Header Ads

රාජ්‍ය නොවන සංවිධාන විසින් "මාවිල්ආරුවක්‌" කැඳවා ගැනීම

මේ අවස්‌ථාවේ මුලු පොදු රාජ්‍ය මණ්‌ඩලයේම සිටින ප්‍රීතිමත්ම පුද්ගලයා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ මහ ලේකම් කමලේශ් ශර්මා විය යුතුය. පසුගිය වකවානුව පුරාම පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු අභාවයට යමින් පැවති සංවිධානයකි. එහි සාමාජිකයන් වෙනත් ජාත්‍යන්තර සංවිධාන තුළ එකිනෙකාට උදවු දී ගත්තේ නැත. පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ සංවර්ධිත රටවල් මානව හිමිකම් ප්‍රශ්න මතු කරමින් සංවර්ධනය නොවූ රටවල් පාලනය කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටියේය. ගැම්බියාව දැනටමත් පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත්වීමේ තීන්දුව ප්‍රකාශයට පත්කොට ඇත. කෙන්යාවේ ජනාධිපතිවරයාත් උප ජනාධිපතිවරයාත් දෙදෙනාම යුද අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කොට ඇත. මේ සම්බන්ධයෙන් කෙන්යාවට පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් කිසිදු උදව්වක්‌ ලැබුණේ නැත. මෙවැනි විවිධ කාරණා නිසා මේ සංවිධානය දිනෙන් දින අභාවයට යමින් පැවතියේය.

නමුත් 2011 දී ඊළඟ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීමට තීන්දු කිරීමෙන් පසු අභාවයට යමින් පැවති පොදු රාජ්‍ය මණ්‌ඩලයට නව අවධානයක්‌ හා නව පණක්‌ ලැබුණු බව අවිවාදාත්මකය. දැන් පොදු රාජ්‍ය මණ්‌ඩලය ගැන මුලුළුලෝකයම කතා කරති. 2011 ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නගරයේ පැවති පසුගිය පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහභාගි වූයේ නැත. ඔහු එම සම්මේලනයේ සිටියා ද නැත්ද යන්නවත් කිසිවකුගේ අවධානයට යොමු වූයේ නැත. නමුත් මෙවර ඔහු මේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වනවාද නැත්ද යන්න මුළු ඉන්දියාවම හෙල්ලුම්කන කාරණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව ලෝකය පුරාම සාකච්ඡා වන කාරණයක්‌ බවට ද පත් වී ඇත. මීට කලින් පැවති පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවලට කවුරු සහභාගි වනවාද නැත්ද යන්න ගැන කිසිවෙක්‌ අවධානය යොමු කළේ නැත.

2011 සිටම ලංකාවේ පැවැත්වෙන මෙම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු යෑයි මේ සංවිධානයේ සාමාජික රටවලට විවිධ බලගතු පාර්ශ්වවලින් වෙන් වෙන්ව බලපෑම් එල්ල විය. නමුත් කැනඩාව හැරුණුවිට අනෙක්‌ සියලුම රටවල් ඒ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. පිටස්‌තර බලපෑම් නොතකා තම සංවිධානයේ සිටින සාමාජික රටක්‌ වටා එක්‌රොක්‌ වීමෙන් පොදු රාජ්‍ය මණ්‌ඩලය දැන් නව අඩියකට පැමිණ ඇති බව පෙනේ. 2011 දී බහාමාස්‌, බෙලීස්‌, සයිප්‍රස්‌, ගයානා, කිරිබති, මෝල්ටා, සොලමන් දූපත් හා නවසීලන්තය තම විදේශ ඇමැතිවරුන් යෑවූ අතර උගන්ඩාව, සැම්බියාව, නැම්බියාව, ඝානාව හා ඉන්දියාව නියෝජනය වූයේ ඒ රටවල උප ජනාධිපතිවරුන් විසිනි. ඊට අමතරව සාන්ත ලුසියා හා ශාන්ත වින්සන්ට්‌ යන දූපත් රාජ්‍ය නියෝජනය වූයේ තානාපති මට්‌ටමේ නියෝජිතයන් විසිනි. නමුත් ලංකාවේ පැවැත්වෙන මේ සමුළුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවධානයත් උණුසුමත් නිසා එයට බොහෝ රටවල රාජ්‍ය නායකයෙක්‌ නැතිනම් ආණ්‌ඩු ප්‍රධානියෙක්‌ සහභාගි වන තත්ත්වයන් නිර්මාණය වී තිබේ.

මේ ආකාරයට උනන්දුවක්‌ ඇතිවී තිබෙන්නේ රාජ්‍ය නායක සමුළුව ගැන පමණක්‌ම නොවේ. ඒ අයුඣ්රෙන් ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය "ජනතා සම්මේලනය" සම්බන්ධයෙන් ද විශාල උනන්දුවක්‌ ඇතිවී තිබේ. මෙයට ජනතා සම්මේලනයක්‌ යෑයි කීවද එයට සහභාගි වන්නේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ය. එම නිසා මේ ජනතා සමුළුවෙන් සිදුවන්නේ බටහිර රටවල අවධානයට යොමුවී ඇති කාරණා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල ජනතාවගේ මතයක්‌ හැටියට රාජ්‍ය නායකයන් වෙත ඉදිරිපත් වීමයි. උදාහරණයක්‌ වශයෙන් ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නගරයේ පැවති අවසන් රාජ්‍ය නායක සමුළුව ආශ්‍රිතව පැවති ජනතා සමුළුවේ අවසන් වාර්තාවෙන් ඉල්ලීම් 6 ක්‌ ඉදිරිපත් කර තිබිණි. ඒවා අතර පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ මානව අයිතීන් කොමසාරිස්‌ ධුරයක්‌ ඇතිකිරීම, පොදුරාජ්‍ය මණ්‌ඩලයීය රටවල් තුළ මානව අයිතීන් ක්‍රියාකාරීන් ආරක්‍ෂා කිරීම, සමලිංගික සම්බන්ධතාවලට ඇති නීතිමය බාධා ඉවත් කිරීම වැනි කාරණා ඇතුළත් විය. මේවා බටහිර රටවලට අවශ්‍ය දේවල් මිස පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල ජනතාවට අවශ්‍ය දේවල් නම් නොවේ.

උදාහරණයක්‌ වශයෙන් පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ මානව හිමිකම් කොමසාරිස්‌ තනතුරක්‌ ඇති කළ යුතු යෑයි කැනඩාව ඇතුළු දියුණු රටවල් කීපයක්‌ 2011 දී ගෙන එනු ලැබූ යෝජනාව එම වසරේ පැවති ජනතා සමුළුව විසින් ද ඔවුන්ගේ අංක එකේ ඉල්ලීම හැටියට ඉදිරිපත් කොට තිබිණි. නමුත් මෙය පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායකයන් විසින් එක හෙලාම ප්‍රතික්‍ෂේප කොට තිබුණේ පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ "පොලිස්‌කාරයෙක්‌" අවශ්‍ය නැතැයි කියමිනි. මෙකී යෝජනාවට වැඩියෙන්ම එරෙහි වූ රටවල් දෙක වූයේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාවයි.

මෙම වසරේ ද පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රාජ්‍ය නායක සමුළුව ඇසුරෙන් ජනතා සමුළුවක්‌ පැවැත්වීමට නියමිතය. පෙර පරිදිම මේ ජනතා සමුළුවට සහභාගි වන්නේ ද පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විවිධ රටවල්වල ක්‍රියාකාරී වී සිටින බටහිර රටවලින් මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයි. නමුත් මෙවර සාකච්ඡා වීමට නියමිත මාතෘකාව වන්නේ "ආර්ථික වර්ධනය, සාධාරණය හා සාමූහික සංවර්ධනය" යන මාතෘකාය. නමුත් කොළඹ පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් පසුගිය වකවානුව පුරාම සාකච්ඡා වූයේ දේශපාලන ප්‍රශ්න මිස ආර්ථික වර්ධනය ගැන ප්‍රශ්න නොවේ. මෙවර පැවැත්වීමට නියමිත ජනතා සමුළුවේදී සාකච්ඡා වීමට නියමිතව ඇත්තේ ආර්ථික ප්‍රශ්න නිසා එයට පිටින් දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමට වෙනම රාජ්‍ය නොවන සංවිධාන සමුළුවක්‌ පැවැත්වීමට ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන එකතුවක්‌ තීන්දු කොට ඇත.

මා මෙම රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ අයකුට කතාකොට දැනගත් තොරතුරු අනුව මෙකී රාජ්‍ය නොවන සංවිධාන සමුළුව නොවැම්බර් 7 වැනිදා කොළඹදී රැස්‌වීමට නියමිත අතර එය මෑතකදී මියගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියන් වූ සුනිලා අබේසේකර අනුස්‌මරණය කිරීමේ රැස්‌වීමක්‌ද වනු ඇත. මෙම "විකල්ප ජනතා සමුළුවේදී" ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මුහුණ දෙන "අභියෝග" සාකච්ඡා වන අතර ඒ පිළිබඳව වාර්තාවක්‌ පොදු රාජ්‍ය මණ්‌ඩලීය ජනතා සමුළුවට ඉදිරිපත් කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි. මේ ආකාරයට ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විසින් පැවැත්වීමට නියමිත මේ විකල්ප ජනතා සමුළුවේදී ලංකාව තුළ සිදුවන ඊනියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අතුරුදන් වීම්, මාධ්‍ය මර්දනය, යුද අපරාධ වැනි අපට හුරුපුරුදු මාතෘකා සාකච්ඡා වීමට නියමිතය.

නමුත් මේ විකල්ප ජනතා සමුළුව තුළින් ලංකාවේ ආණ්‌ඩු පෙරළියක්‌ බලාපොරොත්තු වන රාජ්‍ය නොවන සංවිධාන බලාපොරොත්තුව වන දේ සිදුවේද යන්න සැක සහිතය. 2011 දී පර්ත් නගරයේ පැවැති අවසන් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නොවන සමුළුවේදී ඊළඟ සමුළුව පවත්වන්නේ ලංකාවේ යෑයි තීන්දු වූ මොහොතේ සිට අද දක්‌වාම ලංකාවේ මේ සමුළුව පැවැත්වීම නැවැත්වීමටත් විවිධ රාජ්‍ය නායකයන් එයට සහභාගීවීම වැළැක්‌වීමටත් දැවැන්ත ව්‍යාපාරයක්‌ දියත් වුණු අතර ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන මේ මානව හිමිකම් පිළිබඳ චෝදනා, මාධ්‍ය මර්දන චෝදනා යනාදී සියල්ල දැනටමත් කියා අවසානය. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ සෑම රටක්‌ම මේ චෝදනා දහස්‌ වාරයක්‌ අසා ඇත. ඒ සියලු චෝදනා අසා තිබියදීත් ලංකාවේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව පැවැත්වෙයි. එවැනි තත්ත්වයක්‌ යටතේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන රැස්‌වී නැවත වතාවක්‌ අර පරණ චෝදනා වට්‌ටෝරුවම පුනරුච්චාරණය කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක්‌ අත්වේ යෑයි සැක සහිතය.

නමුත් මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කිරීමට යන මෙම විකල්ප ජනතා සමුළුව නිසා ලංකාවේ ආණ්‌ඩුව ලැඡ්ජාවටත් අපහසුතාවටත් පත්වන තරමට එය රටේ දිගුකාලීන උන්නතියට ඉවහල් වන කාරණයක්‌ බව කිව යුතුය. එයට හේතුව මම විස්‌තර කරමි. මීට සති 6-7 කට පෙර ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා නිව්යෝර්ක්‌ නුවර රාජ්‍ය නොවන සංවිධානවල 'වටමේස සාකච්ඡාවක්‌' පැවැත්වීය. මෙකී වටමේස සාකච්ඡාවේ පරමාර්ථය වූයේ ලෝකය පුරාම විවිධ රටවල් විසින් බටහිර මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමටත් ඒවාට ලැබෙන මුදල් අධීක්‌ෂණය කිරීමටත් නීති පැනවීම තුළින් එම සංවිධානවල ක්‍රියාකාරීත්වයට බාධක පැමිණෙන නිසා ඒ ප්‍රවණතාවට එරෙහිව ගත යුතු පියවරවල් සාකච්ඡා කිරීමටය. ලංකාවෙන්ද එක්‌ නියෝජිතයෙක්‌ මේ වටමේස සාකච්ඡාවට සහභාගි වුවත් රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට හෝ ඒවාට ලැබෙන මුදල් අධීක්‌ෂණය කිරීමට කිසිදු නීතියක්‌ ලංකාවේ නැත.

අසල්වැසි ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට දැඩි නීති රීති 1970 ගණන්වල සිටම තිබිණි. ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් පවතින නීතිවලට අනුව ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර එම සංවිධානවලට විදේශ මුදල් ලබාගත හැක්‌කේ එක්‌ නම් කරන ලද බැංකු ගිණුමකට පමණි. දේශපාලන කටයුතුවල නියෑලීම විදේශ මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සපුරා තහනම්ය. ඉන්දියාවේ ඉහල සිට පහලම මට්‌ටම දක්‌වා සියලුම දේශපාලනඥයන්ට, රජයේ සේවකයන්ට, නඩුකාරයන්ට හා ජනමාධ්‍යවේදීන්ට විදේශ මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන සමග කිසිදු සම්බන්ධයක්‌ පැවැත්වීම සපුරා තහනම්ය. එමෙන්ම එම ඉන්දීය නීතියෙන් පාලනය වන්නේ මුදල් පමණක්‌ නොවේ. ඉන්දියාවේ දේශපාලනඥයන්, රජයේ සේවකයන්, නඩුකාරයන් ලබන විදේශීය ගමන් බිමන් ගැනද ඔවුන් සැලකිලිමත් වෙයි. මේ සියලුම නීති ඉන්දිරා ගාන්ධි ගේ යුගයේ සිටම ඉන්දියාවේ ක්‍රියාත්මක වී ඇත. බලගතු හා විශාල රටක්‌ වන ඉන්දියාවට බටහිර රටවල බලපෑම්වලින් එවැනි ආරක්‌ෂාවක්‌ තිබුණත් ලංකාවට ඒ කිසිවක්‌ නැත. මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වීම අනිවාර්ය නොවේ. ඔවුන්ට පිටරටින් මුදල් ගෙන්වාගෙන මේ රට තුළ දේශපාලනය කිරීමටද හැකියාව ඇත. එපමණක්‌ද නොව, බටහිරින් එන මුදල් යොදවා මේ රටේ දේශපාලනඥයන්, රජයේ සේවකයන්, නඩුකාරයන් හා ජනමාධ්‍යවේදීන් මිලදී ගැනීමටද කිසිදු බාධාවක්‌ නැත.

ලංකාවේ ආණ්‌ඩුවද ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ඇති පනත ඒ ආකාරයටම ලංකාවේද සම්මත කරගත යුතුය යන්න මම පසුගිය වකවානුව පුරා දිගින් දිගටම කියා සිටියෙමි. නමුත් ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් ඇල් මැරුණු පිළිවෙතක්‌ අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්ද ඉන්දියාව 1976 දී ගත් ආකාරයේ ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ලංකාවේ ආණ්‌ඩුව පෙළඹවීමට නම් තවත් 'මාවිල්ආරු මොහොතක්‌' අවශ්‍යවන බව පෙනේ. 2006 දී කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් ඇතිකරන ලද තත්ත්වය නිසා ආණ්‌ඩුවට පහර නොදී සිටීමට නොහැකි විය. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට ආණ්‌ඩුව ක්‍රියාකරනු ඇත්තේ එවැනි මොහොතක්‌ නැවත ඇති වූ පසුවය. නොවැම්බර් 7 වැනිදා මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන පැවැත්වීමට යන විකල්ප ජනතා සමුළුව මා වැදගත්කොට සලකන්අනේ ඒ නිසාය.

ඉන්දියාව තුළ නම් විදේශ මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ඒ රටේ ආණ්‌ඩුව අපහසුතාවට පත් කිරීමටත් ඔවුන් සමග එකට එක කිරීමක්‌ හැටියටත් මෙවැනි සමුළු සංවිධානය කිරීමටත් හීනෙකින්වත් සිතන්නේ නැත. ඉන්දියාවේ ආණ්‌ඩුව සමග එකට එක කරන්නේ පිටරටින් මුදල් ලබන සංවිධාන නොව ඉන්දියාවේම දේශපාලන පක්‌ෂ හා වෙනත් සමාජ සංවිධානයි. ඉන්දියාවේ දේශපාලන පක්‌ෂවලට හා සමාජ සංවිධානවලට පිටරටින් මුදල් ලබා ගැනීම සපුරා තහනම් වන නිසා ඒවායින් නියෝජනය වන්නේ ඉන්දීය ජනතාවගේ උවමනාවන් මිස බටහිර රටවල වුවමනාවන් නොවේ. ලංකාවේද එවැනි තත්ත්වයක්‌ ඇති කළ යුතුය.

මේ බටහිර මුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන වසංගතයෙන් ඉන්දියාවට තිබෙන ආරක්‌ෂාව ලංකාවේද ඇති කිරීමට පියවර ගැනීම සඳහා ආණ්‌ඩුවේ ඇස්‌ ඇරවන සිද්ධියක්‌ බවට නොවැම්බර් 7 වැනිදා විකල්ප ජනතා සමුළුව පත්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

 සී. ඒ. චන්ද්‍රප්‍රේම

No comments

Powered by Blogger.