Open top menu
Tuesday, November 19, 2013

ගහට ගහක්‌ මොරටුවේදී හමු වෙතැයි ඉතා පැරණි කියුමක්‌ තිබේ. මේ කියුම අද පරණ ලීයක්‌ තරමටම ජරාජීර්ණ වී දිරා ගොස්‌ ඇති බව අපි දනිමු. මන්ද යත් අද ගහට ගහක්‌ මොරටුවේ ලී මෝල්වල නොව ලංකාවේ ඕනෑම ලී මෝලකදී හමුවන නිසා ය. ඒ තරමට අද ලී කර්මාන්තය පුළුල් ය. උදාහරණයක්‌ වශයෙන් කතරගම මැණික්‌ ගඟ දෙපස තිබූ වටිනා කුඹුක්‌ ගස්‌ සිය ගණනක්‌ ඉදිරි දින කිහිපය තුළදී ලංකාවේ ඕනෑම ලී මෝලකින් ලබා ගැනීමට ඔබට පුළුවන. කතරගම කුඹුක්‌ ගස්‌වලින්, රුපියල් තිස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා තොගයක්‌ පසුගියදා තෙල්දෙනියේ ලී මෝලකට බාන ලදී. ඉස්‌සර ලී බිස්‌නස්‌ කළෝ වඩු පට්‌ටල්කාරයෝ ය. අද ලී බිස්‌නස්‌ කරන්නෝ දේශපාලනඥයෝ ය. මේ නිසා ගහට ගහක්‌ හැම තැනකදීම හමුවෙයි.

මේ අතර ලංකාවේ ගහක්‌ සහ එංගලන්තයේ ගහක්‌ පසුගියදා කොළඹ ක්‍රිකට්‌ ඇකඩමියේදී හමු වූහ. ලංකාවේ ගස වූ කලී අපේ ජාතික වීරයකු වූද ලක්‌මාතාව විසින් බිහි කර ලෝකයට භාර කරන ලද අති විශිෂ්ට ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ මුත්තයියා මුරලිදරන් ය. අනෙක්‌ ගස, ක්‍රිකට්‌ උපන් රට වූ එංගලන්තයේ අගමැති වූ ඩේවිඩ් කැමරන් ය. ලෝකය දන්නා කැමරන්ලා දෙදෙනෙක්‌ සිටිති. එයින් පළමුවැන්නා ඡේම්ස්‌ කැමරන් ය. ටයිටැනික්‌ සහ අවතාර් චිත්‍රපට සැදූ ඔහු දක්‍ෂ නිර්මාණකාරයකු ලෙස ලෝක පූජිත විය. දෙවැන්නා වන ඩේවිඩ් කැමරන් කිසිදු මඟුලක්‌ කර නැති අතර අධිරාජ්‍යවාදයේ සහ නව යටත් විජිතවාදයේ කුණු වූ මෘතදේහය කර තබාගෙන රටින් රට ගමන් කරන්නෙකි. මුරලි සහ මෙකී දෙවන කැමරන් පසුගියදා කොළඹ ක්‍රිකට්‌ ඇකඩමියේදී සංකේතාත්මකව ක්‍රිකට්‌ ගැසූ අතර මුරලි පන්දුව දැමුවේ කැමරන්ගේ වාසියට ය. මන්ද, රටක රාජ්‍ය නායකයකු පැමිණ ප්‍රවීණයකු සමඟ සංකේත තරගයක නිරත වන විට තම හපන්කම් පෙන්වා, එන මිනිහා නන්නත්තාර කිරීම වැදගත්කමට හැදුණු මිනිසකුගේ සිරිත නොවන නිසා ය. මුරලි වැදගත්කමට හැදුණුඣ් අපේ කොල්ලෙකි. ලෝඩ්ස්‌ පිටිය දෙවනත් කළ ඔහු හරියට එක බෝලයක්‌ දැමුවා නම් කැමරන් නවතින්නේ එංගලන්තයටත් එහායින් පිහිටි අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ පිහිටි ඤරජන ච්රන ක්‍රීඩාංගණයේ වහල මතය. (1920 දී බ්‍රිතාන්‍ය ඔත්තුකාරයන් පිරිසක්‌ අයර්ලන්ත ගරිල්ලන් විසින් මරා දමනු ලැබීමේ පළිය ගන්නට ඤරජන ච්රන ක්‍රීඩාංගණයට කඩාවැදුණු බ්‍රිතාන්‍ය හමුදාව පාපන්දු තරගයක්‌ නරඹමින් සිටි අයර්ලන්ත ජාතිකයන් 14 දෙනකුට වෙඩි තබා මැරූහ.)

මුරලිගේ හැදිච්චකම කැමරන්ට නොවී ය. ඔහු අපේ රටට පැමිණ අපටම තර්ජනය කර ආපසු යන ගමන් නිවාඩුවක්‌ ගතකිරීම සඳහා සිය පවුල ද සමඟ ලංකාවට එන බව සරත් අමුණුගම ඇමැතිතුමාට කියාගෙන ගියේ ය.

මුරලි යනු සකලාංග සම්පූර්ණ තරුණයෙකි. ඔහුට කිසිදු හිඟ පාඩුවක්‌ නැත. මේ මට්‌ටමට අඩුවෙන් සිටින ක්‍රීඩකයන් පවා කරන්නේ ඇඟ පුරාම රත්තරන් එල්ලාගෙන පිස්‌සු කෙළීම ය. නැත්නම් කොණ්‌ඩය ටින්ට්‌ කරගෙන කලවැද්දන් බඳුව මාධ්‍යවලට බැණීම ය. එහෙමත් නැත්නම් රට පැනීම ය. එහෙත් මගේ රට මගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාව ය යන මතයේ සිටින මුරලි යුද අපරාධ නමැති ඇසිඩ් වැදී ඩේවිඩ් කැමරන්ගේ ඇස්‌ අන්ධ වී තිබෙන හැටි වෙනත් යහපත් වචනවලින් වටහා දුන්නේ ය. වෙන ක්‍රීඩකයකු නම් මේ වෙලාවේදී කරන්නේ කැමරන් සමඟ කුටු - කුටු ගා බ්‍රිතාන්‍ය පුරවැසිකම තම පවුලේ අයටත් තමන්ට නයිට්‌ පදවියකුත් ලබාගන්නා හැටි කල්පනා කිරීම ය. ඒ න්‍යාය පත්‍ර පැත්තක තැබූ මුරලි පසුගිය තිස්‌ අවුරුද්ද තුළ උතුරේ ප්‍රශ්නය ස්‌ථානගතව තිබූ තැනත් එකල එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ උතුරට ගිය විට තමාට දකින්නට ලැබුණු තත්ත්වය අද වන විට සියයට දහසකින් වැඩි දියුණු වී ඇති බවත් කැමරන්ට පැහැදිලි කළේ ය.

මුරලි සිතන විදියට හිතන්නට 100% ක්‌ පාරිශුද්ධ සමහර සිංහල බෞද්ධයන් පවා සූදානම් නැත. රට අමාරුවේ දැමිය හැකි නම් ඔවුන්ට ඊට වඩා දෙයක්‌ නැත. මෙයින් වැඩි දෙනාට රට අමාරුවේ දැමීමෙන් කිසිදු ලාභයක්‌ අත්වන්නේ නැත. ඔවුන්ට ඇති එකම ලාභය රටට "කෙළවුණේ ය" යන පාපී - කාලකණ්‌ණි සතුටයි. මේ සතුට පතා පිටරටවලට පෙත්සම් ගසන නිකමුන් බහුල ය. මේ පෙත්සම් යෑවූ තරමට - ඒ රටවල සංචාර සඳහා ඔවුන්ට ගුවන් ටිකට්‌පත් සහ යෑපීම් ගාස්‌තු ලැබෙයි. තම රට වෙනුවෙන් මුරලිගේ මට්‌ටමින් පෙනී සිටි එකදු ක්‍රිකට්‌ ක්‍රීඩකයකුවත් මෙරට නැති බව අපි අවධාරණයෙන් කියමු. අපට මතක ඇත්තේ පිටරටවල විශ්වවිද්‍යාලවලට ගොස්‌ රටට බැණවැදුණු ක්‍රීඩකයන් ගැන පමණි.

divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. Very true. We should be very proud about this' true Sri lanka Son'. He always puts Country before SELF.
    May the noble triple gem bless him

    ReplyDelete

Popular Posts

Popular Posts