවක් ඇති සුධාර්මික වූ රූපවන්තිය අති සුන්දර චෝගම් වකවානුවේදී ඉතිහාස වංශ කතාව තුළ රාජ රාජ මහාමාත්‍යාදීන් වහ වැටී සිටි දූ කෙළිය, දාදු කෙළිය සුධාර්මිකව ආරම්භ කළය. එය පෙර සිට පැවැත්වූවා වූ කෙළියක් වුවද බිය සැක හැරව පවත්වාගෙන යෑමට රාජ්‍ය උෂ්ණාධික අත්වැලක්ද සමීපගතව සිටීම ඇගේ සැපයටම හේතු භූත වූයේය. දේශයේ ආරක්‍ෂාව පිළිබඳ හුදී ජනයා පහන් සංවේගයට හේතුපල දක්වන්නා වූ ස්ථානයකට අරක්ගත් මහානුභාව රාම කුමරුගේ සොහොයුරු නාමධාරියකු වන ප්‍රේමනීයයකුගේ සුපසන් සෙවණ යට දාදු කෙළිය පැවතෙද්දී අනෝරාවක් කඩා වැටිණි.

 පෙර දවස මෙරට රාජ්‍ය කරවූ ජෝන් කොතලාවල සිරිමතුන් අගනුවර සමීපයේ කොටහේන පුරවරයේ නෙයිනා නමැති මුසල්මානුවාගේ බූරු පොළට කඩා පැන්නා සේ එපමණකුදු නොවුවත් තරු පටි, දම්සක් ඔටුනු පැලැඳි නීති කරවන මුලාදෑනියෝ විසිතුන් දෙනෙක් සුධාර්මික කුලකතගේ සූදු මන්දිරයට කඩාපිනූහ.

කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවූ මේ අකරතැබ්බයෙන් ව්‍යාකූල වූ සුරූපිනිය පිළිසරණක් පැතූයේ රාම කුමරුගේ සොහොයුරු නාමධාරි රාජ උෂ්ණාධිකයාගෙනි. 'නැත අන් පිහිටා - ඔබ මිස සරණා' යැයි පිය තෙපුල් ශෝකී ස්වරයෙන් පවසද්දී ළය උණු වී ගිය රාජ උෂ්ණාධිකයා සුමුදු වදනින් සුරූපිනිය සනහා වහා කසය අතට ගත්තේය.

හෝරා කිහිපයක් යන්නට මත්තෙන් සූදු මන්දිරයට කඩා වැදුණු තරු ඔටුනු දම්සක් මුලාදෑනීන්ගේ උන්හිටිතැන් පවා අහිමිව ගියේය. ඔවුහු වනාන්තර යාබද ප්‍රදේශවලට පවනට බඳු වේගයෙන් පශ්චාත් භාගයට පයින් පහරදී එළවා දැමුවෝය.

කඳුළු පිරි දෙනයනින් ශෝකබරිතව සිටි සුධාර්මික වූ වෙළෙඳ සුරූපිනිය රාජ උෂ්ණාධික ජවාධිකයාගේ ළමැද තලා යහනේ සැනසුම් සුසුම් හෙළුවාය.

 ඔවුනොවුන් උණුසුම් සුසුම් හුවමාරු කරගත්තද තරු ඔටුනු සේවය තුළ මහත් කැලඹිල්ලක් ඇති වූයේය. තරු ඔටුනුු මහ ඇත්තාද දෝෂයට බඳුන් වූයේය. දේශයේ යුක්තිය ආරක්‍ෂා කිරීමට දූෂණය පිටුදැකීමට ගිය තරු ඔටුනුධාරීන්ගේ ශෝචනීය ඉරණම (අ)මුතු ඇටේ යුක්තිගරුක ජනයා තුළ ඇති කෙළේ පිළිකුල් වූ සංවේගයකි.

තත්ත්වයෙහි බැරෑරුම්කම පිරිසිඳ දැන ගත් රාජ උෂ්ණාධිකයෝ ජන රෝෂය සමථයකට පත් කරනු වස් තම සිඟාල ඥානය උපයෝගී කරගනිමින් තවත් ගැටයක් ගැසුවෝය.

 (අ)මුතු ඇටේ ජනපදිකයන්ගේ හිස් මුදුන්වලට ගව අංතට්ටු මුදුන් කරමින් යළිත් වතාවත් තරු ඔටුනු පිරිසක් ලවා සුධාර්මික වූ සූදු මන්දිරයට සත්තමක් දැම්මෙව්වේය.

(අ)මුතු ඇටේ දිවයිනේ මහා ප්‍රෞඪ ඉතිහාසයේ මහරු කෞතුක වස්තූන් තැන්පත් කර තිබූ කෝෂ්ඨකාගාරයට බීඩි කුඩ්ඩකු පැන්නා යැයි ගෙතූ මහා කර්ණගණ්ඩ ජාතකය (කන් ගැට්ටාගේ කතා වස්තුව) සේ මේ බූරු පොළටද නාට්ටාමින් කිහිප දෙනකු දමා ජීවාග්‍රාහයෙන් අල්ලාගෙන ගොස් සිරකර දැම්මේය.

 පෙර දිනයේ තරු ඔටුනු මුලාදෑන් විසිතුන් දෙනා පිනූ වේලාවේ සිටි බලවන්තයන්, ධනවන්තයන්, නිලමක්කාරවරුන් පිළිබඳ ජනතාවගේ බූරු මතකය අකා මකා දමන්නට කැනැහිල් පියවරක් ගත්තේය. ඒ රටේ ජනතාව බූරුවන් යැයි සිතාගෙනය.

නීතියක්, ජන්මයක් නැති දේශයේ රාජ උෂ්ණාධිකයන්ට කළ නොහැක්කක් නැත්තේයැ. නීතිය කණපිට හරවා බූරු පිටි - රත්තනපිටි කළ හැක්කේයැ.

 අසිරිමත් වූ චෝගම් වකවානුවේ (අ)මුතු ඇටේ මුසපත් කළ 'බූරු ජාතකය' එසේ නිමා වුවද රටේ ජනතාව බූරුවන් යැයි සිතා සිටින අමනයන් මෙය දැන ගත යුතුය.

'සඟවන ලද සත්‍යය ගිලී සැඟවී පොළොව සරුසාර කර යළි කෙදිනක හෝ හිරු එළිය දැකගනී' යනුවෙන් ජෝර්ජ් කීත් වෙස්ටර්න් පවසා ඇති බවයැ.

රාජ්‍යයක් හොඳින් පාලනය කළ හැක්කේ යුක්තිය, ධර්මය රැකීමෙනි. එසේ නොමැතිව හුදී ජනයා බූරුවාට හෝ ගවයාට ඇන්දවීමෙන් නොවේ.

 නීතිය, යුක්තිය සුනඛයාට යැවීමෙන් ඇතිවන ප්‍රතිඵලය (අ)මුතු ඇටයේ ගෞරවයද සුනඛයාට යෑමය. ජනතාව යම් දිනක පිස්සු සුනඛයන් වුවහොත් නීතිය කණපිට ගැසූ බූරුවන්ට සිදුවන දෙය අවිනිශ්චිතය.


බණ්ඩාර
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

Popular Posts

Popular Posts