Header Ads

ඡේ. ආර්. ට එන්න කියලා මැතිනිය ලෙඩ දැම්මේ නෑ ---- රනිල් කතාකරයි

ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක්‌ තිබේ. අංශ ගණනාවක්‌ තිබේ. රටේ විකල්ප නායකයා ලෙස ඔහුගේ මතයට ඇති වටිනාකමද ඉහළය. පක්‍ෂ අර්බුදය යම්තාක්‌ දුරට සංසිඳුණු මොහොතක අපි ඔහු හමුවීමු. නමුත් ඔහු අනෙකුත් කටයුතු නිසා කාර්ය බහුලය. කුමන තත්ත්වයක්‌ මැද්දේ වුවත් කලබල නොවී සිටීම ඔහුගේ හැටිය. රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දෙවරක්‌ අගමැති පදවි ලත්, වත්මන් විපක්‍ෂ නායකවරයාය. එජාප නායකයාය. ඔහුගේ නිවසේදී 'දිවයින ඉරිදා සංග්‍රහය' සමග කරන ලද සාකච්ඡාවයි මේ.

චොගම් නොගියේ ඇයි.......?

ප්‍රශ්නය - රටක්‌ තුළ ජාත්‍යන්තර සමුළුවක්‌ පැවැත්වෙන අවස්‌ථාවක, එහි පක්‍ෂ විපක්‍ෂ බේද බලන තැනක රටේ විපක්‍ෂය සිටිනවා නම්, එම විපක්‍ෂයේ තත්ත්වය රට පමණක්‌ නොව ලෝකයාද තේරුම් ගන්නවා. 1976 වර්ෂයේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ විට, එවකට විපක්‍ෂ නායක ලෙස සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතා එයට සහභාගි වුණා. විපක්‍ෂ නායක ලෙස, චෝගම් සඳහා සහභාගි වීමට ඔබට ආරාධනා කර තිබියදී, සෘජුවම අදාළ නැති නිමිත්තක්‌ මුල් කරගෙන විපක්‍ෂය එයින් චෝගම් වර්ජනය කරනු ලැබුවා. මෙම තීරණය ඔබ විසින් සාධාරණීකරණය කරන්නේ කොහොමද.......?

පිළිතුර - ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාට නොබැඳි සමුළුවට එන්න කියලා, ආරාධනා කරලා, එතුමාට ඒකට එන්න බැරි වෙන විදිහේ දේවල් සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිතුමිය කළේ නැහැ.

මෙතැන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. එකක්‌ මෙහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබාදීම ගැන විශාල විරුද්ධත්වයක්‌ පිටරටවල තිබුණා. ලංකාවේ සමහරුත් විරුද්අධ වුණා. ඒ විරෝධතාවලට පදනමක්‌ තිබෙනවා. පොදු රාජ්‍ය මණ්‌ඩලීය වටිනාකම් උල්ලංඝනය කරලා කටයුතු කරන කොට එවැනි විරෝධතා එල්ල වෙනවා. ඒ එක පැත්තක්‌.

අනික්‌ අතින් සභාපතිකම ලැබෙනවා කියන්නේ, ආණ්‌ඩුව කූඩුවේ දැම්මා කියන එකයි. සභාපතිකම ලැබුණාම, ආණ්‌ඩුවට සිද්ධ වෙනවා, පොදු රාජ්‍ය මණ්‌ඩලීය වටිනාකම් මත ක්‍රියා කරන්න.... 

සභාපතිකම ලැබීම ගැන ප්‍රශ්න තියෙනවා. ඒත් අපි කියන්නේ නැහැ, සභාපතිකම නොදෙන්න කියලා. සභාපති වුණාට පස්‌සේ, ඒ වටිනාකම් මත ඉඳලා ක්‍රියාකරයිද නැද්ද කියලා අපි බලනවා. එහෙම ක්‍රියා කරන්නේ නැත්නම්, ඊට විරුද්ධව උද්ඝෝෂණය කරන්නත් අපි සූදානම්. 

අපිට සහභාගි වෙන්න කියලා, ආරාධනාවක්‌ කළා. ආරාධනා කළාම අපි බැලුවේ, ඒකට සහභාගි වෙන්න කියලා. ප්‍රශ්න තිබුණත් අපි ඒ තීරණය අරගත්තා. ඒත් පසුගිය බදාදා, බ්‍රහස්‌පතින්දා දිනවල උදාවුණුඣ් තත්ත්වය බැලුවාම, අපිට යන්න ඕනෑ වුණත්, ආණ්‌ඩුවේ කැමැත්තක්‌ නැහැ, අපි එන එක ගැන කියලා පේනවා.

ප්‍රශ්නය - සමගි ප්‍රදර්ශනය නමින් සිරිකොතේ පැවැත්වූ ප්‍රදර්ශනය තුළින් රණවිරුවන් දිනා දුන් යුද ජයග්‍රහණය ආපසු හරවන්නට එජාපය ඇතුළු පිරිසක්‌ කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර නායකයන් සහභාගි වන සම්මන්ත්‍රණයක්‌ පැවැත්වෙද්දී, යුද අපරාධ චෝදනා, ඇතුළත් ප්‍රදර්ශන සිරිකොතේ පැවැත්වීම තුළින් එජාපයේ න්‍යායපත්‍රය යළිත් වරක්‌ රටම දැනගත්තා.......

පිළිතුර - අපි මෙතැනදී කළේ ශාලාව දෙන එක විතරයි. අනික්‌ කිසිම ශාලාවක්‌ දීලා තිබුණේ නැහැ. මේ ප්‍රදර්ශනයේ කොතැනකවත් යුද අපරාධ චෝදනා ගැන කතා කළේ නැහැ. ඒවා ගැන කතා කරන්න එපා කියලත් අපි කිව්වා. මෙතැනදී අරමුණු දෙකක්‌ තිබ්බා. එක, එල්. එල්. ආර්. සී. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. දෙවැනි එක, පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම, යුද අපරාධ ගැන එතැනදී කතා කළේත් නැහැ. එහෙම තිබෙනවා නම් මේ අවස්‌ථාවේදී ඒ ප්‍රදර්ශනයට අපි එකඟ වෙන්නෙත් නැහැ.

ඒ ප්‍රදර්ශනයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා උද්ඝෝෂණ කෙරෙව්වා. මම එතැනට ගියේ, මගේ වෙනත් වැඩ කටයුතු වගයක්‌ තිබුණා. ඒ එක්‌කම මෙතෙන්ටත් ටිකක්‌ ගොඩවෙලා යන්න මට ඕනෑ වුණා. මට අත දික්‌ කරලා, වාහනේ පෙන්නලා.. ඇයි ගැහැව්වේ.. ඒක ... විශාල ප්‍රශ්නයක්‌... මේ ගැන මහලේකම්තුමා පොලිසියට කිව්වාහම ඔයගොල්ලෝ ඇතුළේ උද්ඝෝෂණය කරනවා. .... ඒ ගොල්ලෝ එළියේ උද්ඝෝෂණය කරනවා කියලා... ඇතුළේ උද්ඝෝෂණයක්‌ නැහැ. ගේට්‌ටුවලට ගැහැව්වට පස්‌සෙත් ආරක්‍ෂාව දුන්නේ නැහැ. 

බ්‍රහස්‌පතින්දා තිබ්බේ නායකත්ව මණ්‌ඩලය. ඇයි ඒකට විරුද්ධ වෙන්නේ. සාමාන්‍ය මතයක්‌ තියෙනවා. අපේ නායකත්ව මණ්‌ඩල කඩා කප්පල් කරන්න, ආණ්‌ඩුවට වුවමනායි කියලා..........

එල්. එල්. ආර්. සී. වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා බලපෑම් කරන එක කොහොමද දේශෙද්‍රඩහි ක්‍රියාවක්‌ වෙන්නේ, ඒ කොමිසම පත් කළේ, ජනධිපතිතුමාගේ අත්සනින්. අනිත්අ එක පොදු රාජ්‍ය මණ්‌ඩලීය ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කරන්න කියන එක. ඒක වැරදි නම්, දේශෙද්‍රඩහී නම්, මොකටද ඒකේ සභාපතිකම ගන්නේ........

ප්‍රශ්නය - සමුළුවේ ප්‍රධාන සැසිවාරය පැවැත්වෙන අතර වාරයේ උද්ඝෝෂණ පැවැත්වීම සඳහා පිරිසක්‌ කටයුතු කරමින් සිටියා. ඒ සඳහා එජාපයත් එකතුවීමට සිටි නිසා, එයට එරෙහිව අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට පවා පොලිසියට සිදු වුණා. එජාපය විපක්‍ෂය වී සිටින්නේ, ආණ්‌ඩුවටද රටටද.

පිළිතුර - එහෙම උද්ඝෝෂණයකට අපි සහභාගි වෙන්නේ නෑ කියලා අපි කලින්ම දන්වලා තිබ්බා. එජාපය එවැනි කිසිම උද්ඝෝෂණයක්‌ සඳහා සහභාගි වෙන එක හරි නැහැ කියලා හිතුවා. එහෙම තියෙද්දී, ඇයි මේ බොරුවට තහනම් නියෝග ගන්නේ.... පොලිසිය මේ නියෝග අරගත්තේ, නැති උද්ඝෝෂණයකට. ...... බොදු බල සේනා සංවිධානය සිරිකොතේ විරෝධතා දැක්‌වීම සඳහා සැරසුණේ ඇයි කියන එකයි ප්‍රශ්නය. බොදු බල සේනාව යන්න තිබ්බේ සිරිකොතට නෙමෙයි, ආණ්‌ඩුවට විරෝධය දක්‌වන්න. නැෂනල් මෝඩර් කොමිෂන් කියන, ජාතික වධදීමේ කොමිසමක්‌ ආණ්‌ඩුව ගේන්න යනවා. අපි ඒකට විරුද්ධ වෙනවා. ඔය කොමිසමට වැඩියෙන්ම මුහුණදෙන්න වෙන්නේ, ආරක්‍ෂක අංශයට.

අනිත් එක එල්. එල්. ආර්. සී වාර්තාව ක්‍රියාත්මක කළේ නැත්නම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඇතිවෙයි අපි කියන්නේ ජාත්‍යන්තර පරීක්‍ෂණ ඕනේ නැහැ. එල්. එල්. ආර්. සී. වාර්තාව ක්‍රියාත්මක කරමු. ඊට පස්‌සේ අනිත් දේවල් අපි එකට ඉඳලා සාකච්ඡා කරමු කියලා.

චොගම් හා ආර්ථිකය

ප්‍රශ්නය - පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම රටේ ආර්ථිකයට විශාල උත්තේජනයක්‌ බවයි ආණ්‌ඩුව පවසන්නේ. ඒ තත්ත්වය රටට ලබා ගැනීමේ වැදගත්භාවයක්‌ ඔබ දකින්නේ නැද්ද?

පිස්ළිතුර - මේකේ එහෙම ප්‍රතිලාභයක්‌ නැහැ. ආර්ථික වශයෙන් මෙතැනදී ආධාර හම්බු වෙන්නේ නැහැ. මේක දේශපාලන සංවිධානයක්‌, මේකෙන් සංචාරක ව්‍යාපාරවලට නම්, පොඩි සහයෝගයක්‌ ලැබෙයි.

ඊළඟ මැතිවරණය

ප්‍රශ්නය - ආණ්‌ඩුව හදිසි අයවැයක්‌ ඉදිරිපත් කරලා, මහා මැතිවරණයක්‌ ඉක්‌මනින් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා කියලා ඔබ ප්‍රකාශ කර තිබුණා. මේ ප්‍රකාශ සඳහා ඔබ පදනම් කර ගත්තේ කුමන කරුණුද.......?

පිළිතුර- ආණ්‌ඩුවට දැන්, රටේ ආර්ථිකය ගෙනියන්න බැහැ. එන ආර්ථික තත්ත්වය අනුව රටට අමාරුයි. ඒ නිසා ආණ්‌ඩුව බලන්නේ වේලාසනින්, මහමැතිවරණයක්‌, ජනාධිපතිවරණයක්‌ තියන්න. චොගම් එකට මුදල් වියදම් කළාට පස්‌සේ අනිත් ඒවාට මුදල් නැහැ. මේක වුවමනා නැති වියදමක්‌ කියලා අපි කිව්වේ ඒකයි. අද ජනතාවගේ අතේ සල්ලි නැහැ. අද මුදලක්‌ තියෙන්නේ ඉදිකිරීම් අංශයේ විතරයි. ඒක ආණ්‌ඩුව කරන වියදමක්‌. අනිත් එක එතෙර රැකියාවලින් ලැබෙන මුදල්. ඉස්‌සෙල්ලා තක්‌සේරුව තිබුණේ 2015 වෙනකං ආණ්‌ඩුව ගෙනියන්න පුළුවන් කියලා. දැන් ආණ්‌ඩුව පැත්තම දන්නවා.... 2014 වෙනකම් මේක ගෙනියන්න බැහැ කියලා.

නායකත්ව මණ්‌ඩලය 

ප්‍රශ්නය - මැතිවරණ කොයි මොහොතේ පැවැත්වුවත් ප්‍රතිඵලය කුමක්‌ද කියලා, හැමෝම දන්නවා. එජාපය තවම තමන්ගේ අභ්‍යන්තර අර්බුදය විස¹ගෙන නැහැ. මේ නිසා කොයි මෙහොතේ මැතිවරණයක්‌ තිබ්බත් එයින් එජාපයට වාසියක්‌ අත් කර ගන්නට බැරි තත්ත්වයක්‌ නේද තියෙන්නේ...? 

පිළිතුර - එක්‌සත් නායකත්ව මණ්‌ඩලය අපි ඇති කර ගෙන තිබෙනවා. දැන් ඒකේ මෙහෙයුම් වැඩ කටයුතු අපි කරගෙන යනවා. ජාතික මට්‌ටමේ සංවිධාන බලගන්වනවා. ඒක තමයි අපේ වැඩපිළිවෙළ. ඒක පක්‍ෂයේ හැමෝම පිළිඅරගෙන තිබෙනවා.

ප්‍රශ්නය - නායකත්ව මණ්‌ඩලය ගෙනාවේ පක්‍ෂයේ සමගිය ඇති කරන්න කියලයි. නමුත් එහි සාමාජිකයන් දෙදෙනකු මණ්‌ඩලයේ සංයුතියට විරෝධය පාලා ඉවත් වුණා. ඒ කියන්නේ මොන මණ්‌ඩල දැම්මත්, තවම අර්බුදය එතැනමයි කියන එක නේද.....?

පිළිතුර - ඇත්ත වශයෙන්ම එක්‌කෙනෙක්‌ අයින් වුණා. ඒ තලතා අතුකෝරාල. එතුමිය ඉස්‌සෙල්ලාම කිව්වා, මේක විශාල වැඩියි. ඒ නිසා එන්නේ නෑ කියලා. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගේ නම යෝජනා කළාම, එයා එතැනදී කිව්වා, මේකට සහභාගි වෙන්න අකැමැතියි කියලා. අපි ඒ වෙනුවෙන් කවුරුවත් යෝජනා කරලා නැහැ. ගිරාඹේ ආනන්ද නායක හාමුදුරුවෝ පැවැසුවා, එක්‌සත් භික්‍ෂු පෙරමුණෙන්, සජිත්ට මේ ගැන කතාකරන්නම් කියලා.... මම හිතන්නේ, මණ්‌ඩලයේ සජිත් ඉන්න ඕනේ කියලා. නමුත් එතුමා හිතනවා නම් ඉන්න ඕනේ නෑ කියලා.... අපි ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා... මේ වගේ තීන්දුවක්‌ ගත්තාම, අපි මණ්‌ඩලය ඇතුළේ හිටියත් නැතත් ඒකට සහයෝගය දෙන්න ඕනේ.

ප්‍රශ්නය - ඔබට, කරු ජයසූරිය මහතාට, සජිත් ප්‍රේමදාස මහතාට නියෝජිතයන් දෙදෙනා, බැගින් නායකත්ව මණ්‌ඩලයට පත් කරන්න හැකිවිය යුතු බවයි එක්‌සත් භික්‍ෂු පෙරමුණ ඔබ තිදෙනාට උපදෙස්‌ ලබා දුන්නේ. නමුත් ඒ තීන්දුව පැත්තකට දමා, ඔබට අවශ්‍ය පිරිසක්‌, සියලුම සම්මුතිවලට පිටින් පත් කරගෙන තිබෙනවා...... අර්බුදය මතු වුණේ එතැනින් නේද.......?

පිළිතුර - එහෙම පොරොන්දුවක්‌ කොහෙවත් වෙලා නැහැ. ගිරාඹේ නායක හාමුදුරුවෝ, මට ස්‌තුති කළා. ගත්ත තීරණ, ක්‍රියාත්මක කිරීම ගැන. මේ කියන්නේ කුරුණෑගලදී ඇතිවූ සාකච්ඡාව ගැන. ඒ ගැන ජනහඬ වැඩසටහනේදීත් කතා කළා. නියෝජිතයෝ පත් කරන ආකාරය ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමා කරපු ඉල්ලීම, අපිට එව්වේ සලකලා බලන්න කියලයි. 

කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ අදහස, මේ නියෝජිතයෝ නම් කරන්නේ, එතැනින් කියලයි. කරු ජයසූරිය සභාපතිතුමා කියලා, සජිත් ප්‍රේමදාසයි, රවී කරුණානායකයි යෝජනා කළා. ප්‍රධාන, නිලධාරීන් තුන්දෙනාට අමතරව තුන්දෙනෙක්‌ පත් කරගත්තා. එතැන මගේ කවුරුවත් කියලා විශේෂයක්‌ නැහැ. ඔක්‌කොම මගේ. කෘත්‍යාධිකාරි මණ්‌ඩලයත් මගේ. 

ප්‍රශ්නය - චෝදනාවක්‌ එල්ල වෙනවා ඔබ විසින් කරු ජයසූරිය මහතාව රවට්‌ට ගත්තා කියලා. ඔබ කරු ජයසූරිය මහතාට ලණුවක්‌ දුන්නා කියලයි අනිත් පාර්ශ්වය කියන්නේ........

පිළිතුර - මම ගත්ත තීරණය, එක්‌සත් භික්‍ෂු පෙරමුණ කියපු දේ මිසක්‌ වෙන එකක්‌ නෙමෙයි. උන්වහන්සේලා මට ඒ ගැන ප්‍රශංසා කරනවා. අපිට ප්‍රශ්නය වුණේ මේක ඇති කරපු දවසේම කඩාකප්පල් කරපු එක. 

ප්‍රශ්නය - මේ තත්ත්වය තුළ ගැටලුව විසඳිලා නැහැ. එක්‌ පාර්ශ්වයක නියෝජනයක්‌ නායකත්ව මණ්‌ඩලය තුළ නැහැ නේද.....?

පිළිතුර - මෙතැන තියෙන්නේ එක පාර්ශ්වයයි. ඒ, එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය. මම කාවවත් පත් කරලා නැහැ. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තුන්දෙනයි. කරු ජයසූරිය මැතිතුමා කිව්ව නිලධාරීන් තුන්දෙනයි... හාමුදුරුවෝ නම් කරපු දෙන්නයි.. කරු ජයසූරිය මහත්තයයි. එච්චරයි. 

ඊළඟ නායකයා

ප්‍රශ්නය - පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෝ, බර අදින පිරිස්‌ පැත්තකට දාලා. ඔබගේ ඥති සහෝදරයෙක්‌ වූ රුවන් විජයවර්ධනවත් නායකත්ව මණ්‌ඩලයට පත් කළා කියලා චෝදනාවක්‌ තියෙනවා.

පිළිතුර - මම දැම්මේ නැහැ. එතැනදී ඒ ගොල්ලෝ යෝජනා කළා රුවන් විජයවර්ධනවත්, ලක්‍ෂ්මන් කිරිඇල්ලවත්, තලතා අතුකෝරාලවත් මම යෝජනා කළේ නැහැ.

ප්‍රශ්නය - ඔබෙන් පසුව, පක්‍ෂ නායකත්වයට රුවන් විජයවර්ධන මහතා ගෙන ඒමේ වුවමනාවක්‌ ඔබට තිබෙන බවට රාවයක්‌ පැතිරෙනවා. මේක ඇත්තද?

පිළිතුර - මගෙන් පස්‌සේ නායකයා වෙන්නේ කවුද කියලා මමවත් දන්නේ නැහැ. මට ඕනේ මේ පක්‍ෂය බලයට ගේන්න. අපි හැත්තෑ හතේ බලයට එනකොට කවුරුවත් හිතුවේ නැහැ ලලිත් ඇතුලත් මුදලි ගැන... ගාමිණී දිසානායක ගැන.. මම මෙතැනට එයි කියලා ඒ කාලේ කාටවත් හිතුණේ නැහැ. කාලය යනකොට අනිත් අය වැටිලා. ප්‍රේමදාස මැතිතුමා, ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක යන අය ඉස්‌සරහට ආවා. දොඅෂාභියෝග ගේන්න ගිහිල්ලා. ලලිත් - ගාමිණි පක්‍ෂයෙන් පිට වුණා. එතැනදී මම ඉදිරියට ආවා. අපි 68 -69 කාලයේදී හිතුවේ ඩඩ්ලි සේනානායකගෙන් පස්‌සේ කවුද එන්නේ කියලා. අන්තිමට ආවේ ඡේ. ආර්. ජයවර්ධන. දේශපාලනයේ හැටි එහෙම තමයි. රේස්‌ එක දිව්වාම කී දෙනෙක්‌ ඉතුරු වෙනවාද කියලා අපි දන්නේ නැහැ.

ප්‍රශ්නය - එදා එජාපයට ශක්‌තිමත් පසුපෙළක්‌ තිබුණා. අද එවැනි පසු පෙළක්‌ එජාපයට නැහැ.......

පිළිතුර - තුන්වැනි පෙළක්‌ හදන්න තමයි මට ඕනේ. නායකත්ව මණ්‌ඩලයේදී ඒ අයට වගකීම් දුන්නාම ක්‍රියාත්මක කරයි. එතකොට ශක්‌තිමත් ඊළඟ පෙළක්‌ නිර්මාණය වෙයි. එතැනදී එක්‌කෙනෙක්‌ නෙමෙයි, හුඟක්‌ දෙනෙක්‌ එයි. ලී ක්‌වාන්යු කිව්වේ, එක වතාවේ අඩුම ගානේ පස්‌දෙනෙක්‌වත් රේස්‌ එකට එන්න ඕනේ කියලයි. එතකොට එක්‌කෙනෙක්‌වත් ඉතුරුවෙයි කියලා. රුවන් විජයවර්ධන රේස්‌ එකේ ඉන්නවද නැද්ද කියලා, මම දන්නේ නැහැ. මම මේ අයව පිහිනුම් තටාකය ඇතුළට දැම්මා විතරයි. පිහිනීම තියෙන්නේ ඒ ගොල්ලන්ගේ අතේ. ඒ අයව මට හදන්නත් බෑ. මාධ්‍යයට හදන්නත් බෑ. ඉක්‌මන් ගමනක්‌ ගියොත් ඉවර වෙනවා....... 

මාධ්‍ය විවේචනය

ප්‍රශ්නය - රටේ කිසිම විපක්‍ෂ නායකයකු ලක්‌ නොවූ තරමේ විවේචනයකට ඔබව භාජනය වෙනවා. එක්‌ නාලිකාවක්‌ හා එක්‌ පත්තරයක්‌ ඔබ හතුරෙක්‌ සේ සලකා කටයුතු කරන බවයි පෙනෙන්නේ... මාධ්‍ය පවුලකින් පැවැතෙන ඔබ, මේ විවේචන ගැන මොකද හිතන්නේ..... 

පිළිතුර - මාධ්‍යයට කරන්න පුළුවන් දේවල්, සීමා තියෙනවා. මාධ්‍යයක්‌ යන්න ඕනේ ජනතා මතය අනුව. සමහර මාධ්‍ය ජනතා මතය අනුව යනවා. සමහරු ජනතා මතයක්‌ බලෙන් ඇති කරන්න ගිහින් අසාර්ථක වෙනවා.

ප්‍රශ්නය - කාලයක්‌ ඔබ සමග මිතුරු වී සිටි, මාධ්‍යම තමයි, අද ඔබ සමඟ සතුරු වී සිටින්නේ. මේ සතුරු ආකල්පයට හේතුව මොකක්‌ද?

පිළිතුර - මම ඒ අයව හතුරන් ලෙස සලකන්නේ නැහැ. ඒක ඒ අයගෙන් තමයි අහන්න ඕනේ.....

සාකච්ඡා කළේ - 
පියසේන දිසානායක මනෝඡ් අබයදීර

2 comments:

Powered by Blogger.